මිලියන 1.6ක ජනතාවට විදුලි බලය අහිමි කල පිපිරීම් වලින් පසුව රුසියාව, ක්‍රිමියාව තුල හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

Russia declares state of emergency in Crimea after blasts leave 1.6 million without power

තෝමස් ගයිස්ට් විසිනි , 2015 නොවැම්බර් 23

ක්‍රිමියාවට විදුලි බලය සැපයීමේ ලා තීරනාත්මක වන යටිතල පහසුකම් වලට 20 හා 21 වන දිනයන්හි කඩාකප්පල්කාරීන් විසින් එල්ල කල ප්‍රහාර හමුවේ, අර්ධද්වීපයේ ප්‍රධාන විදුලි බල සැපයුම් මාර්ග අඩපන වූ අතර ජල සැපයුම අත්හිටවීමට බලධාරීන්ට සිදුවිය.

හොඳින් සැලසුම් කර තිබුනු බව පෙනී ගිය ප්‍රහාරයෙන් කඩාකප්පල්කාරීහු, යුක්‍රේනයේ සිට කලු මුහුද ආශ්‍රිත අර්ධද්වීපයට විදුලිය සැපයෙන, ප්‍රධාන විදුලි කුලුනු අතලොස්ස හා සම්ප්‍රේෂන මාර්ග මුලුමනින්ම විනාශ කලහ.

22දා සවස වන විට ක්‍රිමියාවේ මිලියන 2ක් වන ජනතාවගෙන් මිලියන 1.6කට විදුලි බලය ඇන හිටියේය. රුසියානු බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ, ජනගහනයෙන් හතරෙන් එකක් පමන දෙනා ජංගම බල ශක්ති ජෙනරේටර් මඟින් විදුලි බල අවශ්‍යතාවන්ගෙන් කොටසක් සපුරා ගන්නා බවයි.

යුක්‍රේන් පොලිසියට අනුව විදුලි කුලුනු “පුපුරුවා” හැරුනේ යුද ටැංකි නාශක බිම් බෝම්බ මඟිනි. පසුව ආරම්භ කල අලුත්වැඩියා කටයුතු, තමන් ක්‍රිමියාවේ සිවිල් බාධක අංශය ලෙස හඳුන්වා ගන්නා කන්ඬායමක සාමාජිකයින් විසින් කඩාකප්පල් කරන ලදී.

එම කන්ඬායම තමන් ප්‍රහාරයේ වගකීම ප්‍රතික්ෂේප කරන බව පවසන අතර ඊට වගකිව යුත්තේ, මුලින් රුසියාවට එරෙහිව යොදාගත හැකි සහචරයින් ලෙස ඇමරිකානු ආන්ඩුවේ අනුග්‍රහය ලත් ටාටර් ජාතිකවාදී බලවේග බවට අදහසක් පැතිර ගියේය.

ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් ඇඟවුම් කරමින්, ටාටර් හා දක්ෂින නිකායේ නව ෆැසිස්ට් සාමාජිකයින්ගෙන් සමන්විත පැරා මිලිටරි කන්ඬායම් අතර පිපිරීම් සිදුවූ ස්ථාන වටා 21දා ගැටුම් ඇවිලුනි.

ක්‍රිමියාව එහි ජනගහනයෙන් සියයට 20කට පමන සෑහෙන විදුලි බලය ප්‍රදේශයේ නිපදවන අතර ආනයන කරන බලය මත බෙහෙවින් රැඳී සිටියි. ක්‍රිමියාවේ බලශක්ති ජාලයේ අධ්‍යක්ෂකට අනුව, එහි විදුලි සැපයුම “මුලුමනින්ම ඇනහිටියේය.”

රුසියානු හා ක්‍රමියානු බලධාරීහු, පාසැල් හා වැඩපොලවල් වසා දැමීමට නියෝග කරමින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කලහ. සමහර නඟරවල දහවල් කාලයේ උනුසුම් ජල සැපයුම මුලුමනින්ම ඇනහිටියේය. ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තාවකට අනුව ක්‍රමියානු බලධාරීහු විදුලිබලය සලාක කිරීමේ වැඩපිලිවෙලක් සකසමින් සිටිති.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් අපරාධ පරීක්ෂනයක් පැවැත්විය යුතු බව ඔවුහු කියා සිටිති. ෆිනෑන්ෂල් ටයිම්ස් වාර්තාවකට අනුව නිර්නාමික “උපදේශක කන්ඬායමක්” පවසා ඇත්තේ ක්‍රිමියානු නිලධාරීන් එය “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස සලකනු ලබන බවය.

ඇමරිකාව විසින් අටවන ලද කියෙව්හි අන්ත දක්ෂිනාංශික පාලනයෙන් ඉවත්වී, පසුගිය වසන්තයේදී රුසියාවට ඒකාබද්ධවීම සඳහා අති මහත් බහුතරයක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, ක්‍රිමියානුවන්ට සමූහ දඬුවමක් පැමිනවීමේ අරමුනෙන් හිතා මතා සිදු කරන ප්‍රකෝපකරනයන්හි ඉහල අවස්ථාවක් සලකුනු කල මෙම ක්‍රියාව, රුසියාවට එරෙහිව ඇමරිකාව හා යුරෝපීය පාලක පන්තිය විසින් මිලිටරි කටයුතු උත්සන්න කල යුතු බවට කෙරෙන ඉල්ලීම් මධ්‍යයේ ඇතිව තිබෙන භූදේශපාලන ආතතීන් තවත් උනුසුම් කරයි.

නැඟෙනහිර යුරෝපය හා බෝල්ටික් ප්‍රදේශ මිලිටරීකරනයේ හා මොස්කෝවට එරෙහිව නව මෙහෙයුම් පිලිබඳ පූර්ව සැලසුම් ක්‍රියාවට නැඟීම පිනිස බටහිර බලවතුන්, රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගැනීම යොදාගත් තැන් පටන්, රුසියාවට එරෙහි නේටෝ බලවතුන්ගේ මූලෝපායික ආක්‍රමනයේ ප්‍රමුඛ ඉලක්කයක් බවට ක්‍රිමියාව පත්ව තිබේ.

ක්‍රිමියාව මුල්කරගෙන, රුසියාව යුක්‍රේනයේ ස්වෛරිත්වය උල්ලංඟනය කලේය යන චෝදනාව යටතේ මධ්‍යම හා නැඟෙනහිර යුරෝපයේ යුද සූදානම නේටෝව විසින් තව වත් දැඩි කරනු පසුගිය වසර එක හමාර පුරා දැකිය හැකි විය.

යුක්‍රේන ප්‍රශ්නය තවත් උත්සන්න කිරීමේ සූදානම පිලිබඳ සලකුනු පසුගිය සති කිහිපය පුරා දැකගත හැකි විය. පසුගිය සතියේ තුර්කියේ පැවති ජී 20 සමුලුව පසෙකින් පැවති සාකච්ඡා වලදී ඇමරිකාව හා අනෙක් නේටෝ බලවතුන්, ක්‍රිමියාවේ හා නැඟෙනහිර යුක්‍රේනයේ “රුසියානු ආක්‍රමනිකත්වය”ට ප්‍රතිචාර වශයෙන් මොස්කෝවට පනවා තිබෙන ආර්ථික සම්බාධක තවත් මාස හයකින් දීර්ග කිරීමට ගිවිසගෙන තිබේ.

වොෂින්ටනය රුසියානු විරෝධී කුලී හමුදාවක් ලෙස යුක්‍රේන මිලිටරිය හා පැරා මිලිටරිය ගොඩනැඟීමට දරන උත්සාහය හමුවේ, ඇමරිකාවේ හා රුසියාවේ පිටුබලය ලබන හමුදා අතර මෑත සතිවල ගැටුම් පැතිර ගියේය. ඊට ක්‍රිමියානු බෝම්බ ප්‍රහාර වලට සම්බන්ධ බවට වාර්තාවී ඇති ජාතිකවාදී දක්ෂින නිකාය, ටාටර් මිලිෂියාවන් වැනි අන්ත දක්ෂිනාංශික පැරා මිලිටරි සේනාංක ඇතුලත්ය.

රොයිටර් වාර්තාවලට අනුව මේ සතිය තුල ඇමරිකානු මිලිටරිය, නව යුක්‍රේනියානු විශේෂ කාර්ය සාධාක හමුදා පුහුනු කිරීම ආරම්භ කර ඇත. තමන්ගේ පාර්ශවයෙන් රුසියානු මිලිටරිය දකුනු චීන මුහුදේ හා නැඟෙනහිර මධ්‍යධරනී මුහුදේ චීන යුද අභ්‍යාස වලට සම්බන්ධ වෙති.

අධිරාජ්‍යවාදීන් සහාය දක්වන කියෙව් තන්ත්‍රය, යුක්‍රේන ආර්ථිකය හා ජනතාවගේ ජීවන තත්වයන් ඇමරිකානු හා යුරෝපීය ප්‍රාග්ධනයේ අනසකට යටත් කිරීමේ, යුරෝ සංඟමය සමඟ ඇතිකරගත් “නිදහස් වෙලඳ” ගිවිසුම ක්‍රියාවට නැඟීමට සූදානම් වේ.

පසුගිය සතියේ ජනාධිපති පොරෂෙන්කෝ ට්විටර් සටහනක කියා තිබුනේ, “2016 ජනවාරි 1දා සිට යුක්‍රේනය සමඟ නිදහස් වෙලඳ කලාපය දියත් කිරීමට සියල්ල සූදානම් බව යුරෝ සංඟමය අපට දැනුම්දී ඇත.” යනුවෙනි.

එම වෙලඳ ගිවිසුමට තරයේ විරුද්ධත්වය පල කරන රුසියාව, කියෙව් ආන්ඩුවට එරෙහිව “පූර්න ආර්ථික සම්බාධක” පැනවීම ද ඇතුලු තමන්ගේම ආර්ථික යුද පිලිවෙතක් ඇතිව ප්‍රතිචාර දැක්වීමට තර්ජනය කරයි. දේශපාලනිකව ගිනිගන්නා සුලු සිදුවීම් හා ප්‍රකෝපකරන මාලාවක අලුත්ම එක ක්‍රිමියාවේ විදුලිබල සැපයුම් මාර්ග වලට එල්ල කර ඇති ප්‍රහාරයයි. ඒ සියල්ල, රට තුල ආඥාදායකත්වය හා විදේශයේදී ඇමරිකාව අධිකාරය දරන ලෝක පර්යායේ සිය තරඟකරුවන්ට එරෙහි ගෝලීය යුද්ධයත් කරතබාගෙන යන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරයි.

පැරිසියේ ත්‍රස්තවාදී ප්‍රහාර මුල්කරගෙන, අයිඑස්අයිඑස් (අයිසිස්) ක්‍රියාකලාපය කෙරෙහි ඇමරිකානු මාධ්‍ය යොමුවී ඇති නමුත් පාලක පන්තිය තුල පැවැත්වෙන සාකච්ඡා සලකුනු කරන්නේ, “අයිසිස්ට එරෙහි යුද්ධය” අවශ්‍යයෙන්ම වොෂින්ටනයේ ගෝලීය මිලිටරි න්‍යායපත්‍රයට කඩතුරාවක් පමනක් වන බවයි.

ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ පැවති ජාතික ආරක්ෂක සංසදයේදී ඇමරිකාවේ ප්‍රමුඛ දේශපාලන හා මිලිටරි නිලධාරීහු, ආර්ථික, රාජ්‍යතාන්ත්‍රික හා මිලිටරි මාධ්‍යයන්ගේ එකතුවකින් රුසියාව යටත් කිරීම හා ජයගැනීම සඳහා සිය සැලසුම් පිලිබඳව විවෘතව කථාබහ කලහ. හිටපු හමුදා ජෙනරාල්වරයෙකු හා හාවඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු වන කෙවින් රයන්, මොස්කෝව “සතුරු අරමුනු” සහිතව මෙහෙයවෙන බවට අනතුරු අඟවමින්, අයිසිස්ට වඩා ඇමරිකාවේ අවශ්‍යතාවන්ට දැඩි අභියෝගයක්ව ඇත්තේ රුසියාව බව පැවසීය.

දෙවන ලෝක යුද්ධයෙන් පසුව නරකම ජාත්‍යන්තර අර්බුදය අවුලුවන බවට හා “ලිබරල් ජාත්‍යන්තර පර්යාය” විනාශ කිරීමට තර්ජනය කිරීම පිලිබඳව මොස්කෝව හෙලාදැකීමෙන් පසුව, ප්‍රජාතන්ත්‍රය හා ගෝලීය කටයුතු පිලිබඳ හිටපු සහකාර රාජ්‍ය ලේකම් පාවුලා ඩොබ්‍රියන්ස්කි, රුසියාවේ බලශක්ති ක්ෂේත්‍රය අඩපන කිරීම අරමුනු කරගත් “වඩාත් ප්‍රායෝගික සම්බාධක” හා යුක්‍රේනය තුල “විශාල ඇමරිකානු මැදිහත්වීමක්” වෙනුවෙන් කථා කලාය.

රුසියානු පාලක පැලැන්තිය තුල ඇමරිකානු ගැති කොටස් ගොඩනැඟීම අරමුනු කරගත් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් වර්ධනය කිරීමට මෙම ක්‍රමවේදයන් උපයෝගි කරගත යුතු බව ඩොබ්රියන්ස්කි පැවසුවාය.

මොස්කෝව ආර්ථික හා මිලිටරිමය වශයෙන් මිරිකන අතර පවා ඇමරිකාව, “වෙනසක් දැකීම අවශ්‍ය රුසියානුවන් කරා පිවිස මැදිහත්විය” යුතු යයි ඇය කීවාය. රුසියානු සමාජය මත මෙම පියවරයන්ගේ බලපෑම, “පලමුවෙන් නරක් විය හැකිය,” එහෙත් “ලිබරලීකරනය සඳහා නව අවස්ථාවන්” සඳහා කොන්දේසි එමඟින් නිර්මානය කරනු ඇතැයි ඇය පැවසුවාය.

Share this article: