ජපාන මහ බැංකුවේ කම්පනකාරී උත්තේජනය ගෝලීය ආර්ථිකය තව දුරටත් අස්ථාවර කරයි

Bank of Japan’s shock stimulus further destabilizes global economy

නික් බීම්ස් විසිනි, 2014 නොවැම්බර් 03

ලෝකයේ ප්‍රමුඛ මහ බැංකු තම ජාතික ආර්ථිකයන් නඟා සිටුවීම පිනිස ගන්නා පියවර මඟින් ජාත්‍යන්තරව අස්ථාවරත්වය වර්ධනය කිරීමට දායක වීම, ගෝලීය ධනේශ්වර ආර්ථිකයේ බිඳවැටීම සම්බන්ධයෙන් ඇඟවුම් පලකරයි.

පසුගිය 29දා එක්සත් ජනපදයේ ෆෙඩරල් මහ බැංකුව, වඩා සාමාන්‍ය මූල්‍ය ක්‍රමයකට යලි පැමිනීම දෙසට තබන පියවරක් ලෙස තම වත්කම් මිලටගැනීමේ වැඩසටහන අවසන් කරන බව නිවේදනය කලේය. එහෙත් මෙයින් සිදුවිය හැකි එක් බලපෑමක් වන්නේ, 2008 මූල්‍ය කඩාවැටීමේ තැන් පටන්, ආර්ථික වර්ධනයේ ප්‍රධාන මූලාශ්‍රය ලෙස පැවති ඊනියා නැඟී එන වෙලඳපොලවල සිට, අස්ථාවර මූල්‍ය ප්‍රාග්ධනය ඉවතට ගලා යාම කරා මාරුවීමකි.

එලෙසම 31දා ජපන් මහ බැංකුව, අවධමනාත්මක සර්පිලයකින් එරට ඉවතට ගැනීමේ උත්සාහයක් ලෙස ආන්ඩුවේ බැඳුම්කර මිලට ගැනීම වැඩි කරන බවට ගත් කම්පනකාරී තීන්දුව, ආසියානු කලාපයේ ආර්ථිකයන්ට, විශේෂයෙන්ම දකුනු කොරියාවේ හා චීනයේ ආර්ථිකයන්ට, මෙන්ම යුරෝ කලාපයට ද අහිතකර ලෙස බලපානු ඇත.

“ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” ජපන් සංස්කරනය වේගවත් කිරීමෙහි, ක්ෂනික බලපෑම් වලින් එකක් වනු ඇත්තේ, පසුගිය තුන් වසර තිස්සේ සැලකිය යුතු තරමින් පහත වැටුන යෙන් මුදලේ අගය තවදුරටත් පහත වැටීමයි. 31දා යෙන් මුදල ඩොලරයට සාපේක්ෂව හත් වසරක පහතම අගය කරා ගිලී ගිය අතර 2012 මැද සිට එය ඩොලරයට, යුරෝවට හා කොරියානු වොන් මුදලට සාපේක්ෂව සියයට 40න් ද චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 50න් ද පහත වැටී ඇත.

මෝර්ගන් ස්ටැන්ලි විදේශ හුවමාරු මූලෝපායේ භාරකරු වන හැන්ස් රෙඩිකර් ලන්ඩන්හි පල කෙරෙන පත්‍රයට පැවසුවේ, ජපානය සිය අවධමනාත්මක බලපෑම් අනෙකුත් රටවලට අපනයනය කරන බවයි.

“අනෙකුත් රටවලට මෙයට මුහුනදිය හැකි ද යන්න තවමත් පැහැදිලි නැත. කොරියාව තුල ලාභය පිලිබඳ අනතුරු ඇඟවීම් බොහොමයක් තිබුනි. සමස්ත කලාපයම දැනටමත් අධි ධාරිතාව පිලිබඳ දුෂ්කරතාවන්ට ද බරපතල නය ප්‍රශ්නවලට ද මුහුනපා සිටියි. ඩොලරයෙන් නියම කෙරෙන නය, 2005 පැවති ඩොලර් බිලියන 300 සිට දැන් ට්‍රිලියන 2.5 දක්වා මාරක ලෙස ඉහල ගොස් ඇති අතර නය කාර්යක්ෂමතාවය පිරිහෙමින් ඇත.” ඔහු එසේ පවසයි.

තම අවධමනාත්මක උගුල අපනයනය කිරීම තුලින් ගැලවීම සොයන ජපානය, මූල්‍ය යුද්ධ පිලිබඳ අනතුර මතුකර ඇති බව අනෙකුත් විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ජපාන බැංකුවේ පාලක මන්ඩලය 31දා 5-4ක් ලෙස යාන්තමින් ගත් තීරනයෙන් පසුව, බැංකු අධිපති හරුකිකෝ කුරෝඩා නිවේදනය කලේ, සිය මූල්‍ය පදනමේ ප්‍රසාරනය පුලුල් කිරීම පිනිස, යෙන් ට්‍රිලියන 60-70 අතර (ඩොලර් බිලියන 539-629 දක්වා) වන වත්මන් මට්ටම, වසරකට යෙන් ට්‍රිලියන 80 හෙවත් ඩොලර් බිලියන 721 දක්වා ඉහල දැමීම සඳහා මහ බැංකුව සෑහෙන තරම් වත්කම්, විශේෂයෙන්ම ආන්ඩුවේ බැඳුම්කර මිලට ගන්නා බවයි.

“ඇබෙනොමික්ස්” (අබේගේ අර්ථශාස්ත්‍රය) හි කොටසක් ලෙස 2013දී ක්‍රියාත්මක කල වත්කම් මිලට ගැනීමේ වැඩසටහන හොඳින් වැඩකරන බව කුරෝඩා මීට පෙර කියා තිබුනු බැවින් මෙම තීරනය කම්පනයක් ලෙස දැනුනි. එහෙත් ජපන් ආර්ථිකය පිලිබඳ දත්ත ඇඟවුම් කලේ, මුලින් උත්තේජනයක් සපයන ලද නමුත් වත්කම් මිලට ගැනීම, අවධමනාත්මක චක්‍රය බිඳීමට අසමත් වූ බවය.

අප්‍රේල් මාසයේදී සියයට 1.5ක් දක්වා ඉහල නැඟුනු ජපානයේ ප්‍රමුඛ උද්ධමන අනුපාතය, සැප්තැම්බරයේදී සියයට 1 දක්වා පල්ලම් බැසි අතර ඊලඟ වසරේ අප්‍රේල් වන විට උද්ධමන අනුපාතිකය සියයට 2 දක්වා ඉහල දැමන ජපන් මහ බැංකුවේ ඉලක්කය සැකයට බඳුන් විය. ආර්ථිකයේ වර්ධනය ඉතා සුලු නැත්නම් කිසිදු වර්ධනයක් නොපෙන්වන තත්වයක් අත්විඳි අතර දෙවන කාර්තුවේදී සියයට 7කටත් වඩා හැකිලී ගියේය. ඒ බොහෝකොටම අප්‍රේල් මාසයේ සිට රටේ පාරිභෝගික බද්ද සියයට 5ක අනුපාතයේ සිට සියයට 8 දක්වා වැඩිකිරීමේ ප්‍රතිපලය ලෙසය. මෙම වැඩිවීම පලමු කාර්තුවේ පැවති සියයට 6ට වැඩි වර්ධන අනුපාතය මුලුමනින්ම අහෝසි කරන ලදී. වර්ධනය යලි ක්‍රියාත්මක වනු ඇතැයි යන අපේක්ෂාව තිබියදීම තුන්වන කාර්තුවේ යථාවත්වීම කලින් බලාපොරොත්තු වූවාට වඩා අඩුවනු ඇති බව සැලකේ. 2014 මූල්‍ය වර්ෂය සඳහා තමන්ගේම වර්ධන අනාවකි අඩකින් කපාහැරීමට ජපාන අර්ථශාස්ත්‍රඥයින් පියවර ගෙන ඇත. ජූලි හා අගෝස්තු මාස සඳහා වන දුබල නිෂ්පාදනයේ හා සිල්ලර වෙලඳාමේ දත්ත, පහත් වර්ධනයක් පිලිබඳ බිය වැඩිකර තිබේ. අගමැති අබේට සමීප එක් මූලාශ්‍රයක් ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත ප්‍රකාශකර ඇති ආකාරයට “සියලුම ආර්ථික ඇඟවුම් ගමන් කරන්නේ දකුනටය.”

මහ බැංකුවේ තීරනය දැනුම් දෙමින් කුරෝඩා, ලෝකයේ තුන්වන විශාලතම ආර්ථිකය වන ජපානය, අවධමනයේ ග්‍රහනය බිඳීමේ සිය අරගලය “තීරනාත්මක මෙහොතකට” එලඹ තිබෙන බව පැවසීය. ස්ථිර ප්‍රගතියක් අත්කරගෙන තිබුනේවී නමුත් මහජනතාවගේ අවධමනාත්මක මනෝගතිය පහ කිරීම ප්‍රමාදවීමේ තත්වයකට අපට මුහුනපෑමට සිදුවීමේ අන්තරාය පවතී” ඔහු පැවසීය.

ජපන් ආර්ථිකයේ පරිමානයට සම්බන්ධිතව ගත් කල මහ බැංකුවේ අලුත්ම පියවර, එජ ෆෙඩරල් මහ බැංකුවේ වත්කම් මිලට ගැනීමේ වැඩසටහනටත් වඩා විශාලය. දැන් ජපන් මහ බැංකුව සිය ශේෂ පත්‍රය සියයට 15ක වාර්ෂික අනුපාතයකින් ඉහල නංවයි. මෙය, ෆෙඩරල් මහ බැංකුවේ ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන යටතේ සිදුකල ඉහල දැමීම මෙන් තුන්ගුනයක අනුපාතයකි.

සිය පුලුල් කල වෙලඳපොල මැදිහත්වීම යටතේ ජපන් මහ බැංකුව, ආන්ඩුව සිය මූල්‍ය හිඟය පියවා ගැනීමට නිකුත් කල නව බැඳුම්කර මෙන් දෙගුනයකටත් වැඩි ප්‍රමානයක් මිලට ගනු ඇත.

මෙය රාජ්‍ය මූල්‍යයේ ස්ථාවරත්වය පිලිබඳ කනස්සල්ල මතුකර තිබේ. ඒවා සමහන් කිරීමේ අටියෙන් කුරෝඩාගේ ද පිටුබලය සහිතව ආන්ඩුව, ඔක්තෝබරයේ සිට පාරිභෝගික බද්දේ දෙවන කොටස සියයට 8 සිට 10 දක්වා වැඩිකිරීමට පියවර ගනිමින් ඇති බව පෙනෙන්නට තිබේ. මෙම වැඩිවීම අවලංඟු කලහත් හෝ ප්‍රමාද කලහොත් පවා, ලෝකයේ කවර රටකටත් වඩා ඉහල,ඩොලර් ට්‍රිලියන 11 හෙවත් රටේ දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 240ක් වන ජපන් ආන්ඩුවේ නය කන්දරාව ගෙවන්නේ කෙසේ ද යන ප්‍රශ්න මතුවීමට පටන්ගනු ඇත.

කෙසේ වෙතත් පාරිභෝගික බද්ද තවදුරටත් වැඩි කිරීම, සිය වත්කම් මිලට ගැනීමේ වැඩසටහන වේගවත් කිරීම තුලින්, ජයගැනීමට මහ බැංකුව උත්සාහ දරන අවධමනාත්මක බලපෑම් තවදුරටත් දැඩි කරමින්, ජපාන ආර්ථික කටයුතු මන්දගාමී කරනු ඇත.

මේතාක් දුරට ආන්ඩුවේ නය ගෙවීම් සිදුකරන්නේ, රටේ දැවැන්ත රක්ෂන අරමුදල් ද ඇතුලු අභ්‍යන්තර මූලාශ්‍රයන් මඟිනි. එහෙත් අර්බුදයකට මුහුන නොදී මෙම ක්‍රියාවලිය කොතෙක් දුර පවත්වාගෙන යා හැකි ද යන්නට සීමාවන් ඇති බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මීට පෙර යෝජිත තීරන වලදී කුරෝඩාට විශාල බහුතරයක් ලබාගත හැකි වුව ද මෙවර, බැංකුවේ පාලක මඬුල්ලේ ඡන්දය යාන්තමින් දිනා ගැනීම පෙන්නුම් කරන්නේ, මෙම කනස්සල්ල ජපාන මහ බැංකුව තුලට ද රිංඟාගෙන තිබෙන බවයි. එහි බැංකු නිලධාරීන් හා නිරීක්ෂකයින් පවසන්නේ, බැංකු ඉතිහාසය තුල එවන් පටු ඡන්ද ප්‍රතිපලයක් ගැන සිහිපත් කල නොහැකි බවයි.

ගෝලීය ආර්ථිකය තුල ද පැතිර පවතින, වර්ධනය වන උමතුව ගැන නොකීවත්, අතාර්කිකත්වයේ තවත් පිලිබිඹුවක් නම්, සියලු විශ්ලේෂකයින් ජපන් බැංකුවේ පියවර උග්‍ර අතට හැරෙන ගැටලු පෙන්නුම් කරන බව සඳහන් කරන අතර වාරයේ මූල්‍ය වෙලඳපොලවල්, ජයපැන් බීමේ නාඩගමක නිරතව සිටීමයි.

පසුගිය 31දා එජ කොටස් මිල ඉහල නඟිමින් ඩව් ජෝන්ස් හා එස්ඇන්ඩ්පී 500 දර්ශක වාර්තා පිහිටුවීය. ඒ පාර්ශවීය ලෙස හෝ ජපාන බැංකුවේ තීන්දුවේ ප්‍රතිපල වශයෙනි. එදින ආරම්භයේදී ජපානයේ නිකේ කොටස් දර්ශකය වසර 7ක් තුල ඉහලම මට්ටම සලකුනු කරමින් සියයට 5කට ආසන්න ප්‍රමානයකින් ඉහල ගියේය. මෙම ප්‍රතිපල, මූල්‍ය සමපේක්ෂනය සඳහා ප්‍රමුඛ මහ බැංකු අසීමිත ප්‍රමානයන්ගෙන් ලාභ මුදල් සම්පාදනය කරද්දී “සමාජ ශාලාව” හෙවත් කොටස් වෙලඳපොලවල් ගෝලීය කැසිනෝ ශාලා බවට පත්ව තිබීම පිලිබඳ තවත් ඇඟවුමකි. එහෙත් මෙම පියවරයන්ම මූල්‍ය අර්බුදයක් මුදාහැරීමේ ශක්‍යතාවෙන් යුක්තය.

ෆිනෑන්ෂල් ටයිම්ස්හි තීරු රචක ජෝන් ඕදර්ස් මෙසේ සටහන් කලේය. “කොටස් මිලෙන් පලවන ප්‍රතිචාරය පෙන්නුම් කරන්නේ ප්‍රමානාත්මක ලිහිල්කිරීම වැනි වෙලඳපොලවල්ය. එහෙත් පුලුල් ඉදිරිදර්ශනය අනතුරුදායකය. විශේෂයෙන්ම විවිධාකාරයෙන් වෙනස් වන රටවල් එකම උපාය එක විටම පාවිච්චි කිරීමට උත්සාහ දරද්දී මුදල්වල තියුනු මාරුවීම් අවදානම් ගෙන එයි.”

ලබන 06දා පැවැත්වීමට නියමිත යුරෝපීය මහ බැංකුවේ ඊලඟ රැස්වීමේදී ජපානයේ පියවරෙහි බලපෑම ගැන නිශ්චිතවම සාකච්ඡා කරනු ඇත. ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ තමන්ගේ සංස්කරනය වේගවත් කරන ලෙස මූල්‍ය වෙලඳපොලෙන් බැංකු අධිපති මාරියෝ ඩ්‍රාගි වෙත යෙදෙන පීඩනය උග්‍ර වෙමින් තිබේ.

03දා පල කල ප්‍රකාශයක් තුල වොෂින්ටන් පෝස්ට් පත්‍රයේ ආර්ථික ලියුම්කරු රොබට් සැමුවෙල්සන් ලිපිය පටන් ගන්නේ ප්‍රශ්නයක් සමඟිනි. “මාරියෝ ඩ්‍රාගිට යුරෝපය බේරාගත හැකි ද?” ප්‍රශ්නය මතුකිරීම ම, වරෙක නිමාවට පත්ව ඇති බව ප්‍රකාශිත යුරෝපීය අර්බුදය අන් කිසිවක් නොව “නොවිසඳුන මතක් කිරීමක්” බව ඔහු ලියා ඇත. යුරෝපය, සමහර විට ප්‍රකෘතිමත්වන, සමහර විට නරක අතට හැරෙන අසාධ්‍ය තත්වයේ පසුවන රෝගියෙකු වැනිය. “රෝගය දිග්ගැසසෙමින් තිබෙන අතර නිරතුරුව අසාධ්‍ය තත්වයට පත්වීමේ තර්ජනය මතු කරයි. සමහරවිට ව්‍යසනකාරී අර්බුදයක් බවටය.”

යුරෝපා ආර්ථිකය 2008 පටන් පසුබෑම් දෙකක් අත්විඳ තිබේ. තුන්වැන්න අද්දරට පැමින ඇති බව සැලකේ. යුරෝ කලාපයේ නිමැවුම 2008 තිබුනාට වඩා සියයට 2ක් පහතින් තිබේ. ආයෝජන සියයට 15න් වැටී ඇත. මෙම ගැටලු පසුගිය සතියේ ජපාන මහ බැංකුව විසින් ගත් තීරන වලින් වඩාත් උත්සන්න වනවා පමනි.

Share this article: