ගාසාව හා යුක්‍රේනය පිලිබඳව එජ මුසාවාද හා කුහකත්වය

US lies and hypocrisy on Gaza and Ukraine

2014 ජූලි 23

“ගැහැනු, පිරිමි, ලමුන් හා ලදරුවන් 300කට ආසන්න පිරිසකගේ අහිංසක ජීවිත බිලිගෙන තිබේ. යුක්‍රේනයේ අර්බුදයට ඔවුන්ගේ කිසිදු සම්බන්ධයක් නැත. ඔවුන්ගේ මරන කිව නොහැකි තරමේ කෝපයක් දනවයි.” යුක්‍රේනයේ සිදුවූ ගුවන් අනතුර පිලිබඳව ජනාධිපති බරක් ඔබාමා එසේ පවසයි.

“යුද්ධය බිහිසුනුය. මම ප්‍රසිද්ධියේම හා නැවතත් එසේ පවසමි. ඊස්රායලය කරගෙන යන දේ සඳහා එරටට ඇති අයිතිය අපි ආරක්ෂා කරන්නෙමු.” ගාසාවේ සිය ගනන් මිනිසුන් මරා හෙලීම පිලිබඳව රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගෙන් විමසන ලදුව ඔහු ඊට පිලිතුරු දුන්නේ එසේය.

“මේ දක්වා සමාජය පන්ති ප්‍රතිවිරෝධයන්ට මුහුනපාන විට සදාචාරය හැමවිටම පන්ති සදාචාරයක් වී තිබුනේය.” - ෆෙඩ්රික් එංඟල්ස්,Anti-Duhring (ඩූරිං විරෝධය).

පසුගිය සතිය පුරා බටහිර ආන්ඩු හා මාධ්‍ය, ලෝක මහජන මතයට ඇතුල් කල කුහකත්වයේ හා මුසාවේ මට්ටම මෑත ඉතිහාසය තුල දැකගත හැක්කේ අවස්ථා කිහිපයකදී පමනි.

යුක්‍රේනයේදී කඩා වැටුනු මැලේසියානු මගී ප්‍රවාහන ජෙට් ගුවන් යානයේ සිටි කාර්ය මන්ඩලය සහ මගීන් 298 දෙනාගේ ජීවිත හානි කෙරෙහි දැක්වෙන ප්‍රතිචාරය, එමෙන් දෙගුනයකට වැඩි දෙනෙක් මරා දමමින්, ඊස්රායලය ගාසාවේ කරගෙන යන සංහාරය කෙරෙහි පලවන ප්‍රතිචාරය සමග සසඳන කල යමෙකුට මේ තත්වය සිත් කාවදින ලෙස දැකගත හැකිය.

ගුවන් යානා සිද්ධිය පිලිබඳව කිසිදු පිලිගත හැකි සාක්ෂියකින් තොරව, රුසියාවට හා නැඟෙනහිර යුක්‍රේනයේ කියෙව් විරෝධී බලවේගයන්ට ජන ඝාතකයින් යයි චෝදනා නඟනු ලැබේ. ඔබාමා පාලනය හා එහි නිල කථාන්තරයට අනුව පාද තබා යන මාධ්‍ය විසින් මුලුමනින්ම පාහේ දෝංකාර නංවන්නේ, බෝයිං 777 කඩා වැටීමත් සමග ආරම්භ වූ‍ මෙම හඬගෑමයි.

ධවල මන්ඳිරයේ සිට පල කල සිය ආරම්භක ප්‍රකාශයන්හිදී ඔබාමා, ගුවන් අනතුරෙන් සිදුවූ මරන “හද කම්පාකරන, බිහිසුනු හානියක්” මෙන්ම “කිව ‍නොහැකි තරමේ කෝපය දනවන” දෙයක් ලෙස විස්තර කලේය. මරනයට පත්වූ අයගේ ජීවන තොරතුරු සහිතව ලොව පුරා ශෝක වන අයගේ වාර්තා පල කරමින් මාධ්‍ය ද ඒ අනුව ගමන් ගත්තේය.

කුමන හේතුවක් නිසා හෝ අහිංසක මිනිසුන් 298කගේ ජීවිත අහිමිවීම, බිහිසුනු ඛේදවාචකයකි. එහෙත් එය, දැන් ගාසාවේ 700කට ලඟාවෙමින් ඇති, එජ අරමුදල් වලින් අනුබලය ලබන, පලස්තීනුවන් ඝාතනය කෙරෙහි දක්වන වොෂින්ටනයේ හා එහි මාධ්‍යවල ප්‍රතිචාරයට වඩා කොයිතරම් නම් වෙනස් වේ ද? ඔවුන්ගෙන් අති බහුතරය අනාරක්ෂිත සිවිල් වැසියන් වන අතර ඔවුන්ගේ වතගොත බොහෝකොටම වාර්තා නොකෙරෙනවාක් මෙන්ම ඔවුන්ගේ පවුල්වල තත්වය පොදුවේ නොතකා හැරේ.

“මේ සතිය” යන එන්බීසී ප්‍රවෘති වැඩසටහනකදී රාජ්‍ය ලේකම් කෙරී, ගාසාවේ සිදුවන සමූහ ඝාතන හා සංහාර යුද අපරාධ බවට නැඟුනු චෝදනා ප්‍රතික්ෂේප කරමින් තුච්ඡ ලෙස පැවසුවේ, “එය වනාහි අප බොහෝ වතාවන්හිදී අසා ඇති අතිශයෝක්තියකි, යුද්ධය පිලිකුල් සහගත සේම එවන් දේ ඉදිරියේ දී ද අසන්නට ලැබෙනු ඇත” යනුවෙනි.

යුක්‍රේනයේදී ගුවන් යානා අනතුරෙන් මියගිය අය වෙනුවෙන් විලාප නඟන එම ආන්ඩුවම, සදාචාරාත්මකව අතිශය ප්‍රකෝපකාරී ලෙස, ගාසාවේ මරන පිලිබඳව දරන්නේ මුලුමනින්ම නොතකා හැරීමේ ආස්ථානයකි. මෙය වනාහි, සිදුවීම් වලට සම්බන්ධ ලේ පිපාසිත ඊස්රායලයට තම දේශපාලන අනුමැතිය පලකරනවා පමනක් නොව තවදුරටත් මනුෂ්‍ය ඝාතනයන් සඳහා එරටට අත්සන සහිත හිස් චෙක්පතක් දීමට සමාන වේ. මෙම බිහිසුනු සිද්ධීන් එලිමහනට පැමිනෙද්දී, මානව ව්‍යසනයන් දෙකම කෙරෙහි දක්වන ඔවුන්ගේ මංමුලාසහගත ප්‍රතිචාර තුලින් මතුව එන ආන්තික ප්‍රතිවිරෝධයන් සමනය කිරීමේ කිසිදු උත්සාහයක්, වොෂින්ටනය හෝ බටහිර මාධ්‍ය විසින් දරනු නොලැබේ.

දී ඇති මාතෘකාවකට සම්බන්ධ වැරදි ක්‍රියාවකට අදාලව අධිකරනයෙන් පිලිසරනක් පතන අයෙකු අහිංසක වන බවට වන “කිලිටි දෑත්” පිලිබඳ ධර්මතාවක්, නීතිමය චර්යා පද්ධතිය තුල ඇත. එවන් දර්මතාවක් ලෝක දේශපාලන ක්ෂේත්‍රයට යොදනු ලබන්නේ නම්, එය එජ ආන්ඩුවට ද අදාල වන්නේය. සදාචාරය පිලිබඳ මාතෘකාව ගැන කිසිවෙකුට දේශනා කිරීමේදී ලෝකයේ ඇති සියලුම ආන්ඩු වලින් ඒ සඳහා අවම සුදුසුකම් ඇත්තේ වොෂින්ටනයටය.

ගාසාවේ නිවාස, රෝහල්, පල්ලි හා මිනිසුන්ට නොකඩවා බෝම්බ හෙලමින් සිදුකරන විනාශය ගැන ඔබාමා පාලනය කිසිදු තැකීමක් නොදක්වනවා පමනක් නොව, එජ ආන්ඩුවම මැද පෙරදිගදී පසුගිය දශකය පුරා සිදුකල මිලිටරි මෙහෙයුම් වලින් මිලියන භාගයක සිට මිලියනයක් තරම් මිනිසුන්ගේ ජීවිත වනසා දමා ද ඇති අතර ඉන් අති මහත් බහුතරය සිවිල් වැසියන්ය.

මැලේසියානු ගුවන් අනතුර සම්බන්ධයෙන් මොස්කෝවට චෝදනා නඟන වොෂින්ටනය හා එහි ප්‍රධාන අනුචරයා වන යුක්‍රේනයේ ඓතිහාසික වාර්තාව සැලකිල්ලට ගන්නා කල, චෝදකයින්ටම එරෙහිව සෘජු සැකය එල්ල කිරීමට සැම හේතුවක්ම ඇත.

පලමුකොටම, දෙකෙන් එක් ආන්ඩුවක් හෝ සිවිල් ගුවන්යානා වෙඩිතබා බිම හෙලීමට ආධුනික නොවන්නේය. වඩාත්ම මෑත එවන් පලමු සිද්ධිය, 2001 ඔක්තෝබරයේ යුක්‍රේන මිලිටරිය, ඊස්රායලය බලා පියාසර කරමින් තිබූ මගීන් 78 දෙනෙක් රැගත් සර්බියානු ගුවන් සේවයට අයත් යානයක් මිසයිල ප්‍රහාරයකින් බිම හෙලනු ලැබීමයි. ගමන්ගත් සියල්ලෝම මරුමුවට පත්වූහ.

සිය පාර්ශවයෙන් එජ, විශාල ජීවිත හානියකට වගකිවයුතු එවන් සිද්ධියකට සම්බන්ධය. 1988දී ඉරාන මුහුදු කලාපයට ඇතුල්කර තිබූ වින්සන්ස් යන අති නවීන එජ යුද නෞකාව, ඉරාන ගුවන් සේවයට අයත් ගුවන් බසයක් වෙඩිතබා බිම හෙලීමෙන් එහි ගමන්ගත් 290 දෙනාගේම ජීවිත බිලි ගත්තේය. මෙම බිහිසුනු ක්‍රියාවට වොෂින්ටනය කවර කලෙකවත් සමාව නොගත්තා පමනක් නොව, මිසයිලය මුදාහල නැවේ අනදෙන නිලධාරියාට පදක්කමක් ද පිරිනැමීය.

මැලේසියානු ගුවන් අනතුර පිලිබඳ කෝපාවිෂ්ඨ මාධ්‍ය ආවරනයේ කිසිදු අවස්ථාවක මෙම නින්දිත ඓතිහාසික පූර්වාදර්ශයන් ගැන සඳහන් නොකිරීම සැලකිය යුතුය.

රුසියාව නැඟෙනහිර යුක්‍රේනයේ කියෙව් විරෝධී කැරලිකරුවන් සන්නද්ධ කර ගුවන්යානා නාශක අවි භාවිතය පිලිබඳ පුහුනුව ලබා දීම මගින් ගුවන් යානය බිම හෙලීමට මෙහෙයවා ඇතැයි, එජ හා කියෙව් තන්ත්‍රය මොස්කෝවට චෝදනා නඟමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යක්ෂයෙකු ලෙස වෙස්ගන්වන අතර, අනතුර පිලිබඳ මුලු වගකීම ඒ වෙත පවරයි.

මේ දක්වා මෙම චෝදනාව මුලුමනින්ම පදනම්ව ඇත්තේ, මීට පෙර ඔවුන් එල්ල කර ඇති උග්‍ර රුසියානු විරෝධී චෝදනා මුසාවාද බව ඔප්පුවී ඇති යුක්‍රේනියානු ඔත්තු සේවය යූ ටියුබ්හි පලකල පටිගත කිරීම් හා වීඩියෝ පට මතය.

ඒ කාරනයටම අදාලව, නැඟෙනහිර යුක්‍රේනයේ කැරැල්ල මැඬ පැවැත්වීමට අසමත්වීම නිසා ව්‍යසනයට පුටින් වගකිව යුතුය යන ඔහුට විරුද්ධව නඟන චෝදනාවේ අඬංඟු දේශපාලන අන්තර්ගතය, වඩාත්ම ගැලපෙන්නේ වොෂින්ටනයේ කටයුතු වලටමය. සිරියානුවන් ලක්ෂයකටත් අධික සංඛ්‍යාවක් මරුමුවට පත්කරමින් රට සුන්බුන් බවට පත්කර, වඩා පුලුල් පරිමානයේ මානව ඛේදවාචකයක් නිර්මානය කර ඇති සිවිල් යුද්ධයක් අවුලවමින්, සිරියාව තුල ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ට දේශපාලන සහාය, අරමුදල් හා අවි සපයා ඇත්තේ ඔබාමා පාලනයයි. එවැනිම ව්‍යසනකාරී ප්‍රතිවිපාක ජනනය කරමින්, ලිබියාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා ලිබියානුවන් 50,000කගේ ජීවිත බිලිගත් නේටෝවේ බොම්බ හෙලීම්වල පිටුබලය සහිත එවැනිම යුද්ධයක් ඔවුහු ගෙන ගියහ.

සැම වසරකම මිලිටරි ආධාර වශයෙන් ඩොලර් බිලියන ගනනින් එජ මුදල් ලබා ගනිමින් ඊස්රායලය පලස්තීනුවන් සමූහ වශයෙන් ඝාතනය කරද්දී, එම සදාචාරාත්මක ප්‍රමිතිය එජට යෙදෙන්නේ නැත.

යුක්‍රේනය තුලම ද සමස්ත ලේ වැකි ක්‍රියාවලිය පනගන්වමින්, පසුගිය පෙබරවාරියේදී තෝරාපත්කරගත් ආන්ඩුව පෙරලා දැමූනු, ෆැසිස්ට්වාදීන්ගේ මූලිකත්වයෙන් මෙහෙයවූ කියෙව් කුමන්ත්‍රනයට සහාය දැක්වූ හා දියත් කල ක්‍රියාවලිය තුල නිර්මානයවී ඇති වත්මන් අර්බුදයේ ප්‍රමුඛ වගකීම පැවරෙන්නේ ද එජ හා ජර්මනිය වෙතය.

එදා සහ අද වොෂින්ටනය, සිය යුරේසියානු හා ගෝලීය ආධිපත්‍යය සඳහා වන තල්ලුවේදී ඊට බාධකයක් ලෙස සලකන රුසියාව අතුගා දැමීමේ ප්‍රකෝපකාරී ප්‍රතිපත්ති අරමුන අනුගමනය කරයි. මැලේසියානු ගුවන්යානය පිලිබඳ කුමන සාධක මතු වුවත්, එජ, ජර්මනිය හා ඔවුන්ගේ අනුචරයින්ගේ ප්‍රධාන අරමුන, නැඟෙනහිර යුරෝපයේ හා ඉන් ඔබ්බට අධිරාජ්‍යවාදයේ හා මිලිටරිවාදයේ සිය න්‍යායපත්‍රය පෙරට ගෙනයාම සඳහා එය ගසාකෑම බව අතිශයින්ම පැහැදිලිය.

රුසියාව විසින්, ගුවන් අනතුර පිලිබඳ තහවුරු නොකල චෝදනා සම්බන්ධ කරුනුමය ප්‍රතිවිරෝධතා හා ප්‍රශ්න මතුකරනතාක් දුරට, “ප්‍රචාරනය” හා “ කුමන්ත්‍රන චෝදනා” මුල්කර ගනිමින් රුසියානු තන්ත්‍රය ද ආන්ඩුවේ බොරු ප්‍රචාරය කරන බවට රුසියානු මාධ්‍ය ද ලෝක පරිමානව හෙලා දකිනු ලැබේ. කෙසේ වෙතත්, වොෂින්ටනය හා එහි අනුචරයින් දමාගසන කිසිසේත්ම සනාථ නොකල චෝදනා හා අතිශය ප්‍රකෝපකාරී හගිස්සවීම් කිසිදු ප්‍රශ්නයකින් තොරව පුනරුච්ඡාරනය කරන හා විකාශනය කරන බටහිර ව්‍යාපාරික පාලනයේ පවතින ප්‍රචාරක යාන්ත්‍රනය සමග සසඳන කල ක්‍රෙම්ලිනය, ආධුනික මට්ටමේ පසුවෙයි.

මෑත ඉතිහාසය යලි යලිත් තහවුරු කර ඇත්තේ, වොෂින්ටනය හා එහි නිලධාරීන් විසින් කියන කිසිවක් දී ඇති පරිද්දෙන් පිලි නොගත යුතුය යන්නය. අතේ පත්තුවූ ගජබින්න දෙසාබෑමේදී එජ තරම් හෙලිදරව්වූ වෙනත් කිසිදු ආන්ඩුවක් ලෝකයේම නැත. ඒවායේ විශ්වාසනීයත්වය එජ තුලම පවා පහත් මට්ටමක පවතියි. “ජනඝාතක අවි” පිලිබඳ බොරු මත පදනම්ව විනාශකාරී යුද්ධයක් දියත් කිරීමේ කටුක අත්දැකීම් ඇමරිකානු වැඩකරන ජනතාවගේ හෘදසාක්ෂිය තුලින් පහව ගොස් නැත.

ජීවිත හානි පිලිබඳ වොෂින්ටනයේ කෝපාවිෂ්ඨ හඬ හෝ එක් හෝ තවත් රටක් මානව අයිතීන් උල්ලංඝනය කල බවට නඟන චෝදනා, හැමවිටම කුහකත්වයෙන් උතුරා යයි. යුක්‍රේනයේදී සිදුවූ එම්එච්17 ගුවන්යානා අනතුරට සම්බන්ධ සදාචාරය වෙත කෙරෙන එහි බක තපස් ආයාචනා අතරතුර, සදාචාර විරෝධීව ගාසාවේ අහිංසකයින් ඝාතනය කිරීමට සහාය දැක්වීම, මීට වසර 137කට පෙරාතුව ෆෙඩ්රික් එංඟල්ස් විසින් කරන ලද විශ්ලේෂනය අදට ද එසේම සත්‍ය වන බව ඔප්පු කරනවා පමනි.

සදාචාරය “හැමවිටම පන්ති සදාචාරයක්” බව එංඟල්ස් ලියා තැබීය. එය “එක්කෝ පාලක පන්තියේ අධිකාරය හා අවශ්‍යතා යුක්තිසහගත කරනවා හෝ මෙම ආධිපත්‍යයට එරෙහිව හා පීඩිතයින්ගේ අනාගත අවශ්‍යතා වෙනුවෙන් ගසන කැරැල්ල නියෝජනය කරයි. ”

බිල් වැන් ඕකන්

Share this article: