යුරෝපීය මහ බැංකුව පොලී අනුපාත ශුන්‍යයෙනුත් පහලට ගෙනෙයි

European Central Bank cuts interest rate below zero

ස්ටීවන් ස්ටේන්බර්ග් විසිනි, 2014 ජූනි 6

යුරෝපීය මහ බැංකුව (යුමබැ) එහි පොලී අනුපාතවලින් එකක් ඍන මුවවිටට කපා හල අතර ඉදිරියට ඇදෙමින් පවතින ආර්ථික අවපාතයට හා අවධමනයේ තර්ජනයට ප‍්‍රතිචාර වශයෙන් යුරෝපීය බැංකුවලට යුරෝ බිලියන 400ක නය පැකේජයක් හඳුන්වා දුන්නේ ය.

05දා ෆ‍්‍රැන්ක්ෆර්ට්හි පැවැත්වූ රැස්වීමේ දී මහ බැංකුව, වර්තමානයේ පවතින සියයට 0.25ක ඉතිහාස ගත පහල මට්ටමක සිට සියයට 0.15 දක්වා ප‍්‍රධාන නය සැපයුම් අනුපාතය ද, ශුන්‍යයේ සිට ඍන 0.10 දක්වා ඒක්ෂන නය සඳහා තැන්පතු අනුපාතය ද කප්පාදු කලේ ය. සියයට 0න් පහලට පොලී අනුපාත පහත දැමූ ලොකුම මහ බැංකුව මෙයයි.

ලේහ්මන් බ‍්‍රදර්ස් බිඳ වැටීමේ සිට ආසන්න වශයෙන් වසර හයක් තුල ලෝක ආර්ථිකය මඩ වගුරක ගිලී පවතින්නේය යන කාරනයේ ප‍්‍රකාශනයකි, මෙම පියවර. බැංකු හා මූල්‍ය ආයතනයන්ට ඩොලර් ටි‍්‍රලියන ගනන් පොම්ප කරනවා හැර ලෝකයේ මහ බැංකුවලට මෙම අර්බුදය සඳහා දිය හැකි වෙන විසඳුමක් නැත. බැංකුවලට ටි‍්‍රලියන ගනන් මුදල් බෙදා හරින අතර මහාද්වීපය පුරා කම්කරුවන්ට පවසන්නේ විශ‍්‍රාම වැටුප්, සමාජ වැඩසටහන් හා සෞඛ්‍ය ආරක්ෂාව සඳහා “මුදල් නැති” බව යි.

රැස්වීමෙන් පසු මාධ්‍ය සමුලුවක දී යුමබැ සභාපති මාරියෝ ඩ‍්‍රාගි පැහදිලි කලේ, නුදුරු අනාගතයේ දී අනුපාත කප්පාදුව පසු පස ෆෙඩරල් මහ බැංකුවේ ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහනට සමාන අමතර වත්කම් මිල දී ගැනීම ද ඇතුලත් අතිරේක පියවර ගත හැකි බව යි.

“අපි හිතන්නේ මෙය වැදගත් පැකේජයක් කියාලා” ඩ‍්‍රාගි පැවසී ය. “අප අවසන් කර ඇද් ද? උත්තරය නැත යන්නයි. අපගේ වර පත‍්‍රය තුල සිටීමට අපට අවශ්‍ය නම්, අප මෙතැනින් නවතින්නේ නැත, “පුලුල් පදනමක වත්කම් මිල දී ගැනීම, නිශ්චිතව ම මහ බැංකු ක‍්‍රමවේදයේ ඇති උපකරනවලින් එකකි යි ඔහු පැවසී ය.

03දා යුමබැ නිවේදනය කලේ, යුරෝ කලාපයේ අපේ‍්‍රල් මාසයේදී පැවති උද්ධමන අනුපාතය සියයට 0.7 සිට මැයි මාසයේදී සියයට 0.5 දක්වා වැටුන බව යි. එය සියයට 2 ඉලක්කයට වඩා බොහෝ පහල ය. සිටිබෑන්ක් පුරෝකතනයකට අනුව උද්ධමනය සියයට 0.3 දක්වා තවදුරටත් අඩුවේ යැයි අපේක්ෂා කෙරේ.

මාර්තු මාසයේ සියයට 1.2ක්වූ යුමැබ වර්ධන පුරෝකතනය දැන් සියයට 1 දක්වා පහල දමා ඇත.

අලුත් අරමුදල් ගලා ඒමක බලාපොරොත්තු පිලිබඳ ඉඟිය අනුව යමින් යුරෝපීය කොටස් වෙලඳපොල ඉහල ගියේය. යන්තමින් පහල වැටීමට පෙර, බැංකු කොටස් නැගීම මගින් මෙහෙයවන ලද යුරෝපීය කොටස් අවරුදු හය හමාරකට පසු ඉහල ම තැනට ලඟාවිය. 05දා ජර්මානු ඩැක්ස් දර්ශකයේ ඉතිහාස ගතවන ඉහල යාම සඳහන් කරමින් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙබ් අඩවි ශීර්ෂ පාඨය යෙදුවේ “යුමබැ පැකේජය ප‍්‍රසිද්ධ කිරීමත් සමග ඩැක්ස් 10,000ට ලඟා වෙයි” යනුවෙනි.

එක්සත් ජනපදයේ දී එස්ඇන්ඩ්පී 500 දර්ශකය දිනය අවසන් කලේ 1940 දක්වා ඒකක 12න් ද ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍ය 16,836.11දක්වා ඒකක 98න් ද ඉහල නගිමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා මූල්‍ය මාධ්‍ය මගින් කාලයක් තිස්සේ යුමබැ අනුපාත වෙනස් කරන ලෙස ඉල්ලා තිබුනි. අපේ‍්‍රල් මස ආරම්භයේ දී නිකුත් කරන ලද වර්ල්ඩ් ඉකොනොමික් අවුට්ලුක් හි ජාමූඅ ආර්ථික විද්‍යාඥයින් ගනනාවක් ධනවාදය සඳහා “නව සාමාන්‍ය” ලෙස හැඳින් වූ දෙයට අවධානය යොමු කලේ ය. එනම්, ලෝකය පුරා ඇනහිටමින් හා අවධමනයේ පවතින ආර්ථිකයන් වෙතට ය. ජාමූඅ වාර්තාව සඳහන් කලේ, 1980ගනන් වල සිට මූර්ත පොලී අනුපාත පිරිහෙමින් පැවති අතර දැන් “යන්තම් ඍන සීමාවේ” පවතින බව යි.

ඒ අතර ම, වාර්තාව තවදුරටත් පවසන්නේ, සුලභ ලාභ මුදල් දැවන්ත තොග සැපයීමට මහ බැංකු පෙන්නුම් කල සූදානම, නිෂ්පාදන කර්මාන්ත තුල වර්ධනයක් ඇති කිරීමට අසමත් වී ඇති බව යි. ඒ වෙනුවට ගෝලීය මූල්‍ය අර්බුදයේ “පැල්ලම්” මගින් සලකුනු කරන ලද පසුගිය කාලපරිච්ඡේදයේ “ප‍්‍රතිඵලය වී ඇත්තේ දියුනු රටවල ආයෝජනයන්ගේ තියුනු හා ස්ථාවර පරිහානිය යි.”

බොහෝ දියුනු ආර්ථිකයන්හි ආයෝජන අනුපාත අර්බුද පූර්ව මට්ටම් කරා ලඟා නොවනු ඇති බව වාර්තාව නිගමනය කලේ ය.

ජාමූඅ අඳුරු පුරෝකතන එක්සත් ජනපදය හා යුරෝපයේ මෑත සංඛ්‍යා මගින් තහවුරු කෙරී ඇත. ගැනුම් කලමනාකරුවන්ගේ දර්ශකයට අනුව, යුරෝ කලාපයේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය මැයි මාසයේ දී මාස හයක පහලම අගය සලකුනු කලේය. මේ අතර ඉතාලිය වැනි සමහර විශාල රටවල විරැකියා අනුපාතය ඉදිරි මාසවලදී තවත් ඉහල නැගීමත් සමග සමස්ත යුරෝපීය විරැකියා අනුපාතය ද නගිනු ඇත.

එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව ඩොලර් ටි‍්‍රලියන ගනනාවක් වෙලඳපොලට පොම්ප කල ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ වසර දෙකකට පසුව ද එරට ආර්ථිකය අවපාතයේ ගිලී පවතින අතර 2014 පලමු කාර්තුවේ දී වාර්ෂික අනුපාතයකට අනුව වර්ධනය සියයට එක දක්වා පහල ගියේය. රට තුල සිල්ලර වෙලඳුන්ගේ ආදායම් ඇස්තමේන්තු අවුරුදු දහතුනක් තුල විශාල ම වටිනාකම් සහිතව පලමු කාර්තුවේ දී ඔවුන්ට අහිමි විය.

මහ බැංකු එකිනෙකට පටහැනි අරමුනු කරා දිවීමේදී යුමබැ ක‍්‍රියාව මුදල් ආතතීන් තීව‍්‍ර කරනවා පමනි. ෆෙඩරල් මහ බැංකුව එහි ප‍්‍රමානාත්මක ලිහිල් කිරීම් කප්පාදු කිරීමට උත්සාහ ගනිමින් සිටින අතර, පසු ගිය මාසයේ දී එංගලන්ත මහ බැංකු අධිපති මාක් කානේ බි‍්‍රතාන්‍ය ආර්ථිකය ප‍්‍රමානයට වඩා රත්වීම හා ඉහල යන නිවාස මිල පිලිබඳව අනතුරු ඇඟවී ය. පසු ගිය වසරේ දී බි‍්‍රතාන්‍ය තුල නිවාස මිල ගනන් සියයට 11කින් වැඩි වුනි. එය 2007 ජූනි මාසයෙන් පසු විශාල ම වැඩිවීම යි. නව නිවාස බුබුල පාලනය කිරීමට ඉක්මනින් ම උකස් නය සීමා කිරීමේ විධිවිධාන යෝජනා කිරීමට කානේ බලාපොරොත්තුවේ.

අර්බුදයේ පටන් ලෝකයේ මහ බැංකු මගින් හඳුන්වාදෙන ලද සියලු ම විධිවිධාන මෙන් ම යුමබැ සිදුකල මෑත ම අනුපාත කප්පාදුව ද සැබෑ ආර්ථික වර්ධනයක් ඇති කිරීමට කිසිදු බලපෑමක් නො කරනු ඇත. ඒ වෙනුවට 5දා කොටස් වෙලඳපොල රැලිවීම මගින් පෙන්වන ලද පරිදි යුමබැ උදව් කරනු ඇත්තේ විශාලත ම බැංකු සහ කෝටිපතියන් හා ප‍්‍රකෝටිපතියන් තවදුරටත් පොහොසත් කරන නව සමපේක්ෂන බුබුලු ශක්තිමත් කිරීමට පමනි.

Share this article: