හිරෝෂිමාවට බෝම්බ දැමීමෙන් 70 වසරක්

The 70th anniversary of the bombing of Hiroshima

2015 අගෝස්තු 6

මෙයට අවුරුදු 70කට පෙර අද දින, ඇමෙරිකානු බී-29 ගුවන් යානයක් ජපානයේ හිරෝෂිමා නගරය මත පරමානු බෝම්බයක් හෙලීය. ටීඑන්ටී ටොන් 13,000ක් පමන වූ මේ යෝධ පිපුරුම එවෙලේම හෝ පැය කිහිපයක් ඇතුලත නගරයේ ජනකායෙන් සියයට 30ක් තරම් වූ 80,000ක් මරාදමමින් නගරයේ වැඩි කොටසක් විනාෂභාග් කලේ ය. එක්සත් ජනපදය විසින් ඉන් දින තුනකට පසු, 1945 අගෝස්තු 9 දා නාගසාකි නුවරට හෙලූ අනෙක් පරමානු බෝම්බය එක්වරම 40,000ක් මරනයට පත් කලේ ය.

ඉක්බිති දිනවල දී විකිරන ව්‍යාධි ඇතුලු, විවිධ උපද්‍රව නිසා තවත් ජනකායක් මරනයට පත් වූහ. මුල් මාස හතරේ දී මිය ගිය ගනන ගැහැනුන්, පිරිමින් හා දරුවන් ලක්ෂ දෙක සිට තුන හමාර අතර සංඛ්‍යාවක් බව ගනන් බලා ඇත. ඉන් පසු වර්ෂවල තවත් විශාල ගනනක් තියුනු විකිරනයේ විපාක වන ලියුකේමියාව ඇතුලු වෙනත් පිලිකාවලින් මරනයට පත් වූවෝ ය. පන රැකුන අය මලවුන්ගේ ද පන අදින්නන්ගේ ද භයංකර දසුන් වලින් ඇතිකරන ලද මානසික තුවාල වලින් තවමත් පීඩා විඳිති.

වොශිංටනය සිවිල් ජනතාව මත පරමානු බෝම්බ හෙලීම, ප‍්‍රථම ගනයේ සාපරාධී ක‍්‍රියාවකි. එය ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ද ශිෂ්ඨත්වයේ ද ප‍්‍රමුඛයා යයි පතල මිත්‍යාව සදහටම සුනුවිසුනු කර දැමීය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය ආසියාව තුල ජපානයට එරෙහි සිය යුද අරමුනු සඳහා ක‍්‍රියාත්මක වූයේ, මනුෂ්‍ය ජීවිත කෙරේ තමාගේ ජපන් ප‍්‍රතිවාදියා දැක්වූ රුදුරු බවට නොදෙවෙනි නිර්දය භාවයකිනි. හිරෝෂිමාවට හා නාගසාකියට හෙලූ බෝම්බ මගින් ඇමෙරිකා එක්සත් ජනපදය ලෝකයට ප‍්‍රකාශ කලේ, පශ්චාත් දෙවන ලෝක යුද වකවානුව තුල ලෝක ආධිපාත්‍යය හිමිකර ගැනීමේ සූදානමය.

මෙම බිහිසුනු ප‍්‍රචන්ඩත්වය ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති මුසාවාදයන්ගේ පරිමාව, එම භීෂනයන්ටම සමවන්නේ ය. හිරෝෂිමාව සහ නාගසාකිය යම් තරමක කාර්මික සහ මිලිටරි ආම්පන්න නිෂ්පානයක් කරගෙන ගිය නමුත්, මෙවන් සමුහ ඝාතක ආයුධ ඉවක්බවක් නැතිව යොදාගනු ලැබුවේ හුදෙක් යුදවාදී ජපාන රෙජිමය පමනක් නොව මුලුමහත් ලෝකයම “කම්පනයට හා භීතියට” පත් කිරීමට ය.

මෙම ක‍්‍රියාව යුක්ති යුක්ත කිරීම සඳහා ඇමෙරිකානු ජනාධිපති හැරී එස්. ටෲමන් ප‍්‍රධාන වශයෙන් ම යොදාගත්තේ ද අද දක්වාම යලි යලිත් යොදාගනු ලබන්නේ ද “පරමානු බෝම්බ හෙලුවේ ‘ජීවිත ගලවාගැනීමටය’ යන කථාවය. මොවුන්ගේ තර්කය නම්, නගර දෙකක් භාෂ්ම කිරීම මගින් ජපානයට ඉක්මනින්ම යටත් වීමට බලකරමින් ඇමෙරිකාව ජපානය ආක‍්‍රමනය කලේ, මීටත් වැඩි ඇමෙරිකානු සහ ජපන් ජීවිත රාශියක් විනාශ වීමට ඉඩ තිබූ ජපන් ආක‍්‍රමනයක් වලක්වා ගැනීමට බවයි.

ඉහත තර්කයේ සෑම අංශයක්ම සාවද්‍යය නැතහොත් අසත්‍යය. සාමාන්‍ය එක්සත් ජනපද ආක‍්‍රමනයකින් සිදුවිය හැකිව තිබුනු මරන ගනන අධිරාජ්‍යවාදීන් විසින් සිතාමතාම පුම්බා දැක්වුනේ පරමානු බෝම්බ පාවිච්චිය යුක්ති සහගත කිරීමේ අරමුනිනි. පරමානු බෝම්බය ජනශුන්‍ය ප‍්‍රදේශයකට හෙලා, ජපානයට එහි විනාශකාරී ස්වභාවය දැකබලා ගැනීමට සැලසිය යුතු බවට බෝම්බය නිර්මානය කල සමහර විද්‍යාඥයින් කල යෝජනාව, ටෲමන් පාලනාධිකාරය ප‍්‍රතික්ෂේප කලේය.

එපමනක් නොව, ටෝකියෝව ඒ වන විට ද සාම සාකච්චා ඉල්ලා ඇඟවුම් කර තිබුනි. ජපන් නාවුක හමුදාව සහ ගුවන් හමුදාව බොහෝ දුරට විනාශ වී තිබුනි. අනවරත ඇමෙරිකානු බෝම්බ හෙලීම් මගින් ජපාන කර්මාන්ත වලින් වැඩි හරිය කුඩු පට්ටම කර තිබුනි. ගිනිකුනාටු පතුරුවන දාහක ද්‍රව්‍ය යොදාගෙන ජපන් නගර ගිනි ලා සමතලා කිරීමට තමන්ට හැකිබව ඇමෙරිකාව පෙන්නුම් කර තිබුනි. 1945 ටෝකිය නගරයට දැමු ගිනිබෝම්බ - එය ම යුද අපරාධයකි- එක රැයකදී මරා දැමු සංඛ්‍යාව 87,000ක් යයි ගනන් බැලේ.

1945 ජුලි මස එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍යය, සහ සෝවියට් සංගමය ඇතුලත් පොට්ස්ඩාම් සාකච්චාවේදී ජපානය “කොන්දේසි විරහිතව යත් විය යුතු යයි” අවසාන නිවේදනයක් නිකුත් කර තිබුනි. හිරෝෂිමාවට ඇමරිකානු බෝම්බය පතිතව දිනකට පසු අගෝස්තු 8 දා සෝවියට් සංගමය ජපනුන් විසින් එතෙක් අල්ලා ගෙන තිබුනු මැන්චුරියාව ආක‍්‍රමනය කොට පැසිෆික් යුද්ධයට ඇතුලු වීමෙන්, ජපානයට තිබුනු අන්තිම පිදුරුගස ද අහිමි විය. ඉන් දිනකට පසුව ටෲමන් දෙවන පරමානු බෝම්බය නාගසාකි නගරය ට දැමීමට තීන්දු කලේ, ඉදිරියේ එන ජපානය යටත් වීමේ සාකච්චා වල මූලාසනය එක්සත් ජනපදයට සහතික කර ගැනීමට ය. හිරෝහිතෝ අධිරාජයා අගෝස්තු 15 දා ජාතිය අමතා කල කතාවේදී ජපානයේ යටත් වීම ප‍්‍රකාශයට පත් කරන ලදී.

හුදෙක් ජපන් පාලන තන්ත‍්‍රය පමනක් නොව, විශේෂයෙන්ම සෝවියට් සංගමය ත‍්‍රස්ත කොට යුද්ධයෙන් පසු සමයේ එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය සහතික කර ලීමේ ඇමෙරිකානු අරමුන මෙම නිර්දය පරමානු බෝම්බ හෙලීමෙන් පෙන්නුම් කෙරුනි. ජනශූන්‍ය ප‍්‍රදේශයකට බෝම්බය හෙලන ලෙසට කල විද්‍යාඥයින්ගේ ඉල්ලීම ටෲමන් පාලනය විසින් පිලිකෙව් කරනු ලැබුවේ වොශින්ටනයට, හුදෙක් න්‍යෂ්ටික බෝම්බයක ඉමහත් විනාශකාරි ශක්තිය පමනක් නොව, එවැන්නක් සිවිල් ජනකායක් මත හෙලීමට තමන් සුදානම් බවට කල්තියා අනතුරු හැඟවීමට ද උවමනාවූ නිසා ය.

ගෝලීය මූල්‍ය බිඳවැටීම ත් සමග අවුරුදු 70 කට පසුව භූ දේශපාලන ආතතීන් ද තුන්වන ලෝක යුද්ධයක අන්තරාය ද වේගයෙන් උග‍්‍ර වෙමින් ඇත.

ලෝක ආර්ථිකකය ද යල්පැන ගිය ජාතික රාජ්‍ය පද්ධතිය ද නිෂ්පාදන බලවේගයන්ගේ සමාජකෘත නිෂ්පදනය සහ පුද්ගලික අයිතිය ද අතර පවත්නා ධනවාදයේ අති මූලික ප‍්‍රතිඝතිතාවෝ - විසිවන සියවස තුල ලෝක යුද්ධ දෙකකට මග පාදමින් අලුත් ගෝලීය වහ්නි ජාලයකට දොර හරියි.

අද දින ලෝකයේ සාතිශය අස්ථායි කාරක සාධකය වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයයි. 1991 දී සෝවියට් සංගමය බිඳ වැටීමෙන් ඉක්බිත්තේ වොශින්ටනය, ඇමෙරිකාවේ උග‍්‍රවන ආර්ථික පිරිහීම වලක්වාගැනීමට මැද පෙරදිග, බෝල්කන් අර්ධද්වීපය, සහ මධ්‍යම ආසියාවේ, සිය මිලිටරි ශක්තිය යොදාගනිමින් යලි යලිත් යත්න දරා ඇත. ගිය අවුරුද්දේ වොශින්ටනයේ කුමන්ත‍්‍රන සහ ආක‍්‍රමන වඩවඩාත් ඉවබව නැති මට්ටමකට නැගුනි. ඒවා විශේෂයෙන් ම එල්ල කෙරී ඇත්තේ චීනයට සහ රුසියාවට එරෙහිවය.

සියලුම අධිරාජවාදී බලවත්තු යුද්ධයට සැරසෙමින් සිටිති. ජර්මනිය සහ ජපානය යුද්ධයෙන් පසුව තමන් මත පැනවුනු මිලිටරි තහංචි ඉවත දමා වේගයෙන් යලි සන්නද්ධ වෙමින් සිටිති. දැනට එක්සත් ජනපද යුද සන්ධානයේ රාමුව තුල වැඩ කරන නමුදු ඔවුන්ගේ ආර්ථික සහ මූලෝපායික ආසක්තතා, වොශින්ටනය සමග හැප්පෙන තැනකට ඔවුන් ඇද දැමිය හැකිය. වොශින්ටනය සහ ජපානය අතර අවසන් වරට යුද්ධය හටගැනුනේ, ආසියාව සහ චීනය පාලනය කරන්නේ කවුද යන්න උඩ බව අමතක නොකල යුතුය.

දෙවන ලෝක යුද්ධය අවසන් වුනේ පරමානු බෝම්බ හෙලිමෙනි. තුන්වැන්නක් අනිවාර්යයෙන්ම ඇරඹෙනු ඇත්තේ හිරෝෂිමාවේ සහ නාගසාකියේ බෝම්බ අඟුටුමිට්ටන් බවට පත් කරන න්‍යෂ්ටික අවි වලිනි. එක්සත් ජනපදය සිය මිලිටරි අධිකාරය දිගින් දිගටම පවත්වාගෙන යන බව තහවුරු කරමින් ඉදිරි වසර 30 තුල තම දැවැන්ත න්‍යෂ්ටික ආයුධ ගබඩාව හා බෙදාහැරීමේ පද්ධතිය නවීකරනය කර වර්ධනය කිරීම සඳහා ඩොලර් ටි‍්‍රලියනක් ආයෝජනය කරනු ඇත.

අවුරුදු 70කට පෙර ජපානය මත හෙලන ලද පරමානු බෝම්බ වලින් උගත යුතු පාඩම නම්, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුලු අධිරාජ්‍ය බලවතුන් සිය ආසක්තයන් රැකගැනීම සඳහා, කුමන විනාශයක් වුව කැටීමට නොපැකිලෙන බවත් නිර්දය ලෙස මානව වර්ගයාගේ පැවැත්මට වුව තර්ජනය කිරීමට සුදානම් බවත්ය. ලාභ ගැරීමේ පද්ධතිය පෙරලා දමන විප්ලවවාදී අරගලයකින් න්‍යෂ්ටික ව්‍යසනයක් වලැක්වීමට සමර්ථ එකම බලවේගය ජාත්‍යන්තර කම්කරු පන්තියයි. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ද ලෝකය පුරා එහි ශාඛා වන සමාජවාදී සමනතා පක්ෂ ද ජාත්‍යන්තර කම්කරු පන්තියේ සමාජවාදී පිලිවෙත් මත පදනම් වූ යුද-විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට කරන්නා වූ අරගලයේ අර්ථ භාරය එයයි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: