ඔබාමා දකුනු චීන මුහුද මුල්කරගෙන ආතතීන් ඉහල නංවයි

Obama heightens tensions over South China Sea

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2015 අප්‍රේල් 13

දකුනු චීන මුහුදේ සිය අසල්වැසියන් සමග චීනයට ඇති ප‍්‍රදේශීය මතභේද මුල්කරගෙන, එක්සත් ජනපද ජනාධිපති ඔබාමා පසුගිය සතියේ චීනය සමග ආතතීන් තවදුරටත් අවුලුවන ලදී. සීමා රහිත කුහකකම ප‍්‍රදර්ශනය කරමින් සිදුකල ප‍්‍රකාශයන් තුල, ජාත්‍යන්තර නීති වලට අනුව කටයුතු නොකිරීම සහ “රටවල් යටත් කිරීම අරමුනු කරමින් එම රටවලට බලපෑම් කිරීමට සිය රටේ විශාලත්වය සහ ශක්තිය භාවිතා කිරීම” සම්බන්ධයෙන් ඔහු චීනයට චෝදනා කලේය.

දකුනු චීන මුහුද සම්බන්ධ මතභේද පිලිබඳව සඳහන් කරමින් ඔබාමා, ජැමෙයිකාවේ පැවති හමුවකදී මෙසේ ප‍්‍රකාශ කලේය: “මෙය රාජ්‍ය තාන්ති‍්‍රකව විසඳිය හැකි බව අපි සිතන නමුත් පිලිපීනය හෝ වියට්නාමය චීනය තරම් විශාල නොවීම නිසා ඔවුන් නිකම්ම පසෙකට තල්ලු කර දැමීමට හැකිය යන්න එයින් අදහස් නොකරයි.” ඔහු මේ බව කියා සිටියේ, චීන විදේශ අමාත්‍යංශය විසින් දකුනු චීන මුහුදු ප‍්‍රදේශයේ මුහුද ගොඩකිරීමේ වැඩකටයුතු ආරක්ෂා කරමින් බ‍්‍රහස්පතින්දා සිදුකල ප‍්‍රකාශයන්ගෙන් පසුව ය.

ඇමරිකානු රාජ්‍යතාන්ති‍්‍රක දාමරිකකම්, කුමන්ත‍්‍රන, මිලිටරි මැදිහත් වීම් සහ ලෝකය වටා සිදු කරන යුද්ධ-විශේෂයෙන්ම වියට්නාමයේ, පිලිපීනයේ සහ ආසියාවේ වෙනත් තැන් වල - පිලිබඳ දිගු ඉතිහාසය පසෙකින් තැබුව ද ඔබාමාගේ ප‍්‍රකාශ, යථාර්තය මුලුමනින්ම උඩු යටිකුරු කිරීමකි. ඔබාමා පාලනයේ “ආසියාවට හැරීමෙහි” කොටසක් ලෙස, පසු ගිය පස් වසර පුරාවට වොෂින්ටනය, දකුනු චීන මුහුදේ කාලාන්තරයක් පවතින, නමුත් සාපේක්ෂව සුලු මතභේද, පුලුල් යුද්ධයක් ඇවිලීමේ අවදානම සහිත ජ්වලන ලක්ෂ්‍ය බවට ඕනෑකමින්ම පත්කර ඇත.

හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන්, දකුනු චීන මුහුදේ “නාවික නිදහස” ආරක්ෂා කිරීම ගැන එක්සත් ජනපදයට “ජාතික උනන්දුවක් ඇතැයි” 2010 ජුලි මාසයේ කල ප‍්‍රකාශය මගින් ඇය චීනය සමග ගැටුමකට වේදිකාව සැකසුවා ය. ඇය “බැඳුනු කලාපීය චර්යා ධර්ම පද්ධතියක්” සඳහා ඇරයුම් කල අතර මතභේද ද්විපාර්ශවිකව විසඳා ගැනීමට බීජිනය ගන්නා උත්සාහයට එරෙහිව, වොෂින්ටනය ඍජුවම බහු පාර්ශවීය සාකච්ඡා ධෛර්යමත් කරනු ඇතැයි ප‍්‍රකාශ කලා ය. මෙයට ලිඛිතව පිලිතුරු සම්පාදනය කරමින් චීන විදේශ අමාත්‍ය යැන්ග් ජියෙචි “චීනයට සැබවින්ම ප‍්‍රහාරයක්” එල්ල කිරීම සම්බන්ධව ක්ලින්ටන්ට චෝදනා කලේය.

විශේෂයෙන්ම වියට්නාමය සහ ෆිලීපීනය ඇතුලු චීනයේ අසල් වාසීන්, බිජිනයට එරෙහිව තම හිමිකම් පෑමේදී, වඩා දැඩි ස්ථාවරයක් ගැනීම සඳහා ධෛර්යමත් කිරීමට ක්ලින්ටන්ගේ ප‍්‍රකාශයන් සිතා මතා සැලසුම් කර තිබුනි. ඇමරිකානු මිලිටරියට රටේ හමුදා කඳවුරු වෙත සීමා රහිතව පිවිසීමේ හැකියාව ලබා දෙන මිලිටරි ගිවිසුම් පසුගිය වසරේ පිලිපීනය සමග අත්සන් කල අතර වොෂින්ටනය, මෙම ආතතීන් දකුනු ආසියාව පුරා රටවල් සමග සමීප මිලිටරි සබඳතා ගොඩනැගීම සඳහා ගසා කයි.

පසුගිය වසර පුරා එක්සත් ජනපද නිලධාරීන්, නාවික මතභේද සම්බන්ධයෙන් තම “මධ්‍ය ස්ථ” ආකල්පය දැඩි ලෙස වෙනස් කර ඇති අතර දකුනු චීන මුහුද සම්බන්ධයෙන් චීනයේ හිමිකම් පෑමට ප‍්‍රසිද්ධියේ අභියෝග කර ඇත. ඒ අතරම වොෂින්ටනය, ජාත්‍යන්තර ගිවිසුමක් වන සාගර නීතිය පිලිබඳ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තිය යටතේ චීනයට එරහිව නෛතික කි‍්‍රයාමාර්ග ගැනීම සඳහා පිලිපීන ආන්ඩුව තිරයෙන් පිටුපස සිට ධෛර්යමත් කලේය, එමෙන්ම සහාය දැක්වීය. එම ගිවිසුම පිලිගැනීම ඇමරිකාව විසින් ප‍්‍රතික්ෂේප කර ඇති නමුත් දැන් වියට්නාමය ද ඊට සහාය දැක්වීම සඳහා පෙල ගස්වාගෙන ඇත.

දකුනු චීන මුහුදේ සිය පාලනය යටතේ ඇති අර්බුදයට තුඩු දී තිබෙන දුපත් සහ ගල්පර සමීපයෙහි සිදු කෙරෙන චීනයේ මුහුද ගොඩ කිරීමේ වැඩ කටයුතු මුල් කරගෙන දැන් එක්සත් ජනපදය සහ එහි සහචරයින් හඬ නගන්නේ මේ සන්දර්භය තුලය. පසුගිය මාසයේ අවසන් දිනවල එක්සත් ජනපද පැසිෆික් නාවුක බලඇනියේ අන දෙන නිලධාරී අද්මිරාල් හැරී හැරිස් “බුල්ඩෝසර් සහ කැනීම් යන්ත‍්‍ර භාවිතා කරමින් වැල්ලෙන් නිර්මිත මහා ප‍්‍රාකාරයක් ගොඩනැගීම” අනතුරුදායක කි‍්‍රයාවක් ලෙස පෙන්වමින් චීන කැනීම් සහ ඉදිකිරීම් හෙලා දුටුවේය.

එක්සත් ජනපදයේ මූලෝපායික සහ ජාත්‍යන්තර අධ්‍යයන පිලිබඳ මධ්‍යස්ථානය (CSIS) යන බුද්ධි මන්ඩලය, චීන මුහුද ගොඩකිරීමේ විශාලත්වය මතුකර පෙන්වන වාර්තාවක් සහ චන්ද්‍රිකා ඡායාරූප ඉදිරිපත් කරමින් එයට උඩගෙඩි දුන්නේය. චීනයට එරෙහි ඔබාමා පාලනයේ පලල් රාජ්‍යතාන්ත‍්‍රික සහ මිලිටරි “හැරීම” සමග සමීපව සම්බන්ධව සිටින CSIS, ආසියානු නාවික විනිවිද භාවය දෙසට නමින්, බිජීනයේ නාවික කටයුතු අභියෝගයට ලක් කරන ව්‍යාපෘතියක් නිර්මානය කර ඇත.

පසුගිය සතියේ ටෝකියෝහිදී, දකුනු සහ නැගෙනහිර චීන මුහුදේ ආතතීන් නැංවීමට එරෙහිව චීනයට අනතුරු අඟවමින් සහ “මෙම මතභේද මිලිටරිකරනයට ලක් කිරීමට එරෙහිව ශක්තිමත් ස්ථාවරයක්” එක්සත් ජනපදය ගෙන ඇතැයි ප‍්‍රකාශ කරමින්, එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ඈස්ටන් කාටර්, ආරවුලට අත පෙවීය. චීන විදේශ අමාත්‍යංශයේ මධ්‍යම ප‍්‍රකාශිකා හුආ චුන්යින්ග් පසුගිය බ‍්‍රහස්පතින්දා, එරට මුහුද ගොඩකිරීමේ ක‍්‍රියාවලිය පිලිබඳ විස්තර සහිතව කරුනු දක්වමින් එය “සාධාරන” කරනය කල අතර පෙරලා ඊට පහර ගැසුවාය. මතභේදාත්මක දුපත් සම්බන්ධයෙන් චීනයේ “අවිවාදාත්මක පරමාධිපත්‍යය” යලි අවධාරනය කරමින්, ටයිපූන් කුනාටු මධ්‍යස්ථාන, කාලගුන විද්‍යා මධ්‍යස්ථාන, පරීක්ෂන සහ මුදා ගැනීමේ මධ්‍යස්ථාන මෙන්ම අත්‍යවශ්‍ය වූ මිලිටරි ආරක්ෂන කටයුතු වැනි, විවිධ ජන කොටස්වල ඉල්ලීම් ඉටු කිරීම සඳහා ඉදිකිරීම් ද අවශ්‍ය වූ බව ඇය පැවසීය.

චීනය හිමිකම් කියන දූපත් සහ ගල්පර “නීති විරෝධීව අල්ලාගත්” සහ විශාල ව්‍යූහයන් එම දුපත්හී ඉදිකරන “වෙනත් රටවල්” සම්බන්ධයෙන් නිහඬව සිටිමින්, දකුනු චීන මුහුද තුල චීනයේ කටයුතු විවේචනය කිරීම සඳහා “ඇතැම් රටවල්” අනුගමනය කරන “දෙපිටකාට්ටුකම” හුආ විවේචනය කලාය. ඔබාමාගේ ප‍්‍රකාශයන්ට ප‍්‍රතිචාර දක්වමින් හුආ සිකුරාදා මෙසේ පැවසුවාය: “මම සිතන ආකාරයට ලෝකය තුල තම රටේ විශාලත්වය සහ ශක්තිය යොදා ගන්නේ කව්රුන් ද යන වග සියලු දෙනාටම පැහැදිලිව දැකගත හැකිය.”

“මැරවර ගල්පරයෙහි චීන මැරවරකම්” යන කතුවැකියක් තුල සෙනසුරාදා නිව්යෝක් ටයිම්ස් පත‍්‍රය, “ස්ප‍්‍රැට්ලි දූපත් හි මැරවරකම් ගල්පර අවටින් විශාල වශයෙන් වැලි ගොඩ දැමීමට හා ඒවා සැලකිය යුතු ප‍්‍රමානයේ භූ ස්කන්ධයක් බවට පත් කිරීම සඳහා තැති ගන්වන සුලු වේගයකින් කි‍්‍රයාත්මක වී තිබුනි.” යැයි ප‍්‍රකාශ කරමින් චීනය හෙලා දැකීමට එක්විය. ඔබාමාගේ “හැරීම” සුජාත කරමින් එය මෙසේ නිගමනය කර තිබුනි: “දුර්වල ආසියානු රටවල් මත සිය බලය යෙදවීමට චීනය දරන උත්සාහය අධෛර්යමත් කිරීම පිනිස ඇමරිකාව සුපරික්ෂාකාරී භූමිකාවක් රඟදැක්විය යුතු බව වඩාත් පෙනීයයි.”

ඔබාමා පරිපාලනය නියැලී සිටින්නේ හුදෙක්, දිග් ගැස්සුනු, බොහෝ විට කර්කෂ වන විවාදයක නොවේ. එය ආසියාව තුල සිය ආධිපත්‍යයෝ නැවත තහවුරු කර ගැනීමේ අරමුන සහිතව, ගිනිකොන දිග ආසියාව ද ඇතුලත් ඉන්දු-ෆැසිෆික් කලාපය පුරාම සිය මිලිටරි මැදිහත්වීම් හා සබඳතා දැඩි කරමින් සිටී. පසුගිය සතියේ එක්සත් ජනපද හා ඉන්දුනීසියානු නාවුක හමුදා ඉන්දුනීසියාවට අයත් දකුනු චීන මුහුදේ පිහිටි, නටුනා දුපත් සමූහය වටා නිරීක්ෂන හැකියාවන් වැඩිදියුනු කර ගැනීමේ ඒකාබද්ධ නාවුක සහ ගුවන් මුර සංචාරයක් මෙහෙයවීය. එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක කටයුතු භාර නිලධාරියා ජකර්තා පොස්ට් වෙත පැවසුවේ, අභ්‍යාසය එක්සත් ජනපද “පැසිෆික් තුලනය” හෝ “හැරීමෙහි” කොටසක් වූ බවයි.

එලඹෙන සතියේදී එක්සත් ජනපද සහ පිලිපීන හමුදා, පසුගිය වසරට වඩා ප‍්‍රමානයෙන් දෙගුනයක් වීමට නියමිත සහ 12,000 කට අධික මිලිටරි භට පිරිසක්, යුද ගුවන් යානා 100ක් යුද නැව් 4ක් ඇතුලත් ඔවුන්ගේ වාර්ෂික බැලිකටාන් යුද අභ්‍යාසය පවත්වනු ඇත.

මේ වන විට සිදුවෙමින් තිබෙන දිග් ගැස්සුනු, බොහෝ විට කර්කෂ වන විවාදය මගින් මිලිටරි ගැටුමක් පැන නැගිය හැකි තත්වය, දකුනු චීන මුහුදේ ආතතීන් අවුලුවාලීමෙන් එක්සත් ජනපදය විසින් නිර්මානය කර ඇත. ආසියාව පුරා මිලිටරි සබඳතා ශක්තිමත් කිරීමෙන් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, විවාදාත්මක ජල ප‍්‍රදේශයන්හි කුඩා සිදුවීම් න්‍යෂ්ටික බලවතුන් අතර යුද්ධයක් බවට වැඩි දියුනුවීමේ අනතුර වැඩි කරන, සිය සහචරයින්ට සහ මුලෝපායික සහකරුවන්ට සහයෝගය දීමට කැපවී සිටී.

දකුනු චීන මුහුද යනු ජාත්‍යන්තර යුද ගිනි මැලයක් ඇවිලීමේ තර්ජනය සහිත, ආසියාවේ මෙන්ම මැද පෙරදිග, නැගෙනහිර යුරෝපය සහ ජාත්‍යන්තර පරිමාන විභවාත්මක ජ්වලන කේන්ද්‍ර වලින් එකක් පමනි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ජාත්‍යන්තර අන්තර්ජාල මැයි රැලියක් පවත්වන්නේ විනාශකාරී තුන්වන ලෝක යුද්ධයක් පුපුරා යාම වැලක්වීම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට කරන දේශපාලන අරගලයේ කොටසක් ලෙස ය.

Share this article: