ප‍්‍රසන්න විතානගේගේ ඔබ නැතුව, ඔබ එක්ක: ශ‍්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ මානුෂීය ප‍්‍රතිවිපාක

Prasanna Vithanage’s With You, Without You: The human impact of Sri Lanka’s communal war

වසන්ත රූපසිංහ සහ පානිනී විජේසිරිවර්ධන විසිනි,2014 ජූලි 14

රචනය සහ අධ්‍යක්ෂනය: ප‍්‍රසන්න විතානගේ

ශ‍්‍රී ලාංකීය සිනමාකරු ප‍්‍රසන්න විතානගේගේ නවතම වෘතාන්ත චිත‍්‍රපටය, ඔබ නැතුව, ඔබ එක්ක, 2009 දී අවසන්වුනු ශ‍්‍රී ලංකාවේ දිග්ගැස්සුනු සිවිල් යුද්ධය විසින් සිංහල හා දෙමල මහජනයා තුල අවුලුවන ලද භාවමය සන්තාපය නිරූපනය කිරීමට දැරුනු අපූර්ව ප‍්‍රයත්නයකි.

විතානගේ මීට පෙර පුරහඳ කලුවර (1997) සහ ඉර මැදියම (2003) යන චිත‍්‍රපට දෙකේ දී යුද්ධය විසින් ජනතාව මත පටවනු ලැබූ ඛේදජනක ඉරනම විභාග කිරීමෙහි ද නිරත විය

දශක තුනක් තිස්සේ දිවුනු බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහි සිවිල් යුද්ධය 1948 ඊනියා නිදහසින් පසු බලය ඉසිලූ කොලඹ විවිධ ආන්ඩු විසින් දිවයිනේ දෙමල සුලුතරයට එරෙහි ව දියත් කල වෙනස් කොට සැලකීමේ ක‍්‍රියාවලියේ සෘජු ප‍්‍රතිඵලයකි. ශ‍්‍රී ලංකාවේ පාලන තන්ත‍්‍රය යුද්ධය උපයෝගී කරගත්තේ දෙමල හා සිංහල කම්කරුවන් භේද කිරීමේ ප‍්‍රධාන මාර්ගය වසයෙනි.

යුද්ධයේ ප‍්‍රතිඵල ලෙස 100,000 ට අධික පිරිසක් මරුමුවට පත් වුනු අතර දසදහස් ගනන් ජනයාට සිය ගම්බිම්වලින් පලා යාමට බල කෙරිනි. ශ‍්‍රී ලංකා මිලිටරිය දෙමල ජනතාවට එරෙහි ව ගනන් නැති යුද අපරාධ සිදු කලේ ය. යුද්ධයේ අවසන් අදියර තුල දී 40,000ක් මරා දැමුනු අතර 300,000ක් දෙනා මිලිටරිය මගින් පාලනය වන කඳවුරු තුලට ගාල් කෙරුනෝ ය.

මනුෂ්‍යත්වයට එරෙහි මේ අපරාධ අනාවරනය කිරීමෙහිලා ධෛර්යය තිබුනේ ප‍්‍රසන්න විතානගේ ඇතුලු අතලොස්සක් කලාකරුවන් පිරිසකට පමනි. ඔවුහු සියලු දෙනා ම යුද්ධය අලලාගෙන නිමැවුනු සිය කලා කෘති වාරනයට ලක් වීම ද ඇතුලු ආන්ඩුවේ දඩයමට මුහුන දුන්හ. විතානගේගේ පුරහඳ කලුවර චිත‍්‍රපටය, එය ශ‍්‍රී ලංකා හමුදාවන්ට බඳවාගැනීමේ ක‍්‍රියාවලියට බලපෑ හැකි යැයි කියමින් ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුව වසර ගනනාවක් තිස්සේ වාරනය කර තැබිනි.

විතානගේගේ නවතම ප‍්‍රයත්නය, ඔබ නැතුව, ඔබ එක්ක ප‍්‍රංශයේ වැසෝල් ජාත්‍යන්තර චිත‍්‍රපට උලෙලේ Cyclo d’Or and NETPAC (ආසියානු සිනමාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා වූ ජාලය) සම්මාන ද ඇතුලු වැදගත් ජාත්‍යන්තර සම්මාන ගනනාවක් දිනා තිබේ. මොස්කව්, වෑන්කූවර් සහ බි‍්‍රස්බේන් ඇතුලු ජාත්‍යන්තර සිනමා උලෙල ගනනාවක නිල තේරීමක් වසයෙන් ඇතුලත්වූ නමුදු චිත්‍රපටය මෙතෙත් ශ‍්‍රී ලංකාව තුල ප‍්‍රදර්ශනය වී නොමැත.

ඔබ නැතුව, ඔබ එක්ක රුසියානු නවකතාකරු ෆියදෝර් දොස්තයෙව්ස්කිගේ A Gentle Creature(1876) කෙටි නවකතාව මත පාදක වී තිබේ. මේ කතාව මීට පෙර 1960 දී ඇලෙක්සාන්දර් බොරිසොව්ගේ සෝවියට් අනුවර්තනය හා 1969 දී ප‍්‍රංශ සිනමාකරු රොබෙර් බ්‍රෙසන් ගේ නිර්මානය ඇතුලු සිනමා අනුවර්තන පහකට නිර්මානාවේශය සපයා ඇත.

වස්තුවාන්ඩුව රැස් කිරීමේ අවශ්‍යතාවෙන් මඩනා ලද උගස්බඩු ගන්නෙකු සහ ඔහුගේ තරුන මනාලිය අතර අර්බුදගත සබඳතාව කෙටි නවකතාවෙන් ඉදිරිපත් කෙරේ. (මෙය දොස්තයෙව්ස්කිට හමුවුනු පුවත්පතකවූ සඳහනක් පාදක කරගත්තකි.)

විතානගේ මේ කෙටි නවකතාවේ තේමාවන් ශ‍්‍රී ලංකාවේ වාර්ගික යුද්ධය පිලිබඳ සන්දර්භයට නිර්මානාත්මක ලෙස අනුවර්තනය කරන්නේ කතාවට අතිරේක මානයක් එක් කරමිනි.

ඔබ නැතුව, ඔබ එක්ක චිත්‍රපටයේ දර්ශනයක්

ඔබ නැතුව, ඔබ එක්ක කෘතියේ ප‍්‍රධාන පිරිමි චරිතය වන සරත්සිරි (ශ්‍යාම් ප‍්‍රනාන්දු), ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ දෙමල වතු කම්කරුවන් වාසය කරන කුඩා නගරයක සිය ව්‍යාපාරය පවත්වාගෙන යන සිංහල උකස්කරුවෙකි. සිය දුගී සේවාදායකයින් කෙරෙහි ඔහු තුල මඳ අනුකම්පාවකුදු නැත.

තම නේවාසික ගාස්තු උපයා ගැනීම පිනිස සිය ස්වර්නාභරන උකසට තැබීමට නිතර පැමිනෙන සෙල්වි (අංජලී පටිල්), සුරූපී දමිල යෞවනියකි. සෙල්වි යුද්ධයෙන් දැදුරු වූ උතුරු පලාතෙන් පැමිනියක වන අතර ඈ පිලිබඳ සිත්කරදරයට පත් දෙමාපියෝ හමුදා ප‍්‍රචන්ඩත්වයෙන් ගලවාගනු පිනිස ඈ මධ්‍යම කඳුකරයට එවති. දැන් ඇය වතු කම්කරු පවුලක් සමග ජීවත් වෙයි. සරත්සිරි පසුව සෙල්වි හා විවාහ වෙයි.

සිය සැමියා දෙමල ජනයාට එරෙහි බොහෝ අපරාධවලට වගකිව යුතු වූ ශ‍්‍රී ලංකා හමුදාවේ සාමාජිකයකුව සිටි බව අලුත් මනාලිය දැනගත් විට ඕ චිත්තවේගාත්මක කැලඹීමක ගිලී යයි. සත්තකින් ම ඔහුගේ අතීතය පිලිබඳ දැනුවත් බව ඛේදජනක අවසානයක් සහිත සිදුවීම් මාලාවක ආරම්භය වෙයි. මෙය දොස්තයෙව්ස්කිගේ කතාවේ සාමාන්‍ය වැටිසන අනුව ගමන් කරන්නකි.

අවසාන දර්ශනය ප‍්‍රගාඪ ආතතියක් සේ ම සහානුභූතියක් ද නරඹන්නා තුල ජනනය කරයි. ඒ සමග ම කෘතියේ වේදනාබර කූටප‍්‍රාප්තියට මග පෑදූ සිදුවීම් දාමය බැරෑරුම්ව වගවිභාග කරගැනීමට පේ‍්‍රක්ෂකාගාරයට බල කෙරේ.

මානව ලාලසාවන් ජන වාර්ගික රේඛා අනුව පටු කල හැකි හෝ කූඩු කළ හැකි නොවන බැව් විතානගේගේ චිත‍්‍රපටය තර්ක කරයි. ඇය, පරිපූර්න ජීවිතයක් අපේක්ෂා කරන සංස්කෘතිකවත් තරුන ස්ත‍්‍රියකි. ඇය, මුදල්, වාර්ගික හා පුරුෂෝත්තමවාදී පසුගාමීත්වයෙන් මෙහෙයවෙන සරත්සිරිට මෙන් ම එවැනි පසුගාමී සංකල්පනයන් ආධිපත්‍යය උසුලන සමාජයක සදාචාර වටිනාකම්වලට ද අභියෝගයක් ඉදිරිපත් කරන්නී ය.

අලුත් ආරම්භයකට අවස්ථාව ලදුව සෙල්වි සිය මුල් කාලීන වේදනාවන් අමතක කොට ජීවිතය වැලඳගැනීමට තැත් කරයි. සිය විසල් ඇස් කරුනාවෙන් ඔහු වෙත ම යොමු කරගෙන, ඕ සරත්සිරි සමග උතුරා යන ආදර ස්නේහයෙන් යුතු ව කල් ගෙවයි. ඔවුන් එකිනෙකා කෙරෙහි අවංක ද ලෙන්ගතු ද වන සෑම විටක ම සෙල්වි සහ සරත්සිරි අතර වන භාවාත්මක ගැඹුර නරඹන්නාට දැනෙන්නට සැලැස්වීමට විතානගේ සාර්ථක ලෙස සමත් වෙයි.

දෙමල සුලුතරය යුද්ධයේ කටුකතම ප‍්‍රතිවිපාක අත් වින්දේ ය. සෙල්විගේ දෙමාපියන් මරාදැමුනු අතර යන්තම් පාසැල් සිසුන් පමනක්වූ ඇගේ සහෝදරයන් දෙදෙනා ශ‍්‍රී ලංකා හමුදාව විසින් ඝාතනය කෙරෙන්නේ ඔවුන් එල්ටීටීඊ සැකකරුවන් ලෙස හඳුන්වමිනි.

යුද්ධයේ බලපෑම ඇයට දැනෙනුයේ සිංහලයින්ට වෙනස් ලෙස බව කියන සෙල්වි කෝපයෙන් සරත්සිරිට අභියෝග කරයි, "ඔයා හමුදාවෙ ඉන්නකොට දෙමලු දෙනෙක් මැරුවද?" ඇය දිගටම කියාගෙන යයි:"[දෙමල] ගෑනු ලමයි කීදෙනෙක් දූෂනය කරලා තියෙනවා ද? රත්තරන් කොච්චර හොරකම් කරලා තියෙනවා ද?" සෙල්වි සිය ප‍්‍රශ්න සරත්සිරිට එල්ල කල ද නරඹන්නාට එයින් ඇඟවුම් කෙරෙනුයේ දුක්විඳින දෙමල ජනතාව වෙනුවෙන් ශ‍්‍රී ලංකාවේ පාලක ප‍්‍රභූවෙන් අසන ප‍්‍රශ්න ලෙසට ය.

මෙලෙස විතානගේ, ලේ වැකි ගැටුම තුල සිය දහස් ගනන් සාමාන්‍ය ජනතාවට එරෙහි ව සිදු කෙරුනු යුද අපරාධ වසන් කිරීම ඒකායන අරමුන කරගෙන රාජපක්ෂ පාලන තන්ත‍්‍රය සහ ජනමාධ්‍ය විසින් ගෙනයනු ලබන මුසාවාද සිදුරු කර දමයි.

මේ කරුන විවාහයෙන් පසු තරුන යුවල පැමිනෙන දර්ශනයෙන් අතිශය ප‍්‍රබල අන්දමින් ප‍්‍රකාශයට පත් කෙරේ. සෙල්වි සූට්කේසය අතින් ගෙන සිටින අතර සරත්සිරි රූපවාහිනිය ක‍්‍රියාත්මක කරයි. එහි විකාශය වන්නේ රාජපක්ෂගේ ඊනියා යුද ජයග‍්‍රහනය සමරමින් ගමන් කරන හමුදා පෙලපාලියකි. නිවේදකයා මිලිටරි විජයග‍්‍රහනය රස කර තලු මරයි.

සරත්සිරි තමන් සහභාගී වූ යුද්ධයේ දී දෙමල ජනතාවගේ අත්දැකීම් සංකේතවත් කරන සෙල්විගෙන් සරදම්කාරී ලෙස අසන්නේ, "මොනවද ඔය වටින දෙයක් වගේ උස්සගෙන ඉන්නේ?" සෙල්විගේ කෙටි පිලිතුර වන, "මගේ ඇඳුම්!" යන්නෙන් ඇඟවුම් කරන්නේ බොහෝ දෙමල ජනයා සතුවූ සෑම සියලු දෙයක් ම යුද්ධය විසින් විනාශ කරනු ලැබූ බව යි.

ඔබ නැතුව, ඔබ එක්ක

ගැටුම අතරතුර සිදු වූ හානියේ තරම පිලිබඳ සවිඥානික සරත්සිරි සන්තාපයට පත් වන අතර යුද්ධය කාලයේ දී සිය වැරදි ක‍්‍රියා පිලිබඳ මතකයන් වලලා දැමීමට ඔහුට අවශ්‍ය වෙයි. හිටපු සෙබලා සිය ඇතැම් මතක සිය තරුන බිරිය සමග බෙදාහදාගැනීමෙන් කෙසේ හෝ සහනයක් අත් විඳීමට අපේක්ෂා කරයි. සත්තකින් ම චිත‍්‍රපටය විරැකියාව හා දුගීබව විසින් හමුදාවට දක්කනු ලැබූ ගම්බද තරුනයින් පිලිබඳ සහානුභූතියක් පල කරයි.

සිය සිනමා නිපුනත්වය විදහා පාමින් විතානගේ උකස්කරුවාගේ කුඩා නිවහනේ ඉහල මහලේ ජනේලයක් සංකේතාත්මකව යොදාගන්නේ පවත්නා සමාජයට දොරටුවක් වසයෙනි. සරත්සිරි හා සෙල්වි යන දෙදෙනා ම ලෝකය දකින්නේ මේ ජනේලය තුලින් වුව ද ඔවුන් සංජානනය කරන්නේ එකිනෙකට වෙනස්, ප‍්‍රතිවිරුද්ධ පවා වන යථාර්ථයන් දෙකකි. සරුසාර පලා පැහැය, උදා හිරු කිරන හෝ ගී ගයන කුරුල්ලන් දැකීමට හෝ ඇසීමට අපොහොසත් වන සරත්සිරිට පෙනෙනුයේ යම් දිනක මිලයට ගැනීමට අදහස් කරන ඉඩම් කැබැල්ලක් පමනකි. යුද්ධයෙන් තදබල ක්ෂතියට පත් ව සිටින සෙල්වි පැය ගනන් එම ජනේලයෙන් ම ක්ෂිතිජය දෙස බලාගත්වන ම සිටී.

දොස්තයෙව්ස්කිගේ මුල් කෘතියෙහි සේ ම සිය සැමියාගේ මිලිටරි ක‍්‍රියාකාරකම් පිලිබඳ දැනගන්නා තරුන බිරිය මංමුලා සහගත ක‍්‍රියාමාර්ග ගැනීමට සලකා බලයි (කෙටිනවකතාවෙහි උකස්කරුවා හමුදාව හැරගොස් ඇත්තේ අපකීර්තිමත් අන්දමිනි). දොස්තයෙව්ස්කි සිය බිරියගේ හැසිරීමට සැමියා දක්වන සංකීර්න මානසික ප‍්‍රතිචාරය පැහැදිලි කරමින් සැලකිය යුතු වේලාවක් ගත කරයි. ඇගේ පැත්තෙන්, සිය ප‍්‍රචන්ඩ සැලසුම් ගැන සැමියා දැන සිටිය දීත් තමාට ආදරයෙන් සැලකූ බව දැනගනිමින් අන්තිමේ දී ප‍්‍රබල වරදකාරී හැඟීමකට පත් වෙයි. ඇගේ කනස්සල්ල නිසා ඈ තුල විෂාදය ගැඹුරු වෙයි.

කෙසේ වුව ද විතානගේගේ ප‍්‍රතිනිර්මානය තුල මෙම දර්ශනයන්හි, සෙල්වි ඔහු සම්බන්ධයෙන් කරන්නට අදහස් කල දෑ පිලිබඳ සරත්සිරි දැනුවත් ද යන්න නරඹන්නාට කිසිවිට නිශ්චිත අදහසක් නොදේ. සිනමාකරුවා මේ අදියර වඩා නිශ්චිත ආකාරයෙන් ඉදිරිපත් කලේ නම් කෙනෙකුට ඇගේ වරදකාරී හැඟීම පිලිබඳවත් එම හැඟීම් අවසන් ඛේදවාචකයට ප‍්‍රබල ලෙස දායක වන්නේ කෙසේ ද යන්න ගැනත් වඩා සංයුක්ත අවබෝධයක් ලද හැකි ව තිබිනි.

කවර අන්දමින් ගත්ත ද, විතානගේගේ ඔබ නැතුව, ඔබ එක්ක තරුන ස්ත‍්‍රිය කෙරෙහි සහ පොදුවේ දෙමල ජනයා කෙරෙහි සේ ම ආර්ථික වාතාවරනය හේතුවෙන් මිලිටරියට දක්කනු ලබන සිංහල තරුනයන් කෙරෙහි ද නරඹන්නා තුල උතුරා යන සානුකම්පාවක් උත්පාදනය කරයි. ඒ සියලු දෙනා කුරිරු යුද්ධයේ ගොදුරු බවට පත් වන්නේ කෙසේ ද යන්න එය ප‍්‍රබල ලෙස අනාවරනය කරයි. අංජලී පටිල් සහ ශ්‍යාම් ප‍්‍රනාන්දුගේ ශක්‍යතා සපිරි හා සිත් සසල කරවන රංගනය නරඹන්නන්ගේ මතකයේ බොහෝ කලක් රැඳෙනු නියත ය.

 

කතුවරු පහත සඳහන් ලිපි ද නිර්දේශ කරති:

Sri Lankan court orders release of banned film
[25 September 2001]

ශ්‍රී ලංකා මිලිටරිය යුද විරෝධී කලකරුවන්ට තර්ජනය කරයි
[2005 ඔක්තෝබර් 1]

Share this article: