ආර්ථිකය වැටෙයි, වෝල් වීදිය නඟියි

Economy slumps, Wall Street booms

2014 ජූනි 20

ෆෙඩරල් රිසර්ව් මහ බැංකුව 18දා, 2014 වර්ෂය සඳහා එක්සත් ජනපදයේ ආර්ථික වර්ධන ඉලක්කය කපා හැරි අතර වාර්ෂික වර්ධනය පිලිබඳ එහි දිගු කාලීන තක්සේරුව පශ්චාත් දෙවන ලෝක යුද්ධ සාමාන්‍යය වූ සියයට 3.3කට බෙහෙවින් අඩු සියයට 2 තරම් මට්ටමකට කප්පාදු කලේය. එය වනාහි, වසර හයක විරැකියාවක් ද පහත වැටෙන වැටුප් ද අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා මෙන්ම අනෙකුත් වැදගත් සමාජ වැඩසටහන් කපාහැරීම ද හමුවේ, ජනගහනයේ විශාල බහුතරයක් සඳහා කිසිම සහනයක් පොරොන්දු නොවන දැක්මකි.

මහ බැංකුවේ තක්සේරුව, ආර්ථික වැටීම හා පිරිහෙන ජීවන තත්වයන් රටේ ජනසමූහය තුලින් පහව නොයන බවට දුන් සහතිකයකට සමානය.

අඳුරු තක්සේරුව, මෑත දිනවල නිකුත් කල තවත් ආර්ථික වාර්තා දෙකක් සමග සම්පාත වේ. පසුගිය සතියේදී ලෝක බැංකුව, මේ වර්ෂයේ ගෝලීය වර්ධනය පිලිබඳව එය කලින් පලකල අනාවැකිය වන සියයට 3.2ක අනුපාතය 2.8 දක්වා ද අදාල කාලයන් සඳහා පල කල එජ වර්ධන අනුපාතය සියයට 2.8 සිට 2.1 දක්වා පහත දැමීම ද වාර්තා කලේය. 16දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එජ සඳහා වන සිය තක්සේරුව සියයට 2.8 සිට 2.0 දක්වා පහත දැමීය.

එජ විරැකියාව සාමාන්‍ය මට්ටම් කරා පැමිනීම, අවම වශයෙන් 2017 වන තෙක් ප්‍රමාද වනු ඇති බව ජාමූඅ පැවසා ඇත.

බදාදා දිනය තුල ස්ටෑන්ඩර්ඩ් හා පුවර්ස් 500 කොටස් දර්ශකය වාර්තාගත ඉහලකට නඟිමින් ද ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 98න් ඉහල නඟිමින් ද වෝල් වීදිය මහ බැංකුවේ තක්සේරුව හා ප්‍රතිපත්ති ප්‍රකාශනයට, ප්‍රතිචාර දැක්වීය. හේතුව වටහා ගැනීම දුෂ්කර නොවේ.

ලෝකය පුරා මහ බැංකු හා ආන්ඩුවල ප්‍රතිපත්තිය සමග එක්වෙමින් ෆෙඩරල් මහ බැංකුව, තවත් වසරක්වත් ගතවන තෙක් මුලුමනින්ම පාහේ අසීමිත හා පහසු නය මූල්‍ය පද්ධතිය තුලට අඛන්ඩව පොම්ප කිරීමට අදහස් කරන බව පැවසීය. තමන් මහ බැංකුවේ අරමුදල් පොලිය, තවත් මාස ගනනක් යන තෙක්, වර්තමානයේ පවතින සියයට 0.25 මට්ටමේ පවත්වාගෙන යන බවත්, අසාමාන්‍ය පහත් පොලී අනුපාතය අනිශ්චිත කාලයකට පවත්වාගෙන යන බවත්, බැංකුකරුවන්ට හා සමපේක්ෂකයින්ට සහතික වූ දින දෙකක් පැවති මහ බැංකු රැස්වීමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය සමලුවකදී බැංකු සභාපති ජැනට් යෙලන් පැවසීය.

2008 සැප්තැම්බරයේ යටගත් අර්බුදයේ පහතම මට්ටමේ පටන් වසර පහක් ගෙනගිය, මූල්‍ය වංශාධිපතියන් වෙත පොදු අරමුදලින් සහන සැලසීමේ මෙම නිශ්චිත ප්‍රතිපත්තිය, ජනගහනයේ අති මහත් බහුතරයකගේ ජීවන තත්වයන් පිරිහෙමින් තිබියදී හා සමස්ත ආර්ථිකය පසුබෑමක වෙලී තිබියදී පවා, බැංකුකරුවන්ගේ හා විධායකයින්ගේ වාසනාව පිම්බූ,කොටස් වෙලඳපොල අගය තෙගුනයකින් පමන ඉහල දැමීමට සමත් විය. සාමාන්‍ය එජ කුටුම්භයක ආදායම 2007-2012 අතර කාලය තුල සියයට 8.2න් පහත වැටුනි.

බලාපොරොත්තුවූ පරිදි මහ බැංකුව, සිය ඊනියා “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහන, තවත් ඩොලර් බිලියන 10න් අඩු කලේය. මාධ්‍යයට කල සිය ප්‍රකාශයේදී යෙලන්, එම වැඩසටහන අවසන් වුවත්, පොලී අනුපාත බිංදුවට ආසන්න මට්ටමේ පවතිනු ඇති බව අවධාරනය කලාය.

සමස්ත ආර්ථිකයේ මන්දගාමී තත්වයට අසම්බන්ධිතව කොටස් වෙලඳපොලවල සිදුව ඇති විශ්මිත වර්ධනය, “අධි තක්සේරුවක්” නොවේ යයි ඇය තවදුරටත් පැවසුවාය. වෙනත් වචන වලින් පැවසුවහොත්, වෝල් වීදිය උත්සුකවන තාක් දුරට එන්නත දිගටම ලැබෙන බවයි.

දින දෙකකට පෙර ජාමූඅ විධායක අධ්‍යක්ෂ ක්‍රිස්ටීන් ලැගාඩි, පොලී අනුපාතයේ සුලු නැඟීමක් පටන් ගනු ඇතැයි මූල්‍ය වෙලඳපොලවල් විශ්වාස කරන 2015 මැද වනතෙක් මහ බැංකු පොලී අනුපාත, වර්තමානයේ පවතින මට්ටමේ පවත්වාගන්නා ලෙස ඉල්ලා සිටියාය. මූල්‍ය වෙලඳපොලවල අස්ථාවරත්වය ගැන අනතුරු ඇඟවීමක් ලෙස, බැංකු හා ආරක්ෂක අරමුදල් වෙත නොමිලයේ මුදල් ගලායාම මහ බැංකු විසින් දිගටම පවත්වාගත යුතු යැයි ඇය ඉල්ලා සිටියාය.

රැකියා නිර්මානය කිරීමටත් විරැකියාව පහත හෙලීමටත්, ධනය සමාජයේ පහල සිට ඉහලට යලි බෙදාහැරීමේ ක්‍රමානුකූල පිලිවෙත අවශ්‍ය වන්නේය යන්න සඳහා යෙලන්, ලැගාඩි හා එවැනි අනෙක් අය යුක්තිසහගත භාවයක් අත්කර දෙයි. මෙය නම් අමූලික වංචාවකි.

මූල්‍ය පද්ධතිය තුලට මුදල් පොම්ප කිරීම නිෂ්පාදන ආයෝජනයන්ගේ හා සාධාරන වැටුප් ගෙවන රැකියාවන්ගේ ප්‍රසාරනයකට තුඩුදී නැති බව ඔවුහු හොඳාකාරවම දැන සිටිති. පොදු අරමුදල් පිටතට හැරවීමෙන් වාසි ලබන මහා ආයෝජකයින් හා බැංකුකරුවෝ, සිය වාසනාව කම්හල් හා පාසැල් ගොඩනැඟීම සඳහා යෙදවීමේ කිසිදු අවශ්‍යතාවක් නොදකිති. පසුගිය සය වසර පුරා සිදුව ඇත්තේ ආන්ඩුවේ ඇපදීම් හා මහ බැංකුවේ සහනාධාර, සුපිරි ධනවතුන්ගේ බැංකු ගිනුම් තරකිරීමටත්, කොටස් අගයන් නැංවීමට මෙන්ම, මූල්‍ය වංචාවේ අදූරදර්ශී හා සාපරාධී රූපාකාරයන් කරා තව තවත් අරමුදල් ගලායාමටත්ය.

මෙහි ප්‍රතිපල වශයෙන් සිදුව ඇති ආන්ඩුවල නය පියවාගැනීම සඳහා මෘග කප්පාදු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමෙන්, සමාජ සේවා, රැකියා, වැටුප්, විශ්‍රාමික දිමනා හා කම්කරු පන්තියේ ජීවන තත්වයන් විනාශභාග් කර ඇත. 2007-2012 අතර කාලයේ එජ ආන්ඩුවේ වියදම් හා පොදු ආයෝජන සියයට 8ක තරම් මට්ටමකින්, සියවස් භාගයකටත් වැඩි කාලයක සිදුව ඇති විශාලම පරිහානියට මුහුන පෑවේය. ව්‍යාපාරික ආයෝජන අවමයට පත්ව ඇත.

මූල්‍ය පැලැන්තිය වෙත දැවැන්ත පරිමාවකින් සමාජ ධනය හරවා යැවීම පසෙකින්, ජාමූඅ, ලෝක බැංකුව හා මහ බැංකුව, “රැකියා නිර්මානයේ” හා “තරඟකාරිත්වයේ” නාමයෙන් කම්කරුවන්ගේ අතීත සමාජ සහන හා ආරක්ෂක විධි විධාන දිගටම කැපිය යුතු බව කියා සිටිති. ආහාර හා ඉන්ධන පිරිවැය පිරිමසාගැනීමට සපයන ලද ආන්ඩුවේ සහන කැපීමටත් රජය සතු කර්මාන්ත පුද්ගලීකරනයටත් ඉල්ලීම් කරන අතරතුර ලෝක බැංකුව ජූනි 10දා සිය ගෝලීය ආර්ථික බලාපොරොත්තු වාර්තාවේ මෙසේ පැවසීය. “බාහිර මූල්‍ය තත්වයන් දැඩි වීමක හා අභියෝගාත්මකව පවතීයයි බලාපොරොත්තු වන ලෝකයක, අනාගත වර්ධනය වඩ වඩාත් දුවවනු ලබන්නේ පලදායිතාව හා තරඟකාරිත්වය නැංවීමේ දේශීය ව්‍යායාමයන් මගිනි.”

පාලක ප්‍රභූවේ මූල්‍ය මෙහෙයුම් සංලක්ෂිත වන අර්ධ සාපරාධී හා සමාජීයව විනාශකාරී එම ක්‍රමෝපායන් සිය ප්‍රකාශනය අත්කර ගන්නේ, අධිරාජ්‍යවාදී ආන්ඩුවල යුදවාදී විදෙස් පිලිවෙත් තුලය. ඉරාකයේ, ලිබියාවේ, සිරියාවේ හා මැද පෙරදිග පුරා එජ යුද්ධයේ හා යටත් කිරීමේ නිමැවුමක් වන ඉරාකයේ බිඳවැටීම, තෙල් මිල ඉහලට තල්ලු කරමින් එජ ආර්ථිකය තවදුරටත් පීලිපන්නවනු ඇතැයි මේ සතියේ ලැගාඩි අනතුරු ඇඟවූවාය.

යුක්‍රේනය හා ඉරාකය වැනි තැන්වල එජ ප්‍රතිපත්තිය මඟින් නිර්මානය කර ඇති අර්බුදය හා කොටස් මිල ගනන් හා අනෙකුත් මූල්‍ය වත්කම්වල උද්ධමනය, ආහාර හා ඉන්ධන මිල නංවා ඇති තතු හමුවේ, එජ වැඩකරන ජනතාවට දැනටමත් පහර වැදී ඇත. 2008 පටන් වසරේ මේ කාලය වන විට සාමාන්‍ය ජාතික පෙට්‍රල් මිල එහි ඉහලම මට්ටමට පැමින ඇත. එජ ප්‍රාන්ත වලින් අඩකටත් වැඩි සංඛ්‍යාවක්, ඉහල නඟින පෙට්‍රල් මිල ගැන වාර්තා කර තිබේ. හරක් මස්, ඌරු මස්, කුකුල් මස්, බිත්තර හා කිරි ආහාර මිල ගනන් සියල්ල පසුගිය වසරට සාපේක්ෂව තියුනු ලෙස ඉහල ගොස් තිබේ.

පසුගිය සතියේදී ජාමූඅ, ප්‍රධාන රටවල් ගනනාවක දේපොල මිල ඉහල යාම,තවත් මූල්‍ය කඩාවැටීමක අවදානම වැඩිකර තිබෙන බවට අනතුරු ඇඟවීය. බැංකු පද්ධතිය තුලට මුදල් එන්නත් කිරීමෙන් පටන්ගෙන ජාමූඅ හඳුන්වා දුන් එම ප්‍රතිපත්තීන්ම අනිවාර්යයෙන්ම පුපුරා යාමට නියමිත වත්කම් බුබුලු පුම්බා ඇත.

මෙම සියලු ආයතන ආරක්ෂා කිරීමට වෑයම් කරන පාලක පන්තියේ පද්ධතිය වන ධනවාදයේ ආවෘත අන්තරය, (dead end) මෙම ප්‍රතිවිරෝධතා මගින් පිලිබිඹු කරයි. එය වනාහි, සුලු සංඛ්‍යාවකින් යුතු මූල්‍ය වංශාධිපතිත්වයේ පෞද්ගලික වාසි, වාර්තාගත ව්‍යාපාරික ලාභ, පිම්මේ ඉහල යන කොටස් වෙලඳපොලවලට මූල්‍ය සම්පාදනය පිනිස සමාජ සම්පත් කොල්ලකැම මගින් උත්සන්න කෙරී ඇති, මිනිසාගේ නිෂ්පාදන බලවේගයන්හි දිරාපත්වීම හා පල්වීම සමග අත්වැල් බැඳගෙන, මානව කාලකන්නිකමේ දැවැන්ත සමූහයක් නිර්මානය කර ඇති පද්ධතියකි. ධනේශ්වර ක්‍රමයේ සදාචාරමය හා ඓතිහාසික බංකොලොත්කම හා අතාර්කිකත්වය කැටිකර දක්වන නිතර සඳහන් කරන එක් සංඛ්‍යාලේඛනයක් නම්, අද දවසේ ප්‍රකෝටිපතියන් 85ස් දෙනෙක් ලෝක ජනගහනයේ පහල සියයට 50, එනම් බිලියන 3.5ක ජනතාව සතු ධනයට සමාන ධනයක්, එනම් ඩොලර් ට්‍රිලියන 1.68ක් හිමිකරගන්නේය යන්නය.

මෙම තත්වය, ආර්ථිකව හෝ දේශපාලනිකව තිරසාර නැත. බොහෝ දෙනෙකුගේ වියදමෙන් කිහිප දෙනෙක් තව තවත් පොහොසත් කරවන එකම සිතුවිල්ලක් සහිතව පවතින පද්ධතියක ආකෘතිය තුල, තමන්ට ගැලවීමේ මාවතක් නොමැත්තේය යන වැටහීම කරා, එජ මෙන්ම ජාත්‍යන්තරව ද වඩ වඩාත් කම්කරුවන් පැමිනෙමින් සිටියි.

හැරීම ගත යුතුව ඇත්තේ, කම්කරු පන්ති ජනතාවගේ එලඹෙන අරගලයන් ඉල්ලා සිටින සමාජවාදී හා ජාත්‍යන්තර ක්‍රියාමාර්ගයක් සහිත විප්ලවවාදී නායකත්වයක් ගොඩනැගීම දෙසටයි.

බැරී ග්‍රේ

Share this article: