ගෝලීය ආර්ථිකය මන්දගාමී වීම හමුවේ
යුරෝපය අවධමනාත්මක සර්පිලයකට මුහුනපායි

Europe threatened with deflationary spiral

බැරී ග්‍රේ විසිනි , 2014 ඔක්තෝබර් 30

මේ සතිය තුල නිකුත්වූ ජර්මන් ආර්ථිකය පිලිබඳ නව දත්ත, සය වසරක් තුල තෙවන පසුබෑම කරා යුරෝ කලාපය ඇදී යමින් තිබෙන බවට හා 1930 ගනන්වල මහා අවපාතයට තුඩුදුන් වර්ගයේ, පහතට යොමුවූ අවධමනාත්මක සර්පිලයකට ඇතුලුවී තිබිය හැකි බවට වැඩෙන බියක් පලකරයි.

ඔක්තෝබර් මාසය සඳහා වන අයිඑෆ්ඕ ව්‍යාපාරික තත්ව දර්ශකයට අනුව, 2012න් මෙපිට ජර්මානු ව්‍යපාරික විශ්වාසය එහි පහලම මට්ටමට වැටී ඇත. ඔක්තෝබර් සමීක්ෂනය පෙන්නුම් කරන්නේ, සැප්තැම්බර් මාසය සමඟ සසඳන කල මේ මාසයේ විශ්වාසය ඒකක 104.7 සිට 103.2 දක්වා පහත වැටී ඇති බවයි. එය අර්ථ ශාස්ත්‍රඥයින් අපේක්ෂා කල ඒකක 104.3ට වඩා පහත් අගයක් පෙන්වීය. එය එක දිගට පහතට යොමුවූ සයවන මාසයයි.

බලාපොරොත්තු සුන් කරන ව්‍යාපාරික විශ්වාසය පිලිබඳ වාර්තා පිටුපසින් යුරෝපයේ ලොකුම ආර්ථිකය හැකිලෙමින් තිබෙන බවට තොරතුරු මාලාවක් පල විය. ජූලි හා අගෝස්තු අතර ජර්මනියේ කාර්මික නිෂ්පාදනය සියයට 4න් කඩා වැටුනි. අගෝස්තු මාසයේ කම්හල් ඇනවුම් හා අපනයන 2009න් මෙපිට දක්නට ලැබුනු තියුනුම වැටීම අත් විඳීය. රටේ දල දේශීය නිෂ්පාදිතය අප්‍රේල්-ජූනි කාර්තුවේදී හැකිලුනි. එරට උද්ධමන අනුපාතය යන්තම් සියයට 0.8ක් පමනි. එය බුන්ඩෙස් බෑන්ක් හා යුරෝපීය මහ බැංකුව (යුමබැ) ඉදිරිපත්කොට තිබුනු ඉලක්කයට වඩා බොහෝ පහත මට්ටමකි.

මේ මාසය මුලදී ජර්මානු ආන්ඩුව, 2014 සඳහා වූ සිය ආර්ථික වර්ධන අනුපාත පුරෝකථනය සියයට 1.8 සිට 1.2 දක්වා ද 2015 සඳහා පුරෝකථනය සියයට 2 සිට 1.3 දක්වා ද පහත හෙලීය. අයිඑෆ්ඕ හි නවතම වාර්තාව 27දා නිකුත් කිරීමෙන් පසුව, ජර්මනියේ වානිජ්‍ය මන්ඬලය 2015 සඳහා තම වර්ධන පුරෝකථනය සියයට 0.8 දක්වා පහත දැමීය.

“ජර්මන් ආර්ථිකය පිලිබඳ දැක්ම යලි වතාවක් අඳුරු වෙමින් තිබේ.” යයි අයිඑෆ්ඕ සභාපති හෑන්ස් වර්නර් සින් ප්‍රවෘති නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ‍ෆ්‍රැන්ක්ෆර්ට්හි කොමර්ස්බැන්ක් ඒජීහි ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ජොර්ග් ක්‍රේමර් උපුටා දක්වමින් බ්ලූම්බර්ග් ප්‍රවෘති අංශය සඳහන් කලේ, “කාර්මික අංශයේ නවතම ගනන් හිලව් සිත් පාරවන සුලුය. තුන්වන කාර්තුව සිතුවාට වඩා නරක් විය හැකිය. ආර්ථිකය ඉහලම තත්වයෙන් එක තැන පල්වෙයි.” යනුවෙනි.

යුරෝපයේ කාර්මික බල මධ්‍යස්ථානය වන ජර්මනිය සලකනු ලැබුවේ, මහාද්වීපයේ ආර්ථික අවපාතයෙන් එය ගොඩ දමන එංජිම ලෙසය. ඒ වෙනුවට එරට අපනයන මත බෙහෙවින් වාරුවන ආර්ථිකයට, ජර්මනියේ තෙවන විශාලතම වෙලඳපොල වන චීනය, බ්‍රසීලය වැනි ඊනියා “නැඟී එන ආර්ථිකයන්” ද අවශේෂ යුරෝපය ද ඇතුලු සමස්ත ලෝකයේම ඉල්ලුම මන්දගාමී වීම මඟින් වල කපා ඇත. යුක්‍රේන අර්බුදය මුල්කරගෙන රුසියාවට එරෙහි ආර්ථික සම්බාධක, මැද පෙරදිග යුද්ධය හා යුරෝපය පුරා අතොරක් නැතිව ක්‍රියාවට නඟන කප්පාදු වැඩසටහන් යන ආන්ඩුවේම පිලිවෙත් එරට ආර්ථික පසුබෑමට දායක වෙයි.

ජර්මනියේ පසුබෑම ජාතීන් 18න් යුත් යුරෝ කලාපයේ පොදු අර්බුදයෙහි කොටසකි. කලාපයේ වර්ධනය දෙවන කාර්තුවේදී ඇනහිටීමකට මුහුන දුන් අතර සමස්ත උද්ධමන අනුපාතය වන සියයට 0.3, පූර්න අවධමනයක අද්දර ලඹදෙමින් තිබේ.

මෙම තත්වයන් පැතිර පවතන්නේ, එක්සත් ජනපදයේ, යුරෝපයේ හා ජපානයේ මහ බැංකු විසින් මූල්‍ය වෙලඳපොලවලට දැවැන්තව මුදල් එන්නත් කිරීම නොතකාය. පූර්න අවධමනයක් වැලැක්වීමට මංමුලා සහගත ලෙස උත්සාහ දරමින් යුමබැ සිය පාදක පොලී අනුපාතය සියයට 0.05 දක්වා කපා හරිමින් ද බැඳුම්කර මිලට ගැනීම සඳහා මහ බැංකුව අවශ්‍යයෙන්ම මුදල් අච්චු ගැසීම යටතේ සිදුවන එජ ෆෙඩරල් මහ බැංකුවේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” වැඩසටහනේ නව්‍යකරනය කල සංස්කරනය ද දියත් කලේය.

නරක අතට හැරෙන අර්බුදය පිලිබඳ තවත් සලකුනක් නම්, 28දා ස්වීඩන් මහ බැංකුව අනපේක්ෂිත ලෙස තම පාදක පොලී අනුපාතය ශුන්‍යය දක්වා පහත දැමීමය. රික්ස්බැංකුව ද 2015 සඳහා වන සිය වර්ධන පුරෝකථනය කපා හැරියේය.

ස්වීඩනය ස්කැන්ඩිනේවියානු රටවල් අතරින් ඉහලම විරැකියාව සහිත රටය. එරට පසුගිය මාස 24න් 16කදීම මිල ගනන් පහත වැටෙනු අත්දුටුවේය. රටේ උද්ධමන අනුපාතය, වසර තුනකම පාහේ රික්ස්බැංකුව සියයට 2ක් ලෙස ඉදිරිපත්කොට තිබුනු ඉලක්කයට වඩා පහතින් පැවතුනි. 2013 වසරේ පැවති ශුන්‍ය උද්ධමනයෙන් පසුව රික්ස්බැංකුව, මේ වසර සඳහා රින 0.2ක උද්ධමන අනුපාතයක් අපේක්ෂා කරයි.

ඔක්තෝබර් 25-31 බ්‍රිතාන්‍යයේ ඉකොනොමිස්ට් සඟරාව, යුරෝපයේ අවධමනාත්මක අර්බුදය හා එහි විනාශකාරී ගෝලීය ඇඟවුම් කෙරෙහි අවධානය යොමුකර තිබුනි. “ලෝකයේ විශාලතම ආර්ථික ගැටලුව-යුරෝ කලාපයේ අවධමනය ඉතා සමීප හා අතිශයින්ම අන්තරාකාරී” යන සිරස සහිත කතුවැකිය තුල සඟරාව, යුරෝපයේ පසුබෑම ගෝලීය ප්‍රවනතාවක කොටසක් බව සඳහන් කරයි. චීනය දැන් වර්ධනය වන්නේ 2009න් මෙපිට කිසිම කාලයකට වඩා හෙමින්ය යන කාරනය එය සඳහන් කරයි.

බංකොලොත්වීම් හා දොට්ටදැමීම් තව තවත් බංකොලොත්වීම් හා දොට්ට දැමීම් වලට තුඩුදෙන්නේය යන, අවධමනාත්මක සර්පිලයක් පිලිබඳ අන්තරාය ගැන එය කරන අනතුරු ඇඟවීමට පිටිවහලක් ලෙස ඉකොනොමිස්ට්, උද්ධමන අනුපාත, යුරෝපයේ මෙන්ම එජ හා චීනයේ මහ බැංකුවල ඉලක්කයන්ට වඩා කැපී පෙනෙන ආකාරයට පහතින් ඇති බව පෙන්වා දෙයි. මහ බැංකු විසින් උද්ධමනය ඉලක්ක කරන රටවල් 46කින් 30කම එය පවතින්නේ ඉලක්කයන්ට වඩා පහතින් යයි සඟරාව ලියා ඇත.

යුරෝපය තුලම රටවල් අටක මිල ගනන් පහත වැටෙමින් ඇත. ඉතාලියේ, ස්පාඤ්ඤයේ හා ග්‍රීසියේ උද්ධමනය පවතින්නේ, ශුන්‍යයට වඩා පහතිනි.

දොලොස් මාසයක කාල පරාසය තුල කාර්තු දෙකකම මිල ගනන් පහත වැටීම සැලකිල්ලට ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝ කලාපයේ අවධමනයේ අභියෝගය තක්සේරු කල බව ඉකොනොමිස්ට් සඟරාව සටහන් කරයි. ඒ අනුව ඉදිරි වසරේදී පහත වැටීම සියයට 30ක් වේ යයි ගනන් බැලේ.

“නය බර ඉතාලියේ සිට ග්‍රීසිය දක්වා ඉහල නඟියි. ආයෝජකයින් තැතිගන්නවා ඇත. ජනතාවාදී දේශපාලඥයින්ට වාසි සැලසෙනු ඇත. කාලයකට පසුව නොව ඉක්මනින්ම යුරෝව බිඳ වැටෙනු ඇත.” සඟරාව කියයි.

බ්‍රිතාන්‍ය ධනවාදය හා ලන්ඩන් නඟරය වෙනුවෙන් කථා කරන ඉකොනොමිස්ට් සඟරාව, කප්පාදුවෙන් මොනම අයුරකින් හෝ ඉවත්විමට දක්වන විරුද්ධත්වය හා රැකියා සුරක්ෂිතභාවය, විශ්‍රාමික සහන හා යුරෝපිය ශුභසාධක රාජ්‍යයේ ඉතිරිව ඇති සහන විනාශ කිරීමට යොදන ආරූඪ නාමයක් වන යුරෝපීය ආර්ථිකයන්හි ඊනියා “ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරන” සමඟ අත්වැල් බැඳගත්, මූල්‍ය වෙලඳපොලවලට තව තවත් අරමුදල් සැපයුම නිර්දේශ කිරීම මුල්කරගෙන, ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල්ට දොස් පවරයි.

අනෙකුත් බ්‍රිතාන්‍ය ප්‍රවෘති පත්‍ර ඉකොනොමිස්ට් පිටුපස පෙල ගැසෙයි. 27දා ටෙලිග්‍රාෆ් පත්‍රයේ පලවූ ලිපියකින්, මේ වන විට තමන්ගේ යුරෝපීය බැංකුවල “ආතති පරීක්ෂනය” සඳහා අවධමනයේ අවදානම ඇතුල් කිරීමට යුමබැ අසමත් වීම හෙලාදැක ඇත. දල වශයෙන් යුරෝ කලාපයේ රටවල් අඩක පමන මිල ගනන් පසුගිය මාස හය තිස්සේ පහත වැටීම හා “එහි මිල ගොනුවට ඇතුලත් භාන්ඩ වල සමානුපාතය සියයට 31 දක්වා ඉහලට පැන තිබීම” ගැන සඳහන් කරයි.

යූබීඑස් බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක ජෝර්ජ් මැග්නස් උපුටා දක්වමින් 28දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය මෙසේ පැවසීය. “අවධමනය පැහැදිලි හා මේ දැන් මුහුනදී ඇති අන්තරායක් පමනක් නොව, සමහර රටවල දැනටමත් ඇතිවී තිබෙන තත්වයකි.”

යුරෝපාකරයේ අවධමනාත්මක ප්‍රවනතාවය, දැනටමත් බිඳෙන සුලු එජ ආර්ථිකය කෙරෙහි වැඩි වැඩියෙන් බලපෑම් කරයි. 28දා නිකුත්කල දර්ශක ගනනාවක වාර්තා, ආර්ථික කටයුතුවල මන්දගාමී වීම සලකුනු කරයි.

වසර තුනකට වැඩි කාලයක් පැවතීමට සකසා තිබෙන බැර යන්ත්‍රෝපකරන වැනි කල් පවතින භාන්ඩ ඇනවුම් පෙර මාසයට වඩා සැප්තැම්බර් මාසය තුල සියයට 1.3න් පහත බැස තිබෙන බව වානිජ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කලේය.

ඊට පෙර අගෝස්තු මාසය වන විට වාර්තාගත සියයට 18.3ක වැටීමක් සිදුව තිබූ අතර සැප්තැම්බරයේදී සියයට 0.7ක වර්ධනයක් පූර්වාපේක්ෂා කල අර්ථශාස්ත්‍රඥයින්ගේ බලාපොරොත්තු සුන් කලේය.

ව්‍යාපාරික ආයෝජනයේ මිම්මක් ලෙස සලකන “මූලික ප්‍රාග්ධන භාන්ඩ” වශයෙන් හඳුන්වන කල්පවතින භාන්ඩ වර්ගය, ජනවාරියෙන් පසු ලොකුම වැටීම සලකුනු කරමින් පසුගිය මාසයේදී සියයට 1.7න් පහත වැටුනි.

වෙනත් වර්තාවක් තුල, සැපයුම් කලමනාකරන ආයතනය වාර්තා කලේ, තම නිෂ්පාදන දර්ශකය අගෝස්තු මාසයේ පැවති ඒකක 59 සිට සැප්තැම්බර් වන විට 56.6ක් දක්වා වැටී ඇති බවයි.

නිවාස මිල පිලිබඳ සමීක්ෂනයකට අනුව, නිවාස වෙලඳපොල එක දිගට මන්දගාමී වෙමින් තිබේ. නාගරිකයන් 20ක එස්ඇන්ඩ්පී/කේස් ෂිලර් කොම්පොසිට් දර්ශකය පෙර වසරට සාපේක්ෂව අගෝස්තුවේ අත්කරගෙන ඇත්තේ සියයට 5.6කි. වාර්ෂික අනුපාතයකට අනුව එය දෙවසරක් තුල ලබා ඇති පහත්ම වර්ධනයයි. මාසික පදනමක සෘතුගතව සංශෝධනය කරන, නගර 20ක මිලගනන් මාසය තුල සියයට 0.1න් පහ වැටුනි.

එජ සිල්ලර වෙලඳුන්ගේ වැය ජනවාරි පටන් පලමු වැටීම සලකුනු කල සැප්තැම්බරයේ, නිවාස වෙලඳපොල සංඛ්‍යා නිකුත්වී තිබේ.

පලදායිතාව හා නව්‍යකරනය පිලිබඳ නිෂ්පාදකයින්ගේ සන්ධානය සමඟ වැඩකරන අර්ථශාස්ත්‍රඥයෙකු වන ක්ලිෆ් වෝල්ඩ්මන් උපුටා දක්වමින් වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ පවසයි. “අඳුරු වෙමින් ඇති ලෝක ආර්ථික හා භූදේශපාලනික චිත්‍රය බලපැම් කරමින් සිටියි.”

එජ ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකු විසින් මූල්‍ය වෙලඳපොලවලට හා බැංකු වලට නොමිලයේම වාගේ සම්පාදනය කල ඩොලර් ට්‍රිලියන ගනන් නය මඟින් 2008 සැප්තැම්බරයේ වෝල් වීදිය කඩා වැටීම සමග ඇරඹුනු ධනේශ්වර බිඳවැටීම ජයගැනීමට අසමත්ව ඇත. ලෝකයේ ඉමහත් බහුතර ජනතාවකගේ තත්වය නරක අතට හැරෙමින් තිබේ.

බැංකු හා සංගත සිය වාසනාව නිෂ්පාදන ක්‍රියාවලිය තුල ආයෝජනය කර රැකියා නිර්මානය කිරීම සඳහා යොදාගන්නේ නැත. එක්කෝ ඔවුහු මුදල් කඳුගසාගෙන මිල ගනන් නැංවීම පිනිස තමන්ගේම කොටස් යලි මිලට ගැනීමට ඒවා යොදාගන්නවා හෝ වෙනත් පරපුටු කටයුතු සඳහා යොදවති. සැබෑ ආර්ථිකය මුලුමනින්ම පාහේ දිරාපත් වෙමින් තිබේ.

කම්කරු පන්තියට එරෙහි නිර්දය කප්පාදු සමඟ අත්වැල් බැඳගත් පෙර නොවූ විරූ මූල්‍ය උත්තේජක, මූල්‍ය වංශාධිපතිත්වයට වාසි සලසමින් ඔවුන්ගේ දැවැන්ත ධන සම්පත් වැඩිකර ලෝක සම්පත්වල ඔවුන්ගේ පංඟුව ඉහල නංවා ඇත. ඒ අතරතුර ඔවුන්, සමපේක්ෂනයේ නව රූපාකාරයන් හා සාපරාධී, වංචනික කටයුතු ඒ සමඟ පෝෂනය කරයි. නොවැලැක්විය හැකි නව මූල්‍ය කඩාවැටීමකට තුඩුදෙමින් 2008 බිඳවැටීම සිදුකල එම ප්‍රවනතාවන්ම යලි වැඩට බැසගෙන සිටියි.

සය වසරකට පෙර කඩා වැටුනු අවමුඛ නිවාස උකස් ක්‍රමය කැඩපත් කරමින්, අවමුඛ රථවාහන නය පදනම්කරගෙන “වත්කම් පිටුබලය සහිත සුරැකුම්” පිලිබඳ නව වෙලඳපොලක මතුවීම ගැන සඳහන් කල 27දා ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය, කසල ගනයේ ව්‍යපාරික බැඳුම්කර නිකුතුව නව වාර්තාගත ඉහලකට ලඟාවී ඇති බව කියයි.

Share this article: