යුකේ‍්‍රන අර්බුදය මුල්කරගෙන ජපානයේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු අඩාල වෙයි

Japan’s diplomacy in shambles over Ukraine crisis

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2014 මාර්තු 07

ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ පෙබරවාරි 22 කුමන්ත‍්‍රනයෙන් පසුව හදිසියේ උද්ගතවූ යුකේ‍්‍රන අර්බුදය මගින්, ජපන් රාජ්‍යතාන්ත‍්‍රික කටයුතු අවුලකට ඇද දමා ඇත. එක්සත් ජනපදයේ මෙහෙයවීම යටතේ රුසියාව සමග ඇතිව තිබෙන ආක‍්‍රමනකාරී ගැටුම සමග නිල වශයෙන් ජපන් ආන්ඩුව එක්ව සිටින නමුත් පසුගිය වසර පුරා මොස්කෝව සමග සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට අගමැති ෂින්සෝ අබේ අඛන්ඩව දරන ලද රාජ්‍යතාන්ත‍්‍රික උත්සාහයට එමගින් වල කපා ඇත.

වොෂින්ටනයෙන් යෙදෙන පීඩනය හමුවේ ජපානය, ජූනි මාසයේ සෝචිහි පැවැත්වීමට නියමිතව තිබූ ජී-8 සමුලුවේ සුදානම් කටයුතු අත්හිටුවමින්, 02දා නිකුත් කල එක්සත් ජනපද, ප‍්‍රන්ස, ජර්මන්, බි‍්‍රතාන්‍ය, ඉතාලි හා කැනඩා ජී-7 ප‍්‍රකාශනයට අත්සන් තැබීය.

යුකේ‍්‍රනය තුල රුසියාවේ කටයුතු ජී-8 මූලධර්ම බැහැර කිරීමක් ලෙස හෙලාදුටු ප‍්‍රකාශනය, තමන් “යුකේ‍්‍රනයේ පරමාධිපත්‍ය හා භෞමික අඛන්ඩතාවයට” සහාය දක්වන බව කියා සිටියි. එය වනාහි යුකේ‍්‍රනයේ ෆැසිස්ට්වාදී පක්ෂ සමග සහයෝගිතාව ද ඇතුලු තම අභිමතය පරිදි එක්සත් ජනපදය කඩකරන “මූලධර්මයයි.”

අර්බුදය සම්බන්ධ ජපානයේ ප‍්‍රකාශ වඩා ප‍්‍රවේශම් සහගතය. “යුකේ‍්‍රනයේ අර්බුදය සාමකාමී ආකාරයකින් විසඳාගැනීම” පිලිබඳව අබේ, 03දා සිය බලාපොරොත්තු පල කලේය. යුකේ‍්‍රන පරමාධිපත්‍යයට ගරු කරන ලෙස ඉල්ලා සිටින අතරම ඔහු, “උත්සුක වන රටවල්, ආත්ම පාලනයක් හා වගකීමක් සහිතව, ප‍්‍රවේශමෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාවය පෙන්වාදුන් නමුත් රුසියාවේ කටයුතු හෙලාදුටුවේ නැත. ඩ

කෙසේ වෙතත්, ප‍්‍රවේශමෙන් සකස් කල නිල ප‍්‍රකාශයන් පිටුපස, සැලකිය යුතු තැතිගැන්මක් පවතියි. එක් තානාපති ආරංචි මාර්ගයක් රොයිටර් වෙත මෙසේ පැවසීය. “ඔවුන් සිටින්නේ තිගැස්මට පත්වූ තත්වයකිනි...එය ජපාන ආන්ඩුවට විශාල හිසරදයක්ව ඇත.”

ජපානයේ අසාහි ෂින්බුන් පුවත්පත 04දා පලකල ලිපියක් තුල, උනුසුම් සම්බන්ධකම් පලූදු නොවීමට වගබලා ගනිමින් අබේ, රුසියාව ගැන විවේචන යටපත් කිරීමට උත්සාහ කරන බව සඳහන් කරයි. එහෙත් ජපන් ආන්ඩුවේ ඉහල පෙලේ නිලධාරියෙකු පැහැදිලි කලේ, ටෝකියෝවට වොෂින්ටනයෙන් හුදෙකලා විය නොහැකි බවයි. “ජපානය රුසියාවට පක්ෂපාති ආස්ථානයක් ගතහොත්, එක්සත් ජනපද ජපාන සන්ධානය බිඳවැටෙන්නේය.” ඔහු එක එල්ලේ එසේ පැවසීය.

අබේ බලයට පත්වූ 2012 දෙසැම්බරයේ පටන්, එක්සත් ජනපදය සමග සන්ධානය ඔහුගේ රාජ්‍යතාන්ත‍්‍රික මූලෝපායේ මූලික කොටසක්ව තිබුනි. ආක‍්‍රමනකාරී රාජ්‍ය තාන්ත‍්‍රික පියවරයන් හා කලාපය පුරා මිලිටරි තරකිරීම් තුලින් චීන අනුහසට වල කැපීමට වෙර දරන ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” වැඩපිලිවෙලට ඔහු මුලුමනින්ම පිටුබලය දුන්නේය. වොෂින්ටනයේ අනුබලය ඇතිව අබේ, නැගෙනහිර චීන මුහුදේ මතභේදයට ලක්ව ඇති දිවයින් අරභයා මෙන්ම, නැගෙනහිර ආසියාවේ ජපන් අනුහස පතුරුවා ගැනීමේ උත්සාහයක් ලෙස, විශේෂයෙන්ම තවත් එක්සත් ජනපද සහචරයෙක් වන ෆිලිපීනය සමග බැඳීම් තරකරගැනීම මගින් චීනය මත පීඩනය දැඩිකර ඇත.

ඒ සමගම අබේ, රුසියාව සමග සබඳතා වැඩිවර්ධනය කරගැනීමට සැලකිය යුතු උත්සාහයක් දරා ඇත. පසුගිය අපේ‍්‍රල් මාසයේ ඔහු රුසියාවේ සංචාරයක යෙදීමත් සමග දශකයක් තුල එහි ගිය පලමු ජපන් අගමැති බවට පත් විය. ඉන් පසුව ඔහු තවත් සිව් වතාවක් රුසියානු අගමැති ව්ලැඩිමීර් පුටින් හමුවී ඇත. ඔබාමා හා බොහෝ යුරෝපීය නායකයින්, රුසියාවේ “මානව හිමිකම්” පිලිබඳව විරෝධය පලකිරීමක් ලෙස, මෑතකදී සෝචිහි පැවති ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය වර්ජනය කරද්දී අබේ, ඊට සහභාගී වී පුටින් හමුවිය. මේ වසරේ අග භාගයෙහි පුටින් ජපානයේ සංචාරය කිරීමට එකඟ වී ඇත.

රුසියාව සමග සබඳතා වර්ධනය කරගැනීමේ අබේගේ අධිෂ්ඨානය, මූලෝපායික හා ආර්ථික යන දෙඅංශයෙන්ම පොලඹවනු ලබයි. ඔහුගේ ආන්ඩුව චීනය සමග ගැටුමක් අවුලුවා ගනිද්දී, බීජිං හා මොස්කෝව අතර මූලෝපායික හවුලක් හෝ සන්ධානයක් ඇතිවීම වැලැක්වීමට අබේ උත්සාහ දරයි. ජපානය තමන්ගේ ප‍්‍රති මිලිටරීකරනය, දැන් රුසියාව වන පැරනි සෝවියට් සංගමයට එරෙහිව සීතල යුද්ධයේ පාර්ශවයක් ලෙස උතුරේ රඳවා තැබූ මිලිටරිය මාරුකරන මූලෝපායක් මත දෙනු ලබන ප‍්‍රතිඥාවකි. එය චීන භූමියට ප‍්‍රති විරුද්ධ දකුනු දිශාවේ “දිවයින් ආරක්ෂාව” බවට පත්කර ඇත.

පසුගිය මාසයේ අබේ, ජපානයට උතුරෙන් පිහිටි දිවයින් හතරක් මුල්කරගෙන රුසියාව සමග කාලයක් තිස්සේ පවතින භෞමික ගැටලු නිරාකරනය කර ගැනීමට දිව්රුම් දුන්නේය. දෙවන ලෝක සංග‍්‍රාමය අවධියේ පැරනි සෝවියට් හමුදාව විසින් අල්ලාගෙන තිබුනු දිවයින් එතැන් පටන්, දෙරට අතර නිල සාම ගිවිසුමක් අත්සන් තැබීම අවහිර කල බාධකයක් ලෙස පැවතුනි. විසඳුම බෙහෙවින් අපැහැදිලිව පවතිද්දීම අබේ, අගමැති වශයෙන් සිය කාලය තුල එම ප‍්‍රශ්නය විසඳනු ලබන බව අවධාරනය කර ඇත.

සයිබීරියාවේ රුසියානු බලශක්ති සම්පත් කරා ප‍්‍රවිෂ්ටයක් සලසා ගැනීම ද ජපානයේ අවශ්‍යතාවක් ලෙස පවතී. එරට න්‍යෂ්ටික බලාගාර වසා දමා ඇති තත්වය තුල ජපානයට, පසුගිය වසරේ ඩොලර් බිලියන 500 ඉක්මවූ තෙල් හා ගෑස් ආනයන ඉහල නැංවීමට බලකෙරී ඇත. ජපානය රුසියාවෙන් ආනයනය කරන ස්වාභාවික ගෑස් ප‍්‍රමානය සියයට 10න් වර්ධනය කරගෙන ඇති අතර පසුගිය වසරේදී රුසියාවෙන් ගෙන්වූ තෙල් ප‍්‍රමානය සියයට භාගයේ සිට 07 දක්වා වැඩිකරගෙන තිබේ.

යුරෝපයට කරන සිය බලශක්ති අපනයන මත රැඳී සිටින තත්වය අඩුකර ගැනීමට රුසියාව උත්සාහ කරන අතර ආසියාව තුල වෙලඳපොලවල් පුලුල් කර ගැනීමට උනන්දුවෙන් සිටියි. සයිබීරියාවේ ගෑස් බිම් සංවර්ධනය කිරීම හා ව්ලැඩිවොස්ටොක් කරා ගෑස් නල මාර්ගයක් ඉදිකිරීම මෙන්ම එම වරාය බද නගරය ආසන්නයේ ගැස් කම්හලක් ඉදිකිරීම ද ඇතුලු බලශක්ති ව්‍යාපෘතීන් සඳහා ජපානයේ තාක්ෂනික හා මූල්‍ය සහාය රුසියාව බලාපොරාත්තු වෙයි.

යුකේ‍්‍රනය මුල්කරගෙන රුසියාව සමග ඔබාමා පාලනාධිකාරයේ ගැටුම, දැන් පුටින් සමග අබේගේ රාජ්‍ය තාන්ත‍්‍රික කටයුතු ප‍්‍රශ්නයට බඳුන් කරයි. පසුගිය මාසයේ ෆැසිස්ට් වාදීන් මෙහෙයවූ කුමන්ත‍්‍රනයෙන් බලයෙන් පහකල රුසියාවට පක්ෂපාතී යුකේ‍්‍රන ජනාධිපති වික්ටර් යනුකොවිච් හා අනෙකුත් නිලධාරීන්ට එරෙහිව, එක්සත් ජනපදය හා යුරෝපා සංගමයේ සම්බාධක පැනවීමට සම්බන්ධවීම ද ඇතුලු රුසියාවට එරෙහි සිය ආස්ථානය දැඩි කරන ලෙස ඔබාමා යොදන පීඩනය යටතේ අබේ කටයුතු කරන බව නිසැකය.

බලශක්ති අපනයන ද ඇතුලු ආර්ථික සම්බාධක එක්සත් ජනපදය විසින් තවත් පුලුල් කරනු ඇතැයි අබේගේ ආන්ඩුව, පැහැදිලිවම කනස්සල්ලට පත්ව සිටියි. මේවා යුරෝපා ආර්ථිකයන් මත පමනක් නොව ජපානයට ද බරපතල ලෙස බලපානු ඇත. වොෂින්ටනයේ ප‍්‍රකෝපකාරී හා අදූරදර්ශී ක‍්‍රියා, ජපානය ද ඇතුලු ප‍්‍රධාන බලවතුන් සියල්ලන් ඉක්මනින්ම ඇදගත හැකි හා පැතිර යා හැකි යුද්ධයක් අවුලුවාලීමට ද තර්ජනය කරයි.

ජපාන වෙලඳ ඇමති ටොෂිමිට්සු මොටේගි 06දා, “ජපානය හා රුසියාව අතර ආර්ථික හා සම්පත් පිලිබඳ රාජ්‍යතාන්ත‍්‍රික කටයුතුවල දිශාවෙහි කිසිදු වෙනසක් ඇත්තේ නැති” බව පැවසීය. ඊට පෙර දිනයේ විදේශ ඇමති ෆුමියෝ කිෂිඩා පැවසුවේ, රුසියාව සමග ඇති රාජ්‍ය තාන්ත‍්‍රික න්‍යාය පත‍්‍රයේ කිසිදු සංශෝධනයක් සිදුව නැති බවයි. එහෙත් ජපානය තත්වය සමීපව නිරීක්ෂනය කරන බව ද ඔහු පැවසීය. එමෙන්ම පුටින්ගේ ජපාන සංචාරය ද වෙනස් නොවේ. අබේ ජී-8 සමුලුවේදී රුසියානු අගමැති හමුවීමට සැලසුම් කර ඇති අතර කිෂිඩා උතුරු වසන්තය කාලයේ මොස්කෝවට යනු ඇත.

යථාර්තය නම්, ඔබාමා පාලනාධිකාරය යුකේ‍්‍රනයට කරන යුදවාදී මැදිහත්වීම් හමුවේ මේ සියලු සැලසුම් කුඩුපට්ටම් වනු ඇතැයි යන්නය.

Share this article: