න්‍යෂ්ටික “ආකෘතිය” පිලිබඳ ගිවිසුමෙන් ඉරානය එක්සත් ජනපදයට පුලුල් සහන පිරිනමයි

Iran makes sweeping concessions to US in nuclear “framework” deal

කීත් ජෝන්ස් විසිනි, 2015 අප්‍රේල් 03

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයෙහි ස්ථාවර සාමාජිකයන් පස් දෙනා හා ජර්මනිය ඇතුලත් පී-6 හා ඉරානය, එරට සිවිල් න්‍යෂ්ටික වැඩසටහන “සාමාන්‍ය තත්වයට ගෙන ඒමේ” ගිවිසුමක් සඳහා “සිමාවන්” නියමකරගත් බව 02දා නිවේදනය කලේය.

දින අටක් තිස්සේ පැවති උනුසුම් කේවෙලයකින් පසුව 2දා ඇතිකරගත් ගිවිසුම, ජූනි 30දාට පෙර අවසන් එකඟත්වයකට පැමිනීම පිනිස පදනම සකසනු ඇත. මෙම අවසන් සාකච්ඡා වටය තුල ඇමරිකාව ඉන් ඉවත්වන බවට දෙවරක්ම තර්ජනය කර තිබුනි.

අවසන් ගිවිසුමක් ඇතිකර ගත්ත ද එය, මැදපෙරදිග සිය මෙහෙයුම් සමඟ ඉරානය සමීපව පෙලගැස්සවීම සඳහා දරන ඇමරිකානු උත්සාහයන් සමඟ බැඳී ඇති ඉරාන-ඇමරිකානු සම්බන්ධතාවන්ගේ සැලකිය යුතු මාරුවක් සලකුනු කරයි. ඒ සමඟම ගිවිසුම, අනාගතයේ ඕනෑම වේලාවක උත්සන්න කෙරෙනු ඇති ඇමරිකානු පිටුබලය සහිත යුද ව්‍යායාමයක හැකියාව සහිතව, ඉරානය මත දැඩි සම්බාධක දිගටම පවත්වාගෙන යනු ඇත.

ගිවිසුමේ සීමා මායිම් සලකුනු කරන ඇමරිකාවේ පිටු හතරක තොරතුරු ලේඛනයේ පලමු ඡේදය, “වැදගත් ක්‍රියාවලීන් පිලිබඳ විස්තර තවමත් සාකච්ඡා මට්ටමේ පවතින අතර සියල්ල සම්බන්ධයෙන් එකඟත්වයකට එලඹෙන තෙක් කිසිවක් ගැන එකඟත්වයක් නැත” යනුවෙන් සඳහන් වන නමුදු ඉරානයේ පූජක තන්ත්‍රයේ පාර්ශවයෙන් එයට පුලුල් සහන පිරිනැමී ඇත.

ඒ අතර-

* කවදා හෝ සැලසුම් කල ජාත්‍යන්තර පරමානුක බලශක්ති ආයතනයේ (අයිඒඊඒ) වඩාත්ම කාවදින පරීක්ෂනයක වාර්තාවක් පදනම් කර ගනිමින් පරීක්ෂකවරුන්ට, යමක සත්‍යතාව ගැන තමන්ට “සැකසහිත” ඉරානයේ කුමන හෝ න්‍යෂ්ටික හෝ න්‍යෂ්ටික පහසුකම් සහිත මධ්‍යස්ථානයකට ඇතුලුවීමේ පූර්න බලතල හිමිවනු ඇත.

* යුරේනියම් සුපෝෂනය සඳහා හෝ දැනටමත් ඉරානය සතුව ඇති සුපෝෂිත යුරේනියම් තොග දැඩි ලෙස සීමාකිරීම. එලඹෙන දස වසර තුල ඉරානයට ඉඩ ලැබෙන්නේ, එරට සතු කේන්ද්‍රාපසාරික 19000න් 5060ක් පමනක් ක්‍රියාත්මක කිරීමටය. එසේ ක්‍රියාත්මක කල හැක්කේ ද “පලමු පරම්පරාවේ,” එනම් අතිශයින්ම මන්දගාමී ආකාරයෙනි.

* ඉරානයේ සිවිල් න්‍යෂ්ටික ව්‍යුහයෙන් වැඩි කොටසක් ගලවා ඉවත් කිරීම. ඉරානයේ ප්‍රධාන බැර ප්‍රතික්‍රියාකාරකය වන අරාක් බැර ජල පරියේෂන ප්‍රතික්‍රියාකාරකය, “එක්කෝ විනාශ කල යුතුය, නොඑසේ නම් රටින් බැහැර කල යුතුය” එසේම, අවි-ශ්‍රේනියේ ප්ලූටෝනියම් නිෂ්පාදනය වැලැක්වීම පිනිස එම පහසුකම් යලි සැලසුම්කර ඉදිකල යුතුය.

2011 සිට ඉරානයේ තෙල් අපනයනය හරි අඩකින් කපාහල හා ලෝක බැංකු පද්ධතියෙන් හුදෙකලා කර කැටිකල, ඇමරිකානු හා යුරෝපීය සංඟමයේ දන්ඩන සම්බාධක “අත්හිටවනු” ලැබේ. ස්ථිර වශයෙන් ඉවත් නොකෙරේ. තව ද අත්හිටුවීම පටන් ගන්නේ ද ඉරානය ගිවිසුමේ වහාම ක්‍රියාවට නැඟිය හැකි සියලු කොටස් සම්පූර්න කලායින් පසුවය.

කුමන හෝ අවස්ථාවක ඇමරිකාව හා යුරෝපිය සංඟමය, ගිවිසුමේ එකකඟතාවන් ඉරානය විසින් ක්‍රියාත්මක නොකරන බව කියා සිටියහොත්, “සම්බාධක වහාම ක්‍රියාත්මක වනු” ඇත.

ඉරානයේ න්‍යෂ්ටික ප්‍රශ්නය පිලිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඬල යෝජනා ඉවත් කරනු ඇත්තේ, ටෙහෙරානය ඊටත් වඩා දැඩි කොන්දේසි සපුරාලීමෙන් ඉක්බිතිවය. ඉහතින් සඳහන් කල “ප්‍රමුඛ න්‍යෂ්ටික ප්‍රශ්න” ක්‍රියාත්මක කල යුතුවා පමනක් නොව ඉරානය, සිය න්‍යෂ්ටික වැඩසටහනේ “ශක්‍ය මිලිටරි පරිමානයන් පිලිබඳ අයිඒඊඒ උත්සුකයන්ට ද පිලිතුරු දිය යුතුය.” ඇමරිකාව මෙම උපක්‍රමයම සදාම් හුසේන්ට එරෙහිව ද යොදා ගත්තේය. එහිදී, තමන් සතුව ජනඝාතක අවි නොමැති බව ඉරාකය ඔප්පු කල යුතුව තිබුනි.

එක්සත් ජනපදය හා එරට සහචරයින් අධිකාරය දරන අයිඒඊඒ සතුටුවන පරිදි න්‍යෂ්ටික ප්‍රශ්න විසඳාගනු ලැබුව ද යථාර්තයේදී ඇමරිකා-යුරෝපීය දන්ඬන සම්බාධක මෙන්ම එජා ආරක්ෂක මන්ඬල යෝජනා ද අහෝසි නොකරනු ඇත. “සංවේදී තාක්ෂනය” වෙත ඉරානයේ ප්‍රවිෂ්ටය සීමා කරන හා ආරක්ෂක මන්ඬලයේ යෝජනාව සමඟ බැඳුනු දන්ඬන පියවර මාලාවකට ඉඩ සලසන යෝජනාවකට ද ටෙහෙරානය එකඟවී ඇත.

“අර්බුදකාරී යෝජනා ක්‍රියාවලිය” තවමත් නිර්වචනය කර ගත යුතුව ඇත. ඒ අනුව පී-6 කුමන හෝ සාමාජිකයෙකු විසින් න්‍යෂ්ටික ගිවිසුමේ අවසන් අදියර ඉරානය විසින් ක්‍රියාත්මක කරන ආකාරය ගැන කරන පැමිනිල්ලක් විසඳීමට අසමත් වනු ඇත. ගිවිසුමේ සීමාවන් යටතේ සියලු පූර්ව එක්සත් ජාතීන්ගේ සම්බාධක යලි පැනවීම සඳහා ඒ අනුව මඟ සැලසී ඇත.

යුරෝපයේ විදෙස් පිලිවෙත් ප්‍රධානී ෆෙඩ්‍රිකා මොහෙරිනී හා ඉරානයේ විදේශ ඇමති ජවාඩ් ෂරිෆ් විසින් ස්විට්සර්ලන්තයේ ලෝසෙන්හිදී 03දා ඇතිකරගත් ගිවිසුම නිවේදනය කරන ලදී. කෙසේ වෙතත් එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා ක්ෂනිකවම එහි ප්‍රමුඛයා බවට පත්විය.

02දා සවස ධවල මන්දිරයේ පැවැත්වූ මාධ්‍ය සමුලුවකදී ඔබාමා, ගිවිසුම ඇමරිකාව පැත්තෙන් ගත් කල දැවැන්ත රාජ්‍යතාන්ත්‍රික කුමන්ත්‍රනයක් වූ බව පැවසීය. “ඉතිහාසයේ ප්‍රබලම සම්බාධක මගින්” ඉරානය දන ගැස්වූ බවට ද ඔහු කයිවාරු ගැසීය.

“සීමාවන්” ඇමරිකාවට පිලිගත හැකි අවසන් ගිවිසුමේ පරිදි සිදු නොවන්නේ නම් හෝ එහි කිසියම් අංගයක් ඉරානය විසින් උල්ලංඝනය කලහොත්, තමා සඳහා පමනක් නොව අනාගතයේ බලයට පත්වන කවර ජනාධිපති වරයෙකු සඳහා ද “සියලු විකල්පයන්” මේසය මතට ගෙනෙනු ඇති බව ද ඔහු පැවසීය. “සියලු විකල්පයන් මේසය මත” යන්න, පූර්න යුද්ධය ද ඇතුලු කුමන හෝ දන්ඩන ක්‍රියාවක් සඳහා යොදාගන්නා ඇමරිකාවේ සුප්‍රකට කියමනකි.

ඔබාමාගේම ඩිමොක්‍රටික් පක්ෂයේ වැඩි දෙනෙක් ද සමස්ත රිපබ්ලිකානු පක්ෂය ද ඇතුලත් දේශපාලන සංස්ථාපිතයේ කොටස් වෙනුවෙන් තර්ක කරමින් ඔබාමා පැවසුවේ, එකම යථාර්තවාදී විකල්පය වන්නේ, “මැද පෙරදිග තවත් යුද්ධයක්” බවය.

ඇමරිකාවේ සම්ප්‍රධායික මැද පෙරදිග සහචරයින්, විශේෂයෙන්ම සව්දි අරාබිය හා ඊස්රායලය, සතුටු කිරීම පිනිස ඔබාමා තමන්ගේ සුපුරුදු මඟෙන් පවා බැහැර විය. කෑම්ප් ඩේවිඩ්හි සමුලුවකට තමා සව්දිය නායකත්වය දරන ගල්ෆ් සහයෝගිතා කමිටුවට ආරාධනා කරන බව ඔබාමා නිවේදනය කලේය. පසුව ඔහු ඊස්රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහුට කථාකර “ඊස්රායලයේ ආරක්ෂාව සඳහා අපගේ සහයෝගය හා ඉරානයේ අස්ථාවරකාරී ප්‍රතිපත්ති ගැන කාරනයේදී අප අතර කිසිදු විරසකයක් නොමැති” බව පැවසූ බව වාර්තා විය.

ඉරාන ආන්ඩුව ද ජයග්‍රහනය ප්‍රකාශ කලේය. ගිවිසුම පෙන්නුම් කරන්නේ, ඉරාන ජනතාව “කිසිවිටෙකත් බලපෑම් වලට නතු නොවන” බව යයි විදේශ ඇමති සාරිෆ් පැවසීය. සම්බාධක මඟින් ඉරාන ආර්ථිකයට සිදුකර තිබෙන විනාශකාරී බලපෑම යටතේ හා කම්කරු පන්තියෙන් එල්ල වන අභියෝග හමුවේ භීතියට පත්ව කොර ගසන ඉරාන ධනේශ්වරය, ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදීන් සමඟ සංහිඳියාවක් වෙනුවෙන් මංමුලාසහගතව සිටී.

ඇමරිකානු පාලක පන්තිය හා ඔවුන්ගේ ව්‍යාපාරික මධ්‍යය, ඉරාන “ආක්‍රමනිකත්වය හා ජාත්‍යන්තර නීතියට ගරු කිරීමට අසමත් වීම ගැන තර්ජනාත්මකව කථාකිරීම කෙතරම් කුහකත්වයක් ද!

ඇමරිකාවේ පිටුබලය ලත් ෂාගේ ඒකාධිපති තන්ත්‍රය පෙරලා දැමූ 1979 විප්ලවයේ තැන් පටන් ඉරානයට එරෙහිව නිර්දය ව්‍යාපාරයක් ගෙනගොස් ඇත්තේ එක්සත් ජනපදයයි. මෙයට ඉරාක-ඉරාන යුද්ධයට සහාය දීම හා එම අවධියේදී ඉරාකය සන්නද්ධ කිරීම, දශක ගනනාවක ආර්ථික සම්බාධක, මිලිටරි ප්‍රහාර එල්ලකිරීමේ තර්ජන, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට එරෙහිව සයිබර් අවකාශයේ රහසිගත යුද තර්ජන හා ඊස්රායලය සමඟ සම්බන්ධව ඉරානයේ විද්‍යාඥයින් ඝාතනය කිරීම ද ඇතුලත්ය.

ඉරාන න්‍යෂ්ටික වැඩසටහනේ සාමකාමී ස්වභාවය වොෂින්ටනය සෑහීමට පත්වන පරිදි පෙන්වා දීමට ඉරානය අසමත් වන්නේ නම් යලි යලිත් එරටට පහර දෙන බවට තර්ජනය කරන ඇමරිකාව, ඊස්රායලයේ න්‍යෂ්ටික අවි තොග නොදුටුවාක් මෙන් සිටියි.

ඉරානය සමඟ සහයෝගිතාවය වෙනුවෙන් ඔබාමා ගෙන ඇති පියවර කෙරෙහි ඇමරිකාවේ සම්ප්‍රධායික මැද පෙරදිග සහචරයෝ කෝපගැන්වී සිටිති. ඔවුහු ඇමරිකාවේ මිලිටරි සුරක්ෂිත භාවය හා දේශපාලන සංස්ථාපිතය තුල මේ ගැන කටුක විවාදයකට එලඹ සිටිති.

සව්දියේ තෙල් වෙලෙන්දන් මෙන් ඊස්රායලයේ නෙතන්යාහු ද ඉරාන-ඇමරිකානු සංහිඳියාව, සිය රටේ කලාපීය අනුහස පිරිහෙලනු ඇතැයි බියට පත්ව සිටී. ඊයේ ඔවුහු පී-6 ගිවිසුමට එරෙහිව එක්රෙක් වූහ. “මෙම ගිවිසුම, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන නීත්‍යානුකූල කරනු ඇත. ඉරාන ආර්ථිකයට ජීවන හුස්ම දෙනු ඇත. මැද පෙරදිග පුරා ද ඉන් ඔබ්බට ද ඉරානයේ ආක්‍රමනිකත්වය හා ත්‍රස්තය වැඩි වර්ධනය කරනු ඇතැයි” නෙතන්යාහු කියා සිටියේය.

රිපබ්ලිකානු නායකත්වය ද ගිවිසුම හෙලාදැකීමට එක් විය. ඉලිනොයිස් සෙනේට් සභික මාක් කර්ක් මෙසේ පැවසීය. “ නෙවිල් චේම්බරලේන්, ඇඩොල්ෆ් හිට්ලර් ඊට වඩා හොඳ ගිවිසුමකට එකඟ කර ගත්තේය.” ආකන්සාස් සෙනේට් සභික ටොම් කොට්න් ගිවිසුම ගැන පැවසුවේ, “ඉරානය න්‍යෂ්ටික අවි සෑදීමේ මඟට යොමුකරන භයානක සහන ලැයිස්තුවක්” එමඟින් ලබාදී ඇති බවයි. ඔබාමා පාලනය ඇතිකරගෙන තිබෙන ඕනෑම ගිවිසුමක් අනාගත ජනාධිපතිවරයෙක් හෝ කොන්ග්‍රසය විසින් ප්‍රතික්ෂේප කිරීමට හැකි බව ඉරානය වෙත යොමුකල, සෙනේට් සභිකයින් 47ක් අත්සන් තැබූ “විවෘත ලිපිය” නිර්මානය කලේ ද කොට්න්ය.

ඉරානය සමඟ ඇතිකරගත් කුමන අවසන් ගිවිසුමක් හෝ බල ගැන්වීමට පෙරාතුව, කොන්ග්‍රසයේ අනුමැතිය ලබාගත යුතු බව ට යෝජනාවක් ගෙන එන බවට, සෙනේට් විදේශ සම්බන්ධතා කමිටුවේ සභාපති බොබ් කෝකර් පැවසීය.

ඔබාමා හා ඔහුගේ දේශීය විවේචකයෝ, මැද පෙරදිග හා සමස්ත ලෝකයේම ඇමරිකානු ආධිපත්‍යය පිහිටුවීම වන ප්‍රමුඛ මූලෝපායික අරමුන වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන් අතර වෙනස්කම් පවතින්නේ, එම අරමුන කරා යාමේදී ඉරානය සම්බන්ධයෙන් අනුගමනය කල යුතු උපායික ප්‍රශ්න සම්බන්ධයෙන් පමනි.

යලි යලිත් සිදුකල ඇමරිකානු යුද්ධ මඟින් මැද පෙරදිග පුපුරවා හැර ඇති තත්වය හා ඉරාකයේ ඉස්ලාමීය රාජ්‍යයකට විරුද්ධව වොෂින්ටනය-ටෙහෙරානය අතර ඇති අප්‍රකාශිත සන්ධානය හමුවේ, ඔබාමා ගනන් බලන්නේ, කලාපයේ ස්ථාවරත්වය ඇමරිකාවේ ආධිපත්‍යය යටතේ ඇතිකර ගැනීමේදී, ඉරාන තන්ත්‍රය ප්‍රයෝජනවත් වන බවටය.

ඊටත් වඩා වැදගත් කාරනය, ඉරානය සමඟ ගිවිසුමක් වෙනුවෙන් පෙනී සිටි අය ගනන් බලන ආකාරයට, තෙල් වලින් පොහොසත් මෙම රාජ්‍යය වොෂින්ටනයේ මූලෝපායික කක්ෂය තුලට ඇද ගත හැකි නම් එය, රුසියාව හා චීනය යන තමන්ගේ වඩා වැදගත් හා ශක්තිමත් එදිරිවාදීන්ට එරෙහිව ගැටුම් ඇතිවීමේදී, ඇමරිකාවේ අත බෙහෙවින් ශක්තිමත් කෙරේ.

Share this article: