රුසියාව හා චීනයෙන් එල්ල වනවා යයි කියන සයිබර් ප‍්‍රහාරයක තර්ජන මත ඔබාමා ”ජාතික හදිසි” තත්වයක් ප‍්‍රකාශ කරයි

Obama declares “national emergency” based on alleged cyber threats from Russia, China

තෝමස් ගේස්ට් විසිනි , 2015 අපේ‍්‍රල් 03

ලෝක තොරතුරු සන්නිවේදන පද්ධති මත බාධාවකින් තොර පාලනය සියතට ගැනීම පිනිස ඇමරිකානු පාලක පන්තියේ කඩා පැනීම් තවත් උත්සන්න කරමින්, එරට ඉලක්ක මත සයිබර් ප‍්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් “ජාතික හදිසි තත්වයක්” ප‍්‍රකාශ කල ජනාධිපති බරක් ඔබාමා, ඒ සඳහා විධායක නියෝගයක් නිකුත් කලේ ය. එකී නියෝගය, ආර්ථික සම්බාධක හා “ආරක්ෂක අවදානමක්” ලෙස සැලකෙන ඕනෑ ම ඒකකයක/පුද්ගලයකුගේ මූල්‍ය වත්කම් හා අනෙකුත් දේපල අල්ලා ගැනීම නීත්‍යානුකූල කලේ ය.

“සුවිශේෂීව ද්වේෂ සහගත වන සයිබර් කටයුතුවල නිරත වන ඇතැම් පුද්ගලයන්ගේ දේපල අවහිර කිරීම” නම් පිටු හයක නියෝගය අනතුරු අඟවන්නේ, ඇමරිකානු පොදුකාර්ය පහසුකම් වලට එල්ල වන සයිබර් ප‍්‍රහාර වලක්වමින්, “ජාතික ආරක්ෂාවට එරෙහි පෙර නො වූ විරූ හා අසාමාන්‍ය තර්ජනයකට” එරෙහිව සටන් වැදීමට පුළුල් බලතල අවශ්‍ය බව යි. නම් කෙරෙන ආරක්ෂක තර්ජනයන්ට එරෙහිව සංචාරක තහනම් පැනවීමට අලුතෙන් බලය පැවරීම මේ නියෝගය මගින් තහවුරු කෙරෙන අතර, ඒවා ඕනෑම “හවුල්කාරිත්වයකට, සංවිධානයකට, භාරයකට, ඒකාබද්ධ ව්‍යාපාරයකට, සංගතයකට, කන්ඩායමකට, උප කන්ඩායමකට හෝ වෙනත් සංවිධානයකට එරෙහිව” පාවිච්චි කල හැක.

ඇමරිකානු පරිඝනක පද්ධතියට හොරෙන් පිවිසෙන විදේශ සංවිධාන වලට එරෙහිව මූල්‍ය සම්බාධක පැනවීමට ඇමරිකානු භාන්ඩාගාර ලේකම්ට නියෝගය මගින් බලය පැවරේ. රුසියානු, චීන හා ඉරාන ආන්ඩු සමග උග‍්‍ර ගැටුමකට මෙ මගින් මාවත පාදන අතර මේ සියළු රටවල් බටහිර බැංකු හා සංගතවල පරිඝනක පද්ධතිවලට හොරෙන් පිවිසෙන බවට ඇමරිකානු නිලධාරීහු නිතිපතා චෝදනා කරති.

මෙම නීති “නරකම අය පසු පස හඹා යාමට අපට අළුත් හා බලගතු මාර්ගයක් සපයනු ඇතැ” යි ඔබාමා ඔන්ලයින් තැපෑලක සඳහන් කලේ ය. විරුද්ධවාදීන්ට එරෙහිව නව සම්බාධක හා අනෙකුත් ප‍්‍රකෝපකිරීම් සඳහා ව්‍යාජ නීති පදනමක් ලෙස මෙම නියෝගය ප‍්‍රයෝජනයට ගනු ඇති බව දැඩි ලෙස අඟවමින්, ඇමරිකානු හමුදා මත සයිබර් ප‍්‍රහාර දියත් කිරීම පිලිබඳව ඔබාමා රුසියාවට හා චීනයට ඍජුව චෝදනා කලේ ය.

“අපගේ මිලිටරිය ශක්තිමත් ව තබන තාක්ෂනය ම චීනයේ හා රුසියාවේ හොරෙන් ඇතුලුවන්නන් විසින් ද ප‍්‍රයෝජනයට ගන්නා අතර අපගේ ආරක්ෂක කොන්ත‍්‍රාත්කරුවන් හා හමුදාවන්ට උදව් කරන පද්ධති ඉලක්ක කෙරේ. උපද්‍රව කිරීම සඳහා අපගේ වැදගත් පොදුකාර්ය පහසුකම් - අපගේ මූල්‍ය පද්ධතිය හා බලශක්ති සම්පේ‍්‍රෂන පද්ධති ඇතුළුව - විදේශ ආන්ඩු හා අපරාධකරුවන් විසින් පරීක්ෂා කරනු ලබන්නේ” යයි ඔබාමා සඳහන් කලේ ය.

“අපගේ ප‍්‍රාථමික අවධානය වනු ඇත්තේ විදේශයන්ගේ සයිබර් ප‍්‍රහාරයන් ගැන ය” යි ඔබාමා සඳහන් කරන්නේ, පුළුල් කෙරුනු සයිබර් පාලන බලයන් සම්පූර්නයෙන් භාවිත කෙරෙන බව සහතික කිරීමට ධවල මන්දිරය ආක‍්‍රමනකාරී ලෙස පියවර ගනු ඇතැ යි ප‍්‍රතිඥා දෙමිනි.

සංගත හා ආන්ඩුව අතර ඍජු දත්ත හුවමාරුව ව්‍යාප්ත කිරීමේ ඔහුගේ පාලනාධිකාරයේ උත්සාහයන් ගැන ද ඔබාමා කයිවාරු ගැසුවේ ය. “ආන්ඩු හරහා හා අපගේ විදේශීය හවුල්කරුවන් සමග සයිබර් තර්ජන ගැන ඔත්තු වහා ම ඒකාබද්ධ කිරීමේ හා හුවමාරු කර ගැනීමේ හැකියාවන් වර්ධනය කිරීමට වැඩ කරමින් සිටින” අතර ඇමරිකානු ආන්ඩුව “තර්ජන හා විසඳුම් ගැන කර්මාන්ත සමග වඩ වඩා තොරතුරු හුවමාරු කර ගැනීමට ද වැඩ කරමින් සිටින” බව ඔහු ලියයි.

ඇමරිකානු සමාගම් හා පොදුකාර්ය පහසුකම්වලට එරෙහි සයිබර් ප‍්‍රහාර පිලිබඳ තර්ජනය, ඉලක්ක ගනනාවක්, සියල්ලට ම වඩා චීනය හා රුසියාව සමග යුද්ධය සඳහා මහජන මතය සූදානම් කිරීමට, එල්ල වූ ඇමරිකානු යුද ප‍්‍රචාරයේ ප‍්‍රධාන සංරචකයකි.

එෆ්බීඅයි සංවිධානයේ මගපෙන්වීම අනුගමනය කරමින් ඇමරිකානු මාධ්‍යය හා දේශපාලන සංස්ථාපිතය සෝනි පික්චර්ස් මත උතුරු කොරියාව සයිබර් ප‍්‍රහාරයක් දියත් කලේ යැයි ඉකුත් නොවැම්බර් මාසයේ සිට චෝදනා එල්ල කර ඇත. ඒ අනුව ප‍්‍රහාරයට සම්බන්ධ යැයි සැක කෙරෙන උතුරු කොරියානු නිලධාරීන්ට එරෙහිව ආන්ඩුව සම්බාධක පැනවීය.

බදාදා නියෝගය මගින්, 9/11න් අනතුරුව “ත‍්‍රස්තවිරෝධී” ආයතනවලට දෙන ලද ආකාරයේ පුළුල්ව නිර්වචනය කරන ලද හදිසි නීති බලතල භාන්ඩාගාර දෙපාර්තමේන්තුවට ප‍්‍රදානය කලේ ය.

භාන්ඩාගාර ලේකම් ජාකොබ් ලෝට අනුව, “නිදහස්, විවෘත, හා අන්තර්ජාලයේ ගෝලීය ස්වභාවයට හානි කිරීමට ඉඩ ඇති අයට” එරෙහිව මෙම නියෝගය මගින් ආන්ඩුවට “බලගතු නව ආයුධයක්” සපයන අතර, ඇමරිකානු විදේශ වත්කම් පාලන කාර්යාලයේ ජෝන් ස්මිත්ට අනුව “විදේශවල ඇමරිකානු සයිබර් හතුරන්ට එරෙහිව භාන්ඩාගාරයට බලතල ප‍්‍රක්ෂේපනය කල හැකි වනු ඇත.”

“අප මුහුන දෙන සයිබර් තර්ජනයට සැබවින් ම මුහුන දීම සඳහා සම්පූර්න ආයුධ පෙලක්” ඇමරිකානු ආන්ඩුවට අවශ්‍ය බව ධවල මන්දිර සයිබර් ආරක්ෂක ප‍්‍රධානී මයිකල් ඩැනියල් බදාදා වාර්තාකරුවන්ට පැවසී ය.

ඇමරිකානු ආන්ඩුව නීත්‍යානුකූල භාවය රකිතැ යි යන ප‍්‍රකාශ හාස්‍යජනක ය. ඇමරිකානු සයිබර් මෙහෙයුම්, අත්තනෝමතික සෝදිසි කිරීම් හා අත්පත් කර ගැනීම්වලට එරෙහිව අයිතිවාසිකම් පනත තුල ස්ථාපිත කෙරුනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආරක්ෂාවන් ක‍්‍රමානුකූලව උල්ලංඝනය කරන්නේ ය. අපරාධ විධිවිධාන පිලිබඳ ෆෙඩරල් නීතිවල 41වැනි නීතිය වෙනස් කිරීමට එෆ්බීඅයි සංවිධානය ආක‍්‍රමනකාරී ලෙස උත්සාහ කර ඇති අතර එය ආන්ඩුව විසින් ඉලෙක්ට්‍රෝනික කඩාකප්පල්කාරීන්ට එරෙහි මෙහෙයුම් සඳහා හතරවැනි සංශෝධනය නාටකාකාර ලෙස ලිහිල් කරනු ඇත. එමෙන් ම විශේෂ බලය පැවරීම සඳහා විනිසුරුවරයෙකු නො විමසා ඕනෑ ම පරිඝනකයක් මත දුෂ්මෘදුකාංග (malware) රෝපනය කිරීමට ඒජන්තයෙකුට හැකියාව ලබා දෙනු ඇත.

බුෂ් පාලනාධිකාරය යටතේ ආරම්භ කරන ලද හා ඔබාමා යටතේ ප‍්‍රසාරනය කරන ලද වැඩසටහන්වල ප‍්‍රතිඵලයක් ලෙස ජාතික ආරක්ෂක ඒජන්සිය හා අනෙකුත් ෆෙඩරල් නිලබලධාරීහු මේ වන විටත් ප‍්‍රධාන විදුලි සන්නිවේදන සපයන්නන්ගේ සේවා පරිඝනකයන් මත ගබඩා කෙරුනු දත්තවලට සම්පූර්නයෙන් ම ප‍්‍රවේශ වීමේ හැකියාව ලබා සිටිති. එෆ්බීඅයි අධ්‍යක්ෂ ජේම්ස් කොමේ ගිය වසරේ සාක්ෂි දීම් වලදී අවධාරනය කලේ, සවිලාස දුරකතන (smart phone) පාවිච්චි කරන්නන්ගේ සෙල්‍යුලර් දත්තවලට ඇමරිකානු ඔත්තුකරුවන්ට නිදහසේ ප‍්‍රවේශවීමේ හැකියාව සහතික කරමින්, ප‍්‍රධාන සෙල්පෝන් සේවා පරිඝනකවල ආරක්ෂක පද්ධති තුලට රහසේ ප‍්‍රවේශවීම් සඳහා අවසර දුන්නේ ය. මහා පරිමානයෙන් මහජනයාගේ පුද්ගලික දත්ත රැස්කිරීම, විශ්ලේෂනය කිරීම හා හුවමාරු කර ගැනීම පාලනය කරනු ලබන ජාආඒ හා එෆ්බීඅයි ව්‍යාප්ති වැඩසටහන්වල මුලසන උසුලා ඇත්තේ ඔබාමා ය.

ආරක්ෂාව සඳහා උත්සුකයට වෙනස් ලෙස, ඔබාමා පාලනාධිකාරියේ සයිබර් - හදිසි නීති නියෝගය, ලෝකය පුරා පසමිතුරු ආන්ඩු හා පුද්ගලයින් ගැන ඔත්තු බැලීමට හා කඩාකප්පල් කිරීම් වලට එහි ඔත්තුසේවා සඳහා සාරාභූතව ම සීමාරහිත බලතල පැවරීම සඳහා වන ඇමරිකානු ආන්ඩුවේ උත්සාහයේ කොටසකි.

ඇමරිකානු ඒජන්සි විසින් රඳවා ඇති සංකීර්න දුෂ්මෘදුකාංග තාක්ෂනය ආයුධකරනී මෘදුකාංගවල (මෘදුකාංග ආයුධවල) පැතිරීම හා පරිනාමය වේගවත් කරමින් සිටින බව බොහෝ විශේෂඥයෝ අනතුරු අඟවති. හොරෙන් කඩාවදින්නන් උපයෝග කර ගැනීමේ වැඩසටහන් විශේෂයෙන් ම ගලපන්නේ, පුළුල් ලෙස භාවිත කෙරෙන මෘදුකාංග පත්වල මුලින් අප‍්‍රසිද්ධ අනාරක්ෂිතභාවයන් උපයෝගී කර ගැනීමට ය.

Share this article: