ඇමරිකානු ආර්ථිකයේ හදවතෙහි කුනුවීම

The rot at the heart of the American economy

2015 අගෝස්තු 04

යුරෝ කලාපයේ නිමැවුම තවමත් 2007 පැවති මට්ටමට ලඟාවී නොතිබීම, යුරෝපයේ ආර්ථිකය පල්වෙමින් තිබීම හා චීනයේ ද ඊනියා නැඟී එන වෙලඳපොලවල ද වර්ධනය පහත වැටීම හමුවේ ඇමරිකාව, ඇතැම් විට සලකනු ලැබුවේ ගෝලීය ධනපති ආර්ථිකයේ “දීප්තිමත් මධ්‍යස්ථානය” ලෙසය.

2009 දෙවන කාර්තුව තුල මහා පසුබෑමේ පහතම නිල මට්ටම සලකුනු කිරීමෙන් පසුව ඇමරිකානු ආර්ථිකය ප්‍රකෘතියේ මාවතට පිවිස තිබෙන බව වානිජ්‍ය දෙපාර්තමේන්තුවේ අලුත්ම දත්ත අනුව සඳහන් කරයි. වාර්තාවට අනුව 2‍දෙවැනි කාර්තුව තුල ආර්ථිකය සියයට 2.3 වාර්ෂික අනුපාතයකින් වර්ධනය වී ඇත. පලමු කාර්තුවේ සියයට 0.2 හැකිලීම 0.6ක වර්ධනයක් ලෙස සටහන් කරමින් එය තම පූර්ව දත්ත සංශෝධනය කර ඇත. එහෙත් පලමු කාර්තුවේ දක්නට තිබුනා යයි කියන යහපත් ප්‍රතිපල, 2008 මූල්‍ය අර්බුදයේ කම්පන තරංඟ වලින් මුලින් සිතුවාට වඩා සැලකිය යුතු බලපෑමක් ඇතිකර තිබෙන බවට පල වන සංඛ්‍යා මඟින්, අඳුරු කර තිබේ.

වෝල් ස්ට්‍රීට් ජර්නලය මෙසේ සඳහන් කරයි. “දෙවන ලෝක යුද්ධයෙන් පසුව එලඹි දුබලම තත්වය පෙන්වන, වසර තුනකටත් වඩා ආපස්සට දිවෙන සංඛ්‍යා සංශෝධනය කිරීමෙන් පිලිබිඹු කරන්නේ, පූර්ව තක්සේරු වලට වඩා 2014-2015 අතර කාලයේ සියයට 0.3ක් පහත වාර්ෂික සාමාන්‍යකින් සිදුව ඇති දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය, කලින් සිතුවාට වඩා නරක බවය.” වසරේ පලමු කාර්තුවේ සංශෝධිත සංඛ්‍යාවන්ට පින්සිදු වන්නට, වර්ධනය සිතුවාට වඩා හොඳ තත්වයක් පෙන්වන නමුත් “මේතාක් දුරට වසරේ ආර්ථික වර්ධනය, සමස්ත ප්‍රකෘතියේ වේගයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින අතර පසුගිය වසරේ පලමු අර්ධයේ මන්දගාමී වර්ධනයට ද වඩා පහතය.”

අතීතයේදී ව්‍යාපාරික චක්‍රයේ “සාමාන්‍ය” ලෙස සලකන ලද ආකාරයට නම්, මේ අවස්ථාවේ පුලුල් වන වෙලඳපොලවල් හා විශාල ලාභ අවස්ථා බලාපොරොත්තුවෙන් සමාගම් ආයෝජනය කිරීමට පෙලඹෙන තතු තුල, ආර්ථික වර්ධනය වේගවත් විය යුතුව ඇත. එහෙත් ඒ යාන්ත්‍රනය තවදුරටත් නොපවතියි. ව්‍යාපාරික ආයෝජන කලකදී වර්ධනයේ ගාමකය ලෙස සලකන ලද නමුත් අද එය ඒ පිටුපස ඇදී යයි.

දදේනි සංඛ්‍යා පෙන්නුම් කරන්නේ, දෙවන කාර්තුව තුල ව්‍යාපාර ආයෝජන සැබවින්ම වර්ධනය වෙතින් පලාගොස් ඇති බවයි. 2012න් පසුව එසේ සිදුව ඇත්තේ ප්‍රථම වතාවටය. මෘදුකාංඟ, පරියේෂන හා සංවර්ධනය මෙන්ම නව උපකරන හා කම්හල් ගොඩනැඟිලි සඳහා වැය ඇතුලු ගෘහාශ්‍රිත නොවන ස්ථාවර ආයෝජන, පලමු කාර්තුවේ සියයට 1.6ක වර්ධනයට සාපේක්ෂව 0.6න් වැටී ඇත.

ක්ෂනික හේතුව ලෙස පෙනී යන්නේ, පසුගිය වසර පුරා තෙල් මිල ගනන්වල තියුනු බැසීම නිසා බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජන පහත වැටීමයි. එහෙත් ඇමරිකානු ආයෝජනවල මන්දගාමී ස්වභාවය ඊට වඩා පුලුල් අර්ථභාරයක් දරයි. සැබෑ ආර්ථිකයේ ආයෝජන 2008ට පූර්වයෙන් පැවති තත්වය කරා පැමිනීමට අසමත්වීම යන සමස්ත ලෝක ආර්ථිකයම වසාගෙන ඇති අති මූලික ප්‍රවනතාවන්ගේ කොටසකි එය.

අප්‍රේල් මාසයේ නිකුත් කල සිය ලෝක ආර්ථික දැක්ම තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කල පරිදි, “ගෝලීය මූල්‍ය අර්බුදය අවධියේ පෞද්ගලික ස්ථාවර ආයෝජන තියුනු ලෙස හැකිලී ගිය අතර එතැන් පටන් එය ප්‍රකෘතිමත් වී ඇත්තේ මඳ වශයෙනි.” අර්බුද පූර්ව පෙරදැකීම් හා සසඳන කල 2008න් පසු වසරවල ආයෝජන සියයට 25න් පමන ක්ෂයවී ඇත. මෙවැනි තත්වයක් පශ්චාත් යුද්ධ පසුබෑම් තුල මීට පෙර සිදුවී නැති බව සලකුනු කරමින්, 2008දී ආරම්භ වූයේ ආර්ථික චක්‍රයේ හැරීමක් නොව ධනේශ්වර ආර්ථිකයේ අති මූලික ක්‍රියාවලියේ බිඳ වැටීමක්ය යන කාරනය මතු කරයි.

එම ප්‍රවනතාවයම වැටුප් සංඛ්‍යා තුල ද දැකිය හැකිය. ඇමරිකාවේ මෙන්ම අනෙකුත් ප්‍රධාන ආර්ථිකයන්හි ද වැටුප් අනුපාත මුලුමනින්ම එක තැන පල්වෙමින් තිබේ. ඇමරිකානු කම්කරු දෙපාර්තමේන්තුවේ අලුත්ම දත්ත සටහන් කරන්නේ සේවා නියුක්තික පිරිවැය දෙවැනි කාර්තුව තුල වැඩිවී ඇත්තේ සියයට 0.2න් පමනක් බවයි. එය 1982න් පසු අඩුම අගයයි. ඉන් පසුව මුහුනදුන් බරපතලම අර්බුදය හමුවේ ඇමරිකාව 1930 ගනන්වලින් මෙපිට ගැඹුරුම පසුබෑමකට මුහුනදී සිටියි. වත්මන් සංඛ්‍යා වාර්තාවී ඇත්තේ, සිදුවූවා යයි කියන ප්‍රකෘතියේ සයවන වසරේදීය. මෙවැනි තත්වයක් මීට පෙර ආර්ථික ඉතිහාසය තුල දැකිය නොහැකි විය.

දත්ත පෙන්නුම් කරන්නේ පහත් වැටුප් ඇමරිකානු ආර්ථිකයේ වාරික ලක්ෂනයක් නොව ස්ථාවර අංඟයක් බවය. ක්‍රියාත්මක වන ආර්ථික ප්‍රවනතා, ඇමරිකාව පහත් වැටුප් සහිත ආර්ථිකයක් බවට පත් කරමින් 2009දී ඔබාමා පාලනය විසින් මෝටර් රථ කර්මාන්තයේ ආරම්භ කල “ප්‍රතිව්‍යුහකරනය” තුලින් ශක්තිමත් කලේය.

සැබෑ ආර්ථිකයේ ප්‍රමුඛ ගාමකයන් දෙකක් වන ආයෝජන හා වැටුප් කැපීම, මූල්‍ය ලෝකයේ කැපීපෙනෙන වෙනසකි. 2009දී පහත අගයන් කරා වැටුනු ඇමරිකානු කොටස් වෙලඳපොල දර්ශකයන් තුන්ගුනයකින් පමන ඉහල නැඟුනි. මෙය වනාහි හත් වසරක් පමන කාලයක් තිස්සේ සිය පාදක පොලී අනුපාතිකය ශුන්‍යයට ආසන්න මට්ටමක තබාගනිමින් ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් බැංකුව විසින් සලසා දුන් අතිශයන්ම ලාභ මුදල් සැපයුමෙන් පැනනැඟි මූල්‍ය සමපේක්ෂනයේ ප්‍රතිපලයයි.

පහත් පොලී අනුපාතික යාන්ත්‍රනය පිටුපස පැවති න්‍යාය වූයේ, ආර්ථික ප්‍රසාරනයකට හා ප්‍රකෘතියට තුඩු දෙමින් ඉහතකී ක්‍රියාවලිය, ආයෝජන ඉහල නංවන බවය. සැබවින්ම එම පිලිවෙතින් සිදුවූයේ පෙර නොවූ විරූ පරිමාවකින් පරපුටුවාදය වර්ධනය වීමයි. නිෂ්පාදන කටයුතු සඳහා යොදාගන්නවා වෙනුවට ලාභ මුදල්, කොටස් යලි මිලටගැනීම්, ඒකාබද්ධවීම් හා අත්පත්කර ගැනීම් ඇතුලු විවිධාකාර සමපේක්ෂන කටයුතු සඳහා යොදා ගැනුනි.

එහි තේරුම ෆෙඩරල් මහ බැංකුව හා ලෝකයේ අනෙකුත් මහ බැංකු විසින් සම්පාදනය කල මුදල්, පහත් වර්ධනයට හා ආර්ථික පල්වීමට දායක වෙමින්, සරලවම නිෂ්පාදන කටයුතු සඳහා යොදාගෙන නැත යන්න නොවේ. එය ඊටත් වඩා විනාශකාරී බලපෑම් ඇතිකර තිබේ.

නව ආයෝජනයන් සිදුකල සමාගම් වෙලඳපොල විසින් සලකනු ලැබුවේ, අනවශ්‍ය තරම් ඉහල මට්ටමක ප්‍රාග්ධන වියදම් සිදුකරන ඒවා ලෙසය. අත්පත්කර ගැනීම් හා ආයෝජකයින්ගේ කෙටි කාලීන ප්‍රතිලාභ වැඩිකිරීම අරමුනු කරගත් ප්‍රතිව්‍යුහකරන මෙහෙයුම් ඉලක්ක ලෙස වෙලඳපොල විසින් ඒවා සලකුනු කරන අතර කොටස් මිල හරහා ඒවාට දඬුවම් පමුනුවයි. මෙම සංසිද්ධිය ඇමරිකාව මධ්‍යස්ථානය කරගන්නා නමුත් පරිමාවෙන් ජාත්‍යන්තරය. එංඟලන්ත බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ඇන්ඩි හැල්ඩනි මෑතකදී සඳහන් කල පරිදි ව්‍යාපාර “ඒවාම ගිල දමන ලෙසකි.”

මෙම සංසිද්ධියට ප්‍රගාඪ ඓතිහාසික වැදගත්කමක් ඇත. අතීතයේ ධනවාදය, අවපාතය හෝ යුද්ධය මගින් නිෂ්පාදන බලවේගයන්හි පුලුල් පදාස විනාශ කලේය. එහෙත් වත්මන් පරිමානයේ සමපේක්ෂන කොල්ලයක් මීට පෙර කවර කලෙකවත් සිදුවී නැත. එය වනාහි වත්මන් ආර්ථික පර්යායේ හදවතෙහිම ඔඩු දුවන කුනුවීම පිලිබඳ ප්‍රකාශනයකි.

තව ද සැබෑ ආර්ථිකයේ එකතැන පල්වීමේ කොන්දේසි යටතේ සිදුවන මූල්‍ය සමපේක්ෂනයේ දැවැන්ත වර්ධනය, තවත් මූල්‍ය අර්බුදයක වාතාවරනය නිර්මානය කර තිබේ. එකම ප්‍රශ්නය එය මුදාහරින්නේ කවර විශේෂිත සිදුවීමක් හෝ සිදුවීම් සමුදායක අන්තර් ක්‍රියාකාරිත්වයෙන් ද යන්නය.

නික් බීම්ස්

Share this article: