මොස්කව් පාලනය ඓතිහාසික ශුකොව් කුලුනේ ඉරනම මැන බලයි

Moscow weighs the fate of historic Shukhov radio tower

ටිම් රිවර්ස් විසිනි, 2014 මාර්තු 19

1917 ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව පිහිටුවන ලද නව සෝවියට් ආන්ඩුව විසින් 1919-22 අතරතුර ඉදි කෙරුනු ප‍්‍රථම ගොඩනැගිල්ල හෙවත් මොස්කව්හි ශැබලොව්කා වීදියෙහි සුප‍්‍රකට රේඩියෝ කුලුන මෙවක මධ්‍යම මොස්කව්හි වතුපිටි වෙලෙඳාම් සමපේක්ෂනයෙහි ශීඝ‍්‍ර නැගීම හමුවේ කඩා බිඳ දැමීමෙහි තර්ජනයට ලක්ව ඇත. සැලසුම් ශිල්පියා හට ගෞරවයක් වශයෙන් නම් කෙරුනු මෙකී ශුකොව් කුලූන පලමුවන ලෝක සංග‍්‍රාමය විසින් උද්ගත කෙරුනු අපේක්ෂාභංග කොන්දේසි මැද කම්කරු රාජ්‍යය බිහි වූ සමයෙහි සිට, රුසියාව තුල සිවිල් යුද්ධය සහ අධිරාජ්‍යවාදී මැදිහත් වීමෙන් යුද්ධ පැන නැගි සමයෙහි සිට, ඔක්තෝබර් විප්ලවයෙහි ඓතිහාසික මස්තකප‍්‍රාප්තීන්හි බලගතු සංකේතයක් හැටියට පැවතින.

කවාකාර පාදීය අගලකින් උඩට මතු වන එය සර්පිලයක් මෙන් ඉහල නැගෙනුයේ මීටර් 160ක් ගුවනට විහිදෙමිනි. සැබවින් ම, මේ ප‍්‍රමානය මෙන් දෙගුනයක් උසට සැලසුම් කෙරුනු එය හුදෙකලා කම්කරු රාජ්‍යය මුහුන පෑ උග‍්‍ර ලෝහ හිඟය නොවන්නට එවක ලොව උස ම ව්‍යුහය වූ අයිෆල් කුලුන පරයනු ඇත. තව ද, ගනිතමය හා ඉංජිනේරු විද්‍යාමය විස්කමක් වූ මෙකී උස් ව්‍යුහයට අවශ්‍යව තිබුනේ සිය පැරිස් අනුපිටපත සඳහා වැය වූ අමුද්‍රව්‍යයෙන් හතරෙන් පංගුවක ප‍්‍රමානයක් පමනි.

නිම කෙරුනු රේඩියෝ කුලුන 1922 දී දිස් වූ අයුරු

නිල නොතකා හැරීමෙන් පීඩා විඳි ශුකොව් කුලුන වසර ගනනාවක සිට මතභේදයට තුඩු දෙනු ලැබ තිබින. 2009 දී, රුසියානු ජනාධිපති පුටින් එය ප‍්‍රතිස්ථාපනය සඳහා අරමුදල් අනුමත කල ද කිසිවක් සිදු නොකෙරින. කුලුනේ සැලසුම් ශිල්පියාගේ නම ම දරන ඔහුගේ මී මුනුපුරා ව්ලැදිමීර් ශුකොව්, කුලුන කැබලිවලට කැඩීම වලක්වා ගනු වස් දියත් කෙරී ඇති ජාත්‍යන්තර උද්ඝෝෂනයක නායකත්වය දරයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය සමඟ ඔහු විස්තර කලේ මොස්කව් නගර සංවර්ධනයෙහිලා බලපැවත්වෙන උස සීමා පිලිබඳ නීති කරනකොටගෙන මෙකී භූමිය ඩැහැ ගැනුමට ධනවත් සමපේක්ෂකයන් වෙසෙසා ගිජු වන බව යි.

රිචඩ් පැරේ විසින් මෑත දී ගන්නා ලද කුලුනෙහි ඡායාරූපයක්.

තට්ටු නවයකට හෙවත් මීටර් 35කට සීමා වනු වෙනුවට, ශුකොව් කුලුන විස්ථාපනය කෙරෙන ගොඩනැගිල්ලකට නෛතික බාධා ඉක්මවා යමින් එය විසින් විස්ථාපනය කෙරෙන ව්‍යුහයට සමාන උසක් දක්වා ඉහල නැගීමෙහි වරම් ඇත. ලොව පුරා ප‍්‍රමුඛ පෙලේ වාස්තු විද්‍යාඥයින්, ඉංජිනේරුවන් හා උගතුන් කුලුන සංරක්ෂනය උදෙසා බල කර සිටින පෙත්සමක් අත්සන් කරනු ලැබ ඇත. එසේ ම, එය කඩා බිඳ දැමීමෙහි සූදානමට එරෙහිව විරෝධතා උද්ඝෝෂනයක් ද සංවිධානය කෙරී ඇත. කුලුන කඩා දමන දිනයක් තව ම ප‍්‍රකාශයට පත් කර නැතත් රුසියානු අධිකාරීන් ඉතා ඉක්මනින් අවසන් තීන්දුව ගනු ඇත.

මොස්කව් ටයිම්ස් 2014 පෙබරවාරි 12, කෙටි දැනුම් දීමක් පල කලේ ”1920 ගනන්වල සෝවියට් රේඩියෝ කුලුන කඩා දැමීමට නියමිත යි” යන හිසිනි. සන්නිවේදනය පිලිබඳ අමාත්‍යවරයා මෙන් ම භූමිය පිලිබඳ නීති රෙගුලාසි ක‍්‍රියාවට නංවන බලධරයා ද වන නිකොලායි නිකිෆොරොව් නරුම හා දුෂ්-නියෝජනාත්මක ලෙස පුවත්පතට පවසා තිබුනේ මෙය යි: “ගැටලුවට විසඳුමක් ලෙස පවතින එක ම සත්‍ය විකල්පය වන්නේ රේඩියෝ කුලුනෙහි අදියර දෙකක යලි ඉදි කිරීමක් හා ප‍්‍රතිසංස්කරනයකි. සංරක්ෂනය උදෙසා එය කැබලි කිරීමත් පසුකාලීන පුනස්ථාපනය උදෙසා එහි කොටස් සංරක්ෂනය කිරීමත් ප‍්‍රථම අදියරට ඇතුලත් වෙයි.”

අති මහත් නඩත්තුවක අවශ්‍යතාව පැවතිය ද, ඇමතිවරයාගේ තිරසර ප‍්‍රකාශයට පටහැනිව, කුලුන ආසන්න කඩා වැටීමක අනතුරට මුහුන දී නැත. පුනස්ථාපනය සඳහා උචිත ප‍්‍රවේශය වනුයේ, කුලුන එසේ ම තිබිය දී නිරන්තර නඩත්තු වැඩපිලිවෙලක අංගයක් හැටියට එක් එක් කොටස විස්ථාපනය කිරීම යි. ක්‍රෙම්ලිනයට නුදුරු ස්ථානයකින් එය ගුවනට නැගීම ම ඓතිහාසික වැදගත්කමකින් යුතු වෙයි.

කුලුනෙහි වැඩ නිම වීම සැමරීම සඳහා නිර්මානය කෙරුනු සේයා රූ සමෝධානයක්. 1922 දී එය ඉදි කිරීමට සහභාගි වූ සමස්ත කාර්ය මන්ඩලය මෙහි පෙනී සිටී.

යුක්‍රේන දේශ සීමාවට ආසන්න ග්‍රෙවොරොන් නමැති කුඩා නගරයෙහි උපත ලද ව්ලැදිමීර් ශුකොව් (1853-1939) ස්වකීය යුගයෙහි ප‍්‍රමුඛතම ඉංජිනේරුවා විය 1. විප්ලවයෙන් අනතුරුව, විදේශ ගත වීම සඳහා පිරිනැමුනු මුල්‍යමය වාසි ප‍්‍රතික්ෂෙප කල ඔහු ඒ වෙනුවට සෝවියට් දේශයෙහි රැඳී සිටිමින් තම වැඩ කටයුතු කර ගෙන යෑමට තීන්දු කලේ මතු දැක්වෙන ආදර්ශ පාඨය ගුරු කොට ගනිමිනි: “අපි අපේ වැඩ දේශපාලනයෙන් ස්වායත්තව සිදු කල යුතු යි. අපේ ගොඩනැගිලි, බොයිලේරු හා බාල්ක අවශ්‍ය වන්නා සේ ම අප ද වුවමනා වනු ඇත.”

ප‍්‍රගාඪ දේශපාලන වැදගත්කම පසෙකලා හුදෙක් බුද්ධිමය සම්ප‍්‍රදාය හා සුවිශේෂී නව තාක්ෂනික නිමැවුම් සැලකුව ද සංස්කෘතික නිධානයක් ලෙස කුලුන සංරක්ෂනය කිරීමෙහිලා එය ප‍්‍රමානවත් හේතුවක් වෙයි.

ශුකොව් වූ කලි මහා වියතෙකි (polymath)2. ප‍්‍රතිෂේධී ද්විවක‍්‍රතාවෙන් (negative double curvature) යුත් නිර්-යුක්ලීඩියානු පෘෂ්ට පිලිබඳ ගනිතමය නිර්වචන ඉදිරිපත් කිරීමෙහිලා නිකොලායි ලොබැචෙව්ස්කි 3ගේ වැඩ කටයුතු පෙරට ගෙන යෑමෙහි හැකියාව ඔහු අතින් වර්ධනය විය. එසේ ම, න්‍යායික වර්ධනයන් තාක්ෂනික ව්‍යවහාරයන් බවට පත් කරනුව අද්විතීය ධාරිතාවක් ඔහු සතු විය. සිය වෘත්තීය ජීවිතයෙහි මුල් අවධියෙහි දී හෙතෙම සුනම්‍ය අත්තිවාරම් මත ඉදි වන ව්‍යුහමය පටල (structural membranes) උදෙසා අවශ්‍ය ගනන් බැලීම්වල නිරත විය. අසමසම ලෙස කාර්යක්ෂම ගබඩා ටැංකි, නල මාර්ග, තෙල් පඩව්, ජල පද්ධති සහ මුහුදේ යාත‍්‍රා කල ප‍්‍රථම තෙල් නැව සැලසුම් කිරීමෙහි හැකියාව එමගින් ඔහුට ලැබින.

මෙකී මස්තකප‍්‍රාප්තීන් වානේ ඉදි කිරීම් පිලිබඳ නැගී එන විද්‍යාව වෙත යොමු කල කල්හි ගොඩනැගිලි, පාලම්, හා කුලුනු කාර්යක්ෂමව වඩා ඈතට විහිදුවාලිය හැකි සැහැල්ලු ව්‍යුහ නිර්මානය කිරීමට සමත් වූ ඔහු ඊට නම් තැබුවේ “ලෝහමය දැලිස (metal lace) යනුවෙනි.

රුසියානු විප්ලවයට පෙර ඉදි වෙමින් පැවති ශුකොව් වතුර ටැංකියකි. විප්ලවයෙහි පරාවලයන් සැලසුමෙහි විදහා දැක්වෙයි.

ඔහුගේ මස්තකප‍්‍රාප්තීන්හි මුදුන් මල්කඩ වන මොස්කව් රේඩියෝ කුලුන විද්‍යාත්මක, වාස්තු විද්‍යාමය, දේශපාලනික හා සංස්කෘතික ඉතිහාසයක අතිශය වැදගත් මොහොතක් නියෝජනය කරයි. ඵය, සරල වානේ දඬුවල සුසංයෝජනයෙන් තැනී ගුවනට නැගෙනුයේ විප්ලවයෙහි පරාවලයන් (paraboloides of revolution) ලෙස හැඳින්වෙන රූප නිර්මානය කරමිනි. මෙකී රූපාකාරයන් ආතතියට හා සම්පීඩනයට ප‍්‍රතිරෝධය දැක්වීමෙහිලා නව අමුද්‍රව්‍යයට පවතින දැවන්ත ශක්තීන් උරගා බලනුයේ එහි දුබලතාව – එනම්, පමනට වඩා දිගු දඬු ඇද වීමට බලන ප‍්‍රවනතාව ජය ගත හැකි විලාසයකිනි.

මෙබඳු ව්‍යුහයන්හි ශක්‍යතාව පිලිබඳ අදහස තම සිතට මුලින් ම නැගුනේ බරැති වස්තුවක් දරා සිටි දැල් කූඩයක් දැකීමෙනැ යි ඔහු ලිවී ය. ඔක්තෝබර් විප්ලවයට පෙර, වතුර ටැංකි සඳහා ආධාරක වන පාරවලයික කුලුනු දෙසියයකට අධික ප‍්‍රමානයක් ඔහු විසින් සැලසුම් කරනු ලදුව ඉදි වී ඇත. රේඩියෝ කුලුනට වඩා බොහෝ සෙයින් කුඩා වුව ද ඒ සියල්ල අද්විතීය ය.

ශුකොව් රේඩියෝ කුලුන. රිචඩ් පැරේගේ සේයාරුවකි.

ඡායාරූප ශිල්පියෙක්, වාස්තු විද්‍යා ඉතිහාසඥයෙක් හා රුසියානු පෙරටුගාමී කලාව පිලිබඳ විශේෂඥයෙක් වන රිචඩ් පැරේ ලෝසවෙඅ සමඟ මෙසේ පැවසී ය: “එනිසා ම යි එය එතරම් වැදගත්. එදා මෙදා තුර ඉහලට නැගි උස ම ව්‍යුහය එය යි. විප්ලවය යන වදන – නව යුගයෙහි කාහල නාදය පතුරුවා හල දූතයා එය යි. විවෘතභාවය හා විනිවිදභාවය කියාපාන සමස්ත ව්‍යුහය ආරම්භක අවධියේ විප්ලවයේ පරමාදර්ශය පිලිබඳ රූපකයක්. විස්මයජනක හා ඉතා වැදගත් ව්‍යුහයක් වන එය මොස්කව් සංකේත අතරින් එකක්.”

කුලුන කඩා බිඳ දැමීමෙහි සැලසුමට විරෝධය පාමින් පැරේ මෙසේ ද කී ය: “එය ඉංජිනේරු විද්‍යාවේ සමස්ත ඉතිහාසයට, නගරයේ කේන්ද්‍රස්ථානය පිලිබඳ අවබෝධයට මතු නොව පොදුවේ රුසියානු ඉතිහාසයට දැවන්ත පාඩුවක් වේවි. ඔබට තවත් කරුනු ගොනු කල හැකි යි. එය කඩා බිඳ දැමීමක් ගැන සිතන්නට පවා අසීරු යි. සන්නිවේදනයෙහි රූපකාරයක් ලෙස රේඩියෝව පරිනාමය වීමේ දී පෙරමුනේ ම සිටි මේ කුලුන ඇදහිය නොහැකි ලෙස ශුභවාදීව ඉදිරිය බලන්නක්.”

නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතට යවන ලද සිය ඊ මේල් පනිවුඩය ගැන සඳහන් කරමින් පැරේ මෙසේ ද පැවසී ය: “කුලුන පාමුල සිටින විට ඔබට දැනෙන්නේ අමතක නොවන හැඟීමක්... උඩු ගුවනට නැගෙන වානේ දඬු දනවන්නේ ශුභවාදය හා ප‍්‍රමෝදයක්.” ටයිම්ස් පත‍්‍රයට යැවූ ඔහුගේ ඊ මේල් පතින් ස්ටැලින්වාදී තන්ත‍්‍රය විසින් 1929-30 දී තනවන ලද ලෙනින් සොහොන හා ශුකොව් රේඩියෝ කුලුන අතර අසමානතාව හුවා දැක්වින: “ඒ (ලෙනින් සොහොන) වනාහි, ශුකොව්ගේ දීප්තිමත් අග‍්‍රකෘතියට ප‍්‍රතිවිරුද්ධ ධ‍්‍රැවයෙහි පිහිටි අවකාශයකි. වසර අටකින් ආලෝකයේ සිට අඳුරට!”

පරිවර්තකගේ සටහන්:

1. කුලුන නිර්මානය කිරීමේ කාර්යය ශුකොව් වෙත පවරා දෙනු ලැබුවේ ලෙනින් විසිනි.

2. ඉංග‍්‍රීසි භාෂාවෙහි මෙවදන භාවිතා කෙරනුයේ ක්ෂේත‍්‍ර කීපයක දස්කම් පෑ විරල ගනයේ උගතෙකු හැඳින්වීම සඳහා පමනි. වඩා ප‍්‍රකට නිදසුන ලියනාර්ඩෝ ඩා වින්සි ය.

3. නිකොලායි ඉවානොවිච් ලොබැචෙව්ස්කි (1792-1856): ජ්‍යාමිතියෙහි කොපර්නිකස් යනුවෙන් විරුදාවලී ලත් රුසියානු ගනිතඥයෙකි. පරාවලයික ජ්‍යාමිතිය හෙවත් ලොබැචෙව්ස්කියානු ජ්‍යාමිතියෙහි පියා ය.

Share this article: