ලෝක ධනවාදය “ව්‍යසනයක් කරා ලුහුටා යයි”

World capitalism “toboggans toward catastrophe”

2015 අගෝස්තු 19

වෝල් වීදියේ බිඳ වැටීමෙන් වසර හතකට පසුව ජාත්‍යන්තර පාලක පන්තීන් තුල, ලෝක ධනපති ආර්ථිකය ප්‍රකෘතිය කෙසේ වෙතත්, අවපාතයකට ඇද වැටෙමින් තිබෙන බවට බියක් පැතිර යමින් තිබේ. වෙලඳාම හා නිෂ්පාදනය බිඳ දමන ඊලඟ මූල්‍ය අර්බුදය ඇතිවන්නේ කොතැන්හි ද යන්න පිලිබඳ සමපේක්ෂන පැතිරෙමින් තිබේ. සිදුවීම්වල එවන් නැඹුරුවක් වලක්වන්නේ කෙසේද යන්න පිලිබඳව පොදුවේ පවතින්නේ ව්‍යාකූලත්වයකි.

2008 පසුබෑමෙන් ඉක්බිතිව ලෝක ආර්ථික වර්ධනයේ ‘එංජිම' වනු ඇතැයි පූර්වයෙන් කියා සිටි චීනය හා ඊනියා “නැඟී එන ආර්ථිකයන්” ලෙස හැඳින්වූ එම රටවල්ම, නව ගෝලීය අවපාතයක් මුදාහැරීමට බෙහෝ සෙයින්ම ඉඩ ඇති තැන් බව දැන් සලකනු ලබයි.

ලෝක ආර්ථිකයේ කැපී පෙනෙන සුලු මන්දගාමිත්වය හා කොටස් වෙලඳපොලේ දිග්ගැස්සෙන කලබැගෑනිය හමුවේ චීනය, සියල්ලන් මවිතයට පත් කරමින් සිදුකල මුදල් අවප්‍රමානය, එරට අර්බුදය කලින් සිතුවාට වඩා ගැඹුරුය යන බිය වැඩිකර තිබේ. ලතින් ඇමරිකාවේ, නැඟෙනහිර යුරෝපයේ, ආසියාවේ හා අප්‍රිකාවේ නැඟී එන ආර්ථිකයන්, සිය කොටස් හා බැඳුම්කර වෙලඳපොලවල් හා මුදල හැකිලී යාමට ද ඇමරිකානු ඩොලරයේ අගය ඉහල යාම මඟින් නය බර උග්‍ර අතට හැරීමේ කොන්දේසි වලට ද මුහුනපා සිටියි.

මෙම සියලු ක්‍රියාවලීන්ට ගාමකය සපයා ඇත්තේ, තෙල් හා ස්වාභාවික ගෑස්වල සිට තඹ, යකඩ හා අනෙකුත් ලෝහ දක්වා වන මූලික භාන්ඬවල මිල පහත වැටීම මඟින් සලකුනු කර ඇති ගෝලීය අවධමනාත්මක පීඩනයන් දැඩි වීමෙනි.

යුරෝපය හා ජපානය පසුබෑමේ ගිලී සිටින අතර ඇමරිකාවේ “ප්‍රකෘතිය” බිඳෙන සුලු හා හිස් බව පෙනී යද්දී, ලෝක ධනවාදය ව්‍යසනයකින් ගලවා ගැනීමට රටක් හෝ රටවල් කන්ඬායමක් සමත් වන බවට කිසිදු හෝඩුවාවක් ඇත්තේ නැත.

මෑත පලවූ පරියේෂන සටහනක් තුල ලෝකයේ තුන්වන ලොකුම HSBC බැංකුවේ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ස්ටෙෆන් කිං සඳහන් කරන්නේ, “ලෝක ආර්ථිකය ජීවිතාරක්ෂක බෝට්ටු නැති සාගර මඟී නැවක් වැනිය” යනුවෙනි. ඔහු එල්බී ඇති ප්‍රධාන අනතුරු තුනක් පෙන්වා දෙයි: කොටස් වෙලඳපොල බිඳවැටීමේ අන්තරාය, රක්ෂන සමාගම් හා විශ්‍රාම අරමුදල් සිය පොරොන්දු ඉටුකිරීමට අසමත්වීම හා ඇමරිකාව පසුබෑමකට හෝ අවපාතයකට ඇදගෙන යා හැකි චීනයේ පසුබෑමක් පිලිබඳ අපේක්ෂා ය.

චීනය, “කම්පන අවශෝෂකයක් shock absorber, අවධමනාත්මක ප්‍රහාර උරාගැනීමේ හැකියාවෙන් යුතු බව පෙනෙන බොක්සින් බෑගයක් punch bag” ලෙස හඳුන්වමින් කිං තවදුරටත් පවසන්නේ, “එසේ නොමැති වුවහොත් ගෝලීය වර්ධනය මුලුමනින්ම පීලි පනිනු ඇති” බවය. “සිය අභ්‍යන්තර අසමතුලිතතා ජය ගැනීමට දැන් චීනය කටයුතු කල යුතුව ඇති බව නිසැකය. එහෙත් (චීනය) එසේ කරන විට, අවශේෂ ලෝකය නව කම්පන ප්‍රතිරෝධකයක් සොයා ගැනීම අවශ්‍යය. එම කර්තව්‍ය සඳහා කිසිදු ආර්ථිකයක් සමත්වේ ද යන්න කිසිසේත්ම පැහැදිලි නැත.”v

මහා පසුබෑමේ තැන් පටන් ගෝලීය නය, ගෝලීය ආර්ථිකයෙන් තුන් ගුනයක් තරම් වන පරිදි, ඩොලර් ට්‍රිලියන 200න් එනම් සියයට 40න් ඉහල නැඟී ඇත. මෙසේ ලඹදෙමින් ඇති දැවැන්ත නය කන්දරාව, නව අර්බුදයක් සමඟ පොරබැදීමේ ආන්ඩු හා මහ බැංකු වල හැකියාව දැවැන්ත ලෙස සීමාකර ඇති බව ද කිං පවසයි.

“එක්සත් ජනපදය ඊලඟ අර්බුදයට අවශ්‍ය මූනිස්සම් හිඟයකින් පෙලේ” යන හිසින් 18දා වෝල් ස්ට්‍රීට් ජර්නලය මුල් පිටුවේ ලිපියක් පලකලේය. 2008 දෙසැම්බරයේ පටන් පොලී අනුපාත ශුන්‍යයට ආසන්නව පවත්වාගෙන යාමෙන් පසුව හා සිය ශේෂ පත්‍රය ට්‍රිලියන 4ක් දක්වා හතර ගුනයකින් වැඩිකර ගැනීමෙන් පසුව, නය බරින් මිරිකී සිටින ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුවට තවත් අර්බුදයක් හමුවේ පොලී අනුපාත සැලකිය යුතු තරමින් පහත හෙලීමට නොහැකිවීම ගැන සඳහන් කරන පුවත්පත, ඊලඟ පසුබෑමේ පහර එල්ලවන විට එයට මුහුනදීම සඳහා ප්‍රතිරෝධක නොමැතිවීම ගැන පසුතැවෙයි.

අනතුරක පෙර නිමිති ගැන කනස්සල්ල, මෑත සිදුවීම් මඟින් දැඩි කර ඇත. පසුගිය සතිවල චීනය සිදුකල මුදල් අවප්‍රමාන, ගෝලීය කොටස් වෙලඳපොලවල් පහතට ඇද දමන, තරඟකාරී මුදල් අවප්‍රමාන හා වෙලඳ යුද්ධ පිලිබඳ භීතිය වපුරවා ඇත. තමන් සිදුකලේ තම හුවමාරු අනුපාතිකයේ අලුත් නිවැරදි කිරීමක් සොයා බැලීම පමනක් බවට බීජිනය දුන් පොරොන්දුවෙන් පසුව සතිය අවසන්වන විට මූල්‍ය වෙලඳපොලවල ස්ථාවරත්වයක් ඇති විය.

එහෙත් 18දා වන විට ෂැංහයි සංයුක්ත දර්ශකය සියයට 6.2න් පහත වැටීමත් සමඟ චීන කොටස් මිල දර්ශක හැකිලී ගියේය. සියයට 8.5න් පහත වැටුනු එය, ජූලි 27න් පසුව ඇතිවූ විශාලතම කොටස් විකුනා දැමීමයි. ඒ සමඟම, රටේ කොටස් වෙලඳපොලට දැවැන්ත ලෙස අරමුදල් එන්නත් කිරීමෙන්, බිඳවැටීමක් වලක්වා ගැනීමට රෙජිමය අසමත් වනු ඇති බවට නව කනස්සල්ලක් පැතිර ගියේය.

චීන අර්බුදයේ දේශපාලන පරිමාව මඟින් මෙම කනස්සල්ල තවත් දැඩි කර ඇත. ටියෑන්ජින්හි බිහිසුනු පිපිරීමෙන් ඉක්බිතිව හා වසර හතරකට පෙර තිබුනාක් මෙන් විසි ගුනයකින් පමන වැඩි කම්කරු විරෝධතා හා වැඩවර්ජන මඟින් සලකුනු කරන කම්කරු නොසංසුන්තාවයේ වැඩෙන රැල්ලක් හමුවේ, ලෝකයේ පැවති දැවැන්තම ලාභ ශ්‍රමය සහිත නිෂ්පාදන මධ්‍යස්ථානය බවට චීනය පරිවර්තනය කිරීමේ ක්‍රියාදාමය මෙහෙයවූ ස්ටැලින්වාදී රෙජිමය ලිහී යනු ඇති බවට ධනපති ආන්ඩු හා බැංකුකරුවෝ බියට පත් වෙති.

චීන අර්බුදයමත්, ලෝක ආර්ථිකය තුල පහතට නැඹුරු පොදු ගමන් පථය පිලිබඳ ප්‍රකාශනයකි. මේ වසරේ දෙවන කාර්තුව තුල ජපානය හැකිලීමේ හා යුරෝපය තවත් පල්වීමේ තත්වයකට මුහුන පෑවේය.

බොහෝ සෙයින් කථාබහට ලක්ව ඇති ඇමරිකාවේ ප්‍රකෘතිය, හිස් බව සනාථවෙමින් තිබේ. පසුගිය දෙදින තිස්සේ ෆෙඩරල් මහ බැංකුව වාර්තා කලේ, නිව් යෝර්ක් කලාපයේ නිෂ්පාදන කටයුතු තියුනු ලෙස පිරිහෙමින් ඇති බවත්, ලෝකයේ විශාලම සිල්ලර වෙලඳ සමාගම වන වොල් මාර්ට්, දෙවන කාර්තුවේ සිය ලාභය බෙහෙවින් පහත වැටුනු තතු හමුවේ, තම වාර්ෂික ආදායම පිලිබඳ දැක්ම පහත හෙලා ඇති බවත්ය. ව්‍යාපාර ලාභයේ හා කොටස් මිලෙහි වාර්තාගත වැඩිවීම් හමුවේ ඇමරිකානු කම්කරුවන්ගේ නරක අතට හැරෙන තත්වය පිලිබඳ කැපී පෙනෙන දර්ශකයකි වොල් මාර්ට්හි පසුබෑම.

මෙම වර්ධනයන් පෙන්නුම් කරන්නේ, 2007-09 පසුබෑමෙන් පසුව ඇතිව තිබෙන බව කියන ඊනියා ගොඩඒම පවතින්නේ, කුනුවූ පදනම් මත ය යන කාරනයයි. පලමුවෙන් පැමිනියේ, ආන්ඩුවේ වරදාන, මහ බැංකුවේ මුදල් අච්චු ගැසීම හා මුලුමනින්ම පාහේ නොමිලයේ සැපයූ නයෙහි ස්වරූපයෙන් මූල්‍ය කතිපයාධිකාරයට ඇප දීමේ බහු ට්‍රිලියන වැඩසටහනයි. මෙය, මූල්‍ය වෙලඳපොලවල් කැටි ගැසීමෙන් මුදා හැරීමටත්, ලෝක වෙලඳාම යලි පන ගන්වමින් දියුනු රටවල නිෂ්පාදනයේ සීමිත පනගැන්වීමක හැකියාව ඇති කල දැවැන්ත උත්තේජක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේ අවකාශයත්, චීනයට ලබා දුන්නේය.

මෙම පියවරයන් සමඟ අත්වැල් බැඳගෙන, යුරෝපයේ හා ඇමරිකාවේ කම්කරු පන්තියෙහි ජීවන තත්වයන් තිරසාර ලෙස කපා හැරීම අරමුනු කරගත් රුදුරු සමාජ කප්පාදු හා වැටුප් කැපීම් ආරම්භ විය. 2009 ප්‍රකෘතිය ඇරඹී තැන් පටන් ජනාධිපති ඔබාමා යටතේ රාජ්‍ය, ප්‍රාදේශීය හා ෆෙඩරල් ආන්ඩුවේ සමස්ත වියදම්, උද්ධමනයට ගැලපූ කල, සියයට 3.3න් හැකිලී ඇත. ඒ, පශ්චාත් යුද්ධ ප්‍රසාරනයේ අවධීන්හි සියයට 23.5ක සාමාන්‍ය වැඩිවීමට සාපේක්ෂවය.

දැවැන්ත ධන සම්භාරයක් පහල සිට ඉහලට මාරු කිරීමේ ප්‍රතිපලයක් ලෙස, ව්‍යාපාරික ලාභ, කොටස් මිල ගනන් හා පොහොසතුන්ගේ ද සුපිරි ධනවතුන්ගේ ද වාසනාව පිම්මේ ඉහල නඟිද්දී සමාජ අසමානතාවය පෙර නොවූ විරූ මට්ටම් කරා ලඟාවී තිබේ. එහෙත් මෙම පන්ති යුද්ධයේ පිලිවෙත් අර්බුදය විසඳීම කෙසේ වෙතත්, අර්බුදයම නිර්මානය කල පරස්පර විරෝධයන් උග්‍ර කර, අවපාතය දිසාවට යොමුවූ ප්‍රවනතා ශක්තිමත් කර ඇත.

මෙම ක්‍රියාවලිය, ව්‍යාපාරික-මූල්‍ය ප්‍රභූව තුල සාපරාධිත්වය හා මූල්‍ය පරපුටුකම තවදුරටත් පුලුල් වීම තුල ප්‍රකාශනය අත්කර ගනී. පසුබෑමේ හදවතෙහිම ඇත්තේ, නිෂ්පාදන ආයෝජනයන්හි පරිහානියයි. යහපත් වැටුප් ගෙවන රැකියා සම්පාදනය කෙසේ වෙතත්, නිෂ්පාදන බලවේග ප්‍රසාරනය කිරීමට හා සංවර්ධනයටත් පරියේෂනත් සඳහා යොදවනවා වෙනුවට, බැංකුකරුවන් හා විධායකයින් බිලියන ගනන් වන සිය දැවැන්ත ලාභය යොදවන්නේ, වාර්තාගත මට්ටමකින් කොටස් යලි මිලට ගැනීමට හා අත්පත්කර ගැනීම් වෙනුවෙනි. මෙම මූල්‍ය කුමන්ත්‍රන, කම්කරුවන්ගේ රැකියාවල හා ජීවන තත්වයන්ගේ වියදමෙන් මූල්‍ය කතිපයාධිකාරයින්ගේ පෞද්ගලික ධනය වැඩිකරයි.

ලෝක ආර්ථිකයේ පල්වීම හා පාලක පන්තීන්ගේ ව්‍යාකූලකම සනාථ කරන්නේ, එවක ලෝක සමාජවාදී වෙබ් අඩවිය, 2008 සැප්තැම්බරයේ මූල්‍ය අර්බුදය ධනේශ්වර ක්‍රමයේ හුදු වාරික සිදුවීමක් නොව, අති මූලික බිඳවැටීමක ආරම්භය බවට කල, විශ්ලේෂනයයි.

ධනවාදයේ බිඳවැටීම යුද්ධය සඳහා වන ගාමකය උත්සන්න කරයි. හැකිලුනු වෙලඳපොලවල් හා පහත වැටෙන ඉල්ලුමේ කොන්දේසි යටතේ සෑම ජාතියකටම අයත් ධනපතියෝ, අවසානයේදී මිලිටරි ප්‍රචන්ඬත්වය උපයෝගීකර ගැනීමෙන් විසඳාගන්නා ගැටුම් උග්‍ර කරමින් සිය ප්‍රතිවාදීන්ගේ වියදමෙන් තම පංඟුව වැඩිකර ගැනීමට උත්සාහ කරති. ඒ අතරම පාලක පන්ති, සිය රටවල් තුල නැඟෙමින් ඇති සමාජ ආතතීන්, ජාතික ස්වෝත්තමවාදය හා මිලිටරිවාදයේ පදනම මත බැහැරට හරවා යැවීමට වෑයම් කරති.

ධනවාදයේ රාමුව තුල නම් අර්බුදය, මලේච්ඡත්වයේ හා යුද්ධයේ මාවතකින් හැරෙන්නට විසඳාගත නොහැකිය. ඉතිහාසයේ අන් කවර කලෙකටත් වඩා ඒකාග්‍රවී ඇති ලෝක ආර්ථිකය, එදිරිවාදී ජාතික රාජ්‍යයන්ගේ රාමුව තුල හා නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික අයිතිය තුල තර්කාන්විත ලෙස වර්ධනය කල නොහැකිය.

අවසාන මහා අවපාතය මධ්‍යයේ හා දෙවන ලෝක යුද්ධය ආසන්නයේ 1938දී ලියොන් ට්‍රොට්ස්කි, හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල වන සංක්‍රමන ක්‍රියාමාර්ගයේ මුල් ඡේදය තුල ලියා තැබුවේ, සිය අර්බුදයෙන් ගැලවීමේ මාවතක් නොදකින ධනේශ්වරය, “ආර්ථික හා මිලිටරි ව්‍යසනයක් කරා දෑස් පියාගෙන ලුහුටා යන” බවයි. ඔහු කථා කලේ, “අධිෂ්ඨානය අතින් පක්ෂාඝාතවූ සීමාවට පැමින සිටින ව්‍යාකූලත්වයට පත්” ධනේශ්වරයේ සම්ප්‍රධායික පක්ෂ ගැනය.

එම වචන වර්තමාන තත්වයට පූර්න බලය සහිතව අදාල වන්නේය. එසේම එහි ආරම්භක වාක්‍ය තුල කැටිකර දක්වන සංක්‍රමන ක්‍රියාමාර්ගයේ මූලික තේමාව වන “සමස්තයක් ලෙස ලෝක දේශපාලන තත්වය ප්‍රධානකොටම, කම්කරු පන්තියේ නායකත්වය පිලිබඳ ඓතිහාසික අර්බුදයක් මඟින් සංලක්ෂිතව ඇත” යන්න ද අදාල වේ.

ධනේශ්වර අර්බුදය ජාත්‍යන්තර කම්කරු පන්තියෙන් ඉල්ලා සිටින්නේ විප්ලවවාදී අරගලයයි. තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විප්ලවවාදී නායකත්වය ලෙස ගොඩනැඟීමයි. කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා අරගලයට ද එලඹෙන අරගලයන් තුලට සමාජවාදී විප්ලවයේ ක්‍රියාමාර්ගය ගෙනයාමට ද එය නැතිවම බැරිය.

බැරී ග්‍රේ

Share this article: