මන්දගාමී වර්ධනය, ඉහල විරැකියාව පිලිබඳව ජාමූඅ අනතුරු අඟවයි

IMF warns of slow growth, high unemployment

බැරී ගේ‍්‍ර විසිනි, 2015 අපේ‍්‍රල් 11

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය 08දා, ලෝක ආර්ථිකය මන්දගාමී වර්ධනයේ ද ඉහල විරැකියාවේ ද ඉහල නයගැති භාවයේ ද ක‍්‍රියාවලියක් තුල හිරවී සිටිනු ඇති බවට අනතුරු ඇඟවීය. 2008 වෝල් වීදියේ බිඳ වැටීමෙන් පසුව පැවතුනු වර්ධන මට්ටම් කරා ආර්ථිකය යලි ලඟාවනු ඇති බව පිලිගනිමින් කලින් නිකුත් කර තිබූ ප‍්‍රස්ථාර වෙතින් ඉවත් වීම සලකුනු කරමින්, ලෝක ආර්ථික දැක්ම පිලිබඳ එහි පුරෝකථන යථාවත් කර තිබේ.

නිල වාර්තාව නිකුත් කිරීමට නියමිත 14දාට පෙර මෙම අර්ධ වාර්ෂික වාර්තාවේ කොටස් නිකුත් කර ඇත. එලඹෙන සතියේ වොෂින්ටනයේදී පැවැත්වෙන ජාමූඅ හා ලෝක බැංකුවේ රැස්වීම් වලට සම්පාත වන ලෙස මෙම ආර්ථික යාවත්කාල තොරතුරු ප‍්‍රකාශයට පත්කර තිබේ.

සත් වසරකට පමන පෙර මූල්‍ය අර්බුදය මගින් නිර්මානය කල අර්බුදය, ඓතිහාසික හා අති මූලික ස්වභාවයක් ගන්නා බවත්, ගෝලීය ධනේශ්වර පද්ධතියේ යටන් දිවෙන ගැටලු විසඳී නැති බවත්, වක‍්‍ර ලෙස පිලිගැනීමක් බවට වාර්තාවේ අඳුරු ස්වභාවය සලකුනු කරයි.

විශේෂයෙන්ම උතුරු ඇමරිකාව, යුරෝපය හා ආසියාවේ දියුනු ආර්ථිකයන්හි නිෂ්පාදනයේ ව්‍යාපාරික ආයෝජන තියුනු හා අඛන්ඩව පිරිහී යාම කෙරෙහි වාර්තාව අවධානය යොමු කරන අතර, “දියුනු ආර්ථිකයන්හි විභව වර්ධනය, පූර්ව අර්බුද මට්ටම් වලට පහතින් පවතිනු ඇති බවටත් මධ්‍ය කාලයේදී නැගී එන වෙලඳපොල ආර්ථිකයන්හි වර්ධනය තවදුරටත් පහත බසිනු ඇති බවටත්” නිගමනය කරයි.

“මෙම තොරතුරු ඇඟවුම් කරන්නේ, අනාගතයේදී ජීවන තත්වයන් ප‍්‍රසාරනය මන්දගාමීව සිදුවනු ඇති බවයි. ඊට අමතරව, බදු පදනම වඩාත් හෙමින් වර්ධනය වෙද්දී, මූල්‍ය තිරසාර භාවය පවත්වා ගැනීම තවත් දුෂ්කර වනු ඇත.”

දියුනු ආර්ථිකයන්හි වයස්ගත ජනගහනය හා පහත වැටෙන පලදායිතා අනුපාත ද ඇතුලූ ගෝලීය මන්දගාමිත්වය පිටුපස ඇති සාධක ගනනාවක් පෙන්වා දෙමින් ජාමූඅ, සියල්ලටත් වඩා ජාත්‍යන්තර කම්කරු පන්තිය ද ඇතුලු නිෂ්පාදන බලවේගයන් වෙතින් සම්පත් මාරු කිරීමේදී මූල්‍ය පරපුටුකම ඉටුකරන දැවැන්ත කාර්ය භාරය කෙරෙහි අවධානය යොමු කරයි.

මෙම සතියේ වර්ධනයන් සමග සලකන විට එම සඳහන වඩාත් තියුනු ආලෝකයක් විහිදුවයි. යුරෝපීය කොටස් වෙලඳපොලවල් වාර්තාගත ඉහල මට්ටම් කරා නැගුනු අතර ආසියානු වෙලඳපොලවල් තියුනු ලෙස ඉහල ගියේය. එක් දිනයකදී ඩොලර් බිලියන 100ක අගයක් වාර්තා කල, යෝධ ඒකාබද්ධවීම් දෙකක් ද ඇතුලුව ඒකාබද්ධයන් තුනක් නිවේදනය කෙරුනි.

නිෂ්පාදනයට සම්බන්ධ ආයෝජනයන්ගේ වියදමින් හා ඉන් වියෝවී, ව්‍යාපාරික ප‍්‍රභූ පැලැන්තිය වෙනුවෙන් ධනය නිර්මානය කල මෙම නිදසුන්, ලෝක ජනතාවගේ අති මහත් බහුතරයකගේ ජීවන තතු පහතට ඇද දමමින්, සැබෑ ආර්ථිකය පසුබෑමක වෙලී තිබියදී, ධනවතුන් හා සුපිරි ධනවතුන් සඳහා මූල්‍ය සැපයුම් හා වාසි සලසමින්, ලෝකයේ ධනපති ආන්ඩු හා මහ බැංකු වැඩකරන ආකාරය පෙන්නුම් කරයි.

වොෂින්ටන් ඩීසී හි ජාත්‍යන්තර කටයුතු පිලිබඳ දෘෂ්ටි මන්ඬලයක් වන ඇට්ලෑන්ටික් කවුන්සිලය හමුවේ කථා කරමින් 09දා ජාමූඅ විධායක අධ්‍යක්ෂිකා ක‍්‍රිස්ටීන් ලැගාඩි පැවසුවේ, “මාස හයකට පෙරාතුව, ‘නව නොවැදගත්’ පහත් වර්ධනය දිගු කලක් පැවතීමේ අවදානම ගැන මම අනතුරු ඇඟවීමි. අද දිනයේ අපි, එම නොවැදගත් තත්වය “නව යථාර්තය” බවට පත්වීම වලක්වාගත යුත්තෙමු.” යනුවෙනි.

“මා පෙන්වා දුන්නේ, ‘පහත්-පහත්, ඉහල-ඉහල දසුන, දියුනු ආර්ථිකයන් ගනනාවක අඛන්ඩව පවතින, පහත් වර්ධනය-පහත් උද්ධමනය, ඉහල නයගැති භාවය-ඉහල විරැකියාව පිලිබඳ තත්වය” බව ඇය පැවසුවාය.

දුබල වර්ධනය, නව මූල්‍ය කඩාවැටීමක අවදානම වැඩි කරන බවට ලැගාඩි අනතුරු ඇඟවීය. “එහි අර්ථය, නිදසුනක් ලෙස, ෆෙඩරල් මහ බැංකුව කෙටි කාලීන පොලී අනුපාත නැංවීමට පටන්ගන්නා කල පවා, හැල හැප්පීම් සහත ගමනක් විය හැකි, එක්විටම සියලු දෙනා පිටවීමේ දොරටුව කරා දුවන විට, ද්‍රවශීලතාවය ඉක්මනින්ම වාෂ්පවී යා හැකි තත්වයකි.”

සාමාන්‍යයට පහත වෙලඳාමේ වර්ධනයෙහි එක දිගට එන සිව් වන වසර බවට 2015 පත්වීමේ හැකියාව ද ඇය පෙන්වා දුන්නාය.

ඉල්ලුම හා නිෂ්පාදන ආයෝජන වැඩිකිරීම මගින් වර්ධනය ඉහල නැංවීම සඳහා ඇය ඉදිරිපත් කරන ප‍්‍රතිකර්මය, කම්කරු පන්තියට සතුරු මහ ව්‍යාපාරිකයේ අවශ්‍යතා වෙනුවෙන් පිලියෙල කරනු ලැබූවකි. රැකියා සුරක්ෂිත භාවයේ තවමත් ඉතිරිව ඇති කුමන දෙයක් හෝ කම්කරුවන්ට අහිමි කිරීම අදහස් කරමින් ඇය අවධාරනය කරනනේ, ශ‍්‍රම වෙලඳපොලේ “ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන” හා තෙල් ආනයන කරන නැගී එන ආර්ථිකයන්හි බලශක්ති සහනාධාර ඉවත් කිරීම ය.

ජාමූඅ වාර්තාව හා ලැගාඩිගේ ප‍්‍රකාශ ප‍්‍රතිරාවය නංවන්නේ, ඇමරිකාවේ හිටපු භාන්ඬාගාරික ලේකම් හා හාවඩ් අර්ථශාස්ත‍්‍රඥයෙකු වන ලෝරන්ස් සමර්ස් පසුගිය සතියේ ෆිනෑන්ෂල් ටයිම්ස්

“අප යමින් සිටින්නේ, ප‍්‍රාග්ධනය බහුල හා අවධමනාත්මක පීඩනයන් සැලකිය යුතු තරම් වන ලෝකයක් තුලට ය. යම් කාලයක් යන තෙක් ඉල්ලුම හිඟව පවතිනු ඇත. වසර 2020 වන විටත් විශාල කාර්මික රටවල වෙලඳපොලවල්, සැබෑ පොලී අනුපාතික බිංදුවට වඩා බෙහෙවින් ඉහල යාමක් හෝ උද්ධමන ඉලක්ක සපුරා ගැනීමක් අපේක්ෂා නොකරයි.”

ලෝක ආර්ථික දැක්ම තුල ජාමූඅ අනාවැකි පල කරන්නේ, දියුනු ආර්ථිකයන්හි “විභවාත්මක නිමැවුම” එනම්, ස්ථාවර උද්ධමනය සමග එක්ව පවත්නා නිමැවුම, 2015 හා 2020 අතර කාලයේ වසරකට සියයට 1.2ක සාමාන්‍ය මට්ටමේ පවතිනු ඇති බවටය. එය විභවාත්මක නිමැවුම සියයට 2.5න් ප‍්‍රසාරනය වූ, 2008 බිඳවැටීමට පූර්වයෙන් පැවති මට්ටමට වඩා පහත් අගයකි.

2008 හා 2014 අතර වසරකට විභවාත්මක නිමැවුම සියයට 6.5 මට්ටමේ සිට ඊලඟ වසර පහ තුල සියයට 5.2 දක්වා වැටෙන තතු හමුවේ, චීනය, ඉන්දියාව, බ‍්‍රසීලය හා රුසියාව වැනි නැගී එන රටවල වර්ධනයේ ඊටත් වඩා තියුනු පිරිහීමක් ජාමූඅ විසින් පූර්වාපේක්ෂ කරයි.

වත්මන් අර්බුදයේ ගැඹුර හා පරිමාව ව්‍යංගයෙන් දක්වමින් වාර්තාව සඳහන් කරන්නේ, “පූර්වයෙන් පැමිනි මූල්‍ය අර්බුදයන් මෙන් නොව වත්මන් ගෝලීය අර්බුදය, විභවාත්මක නිමැවුම් මට්ටම්වල පහත වැටීම පමනක් නොව, එහි වර්ධන අනුපාතය සමග ද සම්බන්ධය. 2008දී අර්බුදය පැන නැගීමෙන් මඳකට පසුව ආර්ථික කටයුතු බිඳ වැටුනි. අර්බුදයෙන් වසර හයකට පසුව ද වර්ධනය තවමත් පවතින්නේ, අර්බුදයට පෙර බලාපොරොත්තු වූවාට වඩා පහත් තැනක ය.”

“පෞද්ගලික ආයෝජන: ඇනහිටුවන්නේ කුමක් විසින් ද” යන මැයෙන් යුත් පරිච්ඡේදයකදී වාර්තාව, ඓතිහාසික පසුබෑමකින් පසුව එලඹෙන සය වසරකදී සිදුවන සාමාන්‍ය පරිහානිය වන සියයට 10 මෙන් දෙගුනයක ව්‍යාපාරික ආයෝජනවල පරිහානියක් මෙවර මූල්‍ය අර්බුදයේ සය වසර තුල දියුනු ආර්ථිකයන්හි සිදුව තිබෙන බව පැහැදිලි කරයි.

වත්මන් අර්බුදය තුල නිෂ්පාදන ආයෝජන මෙතරම් තියුනු ලෙස පහත වැටී ඇත්තේ කුමක් නිසා ද යන්න සැබවින්ම අබිරහසක් නොවේ. සමස්තයක් වශයෙන් ධනවාදයේ, විශේෂයෙන්ම ඇමරිකානු ධනවාදයේ, දැවැන්ත දිරාපත් වීම පිලිබිඹු කරමින්, එක් අතකින් සංගත, ටි‍්‍රලියන ගනන් මුදල්, රැකියා, වැටුප් හා සහන කප්පාදුවෙන් උපයාගෙන ඇති අතර අනෙක් අතින් මධ්‍යම බැංකුවලින් නොමිලයේම වාගේ ලබාගත් මුදල් යොදවමින් කොටස් මිල පිම්බීමේ සමපේක්ෂනයෙන් ලාභ ලබා ඇත.

මෙම මුදල් නිෂ්පාදන ක‍්‍රියාවලිය තුල ආයෝජනය කරනවා වෙනුවට සිදුකර ඇත්තේ, කොටස් යලි මිලට ගැනීම, ඒකාබද්ධයන් හා අත්පත් කර ගැනීම වැනි පරපුටු අරමුනු වෙනුවෙන් යොදා ගැනීමය. මේ කටයුතු තුලින් සැබෑ වටිනාකම් නිර්මානය නොවන අතර ඒවා මූල්‍ය ප‍්‍රභූවේ වාසනාව වැඩිකර ඇත. ව්‍යාපාර මිලට ගැනීම් සැබවින්ම, පහසුකම් ඒකාබද්ධ කරමින් හා රැකියා කප්පාදු කරමින් නිෂ්පාදන බලවේග හකුලුවාලයි.

2000 මාර්තුවේ ඩොට් කොම් බුබුල අවධියේ ඒකක 405.50 දක්වා ඉහලම මට්ටමට නැගීමෙන් පසුව ප‍්‍රථම වතාවට යුරෝපයේ 600 ස්ටොක්ස් දර්ශකය ඒකක 4.49න් ඉහල ගොස්, 09දා ඒකක 409.15 දක්වා නැගුනි. පාදක දර්ශකය වසරේ මේ දක්වා සියයට 19කටත් වඩා ඉහල නැග තිබේ.

මේ වසරේ මුල වාර්තාගත මුදුනකට නැගුන ජර්මනියේ ඩැක්ස් දර්ශකය වසරේ මේ දක්වා සියයට 25න් නැගී ඇත. ප‍්‍රන්සයේ හා ඉතාලියේ ප‍්‍රධාන දර්ශක සියයට 20ටත් වඩා වාර්තාගත මුදුනකට එලඹ ඇත.

වසරේ මේ දක්වා ජපානයේ නිකේ දර්ශකය සියයට 14න් ද හොංකොංහි හැං සෙං සියයට 14න් ද ඉහල ගියේය.

දශකයකටත් වැඩි කාලයක් තුල බලශක්ති ක්ෂේත්‍රයේ ලොකුම ගනුදෙනුව සටහන් කරමින් 08දා රෝයල් ඩච් ෂෙල් සමාගම බි‍්‍රතාන්‍යයේ බීජී ගෲප් මිලට ගැනීම ස්ථිර කලේය. වටිනාකම ඩොලර් බිලියන 70කි. මෙය ගෑස් හා තෙල් කර්මාන්තයේ තවත් ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් දිරිමත් කරමින් දහස් ගනන් රැකියා කැපීමට තුඩුදෙනු ඇත.

එදිනම ජානමය බෙහෙත් සමාගම් අතර ප‍්‍රමුඛයා වන මයිලෑන්, කැස්ස හා ආසාදන වැලැක්වීමේ බෙහෙත් නිෂ්පාදන පෙරිගෝ සමාගම, ඩොලර් බිලියන 28.9කට මිලට ගන්නා බව නිවේදනය කලේය. 2015 මුල් මාස තුන ඇතුලත සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ සිදුවූ මෙවන් ගනුදෙනු වල වටිනාකම බිලියන 95 ඉක්මවා ඇත. වසරකට පෙර එම කාලයටම සිදුවූ ගනුදෙනු වලට වඩා මෙය සියයට 70ක වැඩිවීමකි. ඊට පෙර දින ඩච් පැකේජ් බෙදාහැරීමේ ටීඑන්ටී සමාගම ෆෙඩ් එක්ස් සමාගම බිලියන 4.8කට මිලට ගැනීමට එකඟ විය.

2015 තුල නිවේදනය කර තිබෙන අත්පත්කර ගැනීම්වල වටිනාකම ඩොලර් ටි‍්‍රලියනය ඉක්මවයි. වත්මන් වේගය අනුව වසර තුල සිදුවනු ඇති ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම්වල වටිනාකම ටි‍්‍රලියන 3.7 ඉක්මවනු ඇත. එය මූල්‍ය කඩාවැටීමට පෙර වසරේ එනම් 2007ට පසු එවන් දෙවන විශාලම ගනුදෙනු වසර වනු ඇත.

වෝල් වීදියේ බැංකුකරුවන් මේ ගනුදෙනු වලින් මිලියන සිය ගනන් උපයා ගනියි. ගෝල්ඩ්මන් සැක්ස් බැංකුව, ඩොලර් බිලියන 100 ඉක්මවන, ෂෙල්-පෙරිගෝ ගනුදෙනුවලට මැදිහත් වෙමින් ෂෙල් ගනුදෙනුවෙන් පමනක් මිලියන 50ක් උපයා ගත්තේය.

Share this article: