වෙලඳපොල උච්ඡාවචන හා සමාජවාදයේ අවශ්‍යතාව

Market gyrations and the need for socialism

2014 ඔක්තෝබර් 21

පසුගිය සතියේ ගෝලීය මූල්‍ය වෙලඳපොලවල ඇතිවූ කලබැගෑනිය, 2008 මූල්‍ය බිඳවැටීමත් සමඟ ආරම්භවූ ධනේශ්වර පද්ධතියේ කඩාවැටීමට විසඳුමක් ඇති බවට ලෝකයේ ආර්ථික හා මූල්‍ය බලධාරීන් පල කල විශ්වාසය සුන් කලේය.

විශ්ලේෂකයින් ගනනාවක් නිරීක්ෂනය කල පරිදි, වෝල් වීදියේ හා බැඳුම්කර වෙලඳපොලවල ඉබාගාතේ ඇතිවූ පැද්දීම් සලකුනු කලේ, සය වසරකට පෙර හටගත් අර්බුදය නොවිසඳී ඇතුවා පමනක් නොව, වඩාත් පුපුරන සුලු ආකාරයකට එය යලි කඩාවැදිය හැකි බවය.

යටින් දිවෙන සැබෑ ආර්ථිකය සම්බන්ධයෙන් සලකන කල, මූල්‍ය පද්ධතිය ස්ථාවරත්වයකට ගෙන ඒම සඳහා කිසිවක් කල නොහැකිය යන වැටහීම, යම්තාක් දුරකට ලෝකය, එකතැන පල්වන හා තව තවත් ඟැඹුරුවන පසුබෑමකට ඇදී යමින් ඇතැයි යන අවබෝධය කරා එලඹීමකි. දෙක එකිනෙකට සම්පාත වීමකි.

මේ මාසය මුලදී ලෝකයේ භාන්ඬාගාරිකයින්, මහ බැංකුකරුවන් හා ප්‍රමුඛ අර්ථශාස්ත්‍රඥයින් පිරිවරාගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම පැවැත්වුනි. 2008න් පසුව කලාපය තුන්වන පසුබෑමට ලක්වෙමින් තිබීම, චීනයේ වර්ධනය මන්දගාමී වීම හා නැඟී එන වෙලඳපොලවල ආර්ථික ප්‍රසාරනයේ ඉඩ ප්‍රස්ථා තියුනු ලෙස හැකිලෙමින් තිබීම සලකුනු කල දත්ත-සංඛ්‍යා නිකුත්වන අතරතුර එය පැවැත්වුනි. එහෙත් මෙම තත්වය වලක්වන කිසිදු විසඳුමක් ඉදිරිපත් වූයේ නැත.

ගාඩියන් පුවත්පතේ ආර්ථික ලියුම්කරු ලැරී එලියට් නිරීක්ෂනය කල පරිදි, රැස්වූ සමුලුවේ සියලු සාමාජිකයින්, තවත් යුද්ධයක් අත ලඟ තිබෙන බව දැනසිටි නමුත් 1930 ගනන් වල පැවති ජාතීන්ගේ සංඟමයේ සමුලුවට නොදෙවෙනි ලෙස, එය වැලැක්වීම සඳහා කිසිවක් කිරීමට තරම් ශක්තියක් තමන්ට නොමැති බව ද දැන සිටියහ.

මේ වසර ආරම්භ වන විට ප්‍රමුඛ ධනපති ආර්ථික කවයන් තුල පැවති සම්ප්‍රදායික බුද්ධි මහිමය වූයේ, යම් සීමාසහිතකම් මධ්‍යයේ වුවත් එක්සත් ජනපදයේ වර්ධනය, අවසානයේදී, අවශේෂ ලෝකය තමන් පසුපස ඇද ගනිමින්, ගෝලීය ප්‍රසාරනය කරා යලි සම්ප්‍රාප්ත වනු ඇති බවය.

මෙම සුවපහසු දසුන මේ සතිය තුල එක ගොඩට කඩා වැටුනි. සිල්ලර වෙලඳාමේ වැටීම, නිව් යෝර්ක් කලාපයේ නිෂ්පාදනය මන්දගාමී වීම හා ඉහල නඟින ඩොලරය එජ අපනයන කෙරෙහි ඇතිකල හැකි බලපෑම පිලිබඳ කන්ස්සල්ල ඇතුලු, එරට දත්ත-සංඛ්‍යා පෙන්නුම් කලේ, ප්‍රතිවිරුද්ධ දිශාවය. එනම්, ලෝක ප්‍රකෘතියක් කරා මෙහෙයවීම කෙසේ වෙතත් එජ ආර්ථිකය, ජාත්‍යන්තර පල්ලම් බැසීම මඟින් ආපස්සට අදිනු ඇතැයි යන කාරනයයි.

අවශේෂ ලෝකය සඳහා එජ, රථවාහන පිලිබඳ මොඩලයක් නියෝජනය කලේය යන කාරනය අතීත පුරාවෘත්තයක් බවට පත්ව ඇත. ෆිනෑන්ෂල් ටයිම්ස්හි පල කල එච්එස්බීසී බැංකුවේ අර්ථ ශාස්ත්‍රඥ ස්ටෙෆන් කිංගේ ප්‍රකාශයක සඳහන් වූ පරිදි, එම ක්ෂේත්‍රයෙහි “එජ ගෝලීය පංඟුව හැකිලෙමින් ඇති අතර තවදුරටත් අවශේෂ ලෝකය මත පැරනි චුම්භකත්ව ආකර්ෂනය යොදවන්නේ නැත. ආර්ථික හා මූල්‍ය වර්ධනයන්, දේශීය ප්‍රතිපත්ති සම්පාදකයින්ට පහසුවෙන් මඟහැරගත නොහැකි ආකාරයට වඩ වඩාත් එජ ආර්ථික ක්‍රියාකාරිත්වය යලි හැඩගස්වමින් තිබේ.”

පසුගිය සතියේ මූල්‍ය වෙලඳපොලවල ඇතිවූ ඉබාගාතේ යන පැද්දීම් ඇඟවුම් කරන්නේ, 2008 හටගත් අර්බුදය වඩාත් පුපුරන සුලු ආකාරයකින් යලි හිස ඔසවමින් ඇති බවය.

මූල්‍ය වෙලඳපොලවල් උත්සුකවනතාක් දුරට වඩාත් පැහැදිලි වෙමින් තිබෙන කාරනය නම්, පහත් පොලී අනුපාතික යාන්ත්‍රනයක් සමඟ අත්වැල් බැඳගනිමින්, මහ බැංකු හා මූල්‍ය බලධාරීන් විසින් පසුගිය සය වසර තුල ගෝලීය මූල්‍ය පද්ධතිය තුලට, ගනන් බලා ඇති පරිදි ඩොලර් ට්‍රිලියන 7-10 අතර, අතිශය ලාභ අරමුදල් ප්‍රමානයක් පොම්ප කිරීමෙන් තවත් කඩා වැටීමක් සඳහා පමනක් කොන්දේසි නිර්මානය කර තිබෙන බවය.

ජාත්‍යන්තර සමත බැංකුවේ වෙලඳපොල කමිටුවේ ද ප්‍රධානියා වන, ඕස්ට්‍රේලියානු සංචිත බැංකුවේ නියෝජ්‍ය අධිපති ගයි ඩිබේලි ඔක්තෝබර් 14දා, මෙම පිලිවෙත්වල ප්‍රතිපල වශයෙන් මූල්‍ය සමපේක්ෂකයින් “ක්ෂේමභූමි” සොයා පිටව යාමට පොරකෑම ද ඇතුලු මූල්‍ය වෙලඳපොලවල “ප්‍රචන්ඬ” සිදුවීම් ඇතිවීමේ හැකියාව පෙන්වා දුන්නේය. මූල්‍ය වෙලඳපොලවල, ශුන්‍ය හෝ ශුන්‍යයට ආසන්න අරමුදල් පිරිවැය මත පාදක වන “තත්වයන්” ගනනාවක් ගැන සඳහන් කරමින් ඔහු පැවසුවේ, පොලී අනුපාත නැඟීමට පටන්ගැනීමත් සමඟ “ඉහතකී තත්වයන් පුපුරා යනු ඇති” බවය. දිනකට පසුව මූල්‍ය වෙලඳපොලවල් 2008 සිහිගන්වන තත්වයන් අත්දුටුවේය.

තැතිගැන්වුනු ආයෝජකයෝ සුරක්ෂිතම වත්කම් යයි සලකන දේ මිලට ගැනීම සඳහා කොටස් විකිනීමේ යෙදී සිටි පසුගිය 15දා, විනාඩි කිහිපයක් තුල එජ භාන්ඬාගාර බැඳුම්කරයන්ගේ ප්‍රතිලාභ, පදනම් ඒකක 35න් කඩා වැටුනු තත්වය හමුවේ, කලබැගෑනිය පිලිබඳ පැහැදිලි කිරීම් ගනනාවක් ඉදිරිපත් විය. ආයෝජකයින් විසින් වෙලඳපොල අභිබවා යමින් සිය ගනුදෙනු වේගවත් කිරීමේ බලාපොරොත්තුවෙන් පරිගනක වෙලඳාම යොදාගැනීම එක් පැහැදිලි කිරීමක් විය. කෙසේ වෙතත්, ඒ සියලු ක්‍රම එකම තලයක් පාදක කර ගන්නා විට, වත්කම් කලමනාකරුවන් සියල්ලෝම හරක් රංචුවක හැසිරීම ප්‍රදර්ශනය කරමින්, එක විට පිටව යාමට උත්සාහ දරද්දී, අර්බුදය වඩාත් උග්‍ර අතට හැරෙයි.

පාතාල ලෝකයෙන් තමන්ට පාලනය කරගත නොහැකි භූතාත්ම ගෙන්වීමට ගුරුකම් කරන කට්ටාඬියෙක් බඳු යයි, මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේදී ධනපතියන් ගැන කල ප්‍රකට සඳහන යමෙකුගේ සිහියට නැඟෙනු ඇත.

මූල්‍ය වෙලඳපොලවල කලබැගෑනිය ද එහි බලපෑමට හසුවන සෑම රටකම කම්කරු පන්තියේ සමාජ තත්වය ද වසර 100ට පෙර රෝසා ලක්සම්බර්ග් විසින් කල තීක්ෂන විශ්ලේෂනයක් සිහිගන්වයි. ආර්ථික හා මූල්‍ය අර්බුද බොහෝ විට විස්තර කරන්නේ කාලගුනික විස්තර වලින් උපුටාගත් වචන යොදාගනිමිනි. “කුනාටු, ක්ෂිතිජයෙන් නැඟී එන අඳුරු වලාකුලු” වැනි යෙදුම් මඟින් මෙම සිදුවීම්, මනුෂ්‍ය වර්ගයා අසරනව සිටියදී ලෝකය වනසා දැමූ මධ්‍ය කාලීන යුගයේ දුර්භික්ෂ හා වසංගතයන්ට සමාන දෙයක් හෝ යම් අදෘෂ්‍යමාන බලවේගයක ප්‍රතිපල ලෙස පෙන්නුම් කරනු ලැබේ.

කෙසේ වෙතත් ආර්ථික හා මූල්‍ය පද්ධතිය සමාජයේ මිස නොපෙනෙන ලෝකයක නිර්මානයක් නොවේ. එහෙත් එහි “අන්ධකාර නීති” පූර්ව අවධිවල දුර්භික්ෂ හා වසංගත ලෙසම ප්‍රතිවිපාක දනවයි.

ලක්සම්බර්ගේ විශ්ලේෂනය විසඳුමක් පෙන්වා දෙයි. මූල්‍ය වෙලඳපොලවල විකෘති හා දුෂ්ඨ ප්‍රකාශනයක් අතකරගන්නා, සමාජයේ සමාජ-ආර්ථික සංවිධානය විසින් නිර්මානය කර ඇති දැවැන්ත බලවේග, ආර්ථික හා සංස්කෘතික දියුනුව සඳහා උපයෝගී කරගත හැකි පරිදි, සමස්තයක් ලෙස සමාජයේ සවිඥානක පාලනයට යටත්කල යුතුය.

මෙම අරමුන සාක්ෂාත් කරගත හැකි එක් ක්‍රමයක් ඇත. ගෝලීය පරිමාන සමාජවාදී ආර්ථිකයක් ගොඩනැඟීමේ පලමු පියවර වශයෙන්, බැංකු හා මූල්‍ය සමාගම්වල පොදු අයිතිය හා ඒවා ප්‍රජාතන්ත්‍ර පාලනයකට යටත් කිරීම සමඟ ආරම්භ කරන, පෞද්ගලික අයිතිය පදනම් කරගත් පද්ධතිය පෙරලා දමමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය දේශපාලන බලය අත්කර ගැනීමය ඒ.

පසුගිය සතියේ අර්බුදයට සිය ප්‍රතිචාරය දැක්වූ බැංකුවල හා මූල්‍ය ප්‍රාග්ධනයේ අටුවාකාරයින් ව්‍යංඟයෙන් පෙන්නුම් කලේ, මෙම ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමේ දැවෙන අවශ්‍යතාවයි. සාර්වත්‍රිකවම ඔවුන් අවධාරනය කරන්නේ නවතම අර්බුදය නිර්මානය කරනු ලැබුවේ 2008 පටන් හඳුන්වාදී ඇති නව මූල්‍ය රෙගුලාසි මඟින් බවය.

මෙය, මූල්‍ය පද්ධතිය අර්බුදයෙන් ගලවා ගැනීම පිනිස ප්‍රතිසංස්කරනය කිරීමේ හා ලෝක ජනතාවට ඉහලින් ලඹදෙන තර්ජනය ධනේශ්වර රාමුව තුල අවසාන කිරීමේ කිසිදු හැකියාවක් නැති බවත් එය නියාමනය කිරීමට දරන උත්සාහය කලබැගෑනියේ නව මූලාශ්‍රයක් වන බවත් පිලිගැනීමට සමානය.

ඊටත් එහාට තර්ක කිරීමට අපට නුපුලුවන. මූල්‍ය-ව්‍යාපාරික පද්ධතිය අත්පත්කර ගැනීමත් සමාජ-ආර්ථික සංවිධානයේ නව හා ඉහල රූපාකාරයක් පිහිටුවීමත් සඳහා පදනම ඔවුන්ගේම මුවින් පිටකර තිබේ.

නික් බීම්ස්

Share this article: