එක්සත් ජනපදය හා යුරෝපය යුකේ‍්‍රනය පිලිබඳව රුසියාවට එල්ල කරන තර්ජන දැඩි කරයි

US, Europe step up threats against Russia over Ukraine

ස්ටෙෆන් ස්ටේන්බර්ග් විසිනි, 2014 පෙබරවාරි 28

"අනෙකුත් ජාතීන් යුකේ‍්‍රනයේ ස්වෛරීත්වයට ගරු කරමින් ප‍්‍රකෝපකාරී ක‍්‍රියා නතර කල යුතු බව අපගේ අදහසයි. ඊයේ දිනයේදී නිවේදනය කල යුකේ‍්‍රන දේශසීමා දිගේ පවත්වන රුසියානු මිලිටරි අභ්‍යාස මවිසින් සමීපව නිරීක්ෂනය කරන්නේ එබැවින්ය.” හේගල් පැවසීය.

හේගල්ගේ අනතුරු ඇඟවීම් නිකුත් වූයේ එජ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී රුසියාවට එරෙහි සිය තර්ජන එල්ල කිරීමෙන් දිනකට පසුව ය. "යුකේ‍්‍රනයේ ස්වෛරී භෞමික අඛන්ඩතාව උල්ලංඝනය කරනු ලබන කුමන වර්ගයක හෝ මිලිටරි මැදිහත්වීමක් දැවැන්ත හා බරපතල වැරැද්දක් වනු ඇත. යුකේ‍්‍රනයේ භෞමික අඛන්ඩතාවට ගරු කිරීම අවශ්‍යය.” ඔහු වොෂින්ටනයේදී මාධ්‍යවේදීන් හමුවේ පැවසීය.

නේටෝ රැස්වීමෙන් අනතුරුව ජර්මනියේ විදේශ ඇමතිනී උර්සුලා වොන් ඩර් ලෙයන්, කෙරී හා හේගල්ගේ තර්ජන පුනරුච්චාරනය කලාය. "යුකේ‍්‍රනයේ, විශේෂයෙන්ම ක‍්‍රිමියාවේ තත්වය අප තුල බරපතල කනස්සල්ලක් පැනනංවයි. තත්වය බෙහෙවින් ව්‍යාකූල හා දුෂ්කරය. එමෙන්ම දැන් වැදගත් වන්නේ විශේෂයෙන්ම යුකේ‍්‍රනය බිඳී යාම වැලැක්වීමයි. රටතුල මැදහත් බලවේග ශක්තිමත් කල යුතුය.”

අනෙකුත් රටවල් "ප‍්‍රකෝපකාරී ක‍්‍රියාවන්ගෙන්” වැලකිය යුතු බවට කෙරෙන එජ හා යුරෝපීය ප‍්‍රකාශ තරයේම කුහකය. ෆැසිස්ට් කල්ලි සමග පෙල ගැසෙමින් යුකේ‍්‍රනය සිවිල් යුද්ධයක අද්දරට තල්ලු කල අදූරදර්ශී හා ප‍්‍රකෝපකාරී ප‍්‍රතිපත්තියක් අනුගමනය කලේ හරියටම එජ හා ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය බලවතුන්ය.

ඔවුන්ගේ ප‍්‍රතිපත්තියෙහි අරමුන වූයේ යුකේ‍්‍රනය රුසියාවේ බලපැම් ක්ෂේත‍්‍රයෙන් බිඳ දැමීම හා රුසියාවම දුර්වල කිරීමයි. බටහිර හා නැගෙනහිර අතර නව "සීතල යුද්ධයක්” යලි ඇරඹීම පිලිබඳව දැන් විවිධාකාර මාධ්‍ය ප‍්‍රකාශයන්හි සඳහන් කෙරෙන දේ, බටහිර යුකේ‍්‍රනයේ හා රටේ අගනුවර වන කියෙව්හි ජාතිකවාදී හා ෆැසිස්ට් බලවේගයන්ට මෑත මාසවලදී එජ හා යුරෝපීය නායකයින් අදූරදර්ශී ලෙස දුන් සහයෝගයේ සෘජු ප‍්‍රතිවිපාකය වේ.

යුකේ‍්‍රනයේ බටහිර ප‍්‍රදේශවල පැලපදියම්ව සිටින, ක‍්‍රිමියාව තුලට කඩාවදින බවට දිව්රා ඇති, අන්ත දක්ෂිනාංශික බලවේගයන්ගේ තර්ජනයට ප‍්‍රතිචාර වශයෙන් රුසියාවට හිතවත් සටන්කාමීහු, ක‍්‍රිමියාවේ අගනුවර වන සිම්ෆරෝපොල් ආන්ඩු මූලස්ථානය හා ප‍්‍රාදේශීය පාර්ලිමේන්තුව 26දා රාත‍්‍රියේ සිය ග‍්‍රහනයට ගෙන ඇත. පනස්දෙනෙකුගෙන් පමන සමන්විත සන්නද්ධ කන්ඩායමක් ගොඩනැගිලි අල්වාගෙන රුසියානු ධජය එසවූහ.

ක‍්‍රිමියාව වනාහි ප‍්‍රධාන කොටම රුසියානු බස කථාකරන ජනගහනයකින් හෙබි හා රුසියානු කලුමුහුදේ නාවික බලඇනිය ස්ථානගත කොට තිබෙන තැනයි. මිලිටරි ගැටුමක අන්තරාය සලකුනු කරමින් රුසියානු හමුදා බලමන්ඩලයේ හිටපු කර්නල් වරයෙකු වන ඊගෝ කොරචෙන්කෝ රුසියාවේ ඔන් ලයින් පුවත්පතක් වන ස්ලොන්රූහි මෙසේ ලිවීය. "අනීතික සන්නද්ධ බලවේගයන් ක‍්‍රිමියාවේ ප‍්‍රාදේශීය ආන්ඩුව බලහත්කාරයෙන් පෙරලා දැමීමට උත්සාහ කලහොත්, සිවිල් යුද්ධයක් ආරම්භ වන අතර රුසියාවට එය නොතකා සිටිය නොහැකිය.”

ජර්මානු ආරක්ෂක ඇමතිනිය සඳහන් කල "මැදහත් බලවේග” පිලිබඳව සලකා බැලුවහොත්, යුකේ‍්‍රනියානු පාර්ලිමේන්තුව විසින් 27දා විශාල බහුතරයකින් පත්කල නව කැබිනට් මන්ඩලය තුල ඔවුන් එක් අයෙක්වත් සොයාගත නොහැකිය. කෙසේ වෙතත් නව කැබිනට්ටුව ද පතුලෙන්ම ප‍්‍රතිගාමීය. සියලු වැදගත් තනතුරු අත්කරගෙන සිටින්නේ එක්කෝ කලින් පැවති ආන්ඩුවල සිටි ප‍්‍රමුඛයින්ය, නැතහොත් ෆැසිස්ට්වාදීන් හෝ කතිපයාධිකාරයේ අවශ්‍යතා නියෝජනය කරන්නවුන්ය. නව පාලන තන්ත‍්‍රයේ ප‍්‍රතිගාමී ස්වභාවය වසං කිරීමේ උත්සාහයක් ලෙස ආන්ඩුවේ තනතුරු ගනනාවක් නිදහස් චතුරස‍්‍රයේ පැවති විරෝධතාවන්හි ක‍්‍රියාශීලී පුද්ගලයින්ට පිරිනමා ඇත.

අපේක්ෂා කල පරිද්දෙන්ම අගමැති තනතුර, වංචා සම්බන්ධයෙන් වරදකාරිය කර සිටින යූලින් ටිමෂෙන්කෝ හා කතිපයාධිකාරය විසින් පිහිටුවන ලද දක්ෂිනාංශික පීතෲභූමි පක්ෂයේ නායකයා වන හිටපු බැංකුකරුවෙකු වන ආසනේ යැට්සෙනික් වෙත පිරිනමා ඇත. යැට්සෙනික් යුකේ‍්‍රන ජාතික බැංකුවේ හිටපු ප‍්‍රධානියා ද විදේශ ඇමති හා යුකේ‍්‍රන පාර්ලිමේන්තුවේ කථානායක ද විය.

යැට්සෙනික් වොෂින්ටනයේ තේරීම ද විය. ඔවුන් ඔහු හඳුන්වන්නේ "යැට්ස්” යන සුරතල් නමෙනි. එය හෙලිදරව් වූයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ යුරෝපීය නිලධාරිනියක් වන වික්ටෝරියා නියුලන්ඩ් හා යුකේ‍්‍රනයේ එජ තානාපති ජොෆ්රි පියැට් අතර පැවති පටිගත කල කුප‍්‍රකට දුරකථන සංවාදයකිනි.

නියෝජ්‍ය අගමැති තනතුර ද ඇතුලු තනතුරු තුනකට නොඅඩු සංඛ්‍යාවක් ෆැසිස්ට්වාදී ස්වබෝධා පක්ෂයට හිමිවී ඇත. ජනාධිපති වික්ටර් යනුකොවිච් නෙරපා හැරීමේ ද පසුගිය සතියේ ආරක්ෂක හමුදාවන්ට පහර දීමේදී ද ඔවුහු ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටු කලහ.

ස්වබෝධා පක්ෂයේ නියෝජ්‍ය නායකයා වන ඔලෙක්සැන්ඩර් සයික් නියෝජ්‍ය අගමැති ලෙස පත්කර තිබේ. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් ලෙස සිය කාර්ය සාධනයේදී සයික්, දූෂනයෙන් සිදුවන ගැබ්ගැනීම් ද ඇතුලු සියලු ගබ්සාවන් තහනම් කරන නීති පැනවීමට උත්සාහ කලේය. "යුකේ‍්‍රනියානු පවුල් වටිනාකම්” පිලිබඳව ස්වබෝධා උත්කර්ෂයට නැංවීමෙහිලා ඔහුගේ දායකත්වය, දූෂනයට ලක්වීමෙන් වැලකී සිටීම පිනිස මත්පැන් පානය නොකරන ලෙසත් "මතභේදාත්මක බැඳීම්” අත්හරින ලෙසත් කාන්තාවන්ට දැනුම් දීම විය.

තවත් ස්වබෝධා සාමාජිකයින් දෙදෙනෙක් කෘෂිකර්ම හා පරිසර ඇමතිවරු ලෙස පත්ව සිටිති. ෆෝබ්ස් සඟරාවට අනුව, නව කෘෂිකර්ම ඇමති ඔලෙක්සැන්ඩර් මයිරී 2012 වසරේදී ගනන් බලන ලද ඩොලර් මිලියන 1.6ක ආදායමක් සහිත ස්වබෝධාහි ඉහලම ආදායම් ලබන පස්දෙනා අතරින් කෙනෙකි. ඔහුගේ ප‍්‍රධාන ව්‍යාපාරික යොමුව පවතින්නේ කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයට වන අතර ඔහුගේ නව පත්වීම එම අව්‍යතාවන් සමග නිහීන ලෙස බැඳී ඇත.

තවත් ස්වබෝධා සාමාජිකයෙක් වන ඔලෙක් මැකිනිටස්කි වැදගත් ක්ෂේත‍්‍රයක් වන නීතිපති දෙපාර්තමේන්තුවේ ප‍්‍රධානියා ලෙස පත්ව සිටියි. සතියකට පෙර එම තනතුරට පත්වූ මැකිනිට්ස්කි, රුසියාව තුල රැකවරන ලබා ඇති බවට චෝදනා නැගී ඇති බලයෙන් පහකරන ලද ජනාධිපති වික්ටර් යනුකොවිච් අත්අඩංගුවට ගැනීමේ ජාත්‍යන්තර වරෙන්තුවක් මේ සතියේදී නිකුත් කරන ලදී.

යුකේ‍්‍රන සමාජ ජාතික පක්ෂය නම් ස්වබෝධාහි පූර්වගාමී සංවිධානයේ සම නිර්මාපක ඇන්ඩි‍්‍ර පරූබි විසින් තවත් ප‍්‍රධාන තනතුරක් දරනු ලබයි. පරූබි වත්මන් ස්වබෝධා නායකයා වන ඔලෙක් ට්යානිබොක් සමග එක්ව 1991දී එම සංවිධානය පිහිටුවන ලදී. යනුකොවිච්ගේ ආරක්ෂක හමුදාවන්ට පහර දුන් දක්ෂිනාංශික මිලිෂියාවන්ට නායකත්වය දුන් පරූබි, දැන් ජාතික ආරක්ෂක කවුන්සිලයේ නායකත්වයට පත්කර තිබේ.

ලිබරේෂන් පුවත්පතට අනුව, නාසිවාදී දක්ෂින නිකායික කන්ඩායමේ නායකයා පරූබිගේ දෙවැනියා වේ. මෙහි අර්ථය වන්නේ, ස්වබෝධා හා අන්ත දක්ෂිනාංශිකයින් ආරක්ෂක පර්යායේ මූලික තනතුරු දරමින් ඉදිරි කාලයේ හටගන්නා සමාජ නොසංසුන්තා මැඩීමේ ප‍්‍රහාරක බලඇනි සංවිධානය කිරීමේ වගකීම භාරගෙන ඇති බවයි.

නව පාලනයේ මුදල් අමාත්‍යාංශයේ වැදගත් තනතුරක් දරන ඔලෙක්සැන්ඩර් ෂ්ලැපැක්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතාවන්හි ඇපකරුවා ලෙස සලකන ලද ප‍්‍රිවට් බැන්ක්හි නියෝජ්‍ය ප‍්‍රධානියා ය.

නම්කල අනෙකුත් අයට විවිධ කතිපයාධිකාරීන් සමග සමීප සම්බන්ධතා පවතියි. ප‍්‍රාදේශීය ප‍්‍රතිපත්ති පිලිබඳ නව නියෝජ්‍ය ඇමති වොලෝඩිමෙයර් ග්‍රොයිස්මන්, සිය කාර්ය සාධනය පටන් ගත්තේ කෘෂි ව්‍යාපාර හා ඉඩම් ගොඩනැගීමේ යෙදුනු අයෙක් ලෙසය. ඔහු හිටපු ජනාධිපති යෙනුකොවිච්ගේ පක්ෂ සාමාජිකයෙකු වූ අතර ඔහු දැන් දශලක්ෂපති ව්‍යාපාරික හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී පෙට්රෝ පොරොෂෙන්කෝට සමීපවන්තයෙකි. අගනුවර බලශක්ති සැපයුම් ඒකාධිකාරියා වන කිවෙනීර්ගෝහි කලින් සේවය කල නව බලශක්ති ඇමති යූරි ප්‍රෝඩන්, ජාතික බලශක්ති වෙලඳපොලක් නිර්මානය කිරීමේ ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපයක් ඉටුකලේය. යුකේ‍්‍රනියානු මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රෝඩන් කෝටිපති ඊගෝ කොලමොයිස්කිට අයත් ප‍්‍රිවට් සමූහයේ කිට්ටුවන්තයෙකු ලෙසය.

නව ආන්ඩුවට පැවරී තිබෙන්නේ පූර්වයෙන් පැවති ආන්ඩු විසින් ක‍්‍රියාත්මක නොකල බවට අගමැති යැට්සෙන්යුක් මැසිවිලි නැගූ "අන්තයටම අපකීර්තිමත් පියවර” ගැනීමයි. එනම්, බලශක්ති මිල ඉහල නැංවීම, බැර කර්මාන්තයේ විශාල පදාසයක් වසා දැමීම හා දරුනු සමාජ කප්පාදු ක‍්‍රියාවට නැගීමයි.

රට මූල්‍ය අර්බුදයකට මුහුනපා සිටියි. ඊලඟ වසර දෙක තුල රජයේ වියදම් පියවීම පිනිස ඩොලර් බිලියන 35ක පමන මූල්‍ය ඇපකර නය අවශ්‍යවනු ඇති බවට ගනන් බලා තිබේ. මෙම ප‍්‍රමානයෙන් අඩක් පමන එනම් බිලියන 15ක්ම බටහිර බැංකු වලට ගෙවිය යුතුව ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කලමනාකරන අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටිනා ලැගාර්ඩ් 27දා ප‍්‍රකාශ කලේ, ආර්ථික තත්වය පරීක්ෂාකර බලා ආන්ඩුවට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා එය කන්ඩායමක් යුකේ‍්‍රනයට යවනු ඇති බවයි. "අරමුදලේ සහාය ලබන වැඩසටහනක පදනම වනු ඇති ප‍්‍රතිපත්ති සංශෝධන එහිදී ඉදිරිපත් කරනු ඇත.” මීට පෙර යනුකොවිච් ආන්ඩුව සමග සිදුකල ගනුදෙනු වලදී ජාමූඅ එවන් "ප‍්‍රතිසංස්කරන” නිර්දේශ කර තිබුනි. ඒ අතර වැටුප් හා විශ‍්‍රාමික දීමනා දරුනු ලෙස කැපීම ඇතුලු කප්පාදු පියවර, හා පාරිභෝගික වියදම් පිම්මේ ඉහල යා හැකි ගෑස් සහනාධාර අත්හිටුවීම ද විය.

2008 ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා ගිය තැන් පටන්, යුරෝපීය සංගමයේ හා එජ සහාය ඇතිව ග‍්‍රීසියේ හා ඉතාලියේ තෝරා පත්කර නොගත් ආන්ඩු පිහිටුවන ලදී. ඒවායේ කර්තව්‍යය වූයේ කප්පාදු ක‍්‍රියාත්මක කර බටහිර බැංකුවලට හුස්ම පිඹීමයි. දැන් පලමු වතාවට එම අධිරාජ්‍යවාදී සන්ධානයම තෝරා පත්කරගත් ආන්ඩුව පෙරලා දමා බටහිර ගැති තන්ත‍්‍රයක් ඇටවීම පිනිස ආන්තික ජාතිකවාදී හා ෆැසිස්ට් බලවේග මෙහෙයවනු ලබයි.

Share this article: