එක්සත් ජනපද මාධ්‍ය යුකේ‍්‍රනය පිලිබඳ දුෂ්-ප‍්‍රචාරක ප‍්‍රහාරයක් උසි ගන්වයි

The crisis in Ukraine and the historical consequences of the dissolution of the Soviet Union

2014 මාර්තු 7

වොෂින්ටනයට හා නේටෝවට මුලුමනින් ම යටත් දක්ෂිනාංශික ජාතිකවාදී තන්ත‍්‍රයක් අටවමින්, රුසියාව සමග ගැටුමක් අවුලූවා ගැනීම පිනිස එක්සත් ජනපදය හා ජර්මනිය, යුකේ‍්‍රනයේ අර්බුදය උසි ගන්වා ඇති බව දිනක් දිනක් පාසා පැහැදිලි වෙමින් තිබේ.

ඔබාමා පාලනය 06 දා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සම්මුතිවාදී කතා පසෙක ලා රුසියාවට එරෙහිව ආරම්භක වටයේ සම්බාධක නිවේදනය කරමින්, පසුව යුරෝපා සංගමයට තමන්ගේ ම සම්බාධක නිවේදනය කිරීමට බල කලේ ය. මේ අතර ඇමරිකානු ප‍්‍රහාරක යානා, බෝල්ටික් ප‍්‍රදේශයට යවා ඇති අතර යුද නැව් කලු මුහුදට ඇතුලු කර තිබේ.

යුකේ‍්‍රනයෙන් වෙන්ව රුසියානු සංගමයට එක් වීම පිනිස ක‍්‍රිමියානු පාර්ලිමේන්තුව ගත් ඒකමතික තීන්දුවට හා වෙන් වීම පිලිබඳ ජනමත විචාරනයක් මාර්තු 16 දා පැවැත්වෙන බව නිවේදනය කිරීමට ප‍්‍රතිචාර වශයෙන් ජනාධිපති ඔබාමා, එවන් ඡන්දයක් පැවැත්වීම යුක්රේන ව්‍යවස්ථාවට හා ජාත්‍යන්තර නීතියට පටහැනි බව ප‍්‍රකාශ කලේ ය.

මෙම අර්බුදය පුරා ම හා හැම විට ම පැවති ආකාරයට, එක්සත් ජනපද ආන්ඩුවේ ප‍්‍රකාශන කුහකත්වයෙන් පිරී තිබේ. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව 1992 දී එක්සත් ජනපදය, යුගෝස්ලාවියාව බිඳ දැමීමට තල්ලුව ලබා දුන්නේ ය. කොසෝවෝ ප‍්‍රාන්තයේ වෙන් වීම ආරක්ෂා කිරීම පිනිස 1999 දී එක්සත් ජනපදය සර්බියාවට එරෙහිව යුද්ධාවතීර්න විය. එක් හෝ තවත් ප‍්‍රශ්නයක දී වොෂින්ටනයේ ආස්ථානය තීරනය වූයේ, කවරාකාරයෙන් හෝ ජාත්‍යන්තර නීතියේ මූලධර්මයන්ට අනුව නො ව එජ භූ-දේශපාලන හා ආර්ථික ආසක්තයන් පිලිබඳ ගනන් බැලීම් මත ය.

දැන් ප‍්‍රශ්නය වන්නේ, මෙම ගැටුමේ දී රුසියාව අභිභවා ජයග‍්‍රහනයක් ලබා ගැනීම සඳහා එක්සත් ජනපදය කොතෙක් දුර යාමට සූදානම් ද යන්න යි. එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපද තානාපති සමන්තා පවර් රූපවාහිනී සාකච්ඡාවක දී, රුසියාව කියෙව්හි එක්සත් ජනපද පිටුබලය ලබන පාලන තන්ත‍්‍රය පිලිගත යුතු ය යන වොෂින්ටනයේ අවසාන නිවේදන පුනරුච්චාරනය කරමින්, යුකේ‍්‍රනයේ වර්ධනයන් “දකුනට ද විහිද යා හැකි” බවට අනතුරු ඇඟවූවා ය.

යුද්ධයට නැඹුරු එක්සත් ජනපද අදූරදර්ශීකම කෙතරම් ද යත්, අධිරාජ්‍යවාදී බල දේශපාලනයේ අතිශයින් ම නිර්දය නියෝජිතයෙකු වන හිටපු රාජ්‍ය ආරක්ෂක ලේකම් හෙන්රි කිසිංජර් පවා මෙයින් තිගැස්මට පත් විය.

“යුකේ‍්‍රනය පිලිබඳ දේශපාලන සාකච්ඡාව ගැටුමට බර ය. එහෙත් අප යමින් සිටින්නේ කොතැනකට ද යන්න අප දන්නවා ද?” යනුවෙන් ඔහු 06 දා වොෂින්ටන් පෝස්ට් පත‍්‍රයේ තීරුවක ලියා තිබුනි.

වොෂින්ටනයේ මූලෝපායික සැලැස්ම ඕනෑවටත් වඩා පැහැදිලි ය. එක්සත් ජනපදය යුකේ‍්‍රනයේ ෆැසිස්ට් “පෙලපාලිකරුවන්” ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ තෝරා පත් කර ගත් ආන්ඩුව පෙරලා දැමීම සඳහා උපයෝගි කර ගත් අතර බාධාවකින් තොරව ම ඔවුහු රට පුරා පාලන බලය අල්ලා ගත්හ. ඔබාමා පාලනාධිකාරය විශ්වාස කලේ, මූන බේරා ගැනීම පිනිස පුටින් අවම නාමික ප‍්‍රතිරෝධයක් පමනක් දක්වනු ඇති බව යි.

කෙසේ වෙතත් වොෂින්ටනය රුසියාව සමග සම්මුතියක් බලාපොරොත්තු නො වේ. එක්සත් ජනපදයට අවශ්‍යව ඇත්තේ, රුසියාව නින්දිත ආකාරයේ පසුබෑමකට ඇද දැමීම හා එම ක‍්‍රියාවලිය තුල න්‍යෂ්ටික යුද්ධයක් හට ගැනීමේ අවදානම පවා ගැනීමට ය. රුසියාව කැබලි කිරීම අරමුනු කර ගත් මෙහෙයුම උත්සන්න කිරීමට, එක්සත් ජනපදයේ හා නේටෝවේ මිලිටරි බලය සඳහා පිනුම් පිත්තක් ලෙස යොදා ගත හැකි සතුරු යුකේ‍්‍රනය, මොස්කෝව විසින් පිලිගැනීමට නොඅඩු කිසිවක් එක්සත් ජනපදය ඉල්ලා සිටින්නේ නැත.

එහි ම කොටසක් ලෙස වොෂින්ටනය ගෙන ඇති ආස්ථානය පෙන්නුම් කරන්නේ, මෑත සිදුවීම් කෙරෙහි, විශේෂයෙන් ම සිරියාවේ අසාද් තන්ත‍්‍රයට රුසියාව දක්වන සහාය හා ජාතික ආරක්ෂක ඒජන්සියේ තොරතුරු හෙලි කල එඩ්වඩ් ස්නෝඩන් හට රැකවරනය දීමට පුටින් ගත් තීරනය කෙරෙහි වන කෝපය යි. අවස්ථා දෙක ම දැක ගෙන ඇත්තේ, එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය කොන්දේසි විරහිතව පිලිගැනීම රුසියාව විසින් ප‍්‍රතික්ෂේප කිරීම පිලිබඳ ප‍්‍රකාශනයක් ලෙස ය. මොස්කෝව හා තමන් අතර බල සම්බන්ධතාවේ තියුනු හා ස්ථාවර වෙනසක් වොෂින්ටනය අපේක්ෂා කරයි.

එක්සත් ජනපද හා යුරෝපා අධිරාජ්‍යවාදයේ ඒකාබද්ධ ආර්ථික හා මිලිටරි ශක්තිය හමුවේ පසුබැසීමට පුටින් පල කරන කැමැත්ත පිලිබඳව ඔබාමා පාලනාධිකාරය ඔට්ටු ඇල්ලූවා සේ ය. එහෙත් කරුනු කාරනා පෙන්නුම් කරන්නේ, අර්බුදය විසින් විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන දීමට සමත්, පැතිර යා හැකි මිලිටරි ගැටුමක් සඳහා කොන්දේසි නිර්මානය කෙරී ඇති බව යි. මෙම සිදුවීමේ දී න්‍යෂ්ටික යුද්ධයක් වලකා ගනු ලැබුවේ වුවත්, පසු ගිය සතියේ සිදුවීම් පෙන්නුම් කරන්නේ, න්‍යෂ්ටික අවි පවා යොදා ගන්නා නව ලෝක යුද්ධයක් හුදු අන්තරායක් නොවන බව යි. ධනවාදයට හා අධිරාජ්‍යවාදයට අවසන් තිත තැබීම සඳහා කම්කරු පන්තිය මැදිහත් නොවුන හොත් එය අනිවාර්ය වනු ඇත.

මෙය හා රුසියාව මුහුන පා ඇති තත්වය, සෝවියට් සංගමය විසුරුවා හැරීමේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක මුලුමනින් ම සනාථ කරයි. 1991 දෙසැම්බරයේ රුසියානු ජනාධිපති බෝරිස් යෙල්ට්සින් ද ලියෝනිඞ් ක‍්‍රව්චුක් හා ස්ටැනිස්ලාව් ෂුශ්කෙවිච් යන ඔහුගේ යුකේ‍්‍රන හා බෙලෝරුසියානු අනුචරයන් ද විසින් සෝවියට් සංගමය විසුරුවා හැරි බවට කල නිවේදනය, කම්කරු රාජ්‍යය නිර්මානය කල 1917 ඔක්තෝබර් විප්ලවයත් විප්ලවය පාදක වූ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියා මාර්ගයත් ස්ටැලින්වාදී නිලධරය විසින් පාවා දුන් දශක ගනනාවක ද්‍රෝහී ක‍්‍රියා කලාපයේ කුලු ගැන්වීම විය.

රුසියානු “ව්‍යාප්තවාදය” පිලිබඳව බටහිර මාධ්‍යයන් ගෙන යන යුදවාදී උද්ඝෝෂනය අමූලික අභූතයකි. සෝවියට් සංගමය බිඳ දැමීමේ තැන් පටන්, පැරනි සෝවියට් සංගමයේ විශාල කොටසක් හා එහි අනුචර සමස්ත නැගෙනහිර කඳවුර ම, එක්සත් ජනපද හා යුරෝපා අධිරාජ්‍යවාදයේ කක්ෂය තුලට ඇද ගනු ලැබ ඇත. රුසියාවේ ඉරනම විසින් සනාථ කර ඇත්තේ, සෝවියට් සංගමය විසුරුවා හැරීම, පශ්චාත්-සෝවියට් රුසියාව, බටහිර අධිරාජ්‍යවාදයේ දුගී හා අත්තනෝමතික අර්ධ යටත් විජිතයක් බවට පරිවර්තනය කරනු ඇති බවට ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය විසින් කරනු ලැබූ අනතුරු ඇඟවීම යි.

සෝවියට් සංගමය බිඳ දැමීමට පෙරාතුව, ස්ටැලින්වාදී විදෙස් පිලිවෙතේ කඩ ඇනය බවට පත්ව තිබුනේ, අධිරාජ්‍යවාදය සමග “සාමකාමී සහජීවනය යි.” අධිරාජ්‍යවාදය සෝවියට් සංගමයේ පැවැත්මට ඉඩදීමට හිලව් වශයෙන් ක්‍රෙම්ලිනය, ධනවාදයට එරෙහි ජාත්‍යන්තර කම්කරු පන්තියේ අරගල මැඩීම පිනිස තමන් සතු සියලු ආනුභාවය යෙදවී ය.

ඔක්තෝබර් විප්ලවයේ උරුමය පිලිබඳව ඉතිරිව තිබුනු සියල්ල මුලුමනින් ම බැහැර කිරීමෙන් පසුව සිය පාලනයේ අවසන් වසරවල ගොර්බචෙව් යටතේ ක්‍රෙම්ලින් නිලධරය කටයුතු කලේ, අධිරාජ්‍යවාදය යනු මාක්ස්වාදී ප‍්‍රබන්ධයක් සේ සලකා ගෙන ය. සෝවියට් සංගමයේ සම්පත් කොල්ල කෑමෙන් රුසියානු ව්‍යාපාරිකයන් තව තවත් තර වෙද්දී, සෝවියට් සංගමය බිඳ විසිරවූ නිලධරය, එක්සත් ජනපදය හා එහි යුරෝපා නේටෝ සහචරයන්, ධනේශ්වර රුසියාවට සාමයෙන් පැවතීමට ඉඩ දෙනු ඇතැයි යන මිථ්‍යාව තොරොම්බල් කලහ.

එහෙත් අධිරාජ්‍යවාදය හුදු ප‍්‍රබන්ධයක් නො වේ. රුදුරු යථාර්ථයක් වන එහි භූ-දේශපාලනික හා ආර්ථික අවශ්‍යතා, රුසියාව සමග සාමකාමී සහජීවනයක් බැහැර කලේ ය. සෝවියට් සංගමය කෙරෙහි එක්සත් ජනපද විරුද්ධත්වය පදනම් වූයේ, එරට ධනේශ්වර නොවන ව්‍යුහය මත පමනක් නො වී ය. ඔක්තෝබර් විප්ලවයේ නිර්මානයක් වූ සෝවියට් සංගමය වැනි සුවිශාල රටක දැවැන්ත ස්වාභාවික හා මානව සම්පත් මත එක්සත් ජනපදයේ සෘජු පාලනයට අවහිර කිරීමේ කාරනය සමග කවර කලෙක වත් එක්සත් ජනපදයට සම්මුතියකට යා නොහැකි විය. සෝවියට් සංගමය තව දුරටත් නොපැවතියා වුව ද එක්සත් ජනපද හා යුරෝපා අධිරාජ්‍යවාදයේ පිපාසාව එලෙස ම පැවතුනි.

එබැවින් දුබල ධනපති රුසියාවක් ඇමරිකානු හා යුරෝපා අධිරාජ්‍යවාදයේ නිරන්තර තර්ජනයට මුහුන පෑවේ ය. තමන් අක‍්‍රමවත් ලෙස උපයා ගත් ධනයෙන් සැලකිය යුතු කොටසක් එක්සත් ජනපද හා යුරෝපා බැංකුවල තැන්පත් කර ඇති තරයේ ම දූෂිත පැලැන්තියක් මත රැඳී සිටින්නා වූ තන්ත‍්‍රයකට නායකත්වය දෙන පුටින්, විශ්වාසය තබා ඇත්තේ, මිලිටරි උපාමාරු හා මහා රුසියානු ස්වෝත්තමවාදය යන ප‍්‍රතිගාමී යාන්ත‍්‍රනයන් මත ය. රුසියානු දේශ සීමාවන්ගෙන් ඔබ්බෙහි සහයෝගයක් දිනා ගැනීම කෙසේ වෙතත්, ඒකායන මූලෝපායික දෘෂ්ටියකින් වියෝ වූ පුටින්, සිය තන්ත‍්‍රය නින්දිත හා බයාදු ලෙස අපකීර්තියට පත් නොවන පසුබැසීමේ මාවතක් සොයමින් සිටියි. එහෙත්, එක්සත් ජනපද පීඩනය ලිහිල් කරනු ඇති බවට කිසිදු නිශ්චිත බවක් නොමැති තතු හමුවේ, අර්බුදය පාලනයෙන් පිට පැනීමේ අන්තරාය පවතියි.

පලමු ලෝක සංග‍්‍රාමයට තුඩු දුන් 1914 ජුලි අර්බුදය පිලිබඳව මෑතක දී පල වූ The Sleepwalkers (නින්දෙන් ඇවිදින්නෝ) යන කෘතිය තුල ඉතිහාසඥ ක‍්‍රිස්ටෝෆර් ක්ලාක්, ව්‍යසනයන් නිර්මානය කලා වූ යුරෝපා රාජ්‍ය තාන්ත‍්‍රිකයන්ගේ වැරදි ගනන් බැලීම්වලට මුල් වූ අදූරදර්ශීකම් කෙරෙහි අවධානය යොමු කරවයි. එහෙත් ඔබාමා හා ඔහුගේ යුරෝපා අනුචරයන්ට සාපේක්ෂව 1914 අර්බුදයේ නියෝජිතයන්, සංයමයේ නිරූපකයන් සේ පෙනී යයි.

වත්මන් අර්බුදයෙන් ගැලවීමේ මාවතක් සොයා ගත්ත ද එය පවතිනු ඇත්තේ කෙටි කලක් පමනි. ඉක්මනින් ම තවත් අර්බුදයක් ලඟා වනු ඇත. 2014 පෙබරවාරි-මාර්තු අර්බුදය අධිරාජ්‍යවාදී ක‍්‍රමය යුද්ධයකට යා යුතු ය යන්න පිලිබඳව කිසිදු සැකයකට ඉඩක් තබා නැත. මෙය වැලැක්විය හැකි එක ම මග වන්නේ, සමාජවාදය සඳහා අරගලය තුල ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම පමනි.

පීටර් ෂ්වාස් හා ඩේවිඩ් නෝර්ත්

Share this article: