චීනයට එරෙහිව මිලිටරි තරකිරීම් පිලිබඳව වොෂින්ටනය කයිවාරු ගසයි

Washington boasts of military buildup against China

2014 ජූනි 03

පසුගිය සතියේ ජනාධිපති බරක් ඔබාමා වෙස්ට් පොයින්ට්හිදී පැවැත්වූ කථාව, “මධ්‍යස්ථභාවය” හා “සංහිඳියාව” වෙත නැඹුරුවීමක් ලෙසට පින්තාරු කරමින් මාධ්‍යවල පලවූ විශ්ලේෂන මගින් කිසිවෙකු නොමග යවනු ලැබුවේ නම් හෝ එම කථාව “එක්සත් ජනපද (එජ) මූල්‍ය පැලැන්තියේ අවශ්‍යතා පෙරටුකොට ගත් ස්ථිරසාර හා ගෝලීය යුද්ධයේ” සැලැස්මක් ලෙස ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල සඳහන අතිශයෝක්තියක් යයි සිතීමට පෙලඹුනු අය වේ නම් ඔවුන්, මැයි 31දා සිංගප්පූරුවේදී ඔහුගේ ආරක්ෂක ලේකම් චක් හේගල් විසින් කල යුදවාදී ගෝරනාඩුව කියවා බැලීම මැනවි.

ආසියා පැසිෆික් රටවල ආරක්ෂක ඇමතිවරුන් හා ඔවුන්ගේ සිවිල් හා මිලිටරි ප‍්‍රධානීන් සහභාගී වූ ෂන්ග‍්‍රිලා සාකච්ඡාව ලෙස හඳුන්වනු ලබන වාර්ෂික රැස්වීමේදී හේගල් සිය ප‍්‍රකෝපකාරී කථාව පවත්වනු ලැබීය. පෙනී යන පරිදි මෙම සමුලුව, කලාපීය ආරක්ෂාව හා සහයෝගිතාව තවදුරටත් වර්ධනය කිරීම අරමුනු කරගත් “විශ්වාසය ගොඩනැගීමේ” හා “සාකච්ඡාවේ” සංසදයකි.

ඒ වෙනුවට පෙන්ටගනයේ ප‍්‍රධානියා කල කථාව, කලාපය තුල චීනයේ ආනුභාවයට වල කැපීම හා අවහිර කිරීමේ සැලසුම් සහිත, චීනය වැටලීමේ අරමුන සඳහා ආසියානු පැසිෆික් ප‍්‍රදේශය තුල මිලිටරි ශක්තිය තර කිරීම පිනිස වොෂින්ටනය ගනිමින් සිටින පියවර විස්තර සහිතව ගෙනහැර දැක්වීමකි.

සාරය වශයෙන් හේගල්ගේ කථාව, වෙස්ට් පොයින්ට්හිදී මැයි 28දා ඔබාමා කල කථාවේම පිලිබිඹුවකි. මිලිටරි ඇකඩමියේදී කල කථාව විවේචනය කරන අය පෙන්වාදී ඇත්තේ, පාලනාධිකාරය එජ විදෙස් පිලිවෙතේ මූලෝපායික අක්ෂයක් ලෙස “ආසියාවට හැරීම” නිවේදනය කර ඇති තත්වය තුල, ප‍්‍රමුඛ විදේශ ප‍්‍රතිපත්ති පිලිබඳ කතාවකදී ඔබාමා මෙම හැරීම පිලිබඳව සඳහන් කල යුතුව තිබුනු බවය.

සිය කථාවේදී ඔබාමා, එම කාරනයට අදාලව චීනය සම්බන්ධ තර්ජනාත්මක ප‍්‍රකාශ ගනනාවකදී ඊනියා “හැරීම” යන්නෙහි සාරය ප‍්‍රකාශ කල අතර නැගී එන තම ගෝලීය ප‍්‍රතිමල්ලවයාට මිලිටරි ප‍්‍රතිචාර දැක්වීම සඳහා වොෂින්ටනය සූදානම් විය යුතු බව සඳහන් කලේය.

චීනය හා රුසියාව එකම තලයක තබමින් ඔබාමා, රටවල් දෙකම කලාපීය සාමයට හා ආරක්ෂාවට තර්ජනයක් වී ඇතැයි කියා සිටි අතර “චීනයේ ආර්ථික නැගීම හා මිලිටරි වර්ධනය සිය අසල්වැසියන්ගේ කනස්සල්ලට හේතුවී” තිබෙන බව ද පැවසීය. වොෂින්ටනය විසින් හිතාමතාම ගිනි අවුලුවා හා ගෝලීය ජ්වලන කේන්ද‍්‍රයන් බවට පත්කර තිබෙන, නැගෙනහිර හා දකුනු චීන මුහුදේ භූමි ප‍්‍රදේශ පිලිබඳ මතභේද ගැන සඳහන් කල ඔහු, “අවසානයේදී අපගේ මිතුරු රටවලට බලපෑ හැකි, අපගේ මිලිටරිය ද ඊට පටලවාගත හැකි කලාපීය ආක‍්‍රමනිකයෙකු” බවට පත්ව ඇතැයි චීනයට දොස් නැගීය. දකුනු චීන මුහුදේ චීනය සමග ඇතිවිය හැකි මුහුදු මාර්ග පිලිබඳ ගැටුම්වලදී ගිනිකොන දිග ආසියානු රටවලට සිය සහාය ලබාදෙන බවට ඔහු දිව්රීය.

“හැරීම” පිලිබඳව සඳහනක් නොකර ද එජ හා එහි දැවැන්ත මිලිටරි යාන්ත‍්‍රනය ආසියානු පැසිෆික් වේදිකාවේදී චීනයට මුහුන දීම සඳහා නව මූලෝපායාත්මක හැරීමක් ගෙන ඇති බව ප‍්‍රකාශ නොකර ද ජනාධිපති, ඇමරිකානු ජනතාවට පැවසුවේ, සියවස ආරම්භයේ පටන් විදේශයන්හි එජ ආක‍්‍රමනකාරිත්වය යුක්තිසහගත කිරීමට යොදාගත් “ත‍්‍රස්තවාදය” යන එම සතුරාම එජ මුහුන දෙන ප‍්‍රධාන තර්ජනය බවය. ජනාධිපතිගේ ප‍්‍රමුඛ කථාවක් තුල, එජ මූලෝපාය පිලිබඳ සුවිශේෂී ප‍්‍රකාශයක් නොකර මග හැරීම සිතා මතා කල දෙයක් බවට සැකයක් නැත.

ආරක්ෂක ලේකම් හා අනෙකුත් එජ නිලධාරීන් ආසියාවේදී ඉස්මතු කල තරම් බලගතු ලෙස ඔබාමා “හැරීම” පිලිබඳව ඇමරිකානු ජනතාවට කරුනු පැහැදිලි නොකලේ මන්දැයි සිංගප්පූරු සමුලුවේදී එක් නියෝජිතයෙකු හේගල්ගෙන් කෙලින්ම ප‍්‍රශ්න කලේය. පිලිතුර පැහැදිලි එකක් විය. න්‍යෂ්ටික බලවතෙකු වන චීනයට එරෙහිව මිලිටරි ආක‍්‍රමනයේ හා ප‍්‍රකෝපකරනයේ පිලිවෙතකට සහාය පලකරන ප‍්‍රසිද්ධ ව්‍යාපාරයකට ජනතාවගේ ප‍්‍රතික‍්‍රියාව වනු ඇත්තේ, පිලිකුල හා දැඩි විරුද්ධත්වයයි. එබැවින් පාලක කවයන්ගේ චින්තනය යොමුවනු ඇත්තේ, දේශපාලන ගිනිමැලයක අවදානම දරනවාට වඩා ජනතාව නොදැනුවත්වම ගෝලීය ගිනි මැලයක අද්දරට ඇද දැමීම වෙත බවට සැකයක් නැත.

ඊට වඩා යම් ආකාරයක විචක්ෂන වාතාවරනයක් පැවති ෂන්ග‍්‍රිලා සාකච්ඡාවේදී හේගල්ට එවන් චකිතයක් නොතිබුනි. ඔහු කලාපය තුල එජ මිලිටරි තරකිරීම් පිලිබඳව ප‍්‍රසිද්ධියේ පම්පෝරි ගැසීය.

ආසියාවට “හැරීම” හෝ “ප‍්‍රතිතුලනය අරමුනක් නොවන අතර පොරොන්දුවක් ද නොවේ. එය දැක්මක් ද නොවේ. එය යථාර්තයකි.” හේගල් පැවසීය.

එජ මිලිටරි බලඇනි ෆිලිපීනය තුල රැඳවීමට මුලුමනින්ම නිර්බාධක ඉඩ ප‍්‍රස්ථාවන් ලබාදීම පිලිබඳව එරට දූෂිත අකිනෝ පාලන තන්ත‍්‍රය හා වොෂින්ටනය අතර දස වසරකට පෙර ඇතිකරගත් වැඩි දියුනු ආරක්ෂක සහයෝගිතා ගිවිසුම ගැන ඔහු කථා කලේය.

එසේම ඔහු, ඔබාමා පාලනාධිකාරය හා පශ්චාත් යුද කාලපරිච්ඡේදය තුල බලයට පත්වූ වඩාත්ම දක්ෂිනාංශික ජපන් ආන්ඩුවේ නායකයා වන ෂින්සෝ අබේ අතර පිහිටුවාගෙන ඇති සමීප සන්ධානය ගැන ද සඳහන් කලේය.

“යන්තම් තෙවසරකට පෙර ජපානය සමග පැවති අපගේ සන්ධානය, අනාගතයේදී ඔකිනාවාහි එජ රැඳී සිටීම කෙරෙහි නොඑකඟතාවකින් වැසී ගොස් තිබුනු බව සලකා බලන්න” හේගල් පැවසීය. “අද දවසේ (වොෂින්ටනය විසින් තල්ලුව දෙන ලද ආන්ඩු වෙනසින් පසුව) මුලුමනින්ම එකඟවී ඇති යලි මිලිටරි ස්ථානගතකිරීමේ සිතියමක් අපට ඇත...අප අපගේ අති නවීන මෙහෙයුම් ද ජපානයට පිටත්කර යවා ඇත. ඊට මිසාවාහි ග්ලෝබල් හෝක්ස් දෙකක් ද කඩිනාහි එෆ්-22 ප‍්‍රහාරක යානා ද ඔකිනාවාහි එම්වී-22 ඔස්ප්‍රෙයිස් ද ස්ථානගත කිරීම් ඇතුලත්ය.” v

ජපාන මිලිටරිවාදය පුනර්ජීවනය කිරීමේ අරමුනෙන් පශ්චාත් යුද්ධ ව්‍යවස්ථාව කටුගා දැමීමට ජපන් අගමැති පියවර ගනිමින් සිටියදී වඩාත් “ප‍්‍රායෝගික” ලෙස ජපාන මිලිටරිය සම්බන්ධ කර ගැනීමේ අබේගේ යෝජනාවන්ට හේගල් සිය සම්පූර්න සහයෝගය පල කලේය. චීනය සමග වඩ වඩාත් ප‍්‍රකෝපකාරී වන ජපන් ගැටුමට එජ පිටුබලය සහතික කිරීමට ද ඔහු ඉදිරිපත් විය. v

ආතති සහගත කොරියානු අර්ධද්වීපය පිලිබඳව හේගල් මෙසේ පැවසීය. පෙන්ටගනය, “එජ හමුදාවේ බලය පෙන්වීමට හා අති නවීන ඔත්තු බැලීම්, නිරීක්ෂන හා පරීක්ෂන හැකියාවන් පවා ප‍්‍රවර්ධනය කිරීමට පියවර ගනු ඇත.” ඔහු බටහිර ඕස්ටේ‍්‍රලියාවේ එජ මැරීන් භටයින් 1000කට වැඩි සංඛ්‍යාවක් ස්ථානගත කිරීම ගැන ද සඳහන් කලේය.

“ඉන්දියානු සාගරයේ නාවික කටයුතු නිදහසේ කරගෙන යාමට ඉන්දියාවේ කැපවීම හා එහි වර්ධනය වන ආරක්ෂක හැකියාවන්” එජ විසින් සාදරයෙන් පිලිගන්නා බව කියමින් හේගල්, එරට සමග වොෂින්ටනය වර්ධනය කරගෙන ඇති මිලිටරි සහයෝගිතාව අවධාරනය කලේය.

“විශේෂයෙන්ම අප එලඹෙන වසරවලදී, ඇෆ්ගනිස්ථානයේ අපේ හමුදා ඉවත්කරගන්නා විට, සමස්ත කලාපය තුලම එජ සිය ඉදිරි ආරක්ෂක හැකියාවන් වර්ධනය කර පෙරමුනේ ස්ථානගත කරනු ඇති බවත්, විනාශකාරී නව මිලිටරි තාක්ෂනය හමුවේ අප, අපගේ කටයුතු සඳහා වන නිදහස තිරසාර කර ගැනීම සහතික කිරීමට වගබලා ගන්නා බවත්” හේගල් පැවසීය. එහෙත් කිසිවෙකුටත් මෙම “විනාශකාරී” අවි පද්ධතීන් ස්ථානගත කරනු ඇත්තේ කුමන රට විසින් ද යන්න විමසීම අවශ්‍ය නොවනු ඇත.

කලාපය තුලට මෙහෙයවනු ඇති නව ඒකාබද්ධ අධි වේගී යාත‍්‍රා, ගුවාම්හි ස්ථානගතකර ඇති න්‍යෂ්ටික බලයෙන් ක‍්‍රියාකරන තවත් සබ්මැරීන, ලිටොරල් ප‍්‍රහාරක නැව් හතරක් හා සුම්වෝල්ට් පන්තියේ ඩිස්ට්‍රෝයර් ඇතුලු යුද නැව් හා නව අවි පිලිබඳ විස්තරයක් ආරක්ෂක ලේකම් ඉදිරිපත් කලේය.

නව එෆ් 35 ඒකාබද්ධ ප‍්‍රහාරක යානාවක් ජපානයට, දකුනු කොරියාවට හා ඕස්ටේ‍්‍රලියාවට අලෙවි කරනු ඇති බව ඔහු පැවසීය. 2020 වන විට සිය නාවික හා ගුවන් බලඇනි වලින් සියයට 60ක් කලාපය තුල ක‍්‍රියාත්මක වනු ඇතැයි හේගල් පැවසීය. ආසියානු-පැසිෆික් කලාපයේ මිලිටරි වියදම් වලින් කිසිවක් කපා නොහැරීමට ඔබාමා පාලනාධිකරනය පොරොන්දුවී ඇති බව ද ඔහු කියා සිටියේය.

මෙම අවි යොමුකර ඇත්තේ කුමන රටකට එරෙහිව ද යන්න ගැන ඔහුගේ කථාවේ කිසිදු සැකයකට ඉඩක් තබා නැත. “දකුනු චීන මුහුදේ සිය අයිතිවාසිකම් ඒකපාර්ශවිකව කියා පාමින් අස්ථායිකරන කටයුතුවල යෙදෙන” බවට හා “බලහත්කාරය, ප‍්‍රචන්ඩත්වය හා බලය යොදන බවට එල්ල කරන තර්ජන” පිලිබඳව හේගල් චීනයට දොස් නැගීය. “ජාත්‍යන්තර පර්යායේ මූලික නියාමයන් අභියෝගයට ලක්වන විට වොෂින්ටනය වෙන අතක් බලා නොගනු ඇතැයි” ඔහු දිව්රීය.

“එක්සත් වීමට හා කලාපීය වාතාවරනය ස්ථාවරව තබාගැනීමට කැපවීම හෝ ආසියා-පැසිෆික් කලාපය පුරා මිලියන ගනන් හා ලෝකය පුරා බිලියන ගනන් මිනිසුන්ට වාසිදායක වන සාමය හා ආරක්ෂාව අවදානමේ හෙලා එම කැපවීමෙන් ඉවත්ව යාම යන විකල්පය” චීනයට ඇති බව කියා සිටිමින් හේගල් බීජිනයට අවසාන නිවේදනයක් නිකුත් කලේය.

අර්ථය ඇති තරම් පැහැදිලිය. පශ්චාත් දෙවන ලෝක යුද්ධ පර්යායට අනුකූලව ආසියා-පැසිෆික් කලාපයේ එජ ආධිපත්‍යය පිහිටුවීමට චීනය එකඟ විය යුතුය, නැතහොත් එජ සමග සෘජු යුද්ධයක අන්තරායට මුහුන දිය යුතුය.

චීන මිලිටරි නායක වෑන් ගුවාන්ෂොන්, හේගල් හා ඊට පෙර කථාකල ජපාන අගමැති අබේගේ ප‍්‍රකාශයන්ට කෝපයෙන් ප‍්‍රතිචාර දැක්වීය. ඒවා “පිලිගත නොහැකි” බව හා දෙදෙනා “සමූහ ගායනයක” යෙදෙන බව ඔහු පැවසීය. හේගල්ගේ කථාව සැලසුම් කර තිබුනේ, “අස්ථාවර කිරීම...කාකොටාගැනීම් ඇවිස්සීම, ආරවුල් හා ගැටුම් ඇවිලවීම” වෙනුවෙන් යයි ඔහු පැවසීය.

එජ අධිරාජ්‍යවාදය චීනය මිලිටරිමය වශයෙන් වැටලීමට උත්සාහ කරයි. එහි එල්ලය වන්නේ, ආසියාව තුලත් ලෝක පරිමානවත් චීන ආර්ථිකයේ වර්ධනය මගින් එල්ල කර ඇති ආර්ථික හා දේශපාලන අභියෝග මැඩපැවැත්වීම සඳහා තවමත් එරට සතුව ඇති සුපිරි මිලිටරි ශක්තිය යොදාගැනීමයි. අවසාන විග‍්‍රහයේදී එහි එල්ලය, රට තුල කම්කරු පන්තියට එරෙහි ප‍්‍රහාර උත්සන්න කරන අතර තුර, 2008-09 කාලයේ හටගත් ධනේශ්වර අර්බුදයේ බරින් වැඩි පංගුව සිය එදිරිවාදීන් මත පැටවීමයි.

“ඇමරිකාව හැමවිටම ලෝක වේදිකාවේ නායකත්වය ගත යුතුය. අප නොගන්නේ නම් කිසිවෙකුත් නොගන්නවා ඇත.” යන ඔබාමාගේ වෙස්ට් පොයින්ට් කථාවේ කල සඳහන හේගල් ද සිංප්පූරුවේදී පුනරුච්ඡාරනය කලේය.

සමුලු සාකච්ඡාවේදී 01දා, රුසියානු නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇනටෝලි ඇන්ටනොව් “එක්සත් ජනපදය නායකත්වය ගත යුත්තේ මන් ද යන්න මට පැහැදිලි නැත. මෙහෙයවන්නේ කුමක් ද? කොතැනකට ද?” යන ප‍්‍රශ්න මතු කලේය.

කිසිදු සැකයකට ඉඩක් ඇත්තේ නැත. එජ අධිරාජ්‍යවාදය මානව වර්ගයා දක්කන්නේ, වෙන කවරදාකටත් වඩා න්‍යෂ්ටික තුන්වන ලෝක යුද්ධයක බිහිසුනු තර්ජනය ගෙන එන මිලිටරිවාදයේ නව ගැටුමක් කරාය.

බිල් වෑන් ඕකන්

Share this article: