වෙනිසියුලාවේ පාලන තන්ත්‍රය වෙනස් කිරීමට වොෂින්ටනයේ තල්ලුව

Washington’s drive for regime change in Venezuela

2014 මැයි 02

පසු ගිය දින කීපයේ දී, එක්සත් ජනපද නිලධාරීන් ජනාධිපති නිකලොස් මදූරෝගේ වෙනිසියුලානු ආන්ඩුව හෙලාදැකීමේ ඝෝෂාව නැවත අරඹා ඇත.

මියාමි හි දක්ෂානාංශික වෙනිසියුලානු සරනාගතයෙකුගේ ආයාචනයට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති බරක් ඔබාමා ප්‍රකාශ කලේ, තමා “දිගට ම වෙනිසියුලාවේ විරෝධතාකරුවන් මර්ධනය කිරීම හේතුවෙන් බරපතල ලෙස කරදරයට පත්ව සිටින” බවත්, දකුනු ඇමරිකානු රටෙහි සිදුවීම් කෙරෙහි බලපෑම් කිරීම සඳහා “ සිදුවීම්වලට පිටුපසින් වැඩකරමින් සිටින” බවත් ය.

රටවල් 23ක ආන්ඩු ඇතුලත් එස්ටෝනියා හි “ප්‍රීඩම් ඔන්ලයින් කෝලීෂන්” නම් සමුලුවකට සම්බන්ධිතව අන්තර්ජාල වීඩියෝ සම්බන්ධකමක් හරහා කතා කරමින් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, වෙනිසියුලා ආන්ඩුව සමහර වෙබ් අඩවිවලට පිවිසුම අවහිර කර ඇතැ යි පසුගිය 27දා තහවුරු නො කල ප්‍රකාශයක් කර ඇති අතර අන්තර්ජාල නිදහස මර්දනය කරන හා “අද අප දැවන්ත ම ආරක්ෂක අභියෝග කීපයකට මුහුන දෙන” ස්ථානයක් බවට පත්ව ඇති රටක් ලෙස එරට රුසියාව සමග එක ගොඩට දැමුවේ ය.

තමන්ගේ ම ජනතාවට එරෙහිව “භීෂන ව්‍යාපාරයක්” ගෙනයාම පිලිබඳව මුලින් වෙනිසියුලානු ආන්ඩුව හෙලා දැක තිබූ එක්සත් ජනපද රාජ්‍ය ලේකම්, ලෝකය වටා මිලියන සිය ගනනක් පුද්ගලයන්ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් ගැන තොගවශයෙන් ඔත්තු බැලීමේ වොෂින්ටනයේ ක්‍රියාකලාපය පිලිබඳ ව සඳහනක් කර නැතැ යි පැවසීම අවශ්‍ය නො වේ.

නිව් යෝක් හි වෙනත් රැස්වීමක දී බටහිර අර්ධගෝලීය කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් රොබෙටා ජාකොබ්සන් ප්‍රේක්ෂකයන්ට පැවසුවේ, ඔබාමා පරිපාලනය වෙනිසියුලාවට එරෙහිව සම්බාධක පැනවීම ඇතුළුව “කිසිදෙයක් බැහර කරන්නේ නැති” නමුත් දැනට මදුරෝ ආන්ඩුව හා එහි දක්ෂිනාංශික විරුද්ධ පක්ෂය අතර පැවැත්වෙන “සංවාදයට අවස්ථාවක් දීමට” උපදෙස් දෙන බවයි.

එජ පිටුබලය සහිත ප්‍රචන්ඩ පෙලපාලිකරුවන් “කියෙව්හි සිදු කල කුමන්ත්‍රනය නරක ලෙස කොපි කරමින් හෙමින් සිදුවන” කුමන්ත්‍රනයකට සිය ආන්ඩුව මුහුන දෙනු ඇතැයි පසු ගිය මාසයේ දී මදුරෝ විසින් කරන ලද අනතුරු ඇඟවීම, එක්සත් ජනපද ජනාධිපති හා රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් දෙදෙනෙකු විසින් කරන ලද ප්‍රකාශන මගින් තහවුරු කරයි.

යුක්‍රේනයේදී මෙන් ම වෙනිසියුලාවේ ද එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ එල්ලය වන්නේ, ආධිපත්‍යය සඳහා තමන් දරන උත්සාහය වලක් වන ඕනෑ ම බාධාවක් ඉවත් කිරීම යි. වෙනිසියුලාව සිටින්නේ ලෝකයේ මෙතෙක් සොයාගෙන ඇති විශාලත ම තෙල් සංචිතය මුදුනේ වන අතර, මෙම මූලෝපායාත්මත සම්පත් ස්ථීර ලෙසම තම ආධිපත්‍ය යටතේ තබා ගැනීමට වොෂින්ටනය අධිෂ්ඨාන සහගතය. තම පිලිකන්න ලෙස සලකන ප්‍රදේශය තුල වෙනිසියුලා ආන්ඩුව, දුප්පතුන් සඳහා අවම සත්කාර වැඩසටහන්වලට මුදල් සැපයීම සඳහා සිය තෙල් ආදායම් යොදා ගැනීම, කියුබාවට හා අනෙකුත් රටවලට සහන පදනමක් මත තෙල් අපනයනය කිරීම සහ කැරකස් හා චීනය අතර වැඩෙන වෙලඳ හා මූල්‍ය බැඳීම් යන හැම දෙයක් ම එක්සත් ජනපද ආන්ඩුවේ ක්‍රෝධය ඇවිස්සීමට හේතු වී ඇත.

මෙන් ම නම් කන්ඩායමට ය, ඔවුන් යනුවෙනි, කියෙව්වල දී ඡන්දයෙන් තෝරා ගැනුනු ජනාධිපති ඉවත් කිරීම යන අර්ථය දෙන ල සලිඩා (ඉවත්වීම) ලෙස තම ව්‍යාපාරය නම් කරගත් “සාමකාමී විරෝධතාකරුවන් උනන්දු කලා සේම වෙනිසියුලාවේ දී ද වොෂින්ටනය එවැනිම විරෝධතාකරුවන් වෙනුවෙන් පෙනී සිටියි. එම අරමුන සහිත විරෝධතාකරුවෝ, රජයේ ගොඩනැගිලිවලට පෙට්‍රල් බෝම්බ ද ආරක්ෂක හමුදාවන්ට හා ආන්ඩුවේ ආධාරකරුවන්ට ස්නයිෆර් වෙඩි ප්‍රහාර ද එල්ල කලහ. මුලු කාලය පුරාම පෙලපාලිකරුවන්ගේ ප්‍රචන්ඩතා සහ මුලුමනින් ම නොසලකා හරිමින් වොෂින්ටනය හා බටහිර මාධ්‍ය යුක්‍රේනයේ දී මෙන් මුලුමනින් ම ආන්ඩුවේ මර්දනකාරී ක්‍රියා අතිශයෝක්තියට නැංවූහ.

කියෙව්වලදී මෙන් නො ව මෙහිදී ආන්ඩු විරෝධී ල සලිඩා, එහි අරමුනු ජයගැනීමට අසමත් විය. ප්‍රචන්ඩ විරෝධතා, විශේෂයෙන් ම වඩා පොහොසත් නිවැසි ප්‍රදේශයන්ට සීමා විය. රටේ කම්කරු පන්තිය හා පීඩිත මහජනතාව තුලින් ඔවුන් සහයෝගය දිනා ගත්තේ නැත. වැඩිවන මිල ගනන්වලට හා දුස්සාධ්‍ය හිඟයන්ට එරෙහිව වැ‍ඩෙන සිය කෝපය නො තකා කම්කරුවෝ, විරෝධතා දක්වන නායකයන් අතර සියවස් ගනනාවක් එරට මර්දනය කරන ලද අධිරාජ්‍යවාදයේ හා පැරනි වෙනිසියුලානු කතිපයාධිකාරයේ නියෝජිතයින් හඳුනා ගත්හ. කියෙව් හි ඔවුන්ගේ සහචරයන් මෙන් මොවුන් ද යුඑස්ඒඩ් හා ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජාතික ප්‍රදානය වැනි ඒජන්සි හරහා දිගු කලක් තිස්සේ එක්සත් ජනපද ආධාර ලැබූ අය වෙති.

දැන් වොෂින්ටනය සමග එක්ව වෙනිසියුලානු දක්ෂිනාංශය හා මහා ව්‍යාපාර, මදුරෝ ආන්ඩුවේ මූලිකත්වයෙන් සිදුවන ඊනියා “සංවාදයකට” බුරුලක් දක්වා ඇත්තේ, වඩාත් අඩු මට්ටමකින් නමුත් ප්‍රචන්ඩ විරෝධතා ඉදිරියට යන අතරතුර දීය.

වතිකානුවේ මැදිහත් වීමෙන් බ්‍රිතාන්‍ය, කොලොම්බියාව හා ඉක්වදෝරයේ විදේශ ඇමතිවරුන් සූදානම් කරන ලද මෙම සාකච්ඡාව ඉලක්ක කෙරී ඇත්තේ, මදුරෝ ආන්ඩුව හා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් වටමේසය නමින් ප්‍රසිද්ධ මැතිවරන සභාගයක් තුල සංවිධාන වුනු දක්ෂිනාංශික විරුද්ධ පක්ෂය අතර සම්මුතියක් ඇතිකිරීමටයි. මෙම සාකච්ඡා වාර පසෙකින් ආන්ඩුව, ප්‍රමුඛ වෙනිසියුලානු ධනපතීන් සමග ආර්ථික “සාම සමුලුවක්” සංවිධානය කර ඇත. නිෂ්පාදනය වැඩිකිරීමේ ඉල්ලීම් ද සමග ඵලදායිතාව හා ලාභ වැඩිකිරීමට අවශ්‍ය කුමන පියවරයන් ද යන්න පෝලා ෆුඩ් සංගතයේ ලොරෙන්සෝ මෙන්ඩෝසා වැනි ප්‍රකෝටිපතියන්ගෙන් විමසා බලමින් මෙය පැවැත්වෙයි.

වෙනිසියුලානු මූල්‍ය හා සංගත අධිකාරීන් ඉල්ලා සිටින්නේ, භාන්ඩාගාරයෙන් මේ වන විටත් සම්පාදනය කෙරෙමින් ඇති අරමුදල් වැඩිකරන ලෙස හා කම්කරු පන්තියේ මූලික අයිතීන්ට හා ජීවන තත්වයන්ට පහර ගැසීමට අමතරව භාන්ඩ සඳහා වඩා ඉහල මිල ගනන් ය. මහජන ප්‍රවාහන ගාස්තු සියයට 40කින් නැංවීම සමග අත්වැල් බැඳගෙන අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක මිල ගනන් ක්ෂනිකව වැඩි කිරීමට ඉඩ දීම හා දොට්ට දැමීමට එරෙහිව කම්කරුවන් අරක්ෂා කෙරෙන කම්කරු නීති වැඩිවැඩියෙන් නොසලකා හැරීම සමග මේවා ද ක්‍රියාත්මක වීමට නියමිත ය.

අවම වැටුප සියයට 30කින් වැඩිකිරීම නිවේදනය කිරීමට මදුරෝ මැයි දිනය යොදා ගත්තේ ය, රාජ්‍ය අංශයේ සේවයෙහි නියුතු විශාල කන්ඩායමක් ජීවත් වන්නේ මෙම අවම වැටුප මත ය. පසු ගිය වසරේ සියයට 60ට ආසන්න වූ උද්ධමන අනුපාතය සමග සලකන විට වැටුප් වැඩිවීම කම්කරුවන්ගේ තත්වය තවත් පසු පසට වැටෙනු ඇත. වියදම් පිලිබඳව ආන්ඩුවේ ඇස්තමේන්තු අඩුවෙන් තක්සේරුකර තිබියදී පවා, මූලික අවශ්‍යතා පියවා ගැනීමට අවම වැටුප් දෙකක්වත් අවශ්‍ය ය.

වෙනිසියුලානු වානීජ මන්ඩලයේ සභාපති ෆෙඩෙකමරාස් ජෝර්ජ් රොයිග්, සියයට 30ක වැඩිකිරීම “සැලකියයුතු ය” මට්ටමක් බව පවසමින් අල්ප වැටුප් වැඩි කිරීමට පෙර මහා ව්‍යාපාරිකයන්ගේ උපදෙස් පැතීම ගැන මදුරෝට ප්‍රශංසා කලේය.

වෙනිසියුලානු දක්ෂිනාංශයේ හා එහි එක්සත් ජනපද අනුග්‍රහයකයින් ඉස්මතු කරන මූලෝපාය වන්නේ, තමන් නිර්මානය කල අස්ථාවරත්වය ආන්ඩුව දකුනට තල්ලු කිරීම සඳහා ප්‍රයෝජනයට ගැනීමය. එම ක්‍රියාදාමය තුල දී සමාජ සත්කාර වැඩසටහන් හා ජනතාවාදී කයිවාරුවලට පින්සිදුවන්නට ආන්ඩුව දිනාගෙන සිටි මහජන සහයෝගය තවදුරටත් ඛාදනය වේ.

වෙනිසියුලානු ධනවාදයේ ස්ථාවරත්වය සඳහා නව කොන්දේසි පැනවීමේ හැකියාව පෙන්වන දක්ෂිනාංශය හෝ මදුරෝ ආන්ඩුව නොව පසෙකින් සූදානම් වන්නේ මිලිටරිය යි. හිටපු හමුදා ලුතිනන් කර්නල්වරයෙකු හා අසාර්ථක කුමන්ත්‍රනයේ නායකයෙකු වූ හියුගෝ චාවේස්, ආසන්න වශයෙන් අවුරුදු 15ට පෙර බලයට පැමිනි තැන් පටන්, “බොලිවාරියානු සමාජවාදී” ආන්ඩුව තුල හමුදාව තීරනාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. අද හමුදා නිලධාරීන්, වැදගත් ආරක්ෂක, අභ්‍යන්තර හා ආර්ථික කටයුතු පිලිබඳ අමාත්‍යංශ ඇතුලුව ආන්ඩුවේ අමාත්‍යංශ 11ක මෙන් ම රටේ ආන්ඩුකාර තනතුරුවල බහුතරය ද සතුකරගෙන සිටියි. කුමන්ත්‍රනයකට හවුල්වීමේ චෝදනා මත ගුවන් හමුදා ජනරාල්වරුන් තිදෙනෙකු හා තවත් නිලධාරීන් 30කු අත්අඩංගුවට ගෙන ඇති බවට පැවසෙන වාර්තා, මාරාන්තික අනතුරක් මතු කරයි.

වෙනිසියුලානු කම්කරු පන්තිය දේශපාලනික දක්ෂිනාංශයෙන් පමනක් නො ව මදුරෝගේ ආන්ඩුව හා එහි හමුදා යාන්ත්‍රනයෙන් ද එන තියුනු අනතුරුවලට මුහුන දෙති.

“චාවේස්වාදය” හා “බොලිවාරියන් සමාජවාදය” සමාජවාදය සඳහා එක්තරා නව මාවතක් ලෙස වාත්තු කල ව්‍යාජ වාම කන්ඩායම් වැඩ කර ඇත්තේ, මෙම තර්ජන හමුවේ කම්කරු පන්තිය දේශපාලනිකව නිරායුධ කිරීමට ය. ඔවුන් රෝස පටින් පින්තාරු කර ඇත්තේ රටේ ආර්ථිකය මත පුද්ගලික ප්‍රාග්ධනයේ ග්‍රහනය චාවේස් බලයට ඒමට පෙර තිබුනාට වඩා විශාල වන්නා වූ ද එය තුල මූල්‍ය ප්‍රාග්ධනය ලාවේ තෙල් ආදායමේ ලාභ රැස් කර ගනිමින් සිටින්නා වූ ද තත්වයක් පමනක් නො ව ආන්ඩුවට ගැට ගැසුනු නව ස්ථරයක්, එනම් ඊනියා බොලිධනේශ්වරය කොන්ත්‍රාත්තු හා දූෂන හරහා මඩි තරකරගන්නාවූ තත්වයකි.

පැබ්ලෝවාදීන් හා ඉන්ටනැෂනල් සෝෂලිස්ට් ඕගනයිසේෂන් යන දෙගොල්ලම විසින් පුම්බනු ලබන දේශපාලනය ප්‍රචාරය කරනු ලබන මරෙආ සෝෂලිස්ටා ( සමාජවාදී ප්‍රවාහය) වැනි නු කන්ඩායම්, කම්කරු පන්තියේ කර්තව්‍යය ලෙස ඉදිරිපත් කරන්නේ දක්ෂිනාංශයේ පීඩනය පිටුදැකීමට මදුරෝ වමට තල්ලු කිරීම යි. තමන් සහාය දුන් ලිබියාවේ හා සිරියාවේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ අධිරාජ්‍යවාදී මෙහෙයුමට, චාවේස් විරුද්ධ වූවාට පසුව, වෙනිසියුලානු ආන්ඩුවෙන් ඈත් වෙමින්, විදේශයන් හි ක්‍රියාත්මක වන අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් ඊටත් වඩා‍ දකුනට තල්ලු වී ඇත.

අවසානයේ දී, මෙම සියලු කන්ඩායම් දේශපාලනිකව කතා කරන්නේ සුලුධනේශ්වරයේ වඩා වරප්‍රසාදිත ස්ථරයන්ට ය. ඔවුන් නිශ්චිතව ම චාවෙස්වාදයට ආකර්ෂනය වූයේ එය කම්කරු පන්තිය “ආඥාපතියෙකුට” හා හමුදාව ආධිපත්‍යය ගත් ආන්ඩුවකට යටත් කර, ඒ මගින් වෙනිසියුලාවේ පුපුරන සුලු පන්ති අරගලය සමහන් කිරීම නිසා ය.

වෙනිසියුලාවේ මෑත ප්‍රචන්ඩ ගැටුම් හා ආන්ඩුවේ ප්‍රතිචාරවල කටුක පාඩම් කැටි කොට දක්වන්නේ, මදුරෝගේ ධනේශ්වර ආන්ඩුවට හා එහි ව්‍යාජ වාම හවුල්කරුවන්ට විරුද්ධව කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව යි. මෙහි අර්ථය වන්නේ නොනවතින විප්ලව න්‍යාය සහ වෙනිසියුලාව තුල හා ලතින් ඇමරිකාව පුරා බලය ගැනීම සඳහා වන කම්කරු පන්තියේ අරගලය මත පාදකව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම යි.

බිල් වෑන් ඕකන්

Share this article: