චීන මුදල අවප්‍රමානය කිරීමෙන් මතු වන ගෝලීය අස්ථාවරත්වය

Chinese currency devaluation underscores global instability

2015 අගෝස්තු 12

රෙන්මින්බි (යුවාන් ලෙස ද හඳුන්වන) මුදලේ අගය සියයට 2 කින් අඩු කරන්නට අඟහරුවාදා ගත් චීන රජයේ මවිතකරවන සුලු පියවර නිසා, ගෝලීය මූල්‍ය වෙලඳපොලවල් හෙල්ලුම් කෑවේය. එසේ වූයේ මෙම තීරනයේ ක්ෂනික බලපෑමට වඩා, චීන ආර්ථිකයේ තත්ත්වයත් සමස්තයක් ලෙස ලෝක ධනවාදයේ ස්ථාවරත්වයත් සම්බන්ධව ඉන් කෙරෙන ඇඟවීම නිසාවෙනි.

ඇමරිකානු ඩොලරයට තදින් ගැට ගසා තිබුනු තම මුදල් ඒකකය 2005 දී අත්හල චීනය, එය පාලිත පාවීමකට ඉඩ හැරීමෙන් මෙපිට, මෙම පියවර චීන මූල්‍ය ඒකකයේ විශාලතම එක් දින විතැන්වීම විය. ඊයේට පෙර, මේ වසරේ සිදුවූ විශාලතම විතැන්වීම සියයට 0.16 ක ගැලපීම ක් විය.

චීන ආර්ථිකය මත ගොඩ ගැසෙන ගැටළු පෙන්වන සංඛ්‍යාවන් මධ්‍යයේ මෙම අවප්‍රමානය පැමිනියේය. මේ වසර පුරාවටම පහල වැටුනු අපනයන, ජූලි මාසයේදී නැවතත් සියයට 8.3 කින් ඇද වැටුනි. ආනයනද පහත වැටුනි. අමු ද්‍රව්‍ය සඳහා චීන කර්මාන්තවල ඉල්ලුමෙහි අඩුවීම පෙන්නුම් කරමින්, ජූනි මාසයේදී සියයට 6.1 ක පසුබෑමට ලක් වූ ආනයන, ජූලි හිදී පෙර වසරට සාපේක්ෂව සියයට 8.1 කින් ඇද වැටුනි.

දෙවන කාර්තුව සඳහා නිල වර්ධන අනුපාතය, රජයේ ඉලක්කයට ආසන්න සියයට 7 ක් වෙද්දී, බොහෝ ස්වාධීන විශේෂඥයන්ට අනුව නියම වර්ධනය බොහෝදුරට සියයට 4 කට ආසන්න වේ. නිල සියයට 7 අගයම වුවත් වසර හයක් පුරා සලකුනු වූ අවම මට්ටමයි.

1997-98 හි සිදුවූ ආසියානු මූල්‍ය අර්බුදයට හෝ 2008 සැප්තැම්බරයේදී සිදුවූ ගෝලීය ආර්ථික අර්බුදයත් සමග පැමිනි ලෙහ්මන් බ්‍රදර්ස් කඩා වැටීමට ප්‍රතිචාර වශයෙන් චීන බලධාරීන් මූල්‍ය අගය අවප්‍රමාන නොකිරීමේ ආස්ථානය සමඟ සලකන කල, අඟහරුවාදා තීරනයේ සුවිශේෂීතාවය කැපී පෙනෙයි.

වසර හතකට පෙරාතුව, චීන ආර්ථිකයේ අභිවෘද්ධිය වෙනුවෙන්, නය ප්‍රසාරනයක් සමග ඈඳුනු (සමස්ත ඇමරිකානු මූල්‍ය ක්‍රමයයේ අගයට සමාන යයි ඇස්තමේන්තු කල) දැවැන්ත උත්තේජන පැකේජයක් ක්‍රියාවට දැමීම ඔවුන් ඊට දැක්වූ ප්‍රතිචාරය විය. චීනයේ ප්‍රධාන අපනයන වෙලඳපොල වන ප්‍රධාන ධනපති රටවල්වල ආර්ථිකයන් සීඝ්‍ර ඇදවැටීමකින් පසුව, නැවතත් ගොඩඒවිය යන්න බලාපොරොත්තුව විය.

කෙසේවුව ද 2008 අර්බුදය, චීන ආන්ඩුවේ ඉදිරි දර්ශනයට අදාල වු, හුදු තාවකාලික (පවත්නා තත්වයේ) ආර්ථික පිරිහීමක් නොවූ අතර, ක්‍රමවත් බිඳවැටීමක ආරම්භය විය. ජපානයේ හා ඇමරිකාවේ වර්ධන අනුපාතයන් ඓතිහාසික අවම මට්ටමක පවතින අතරේදී යුරෝපයේ නිෂ්පාදන, 2007 හි පැවති මට්ටමට නැවත පැමින නැත. පසු ගිය අප්‍රේල් හිදී, 2008 පෙර පැවති වර්ධන අනුපාත කරා ආපසු යෑම සිදු නොවිය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන්නේය.

වසරකට පෙර පැවති මට්ටමට අනුව යුරෝපයට කරන අපනයනවල සියයට 12 ක පසුබෑමක් සහ ජපානයට කරන අපනයනවල සියයට 10ක වැටීමක් සමග චීනය, දරුනු ප්‍රහාරයකට ලක්ව ඇත.

අපනයන අභිවෘද්ධිය වෙනුවෙන් තම මුදල් ඒකකවල අගය හිතාමතාම අවම කරන රටවල් බොහොමයක් මෙන් ගෝලීය මුල්‍ය යුද්ධයකට සම්බන්ධවීමට බලාපොරොත්තු නොවන බව, තම නිල ප්‍රකාශනයෙන් චීනයේ මහජන බැංකුව යලි යලිත් අවධාරනය කලේය. පසුගිය අවුරුද්ද පුරා සියයට 10 කට වැඩි ගනනකින් තම මුදල් ඒකකය ඉහල යාම සැලකිල්ලට ගෙන, විනිමය අනුපාතය වඩා “වෙලඳපොල මත පදනම් කිරීමේ” අරමුනෙන්, මෙය “එක් වරක් පමනක් ගැනෙන” තීරනයක් බව එය පැවසීය.

චීන තීරනය ගැන ඇමරිකානු නිල ප්‍රතිචාරයේ සාපේක්ෂ මුනිවත රැකීම පසුපස ඇත්තේ, ගෝලීය ආර්ථිකයේ තත්ත්වය සම්බන්ධව චීන පියවර මඟින් ඇඟවුම් කරන දේ ගැන ඇතිව තිබෙන බිය යි.

ගෝලීය සංචිත ව්‍යවහාර මුදල් ඒකකයක් වන්නට රෙන්මින්බි හට ඉඩ දෙන කිසියම් තීරනයක් “කුකුල් කූඩුව බලාගන්නට නරියෙකු යෙදවීම” වැන්නක් හැඟවෙන බව පවසමින්, නිව්යෝක් හි ජේෂ්ඨ ඩිමොක්‍රටික සෙනෙට් සභිකයෙක් වන චාල්ස් ස්කූමර් එම තීරනයට එරෙහිව දෝෂාරෝපනය කරන අතරේදී, ඇමරිකානු භාන්ඩාගාරය වඩ වඩාත් පරිස්සම් වී තිබේ.

තම නිල ප්‍රකාශනය තුල භාන්ඩාගාරය, “අද නිවේදනය කල වෙනස්කම්, වෙලඳපොල මගින් නිශ්චය කෙරෙන විනිමය අනුපාතයක් කරා යන තම ගමනේ තවත් පියවරක් ලෙස, චීනය පෙන්නුම් කර ඇතැ”යි සඳහන් කර තිබේ. “එය එක්සත් ජනපද පිලිවෙතට ගැලපෙන්නේය. මෙම වෙනස්කම් කෙසේ ක්‍රියාවට නංවන්නේදැයි දිගටම විමසිලිවත් වන බව” සඳහන් කරන ප්‍රකාශනය “ප්‍රතිසංස්කරනයන්හි කිසියම් ප්‍රතිවර්තනයක් ප්‍රවර්ධනයට බාධා කරනු ඇති” බවට අනතුරු ඇඟවීය.

චීනයේ ක්‍රියාව මඟින් ලෝකයේ දෙවැනි විශාලතම ආර්ථිකය, යටිකුරු සර්පිලයක් වෙත රැගෙන යනු ඇතැයි පවතින බිය, කොටස් වෙලඳපොලින් හා වෙලඳ භාන්ඩ මිලගනන්වලින් පෙන්නුම් කෙරිනි. කාර්මික වෙලඳ භාන්ඩ මිල තවදුරටත් පහල යන අතර ඒවා යුරෝපයේදී සීඝ්‍ර වැටීමකට ද ආසියාවේදී පසුබෑමකට ද පසුව ඇමරිකාවේදී ඩව් ජෝන්ස් කොටස් මිල දර්ශකය ඒකක 212 කින් පහත වැටීමකට ද බලපා ඇත.

තෙල් මිලෙහි ප්‍රමිතිය වන බ්‍රෙන්ට් ක්රූඩ්, බැරලයකට ඩො 50 ට අඩු අගයකට පහල වැටෙන අතර, ගෝලීය ආර්ථික ක්‍රියා කටයුතු පිලිබඳ දර්ශකයක් ලෙස සැලකෙන තඹ, නව සය-අවුරුදු අවමය සලකුනු කරමින් සියයට 4 කින් පහල ගියේය. යපස් සෑරීමේ පතල් සමාගමක් වන බීඑච්පී බිලිටන් හි කොටස් සියයට 5 කින් අඩු වෙද්දී, වෙලඳ භාන්ඩ කතිපයාධිකාරයක් වන ග්ලෙන්කෝර් හි කොටස් වාර්තාගත අවමයක් වන සියයට 7.3 කට පහත බැස්සේය.

චීන මුදල් ඒකකය පිලිබඳ වෙනස්කම්, සමස්තයක් ලෙස ගෝලීය ආර්ථිකයෙහි මන්දාවධමන ප්‍රවනතා ගැඹුරු කරනු ඇති බවට බියක්, වෙලඳපොල ප්‍රතිචාර මගින් පෙන්නුම් කෙරේ.

2008 හි ගෝලීය මූල්‍ය අර්බුදයෙන් ක්ෂනික ඉක්බිත්තේ, ලෝක ආර්ථිකය සඳහා වර්ධන එන්ජිමක් ලෙස චීනයට සේවය කල හැකි බවට අදහසක් ඉදිරිපත් විය. ටික කලකට පෙරාතුව එම මායාව සුන් කර දැමුනි. චීන ආයෝජනවල සහ දේපල වෙලඳාම් උත්පාතයේ ලිහිල් වීමක් මහා ගෝලීය ප්‍රතිවිපාක, විශේෂයෙන්ම චීන ආර්ථිකය මත යැපෙන ඊනියා නැගීඑන ආර්ථිකයන්හි ඇතිකරනු ඇතැයි යන වැඩෙන බියකින් එය විස්ථාපනය කරනු ලැබ ඇත.

ලෝක බැංකුව සමග සහයෝගයෙන් වැඩ කරමින්, ආර්ථික වර්ධනය සඳහා අළුත් අත්තිවාරමක් සපයන්නට වෙලඳපොල බලවේගයන් වෙත මූලය ක්‍රමය විවෘත කරමින්, චීන රජය හා මූල්‍ය ආයතන ඔවුන්ගේ පැත්තෙන් මංමුලාසහගත වැඩ වලට පැනගත්තේය.

කොටස් වෙලඳපොලෙහි අධික ලෙස ආයෝජනය කරන්නට මධ්‍යම පන්තික කොටස් පෙලඹවීමට පසු ගිය වසරේ ගත් තීරනය පසුපස පැවතියේ මෙයයි. කෙසේවුව ද එම මුල් පිරීම ආසන්න ව්‍යසනයකින් අවසාන විය. ආන්ඩුවෙන් ඇතිකල කොටස් වෙලඳපොල බුබුල පාලනය කරන්නට මූල්‍ය අධිකාරීන් ජූනි මාසයේදී ක්‍රියා කල විට, ඩොලර් බිලියන සිය ගනනක අරමුදලක් ඇතුලු දැවැන්ත මැදිහත්වීමක් අවශ්‍ය වූ වෙලඳපොල කඩාවැටීමක් සහ සමාගම් සිය ගනනක් විසින් කොටස් විකිනීම් නවතා දැමීමක්, එ මගින් පැන නැංගේය.

කොමියුනිස්ට් පක්ෂය විසින් නියෝජනය කරන සුපිරි-ධනපතීන්ගේ කතිපයාධිකාරය වන චීන රෙජිමය, ආර්ථික අර්බුදයක් තුලින් සමාජ හා පන්ති අරගලයකට පාර කැපේ යයි ද එමගින් තම පාලනයේ නීත්‍යානුකූලභාවය ගැන අර්බුදයක් සහ පාලන බලය මත තම ග්‍රහනයට තර්ජනයක්වේ යයි ද මාරක බියකින් පසුවේ.

චීන රෙජීමයට එ පිටින්, මුල්‍ය අවප්‍රමාන කිරීම, ආර්ථික ස්ථාවරත්වය, නිරන්තර වර්ධනය සමග ප්‍රතිෂ්ඨාපනය කරන්නට කිසියම් වැඩ පිලිවෙලක් සම්පාදනය කිරීමට පාලක ආර්ථික හා මූල්‍ය ප්‍රභූන්ට නොහැකි කරවන ගැඹුරු ප්‍රතිවිරෝධතා පෙන්නුම් කරයි. මූල්‍ය පියවර ගැන අදහස් දක්වමින්, චීනය “තම වෙලඳ කොටස්කරුවන් අතරේ ඇති සුළු සටන් මහා පරිමාන යුද්ධයකට පෙලඹවීමක්” ඇති නොකරනු ඇතැයි ෆයිනෑන්ෂල් ටයිම්ස් සටහන් කලේය. කෙසේවුව ද “අදහස් එක් දෙයක්, ප්‍රතිවිපාක වෙනත් දෙයක්” එය තවදුරටත් කීවේය.

අන්තර්ජාතික ආර්ථිකය, සවිඥානික ගෝලීය විධානයක් හා පාලනයක් අවශ්‍ය කෙරෙන, වෙන කවරදාටත් වඩා ගැඹුරු ලෙස එකිනෙක හා සම්බන්ධව පවතී. නමුත් ධනවාදී පාලක පන්තීන් ජාතික-රාජ්‍ය පද්ධතියක් තුල මුල් බැස තිබේ. ඔවුන් අනෙකුන් හා ගැටෙන විටදී - සැමටම වඩා තියුනු ලෙස එක තැන පල්වීමේ හා කිඳා බැසීමේ තත්ත්වයන් යටතේ- තමන්ගේම අවශ්‍යතාවයන් ආරක්ෂාකරන්නට හා පෙරට ගන්නට, ඔව්හු බලාපොරෙත්තු වෙති.

චීන අවප්‍රමාන තීරනයෙන් ගම්‍ය වන ගෝලීය ආර්ථිකයේ අර්බුදයන් හා ප්‍රතිවිරෝධතාවන් විසඳාලිය හැක්කේ, එයට ආවේනික යල්පැනගිය ජාතික-රාජ්‍ය පද්ධතිය හා ලෝක ආර්ථිකය අතර ප්‍රතිවිරෝධය අභිබවා යන ගුනයෙන් යුත් සමාජ බලවේගයක් විසින් පමනි. එම බලවේගය, ධනවාදය මුලිනුපුටා දැමීමට හා සමාජවාදය ස්ථාපිත කරන්නට බලමුලු ගැන්වෙනු ඇති ලෝක කම්කරු පන්තියයි.

නික් බීම්ස්

Share this article: