තායිලන්තයේ මිලිටරි කුමන්ත‍්‍රනය

Thailand’s military coup

2014 මැයි 21

නාමිකව නොවුන ද තායිලන්තය තුල ඊයේ සිදුවූයේ මිලිටරි කුමන්ත‍්‍රනයකි. පාන්දර යාමයේ හමුදාව බැංකොක් නගරය පුරා විසිර යද්දී හමුදා ප‍්‍රධානී ජෙනරාල් ප‍්‍රයුත් චාන් ඔකා, රට පුරා යුද නීතිය ප‍්‍රකාශ කල අතර පොලිසිය ද ඇතුලු රටේ සමස්ත ආරක්ෂක යාන්ත‍්‍රනයේම බලය අල්ලා ගත්තේය.

තම ක‍්‍රියාව “කුමන්ත‍්‍රනයක් නොව” සය මසක් පැවති බැංකොක්හි උග‍්‍ර දේශපාලන අර්බුදයෙන් පසුව “නීතිය හා සාමය ආරක්ෂා කිරීම” සඳහා බලය සියතට ගැනීමක් පමනක් බවට ඔහු අභූත ප‍්‍රකාශයක් නිකුත් කලේය. මිලිටරි නායකයෝ ආන්ඩුවෙන් විමසීමක් කලේ නැති අතර එහි ඉහල පෙලේ ආරක්ෂක කමිටුව විසුරුවා හරිමින්, රූපවාහිනී මධ්‍යස්ථාන අල්ලාගත් අතර ප‍්‍රවෘති වාරනයේ, අත්අඩංගුවට ගැනීමේ, පරීක්ෂා කිරීමේ පුලුල් බලතල පවරාගෙන ජනතාව ඒකරාශී වීම තහනම් කලේය.

ආන්ඩුවේ තත්වය ගැන විමසූ කල ජෙනරාල් ප‍්‍රයුත් වාර්තාකරුවන්ට විහිලූ කරමින්, “මේ ආන්ඩුව තිබෙන්නේ කොහේදැ” යි ප‍්‍රශ්න කලේය. මිලිටරියේ ඉහල කොටස්, අධිකරනය, රාජ්‍ය නිලධරය, රජ පවුල, මහජන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන කොමිටිය හා විපක්ෂයේ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය විසින් සංවිධානය කල ආන්ඩු විරෝධී පෙලපාලි කෙරෙහි අනුකම්පා සහගත වූ අතර ප‍්‍රධාන ඉල්ලීම වී තිබුනේ තෝරා පත්කරගත් ෆියු තායි ආන්ඩුව නෙරපා හැරීමය.

එයම පැවතුනේ භාරකාර ආන්ඩුවක් ලෙසය. ෆියු තායි ආන්ඩුව පෙබරවාරියේ පැවති මැතිවරනයෙන් පැහැදිලි ජයක් ලබා තිබුනේවී නමුත් අධිකරනයේ නියෝගය මත එම මැතිවරන ප‍්‍රතිපල අවලංගු කිරීමෙන් පසුව පැවතුනේ සීමිත බලතල සහිතවය. ව්‍යවස්ථා අධිකරනය මැයි 07දා, බලය අයුතු ලෙස යොදාගත්තේය යන ගොතන ලද චෝදනා මත අගමැති යින්ග්ලූක් ෂිනවත‍්‍රා හා කැබිනට් ඇමතිවරු 9 දෙනෙක් ඉවත් කලේ, අධිකරන කුමන්ත‍්‍රනයකට සමාන තත්වයකිනි. පලමුව මිලිටරිය සෘජුවම බලය අල්ලා නොගත හොත් ආන්ඩුව බිඳ දැමිය හැකි පරිදි එල්ලවූ සෙනේට් සභාවේ හා අධිකරනයේ තවදුර අභියෝගයන්ට ආන්ඩුව මුහුනදී සිටියේය.

ඔබාමා පාලනය කුමන්ත‍්‍රනයට සහාය පලකලේය. ඒ යින්ග්ලුක් ඉවත් කිරීමේදී අවෘත ලෙස සහාය දුන් පරිදිමය. එක්සත් ජනපද සෙනේට් සභා ප‍්‍රකාශිකා ජෙන් සාකි, හමුදාවේ කටයුතු කුමන්ත‍්‍රනයක් නොවන බව අවධාරනය කරමින් යුද නීතිය “තායි ව්‍යවස්ථාවට අනුකූල” බව කියා සිටියාය. සැබවින්ම ජෙනරාල් ප‍්‍රයුත් සිය කටයුතු යුක්තිසහගත කලේ, මිලිටරිය විසින් 2007 වසරේ කෙටුම්පත් කල ව්‍යවස්ථාව පදනම් කරගනිමින් නොව, තායිලන්තයේ පරමාධිපති රාජාන්ඩුව කාලයේ පැවති සියවස් ගනනක් පැරනි අපභ‍්‍රංස නීතිය ගැන සඳහන් කරමිනි.

මිලිටරිය සිය සැලසුම් සකස්කලේ වොෂින්ටනය විමසමින් බව පැහැදිලිය. පසුගිය මාසයේදී එජ නැගෙනහිර ආසියානු කටයුතු පිලිබඳ සහකාර රාජ්‍ය ලේකම් ඩැනියෙල් රසල් බැංකොක්හි සංචාරයක යෙදුනු අතර රටේ දේශපාලන අර්බුදය පිලිබඳව “නායකයින් හා වගකිවයුත්තන් ගනනාවක්” හමුවී සාකච්ඡා පැවැත්වීය. ඔබාමා පාලනාධිකාරය, තායිලන්තය හා විශේෂයෙන්ම එහි මිලිටරිය, චීනය මිලිටරිමය වශයෙන් වැටලීම හා යටත් කිරීම අරමුනුකරගත් සිය “ආසියාවට හැරීමේ” වැඩපිලිවෙලෙහි වැදගත් උපාංගයක් සේ සලකයි. වියට්නාම් යුද්ධය අවධියේ එජ බෝම්බ හෙලීමේ මෙහෙයුම් සඳහා 1960 ගනන්වල උපයෝගී කරගත් තායි ගුවන් කඳවුරු වෙත ප‍්‍රවිෂ්ටයක් සොයමින් තායි මිලිටරිය සමග සහයෝගිතාව වර්ධනය කර ගැනීමට පෙන්ටගනය කටයුතු කරමින් සිටියි.

2006 වසරේදී යින්ග්ලුක්ගේ සොයුරු තක්ෂින් ෂිනවාත‍්‍රා අගමැති කමෙන් නෙරපා හැරීම පිනිස සිදුකල මිලිටරි කුමන්ත‍්‍රනයත් සමග ආරම්භවූ වසර අටක දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඊයේ කුමන්ත‍්‍රනය සිදු විය. තායි ආර්ථිකයට දරුනු ලෙස බලපෑ 1997-98 ආසියානු මූල්‍ය අර්බුදය තුල, පාලක පැලැන්තියේ කටුක අභ්‍යන්තර ගැටුම්වල මූලයන් පවතී. ආරම්භයේදී ටෙලිකොම් කෝටිපතියෙකු වන තක්ෂින්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දරුනු ප‍්‍රතිව්‍යුහකරන ඉල්ලීම් සමග පොරබැදීමට සහාය දීමෙන් අනතුරුව, රජ පෙලපත මත පිහිටා සිටින රටේ සම්ප‍්‍රධායික ප‍්‍රභූව, ඔහුගේ ආර්ථික වැඩසටහන් තම ව්‍යාපාරික ආසක්තයන් හා ආයෝජන ජාලයන් කපාගෙන යාමත් සමග ඔහුට එරෙහිව පෙල ගැසීමට පටන් ගත්හ. විශේෂයෙන්ම ඔවුහු නාගරික හා ගම්බද දුගීන් වෙත සහන සැලසීමේ තක්ෂින්ගේ ජනතාවාදී පියවරයන්ට සතුරු වූහ.

යුද නීතිය පැනවීමේ මූලික ඉලක්කය බොහෝකොටම තක්ෂින්වාදී භාරකාර ආන්ඩුව නොව, කම්කරු පන්තිය හා ගම්බද පීඩිත ජනතාවයි. ආසියාව පුරා වේගවත් වන ආර්ථික පසුබෑම හා තායිලන්තයේ රින වර්ධන අනුපාතය හමුවේ, තක්ෂින්ගේ සීමිත සමාජ සහන අකුලා දැමීම ද ඇතුලු කප්පාදු පියවර ගැනීමට ආන්ඩුව මෙන්ම විපක්ෂය ද කැපවී සිටියි. ඒ සමගම පාලක පැලැන්තියේ සියලු කොටස්, ඉහල සිදුවන දේශපාලන කාකොටා ගැනීම්, පහලින් සමාජ නැගිටීමකට මං සලසනු ඇතැයි බියපත්ව සිටී.

ධනේශ්වරය තුල සිටින තක්ෂින්ට පක්ෂ මෙන්ම විරුද්ධ කොටස්, පාලනයෙන් පිටට පැතිර යාමේ තර්ජනය මතු කල, 2010 පැන නැගුනු මිලිටරියේ පිටුබලය ලත් ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂයට එරෙහි සටන්කාමී “රතු කමිස” විරෝධතා හමුවේ කටුව තුලට රිංගා ගත්හ. විරෝධතා නාමිකව තක්ෂින්ට පක්ෂපාතී ඒකාධිපතිත්වයට එරෙහි එක්සත් ප‍්‍රජාතන්ත‍්‍ර පෙරමුන යටතේ පැවතුන ද ඒවායේ කොඳු නාරටියවූ නාගරික හා ගම්බද පීඩිත ජනයා තමන්ගේම ඉල්ලීම් නැගීමට පටන්ගත්හ. රුදුරු මර්දනයකින් ප‍්‍රතිචාර දැක්වූ මිලිටරිය, අඩුම තරමින් 90ක් මරා දමා 1500කට අධික නිරායුධ විරෝධතා කරුවන් පිරිසකට තුවාල සිදු කලේය.

සමස්ත පාලක පන්තියම සමාජ පිපිරීමක් වලක්වා ගැනීමට මංමුලාසහගත උත්සාහයක යෙදී සිටිති. පසුගිය මාස හය පුරාම ආන්ඩුවේ හා පෙරමුනේ නායකයෝ, සිය රතු කමිසකාර ආධාරකරුවන් සිතා මතාම විසුරුවා හැරියහ. බැංකොක්හි හා යාබද විශාල කර්මාන්තශාලා තුල සිටින කාර්මික කම්කරු පන්තිය අරගලයට ඇදී එනු ඇතැයි ඔවුහු බෙහෙවින් කනස්සල්ලට පත්ව සිටියහ.

ඊයේ නිකුත් කල යුද නීතිය හෙලා දැකීම වෙනුවට, වැඩබලන අධිකරන ඇමති චයිකාසෙම් නිට්සිරි මාධ්‍ය වෙත පැවසුවේ, “මිලිටරිය රටේ ආරක්ෂාව ගැන බලා ගැනීම හොඳ” බවය. පෙරමුනේ නායක ජටුපෝන් ප්‍රොම්පෑන් සිය සාමාජිකයින්ට කියා සිටියේ, යුද නීතිය “හොඳ” බවත් හමුදාව සමග සහයෝගයෙන් කටයුතු කල යුතු බවත්ය.

මෙම බියගුලු යටත්වීම මගින් සිදුවනවා ඇත්තේ, ජනතාවගේ ජීවන තත්වයන්ට දුර දිග යන ප‍්‍රහාරයන් දියත්කරන, කම්කරු පන්තියෙන් එල්ල වන කුමන හෝ ප‍්‍රතිරෝධයක් නිර්දය ලෙස බිඳ දමන, මිලිටරියේ පිටුබලය ලබන ආඥාදායකත්වයක් පිහිටුවීමේ ක‍්‍රියාවලිය නිමා කිරීමට ආන්ඩු විරෝධී බලවේග දිරිමත් කිරීම පමනකි.

පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රය කඩා බිඳ දැමීම සඳහා වොෂින්ටනය මිලිටරියට සහාය දැක්වීම, කලාපය පුරා කම්කරුවන්ට හා තරුනයින්ට තියුනු අනතුරු ඇඟවීමකි. චීනයට විරුද්ධව යුද්ධයකට සූදානම්වීම හා මිලිටරිය ශක්තිමත් කිරීමේදී එජ, වොෂින්ටනය සමග කොන්දේසි විරහිතව පෙල ගැසෙන හා මිලිටරිවාදයේ ද කප්පාදුවේ ද න්‍යාය පත‍්‍රය ක‍්‍රියාත්මක කිරීම සඳහා පොලිස් රාජ්‍ය පියවර ගැනීමට යොමුවන දක්ෂිනාංශික, ආඥාදායක ආන්ඩු පිහිටුවීමට හෝ ඒවාට පිටුබලය දීමට නොපැකිලෙනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය පෙන්වාදෙන ආකාරයට, ධනේශ්වර සංවර්ධනය කල්පසුවු රටවල ධනපති පන්තිය, වැඩකරන ජනතාවගේ සමාජ අවශ්‍යතා හා ප‍්‍රජාතන්ත‍්‍ර අභිලාෂයන් ඉටුකිරීමට තරයේම අසමත් වන්නේය. කලාපය පුරාම විසිර පවතින තායිලන්තය, දකුනු කොරියාව හා ඉන්දුනීසියාව වැනි රටවල ප‍්‍රජාතන්ත‍්‍රයේ කඩමාලු මුහුනුවර වේගයෙන් දිරාපත් වෙමින් තිබේ.

ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් ආරක්ෂා කිරීමේ අරගලයේදී නාගරික හා ගම්බද පීඩිත ජනතාවට නායකත්වය සැපයිය හැකි එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි. එවන් දේශපාලන සටනක් ගෙනයාම සඳහා කම්කරුවන්, ධනේශ්වරයේ සියලු කොටස් වලින් දේශපාලනිකව ස්වාධීන විය යුතුය. තායිලන්තයේදී රජපෙලපතින් මෙන්ම තක්ෂින්, ෆියු තායි හා ප‍්‍රජාතන්ත‍්‍ර පෙරමුනෙනි. අරගලය ස්වභාවයෙන් ජාත්‍යන්තර වන්නේය. කලාපය පුරා ද එජ විශේෂිත කොටගත් ප‍්‍රධාන ධනපති මධ්‍යස්ථාන වල ද කම්කරුවන් වෙත හැරීම මගින් තායි කම්කරු පන්තියට අධිරාජ්‍යවාදී ආධිපත්‍යයට, කුමන්ත‍්‍රන වලට හා මැදිහත්වීම් වලට එරෙහිව සටන්කල හැකි වන්නේය.

සියල්ලටත් වඩා කම්කරු පන්තියට, විසිවන සියවසේ පාඩම් හා ධනේශ්වර ජාතිකවාදයටත්, ස්ටැලින්වාදයටත් එරෙහිව ගෙනගිය ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ අරගලය මත පදනම් වන නව විප්ලවවාදී නායකත්වයක් අවශ්‍ය කෙරේ. ආසියාව පුරා විසිර ඇති රටවල හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශාඛා ගොඩනැගිය යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: