ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය පිලිබඳ ඇගයීමක්

An assessment of the International May Day Online Rally

2014 මැයි 6

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් සංවිධානය කරනු ලදුව මැයි මස 4වන දින පවත්වන්නට යෙදුනු ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර දේශපාලන සිදුවීමක් සහ සමාජවාදය ලෝක කම්කරු පන්තිය තුල බලගතු බලවේගයක් ලෙස යලි ඉස්මතු වීමේ පෙරමග ලකුනු සනිටුහන් කිරීමක් ද විය.

කවර වෛෂයික ඇගයීමකට අනුව වුව ද රැලිය, චිත්තාකර්ෂනීය හා සැලකිය යුතු සංවිධානාත්මක, තාක්ෂනික හා අන් සියල්ලටත් වඩා දේශපාලනික ජයග‍්‍රහනයක් විය. රැලිය ආරම්භ වීමට ද ප‍්‍රථමයෙන් දෙදහසකට ආසන්න සංඛ්‍යාවක් ඒ සඳහා ලියාපදිංචි ව සිටියෝය. රටවල් 90ක ජනයා අන්තර්ජාලය හරහා රැලියට සහභාගී වූහ. කැනඩාවෙන්, ඇමරිකා එක්සත් ජනපදයෙන් (එක්සත් ජනපදයේ ජනපද 50න් 48ක අසන්නෝ ඊට එක්වූහ), ලතින් ඇමරිකාවෙන් (විශේෂයෙන් බ‍්‍රසීලයෙන්), බි‍්‍රතාන්‍යයෙන් හා බටහිර යුරෝපයෙන්, දකුනු අප‍්‍රිකාවෙන්, ඉන්දියාවෙන් හා ශී‍්‍ර ලංකාවෙන්, ඕස්ටේ‍්‍රලියාවෙන් හා නවසීලන්තයෙන් ද රැලියට සැලකිය යුතු පිරිසක් සහභාගී වූහ.

රුසියාව හා යුකේ‍්‍රනය යන දෙරටින් ම අසන්නන් ඊට සහභාගී වීම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි (හජාජාක) සතුටට කරුනක් විය. චීනය, දකුනු කොරියාව, ජපානය හා පිලිපීනයේ සිට සම්බන්ධ වූ අය සිටියහ. මැද පෙරදිග හා මධ්‍යම ආසියාවෙන් ද සැලකිය යුතු පිරිසක් එක් වී සිටියෝය. සහභාගීවූවන් අතර ජාත්‍යන්තර කමිටුවට සම්බන්ධ දේශපාලනිකව කි‍්‍රයාකාරී සංවිධානයක් මේ දක්වා නොපවතින රටවලින් සම්බන්ධ වූ බොහෝ පිරිසක් සිටීම, රැලිය ප‍්‍රසිද්ධියට පත් කල ප‍්‍රමුඛ මාධ්‍යය වූ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ගෝලීය පරිමාන ව්‍යාප්තිය පිලිබඳ සාක්ෂි දරයි.

පැය දෙක හමාරකට යන්තමින් අඩු කාලයක් පුරා පැවැති රැලිය පුරා ම අසන්නන්ගේ අදහස් සටහන් (700 ඉක්මවා ගිය සංඛ්‍යාවක්) ගලා ආවේය. එම දිනය තුල, සාමාන්‍ය ඉරිදාවක ලෝසවෙඅ කරා පිවිසෙන පාඨකගනයට වඩා සැලකිය යුතු ලෙස වැඩි පිරිසක් - 50,000කට වැඩි පාඨක සංඛ්‍යාවක් - එහි පිවිස තිබින.

එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, ජර්මනිය, ශී‍්‍ර ලංකාව හා ඕස්ටේ‍්‍රලියාව යන රටවල හජාජාක නියෝජිතයෝ දස දෙනෙක් රැලිය ඇමතූහ. ඔවුන්ගේ දේශනයන්ගෙන් යුකේ‍්‍රන අර්බුදය, දිනෙන් දින. වැඩෙමින් පවත්නා තෙවන ලෝක යුද්ධයක අවදානම, ලෝක ආර්ථික අර්බුදය, සමාජ අසමානතාවය ආන්තික මට්ටම් කරා නැංවීම හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාරය ද ඇතුලු පුලුල් පරාසයක ජාත්‍යන්තර දේශපාලන මාතෘකා රැසක් සාකච්ඡාවට බඳුන් කෙරිනි.

එම දේශන පැහැදිලි ලෙස ම විශ්වව්‍යාපී ශ‍්‍රාවක ගනය සමග අනුනාද විය. සියලු කථිකයන් සඳහන් කල දෑ, ධනේශ්වර ක‍්‍රමය පිලිබඳ මාක්ස්වාදී විශ්ලේෂනයක් මත හා ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඉමහත් දේශපාලන අත්දැකීම් මත පදනම් වී තිබින. පැහැදිලි ලෙස ද, කිසියම් අවිෂදකරනයකින් තොරව ද ඔවුහු හතරවන ජාත්‍යන්තරයේ පාක්ෂිකයන් ලෙස කථා කලහ. (සෑම දේශනයක ම පෙල හා හඬ සැටැහුම් මේ සතිය තුල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කෙරෙනු ඇත.)

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද, ලෝ පුරා එහි සාමාජිකයෝ හා ආධාරකරුවෝ ද රැලියෙහි සාර්ථකත්වය හොඳින් හඳුනා ගෙන සිටිති. කෙසේ වෙතත්, ඒ පිලිබඳව එකිනෙකාට සුභ පතා ගනිමින් කල් මැරීමේ අදහසක් අපට නැත. මාක්ස්වාදීන් ලෙස, අප විවෘත භූමිකාවක් රඟන දේශපාලන වර්ධනයන් ද ඇතුලු, සියලු දේශපාලන වර්ධනයන් කෙරේ අපේ ප‍්‍රවිෂ්ටය වෛෂයික ය. එනම්, මෙම රැලිය ලද සුවිශේෂී ප‍්‍රතිචාරය සඳහා අප ව්‍යාපාරයේ කේඩරයන්ගේ ආසන්නතම ප‍්‍රයත්නයන්ට ඔබ්බෙන් පැවැති සාරාත්මක හේතු සාධක වටහා ගැනීමට අපි යත්න දරමු. රැලිය පැවැත්වෙන අතරවාරයේ පවා ශ්‍රාවකගනයේ පරිමානය හා ප්‍රතිචාර විසින් පැහැදිලිව ම නියෝජනය කෙරුනේ සැලකිය යුතු ගුනාත්මක සිදුවීමකි. එනම්, කම්කරුවන්ගේ හා තරුනයන්ගේ වැඩි දියුනු ස්ථරයන්හි වමට නැඹුරු දේශපාලන ප‍්‍රතිසංස්ථාපනයකි.

මෙම ගමනට යටින් පවත්නා වඩාත් තීරනාත්මක සාධකය වනුයේ ධනවාදයේ වෛෂයික අර්බුදයයි. කම්කරු පන්තියේ සමාජ කොන්දේසි පිරිහී යාම දශක ගනනාවක් පුරා දිග ඇදී ගිය කි‍්‍රයාවලියක් ව පවතී. 2008 ව්‍යසනය, ධනවාදය පිලිබඳ මුලාවන්ගෙන් මිදී සැබෑ තතුවලට ඇස් විවර වීම වඩාත් තීව‍්‍ර කල අතර, සමාජ අසමානතාවයේ සාතිශය දරුනු මට්ටම ලෝ පුරා කෝපාග්නියක් අවුලුවා ඇත. නිමක් නැති යුද්ධ මාලාවන් ද, ඒකාධිපතිවාදී ප‍්‍රවනතාවයන්හි නිර්දය වර්ධනය ද ධනපති “ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ” විශ්වාසනීයත්වයට දැඩි ලෙස වල කපා ඇත. තව ද, යුකේ‍්‍රන අර්බුදය විසින් නිදසුන් සැපයුනු පරිද්දෙන්, ජාත්‍යන්තරව න්‍යෂ්ටික අග්නි ජාලාවක් ඇවිලයාමේ වැඩෙන අනතුර මහජනයා අතර ගැඹුරු සැක සාංකා පහල කොට ඇත.

සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී තන්ත‍්‍රයන් විසුරුවා හැරුනු තැන් සිට 20 වසරකට වැඩි කාලයක් ගත වී ඇත. එතැන් පටන් ඉහත සෝවියට් සංගමය පුරා සහ නැගෙනහිර යුරෝපය තුල ද ධනපති ක‍්‍රමය පුනස්ථාපනය කිරීම විසින් මහජනයා වෙත පමුනුවා ලන ලද්දා වූ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක “වෙලඳ පොලෙහි ආශ්චර්යයන්” පිලිබඳ මිථ්‍යාවන් සුනුවිසුනු කිරීමට හේතුකාරක වී ඇත. තව ද, 1989 තියනන්මෙන් චතුරස‍්‍රයේ සංහාරයෙන් පසු කාලපරිච්ඡේදයේ දී චීන ආර්ථිකයේ සිදු වූ සැලකිය යුතු වර්ධනය තිබියදීම, එකී වර්ධනයේ සාමාජීය ප‍්‍රතිවිපාකයන් පිලිබඳව කම්කරු පන්තිය ගැඹුරු අසන්තුෂ්ටියකින් පසු වෙයි.

ස්ටැලින්වාදී තන්ත‍්‍රයන්ගේ පමනක් නොව සියලු පැරනි අවස්ථාවාදී කම්කරු හා වෘත්තීය සමිති සංවිධානයන්හි ද, පාවාදීම් හා අපකීර්තිමත් කඩාවැටීම විසින් සම්පාදනය කෙරුනු ජාත්‍යන්තර දේශපාලනික අපසරනය ද කම්කරු පන්තිය හා විශේෂයෙන් තරුනයන් තුල, නව දේශපාලනික මනෝභාවයකට ඉඩ දී පසුබසිමින් සිටියි. ධනවාදයට එරෙහි සමාජ විරෝධයේ මනෝභාවයක් රැලියට පල වූ ප‍්‍රතිචාරය තුල ප‍්‍රකාශයට පත් වී ඇත.

මෙසේ සඳහන් කිරීමේ දී සහභාගීත්වයේ පරිමානය පමනට වඩා හුවා දැක්වීමට අපි තැත් නොකරන්නෙමු. දශ ලක්ෂ සංඛ්‍යාත තබා දස දහස් ගනනින්වත් අසන්නන් ඊට සහභාගී වූයේ නැත. එහෙත් සහභාගීත්වය සැලැකිය යුතු තරම් වූ අතර, එය නිසැකව ම කම්කරු පන්තියේ දේශපාලන දිශානතියේ හා පෙල ගැස්මේ වැදගත් මාරුවීමක නියෝජනයක් ද පූර්වාපේක්ෂාවක් ද වෙයි.

මෙහි දී අපි, රැලියේ සාර්ථකත්වයෙහි තවත් වැදගත් වූත්, දේශපාලන ආස්ථානයක් ලෙස ඒකාන්ත ලෙස තීරනාත්මක වූත්, සාධකයක් කරා එලැඹෙන්නෙමු. වෛෂයික ක‍්‍රියාවලීන් ඉතිහාසයේ දැවැන්ත කාර්යභාරයක් ඉටු කෙරෙයි. එහෙත් මේ රැලිය ස්වයංසිද්ධව තමා ම ප‍්‍රාදූර්භූත වූවා නොවේ. එය සැලසුම් කොට සංවිධානය කලේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. ලොව පුරා නන් දෙසින් සම්බන්ධ වූ ජනයාගෙන් සැදුම් ලත් ශ‍්‍රාවකගනයෙන් විශාල කොටසක්, කම්කරු පන්තිය තුල තථ්‍ය මාක්ස්වාදී විප්ලවවාදී දේශපාලන සංස්කෘතියක් යලි හැඩ ගැස්වීම සඳහා පසුගිය 16 වසර පුරා ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් දරන ලද නිර්දය ප‍්‍රයත්නයේ ආනුභාවයට සිය දේශපාලන විඥානය ගැඹුරු ලෙස නැඹුරු කල අය වූහ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය උපත ලැබුවේ ම ස්ටැලින්වාදයේ, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා සුලු ධනපති රැඩිකල්වාදයේ අපමන ප‍්‍රභේදයන්හි ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහිව නොනවතින විප්ලවයේ ට්‍රොට්ස්කිවාදී වැඩ පිලිවෙල ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර කමිටු නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරය ගෙන ගිය අරගලයේ සමස්ත පූර්වගාමී ඉතිහාසයේ පදනම මතය.

දශක ගනනාවක කාල පරාසයක් පුරා මෙම මූලධර්ම තහවුරු කිරීම සඳහා ගෙන ගිය දීර්ඝ අරගලය දැන් මහජනයා දේශපාලනිකව රැඩිකලීකරනය වීම සමග අන්තර් ඡේදනය වෙමින් පවතී. දිග හැරෙමින් පවත්නා ඓතිහාසික වාසුලිය තුල, ධනවාදයේ නොවිසඳිය හැකි අර්බුදයෙන් ඉදිරියට තල්ලු කරනු ලබන කම්කරු පන්තියේ වෛෂයික ව්‍යාපාරය හා ජාත්‍යන්තර කමිටුවේ දේශපාලනික ව සවිඥානක ආත්මීය මැදිහත්වීම අතර අන්තර්කි‍්‍රයාවෙන් සමාජ විප්ලවයේ වර්ධනය ඉස්මත්තට එයි.

රැලිය අවසානයේ දී, එක්සත් ජනපද සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් සහෝදරයා පැවසුවේ ට්‍රොට්ස්කි (සිටියේ නම්) මෙම රැලිය පිලිබඳව ආඩම්බර වනු ඇති බවයි. ඔව්, ඔහු සත්තකින් ම ආඩම්බර වනු ඇත. එමෙන්ම, ඔහු මෙම සාර්ථකත්වයෙන් පැන නැගෙන නව අභියෝග විශ්ලේෂනය කිරීමට හා පැහැදිලි කිරීමට ඉදිරියට එනු ඇත.

2014 මැයි 4 දින පැවැති ජාත්‍යන්තර රැලිය දැන් ඉතිහාසයේ කොටසක් වී හමාරය. සමාජවාදය සඳහා වූ අරගලය කම්කරු පන්තියේ හා තරුනයන්ගේ නව කොටස් කරා ප‍්‍රසාරනය කිරීම මගින් මෙම ජයග‍්‍රහනය මත දේශපාලනිකව ගොඩනැගීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පෙරට එනු ඇත.

ඩේවිඩ් නෝර්ත්

Share this article: