ධනේශ්වර අර්බුදය සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය සඳහා සටන

The capitalist crisis and the fight for socialist internationalism

2014 මැයි 05

මෙම ඉදිරිදර්ශන ලිපියට අන්තර්ගත වන්නේ, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති සහ එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ සභාපති ඩේවිඩ් නෝර්ත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංවිධානය කල ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලිය විවෘත කරමින් මැයි 4 ඉරිදා පැවැත්වූ කතාවයි.

මැයි දිනය සමරමින් පවත්වන ලද මෙම ප‍්‍රථම අන්තර් ජාල රැලියට සහභාගී වන්නා වූ ලෝකය පුරා වැඩකරන ජනයා ද තරුනයින් ද හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වෙනුවෙන් පිලිගැනීමට මට අවසර දෙන්න. රටවල් හැටකට වැඩි ප‍්‍රමානයක ශ‍්‍රාවකයන් ගෙන් මෙම රැලියට ලැබී ඇති අසාමාන්‍ය සහභාගිත්වය, මෙහි ඇති ඉමහත් දේශපාලන සහ ඓතිහාසික අර්ථභාරය ඔප්පු කරයි. එය නියෝජනය කරන්නේ සමාජවාදය සඳහා කම්කරු පන්තියේ නව ජාත්‍යන්තර විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනයේ සන්ධිස්ථානයකි. එයට සහභාගී වන්නෝ ජාත්‍යන්තර කම්කරු පන්තියේ සුවිශාල හරස් කඩක් නියෝජනය කරති. මෙම ගෝලීය ශ‍්‍රාවකය ලෝක ජනගහනයේ ඉමහත් විවිධත්වය නියෝජනය කරයි. එහෙත් මෙම රැස්වීම තුල, පාලක ප‍්‍රභූන් ජනතාව බෙදාලීමට යොදාගන්නා සකල භේදයන් ම එනම් - “ජනවර්ගය, ආගම, ජාතිකත්වය, ලිංගිකත්වය සහ වයස් වෙනස්කම යනාදී භේදයන්” - ලෝක ධනේශ්වර අර්බුදයේ අනිවාර්ය යථාර්තය ද පන්ති අරගලයේ දේශපාලන විධානය ද නූතන සමාජයේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ වෛෂයික විප්ලවවාදී භූමිකාව ද විසින් අහෝසි කරනු ලැබ ඇත.

මෙම රැලිය පෙන්නුම් කරන්නේ, ධනවාදයට එරෙහිව සමාජ ප‍්‍රතිවිරෝධයේ නව වර්ධනයක් පැන නගිමින් තිබෙන බවයි. පවත්නා ආර්ථික පර්යාය මානව වර්ගයා මුහුන දී සිටින ගැටලු වලට ශක්‍ය විසඳුම් සොයාගැනීමට අසමත්වී ඇතුවා පමනක් නොව, එය මෙම ග‍්‍රහලෝකය ම ව්‍යසනයක් කරා ඇද දමනවාය යන වැටහීම ඇති වෙමින් තිබේ.

මැයි දිනය වනාහි, සංස්ථාපිත මාධ්‍යයේ දිනපතා ප‍්‍රචාරයන්ට අභියෝග කිරීමට හා ධනේශ්වර සමාජය පිලිබඳ සිය අභි චෝදනාව ඉදිරිපත් කිරීමට උචිත අවස්ථාවයි. රෝසා ලක්සම්බර්ග් සාදරයෙන් වැලඳගනිමින් සිය ආදර්ශ පාඨය බවට පත් කරගත්, ෆර්ඩිනන්ඩ් ලැසාල් ගේ ප‍්‍රකාශය, එනම්, ඉහලම විප්ලවවාදී ක‍්‍රියාව “පවත්නා තතු ප‍්‍රකාශයට පත් කිරීමය” යන්න අද දින අපගේ කටයුතු මෙහෙයවන මූලධර්මය වන්නේය. ඒ අනුයන මෙම රැලියේ දී ජාත්‍යන්තර කමිටුව, සමකාලීන ධනවාදයේ හා අධිරාජ්‍යවාදයේ යථා ස්වභාවය හෙලි කරනු ඇත.

සමාජයේ දේශපාලන සංවිධානය වඩ වඩාත් සාපරාධී ලෙස උන්මත්තකයින් සඳහා තැනුනු සිරගෙයක ව්‍යුහය අත් කර ගනියි. එහෙත් මෙම ගෝලීය සිරගෙය තුල, බන්ධන ගත කර ඇත්තේ, සමාජයේ අතිමහත් බහුතරය වන සිහි බුද්ධිය ඇති ජනයා ය. පිස්සන් - එනම් ධනේශ්වර දේශපාලකයෝ, රාජ්‍ය ඔත්තු සේවාවන්හි වෘත්තීය මිනීමරුවෝ, මහා සංගතයන්හි මැර කල්ලි, යෝධ මූල්‍යමය වංචනිකයෝ - සිරගේ තාප්ප වටා තුවක්කු අතැතිව මුර සංචාරය කරති.

මෙයට අවුරුදු 25 කට පමන පෙර, නැගෙනහිර යුරෝපයේ සහ සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී තන්ත‍්‍ර විසුරුවා හැරීමෙන් ඉක්බිත්තේ, පාලක පන්තියේ දේශපාලන ක්ෂමාලාපකයෝ ධනවාදය විසින් සමාජවාදය ආපසු හැරවිය නොහැකි ලෙස පරාජය කර ඇති බවක් ප‍්‍රකාශ කලහ. මොවුන්ගේ විජයග‍්‍රහනවාදය පදනම් වූයේ, මාක්ස්වාදය ප‍්‍රතිගාමී ජාතිකවාදී මුසාකරනයට පත් කිරීමෙන් උපන් විකෘතිය වන, ස්ටැලින්වාදය වනාහි සමාජවාදයයි යන මුසාව මත ය. මෙම මුසාව පවත්වාගෙන යාම සඳහා ස්ටැලින්වාදයට එරෙහි සමාජවාදී අරගලයේ මුලුමහත් ඉතිහාසය, වෙසෙසින්ම ලියොන් ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය ගෙනගිය අරගලයේ ඉතිහාසය, විකෘති කර මුසාකරනය කිරීම පමනක් නොව මර්දනය කර යටපත් කර දැමීම අවශ්‍ය විය.

ධනේශ්වර විජයග‍්‍රහනවාදයෙන් වඩාත් මුලාවට පත්වූ කථකයෝ, “ඉතිහාසයේ අවසානය” ප‍්‍රකාශයට පත් කලෝ ය. 1991 දී සෝවියට් සංගමය විසුරුවාහැරීම මගින්, ආර්ථික ජීවිතය සංවිධානය කිරීම මත පදනම් වූ ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉක්මවා යා නොහැකි ය, එය මානව සමාජයේ ඉහලම මට්ටමය යන මුලාව වැපිරීය. ඉතිහාසය මෙවන් අදූරදර්ශී සාත්තරකාරයන් කොයිතරම් නම් විහිලුවට භාජනය කර තිබේ ද! ගත වූ දශක දෙක ධනපති සමාජයේ නිර්දය සහ වේගවත් බිඳවැටීමක් අත් දුටුවේය. සමාජයීය අපකෘතියේ ලක්ෂන සෑමතැනකම දක්නට ලැබේ. 1990 ගනන් වල පටන් ලෝක ධනවාදී ආර්ථිකය එක අර්බුදයක සිට තවෙකක ට ඇදවැටෙමින් ගමන් කොට තිබේ. ලෝකයේ ජනගහනයෙන් අතලොස්සකට ධනය පොදි බැඳ දුන් සමපේක්ෂන උත්පාත එකක් පිටුපස එකක් වශයෙන් පැමිනි අතර ව්‍යසනකාරී මූල්‍ය කඩාවැටීම් මගින් දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවකගේ ජීවන තත්වයන් සුන්කර දමා ඇත.

වෝල් වීදියේ ප‍්‍රභූන්ගේ භූමිකාව මෙතරම් සාපරාධි ක‍්‍රියාකලාපයක් ඉටු කලාවූ 2008 මුල්‍ය බිඳවැටීම, ලෝකය අවසානයක් නැති අවපාතයක ගිල්වා ගෙන සිටි. මුලු මහත් නාගරිකයන් පමනක් නොව රටවල් ද බංකොලොත් කර ඇත. 1930 ගනන් වලට පසු දක්නට නොලැබුනු විරැකියා මට්ටම් දිගින් දිගටම පවතිද්දී සමස්ත බාල පරම්පරාවකම "ශ‍්‍රම වෙලඳ පොල” වසා දමා ඇත. ඔවුන්ට උරුමව ඇත්තේ අවස්ථා හෝ අපේක්ෂා අහෝසි වූ අනාගතයකි. දශක ගනනාවක කාලය තුල කරන ලද අරගලවලින් දිනාගනු ලැබූ අයිතිවාසිකම් සහ සහන මැදි වියේ සහ වැඩිහිටි කම්කරුවන්ට අහිමි කර ඇත. ‘නිදහස් ව්‍යවසායේ’ දුෂිත බලකොටුව වූ එක්සත් ජනපද, විශ‍්‍රාම වැටුප් කපා දමා ඇත. අවුරුදු 70 සහ 80 ගනන් වල සිටින, මේ වනවිට සිය අතීත ශ‍්‍රමයේ ප‍්‍රතිඵල විශ‍්‍රාමික ව භුක්ති විඳිය යුතු වයස් ගත කම්කරුවන්ට පවා සිය දුබල ශරීර ශක්තිය, අවම වැටුප් ගෙවන වැඩ පලවල් කරා මෙහෙයවීමට සිදුව ඇත. මේ අතර ආන්ඩුව සහ හාම්පුත්තු, මෙම කම්කරුවනට යහපත් සෞඛ්‍ය සේවයක් සඳහා පවත්නා අවස්ථාවන් අහෝසි කිරීමට නැතිනම් තියුනු ලෙස කපා දැමීම සඳහා නිර්දය ලෙස පියවර ගනිති.

උග‍්‍ර වන සමාජ කාලකන්නිකම හමුවේ, ලෝක ජනගහනයෙන් අල්ප සංඛ්‍යාවක් අත දැවැන්ත ධන සම්භාරයක් ගොඩ ගැසී ඇති අයුරු, දිලිඳු කම පිටුදැකීම සඳහා වන ඔක්ස්ෆෑම් නම් ජාත්‍යන්තර සාමූහිකයේ අධ්‍යයනකින් එලිදරව් වී තිබේ. එම වාර්තාවට අනුව, ලෝකයේ පොහොසත්ම පුද්ගලයන් 85 අත ජනගහනයේ දුප්පත්ම අර්ධය සතු ධනය ඉක්මවන ධන සම්භාරයක් ගොඩ ගැසී තිබේ. එනම් මිනිසුන් බිලියන 3.5කි. මෙහි අර්ථය, සමාන්‍යයෙන් මෙම පොහොසත්ම පුද්ගලයන් 85 දෙනාගෙන් එක් අයෙක් මිනිසුන් 41,176,000 සතු ධනය තරම් ප‍්‍රමානයක් පොදිගසා ගන්නා බවයි. නුතන ධනවාදයේ අගතිගාමී හා අතාර්කිකත්වය පිලිබඳව මෙයටත් වැඩි අටුවාවක් අවශ්‍ය ද ?

බිලියන පතියන් අතලොස්සක් අත මෙතරම් පිලිකුල් සහගත ලෙස ධනය ගොඩ ගැසෙන කල, ඔවුන්ට ලැබී තිබෙන බලය මගින් පවත්නා සමාජ ව්‍යුහයේ ද දේශපාලන ක‍්‍රමයේ ද සෑම අංගයක්ම දුෂනය වී ඇත. සිය අසීමිත ධනය සහ වරප‍්‍රසාද සහිතව ලෝකය තුල පැලපදියම්ව සිටිනා “විශ්වයේ අධිපතියන්” තමන් යයි කියා ගන්නා මෙම පුද්ගලයෝ, තමන්ගේ ම ගිජුකමට පිටින් කුමන හෝ යථාර්තයක් නොදකිති. මෙම නොමිනිය හැකි ධනය පොදිබැඳ ගත් අයගේ මානසිකත්වය පිලිබඳව කාල් මාක්ස් බොහෝ කලකට පෙර මෙසේ විස්තර කලේ ය:

උන් ගෙන් අපට අසන්නට ලැබෙන්නේ මෙයයි. “මා නරකය, වංකය, අයුක්තිකය, තකතීරු ය, එහෙත් මගේ මුදලට ගරුකරනු ලැබේ. එහෙයින් මුදල් හිමියාට ද ගරු කෙරේ - ඉහලම යහපත නම් කාසි ය, එපමනක් නොව මුදල විසින් වංක විමේ විපාකවලින් මා මුදා ගනී. “එහෙයින් මා අවංක යයි පිලිගනු ලැබේ. මට මොලයක් නැත, එහෙත් මුදල් වනාහි සියලු දේවල සැබෑ මොලයයි. එසේනම් මුදල් තිබෙන එකා මෝඩ වන්නේ කෙසේ ද? මුදල් වලට පින්සිදුවන්නට මිනිස් හදවතට උවමනා සියලු දේ ලබා ගැනීමට සමත් මම, සියලු මානුෂික ශක්‍යතා දරා නොසිටින්නෙම් ද? එහෙයින් ධනය මගේ සියලු ඔලමොට්ටලකම් ඒවායේ ප‍්‍රතිවිරුද්ධය බවට පරිවර්තනය නොකරන්නේ ද?”

සමකාලීන ධනපති සමාජය පාලනය කරන දේශපාලන නියාමය ප‍්‍රජාතන්ත‍්‍රවාදය නොව කතිපයාධිකාරයයි. එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍යයේ කතිපයාධිකාරීන්ට, තරමක් පහත්, රුසියාවේ හා චීනයේ සිටින තමන් අනුකරනය කරන්නවුන්ගෙන් ඉගෙනීමට කිසිවක් ඇත්තේ නැත. කම්කරු පන්තිය සූරාකෑම උග‍්‍ර කිරීම සමග බැඳුනු සමාජ අසමානතාවයේ දුෂ්ඨ වර්ධනය මගින් උත්පාදනය කල සමාජ පීඩනයන් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රයේ සම්ප‍්‍රධායික ව්‍යුහයන් තුල පවත්වා ගත නොහේ. එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍රයේ කන්නලව්ව කවරදාකටත් වඩා විවෘත ලෙස යථාර්තය සමග ගැටෙයි. 2008 සැප්තැම්බරයේ හටගත් ආර්ථික උනුවී යාමට වගකිවයුතු සමාජ විරෝධී චර්යාව සඳහා කිසිදු බැංකුකරුවෙක් බන්ධනාගාර ගතකොට නැත. මූල්‍ය සමපේක්ෂකයින් පොහොසත් කල හා ඔවුන්ගේ සාපරාධිත්වයට ත්‍යාග පිරිනැමූ ආර්ථික ක‍්‍රමයේ සෘජු ප‍්‍රතිවිපාක වශයෙන් නොඉවසියහැකි තත්වයන්ට මුහුනදී සිටින ඇමරිකානු සමාජයේ පරිපීඩිතම හා දුප්පත්ම කොටස් කෙරෙහි පතුලටම දූෂිත අධිකරන ක‍්‍රමය කිසිදු අනුකම්පාවක් නොදක්වයි.

“නිදහසේ භූමිය” තුල, ඇමරිකානු ගුලැග් (දන්ඩන ශ‍්‍රම කඳවුරු වලට සමාන) පැතිරී යන ප‍්‍රාන්ත හා ෆෙඩරල් බන්ධනාගාර ජාලය තුල, මිලියන දෙකකටත් වඩා මිනිසුන් සිරගතකොට ඇත. ඇමරිකානු ධනවාදයට ආවේනික සියලු අමානුෂිකත්වයන් එහි සංකේන්ද්‍රිත ප‍්‍රකාශනය අත්කර ගන්නේ, ම්ලේච්ඡ මරන දඬුවම් පැමිනවීමේ ක‍්‍රියාවලිය තුලය. පසුගිය සතියේදී, ඔක්ලහෝමාහි සිරකරුවෙකු රජය විසින් නින්දිත ලෙස මරා දැමීම හමුවේ, සමස්ත ලෝකයටම සිය පිලිකුල සඟවා ගැනීමට නොපුලුවන් විය. වස දීමෙන් සිදුකල ඔහුගේ බිහිසුනු මරනය, මධ්‍යකාලීන යුගයේ වධ දීමේ දසුන් සිහියට නංවයි.

2001 වසරේ පටන් “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” ඉවහල් කරගෙන ඇත්තේ, එක්සත් ජනපදය තුල ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සිඳ දමන කඩතුරාවක් ලෙසය. ව්‍යවස්ථාපිත ආරක්ෂාව ක‍්‍රමානුකූලව අහෝසි කර ඇත. ජනාධිපතිගේ නියමය පරිදි ඇමරිකානු පුරවැසියන්ගේ ජීවිත හා නිදහස විධිමත් නීතිමය ක‍්‍රියාවලියකින් තොරව පාගා ඇත. පසුගිය වසර 15ක කාලය තුල, අබු ග‍්‍රයිබ්, ගුවන්තනාමෝ, ඩ්‍රෝන් යානා, රෙන්ඩිෂන් (වධ දීම සඳහා රැඳවියන් රට පැටවීම) හා වෝටර් බෝඩිං (ජල බිංදු දැමීමෙන් කරන වධ දීමේ ක‍්‍රමයක්) වැනි වචන අසීමිත කෲරත්වයට සමානාර්ථ පද ලෙස ලෝක ශබ්දකෝෂයට හඳුන්වා දී ඇති එක්සත් ජනපදය, අධිරාජ්‍යවාදී අනීතිකත්වය හා ප‍්‍රචන්ඩත්වය අතිශය නිර්දය අයුරින් ක‍්‍රියාවට නඟන්නා බවට පත්ව තිබේ. එක්සත් ජනපද ආන්ඩුවේ අපරාධයන්ට සහාය හා අනුබලය දී ඇති “මාධ්‍යයේ නිදහස” - හිටපු නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ කතෘ බිල් කෙලර්ගේ වචන වලින් පවසන්නේ නම් - යනුවෙන් තමන් අර්ථදක්වාගත් කොන්දක් නැති මාධ්‍ය විසින්, තොරතුරු හෙලි නොකිරීමේ අයිතිය බවට එය පත්කර තිබේ. රාජ්‍යයේ අපරාධ හෙලිදරව් කරමින්, ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන්ට එල්ල වන තර්ජනය ගැන ඔවුන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කරන අය, කුරිරු මර්දනයකට ලක් කර තිබේ. ජුලියන් අසාන්ජ් දෙවසරකට වැඩි කාලයක් ලන්ඩනයේ ඉක්වදෝර් තානාපති කාර්යාලයට කොටුකර ඇත. එඩ්වඩ් ස්නෝඩන්ට රුසියාවේ රැකවරන පැතීමට බල කෙරුනි. චෙල්සි බ‍්‍රැඩ්ලි මැනිං දශක ගනනාවකට හිරභාරයේ තබා ඇත.

මුදල් උමතුවෙන් පෙලෙන සුලු පිරිසක් විසින් ලෝක මහා ජනතාවගේ වියදමෙන් නින්දිත ලෙස පෞද්ගලික ධනය රැස්කරගෙන සිටීම, ලෝක නිශ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික ධනපති අයිතිය මත පදනම්වූ හා එය වන්දනාමාන කරන ආර්ථික ක‍්‍රමයක අතාර්කිකත්වය හෙලිදරව් කරයි.

එහෙත් ධනපති වෙලඳපොලේ මුග්ධකම පසෙකින්, යලි වතාවක් එක්සත් ජනපදය ප‍්‍රමුඛ ක‍්‍රියාකලාපය ඉටුකරනු ලබන, ලොව පුරා පැතිර යන මිලිටරි ගැටුමේ රටාව, ජාතික රාජ්‍ය පද්ධතියේ ඓතිහාසික බංකොලොත් කම පිලිබඳව වඩ වඩාත් සාක්ෂි සම්පාදනය කෙරේ.

මෙය ශතසංවත්සරයන්ගේ වර්ෂයයි. 2014 වර්ෂයේදී මානව වර්ගයා, 1914 ජූලි - අගෝස්තුවේ පිපිරුනු පලමු ලෝක යුද්ධයේ ශත සංවත්සරය ද 1939 සැප්තැම්බරයේ හටගත් දෙවන ලෝක යුද්ධයේ 75 වන සංවත්සරය ද සමරනු ලබයි. මෙම යුද්ධ දෙකේ ප‍්‍රතිපලය, දල වශයෙන් මිලියන 80ක් මිනිසුන් බිහිසුනු ලෙස මිය යාමයි. ඉතිහාසයේ අවසානය පිලිබඳ න්‍යායාචාර්ය වරුන්ට අනුව, අතීතයට පමනක් අයත්වන එවන් ව්‍යසනයන් යලිත් ඇතිවිය නොහැකිය. යන්තම් මාස කිහිපයක කාල පරාසය තුල යුකේ‍්‍රනයේ හටගෙන තිබෙන අර්බුදය මගින්, මිනිසුන් මිලියන සිය ගනනකගේ ජීවිත වනසා දැමීමට හේතුවන න්‍යෂ්ටික අවි සහිතව කෙරෙන ලෝක යුද්ධයක අවතාරය යලි ජීවමාන කර තිබේ.

අනෙකුත් කථිකයින්, විශේෂයෙන්ම ක‍්‍රිස් මාස්ඩන් සහෝදරයා, මෙම අර්බුදයේ වර්ධනය පිලිබඳව සවිස්තරාත්මකව විභාග කරනු ඇත. කියෙව්හි කුමන්ත‍්‍රනයක් සූදානම් කිරීම මගින් එක්සත් ජනපදය හා ජර්මනිය සිතාමතාම යුකේ‍්‍රන අර්බුදය ගිනි ඇවිලවූයේ කෙසේ ද යන්න ඔහු පැහැදිලි කරනු ඇත. මෙම කුමන්ත‍්‍රනයේ අරමුන, යුකේ‍්‍රනය එක්සත් ජනපදය හා ජර්මන් අධිරාජ්‍යවාදයේ සෘජු පාලනය යටතට ගෙන එන තන්ත‍්‍රයක් බලයට පත්කිරීම ය. වොෂින්ටනයේ හා බර්ලිනයේ සිටින කුමන්ත‍්‍රනකරුවෝ, මෙම කුමන්ත‍්‍රනය රුසියාව සමග ගැටුමක් කරා මෙහෙයවෙන බව දැන සිටියහ. සැබවින්ම ගැටුමක් වලක්වා ගැනීමට උත්සාහ කිරීම වෙනුවට එක්සත් ජනපදය හා ජර්මනිය යන දෙරටම, බොහෝ ඈතට විහිද යන සිය භූදේශපාලනික අවශ්‍යතා ඉටුකර ගැනීම පිනිස රුසියාව සමග ගැටුමක් අවශ්‍ය බව විශ්වාස කරති.

හිට්ලර්ගේ තුන්වන රීකය අවධියේ සිදුකරන ලද කියා නිමකල නොහැකි අපරාධ හමුවේ මිලිටරි කටයුතු පිලිබඳව එරටට පනවා ඇති සීමාවන් බිඳ දමන කඩතුරාවක් ලෙස රුසියාව සමග ගැටුම ජර්මානු අධිරාජ්‍යවාදීන් විසින් සාදරයෙන් පිලිගනු ඇත. මෑත මාසවලදී ජර්මානු මාධ්‍ය, රුසියාවේ පමනක් නොව, ජර්මානු කම්කරු පන්තිය තුල ද ගැඹුරට මුල් බැස තිබෙන යුද විරෝධී මනෝගතියට එරෙහිව වඩ වඩාත් දැඩි වන උමතු සහගත ප‍්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් සිටිති. “පශ්චාත් වික‍්‍රමාන්විත” එනම් පශ්චාත් හිට්ලර් අවධියේ පැවති සාමවාදී හා යුද විරෝධී මනෝගතීන් හැර දැමීමට ජර්මානු ජනතාවට කාලය එලඹ ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශ කරයි. මිලිටරිවාදය පුනර්ජීවනය කිරීමේ ප‍්‍රචාරනය සමග අත්වැල් බැඳගෙන, ජර්මානු මහාචාර්යවරුන්ගේ වාචික ස්වරයේ හයිය, - මාධ්‍යයේ දිරිගැන්වීම් ද සමග - හිට්ලර්ගේ ප‍්‍රතිරූපය ඔප දැමීමට කැපකර ඇත.

ප‍්‍රචාරනයන් පිටුපස නිශ්චිත ආර්ථික හා භූදේශපාලන අවශ්‍යතා පවතී. ලෝක ආර්ථිකය තුල සිය රට දරන බරට අනුව, එරට පුලුල් භූදේශපාලනික අවශ්‍යතා සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි බලයක් අවශ්‍යව තිබෙන බව ජර්මන් ජනාධිපති පවසා ඇත. විසිවන සියවස තුලදී මෙන්ම ජර්මනිය යලි වතාවක්, කලු මුහුදු ප‍්‍රදේශය, කොකේසස්, මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා රුසියාවේ දැවැන්ත භූ ස්කන්ධය දෙස කෑදර කමින් බැලුම් හෙලයි.

ඇමරිකානු අධිරාජ්‍යවාදීන් සම්බන්ධයෙන් ගත් කල වොෂින්ටනය, තවත් මිලිටරි මෙහෙයුමක් යුක්ති සහගත කිරීම පිනිස “මානව අයිතීන්” පිලිබඳ නරුම වාචාලය යලිදු වතාවක් එලි බස්සා තිබේ. එහෙත් කුහකත්වයේ මෙම ව්‍යායාමයට ජනතාවගෙන් පලවන වැඩෙන සැක සාංකාවන්ට මුහුන දීමට සිදුව ඇත. බොරුව මත පදනම්වී ඔනෑවට වඩා යුද්ධ පවත්වාගෙන ගොස් ඇත. යුකේ‍්‍රන ආඛ්‍යානය තුල පවතින ප‍්‍රතිවිරෝධතා විශේෂයෙන්ම නිහීනය. ෆැසිස්ට්වාදීන් හා යුදෙව් විරෝධී සංවිධාන විසින් සපයන ලද ප‍්‍රහාරක භටයින් යොදාගනිමින් වොෂින්ටනය කියෙව්හි කුමන්ත‍්‍රනය සූදානම් කරන අතර වාරයේ ඔබාමා පාලනාධිකාරය, සිය ආරක්ෂාව පතා යුකේ‍්‍රනයේ ඡන්දයෙන් තේරී පත්වූ ආන්ඩුව ගනු ලබන පියවර දේශපාලනිකව නොපිලිගත හැකි, සදාචාරවත් නොවන්නේ යයි හෙලා දුටහ. කෙසේ වෙතත් ජනාධිපති යනුකොවිච් පෙරලා දැමූ විගස ඔබාමා, නැගෙනහිර යුකේ‍්‍රන ජනතාව අතරින් කියෙව් තන්ත‍්‍රයට එරෙහිව පැනනැගි මහජන විරෝධය නිර්දය ලෙස මැඩ පවත්වන ලෙස කියා සිටීමටත් ඒ සඳහා කෙරෙන සූදානම් කටයුතු නිරීක්ෂනය කිරීමටත් සීඅයිඒ අධ්‍යක්ෂ බ්‍රෙනන් හා උප ජනාධිපති බිඩෙන් පිටත්කර හැරියේ ය.

2011දී ඔබාමා පාලනාධිකාරය, අවසානයේදී මරාදමන ලද ලිබියාවේ මුවම්මර් ගඩාෆිගේ තන්ත‍්‍රයට එරෙහි මිලිටරි මෙහෙයුම් යුක්තිසහගත කලේ, ලිබියානු ආන්ඩුවේ ප‍්‍රහාරයෙන් නැගෙනහිර ලිබියාවේ බෙන්ගාසිහි ජනතාව ආරක්ෂා කිරීම අවශ්‍ය බව පවසමිනි. එහෙත් දැන් වොෂින්ටනය කියා සිටින්නේ, නැගෙනහිර යුකේ‍්‍රනයේ වැඩෙන කැරැල්ල තලා දැමීමට කියෙව් තන්ත‍්‍රය යුද ටැංකි හා හමුදාව යැවිය යුතු බවයි. අපේක්ෂිත පරිදිම මාධ්‍යය, වොෂින්ටනයේ අතීත හා වර්තමාන ආස්ථානයන් අතර ප‍්‍රතිඝතිතාව සැලකිල්ලට නොගනියි.

මෙම අර්බුදය යුද්ධයකින් තොරව විසඳා ගත්ත ද ඒ පසුපස තවත් ඒවා පැමිනෙනු ඇත. පසුගිය විසි අවුරුද්ද තුල එක්සත් ජනපදය, එක දිගටම වාගේ යුද්ධයේ පැටලී සිටියේය. පසුගිය 12 මාසයක කාලය තුල එක්සත් ජනපදය, ඉරානය, සිරියාව හා දැන් රුසියාව සමග උග‍්‍රවන ගැටුම්වල පැටලී ඇත. රුසියාව සමග සිදුවෙමින් ඇති ගැටුම මධ්‍යයේ ඔබාමා, ජපන් මිලිටරිවාදය ඇවිලවීමට හා චීනයට එරෙහි පීඩනය දැඩි කිරීම පිනිස ආසියාවේ සංචාරයක යෙදුනි. ඇමරිකානු විදෙස් පිලිවෙත ක‍්‍රියාවට නැගීමේදී අසාමාන්‍ය මට්ටමක අදූරදර්ශී කමක් පෙන්නුම් කරයි. වොෂින්ටනය විසින් අවුලුවනු ලබන එක් හෝ තවත් ගැටුමක්, එක්සත් ජනපදයට මෙන්ම සමස්ත ග‍්‍රහ ලෝකයටම විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන එමින් පාලනයෙන් ගිලිහී යා හැකිය.

අවදානම් සීමාවට ලඟාවිය හැකි වොෂින්ටනයේ අදූරදර්ශී කම අවසාන විග‍්‍රහයේදී ප‍්‍රකාශයට පත් වන්නේ, ඇමරිකානු ධනවාදයේ ආන්තික අර්බුදය ලෙසින් ය. වොෂින්ටනයේ අධිරාජ්‍යවාදී මූලෝපායඥයෝ, ඇමරිකානු ධනවාදයේ ගෝලීය ආර්ථික තත්වයෙහි දිග්ගැස්සෙන පරිහානිය වලක්වා ගැනීමේදී, යුද්ධයේ යාන්ත‍්‍රනය හැරෙන්නට යොදාගත හැකි වෙනත් මාධ්‍යයක් නොදකිති. වඩාත්ම මෑත වාර්තා වලට අනුව 2014 අවසන් වන විට චීනය, ලෝකයේ ලොකුම ආර්ථිකය ලෙස සලකන එක්සත් ජනපදය අබිබවනු ඇතැයි යන කාරනය, තමන්ට වාසි සහගත ලෙස බල තුලනය මාරු කිරීම සඳහා මිලිටරි ශක්තිය යොදාගැනීමට වන වොෂින්ටනයේ නැඹුරුව තවත් වැඩි කරනු ඇත. ඇමරිකානු පාලක පැලැන්තිය යුද්ධය දෙසට තල්ලු කරන සාධකයක් ලෙස එක්සත් ජනපදය තුල ගොඩනැගෙන සමාජ ආතතීන් දරන්නේ සුලුපටු වැදගත් කමක් නොවේ. ආර්ථික පල්වීම, පිරිහෙන ජීවන තත්වයන්, බාල වන සමාජ සේවාවන් හා ජනගහනයේ පොහොසත්ම සියයට එක තුල තුච්ඡ ආකාරයට ධනය ඒකරාශී වීම කෙරෙහි කෝපය නැගී එද්දී, ධනවාදයට එරෙහි සමාජ විරෝධය කෙරෙන් මහජන කෝපය ඉවතට හැරවීමේ මාධ්‍ය ලෙස පාලක පන්තිය, යුද්ධය දෙසට දෑස් යොමු කරති.

මානව වර්ගයා දැවැන්ත අන්තරායන්ට මුහුනපා සිටියි. එහෙත් නූතන විද්‍යාත්මක සමාජවාදයේ ශ්‍රේෂ්ඨ ආරම්භකයින් වන මාක්ස් හා එංගල්ස් දිගු කලකට ඉහතදී පැහැදිලි කල ආකාරයට, විසඳුමක් නොමැති කිසිදු කර්තව්‍යයක් ඉතිහාසය ඉදිරිපත් නොකරයි. අපගේ අවධියේ දැවැන්ත ගැටලු විසඳිය හැකි හා විසඳිය යුතු මාධ්‍යය ලෝක සමාජවාදී විප්ලවයයි. සූරාකැවෙන හා පීඩාවට පත්ව සිටින කම්කරු පන්තියේ තත්වය දුෂ්කරය යන්න ගැන සැකයක් නැත. එහෙත් ඓතිහාසික අර්ථයකින් පාලක පන්තිය වැදගැන්මකට නැත. ධනවාදය, පැමින සිටින අවෘත අන්තරයෙන් පිටතට කිසිදු ප‍්‍රගතිශීලී මාවතක් ජනතාව වෙත ඉදිරිපත් කිරීමට එය අසමත්ය. එහි ක‍්‍රියාමාර්ගය වන්නේ අමනෝඥ ප‍්‍රචන්ඩත්වයයි. එහි ඉදිරි දර්ශනය, නොදැමුනු කෑදරකම, මිනිස් ජීවිතය කෙරෙහි සතුරුකම හා අවසන් වශයෙන් මංමුලාවයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අනුයන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ඉදිරිදර්ශනය පදනම් වන්නේ, ලෝක ධනේශ්වර ක‍්‍රමයේ ප‍්‍රතිවිරෝධතා පිලිබඳ විද්‍යාත්මක විශ්ලේෂනයක් මතය. ඇමරිකානු ධනවාදයේ අර්බුදය, හුදෙක් ජාතික පමනක් නොව ගෝලීය ප‍්‍රතිවිරෝධයන්ගේ සංකේන්ද්‍රිත ප‍්‍රකාශනයයි. ධනවාදයේ බිඳවැටීම ජාත්‍යන්තර හා පද්ධතිමය ය. මෙම කාරනයම නිසා, මෙම අර්බුදයට විසඳුම අත්කරගත හැක්කේ, ලෝක සමාජවාදී විප්ලවයේ ක‍්‍රියාමාර්ගය මත පදනම් වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ සම්බන්ධීකරනය කල අරගලයක් තුලින් පමනකි.

ජාතික තත්වයන් සිය ප‍්‍රවිෂ්ටයේ මූලික ලක්ෂ්‍යය ලෙස සලකා ගන්නා ක‍්‍රියාමාර්ගයක් මත පදනම්ව, සමාජවාදයේ ජයග‍්‍රහන සුරක්ෂිත කර ගැනීම කෙසේ වෙතත්, විවිධ රටවල කම්කරුවන්ට ධනවාදයේ ප‍්‍රහාරයන්ට ප‍්‍රතිරෝධය දැක්විය හැකි යයි විශ්වාස කිරීම පවා දේශපාලනිකව මාරක වැරැද්දක් වනු ඇත. සියලු අවස්ථාවාදී සංවිධානයන්හි ලක්ෂනය වන එවන් ප‍්‍රවිෂ්ටයක්, නොවැලැක්විය හැකි ලෙස මග පාදන්නේ යටත්වීමට හා පරාජයට ය. විසිවන සියවසේ පන්ති අරගලයන්ගේ කටුක පාඩම් යලි යලිත් පෙන්නුම් කරන්නේ, සියලු රටවල කම්කරු පන්තියේ අරගලයන්ට මග පෙන්වන ජාත්‍යන්තර මූලෝපායක හා ක‍්‍රියාමාර්ගයක තීරනාත්මක වැදගත් කමයි.

ඉතිහාසය අවසන්වී නැත. විසිවන සියවසේ සියලු නොවිසඳුනු ඓතිහාසික ගැටලු, මෙම නව සියවස තුල විසඳා ගැනීමේ කර්තව්‍යයට කම්කරු පන්තිය සැබවින්ම මුහුනදී සිටියි. මෙම ගැටලුවල වඩාත්ම තීරනාත්මක එක, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ක‍්‍රියාමාර්ගයේ පලමු වැකිය තුල ලියොන් ට්‍රොට්ස්කි අවධාරනය කල, කාරනයයි. “සමස්තයක් ලෙස ගත් කල ලෝක දේශපාලන තත්වය, කම්කරු පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයක් මගින් සංලක්ෂිත වන්නේය.” 1938දී ඔහු එසේ ලියා තැබීය.

හතරවන ජාත්‍යන්තරයේ හා එහි නායකත්වය වන ජාත්‍යන්තර කමිටුවේ සමස්ත ඉතිහාසයම, නායකත්වයේ අර්බුදය විසඳීමේ දශක ගනනාවක් පැතිර පවතින දුෂ්කර අරගලයේ වාර්තාවකි. ජාත්‍යන්තර කමිටුවේ ශාඛාවන්හි හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ සෑම උත්සාහයක්ම සංකේන්ද්‍රිතව ඇත්තේ මෙම මූලෝපායික කර්තව්‍යය මතය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට පිටින් අද දවසේ මේ මිහිමත, තමන් ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙන යන බව සත්‍ය වශයෙන් කියා සිටිය හැකි අන් කිසිදු ව්‍යාපාරයක් ඇත්තේ නැත. අපගේ ව්‍යපාරය එහි වැඩ කටයුතු පාදක කරගන්නේ අතිශයින්ම වැඩි දියුනු න්‍යායික හා දේශපාලන චින්තනයේ දැවැන්ත උරුමය මතය.

අප ඔබගෙන් ඉල්ලා සිටින්නේ, අපට සම්බන්ධවී ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලය පෙරට ගෙන යන ලෙසයි. අත්‍යවශ්‍ය දේශපාලන, බුද්ධිමය හා සදාචාර සම්පත් මානව වර්ගයාගේ අනාගතය සඳහා අරගලයට කැප කරන්න. විසිවන සියවසේ ලෝක සමාජවාදී විප්ලවයේ ශ්‍රේෂ්ඨතම මූලෝපායඥයා වන ලියොන් ට්‍රොට්ස්කිගේ කෘතීන් හදාරන්න! ලෝක සමාජවාදී වෙබ් අඩවියේ දිනපතා පලවන ලිපි සාවධානව කියවන්න! තමා ජීවත්වන රටේ සමාජවාදී සමානතා පක්ෂයට බැඳෙන ලෙස අපි අපගේ ශ‍්‍රාවකයින්ගෙන් ඉල්ලන්නෙමු. දැන් අපගේ පේ‍්‍රක්ෂකත්වයේ සිටින, තවමත් එවන් පක්ෂ ගොඩනගා නැති රටවල ජීවත්වන අයගෙන් අප ඉල්ලා සිටින්නේ, ජාත්‍යන්තර කමිටුව විමසා, අපගේ ලෝක ව්‍යපාරයේ නව ශාඛාවක් පිහිටුවීමේ සටනට මූලිකත්වය ගන්නා ලෙසයි.

මෙම රැලිය, කම්කරු පන්තිය තුල සමාජවාදී ජාත්‍යන්තරවාදය පුබුදු කිරීම සඳහා වන සටනේ නිසැක සන්ධිස්ථානයකි. එහෙත් මෙම රැලියේ සාර්ථකත්වය රඳා පවත්නේ හුදෙක් අද අප කියන දේ මත නොව, ලෝකය පුරා කම්කරු පන්තියේ අරගලයන් තුලට හතරවන ජාත්‍යන්තරයේ මාක්ස්වාදී ක‍්‍රියාමාර්ගය හා මූලධර්ම රැගෙන ඒම සඳහා එලඹෙන දින, සති හා මාසවල අප සියල්ලන් සාමූහිකව කරන දේ මතය.

ඩේවිඩ් නෝර්ත්

Share this article: