ශ්‍රී ලංකාව: දෙමල ජාතික සන්ධානය අධිරාජ්‍ය ගැති මැතිවරන ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ඉදිරිපත් කරයි

Tamil National Alliance presents pro-imperialist manifesto in Sri Lankan elections

කේ. නේසන් විසිනි,2015 අගෝස්තු 5

දෙමල ප්‍රභූව නියෝජනය කරන දෙමල ජාතික සන්ධානය (TNA) ජුලි 25දා යාපනයේ පැවති පුවත්පත් සාකච්චාවකදී, මෙවර පාර්ලිමේන්තු මැතිවරනය සඳහා තම ප්‍රතිපත්ති ප්‍රකාශනය එලිදැක්වීය.

දෙමල බහුතරයක් වෙසෙන ප්‍රදේශ වල පැතිර යන ජනතාවගේ කෝපය හමුවේ ටීඑන්ඒ, ජනවාරියේ අමරිකානු අනුබලය ඇතිව සිදුවුනු තන්ත්‍ර මාරුව මගින් බලයට පත්වූ වර්තමාන වික්‍රමසිංහ-සිරිසේන ආන්ඩුවට සහය දැක්වීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි.

මෙම ප්‍රකාශනය, ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පසුගිය මැයි මාසයේ කල ශ්‍රී ලංකා සංචාරයේදී ලබා දුන් උපදෙස් වලට සපුරාම අනුකූලය. එහිදී ටීඑන්ඒ නියෝජිතයන් හමුවීමෙන් පසු කෙරී කියා සිටියේ, ඔවුන් “නව ආන්ඩුව රට වෙනුවෙන් මුලපුරා ඇති සුහද විසඳුමක් සඳහා වූ වැඩ පිලිවෙලට,” සහයෝගය දැක්විය යුතු බවයි.

කෙරී හමුවූ එක නියෝජිතයෙක් වන එම්.ඒ. සුමන්දිරන්ට අනුව, ඇමරිකානු රාජ්‍ය ලේකම් “තමන්ට බලපාන කරුනු සම්බන්ධයෙන් තම ආස්ථානය අත්හරින්නට යයි දෙමල ජනතාවගෙන් ඉල්ලා සිටිනවා නොවේ, සිංහල බහුතරය සමග අන්‍යොන්‍ය වශයෙන් එකඟ විය හැකි විසඳුමක් සඳහා ක්‍රියා කරන ලෙස පවසනවා පමනයි.”

ජනවාරියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ජය තහවුරු කිරීම සඳහා ඇමරිකාව විසින් අටවන ලද දේශපාලන පෙලගැස්වීම තුල තමන්ගේ භූමිකාව ගැන ටීඑන්ඒ විවෘතවම උදම් අනයි. එය පවසන්නේ: “මෙම අරමුනු සාක්ෂාත් කර ගැනීම සඳහා 2015 ජනවාරි 8දා අපි වැදගත් දායකත්වයක් ලබා දුනිමු” යනුවෙනි. එම මෙහෙයුමේදී, චීනය සමග සමීප සම්බන්ධතා ගොඩනගාගෙන සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ආවේ, ඇමෙරිකාවේ “ආසියාවට හැරීමේ” පිලිවෙත හා චීනයට එරෙහිව කෙරෙන යුද සුදානමට අනුකූලවය.

ටීඑන්ඒ නායක සම්බන්ධන් පැවසුවේ: “අපි අපගේ දේශපාලන විසඳුමක් සඳහා වූ ගමන නවත්වන්නේ නැහැ. මේ මැතිවරනයේ ප්‍රතිපලයත් ජනවාරි 8 මෛත්‍රීපාල සිරිසේනගේ ජය තහවුරු කල ප්‍රතිපලයට සමාන වනු ඇති බව අපි දැඩිලෙස විශ්වාස කරමු” යනුවෙනි. “එසේ නොවුවහොත් මෛත්‍රීපාලට ශක්තිමත් රජයක් පිහිටුවීම සඳහා අපි සහය දෙන්නෙමු.”

සිරිසේන ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව, ශ්‍රී ලංකාවේ විදේශ පිලිවෙත ඉන්දියානු සාගර කලාපයේ ඇමරිකානු අනුහස ශක්තිමත් කිරීම වෙත දැඩි සේ නැඹුරුවී ඇත. ජනවාරියේ තන්ත්‍ර මාරු මෙහෙයුමෙන් ලබාගත් ග්‍රහනය තවත් සවිමත්කර ගැනීම සඳහා ඇමරිකාව, මැතිවරනය ඉතා සමීපව නිරීක්ෂනය කරමින් සිටී. හිටපු ඇමරිකානු බුද්ධි අංශ අධ්‍යක්ෂක වරයෙකු වන ඩෙනිස් බ්ලෙයාර් පවසන්නේ: “ අගෝස්තු 17 ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරනය, ජනවාරියේ බොහෝ නිරීක්ෂකයන්ගේ විශ්මයට හේතුවෙමින් බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අරඹා ඇති ප්‍රතිසංස්කරන තවදුරටත් ක්‍රියාත්මක වේදැයි තීරනය කරනු ඇත” යනුවෙනි.

“2015 ජනවාරි සිට, අවතැන් වූ දෙමල ජනතාව නැවත පදිංචි කිරීම හා ඉඩම් නැවත ලබාදීම සඳහා අවශ්‍ය තීරන නව පාලනය මගින් ගෙන ඇත” යනුවෙන් සඳහන් කරමින් ටීඑන්ඒ, දෙමල ජනතාව පිලිබඳ සිරිසේන ආන්ඩුවේ ප්‍රතිපත්ති යුක්තිසහගත කරයි.

මෙය සම්පුර්න අසත්‍යයකි, ශ්‍රී ලංකාවේ දෙමල සුලුතරය මර්දනය සඳහා පැවති සියලු ආන්ඩු විසින් ගෙනගිය ලේ වැකි සිවිල් යුද්ධයෙන් අප්‍රමාන පීඩාවන් විඳි දහස් ගනන් දෙමල ජනතාවගේ ජීවිත වල පසුගිය සය මස තුල සිදුවූ කිසිදු සාධනීය වෙනසක් නැත.

සිරිසේන පදවි ප්‍රාප්ත වුයේ “ප්‍රජාතන්ත්‍රවාදය යලි පිහිටුවීම”, ජීවන තත්වය නගාසිටුවීම සහ පුද්ගලික හා රාජ්‍ය අංශ සේවකයන්ගේ පඩි වැඩි කීරීම යන පොරොන්දු සහිත “දින 100 වැඩපිලිවෙල” පෙරටු කොට ගෙනය. ඔහුගේ පොරොන්දු සිංහල මෙන්ම දෙමල වැඩකරන ජනතාවට සැලකිය යුතු සහන ගෙන නොදුන් අතර නව ප්‍රහාර සූදානම් කෙරෙමින් තිබේ.

මෙම පාර්ලිමේන්තු මැතිවරනය සූදානම් කෙරෙන්නේ, දේශපාලන පක්ෂවලට සිය ප්‍රතිපත්ති යලි සකස්කර ගනිමින්, කලින් සැලසූ සුලු හෝ සහනයන් ද අතුගා දැමීමට හා ග්‍රීසියේ සිදුවූවාක් මෙන්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ හා මුල්‍ය ප්‍රාග් ධනයේ නියමයන්ට අනුව රුදුරු කප්පාදු වැඩසටහනක් ජනතාව මත පැටවීම සඳහා ඉඩ සලසා දීමටයි.

ප්‍රතිපත්ති ප්‍රකාශනය ඍජුව ඉඟි කරන්නේ “උතුරේ හා නැගෙනහිර පුලුල් සංවර්ධන වැඩපිලිවෙලක්” ක්‍රියාවට නැඟීම සඳහා සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මැතිවරනයෙන් පසුව ද බලයේ රැඳී සිටිය යුතු බවයි.

ටීඑන්ඒ විසින් යෝජිත සංවර්ධන සැලැස්ම - ජාත්‍යන්තර ගුවන් තොටුපොල, වරාය හා ධීවර වරායන් සහිත - යොමුවී ඇත්තේ, දෙමල ජනතාවගේ ලාබ ශ්‍රමය සූරාකෑමේ කොන්දේසි නිර්මානය කිරීම දෙසටය. 2009 යුද්ධය නිමාවීමෙන් පසුව එවක පැවති ආන්ඩුව, උතුරු නැගෙනහිර පලාත් වල අපනයනය සඳහා ඇඟලුම් නිපදවන කුඩා පරිමාන කර්මාන්ත අරඹා ඇත. මෙම කර්මාන්ත ශාලා වල ගෘහ නිර්මානය සිර කඳවුරු සිහිගන්වන අතර; ඒවා සේවකයන් බඳවා ගන්නේ රටේ අනෙක් පලාත් වල ඇති “නිදහස් වෙලඳ කලාප” වලටත් වඩා අඩු වැටුප් වලටය.

ටීඑන්ඒහි ජාතිකවාදී දෘෂ්ටියේ මෙම තරයේම කම්කරු පන්ති විරෝධී ස්වභාවය, මෙම මැතිවරන ව්‍යාපාරය තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) ගෙනයන අරගලයේ වැදගත් කම තවදුරටත් තහවුරු කරයි. යුද්ධයට හා කප්පාදුවට එරෙහිව දෙමල හා සිංහල කම්කරු පන්තිය එක්සත් කිරීම පිනිස විප්ලවවාදී සමාජවාදී වැඩපිලිවෙලක් සහිතව සටන් වදින්නේ සසප පමනි. යාපනය, නුවරඑලිය හා කොලඹ දිස්ත්‍රික්ක වලට සසප අපේක්ෂකයන් ඉදිරිපත් කර ඇත.

2009 බෙදුම්වාදී එල්ටීටීඊයේ පරාජයෙන් පසුව වඩ වඩාත් පැහැදිලි වෙමින් ඇති දෙමල ජාතිකවාදයේ දේශපාලන බංකොලොත්කම පිලිබඳව ටීඑන්ඒ වැඩපිලිවෙල තවත් නිදසුනකි. දෙමල දිනපතා පුවත් පතක් වන වීරකේසරී පවසන අන්දමට, ටීඑන්ඒ නායක සම්බන්දන් තම සාමාජිකයන් පිරිසක් අමතා පවසා ඇත්තේ මෙසේය: “අපට අපගේ දේශපාලන ගමන තවදුරටත් කරගෙන යන්න බැහැ, අපි ඒක අවසානයකට ගේන්න ඕන. දෙමල ජනතාව අපිට විශිෂ්ට ජයක් ලබාදී, අපගේ සාමාජිකයින් 20ක් වත් පාර්ලිමේන්තුවට පත්කර යැවුවහොත්, අපි 2016 අග වන විට ඔවුන්ට දේශපාලන විසඳුමක් ලබාදෙනවා.”

සම්බන්දන්ගේ “දේශපාලන විසඳුම” අධිරාජ්‍යවාදී අනුග්‍රහය සහිතව කොලඹ පාලනය සමග බලය බෙදා ගැනීමේ එකඟතාවකි. එවැනි එකඟතාවක් මගින් දෙමල ධනේශ්වරයට “ඔවුන්ගේම ජනතාව” සුරාකෑමේ වැඩි පංගුව ලබා ගැනීමට ඉඩකඩක් ලැබේ. දෙමල කම්කරු හා පීඩිත ජනතාව, තමන්ගේ කිසිදු මූලික අවශ්‍යතාවක් ඉටු නොවන එවැනි සමුතීන්ට විරුද්ධව, වර්ධනය වන යුද්ධයේ හා කප්පාදු වැඩපිලිවෙලේ අන්තරායට එරෙහිව සියලු ජාතින්ට අයත් තම පන්ති සහෝදර සහෝදරියන් සමග එක්සත්ව සටන් වැදිය යුතුය.

ටීඑන්ඒ ප්‍රතිපත්ති ප්‍රකාශය ඇරඹෙන්නේ 1948 ඊනියා නිදහසින් පසු දෙමල ජාතික වාදීන් හා ශ්‍රී ලංකාවේ විටින් විට බලයට පත්වූ ආන්ඩු සමඟ ඇතිකරගත් ගිවිසුම් සිහිගන්වමිනි. දෙමල ජාතිකවාදයේ වාර්තාව සමන්විත වන්නේ සිංහල ධනේශ්වරය සමග සිදුකල හෙට්ටු කිරීම් හා බැඳුනු කලකිරීම්, පරාජයන් හා පාවාදීම් මාලාවකිනි.

1968 සිට දෙමල ජාතිකවාදී පක්ෂ, සිංහල ධනේශ්වර පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) විසින් කල “පොරොන්දු කඩකිරීම්”, එවැනි එකඟතා සඳහා යලි නොයාමට හේතු වශයෙන් දැක්වුහ. පසුගිය දශකය තුල, ටීඒන්ඒ නායකත්වය, ආන්ඩුව සමග මොනම හෝ සාකච්චාවකට “ජාත්‍යන්තර ප්‍රජාවගේ” (එනම් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ) මැදිහත් වීම අවශ්‍ය මූලික කොන්දේසියක් ලෙස අවධාරනය කලේය.

එහෙත් ඇමරිකානු මැදිහත් වීම මත සිරිසේනගේ මැතිවරන ව්‍යාපාරයට කොන්දේසි විරහිතව සහය ලබා දීම සඳහා පසුගිය ජනවාරියේදී ටීඑන්ඒ, ශ්‍රීලනිප මෛත්‍රී පිල හා එජාප නායකත්වය සමග රහස් සාකච්චා පැවැත්වී ය. ජනවාරියේ මාධ්‍ය වාර්තා සඳහන් කලේ, එහි මුල් පෙලේ නායකයෙකු වන සුමන්දිරන් මෙම සාකච්චා වලදී, අමාත්‍යංශයක්ද ඉල්ලා සිටිය බවයි. ඔවුන් පසුව ප්‍රකාශ කලේ, ජනපති වරනයේදී සිය ස්ථාවරය පිටුපස කිසිඳු රහස් එකඟතාවන් හෝ අමාත්‍ය ධුර සඳහා පොරොන්දු නොතිබු බවයි.

එල්ටීටීඊය “තම සන්නද්ධ අරගලය කරගෙන ගියා” යන කෙටි සඳහන හැරුනුකොට, එල්ටීටීඊයේ වෙනම රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම ගැන මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සපුරාම නිහඬය. සිවිල් යුද්ධයේදී එල්ටීටීඊය ලත් ලේ වැකි පරාජය එහි දෙමල ජාතිකවාදී දෘෂ්ටියේ ඇති බංකොලොත් බවේ ප්‍රතිපලයකි. ශ්‍රීලංකාවේ දෙමල බහුතරයක් ඇති උතුරේ හා නැගෙනහිර, එල්ටීටීඊය සිය දේශපාලන අධිකාරිය පිහිටුවා ගත්තේ කම්කරුවන් හා දුගීන් මඩිමින් හා සිය දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කරමිනි.

සිංහල සිවිල් වැසියන්ට විටින් විට එල්ල කල මුර්ග ප්‍රහාර නිසා එල්ටීටීඊය සිංහල කම්කරුවන්ගෙන් මුලුමනින්ම හුදකලා විය. ජාත්‍යන්තර සහාය සඳහා එල්ටීටීඊය, සිය සංවිධානය එම රටවලදී තහනම් කොට තිබියදී හා කොලඹ පාලනයට මිලිටරි හා රාජ්‍යතාන්ත්‍රික සහය ලබාදෙමින් සිටි තතු තුල පවා ඔවුන් ඇමරිකානු, යුරෝපීය අධිරාජ්‍යවාදය හා ඉන්දියානු ධනේශ්වරය මත දිගින් දිගටම රැඳී සිටියේය. මෙහි ප්‍රතිපලය වුයේ ශ්‍රී ලංකා හමුදාව මගින් සිදුකල සංහාරයෙන් දහස්ගනන් සිවිල් වැසියන්ගේ මරනයත්, තම සාමාජිකත්වයේ සමූලඝාතනයත් සමගින් එල්ටීටීඊය සිවිල් යුද්ධයෙන් ව්‍යසනකාරී පරාජයක් ලැබීමයි.

ටීඑන්ඒ නැවත උත්සාහ කරන්නේ, යුද්ධයෙන් විනාශවූ රටේ දීර්ග කාලීන සාමයක් සඳහා යයි කියමින්, ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන්ට, ශ්‍රී ලංකාවේ දේශපාලනයට මැදිහත් වන්න යයි ඉල්ලීම් කිරීමටයි. ප්‍රතිපත්ති ප්‍රකාශය: “ටීඑන්ඒ විශ්වාස කරන්නේ, ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්ට සමාන පුරවැසියන් ලෙස ජීවත් වීම සඳහා, අව්‍යාජ සංහිඳියාව තුලින් ස්ථිරසාර සාමය අත්කරගැනීමට ජාත්‍යන්තර ආශිර්වාදය අත්‍යවශ්‍ය” බව සඳහන් කරයි.

සිවිල් යුද්ධය අවසානයේ අධිරාජ්‍යවාදී බලවතුන්ට කල ඉල්ලීම් කිසිවකට පිලිතුරු නොලැබුනු තතු යටතේ පවා ටීඑන්ඒ, නැවත වරක් ශ්‍රී ලංකාවේ දේශපාලනයට මැදිහත් වන මෙන් අධිරාජ්‍යවාදයට, බංකොලොත් හා භයානක ආයාචනයන් කරයි. ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, ලිබියාවේ හා පකිස්ථානයේදී වොෂින්ටනය සිදු කල නව-යටත්විජිතවාදී මැදිහත්වීම් වල අත්දැකීම්, ටීඑන්ඒහි මෙම “ජාත්‍යන්තර ප්‍රජාව” වන්දනා කිරීමේ වංචාව හෙලිදරව් කරයි. අධිරාජ්‍යවාදී බලවතුන් මෙම රටවල බලය තහවුරු කරගැනීම සඳහා වාර්ගික බෙදුම් හා ආගමික ගැටුම් ඇවිලවූයේ, සියදහස් ගනන් ජනතාවගේ ජීවිත වනසා දමමිනි.

Share this article: