"බැඳුම්කර රජු” බිල් ග්‍රොස් ගේ නික්ම යෑම: මූල්‍ය සහ දේශපාලන ගම්‍යයෝ

The demise of “bond king” Bill Gross: Financial and political implications

නික් බීම්ස් විසිනි, 2014 ඔක්තෝබර් 4

“බැඳුම්කර රජු” ලෙස හඳුන්වන බිල් ග්‍රොස් ලෝකයේ විශාලතම බැඳුම්කර වෙලඳුන් වන පැසිෆික් මැනේජ්මන්ට් ඉන්වෙස්ට්මන්ට් කම්පෙනි හෙවත් පිම්කෝ සමාගමෙන් සැප්තැම්බර් මස අග දී හදිසියේ ඉවත්ව යෑමල එයටම විශේෂිතවූ ආකාරයකින් ඇමරිකානු හා ගෝලීය මූල්‍ය පද්ධතියේ බිඳෙන සුලු බව කෙරෙහි තවත් එක් ආලෝක ධාරාවක් විහිදුවයි.

ජෙනස් කැපිටල් නම් බෙහෙවින් කුඩා සමාගමක තනතුරක් භාර ගැනීම සඳහා, තමා ආරම්භ කර අවුරුදු 40කට අධික කාලයක් තිස්සේ මෙහෙයවූ පිම්කෝ සමාගමෙන් ඉවත්වන බව ග්‍රොස් සැප්තැම්බර් 26 දින නිවේදනය කලේය. ඉවත්ව නොගියේ නම් ඔහු අස්කෙරෙනු ඇති බවට විශ්වාසයක් තිබුනි.

මෙම නාටකාකාර නික්මීම සිදුවූයේ පිම්කෝහි ඉහල පාලක මන්ඩල තුල ඇතිව තිබූ කැලඹීම් සහගත කාල පරිච්ඡේදයකට පසුවය. ග්‍රොස් සමග ඇති වූ මතභේද මාලාවකට පසු ඔහුගේ දකුනත මෙන්ම අනුප‍්‍රාප්තිකයා ද සේ සිටි මොහොමඩ් එල් ඒරියන් පසුගිය ජනවාරියේදී සමාගමෙන් ඉවත් විය. මෙයින් පසු ඔහු වඩ වඩාත් අස්ථාවර හැසිරීම් පල කරන්නට විය.මේවා අතර, පිම්කෝහි ඉහල පෙලේ විධායකයන් හෙලා දකිමින් යැවූ විද්‍යුත් තැපෑල, ප‍්‍රසිද්ධ ස්ථානවල අව් කන්නාඩි පැලැඳ සිටිමින් ජස්ටින් බීබර් නම් විසි වියැති ජනප‍්‍රිය (අව්කන්නාඩි පලඳින) ගායකයාට තමා සන්සන්දනය කර ගැනීම, අපේ‍්‍රල් මසදී, තම මියගිය බලලා වෙනුවෙන් පුලුල් අනුගාමිකත්වයක් ඇති ඔහුගේ ආයෝජන දැක්ම සහිත ලිපියක ප‍්‍රථම භාගය පුද කිරීම, ආදිය විය.

“වඩාත්ම කරුනාවන්ත, වඩාත්ම නිර්භිත, වඩාත්ම සුහදශීලි, තම ජීවිතයේ දී මුනගැසුනු අපූර්වතම මිනිසා” ලෙස තමා ගැන යලි යලිත් ලියන ලෙස ග්‍රොස් මාධ්‍යවේදීන්ට පැවසූ බවට ද වාර්තා පලවී ඇත.

සත්තකින් ම, මුදල් ගලා එනතාක් දුරට, යම් “වෙලඳපොල වාසියක්” ලබාදෙන ඉහත ආකාර හැසිරීම් ඉවසා දරාගෙන සිටීමට නැතහොත් සාදරයෙන් පිලිගැනීමට පවා හැකිව තිබුනි. එහෙත්, බොහෝ අනෙකුත් අරමුදල්වල ක‍්‍රියාකාරිත්වය නිරතුරුවම අභිබවා යමින්, පිම්කෝ සමාගම ඩොලර් ටි‍්‍රලියන 2ක් වටිනා ව්‍යාපාරයක් බවට හැරවීමට ග්‍රොස් හට උපකාරී වූ ඔහුගේ ‘මැජික්’ ස්පර්ශය ඔහු හැරදා ගියේ ය.

ලෝකයේ අති ප‍්‍රමුඛ බැඳුම්කර වෙලෙන්දාගේ තත්වයට නැග ගැනීමටත්, එම කි‍්‍රයාදාමය තුලදී අති විශාල පුද්ගලික ධනස්කන්ධයක් රැස්කර ගැනීමටත්- අවුරුද්දකට ඩොලර් මිලියන 200 ක වැටුපක් පිම්කෝ ඔහුට ගෙවූ බවට වාර්තා වී ඇත- පදනම ලෙස පැවතියේ ලෝක ආර්ථිකයේ සහ මූල්‍ය පද්ධතියේ ප‍්‍රධාන මාරුවක් ගැන කල් තියා කල තක්සේරුවකි.

උද්ධමනය සීමාකල තත්වයන් තුල, 1980 ගනන් වලින් ආරම්භ වූ එක්සත් ජනපදයේ ගැඹුරු පසුබෑම් දෙකකට පසු, බැඳුම්කර වෝල් වීදියේ ධාවනයට සම්බන්ධවී ඇති බව ඔහු දුටුවේය.

ඔහු තෝරාගත් 'ආකෘතිය’ හරයෙන් සරල විය. එහි පදනම ලෙස පැවතියේ, අඩු උද්ධමන තත්වයන් තුල, ඒවායේ මූර්ත ප‍්‍රතිලාභ ඉහල යන බැවින්, ස්ථාවර ආදායම් බැඳුම්කරවල වටිනා කම ඉහල යනු ඇත යන උපකල්පනයයි.

උදාහරනයක් වශයෙන්, ඩොලර් 100ක බැඳුම්කරයක් 5%ක ස්ථිර ආදායමක් ලබා දේ නම්, එනම් අවුරුද්දට ඩොලර් 5ක්, එම ආදායමේ වටිනාකම, උද්ධමන රේට්ටුව 5- 6% ක් නොවී 2% ක් වී නම්, වඩා වැඩි වේ. මෙහි ප‍්‍රතිඵලය ලෙස එකී ආදායම් ප‍්‍රවාහය ලබා දෙන, එසේම මූල්‍ය වෙලඳ පොලෙහි විකිනීමට හා මිල දී ගැනීමට හැකි, එම බැඳුම්කරයේ වටිනාකම, අඩු උද්ධමන තත්වයන් තුල ඉහල යාමේ නැඹුරුවක් දක්වයි.

කාලයක් පුරා මෙම “ආකෘතිය” විශාල ප‍්‍රතිලාභ සම්පාදනය කර දුනි. පිම්කෝ ලෝකයේ විශාලතම බැඳුම්කර වෙලඳුන් බවට පත්වූ අතර ග්‍රොස් විසින් "පුද්ගලිකව ම මෙහෙය වූ ”පූර්න ප‍්‍රතිලාභ බැඳුම්කර අරමුදල බොහෝ වසර වලදී තම තරගකරුවන් අභිබවා යාමට සමත්විනි.

කෙසේ වෙතත්’ මෑත කාලයේදී චක‍්‍රය කැරකැවී ගියේ ය.

ගත වූ 12 මස තුල, ග්‍රොස්ගේ ඉවත්වීමට පෙරම, බිලියන 42ක් පූර්න ප‍්‍රතිලාභ අරමුදලින් ඉවතට ගලා ගිය අතර, ප‍්‍රතිලාභ වලින් මැන බැලෙන කල කර්මාන්තයේ ශ්‍රේනිගත වගු තුල පහල 20% තුල ගෑටීමට එයට සිදුවිය. සැප්තැම්බර් මස එය මුදල් ඉවත ගලායෑම් අත් විඳි අනුගාමී 17 වන මාසය විය. පිම්කෝවේ අනෙකුත් අරමුදල්වල කාර්යසාධනය ද වෙලඳපොලෙහි අනෙකුත් අරමුදල් වලට සාපේක්ෂව දුර්වල වූ අතර, සැප්තැම්බර් මුල සිට ඔවුන්ගේ වත්කම්වල වටිනාකම 10% කින් පහල ගිය බැව් වාර්තා විය.

මූල්‍ය කටයුතු පිරිහෙමින් තිබීමට අමතරව ව්‍යාපාර සමූහයට අයත් ඩොලර් බිලියන 3.6 වටිනා පූර්න ප‍්‍රතිලාභ විනිමය අරමුදල, සුරැකුම්පත් හා විනිමය කොමිසමේ පරීක්ෂාවට ලක් කෙරී ඇති බව, වාර්තා විය. ප‍්‍රස්තුත කරුන වූයේ තම කාර්යසාධනය පිලිබඳ විකෘති කල චිත‍්‍රයක් මවා (පුම්බා) පෙන්වීම උදෙසා පිම්කෝ, තම වත්කම් තක්සේරු කිරීමේදී, ආයෝජන මිලදී ගත් මිලට වඩා වැඩි මිල ගනන් යොදා ගත්තේ ද යන්නය. සමාගම පැවසුවේ තමුන් කොමිසම සමග "සහයෝගයෙන්” ක‍්‍රියාකරන බවත් තමන්ගේ මිලකිරීමේ (වත්කම් තක්සේරු කිරීමේ) ක‍්‍රියා පටිපාටිය "සම්පූර්නයෙන් ම උචිත සහ කර්මාන්තයේ හොඳ ම පරිචයන්ට” අනුකූල බවත්ය.

එය එසේ විය හැකිය. එහෙත් එය එසේ නම්, එයින් පිම්කෝ ගැන පැවසෙනවාට වඩා, සමස්ථයක් ලෙස මූල්‍ය කර්මාන්තයේ හැටි ස්වභාවය ගැන කියා පායි. විෂමතාවයන් මතුවීමට ඉඩ ප‍්‍රස්ථා සැලසෙන්නේ, බැඳුම්කර නිරතුරුව ගනුදෙනු නොකෙරෙන වෙලඳපොලවල්හි ඒවායේ අගය ගනනය කිරීමේ දී, අනෙකුත් සමාගම් වෙලඳපොල දත්ත සහ පැවතිය හැකි ද්‍රවශීලතාවය පිලිබඳව තක්සේරු මත පදනම් විය හැකි බැවිනි. මෙවැනි කි‍්‍රයා පටිපාටීන් 2008 අර්බුදයේ දී සුලු පටු නොවන කාර්ය භාරයක් ඉටුකල අතර එහි දී, මේ අයුරින් තක්සේරුකල මුලුමහත් වත්කම් පන්තීන් :කිසිදු වටිනාකමක් නැති බුන්වත් බවට පත්ව ඇති බව හෙලි වුනි. අවසන් විග‍්‍රහයේදී ග්‍රොස්ගේ පරිහානියේ මූලයන් ඇත්තේ 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ජනිත කල පෙරලිය සහ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව සහ වෙනත් මහ බැංකු විසින් ක‍්‍රියාවට දැමූ "ප‍්‍රමානාත්මක” ලිහිල් කිරීම නමින් හඳුන්වන අසාමාන්‍ය පියවර තුලය. මුලු මහත් මූල්‍ය පද්ධතියම උනුවී යෑම වැලැක්වීමේ උත්සාහයක් ලෙස, බැඳුම්කර හා වෙනත් මූල්‍ය වෙලඳපල තුලට ඩොලර් ටි‍්‍රලියන ගනන් පොම්ප කිරීම මෙකී පියවර මගින් සිදු කෙරින.

ග්‍රොස් විශ්වාස කලේ, 2011 දී ලිහිල් කිරීමේ වැඩසටහනෙහි 2 වන වටය අවසානයේ වෝල් වීදියේ බැඳුම්කර උත්පාතය අවසන් වනු ඇති බවත්, ඇමරිකානු මහ බැංකුව වෙලඳපොලෙන් ඉවත් වීම හා සමග ආන්ඩුවේ බැඳුම්කර මිල පහල බසිනු ඇති බවත් ය. කෙසේ වෙතත්, මහ බැංකුව තම වෙලඳපොල මැදිහත් වීම ඉහල දමමින් ලිහිල් කිරීමේ තුන්වන වටය දියත් කලේය. 2013 දී මහ බැංකුව තම වෙලඳපොල මැදිහත් වීම ලිහිල් කරන බවට සංඥා පල කල විට ද ග්‍රොස්, එම තක්සේරුව ම කලේය.

ඔහුගේ ගනනය කිරීම්වල පදනම ලෙස පැවතියේ, ආන්ඩුවේ බැඳුම්කර මිලදී ගැනීම මහ බැංකුවලට දිගින් දිගටම නොකල හැකි බවත් ඒ අනුව ඒවායේ වෙලඳපොල අගය වැටෙනු ඇති බවත් යන "තර්කානුකූල” උපකල්පනයයි. නමුත්, මහ බැංකුවේ මැදිහත්වීම දිගටම කෙරීගෙන යන අතර, සැබෑ ආර්ථිකය එක තැන පල්වීමේ සහ නග්න අවධමනයේ කොන්දේසි යටතේ, බැඳුම්කර තම ආකර්ශනීය බව රඳවා ගැනීමට අසමත් වී ඇත.

ග්‍රොස්ගේ පරිහානිය පිලිබඳ තම විවරනය තුල, ෆයිනැන්ෂල් ටයිම්ස් විචාරක ජිලියන් ටෙට්, සුප‍්‍රසිද්ධ බි‍්‍රතාන්‍ය ආර්ථික විද්‍යාඥ (මූල්‍ය වෙලඳපොල වෙලඳාම්කරුවකු වශයෙන් ද ප‍්‍රසිද්ධියක් ඉසිලූ) ජෝන් මේනාඩ් කේන්ස්ගේ නිරීක්ෂනය සිහිපත් කලෙ ය. වෙලඳපොල පිලිබඳ ගැටලුව නම් ඒවාට, ආයෝජකයන්ට බංකොලොත් නොවී සිටිය හැකි කාලයට වඩා වැඩි කාලයක් තමන්ගේ "අතාර්කිකබව” පවත්වා ගැනීමට හැකිකමයි” යන කේන්ස්ගේ මෙම අවස්ථාවේදී ”.....ඒවාට, විකාර සහගත හැසිරීම් ඇති ආයෝජන ගුරුන් තමුන් කෙරෙහි ඇති පිලිගැන්ම පවත්වා ගත හැකි කාලයට වඩා වැඩි කාලයක් .....” සේ සකස් කරමින්, තම නිරීක්ෂනය සටහන් කර ඇත. ඇය ප‍්‍රකාශ කල පරිදි, ඔහුගේ පරිහානිය, "විකෘති වූ ආයෝජන ලෝකයක් පිලිබඳ ප‍්‍රබල සංකේතයක් විය.

මෙම සිද්ධියේ අවසන් ඵලය තවමත් පැහැදිලි නැති වුව ද ඊට තවත් ප‍්‍රධාන මූල්‍ය අර්බුදයක් ඇවිලවීම සඳහා විභවයක් ඇති බව පැවසිය හැක. ගනුදෙනු කරුවන්ගේ "අතිමහත් බහුතරය” තමන් සමග රැඳී සිටිනු ඇති බවට පිම්කෝ ඉදිරිපත් කරන ආත්මසාධක අස්වැසීම ගැන මහත් විශ්වාසයක් තැබිය නොහැක්කේ, මූල්‍ය ආයතන සෑම විටකම තමන් ස්ථාවර බැව්, බංකොලොත්වීමේ ආසන්නතම මොහොත දක්වාම, ප‍්‍රකාශ කරන හෙයිනි.

වැඩි දුරටත්, ෆයිනැන්ෂල් ටයිම්ස් විචාරක ජෝන් ඔතර්ස් සඳහන් කල පරිදි, සමස්ත ප‍්‍රතිලාභ අරමුදල කොතරම් විශාලද යත්, ඕනෑම ප‍්‍රධාන පෙලේ මුදල් ආපසු ගැනීම් සමස්ත මූල්‍ය පද්ධතියට ම බලපෑමක් සිදුකල හැකිය. පසුගිය මාස 12 තුලදී වූ මුදල් ආපසු ගැනීම් "අති විශාල”සේ හඳුන්වමින් ඔහු අනතුරු ඇඟවූයේ , "වියහැකි නරකම සිද්ධිය නම්... පිම්කෝවෙන් පිටතට ගලනා සැලකිය යුතු පරිමාන මුදල් ප‍්‍රවාහයන් ගංවතුරක තත්වයට හැරීමයි.”

සමාගම ගනුදෙනු කරන වෙලඳපොලවල එහි ආයෝජන බොහොමයක් "අතිවිශාල” වන අතර, එබැවින් සැලකිය යුතු මුදල් බැහැර ගැලීම් "අර්බුදයක් ඇතිකිරීමට” සමත් විය හැක.

ප‍්‍රධාන කාරනය වන්නේ, ආයතනික ආයෝජකයන් කුමක් කිරීමට තීරනය කරාවිද යන්නය. ඕතස්ට අනුව, "ආයෝජන සඳහා ඔවුන්ගේ අරමුදල් වෙන්කිරීම සැබවින්ම පාලනය කරනුයේ ලෝකය පුරා ආයෝජන ප‍්‍රවාහ පාලනය කිරීමෙහි ලා සුවිශාල නමුත් අප‍්‍රකට බලයක් දරන්නාවූ විශාල ඇක්චුවරීස් (රක්ෂන) සහ විශ‍්‍රාම දීමනා උපදේශක සමාගම්ය."

ඔහුගේ නිගමනය වූයේ, ඔවුන් පිම්කෝ සමාගම අතහරිනු ඇති බව නිශ්චිත නැති නමුත්, එසේ නොවන බවද නිශ්චිත නැති බවයි.

අවම වශයෙන් එක් ප‍්‍රධාන විශ‍්‍රාම දීමනා උපදේශකයෙක් පිම්කෝවේ ශ්‍රේනිය පහත හෙලා ඇති අතර, අනෙකුන් ද එසේ කලහොත් ආයෝජකයන් පිම්කෝවෙන් එලියට පැනීම සඳහා පොරකෑමට ඉඩ ඇත. එවැනි තත්වයක් 2008 සිද්ධීන් පෙනනුම් කලාක් මෙන්, දුරදිග යන පලවිපාක ගෙන දෙමින් මූල්‍ය වෙලඳපොලවල් කලඹාලනු ඇත.

බිල් ග්‍රොස්ගේ නික්ම යෑමේ ක්ෂනික විපාක කුමක් වුවද, මෙම සිදුවීම සැලකිය යුතු දේශපාලන ප‍්‍රශ්න දැනටමත් ඉස්මතු කර ඇත.

වංශාධිපති ප‍්‍රභූවක් මුලු මහත් මූල්‍ය පද්ධතියම තම ආධිපත්‍යයට නතු කරගෙන සිටිනා පරිමාව එය අවධාරනය කරයි. රුසියාව සහ චීනය වැනි රටවල පාලනය නතු කරගෙන සිටිනා කතිපයාධිකාරීන් ගැන නිතිපතා කෙරෙන හෙලා දැකීම් ප‍්‍රකාශ වෙතත්,"ඇමරිකානු ප‍්‍රජාතන්ත‍්‍රවාදය” සාරභුත වශයෙන් ම ඉන් වෙනස් නොවේ. තව දුරටත් පවසන්නේ නම්, විශ‍්‍රාම දීමනා අරමුදල් වෙන්කිරීම් වල හදිසි වෙනස් වීම් මගින්, එක්සත් ජනපදයේ මෙන්ම ගෝලීයව ඉමහත් ව්‍යසනකාරී සමාජ ප‍්‍රතිප‍්‍රල ගෙන දෙන මූල්‍ය අර්බුදයන් ජනනය කිරීමට ඇති හැකියාව, මුලුමහත් ධනවාදී මූල්‍ය පද්ධතියේ, උන්මන්තක භාවය ගැන කෙසේ වෙතත්, අහේතුක බව කියා පායි.

තමන්ගේ සහ තම පවුල්වල අනාගත පැවැත්ම උදෙසා, මිලියන සියගනනක් වැඩකරන ජනතාව දැරූ උත්සාහයන්ගේ ප‍්‍රතිඵල වශයෙන ඒකරාශී වූ, ඩොලර් මිලියන සිය ගනන් වල අරමුදල්වල චලනය මෙහෙය වන්නේ, ඔවුන්ගේ තීන්දු මගින් එම ජනතාවන්ගේ ජීවිත විනාශය කරා ඇද දැමීමේ හැකියාවක් ඇති, ඉතා කුඩා ප‍්‍රභූවක් මගිනි.

ග්‍රොස් සිද්ධිය, වෙන කිසි දෙයක් සිදු නොකල ද සහතිකයෙන්ම පෙන්නුම් කර ඇත්තේ, සමස්ත මූල්‍ය පද්ධතියම ජනතා අයිතිය යටතේ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයට නතු කිරීමේ අවශ්‍යතාවය යි.

Share this article: