ඔබාමාගේ “ප්‍රකෘතියේ“ පස් වසර

Five years of Obama’s “recovery”

2014 මාර්තු 8

මෙම සතිය, ලේමන් බ‍්‍රදර්ස් ආයෝජන බැංකුව බිඳවැටීමත් සමග පැනනැගි මූල්‍ය අර්බුදයේ උච්ච අවස්ථාවේ, නිව් යෝර්ක් කොටස් හුවමාරුව එහි පතුලටම කිඳා බැසීමේ තැන් පටන් පස් වසරක් ගතවීම සලකුනු කරයි. 2009 මාර්තු 06දා, ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය බිඳ වැටීමෙන් පසුව එහි පහතම අගය වූ ඒකක 6443ක් සලකුනු කලේය. දින තුනකට පසුව, මාර්තු 9දා එස්ඇන්ඞ් පී 500 දර්ශකය බිඳවැටීමේ පහතම අගය වූ ඒකක 646 සලකුනු කලේය.

මෙම සතියේ කොටස් ගනුදෙනු නිමාවන විට ඩව් ජෝන්ස් දර්ශකය පස් වසරකට පසුව ඒකක 10000න් හෙවත් සියයට 154න් ඉහල ගොස් 16452 මට්ටමට ලඟා විය. එස්ඇන්ඩ්පී 500 දර්ශකය ඩව් ජෝන්ස් දර්ශකයට ද වඩා වේගයෙන් ඉහල නැගී ඒකක 1878 දක්වා හෙවත් සියයට 170න් ඉහල ගියේය.

මේ වනාහී, මෑත සතිවල වාර්තාවූ සංඛ්‍යා තොගයෙන් වඩාත් කැපී පෙනෙන දේවල් වන අතර එය පෙන්නුම් කරන්නේ එක්සත් ජනපදයේ මූල්‍ය වංශාධිපතිත්වය වෙත 2008 කඩා වැටීම මගින් ඉතිහාසයේ පෙර නුවූ විරූ පරිමාවකින් ධනය යලි බෙදාහැර තිබීමයි.

කොටස්, බැඳුම්කර, ආරක්ෂක අරමුදල්වල කොටස් හා අනෙකුත් මූල්‍ය වත්කම් වලින් ඉහලම පංගුව හිමිකරගන්නා පරපුට්ටනගේ ධනය වෙන කවර කලෙකවත් මෙතරම් තරවී නැත. ඒවා වාර්තාගත මට්ටම් වලින් ඉහල ගොස් තිබේ. එජ ජනගහනයේ ධනවත්ම සියයට 1, 2009 හා 2012 අතර කාලයේ වැඩිවුන ආදායමෙන් සියයට 95ක් මඩිගසාගෙන ඇත. මෙම සතිය මුල ලෝසවෙඅ වාර්තාකල පරිදි, පසුගිය වසරේ පමනක් ලෝකයේ ප‍්‍රකෝටිපතියෝ තම ධනය ඩොලර් ටි‍්‍රලියනයකින් ඉහල යනු අත්දුටුවෝය.

එජ භාන්ඩාගාරයෙන් හා ෆෙඩරල් මහ බැංකුව වෙතින් ටි‍්‍රලියන ගනනින් සල්ලි, නය හා නය සහතික හිමිකරගත් බැංකු සම්බන්ධයෙන් ගත් කල, ඒවායේ කොටස් මිල හා ආදායම් යන දෙකම අහස උසට නැගිනි.

දැනට වැටුපට වැඩ කරන හෝ දැනට රැකියාවක් නොකරන එහෙත් රැකියා සොයමින් සිටින, හෝ සිය අතීත වැටුපෙන් අඩුකරගත් සමාජ ආරක්ෂන හා විශ‍්‍රාමික සහන ලබන, ජනගහනයෙන් අති මහත් බහුතරය වන ඇමරිකානු කම්කරු පන්තිය පිලිබඳව තත්වය බෙහෙවින් වෙනස් එකකි.

එජ මධ්‍යම මට්ටමේ කුටුම්භයන්හි ආදායම, උද්ධමනයට ගැලපීමෙන් පසුව 2009 මාර්තුවේ පටන් සැබවින්ම වසරකට සියයට 6න් පහත වැටී ඩොලර් 52297 බවට පත්ව ඇත. 50වන ප‍්‍රතිශතය තුල ජීවත්වන මධ්‍යම මට්ටමේ පවුලක තත්වය මූල්‍ය අර්බුදය හේතුකොටගෙන පස් වසරකට පෙර තිබුනාට වඩා අද බෙහෙවින් නරක අතට හැරී ඇත.

විරැකියා අනුපාතය යාන්තමින් හොඳ තත්වයක් පෙන්වන්නේ, මිලියන ගනනක් කම්කරුවන් ශ‍්‍රම බලකායෙන් ඉවතට තල්ලුවී ගොස් රැකියා සොයන්නන් ලෙස තවදුරටත් ලියාපදිංචිවී නැති නිසාය. “අධෛර්යමත්ව” හා අර්ධ කාලීන රැකියාවල නියුතු කම්කරුවන් ද ඇතුලත් කලහොත් සැබෑ විරැකියා අනුපාතය සියයට 15ට වැඩි මට්ටමක එනම් අවපාත මට්ටමේ පවතිනු ඇත.

කම්කරුවන්ගේ මූර්ත වැටුප එකතැන පල්වෙද්දී ජීවින වියදම පසුගිය පස් වසර තුල එක දිගට ඉහලගොස් තිබේ. අද දිනයේ රටේ බොහොමයක් ප‍්‍රදේශවල පෙට‍්‍රල් ගැලූමක මිල 2009 පැවති ඩොලර් 2.40 සිට 3.60 දක්වා සියයට 50ත් වැඩි ප‍්‍රමානයකින් ඉහලගොස් ඇත. පවුලක වාර්ෂික සෞඛ්‍ය රක්ෂන වාරිකය 2003 වසරේ ඩොලර් 2412 සිට පසුගිය වසරේදී 4565 දක්වා දෙගුනයකින් පමන ඉහල ගොස් තිබේ. ආහාර මිල ගනන් සම්බන්ධයෙන් ගත්කල, කිරි, පලතුරු හා එලවලු ද අනෙකුත් අත්‍යවශ්‍ය දෑ ද එක දිගට ඉහල ගොස් තිබෙන අයුරු සුපිරි වෙලඳසැල් වලින් බඩු ගන්නා අයට අරුමයක් නොවේ.

සිය දෛනික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වැඩකරන ජනතාවට තව තවත් නය ගැනීමට සිදුව තිබේ. 2013දී කුටුම්භ නයගැතිකම සිව්වන කාර්තුවේදී ඩොලර් බිලියන 241න් ඉහල ගොස් ටි‍්‍රලියන 11.52 දක්වා නැගී ඇත. පසුගිය වසරේදී කුටුම්භයන්ගෙන් තුනෙන් එකකට සතයක්වත් ඉතිරිකරගත හැකි නොවීය.

නයගැති කමේ ලොකුම එක වැඩිවීමක් සලකුනු කලේ, පෙර වර්ෂය සමග සසඳන කල බිලියන 114න් ඉහල ගිය ශිෂ්‍ය නය හිඟයයි. රැකියා වෙලඳපොල තමන්ට අශුභ අනාගතයක් පෙන්නුම් කරමින් අඩු වැටුප් හා අනාරක්ෂිත රැකියා පමනක් ඉතිරිකර තිබෙන බව තරුන පරම්පරාවට දැකගත හැකිව තිබේ.

සුපිරි ධනවතුන්ගේ වාසනාව හා ඉමහත් බහුතරයක් පැවැත්ම සඳහා ගෙන යන අරගලය අතර වෙනස කෙතරම් පැහැදිලි හා පුලුල් ද යත් ව්‍යාපාරික පාලිත මාධ්‍ය හා දේශපාලන පක්ෂවලට පවා ඒ ගැන කථා නොකර නිහඬව සිටිය නොහැකිවී තිබේ. ඔබාමා හා ඩිමොක‍්‍රටිකයෝ ආර්ථික අසමානත්වය පිලිබඳ ප‍්‍රශ්නය සිය රිපබ්ලිකානු ප‍්‍රතිමල්ලවයන්ට එරෙහිව එහෙත් බාගෙට තැම්බුනු ආකාරයෙන් හා කිසිදු බැරෑරුම් ප‍්‍රතිපත්ති යෝජනා වලින් තොරව ඔසවා ගැනීමට වෑයම් කරති.

අසමානාවට එරෙහි ඔබාමාගේ “ව්‍යායාමය” මුලුමනින්ම නරුම හා ප්‍රෝඩාකාරීය. මක්නිසා ද යත් මෙම පාලනාධිකාරයේ පස් වසරක වාර්තාව ඉහත දැක්වූ දත්ත වලින් පවා පෙන්නුම් කරන බැවිනි. ඩව් ජෝන්ස් දර්ශකයේ ඒකක 10,000ක නැගීම කිසිසේත්ම අහම්බයක් හෝ හුදු අන්ධ වෙලඳපොල බලවේගවල ප‍්‍රතිපලය නොවේ. එය වනාහි, සමපේක්ෂකයින් හා බැංකු වලට ඇප දීම මගින් ඇමරිකානු ධනවාදය වෙනුවෙන් ගෙවීම වැඩකරන ජනතාව මත පැටවීම සඳහා බුෂ් හා ඔබාමා, ඩිමොක‍්‍රටිකයින් හා රිපබ්ලිකානුවන් යන දෙගොල්ලන්ම හිතාමතාම ක‍්‍රියාවට නැගි ප‍්‍රතිපත්තිවල ප‍්‍රතිපලය වන්නේය.

අසමානතාවය දේශපාලන ජීවිතයේ සෑම අංශයකටම ආසාදනය වී තිබේ. පාලක පන්තියේ දේශපාලන ජීවිතයෙහි නිත්‍ය අංගයක් බවට පත්ව ඇති යුද්ධය සඳහා අනවරත තල්ලුව තුල එය ඉටුකරන්නේ සුලුපටු කාර්යභාරයක් නොවේ. රටතුල පවත්නා ගැඹුරු සමාජ බෙදීම් පිලිබඳව අවධානයෙන් පසුවන ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තිය න්‍යෂ්ටික බලවතුන් අතර මිලිටරි ගැටුමක තර්ජනය ගෙන එමින් දැන් යුකේ‍්‍රනය සිවිල් යුද්ධයකට ඇද දැමීමට තර්ජනය කරන රුසියාව සමග ගැටුමක ස්වරූපයෙන් ආතතීන් පිටතට හරවා යැවීමට උත්සාහ කරයි.

එසේම අසමානතාවය, එජ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් බිඳවැටීම තුල මුල්බැස ඇත. ව්‍යාපාරික මාධ්‍ය විසින් ආවරනය කිරීම අතහැර දමා ඇත ද සෑම සතියකම ජාතික ආරක්ෂක ඒජන්සියේ දැවැන්ත පොලිස් රාජ්‍ය ඔත්තු බැලීම් පිලිබඳ තොරතුරු හෙලිදරව් කරන එඩ්වඩ් ස්නෝඩන්ගේ හෙලිකිරීම් වාර්තා වේ. මෙම වැඩසටහන්වල ප‍්‍රධාන ඉලක්කය වැඩකරන ජන සමූහයන්ය.

පසුගිය පස් වසර තුල පන්ති යුද්ධයේ හා සමාජ ප‍්‍රතිවිප්ලවයේ ප‍්‍රතිපත්ති පවත්වාගෙන ගොස් උත්සන්න කර ඇති ඩිමොක‍්‍රටිකයන් වේවා රිපබ්ලිකානුවන් වේවා, මහා ව්‍යාපාරිකයේ දේශපාලඥයින්ගෙන් කම්කරු පන්තියට අපේක්ෂා කල හැකි කිසිවක් ඇත්තේ නැත.

ධනේශ්වර ක‍්‍රමයට හා එහි ආරක්ෂකයින්ට එරෙහිව කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම පමනක් ඉදිරි මාවතක් සපයනු ඇත. මෙය ඉල්ලා සිටින්නේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම්වූ කම්කරු පන්තියේ නව විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි.

පැටි‍්‍රක් මාටින්

Share this article: