යේමනය තුල යුද්ධය හා ලෝක ආධිපත්‍යය සඳහා ඇමරිකානු තල්ලුව

The war in Yemen and the American drive for global domination

2015 මාර්තු 28

ඇමරිකානු මැද පෙරදිග යුද මෙහෙයුමේ තවත් පෙරමුනක්, මේ අවස්ථාවේ දී යේමනය තුල විවෘත කෙරී ඇත. ඔබාමා පාලනාධිකාරියේ අනුබලය ලබන සෞදි අරාබිය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් යේමනයේ මූලෝපායාත්මක ස්ථාන මෙන් ම ජනාකීර්න ජනාවාස ඉලක්ක කරමින් තුන්වැනි දිනටත් ගුවන් ප‍්‍රහාර එල්ල කලේය.

අවම වසයෙන් ලමුන් හයදෙනෙකු ඇතුළුව සිවිල් වැසියන් 39ක් ඝාතනය කෙරී ඇත. එලඹෙන දිනවල දී මරන සංඛ්‍යාව ඉහල යනවා නිසැකය. මෙම ආක‍්‍රමනය දියත් වෙමින් තිබෙන්නේ මිලිටරි මෙහෙයුම් පිලිබඳව ඇමරිකාවෙන් ලැබෙන සහයෝගයත්, සපයනු ලබන ප‍්‍රහාරක යානා හා බෝම්බ හෙලන යානා යොදා ගනිමිනි.

මෙම ගුවන් ප‍්‍රහාර සමග ඕනෑම මොහොතක සෞදි අරාබියේ හා ඊජිප්තුවේ නායකත්වය යටතේ ගොඩබිම් යුද ආක‍්‍රමනයක තර්ජනය මතුවිය හැක. සෞදි අරාබිය සිය දේශසීමාවන් හි හමුදා හා බැර කාලතුවක්කු එක්රැස් කරමින්, සොල්දාදුවන් 150,000ක් ද බලමුළු ගන්වා ඇත. මේ වන විටත් රතු මුහුදේ යුද නැව් ස්ථානගත කර ඇති ඇමරිකානු ගැති ඊජිප්තු ඒකාධිපති අබ්දෙල් ෆාටා අල්-සිසීගේ ආන්ඩුව, ප‍්‍රහාරයට හවුල් වීම සඳහා යේමනයට හමුදා යැවීමට තමන් සූදානම් බවට සංඥා කර ඇත.

ඇමරිකාවේ පිටුබලය ලබන යුද්ධයේ ඉලක්කය වන්නේ, ඉරානයට හා හිටපු දීර්ගකාලීන ඒකාධිපති අලි අබ්දුල්ලා සලේට පක්ෂ හමුදාවේ සහාය ලබන්නා වූ ද යේමනයේ බටහිර පලාත් බහුතරයක පාලනය අල්ලාගෙන ඇත්තා වූ ද හවුති කැරලිකරුවන් පරාජය කිරීම ය. වොෂින්ටනය බලාපොරොත්තු වන්නේ, ඒඩන් නගරයේ දකුනු කොටසෙහි පිහිටි සිය නිවාස පරිශ‍්‍රයට එරෙහි හවුතිවරුන්ගේ ප‍්‍රහාර හමුවේ මෙම සතියේ රටින් පැන ගිය ජනාධිපති අබ්ද් රාබූහ් මන්සූර් හාඩි නමැති සිය පරාජිත රූකඩයා, නැවත තනතුරෙහි පිහිටුවීමට ය.

එක්සත් ජනපදයට අල් අනාද් ගුවන් කඳවුර නැවත අල්ලා ගැනීමට ද අවශ්‍ය ය. යේමනය තුල 2009 සිට පුද්ගලයන් 1000කට වඩා ඝාතනය කරන ලද ඩ්‍රෝන් ප‍්‍රහාර දියත් කිරීමට එය යොදා ගෙන තිබුනි. 25දා උදේ, සෞදි අරාබිය ගුවන් ප‍්‍රහාර දියත් කිරීමට යන්තම් පෙර හවුති කැරලිකරුවන් එම ගුවන් කඳවුරු අල්ලා ගෙන ඇත.

යේමන යුද්ධය පුපුරා යාම, ඇමරිකානු අධිරාජ්‍යවාදීන් වසර ගනනාවක් තිස්සේ සිදුකල කුරිරු මැදිහත්වීමේ කූඨප‍්‍රාප්තිය යි. 2012දී ඇමරිකානු අනුග‍්‍රහය ලත් සලේ තන්ත‍්‍රය විස්ථාපනය කල හාඩි ආන්ඩුව, ඇමරිකානු ඩ්‍රෝන් ප‍්‍රහාරවලට සහයෝගය දැක්වීම හේතුවෙන් පුළුල් ලෙස ගර්හාවට ලක්වුනි. රූකඩ ආන්ඩුව විසිරීයාමත් සමග එකිනෙකාට එරෙහි නොයෙක් මිලීෂියා හමුදා හා බලකාර කන්ඩායම් සිය ශක්තිය උරගා බලද්දී නිකායික ගැටුම් මගින් රට ගිලගන්නා ලදී.

යේමනය තුල පැනනැගීී ඇති නිකායික ගැටුම්, මුළු මැද පෙරදිග, මධ්‍යම ආසියාව හා උතුරු අප‍්‍රිකාව පටලවන ගැටුමක් කරා වර්ධනය වීමේ හැකියාව දැන් මතුවී ඇත. හවුතිවරුන්ට එරෙහිව සෞදි අරබියට සහයෝගය ලබා දුන් රටවල් අතර මොරොක්කෝ, සුඩානය, ජෝර්දානය, බහරේන්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා කටාර් යන රටවල් වෙති.අනෙක් පසෙහි, ඉරාකයේ හා සිරියාවේ ආන්ඩු සිටින අතර මිලිටරි මැදිහත්වීමට විරුද්ධවීමේ දී මෙම රටවල් ඉරානය සමග පෙල ගැසී ඇත.

සිය විදේශ ප‍්‍රතිපත්තිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා මානව හිමිකම් ප‍්‍රවර්ධනය සහ ත‍්‍රස්තවාදයට එරෙහිව සටන මත පදනම් කෙරෙතැ යි එක්සත් ජනපද ආන්ඩුව විසින් ගෙනහැර දැක්වූ ප්‍රෝඩාව යේමනය තුල වර්ධනයන් මගින් නැවත වතාවක් පුපුරුවා හැර ඇත. එජ තල්ලුව දෙමින් සිටින්නේ තමන්ගේ ම වැසියන්ගේ හිස සිඳ දමන සහ අල්කයිඩා හා අනෙකුත් සුන්නි අන්තවාදීන්ට මූල්‍ය ආධාර සපයන සෞදි අරාබි රාජාන්ඩුව සහ තොග ගනනේ මරන වරෙන්තු නිකුත් කරන හා වීදිවල කම්කරුවන් වෙඩි තබා දමන ලේ උරාබී තරව සිටින ඊජිප්තුවේ මිලිටරි ආඥාදායකත්වය විසින් නායකත්වය දෙනු ලබන යුද්ධයකට ය.

යේමනය පාලනය කිරීමේ ඇමරිකානු ආන්ඩුවේ උත්සුකයට හේතුව කුමක් ද? එක වචනයකින් පවසතොත්: තෙල් ය.

ඊජිප්තුවේ සූවස් ඇල ද සමග මධ්‍යධරනී මුහුද ඉන්දියානු සාගරයට සම්බන්ධ කරන බාබ් එල්-මැන්ඬේබ් සමූද්‍ර සන්දිය පිහිටා ඇත්තේ, අරාබි අර්ධද්වීපයේ යේමනය සහ අප‍්‍රිකාවේ අඟ ලෙස සැලකෙන ප‍්‍රදේශයේ පිහිටි ජිබෝටි, එරිති‍්‍රයාව අතර ය. පර්සියානු බොක්කේ සිට යුරෝපයට, එක්සත් ජනපදයට හා ආසියාවට ආනයනය කරන තෙල්වලින් බොහෝ කොටසක් මෙම පටු සමූද්‍ර සන්ධිය පසු කර යා යුතු අතර ගෝලීය වෙලඳාමේ ගෙල සිරකල හැකි තැනක් බවට එය පත්ව ඇත.

වොෂින්ටන් ඩීසී හි මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ දෘෂ්ටි මන්ඩලයේ බලගතු විදේශ ප‍්‍රතිපත්ති මූලෝපායඥයෙකු වන ඇන්තනි කෝඩෙස්මන් ඇමරිකානු පාලක පන්තියේ මූලෝපායාත්මක ගනන් බැලීම් විදහා දැක්වූයේ ය. 2013දී බාබ් එල්-මැන්ඬේබ් සමූද්‍ර සන්ධිය හරහා ඇදී ගිය තෙල් හා පෙට්‍රෝලියම් නිෂ්පාදන බැරල් මිලියන 3.8 ගැන සඳහන් කරමින් කෝඩෙස්මන් මෑත දී සදහන් කලේ, “සූවස් ඇල හරහා යන සෑම භාන්ඩ නැවකම පිරිවැය හා ආරක්ෂාව, ඇල හරහා එහාට මෙහාට යන එජ හා අනෙකුත් මිතුරන්ගේ යුද නෞකාවල ආරක්ෂාව, හා අරාබියේ ප‍්‍රධාන වරාය වන ජෙදාහි සෞදි හා ගල්ෆ් බොක්කට පිටත ප‍්‍රධාන පෙට්‍රෝලියම් අපනයන සංකීර්නයන්හි ආරක්ෂාව” පරදුවට තැබෙන උත්සුකයන් වන බව යි.

වෙනත් අයුරකින් කිව හොත්, යුද්ධය භූ-දේශපාලනික වාසි හා ලෝක බලය සඳහා ය.

ඇමරිකාව, “ප‍්‍රවර්ධනාත්මක හා ඔත්තු සේවා සහාය ලබා දෙන බව මේ වන විටත් ප‍්‍රකාශ කර ඇති අතර යේමනයේ තත්වය ඊට වඩා වැඩි දෙයක් එනම්, යම් ආකාරයක එජ සටන් සහයෝගයක් (උදා.ඍජු මිලිටරි පියවර) සාදරයෙන් පිලිගන්නවා ඇතැ” යි කෝඩෙස්මන් තව දුරටත් පැවසී ය.

ගිනිය නො හැකි තරම් ප‍්‍රතිවිපාක සහිත තවත් අපරාධකාරී මෙහෙයුමකට ඇමරිකානු මහජනතාව ඇදගෙන යමින් සිටින අතර ප‍්‍රසිද්ධ විවාදයක මවාපෑමක් පවා නොමතිව ඔවුන්ට හොරෙන් සැලසුම් කර එය ක‍්‍රියාත්මක කරමින් තිබේ. ඔවුන්ගේ මතය විමසීම ගැන කියනුම කවරේ ද.

ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ මහා ව්‍යසනයක් සිදු කර ඇති මිලිටරි මැදිහත්වීම් වැලක මෑත ම එක යේමනය යි. “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” දියත් කිරීමෙන් වසර පහලොවකට පසු ද වියවුල හා විනාසය මුළු කලාපයම වනස යි.

2001 ඇෆ්ගනිස්තාන ආක‍්‍රමනය පසුපසින් පැමිනියේ ඉරාක ආක‍්‍රමනය හා වාඩිලාගැනීම යි.එහි ප‍්‍රතිපලය මිලියනයකට වඩා මිනිසුන් මිය යාම හා මුළු සමාජයම විනාස කිරීම යි. ඉරාකයෙන් පසුව පැමිනියේ 2011 ලිබියාවට බෝම්බ දැමීම සහ ජනාධිපති මුවම්මර් ගඩාෆි බලයෙන් පහකිරීම හා ඝාතනය කිරීමයි. මෙහි ප‍්‍රතිඵලය වී ඇත්තේ රට නිකායික සිවිල් යුද්ධයක ගිලී යාම යි.

2011 සිට ජනාධිපති බෂාර් අල්-අසාද් පෙරලා දැමීමේ අරමුන සහිතව ඇමරිකාව, සිරියාව තුල සිවිල් යුද්ධයක් අවුළුවා ඇත. මෙම තන්ත‍්‍ර වෙනස් කිරීමේ ක‍්‍රියාදාමය තුල දී සීඅයිඒ සංවිධානය අල්කයිඩාවට සම්බන්ධ සටන්කාමීන්ට හා අනෙකුත් ඉස්ලාමීය රැඩිකලුන්ට සහාය දුන්නේ ය. ඔවුන්ගෙන් සමහරෙක් ඉරාක හා සිරියානු ඉස්ලාමීය රාජ්‍ය පිහිටුවීමට පෙරමුන ගත්හ. සිවිල් යුද්ධයේ ප‍්‍රතිඵලය වී ඇත්තේ මේ වන විට පුද්ගලයන් 200,000කට වඩා වැඩි පිරිසකට මරු කැඳවීම හා තවත් මිලියන ගනනාවක් අවතැන් කිරීම යි.

එක්සත් ජනපදය දැන් අයිසිස් සංවිධානයට එරෙහිව ඉරාකය හා සිරියාව තුල නව යුද්ධයක පැටලී සිටින අතර, ටික‍්‍රිට් හි සටන් කරන ෂීයා මිලීෂියාවන්ට සහාය පිනිස බෝම්බ හෙලන ඉරානය සමග තත්වාකර හවුලක් ඇති කර ගෙන සිටියි.

මැද පෙරදිගට එහා, ෆැසිස්ට්වාදීන් නායකත්වය දුන් කුමන්ත‍්‍රනය හා රුසියානු විරෝධී අන්ත දක්ෂිනාංශික ආන්ඩුවක් ප‍්‍රවර්ධනය කිරීම හරහා ඇමරිකානු මැදිහත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙස යුකේ‍්‍රනය අර්ධ-විසිරීමේ තත්වයක පවතියි. රුසියාව සමග න්‍යෂ්ටික යුද්ධයක තර්ජනය මතු කරමින් ඇමරිකාව අනුගමනය කරන ප‍්‍රතිපත්ති, නැගෙනහිර යුරෝපයේ දැවන්ත මිලටරීකරනයක් දිරිගන්වා ඇත. ඒ අතරම, ඇමරිකාවේ “ආසියාවට හැරීම” මිලිටරි හවුල් ජාලයක් හා ප‍්‍රකෝප කිරීම් සූදානම් කරන චීනය වට කිරීමේ ප‍්‍රතිපත්තියක් හඹා යයි.

කුරිරු ලෙස හා අදූරදර්ශි ලෙස එක් විනාසකාරී සැහසිකමක සිට ඊ ලඟ එකට ඇමරිකාව වේගයෙන් දුව යයි. සෑම විනාසකාරී මැදිහත්වීමක් ම ඊ ලඟ යුද්ධය සඳහා යුක්තිකරනයක් සපයයි. එක ම ස්ථිරසාර ප‍්‍රතිපත්තිය වන්නේ සිය උත්සුකයන් තහවුරු කිරීම හා ලෝකයේ සෑම කොනකම එහි ආධිපත්‍යය පැටවීමට වන ඇමරිකානු පාලක පන්තියේ අධිෂ්ඨානය යි.

හැමදා ව්‍යාප්තවන යුද්ධ හා විදේශ මැදිහත්වීම පිලිබඳ ප‍්‍රතිපත්තිය, සෝවියට් සංගමය විසුරුවා හැරීමේ සිට ඇමරිකානු විදේශ ප‍්‍රතිපත්තිය මෙහෙය වා ඇති ලෝක ආධිපත්‍යය පිලිබඳ මිත්‍යා සංකල්පය සමග ගැට ගැසී ඇත. පසු ගිය විසිපස් වසර තිස්සේ එජ අධිරාජ්‍යවාදය, සිය පරිහානියට පත්වන ලෝක ආර්ථික තත්වය මග හැරීමට උත්සාහ කර ඇත්තේ, තම අධිරාජ්‍යවාදී “මිතුරන්” බිය ගන්වන අතර සිය ගෝලීය විජිගීෂාවන්ට විරුද්ධ යැයි තමන් කල්පනා කරන පාලන තන්ත‍්‍ර විනාස කිරීමට මිලිටරි ආධිපත්‍යය යොදා ගනිමිනි.

ගෝලීය ආධිපත්‍යය සඳහා වන එහි උමතු උත්සාහය තුල දී ඇමරිකානු සංගත හා මූල්‍ය ප‍්‍රභූව ලෝකය ඇදගෙන යමින් සිටින්නේ, මානව වර්ගයා න්‍යෂ්ටික හොලෝකෝස්ටයකට තල්ලුකර දැමීමට තර්ජනය කරන තුන්වැනි ලෝක යුද්ධයක් දෙසට ය. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ බලපෑම අවසන් කිරීමට හා යුද්ධයට වන තල්ලුව වැලක්වීමට හැකි එකම බලවේගය වන්නේ සමාජවාදී විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක් මත සංවිධානය වූ ජාත්‍යන්තර කම්කරු පන්තිය පමනි.

නයිල්ස් විලියම්සන්

Share this article: