යුක්රේනයේ කුමන්ත්‍රනය: ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි

Coup in Ukraine: A warning to the international working class

2014 පෙබරවාරි 25

යුක්රේනයේ මෑත සිදුවීම් ජාත්‍යන්තර කම්කරු පන්තියට අනතුරු ඇඟවීමකි. දේශපාලන සිදුවීම්වල දී කම්කරු පන්තියට ස්වාධීනව මැදිහත්වීමේ හැකියාව ලබා දෙන ඉදිරිදර්ශනයක් හා පක්ෂයක් යන දෙක ම නැති තත්වයක් යටතේ යුක්රේනය තුල තත්වය වර්ධනය වී ඇත්තේ අත්‍යන්තයෙන් ම ප්‍රතිගාමී දිසාවකට ය.1945දී හිට්ලර්ගේ තුන්වැනි රීකය ඇදවැටීමෙන් පසු යුරෝපය තුල සිතාගැනීමටවත් නො හැකිව තිබූ දේ අතීතය බවට පත්ව ඇත: එක්සත් ජනපදය හා ජර්මනිය කුරිරු ලෙස රට අස්ථාවර කල අතර ෆැසිස්ට්වාදීන් එහි තීරනාත්මක බලවේගය බවට පත්ව ඇත.

යුරෝපා සංගමය සමග ඒකාබද්ධවීමේ ගිවිසුමක් අත්සන් කිරීම ජනාධිපති වික්ටර් යනුකොවිච් විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග පසුගිය නොවැම්බරයේ දී අර්බුදය ගිනි ඇවිලිනි. වොෂින්ටනයට හා බර්ලිනයට මෙය පිලිගත නො හැකි විය. තියෝ සොමර් ඩයී ෂීයිට් හි සඳහන් කල පරිදි පරදුවට තැබුනු ප්‍රශ්නය වූයේ "යුරෝපා සංගමයේ නැගෙනහිර සීමාව කොතැනක විය යුතු ද හා රුසියානු ආනුභාවයෙහි බටහිර සීමාව කොතැනක විය යුතු ද” යන්න යි.

යනුකොවිච්ට එරෙහිව පෙලපාලි සංවිධානය කල යුරෝපා සංගමයට ගැති විපාර්ශ්වයට එක්සත් ජනපදය හා ජර්මනිය ක්‍රමානුකූලව සහයෝගය දුන්නේය. ජර්මානු ක්‍රිස්ටියන් ඩෙමොක්‍රටික් පක්ෂය සමග කිට්ටු සම්බන්ධකම් සහිත දක්ෂිනාංශික පක්ෂ දෙකක් වන ජූලියා ටයිමොෂෙන්කෝගේ පීතෘභූමි හා විටාලි ක්ලිට්ස්කෝ ගේ යූඩීඒආර් පක්ෂවලට අමතරව ඔලේ ට්යානයිබොක් ගේ ෆැසිස්ට්වාදී ස්වබෝදා පක්ෂය ද විපාර්ශ්වයට ඇතුලත් වුනි.

ෆැසිස්ට්වාදී ස්වබෝදා පක්ෂය නව- ෆැසිස්ට්වාදී සංකේත යොදා ගන්නා අතර විදේශිකයන්ට, යුදෙව්වන්ට, හංගේරියානුවන්ට හා පෝලන්ත ජතිකයන්ට එරෙහිව උද්ඝෝෂනය කර යි. එය ප්‍රන්ස ජාතික පෙරමුන සමග කිට්ටු සම්බන්ධකම් පවත්වාගෙන යන අතර ලෝක යුදෙව් සමුළුව විසින් එය අන්ත දක්ෂිනාංශික ග්‍රීක ගෝල්ඩන් ඩෝන් (ස්වර්නමය උදෑසන) හා හංගේරියානු ජොබික් සංවිධාන සමග සන්සන්දනය කරනු ලබයි. එහෙත් ඒ කිසිවක් එක්සත් ජනපදයේ හා ජර්මනියේ විදේශ ඇමතිවරුන්ට ප්‍රසිද්ධියේම ට්යානයිබොක් වැලඳගැනීමට බාධාවක් නොවීය.

කෙසේ නමුත් විරුද්ධ පාර්ශ්වයේ ආරම්භක පෙලපාලි වලට, යනුකොවිච්ගේ ඉල්ලා අස්වීම සඳහා බලපෑම් කිරීමට හැකි වූයේ නැත. මෙම අවස්ථාවේ දී, පැරාමිලිටරි ෆැසිස්ට් කන්ඬායම් බලමුළු ගන්වමින් ගැටුම තීව්‍රකර රට සිවිල් යුද්ධයේ අද්දරට ඇද දැමීය. ප්‍රමුඛ භුමිකාව ඉටු කරන ලද්දේ ඊනියා දක්ෂින නිකාය (රයිට් සෙක්ටර්) නම් සංවිධානය යි. හෙල්මට්, බැටන් පොලු, ගිනි බෝම්බ හා තුවක්කුවලින් සන්නද්ධවූ වෙස් මුහුනු ලා ගත් ඔවුන්ගේ මිලිෂියාවන් ක්ෂනිකව ම කීයෙව් හි අධිකාරය සියතට ගනිමින් ආරක්ෂක හමුදාවන්ට බිහිසුනු ප්‍රහාර එල්ල කලේය. කියෙව්හි පමනක් විදිවල සැරිසැරූ එම පිරිස්වල සංඛ්‍යාව 2000-3000 අතර වූ බව මාධ්‍ය වාර්තාවල දැක්වින.

තත්වාරක්ෂක ඩයි වෙල්ට් පත්‍රය දක්ෂින නිකාය නම් කලේ "දක්ෂිනාංශික හා නව ෆැසිට්ස්වාදී භේදකාරීන්ගේ කන්ඩායම්වල අවධිමත් සංවිධානයක්” ලෙස ය. එහි නායක දිමිත්‍රි යරෝෂ් මුන ගැසී සාකච්ඡා කල ටයිම්ස් සඟරාව සඳහන් කලේ, ඔවුන්ගේ "දෘෂ්ටිවාදය ෆැසිට්ස්වාදයට සමාන වන අතර එය යුක්රේනයේ දැඩි මතදාරී ජාතිකවාදීන්ගෙන් පමනක් සහාය ලබන” බවයි. එහි සාමාජිකයින්ගෙන් බොහොමයක් හිටපු සොල්දාදුවන් හෝ අසර්බයිජාන්, චෙච්නියා හා දකුනු ඔසෙටියාව පැත්තේ සිට ගැටුමේ දී රුසියාවට එරෙහිව සටන් කල අය වෙති.

පසු ගිය 20දා තත්වය උත්සන්න වීමට දායක වුනේ මෙම පැරාමිලිටරි ෆැසිස්ට්වාදීහු ය. දෙපැත්තේ ම දුසිම් ගනනකට මරු කැඳවමින් ඔවුන් ආරක්ෂක හමුදා සමග ලේවැකි සටනක් ගෙන ගිය අතර ජර්මානු, පෝලන්ත හා ප්‍රන්ස විදේශ ඇමතිවරු කීයෙව් බලා ගොස් පැය ගනනාවක් පැවැත්වූ සාකච්ඡා වලදී "සම්මුතියක්” පිලිගැනීම සඳහා යනුකොවිච්ට බලකලහ. එය ජනාධිපතිගේ අවසානයෙහි ආරම්භය විය.

ගිවිසුමට එරෙහිව හඬනැඟූ දක්ෂින නිකාය විරෝධතා නැවත පටන් ගැනීමට තර්ජනය කල අවස්ථාවේ දී මිලිටරිය සිය අපක්ෂපාතිත්වය ප්‍රකාශ කල අතර යනුකොව්ච්ගේ රීජන්ස් පක්ෂයේ බොහෝ නියෝජ්‍තයෝ තම පැත්ත මාරු කලහ. මෙය ඔහුගේ ඉරනම සහතික කලේ ය.

යුක්රේනයේ තත්වය තවමත් අත්‍යන්තයෙන් ම අවිනිශ්චිත මෙන් ම අස්ථාවර ය. විරුද්ධ පාර්ශ්වයේ විවිධ කන්ඩායම් දේශපාලන ආධිපත්‍යය සඳහා සටන් කරන අතර ක්‍රිමියාවේ හා රටේ නැගෙනහිර ප්‍රෙද්ශ වෙන්වී යාමේ හා සිවිල් යුද්ධයකට ඇද වැටීමේ අනතුර පවතී. පාලන තන්ත්‍ර වෙනසක් සඳහා බල කිරීමට බටහිර බලවතුන් හා විරුද්ධ පාර්ශ්වය වාරු වී සිටින ෆැසිස්ට් බලවේග ඔවුන්ගේ මස් රාත්තල ම ඉල්ලා සිටින අතර රටේ දේපාශලන ජීවිතය තුල වැදගත් භූමිකාවක් ඉටුකරනු ඇත.

හිටපු අගමැතිනි හා පීතෘභූමී පක්ෂයේ නායිකා යුලියා ටයිමොෂෙන්කෝ හිරෙන් නිදහස් කිරීමෙන් පසුව නිදහස් චතුරශ්‍රයේ දී කතා කල අවස්ථාවේ දී, ෆැසිස්ට් මිලීෂියාවන්ට යෝජනා ගනනාවක් ඉදිරිපත් කලා ය. “විප්ලවයට ලබාදුන් දායකත්වය” වෙනුවෙන් ඈ දක්ෂින නිකායට ස්තුති කලා ය. "මයිදාන්වල ස්වයං-ආරක්ෂක හමුදා” නව පර්යායට ඒකාබද්ධ කරනු ඇති බව නව අභ්‍යන්තර ඇමති පොරොන්දු විය.

යුරෝපයේ හා එක්සත් ජනපදයේ මාධ්‍ය හා ප්‍රධාන දේශපාලන පක්ෂවල ක්‍රමානුකූල සහයෝගය නොලැබෙන්නට ෆැසිස්ට්වාදීන් ශක්තිමත් වීමට ඉඩ නො තිබුනි. නිව් යෝක් ටයිම්ස් හා සුඩේයිට්සු ෂේයිටුන්ග් වැනි ලිබරල් පුවත්‍පත් ෆැසිස්ට්වාදීන්ගේ භූමිකාව ඔප දමමින් ද කුමන්ත්‍රනය මහිමත්වයට නංවමින් හා යුක්රේනයේ සිදුවීම් "ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයක්” ලෙස පින්තාරු කරමින් ප්‍රචාරක මහෝගයක් මුදාහැර ඇත.

සියළු වර්ගයේ පක්ෂ නියෝජිතයන්—කොන්සර්වේටිව්වාදීන්,සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ජර්මනියේ හා අනෙකුත් යුරෝපීය රටවල හරිතයන් කීයෙව් වලට වන්දනාවේ ගොස් ඇති අතර දක්ෂිනාංශික කල්ලිය සමග තම සහයෝගිතාව ප්‍රකාශ කරති. විශේෂයෙන්ම, ජර්මනියේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී විදේශ ඇමති ෆ්‍රෑන්ක් වෝල්ටර් ස්ටේන්මීයර්, යනුකොවිච්ට එරෙහි කුමන්ත්‍රනයේ දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කලේ ය.

ජර්මනියේ වාම පක්ෂය හා අනෙකුත් විවිධාකාර ව්‍යාජ-වාම සංවිධාන කියෙව්හි කුමන්ත්‍රනයට සහාය දෙමින් යුක්රේනියානු ෆැසිස්ට්වාදීන්ගේ භූමිකාව හා ස්වභාවය වහං කිරීමේ උදඝෝෂනයට එක්ව සිටිති.

ෆැසිස්ට් හමුදා දෙසට මෙම පැද්දීම යුක්රේනයට පමනක් සීමා නො වේ. ප්‍රන්ස ධනේශ්වරයේ කොටසක් ජාතික පෙරමුන (නැෂනල් ෆ්‍රන්ට්) වෙතට හැරෙමින් සිටී. එය (ජාපෙ) අනෙක් අතට සමාජවාදී පක්ෂයේ දක්ෂිනාංශික හා කම්කරු විරෝධී ප්‍රතිපත්ති වලින් සහාය ලබා ඇත. ජාතික පෙරමුන මේ වන විට එලඹෙන යුරෝපා මැතිවරනය පිලිබඳව පැවැත්වූ ජනමත විචාරනයේ පලමු තැන සිටී. දකුනට වන මෙම පැද්දීම යටින් පවතින්නේ ධනවාදයේ ජාත්‍යන්තර අර්බුදයේ තීව්‍රවීම හා වැඩෙන සමාජ ධ්‍රැවාන්ත ගත වීම යි.

කියෙව්හි නව ආන්ඩුවේ පලමු කාර්ය වනු ඇත්තේ මේ වන විටත් ග්‍රීසිය සඳහා නියම කර ඇති වෙදකම යි: කප්පාදු, ශුභසාධන කැපීම හා මිල වැඩිකිරීම් පැටවීම ය. යුරෝපා සංගමයේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පැහැදිලි කර ඇති පරිදි යුක්‍රේනය බංකොලොත්වීම වැලක්වීමට අවශ්‍ය නය ලබාගැනීම සඳහා මෙවන් පියවර පූර්ව අවශ්‍යතාවකි. ප්‍රකෝටිපති යුක්රේනියානු කතිපයාධිපතීන් මෙයින් උනන්දු කරනු ඇත. ඔවුන්ගෙන් සමහරෙක් විපාර්ශ්වයට පිටුබලය සැපයූ අතර සෙස්සෝ පසු ගිය දින කීපයේ දී පැත්ත මාරු කලහ.

රුසියාව මත පීඩනය දැඩි කිරීමට එක්සත් ජනපදය හා යුරෝපා සංගමය යුක්රේනයේ කුමන්ත්‍රනය යොදා ගනිමින් සිටියි. මෙය මිලිටරි ගැටුමක අවදානම ඉහල නංවයි. එක්සත් ජනපදයේ හිටපු ජාතික ආරක්ෂක උපදේශක ෂ්බිග්නීව් බ්‍රෙෂෙෂින්කි, යුක්රේනයේ අභ්‍යන්තර ගැටුම්වල දී රුසියානු අඟිලිගැසීම් “මොස්කව්වලට ඉහල මිලක් ගෙවවීමට සිදුවන පියවර දිරිමත් කිරීම පිනිස ජාත්‍යන්තර වශයෙන් සිය ආනුභාවය යොදාගැනිම සඳහා වොෂින්ටනයට බල කරනු ඇති” බවට. ෆිනෑන්ෂල් ටයිම්ස් හි ලියමින් අනතුරු අඟවයි.

යුක්රේනයේ කම්කරු පන්තියට අර්බුදය පුරා ම දිව ගිය දේශපාලන සිදුවීම් තුල මැදිහත්වීමට අවස්ථාවක් තිබුනේ නැත. එකිනෙකා සමග තරඟ වැදී සිටින කතිපයාධිපති කල්ලි වලට, ෆැසිස්ට්වාදීන්ට හා අධිරාජ්‍යවාදී බලවතුන්ට පැවතීමට හැකි වී ඇත්තේ මේ නිසා ය. අද යුක්රේනය තුල ඉතා පැහදිලි ලෙස වැඩෙන ඒකාධිපතිත්වයේ හා යුද්ධයේ තර්ජනය පිටුදැකිය හැක්කේ සමාජවාදී ක්‍රියාමාර්ගයක පදනම මත ධනවාදය හා එහි සියළු ම හවුල් කරුවන් බලයෙන් පහකිරීමට සටන් කරන ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයකට පමනි.

පීටර් ෂ්වාස්

Share this article: