යුකේ‍්‍රනයේ අර්බුදය

The crisis in Ukraine

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශය, 2014 මාර්තු 3

ඇමරිකා එක්සත් ජනපදය සහ ජර්මනිය සැලසුම් කර සිදු කල දක්ෂිනාංශික කුමන්ත‍්‍රනයෙන් ඉක්බිත්තේ රුසියාව ක‍්‍රිමියාවට මැදිහත් වීමත් සමග පුපුරා ගොස් ඇති අර්බුදය දෙවන ලෝක යුද්ධයෙන් පසුව ඇති වූ භයංකර ම ඝට්ටනයක කට උඩට ලෝකය ඇද දමා ඇත. 1930 ගනන්වලින් පසුව සිදු නොවූ ආකාරයකට දෙපිල එක රැයින් අන්තිම නිවේදන නිකුත් කර ගෙන ඇති අතර යුරෝපයේ යුද හමුදා උපරිම සූදානමක තබා ඇත.

1991 දී සෝවියට් සංගමය විසුරුවා ලීමත් සමග විසි වන සියවස යුද්ධයන්ගේ සහ විප්ලවයන්ගේ සමයක් වශයෙන් තව දුරටත් පවතින්නේ නැතැයි කරන ලද කියා පෑම් අසත්‍ය බව ගත වූ දින කිහිපය තුල සිද්ධීන් විසින් පෙන්නුම් කරනු ලැබ ඇත. ඇත්ත වශයෙන් ම විසි වන සියවස වනාහි “සමාප්ත නොවූ” හෙවත් අවසන් නොවූ ශතවර්ෂය යි. එම ශතවර්ෂයේ නොවිසඳුනු සමාජ සහ දේශපාලන ප‍්‍රතිඝතිතතාවෝ වත්මන් සියවසේ පුපුරා යන ආතතීන් තුල ද ගැබ්ව පවතිත්. පලමු වන ලෝක යුද්ධය අවසන් වී අවුරුදු එක්සියයකට ද දෙවන ලෝක යුද්ධය ආරම්භ වී අවුරුදු හත්තෑපහකට ද පසුව අද දින මානව වර්ගයා යුද්ධයේ සහ ෆැසිස්ට්වාදයේ තර්ජනයට යලිත් වරක් මුහුන දී සිටී.

යුකේ‍්‍රන අර්බුදය උග‍්‍ර කිරීමට ප‍්‍රධාන වශයෙන් ම වගකිව යුත්තේ එක්සත් ජනපදය සහ ජර්මනිය යි. එම දෙරට සිය යුරෝපා සංගම් සගයන් ද සමග සැලසුම් සහගතව දිගින් දිගට ම මෙම ප‍්‍රදේශයට අත දමමින්, වික්ටර් යනුකොවිච්ගේ දූෂිත පාලනයට එරෙහිව මහජනයා අතර පැතිර පැවති අසහනය බටහිර අධිරාජ්‍යවාදීන් හා බද්ධ අතිදක්ෂිනාංශික ෆැසිස්ට් බලවේගයන්ට කරබදු කර දී, රුසියාව භූ-දේශපාලනිකව හුදෙකලා කර කෑලිවලට කැඩීමට සකසා ඇති සිය කුමන්තත‍්‍රනයේ හවුල්කරුවෙකු කර ගත හැකි පාලනයක් යුකේ‍්‍රනය තුල ඇටවීමේ දුෂ්ට අරමුන සඳහා, ඡුන්දයෙන් තෝරා ගත් ආන්ඩුව පෙරලා දැම්මේ ය.

ජර්මානු අගමැතිනි ඇන්ජලා මර්කල් දක්ෂිනාංශික විපක්ෂ නායකයන් හමු වීමට ගියා ය. මර්කල්ගේ දේශපාලන පක්ෂය වූ ක‍්‍රිස්තියානි ඩිමොක‍්‍රැටික් පක්ෂය හිටපු බොක්සිං ක‍්‍රීඩක විටාලී ක්ලිට්ස්කෝගේ උඩර් පක්ෂයට මුදලින් ආධාර කර ඇත. ප‍්‍රධාන පෙලේ යුරෝපා සංගම් නිලධාරීහු ස්වොබෝදා පක්ෂයේ ෆැසිස්ට්වරුන් සහ රයිට් සෙක්ටර් සංවිධානයේ අවි ගත් මැරයන් සමග කියෙව් නගරයේ මධ්‍ය චතුරස‍්‍රයේ දී පෙලපාලි දැක්වූහ.

යුරෝපය හා ආසියාව පිලිබඳ එක්සත් ජනපද උප රාජ්‍ය ලේකම් වික්ටෝරියා නුලන්ඩ්, අඩු ගනනේ හතර වතාවක් කියෙව් නගරයට ගොස් නව ෆැසිස්ට් විරෝධතාකරුවන් හා එක් වූවා ය. ඇය ක්ලිට්ස්කෝ, අර්සෙන්ය් යට්සෙන්යුක් සහ නම ගිය යුදෙව් විරෝධී ස්වොබෝදා ව්‍යාපාරයේ නායක ඔලේ ට්යානයිබොක් හමු වූවා ය. ඇමරිකා එක්සත් ජනපදය 1990න් මොබ යුක්රේනය තුල තමන්ට ගැති බලවේගයන් ගොඩ නැගීමට ඩොලර් බිලියන පහක් යොදා ඇති බව ද ඇය පිලිගත්තා ය.

යනුකොවිච් ඉවත් කල පසු යට්සෙන්යුක් බලයට පත් කල යුතු යැයි නුලන්ඩ් යුකේ‍්‍රනයේ ඇමරිකානු තානාපති ජෙෆ්රි ෆියට් සමග කල රහස් ටෙලිෆෝන් කතිකාව එලිදරව් වූ පසු, මෙම රට තුල ඇමරිකානු ඇඟිලි ගැසීම් කොතරම් උග‍්‍ර තත්වයකට පත්ව ඇත් ද යන්න පැහැදිලිව පෙනී ගියේ ය.

රුසියාවේ පැවැත්ම ම තර්ජනයකට මුහුන පා ඇති බවට නිසැක ය. යුකේ‍්‍රනය පලල් මොස්කව් විරෝධී සන්ධානයට එක් වීම රුසියාව සතුරු ආක‍්‍රමනයට සහ නිසැකව ම තව තවත් අස්ථායීකරනයට ගොදුරු කරයි. ඉදිරි කාලයේ දී රුසියාවේ දේශ සීමා ආසන්නව පමනක් නො ව එහි දේශ සීමා තුල ද ඇමරිකානු කුමන්ත‍්‍රන ව්‍යාපෘති ක‍්‍රියාත්මක වනු නොඅනුමාන ය. මෙවන් ඇඟිලි ගැසීම් සඳහා අලුත් ‘මානව හිමිකම්’ ප‍්‍රශ්න නිපදවා ගැනීම ද මුදල් සහ අවි ආයුධ සපයා දිරි ගැන්වීම ද ඇමරිකාවට සහ එහි යුරෝපා අධිරාජ්‍යවාදී අනුචරයන්ට එතරම් අපහසු කාර්යයක් නොවනු ඇත.

කෙසේ වෙතත්, රුසියාව කැබලිවලට කඩා අර්ධ යටත් විජිත තත්වයට ඇද දැමීමට තර්ජනය කරන මෙම අන්තරායන් වලකා ලීම තබා අවම කර ගැනීම පවා පුටින් පාලනයේ මිලිටරි බලය මගින් සිදු කර ගත හැක්කක් නො වේ.

පුටින්ගේ ක‍්‍රියාවන්ට මොන ම සහායක් හෝ දිය නොහැකි ය. එක්සත් ජනපද සහ ජර්මානු අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමනයන්ට එරෙහිව පිහිටුවා ගත හැකි මොන ම ප‍්‍රගතිශීලී ප‍්‍රතිචාරයක් හෝ ඔහුට නැත. පුටින් නියෝජනය කරන්නේ සෝවියට් සංගමය විසුරුවා හැර, රාජ්‍ය දේපල කොල්ල කා ධනය පොදි බැඳ ගත්, කතිපයාධිකාරී තන්ත‍්‍රය යි. ඔහුගේ පාලනය යුකේ‍්‍රන කම්කරු පන්තියට හෝ රට තුල ප‍්‍රගතිශීලී මහජන මතයට ආමන්ත‍්‍රනය කිරීමට අසමත් ය.

ඒ වෙනුවට ඔහු උත්සාහ කරන්නේ, රුසියාව ද නැගෙනහිර යුකේ‍්‍රනය ද තුල ජාත්‍යෝත්තමවාදය අවුලුවා ලීමට ය. එය යුකේ‍්‍රන ෆැසිස්ට්වාදීන් ද ඔවුන්ගේ ඇමරිකානු සහ ජර්මානු හාම්පුතුන් ද විසින් අවුලුවා ඇති සිවිල් සහ ආගම්වාදී යුද ගිනිවලට තෙල් දමනු ඇත.

රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වැනි එක්සත් ජනපද කථිකයන් මෙම අර්බුදය ගැන කරන ප‍්‍රකාශ කුහක ය; වංචා සහගත ය. රුසියාව “යුකේ‍්‍රනයේ ස්වෛරීත්වය සහ භෞමික අඛන්ඩතාව උල්ලංඝනය කිරීම” එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය බිඳීමක් ලෙස ද යුකේ‍්‍රනයේ සහ ඒ් අවට පුලුල් කලාපයේ සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් ලෙස ද කෙරී විසින් ගිය සති අන්තයේ දී හෙලා දකිනු ලැබුවේ ය.

කෙරී වනාහි 2002 වර්ෂයේ දී “ජන සංහාරක අවි” පිලිබඳ පට්ටපල් බොරුව යොදා ගෙන ඉරාකය ආක‍්‍රමනය කිරීමට ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ් ගත් තීන්දුවට පක්ෂව ඡන්දය දුන් අයෙකි. කෙරී මෙසේ ද කීවේ ය: “කොහොමට වත් 19 වන ශතවර්ෂයේ දී කල ආකාරයට 21 වන සියවසේ දී මුලුමනින් ම ගොතා ගත් ව්‍යාජයක් මත තවත් රටක් ආක‍්‍රමනය කිරීම සිදු කෙරෙන්නේ නැත.” මේ ජාතියේ ප‍්‍රකාශවලට මොන ම අභියෝගයක් වත් එල්ල නොවීමෙන් පෙනී යන්නේ, මහ සංගත විසින් පාලනය කරනු ලබන මාධ්‍යය ඇමරිකානු බුද්ධි අංශය ද මිලිටරි යාන්ත‍්‍රනය ද සමග කොයි තරම් දුරට බැඳී තිබේ ද යන්නත් රාජ්‍ය ප‍්‍රචාර තොරොම්බල් කරන්නෙකු හැටියට මාධ්‍යය ඉටු කරන භූමිකාවත් ය.

එහෙත් වොෂින්ටනයේ කැරට්ටුවෙන් ම සැබෑ තතු හෙලි නො වේ ද? පසු ගිය අවුරුදු 25 ඇතුලත පමනක් වුව ද එක්සත් ජනපදය පැනමාව, ග්‍රෙනෙඩාව, සෝමාලියාව, තහිටිය, සුඩානය, සර්බියාව, ඇෆ්ඝනිස්ථානය, පකිස්ථානය, ඉරාකය, යේමනය සහ ලිබියාව යන රටවලට බෝම්බ හෙලා ඇත; ඒවායේ ආන්ඩු පෙරලා දමා ඇත. ඇමරිකාව ඉරානයට එරෙහිව මිනීමැරීම් සිදු කර ඇති අතර සිරියාවේ ආන්ඩුව පෙරලා දැමීම සඳහා මහා පරිමානයෙන් මැදිහත් වෙමින් සිටී.

එක්සත් ජනපදය කුමන රටක හෝ ස්වෛරී භාවය හෝ භෞමික අඛන්ඩතාව පිලිබඳ අයිතියට ගරු කරන්නේ නැත. ලෝකය වෙලා ගත් එක්සත් ජනපදයේ ආසක්තයන්ට එරෙහිව කිසි යම් රටක් පිහිටා සිටී නම් එම රටට පහර දීමට ද එහි පාලන තන්ත‍්‍රය වෙනස් කිරීමට ද එක්සත් ජනපද පාලන තන්ත‍්‍රය වැඩට බැස සිටී.

කියෙව් නගරයේ ද බටහිර යුකේ‍්‍රනයේ ද සිදු වන ෆැසිස්ට් ආධිපත්‍යය යටතේ පවත්නා විරෝධතා ව්‍යාපාරයට මොන ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී අන්තර්ගතයක් වත් ඇත්තේ නැත.

මෙම විරෝධතා මුදුනේ නැගී සිටින අන්ත ජාතිවාදී බලවේගවල පැටිකිරිය වනාහි දෙවන ලෝක යුද සමයේ නාසි ආක‍්‍රමනිකයන් සමග පෙල ගැසී මිලියන ගනනක් යුකේ‍්‍රනියානුවන් මරා දැමූ දේශීය ෆැසිස්ට්වාදීන්ගේ පෙලපත ය. ස්වොබෝදා සහ රයිට් සෙක්ටර් සංවිධානවල පූර්වජයෝ යුකේ‍්‍රනයේ යුදෙව් ජනයා සමූල ඝාතනය කිරීමට ආධාර කලෝ ය. දැනුදු කියෙව් නගරයේ යුදෙව් ජනයාට ෆැසිස්ට් ප‍්‍රහාර එල්ල වන බවට වාර්තා බහුල වශයෙන් පැතිර පවතී.

රූකඩ ආන්ඩුවක් අටවා යුකේ‍්‍රනය සිය පාලනයට නතු කර ගැනීමට මෙම බලවේගයන් යොදා ගනිමින් සිටින වොෂින්ටනය සහ බර්ලිනය දැන් කර ගෙන යන්නේ, 1990 දී එක්සත් ජනපදයේ ද ජර්මනියේ ද අඬු දමා යුගෝස්ලාවියාව බෙදා ලීමේ දී සිදු කරන ලද ලේ වැගිරීම මහා පරිමානයෙන් ඉක්මවා යන පරිදි, විවිධ ජනවාර්ගික සහ ආගමික කන්ඩායම් අතර ගිනි මෙලවීම ය. ජර්මනියේ භූමිකාව වෙසෙසින් ම නපුරු ය.

ජර්මනියේ භූමිකාව අතිශයින් ම නරුම ය. යුකේ‍්‍රනයට අලුතින් කඩා පැනීමේ දී ජර්මනිය පලමු සහ දෙවන ලෝක යුද්ධවල දී එය සිදු කල අපරාධවලට යලිත් බැස ගෙන සිටී. මේ දෙකේ දී ම ජර්මානු හමුදා යුකේ‍්‍රනය යෝධ හා දරුනු මර්දනයකට භාජන කලේ ය. ජර්මනිය යුකේ‍්‍රනයට කරන මැදිහත් වීම ජර්මානු යුදවාදය යලි පන ගන්වා ගත යුතු යැයි ජර්මානු නිලධාරීන් එලිපිට කරන ප‍්‍රකාශ ද ප‍්‍රධාන පෙලේ ජර්මානු බුද්ධි ජීවීන් හිට්ලර්ට ද නාසීන්ට ද සුදු හුනු ගෑම ද සමග සම්පාත වේ.

එක්සත් ජනපදය හා ජර්මනිය යුකේ‍්‍රනයේ කර ගෙන යන පාලන තන්ත‍්‍ර මාරුව වනාහි සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසුව යුරෝපයේ ද ආසියාවේ ද පෙර සෝවියට් සමූහාන්ඩුව යටතේ තිබුනු ප‍්‍රදේශ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ආධිපත්‍යය දරන නේටෝ සංවිධානය වැනි යුද, ආර්ථික සහ දේශපාලනික ව්‍යුහයන්ට යටත් කර ගැනීමට දියත් කොට ඇති පුලුල් වැඩ සටහනක කොටසකි. මෙයට ජෝර්ජියාවෙහි සහ යුකේ‍්‍රනයෙහි බටහිර විසින් උසි ගන්වන ලද “වර්න විප්ලව” ද ඇතුලත් වේ.

යුකේ‍්‍රනයේ බල කොල්ලය මෙම ව්‍යායාමයේ ප‍්‍රමුඛ අදියරකි. එක්සත් ජනපදය තථ්‍ය ලෙස ම යුකේ‍්‍රනය නතු කර ගැනීම, එක්සත් ජනපද හමුදා හෝ එරටට ගැති හමුදා රුසියාවේ බටහිර දේශ සීමාවේ පිහිටුවා ලීම සනිටුහන් කරයි. එය ක‍්‍රිමියාවේ නවතා තිබෙන රුසියානු කලු මුහුදු නාවුක බලඇනිවලට තර්ජනයක් වනු ඇත. කලු මුහුද වනාහි නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශයට, බෝල්කන් ප‍්‍රදේශයට සහ මැද පෙරදිග කලාපය කරා රුසියාවට තිබෙන එක ම මුහුදු පිවිසුම් මග යි. ජෝර්ජියාව නේටෝව තුලට ගැනීමට ද රුසියාව තුල සිටින බහුජනවාර්ගික හා ආගමික ජන කොටස් අතර බෙදුම්වාදී අසහනය හා ව්‍යාපාරයන් ඇවිලවීමට ද මෙම තත්වය යොදා ගැනෙනු ඇත.

එහෙත් මෙම කරුනු කාරනා ක‍්‍රිමියාව තුලට කෙරෙන රුසියානු මැදිහත් වීමේ දේශපාලන බංකොලොත් බව අහෝසි කරන්නේ නැත. පුටින් පාලන තන්ත‍්‍රය වනාහි ධනේශ්වර පුනස්ථාපනයේ ආයුධයක් වේ; එය, 1917 ඔක්තෝබර් විප්ලවය විසින් පිහිටුවන ලද කම්කරු රාජ්‍යයේ පරිහානියේ ද ස්ටැලින්වාදය යටතේ එහි ආර්ථික-සාමාජික පදනම් පරිහානියට ඇද දමා වනසා දැමීමේ ද නිෂ්පාදිතයක් වේ. එය වනාහි අධිරාජ්‍යවාදයෙන් සැබෑ ස්වාධීනත්වයක් නැති කොම්ප‍්‍රදෝරු පාලනයකි.

දේශපාලනමය විරුද්ධ මත පාගා දමමින්, රුසියානු කම්කරුවන් මත මුර්ග කප්පාදු හා බර පටවමින්, රට තුලින් එල්ල වන සමාජ විරෝධය ඉවතට හැරවීම සඳහා රුසියානු ජාත්‍යෝත්තමවාදය අවුලුවා ලමින් සිටින මෙම තන්ත‍්‍රයට, යුකේ‍්‍රනයේ කම්කරු පන්තියට ආයාචනා කිරීමට පුළුවන්කමක් නැත.

දැන් යුකේ‍්‍රනයේ දී ලෝකයා දැක ගනිමින් සිටින්නේ, රුසියාව තුල ද ජාත්‍යන්තරව ද 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ජනනය කෙරුන ව්‍යසනකාරී ප‍්‍රතිවිපාකයන්ය. මෙම ප‍්‍රතිවිපාක වනාහි සෝවියට් කම්කරු පන්තියෙන් බලය උදුරා ගෙන ඔක්තෝබර් විප්ලවය පදනම් කොට තිබූ ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියා මාර්ගය ඉවත දැමූ ස්ටැලින්වාදී පාලන තන්ත‍්‍ර විසින් පවත්වා ගෙන ගිය ජාතිකවාදී පිලිවෙත්වල අවසන් ප‍්‍රතිඵලය යි.

1917 විප්ලවය පේ‍්‍රරනය කල එක් ප‍්‍රශ්නයක් නම් අධිරාජ්‍යවාදය රුසියාව මත දරා සිටි ආධිපත්‍යයට එරෙහි අරගලයයි. එහෙත් මෙය සාර්ථක ලෙස පරාජය කල හැකි වූයේ ජාත්‍යන්තර සමාජවාදී ක‍්‍රියා මාර්ගයක් මත කම්කරු පන්තිය විප්ලවකාරීව බලමුලු ගැන්වීම මගින් පමනි. ජාතිකවාදය, පලමු වන ලෝක යුද්ධයේ අධිරාජ්‍යවාදී කොල්ලයෙන් රුසියාව ආරක්ෂා කිරීමට අසමත් වී නම්, අද දින එය නගා සිටුවීම ඊටත් වඩා ප‍්‍රතිගාමී හා බෙලහීන උත්සාහයක් වේ.

සෝවියට් සංගමය විනාශ කිරීම රුසියාව අර්ධ විජිත තත්වයකට ඇද දමනු ඇතැයි ට්‍රොට්ස්කි කල අනතුරු හැඟවීම මෙහි ලා මතක් කර ගනු වටී. 1930 ගනන්වල දී ස්ටැලින්වාදී නිලධරය එරට සකල සමාජවාදී කොටස්වලට එරෙහි ත‍්‍රස්තය දියත් කර තිබුනු තත්වය තුල ට්‍රොට්ස්කි ස්වාධීන සෝවියට් යුකේ‍්‍රනයක් පිලිබඳ සටන් පාඨය මතු කලේ, ධනේශ්වර පදනමක් මත අත් කර ගන්නා ස්වාධීනත්වයක් සාතිශය ප‍්‍රතිගාමී ගම්‍යයන් අත් කර ගන්නා බව අවධාරනය කරමිනි.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, කියෙව් නගරයේ විරෝධතා අව්‍යාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ඒවා ලෙස පමනක් නොව විප්ලවවාදී ව්‍යාපාරයක් ලෙස පවා හුවා දැක්වූ සියලු ම ලිබරල් සහ ව්‍යාජ වාම දේශපාලන සංවිධාන ද ප‍්‍රකාශන ද හෙලා දකියි. යුකේ‍්‍රනයේ විරෝධතා ව්‍යාපාරය කම්කරු පන්තික ව්‍යාපාරයක් නොවන බව මේ සියලු දෙනා විසින් දැනුවත්වම වසං කරනු ලැබුවේ ය. ඔවුහු මෙම ව්‍යාපාරයේ නායකයන්ව දෙවන ලෝක යුද්ධයේ දී නාසීන් සමග ද හොලොකෝස්ටය (යුදෙව් සංහාරය) මෙහෙයවීමට ද එකට වැඩ කල බලවේග සමග සම්බන්ධතා පැවති බව සැඟවීමට යත්න දැරූහ.

රුසියාව කැබලි කොට විශාල භූමිභාගයන් කෙලින් ම තමන්ට නතු කර ගැනීමේ අධිරාජ්‍යවාදී සැලසුම්වලට උත්තරය, රුසියානු ජාතිකවාදය නො වේ. එසේ ම යුකේ‍්‍රන මහජනයාගේ දිගු කාලීන දුක් වේදනා අවසන් කල හැක්කේ ද යුකේ‍්‍රන ජාතිකවාදය වගා කිරීමෙන් නො වේ. යුකේ‍්‍රනයේ පුපුරා ගොස් ඇති අර්බුදය අතිශය හදිසි භාවයකින් ඉස්මතු කරන්නේ කම්කරු පන්තිය තමන්ගේ ම ස්වාධීන ක‍්‍රියා මාර්ගයක් සමගින් තම ආසක්තයන් තහවුරු කර ගත යුතු ය යන්න ය. ජර්මන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයෙන් මුදල් ආධාර ද පිටුබලය ද ලබා ගත් ෆැසිස්ට් බලවේගයන්ට පෙරට පැන ගැනීමට ඉඩ සැලසී ඇත්තේ, කම්කරු පන්තිය එවන් වැඩ පිලිවෙලක් මත බලමුලු ගැන්වීමට සටන් කරන විප්ලවවාදී නායකත්වයක් නැති හෙයිනි.

මෙම අර්බුදයට පිලිතුර නම්, යුකේ‍්‍රන සහ රුසියානු කම්කරු පන්තිය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩ පිලිවෙලක් මත ඒකාබද්ධ කිරීම යි. යුකේ‍්‍රනයට බලගතු විප්ලවවාදී ඉතිහාසයක් ඇත. දහ නව වන සියවසේ දී යුකේ‍්‍රනයේ උපන් මාක්ස්වාදීහු ජාතිකවාදී ක‍්‍රියා මාර්ගය ප‍්‍රතික්ෂේප කොට කම්කරු පන්ති ජාත්‍යන්තරවාදය සඳහා සටන් වැදුනෝ ය. මොවුන’තුරෙන් ශ්‍රේෂ්ඨතමයා වූයේ ලියොන් ට්‍රොට්ස්කි ය.

අද දින රුසියාවේ මෙන් ම ජාත්‍යන්තරව ද කම්කරුවන් සහ තරුනයන් හැරී ගත යුත්තේ මෙම සම්ප‍්‍රදායන් දෙසට ය. එය සිදු කල හැක්කේ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩ නැගීම තුලින් පමනි.

Share this article: