ඩී-ඩේ සංවත්සරය-දෙවන ලෝක යුද්ධය සමරමින් තෙවැන්නට සූදානම් වීම

D-Day anniversary: Commemorating the Second World War and preparing the Third

2014 ජූනි 7

90 වසර පසුකරමින් සිටින හිටපු යුද ශිල්පීහු, බොහෝ විට අවසන් වරට, 06දා නෝමැන්ඩි වෙරලෙහි පෙනී සිටියේ, 20000ක් පමන මිත්‍ර පාක්ෂික මෙන්ම ජර්මානු සෙබලුන් ද එකිනෙකා මරාගත් ඩී-ඩේ සමරුමටය. 1944 වසරේ එම දිනයේදී පනබේරාගැනීමට වාසනාව තිබූ අය අතරින් 70 වන සංවත්සරයට එහි පෙනී සිටි අය, එසේ නොවූවන් පිලිබඳ මතකයෙන් චකිතයට පත්ව සිටියාට සැක නැත. මෙම බිහිසුනු අත්දැකීම තම මුලු තරුන ජීවිත කාලය පුරාම ඔවුන්ගේ මතකය තුල හොල්මන් කලා නිසැකය.

ලෝකයේ මනුෂ්‍ය ඝාතනයන් පිලිබඳ ඉතිහාසයේ දැවැන්තම අභ්‍යාසය වන, දෙවන ලෝක යුද්ධයේදී පන බේරාගත්, වයස්ගතව අභාවයට යන පුද්ගලයින් සමූහයකගේ සහභාගිත්වය සලකුනු කලේ, එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා මූලික ක්‍රියාකලාපයක් ඉටුකල, නිල උත්සවයන්ගේ අසීමිත කුහකත්වය පමනි.

නෝමැන්ඩියේ 70 වන සංවත්සරය තුල ඓතිහාසික උත්ප්‍රාසයන් බහුලය. පෙනී යන ආකාරයට, ෆැසිස්ට්වාදයට මාරක පරාජයක් සලකුනු කල උත්සවයට සූදානම් වෙද්දී, එජ ජනාධිපති යුරෝපීය සංචාරයක යෙදුනේ, නව නාසීන් විසින් පෙරමුන ගත්, එජ පිටුබලය ලත් කුමන්ත්‍රනයකින් බලයට පත්වූ යුක්‍රේනියානු තන්ත්‍රය සඳහා සහයෝගය ගොනුකිරීමටය. වොෂින්ටනයේ ද සහයොගය ඇතිව, මෙම අන්ත දක්ෂිනාංශික බලවේගයන්ම දැන් යොදාගනු ලබන්නේ, නැඟෙනහිර යුක්‍රේනයේ ජනතාවට එරෙහිව යුද අපරාධ සිදුකිරීමටය.

දෙවන ලෝක යුද්ධයේදී එජ හා එහි අනුචරයින්ගේ ප්‍රධාන සතුරාවූ ජර්මනිය හා ජපානය, රුසියාව හා චීනය වැටලීමේදී එජ අධිරාජ්‍යවාදයේ සහාය පිනිස යලි සන්නද්ධ කිරීමට, අද දිනයේදී වොෂින්ටනය උල්පන්දම් දෙයි. ජර්මනිය හා ජපානය යන දෙරටේම ඉතිහාසඥයෝ, දෙරටේම අධිරාජ්‍යවාදීන් සිදුකල අපරාධ යුක්තිසහගත කිරීම සඳහා දෙවන ලෝක යුද්ධය යලි හැඩගස්වමින් සිටිති.

ගසාකෑම හා වංචනිකත්වය යන දෙකටම සරිලන පුද්ගලික ප්‍රබන්ධ හා කිසිදු සැබෑ අන්තර්ගතයකින් තොරව කෙරෙන ඓතිහාසික සැඳහුම්, බොරු පුරසාරම් වලින් පිරී ගිය ඔමාහා වෙරලේදී පැවැත්වූ ඔබාමාගේ කථාව, එජ ජනාධිපතිටම සුවිශේෂ වූවකි.

“නාසි තුවක්කු” හා “හිට්ලර්ගේ තාප්පය” ගැන කෙරුනු කෙටි සැඳහුමකට වැඩිමනත්ව, 70 වසරකට පෙරාතුව කැපකිරීම් සිදුකිරීමට හේතුවූ කාරනය ගැන අන් කිසිවක් පැවසීමට ඔබාමාට නොහැකි විය. ඔහු තෝරාගත් ඉතිහාසය තුල, නෝමැන්ඩි ආක්‍රමනය සිදුවන කාලය වන විට වේමාක්ට් පාලනයට ස්ටැලින්ග්‍රෑඩයේදී මූලෝපායික පරාජයක් අත්කරදී තිබුන සෝවියට් සංඟමය ගැන කිසිදු සඳහනක් නොවීය. ජර්මානු හමුදාවන්ට සිදුකල හානි වලින් සියයට 80කටම වග කීවේ රතු හමුදාව වන අතර යුද්ධයේදී සෝවියට් මිනිසුන් මිලියන 26ක් මිය ගියේය.

ඔබාමාගේ කථාවේ වඩාත්ම විකාර සහගත කොටස වන්නේ සමහර විට, නෝමැන්ඩියේදී මුනගැසුනු, වයස්ගතවූ යුද ශිල්පීන් ගෙනගිය යුද්ධය, “සැප්තැම්බර් 11න් පසු” එජ මිලිටරිය හා ඇෆ්ගනිස්ථානයේ ද ඉරාකයේදී ඔවුන් ගෙනගිය යුද්ධ වලට සමාන කිරීමට දැරූ උත්සාහයයි. කිසියම් දවසක “අනාගත පරම්පාවන්....ඔවුන්ට ගෞරව දැක්වීමට මෙවන් ස්ථානවලට රැස්ව, ලෝකයම දැන සිටි නිදහස සඳහා වූ, හා වන, ශ්‍රේෂ්ඨතම බලවේගය ඇමරිකා එක්සත් ජනපදය බව යලි වතාවක් සනාථ කරන මිනිසුන්ගේ හා ගැහැනුන්ගේ පරම්පරාවන් මේ යයි කියනු ඇත.” ඔහු අනාවැකි පල කලේය.

මිලියනයකට වැඩි ඉරාක හා ඇෆ්ගන්වරු මරාදැමූ යුද්ධ වලින් එජ ගෙන දුන් “නිදහස” කුමක් ද? ෆලූජා, අබු ග්‍රයිබ්, හදිතා, බග්රම් සිපිරි ගෙය හෝ සිවිල් වැසියන්ට එල්ල කල නිමක් නැති ඩ්‍රෝන් ප්‍රහාරයන්හි, බෝම්බ හෙලීම් හා රාත්‍රී වැටලීම්වල දසුන් සහිත මෙම යුද්ධ සැමරීමට අනාගත පරම්පරාවන් රැස්වනු ඇත්තේ කුමන ස්ථාන වලට ද?

ඔබාමා කථාකරමින් සිටයදී, එජ මිලිටරිය වනාහි “බොරුකාරයින්ගේ, පිටුපස සිට පිහියෙන් අනින්නන්ගේ, මොඩයින්ගේ හා තරවටු කරන්නන්ගේ හමුදාවක්” ලෙස විස්තර කරමින්, තමන් “ඒ සියල්ල පිලිබඳව කනගාටුවන බව” ලියා තැබීමෙන් පසුව, ඇෆ්ගනිස්ථාන යුද්ධයෙන් බැහැරව යන බව පෙනීයන සාජන්ට් බෝවේ බර්ග්ඩාල් නිදහස ලැබීම පිලිබඳව එජ මාධ්‍යෙය් පලවෙමින් තිබූ දක්ෂිනාංශික ප්‍රීතිඝෝෂා මගින් ඔහුගේ යුරෝපීය සංචාරය වසා ගත්තේය.

එජ හා ජාත්‍යන්තර වැඩකරන ජනතාවගෙන් දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්වාදී ෆැසිස්ට්වාදය කෙරේ පලවූ උග්‍ර සතුරුකමට පින්සිදු වන්නට, තමන්ගේම මිලිටරිවාදය හා ගෝලීය බඩජාරිකම පුලුල් ප්‍රජාතන්ත්‍රීය ආයාචනයක් පිටුපස සඟවා ගැනීමට බොහෝකොටම ඇමරිකානු පාලක පන්තියට ඉඩ සැලසීය. අද දවසේ ඔවුන්ට එවන් කිසිදු විශ්වාසනීය ආයාචනයක් කිරීමේ හැකියාව නැත. ඇමරිකානු සංස්ථාපිතය මුහුනදී සිටින්නේ, සාජන්ට් බර්ග්ඩාල් කෙරෙහි අනුකම්පාව හා විදේශ මිලිටරි මැදිහත්වීම් කෙරෙහි සතුරු ජනතාවකටය.

එමෙන්ම දෙවන ලෝක යුද්ධය, පලමුවැන්ට වඩා ප්‍රජාතන්ත්‍රය සඳහා යුද්ධයක් හෝ ෆැසිස්ට්වාදයට එරෙහි කුරුස යුද්ධයක් නොවීය. එය වනාහි “සියලු යුද්ධ අවසන් කරන යුද්ධයකි.” නැතහොත් ඉරාක ආක්‍රමනය ත්‍රස්තවාදයට එරෙහි අරගලයක් වූවාසේමය. යුද්ධය කරා යොමුවූ කාල වකවානුව තුල බටහිර යුරෝපයේ හා එක්සත් ජනපදයේ ධනේශ්වරය, හිට්ලර් හා මුසෝලිනී වර්නනා කලහ. අධිරාජ්‍යවාදීහු, ඔවුන්ගේ ෆැසිස්ට් ආඥාදායකත්වයන් දැකගත්තේ, සමාජවාදී විප්ලවයට එරෙහි තාප්පයක් ලෙසය.

අවසානයේදී යුද්ධය, මූල්‍ය හා නිෂ්පාදන සමාගම්වල ලාභ අවශ්‍යතා වෙනුවෙන් ලෝක වෙලඳපොලවල් හා සම්පත් බෙදාගැනීම සඳහා එකිනෙකාට සතුරු ධනේශ්වර මහ බලවතුන් විසින් ගෙන ගිය අධිරාජ්‍යවාදී යුද්ධයක් විය.

මතුව එන පරස්පර විරෝධයන් විශ්ලේෂනය කරමින් ලියොන් ට්‍රොට්ස්කි 1934දී, සමාජවාදය පැතිර නොගියහොත් තවත් ලෝක යුද්ධයක් කරා ගමන නොවැලැක්විය හැකි බව, ලියා තැබීය. “එක්සත් ජනපද ධනවාදය, 1914දී ජර්මනිය ලෝක යුද්ධයේ මාවතට තල්ලු කල එම ගැටලු වලටම මුහුනපා සිටියි. ලෝකය බෙදී තිබේ ද? එය යලි බෙදිය යුතුය. ජර්මනියට එය ‘යුරෝපය සංවිධානය කිරීම’ පිලිබඳ ප්‍රශ්නයක් විය. එක්සත් ජනපදය මුලු ලෝකයම ‘සංවිධානය’ කල යුතුය. ඉතිහාසය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනි කන්දක් බඳු පිපිරීම ඉදිරියෙහි මානව වර්ගයා මුහුනට මුහුන ලා පිහිටුවමින් පවතී.”

මෙම වචනවල තීක්ෂන පෙරදක්නා සුලු භාවය ගතවන සෑම දිනක් පාසාම පැහැදිලි වන්නේය. සිය ආර්ථික ශක්තිය පාදක කරගනිමින් එජ අධිරාජ්‍යවාදයට දෙවන ලෝක යුද්ධයෙන් පසුව ධනේශ්වර ලෝකය ප්‍රතිසංවිධානය කිරීම සාර්ථක කර ගත හැකි වුව ද අද එය, තමන් මුහුනපා ඇති අර්බුදය මගින් තල්ලු වන්නේ, නැතිව ගිය සිය ආර්ථික බලය අත්පත්කර ගැනීමේ ව්‍යායාමයේදී මිලිටරි ශක්තිය මත ඔට්ටු තැබීමටය.

තම කථාවේදී ඔබාමා, “අපට සාමය දැකගත හැකිවූ යුද්ධයක් ගෙනයාම” වෙනුවෙන් රැස්ව සිටි යුද ශිල්පීන්ට ප්‍රසංශා කලේය. ඒ ක්ෂනයෙන්ම ඔහු, “අපගේ ලෝකයේ සාමය හා ආරක්ෂාව වෙනුවෙන් කැපවන” අද දවසේ එජ මිලිටරියට දේවාශීර්වාදය ප්‍රාර්ථනා කලේය.

දෙවන ලෝක යුද්ධයේ මෙම සංවත්සර උලෙලේදී “සාමය” පිලිබඳව කරන සියලු කථා මධ්‍යයේ එජ අධිරාජ්‍යවාදය හා ඔබාමා පාලනාධිකාරය, උමතු ලෙස සූදානම් කරන්නේ තුන්වැන්නයි.

සිය ආසියා-පැසිෆික් කලාපයට “හැරීමේ“ දී එජ, හිතාමතාම චීනය ප්‍රෙකා්ප කරන අතර ජපානය, ෆිලිපිනය හා කලාපයේ අනෙකුත් රටවල් මිලිටරි ගැටුමක කොන්දේසි නිර්මානය කිරීම කරා තල්ලු කරයි.

යුක්‍රේනයේ පාලන තන්ත්‍ර වෙනසක් කරා යොමුවූ එජ ව්‍යාපාරය තුලදී, රුසියාවේ දේශසීමාව දක්වාම නේටෝව මෙහෙයවමින් එරට සමග ගැටුමක් අවුලුවයි.

අවසාන වශයෙන් එහි අරමුනවී ඇත්තේ, කලාපීයව හා ජාත්‍යන්තරව එජ ආධිපත්‍යය තහවරු කර ගැනීම පිනිස රුසියාවේ හා චීනයේ බලය බිඳ, දෙරටම අර්ධ යටත් විජිත තත්වයකට පිරිහෙලීමය. අදූරදර්ශී ලෙස අනුයන මෙම මූලෝපායික අරමුනේදී එජ, න්‍යෂ්ඨික තුන්වන ලෝක යුද්ධයක් අවිලීමේ අවදානම මතු කරයි.

කෙසේ වුව ද ඔබාමාගේ තුන්දින යුරෝපීය සංචාරය, යම් ආකාරයක අවෘත අන්තරයක් බවට හැරී ඇත. රුසියාව සමග ගැටුමක් පතුරුවා හැරීමේ වොෂින්ටයේ පිලිවෙත සමග ගමන් කිරීමට යුරෝපීය බලවතුන්, විශේෂයෙන්ම ජර්මනිය හා ප්‍රන්සය, ප්‍රසිද්ධියේම වඩ වඩාත් අදිමදි කිරීම එහිදී හෙලිදරව් කෙරින.

“එජ සමග සිය සම්බන්ධකම් යලි සකසා ගැනීමේ අවශ්‍යතාවයට යුරෝපය මුහුනදෙයි.” යන ශීර්ෂය යටතේ ආනුභාවයක් සහිත ජර්මානු පුවත්පතක් වන ඩේ සෙයිට් 06දා පල කල තීරුවක මෙහි සුවිශේෂී ප්‍රකාශනය දැකගත හැකි විය. “යුක්‍රේනය හා රුසියාව වෙත යොමුවුනු එජ ප්‍රතිපත්තිය වේවා, ඇමරිකාවේ මහා මූලෝපාය වේවා, යුරෝපීය අවශ්‍යතාවන් සඳහා වැදගැම්මකට නැත.” යනුවෙන් එම ලිපිය අනතුරු අඟවයි.

වොෂින්ටනයේ ආක්‍රමනකාරිත්වය, චීන, රුසියානු, ඉරාන අක්ෂයක් සඳහා පදනම දමයි. එය, “වැදගත් වුවත් පිරිහෙමින් ඇති තෙල් වැනි අමුද්‍රව්‍ය කරා ප්‍රවිෂ්ටය සලසා ගැනීම සඳහා වඩාත් ආක්‍රමනකාරී විදෙස් පිලිවෙතක්, එනම් යුද්ධයේ පිලිවෙතක්, අනුගමනය කිරීමට බටහිරට බල කරයි.” යනුවෙන් ලිපියෙන් තර්ක කරයි. ඊට එරෙහිව ලිපිය අවධාරනය කරන්නේ, ජර්මනියේ අවශ්‍යතාවන් රැඳී පවතින්නේ “රුසියාව සමග යුරෝපයේ සම්බන්ධකම් සුරක්ෂිත කර ඟැඹුරු කිරීම මත” බවත් ඉරානය සමග ද එවැනිම සම්බන්ධකම් පවත්වාගැනීම මත බවත් ය.

නව ලෝක යුද්ධයක තර්ජනය පවතින්නේ, එජ අධිරාජ්‍යවාදය විසින් උසිගන්වනු ලබන රුසියාව හා චිනය සමග පමනක් නොව, එකෙක් අන් සියල්ලන් සමග රුදුරු ගැටුමකට ඇද දැමීමට තර්ජනය කරන, අඛන්ඩ ආර්ථික හා මූල්‍ය අර්බුදයේ කස පහර යටතේ, යුරෝපීය හා ඇමරිකානු අධිරාජ්‍යවාදීන්ගේ එකිනෙකට සතුරු අවශයතා තුල ද වේ.

වසර 100කට පසුව තුන්වන වතාවට ද මනුෂ්‍ය වර්ගයා, 1914 හා 1939 ආරම්භවූ ලෝක යුද්ධ වලට වඩා අතිශයින්ම බිහිසුනු ගෝලීය අධිරාජ්‍යවාදී ගැටුමක තර්ජනයට මුහුනපා සිටියි. තේරීම වන්නේ සමාජවාදය ද ම්ලේච්ඡත්වය ද යන්නයි.

ජාත්‍යන්තර සමාජවාදී විප්ලවයෙන් පරිබාහිරව නව අධිරාජ්‍යවාදී යුද්ධයක් වැලැක්විය හැකි අන් මගක් නැත. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැඟීම තුලින් කම්කරු පන්තියේ නව විප්ලවවාදී නයකත්වයක් ගොඩනැඟීමයි.

බිල් වෑන් ඕකන්

Share this article: