ග‍්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම්- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ග‍්‍රීසිය තුල සිරිසාව කල පාවාදීමේ දේශපාලන පාඩම්

The Political Lessons of Syriza’s Betrayal in Greece

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප‍්‍රකාශය , 2015 නොවැම්බර් 13

1. කම්කරු පන්තිය සඳහා ඉමහත් මූලෝපායික අත්දැකීමක්

අගමැති ඇලෙක්සිස් සිප්රාස් ප‍්‍රමුඛ සිරිසා (“රැඩිකල් වාම සන්ධානය”) ආන්ඩුව ගී‍්‍රසියේ නැවත බලයට පත් කල 2015 සැප්තැම්බර් මැතිවරනය, කම්කරු පන්තිය සඳහා ඉමහත් මූලෝපායික අත්දැකීමක් බව ඔප්පු වී ඇති නිශ්චිත අදියරක් සමාප්ත කරයි.

පසුගිය ජනවාරි මාසයේ දී සිරිසාව, යුරෝපා සංගමය (EU) ග‍්‍රීසිය මත පටවා තිබු කප්පාදු පියවර අවසන් කරන බවට ප‍්‍රතිඥා දෙමින් බලයට පත් විය. එම ම්ලේච්ඡ සමාජ ප‍්‍රහාර, 2008 බිඳවැටීමේ පටන් ජීවන තත්වයන් හා කම්කරුවන්ගේ මූලික අයිතීන් මත ගෝලීයව එල්ල කරන ලද නිර්දය පහර වල හරි මැදට එරට කෙලින්ම ඇද දැමූ අතර, ජාත්‍යන්තරව මිලියන ගනන් කම්කරුවෝ ද තරුනයෝ ද ගී‍්‍රක කම්කරු පන්තියේ අරගලය දෙස අපේක්ෂා සහගතව බලා සිටියෝය. මාධ්‍ය ප‍්‍රසිද්ධිය, ප‍්‍රතිගාමී යුරෝපා සංගම් දේශපාලනඥයින් විසින් සිරිසා ව විවේචනය කිරීම සහ සිරිසාවේ ප‍්‍රකාශන ම, සිප්රාස් සහ ඔහුගේ මුදල් ඇමති යානිස් වරූෆාකිස් ජාත්‍යන්තර ධනවාදය ට මුහුන දී සටන් කිරීමට සූදානම් සටන්කාමින් බව මහජනතාව ලවා විශ්වාස කරවීමට හේතු විය.

ගී‍්‍රසිය තුල ද ඉන් පිටත ද “ධනේශ්වර විරෝධී” හෝ “වාම” ලෙස තමන් හඳුන්වාගත් නොයෙකුත් පක්ෂ, සිරිසාවේ ජයග‍්‍රහනය යුරෝපයේ ද ජාත්‍යන්තරව ද කප්පාදුවට එරෙහි අරගලය සඳහා ආදර්ශයක් ලෙස හුවා දැක්වූ හ.

එහෙත්, ඊලඟ මාස අට තුල සිරිසාව තම මැතිවරන පොරොන්දු මුලුමනින්ම පාවා දුනි. බලයට පැමින සති කිහිපයක ඇවෑමෙන් පසුගිය පෙබරවාරි මාසයේ දී යුරෝපා සංගමයේ කප්පාදු පියවර දිගටම පවත්වා ගැනීමේ ගිවිසුමකට අත්සන් කල සිරිසාව, ඉන් අනතුරුව ජූලි මාසයේ දී කප්පාදු පිලිබඳව එය විසින් ම සංවිධානය කල ජනමත විචාරනයේ දී සිරිසාව, “එපා” යයි පලවූ දැවැන්ත මහජන මතයට පයින් ගසා, පාර්ලිමේන්තුව හරහා නය ගෙවීම කල්තබා ගැනීමේ ඇපයක් ලෙස අලුත් කප්පාදු අනුමත කර ගත්තේ ය.

මහජන මතය මෙසේ අමු අමුවේ උල්ලංඝනය කිරීම ජනතාව තිගැස්මට හා කම්පනයට පත් කලේ ය. යුරෝපා සංගමයේ හා බැංකු වල අනුග‍්‍රහය ලත් සිරිසාව, ඡන්ද දායකයන් මහා පරිමානයෙන් ඡන්දයෙන් වැලකී සිටි තතු හමුවේ සැප්තැම්බරයේදී, දක්ෂිනාංශික නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී (එන්ඩී) පක්ෂයට එරෙහිව සිප්රාස් මැතිවරනය දිනා ගත්තේය. සිය දෙවන ධුර කාලය ආරම්භ කරන සිරිසා ව, දැනටමත් මිලියන සංඛ්‍යාත ජනතාව විරැකියාවට, දරිද්‍රතාවට හා කුසගින්නට හෙලා ඇතිකප්පාදු පියවර තව තවත් උග‍්‍ර කරමින් සිටී.

මහා ජන සමූහයෝ සමස්ත ඓතිහාසික අවධියක් පුරා විරෝධතා ව්‍යාපාර මත වාම දේශපාලනයේ නමින් ආධිපත්‍යය දරා තිබෙන විවිධ සම්මත දේශපාලන පක්ෂ වල බංකොලොත්කම හා ද්‍රෝහීත්වයට මුහුනදී සිටිති. අර්නස්ටෝ ලැක්ලාවු වැනි පශ්චාත් නූතනවාදී විද්වතුන්ගේ න්‍යායන් අනුව මෙම සංවිධාන, වත්මන් යුගය වනාහි පශ්චාත්-මාක්ස්වාදී යුගයක් යයි නිවේදනය කලෝය. මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස් තුල මුල්බැසගත් ඔවූහු, කම්කරු පන්තිය තව දුරටත් විප්ලවවාදී බලවේගයක් වන්නේ නැතැයි අවධාරනය කලෝ ය, ඔවුන්ට අනුව කම්කරු පන්තිය ජාතික, වාර්ගික, ලිංගභේදය හෝ ජීවන රටාව වැනි අනන්‍යතා විසින් අර්ථගැන්වූ සමාජ ස්ථර රාශියක් විසින් කම්කරු පන්තිය අතික‍්‍රමනය කරනු ලැබ ඇත.

දශක ගනනාවක් තිස්සේ මෙම පක්ෂ, ඇත්ත වශයෙන්ම තමන් කිසිසේත්ම එසේ නුවූ, එනම් රැඩිකල් හෝ ධනේශ්වර විරෝධී යයි මවා පෙන්වමින් සිය සැබෑ දේශපාලනය වසං කලහ. ඔවුන් රාජ්‍ය පාලනය සියතට ගත් මුල් වතාවේ අත්දැකීමෙන්ම මෙම මවා පෑම, වැඩකරන ජනතාවගේ වියදමින් සමාජයේ ඉහලම සියයට 10 අවශ්‍යතා ඉදිරියට ගෙන ගිය, ධනපති-ගැති ප‍්‍රතිපත්ති සඳහා දේශපාලන ආවරනය සම්පාදනය කල, වංචාවක් ලෙස හෙලිදරව් කරනු ලැබ ඇත.

මැතිවරනයෙන් පසුව සැප්තැම්බරයේ දී එක්සත් ජනපදයට ගිය සිප්රාස්, තම ධනපති ව්‍යාපාර - ගැති දිගු කාලීන වැඩ සටහන නොවලහා ඉදිරිපත් කලේ ය. නිව් යෝර්ක් නගරයේ ක්ලින්ටන් ග්ලෝබල් ඉනිෂියටිව්හි දී (Clinton Global Initiative) ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් විසින් ප‍්‍රශ්න කරන ලදුව, සිප්රාස් මෙසේ කීය: “විදේශ ආයෝජකයන් සාදරයෙන් පිලිගන්නවා, රටතුල වෙනස්කම් ඇති කිරීමට පැහැදිලි ජනවරමක් සහිත ආන්ඩුවක් ඔවුන්ට දැකගත හැකි වනු ඇත. ... වසර කිහිපයකින්, ග‍්‍රීසිය, විදේශ ආයෝජන සඳහා ප‍්‍රමුඛ මධ්‍යස්ථානයක් බවට පත් වනු ඇත. මේ මගේ මතය යි මගේ ආශාවයි.”

සිප්රාස් ග‍්‍රීසියට ආයෝජන ආකර්ෂනය කර ගනු ඇත්තේ කෙසේද? යුරෝපය පුරා ආන්ඩු වැටුප් හා ප‍්‍රතිලාභ වලට උග‍්‍ර ප‍්‍රහාර එල්ල කරන තතු තුල, ඒ සියල්ල පරයා යන රුදුරු කප්පාදු මගින් යුරෝපයේ වඩාත්ම සුපිරි සූරාකෑමට ලක්වන, එම නිසා ජාත්‍යන්තර සහ ගී‍්‍රක ආයෝජකයින් ට වඩාත්ම ලාභදායී ශ‍්‍රමය දිගින් දිගටම ලබා දීම සිරිසාවේ අපේක්ෂාවයි.

සිප්රාස් ගේ වැඩසටහන පදනම් ව ඇත්තේ බටහිර යුරෝපයේ කම්කරුවන් පරම්පරා ගනන් භුක්ති විඳි අතිමූලික සමාජ අයිතීන් විනාශ කිරීම මත ය. පොදු සෞඛ්‍ය සේවාවක් පවත්වා ගෙන යාමේ වියදම් බරින් ගී‍්‍රසියේ හාම්පුතුන් මුදා හරිනු ලැබ ඇත. සිරිසා ව විසින් සිදුකර තිබෙන විශ‍්‍රාම වැටුප් කප්පාදු වනාහී රාජ්‍ය අරමුදලින් ගෙවනු ලබන ඵලදායී විශ‍්‍රාම වැටුපකට කම්කරුවන්ගේ අයිතිය අවසන් කරන්නාවූ ද අමතර විශ‍්‍රාම වැටුප් ක‍්‍රම වලට ගෙවීම් කිරීමට කම්කරුවන්ට බල කෙරෙන්නාවූ ද වඩාත් පුලුල් සැලැස්මක කොටසකි. එය දැනටම මාධ්‍ය වල සාකච්ඡාවට භාජනව පවතී. දැන් යුරෝ 683 කට පහත හෙලුනු ග‍්‍රීසියේ අවම මාසික වැටුප වනාහි නෙදර්ලන්තය හෝ ප‍්‍රන්සය වැනි යුරෝ කලාපයේ ධනවත් රටවල අවම වැටුප් මට්ටමට වඩා, චීනයේ නැති නම් දුප්පත්ම නැගෙනහිර යුරෝපීය රටවල වැටුප් මට්ටම් වලට සමීප වේ.

සිරිසා අත්දැකීම් පෙන්නුම් කරන්නේ කම්කරු පන්තිය, තරුනයින් හා සමාජවාදයට හිතවත් බුද්ධිමතුන් විසින් සිය දේශපාලනයේ අති-මූලික නව-දිශානතියක් ගැනීම අත්‍යවශ්‍ය බවයි.

1930 වලින් මොබ නොවූ විරූ ගෝලීය ආර්ථික අර්බුදයක් ද සමස්ත ධනේශ්වර පන්තිය විසින් එල්ල කරනු ලබන රුදුරු ප‍්‍රහාරය ද හමුවේ, නව වාම ධනේශ්වර ආන්ඩු පත්කර ගැනීම මගින් කම්කරු පන්තියට ආරක්ෂා වීගත නොහැකි වේ.

එකම ඉදිරි මාවත පවතින්නේ, ගී‍්‍රසියේ හා ජාත්‍යන්තරව කම්කරු පන්තිය අරගලය තුල බලමුලුගන්වන, අව්‍යාජ විප්ලවවාදී ප‍්‍රතිපත්තියක් තුලිනි. එය ධනපති පන්තිය ට එරෙහිව ඍජු ප‍්‍රහාරයක් ඉල්ලා සිටී. ඔවුන්ගේ ධනය රාජසන්තක කොට, ප‍්‍රධාන බැංකු හා නිෂ්පාදන බලවේග අත්පත්කර ගෙන ඒවා කම්කරුවන්ගේ ප‍්‍රජාතන්ත‍්‍ර පාලනය යටතේ තැබීම සඳහා යුරෝපයේ හා ලොව පුරා කම්කරු රාජ්‍ය නිර්මානය කල යුතුව ඇත. එවැනි අරගලයකට කම්කරු පන්තියට දේශපාලන නායකත්වය ලබා දීම උදෙසා සිරිසා ජාතියේ පක්ෂ වලට එරෙහිව නිර්දය අරගලයක් මගින් මාක්ස්වාදී පක්ෂ ගොඩනැගීම අවශ්‍ය ය.

තමන් “ව්‍යාජ-වාම” යනුවෙන් හඳුන්වා ඇති සිරිසා වැනි පක්ෂ වලට එරෙහිව ට්‍රොට්ස්කිවාදයේ ඓතිහාසික අඛන්ඩතාවය ආරක්ෂා කිරීමේ ලා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කරන ලද අරගලයේ ඓතිහාසික අර්ථ භාරය එයයි. සිරිසා වනාහි “රැඩිකල් වාම” පක්ෂයක් නොව කම්කරුවන්ට සතුරු ධනපති ගැති පක්ෂයක් ය. යන්න ජාත්‍යන්තර කම්කරු පන්තියට පෙන්වා දී කප්පාදු අවසන් කිරීමට එය දුන් පොරොන්දු නියතයෙන්ම පාවා දෙන බවට අනතුරු හැඟවුයේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවම පමනි. ජාත්‍යන්තර කමිටුව සිරිසාව පිලිබඳව ඉදිරිපත් කල විවේචන සාකල්‍යයෙන් ම නිවැරදි යයි ඔප්පු වී තිබේ.

සිප්රාස්ගේ වාර්තාව පෙන්නුම් කර ඇත්තේ, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ව්‍යාජ වමට එරෙහිව කරන ලද අරගලය වනාහි කන්ඩායමික අරගලයක් නොව එකිනෙකට ආශමනියව සතුරු වූ පන්ති ප‍්‍රවනතා දෙකක් අතර අරගලයක් බව ය. මූල්‍ය ප‍්‍රාග්ධනයේ ආඥා සහ ගී‍්‍රක ධනපති පන්තියේ ආසක්තයන් ට කම්කරු පන්තිය බැඳ තැබීමට සිරිසාව උත්සාහ කල අතර, ජාත්‍යන්තර කමිටුව සටන් වැදුනේ කම්කරු පන්තිය සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් වර්ධනය කිරීමට ය.

2. සිරිසා පාවාදීම පිලිබඳ වසං කිරීම් සහ සාධාරනීකරන

කප්පාදු වලට එරෙහිව නොනවත්වා අරගලය ගෙන යාමේ පලමු පියවර, සිරිසාව සහ එහි සහචරයින් සිප්රාස් ගේ වාර්තාව පිලිබඳව ඉදිරිපත් කරනු ලබන ක්ෂමාලාප ප‍්‍රතික්ෂේප කිරීමයි. අටමාසයකට පෙර, කප්පාදුවට එරෙහි අරගලයේ ඉදිරි මාවත ලෙස සිරිසාවේ මැතිවරන ජය පුම්බා ලූ එම බලවේගම දැන් මෙම සිදුවීම් වල අර්ථ භාරය වසං කිරීමට දැඩි වෙහෙසක් දරමින් සිටිති.

සමහරු සිරිසාවේ ක‍්‍රියාකලාප හමුවේ පවා, එය තවමත් “රැඩිකල් වාම” පක්ෂයක්යයි හුවා දක්වති. “අර්බුදයක් මැද වාමාංශික රජයක් පත් කර ගැනීම දූෂිත පැරනි පක්ෂ කරා ආපසු යාම ට වඩා හොඳ යයි.” ගී‍්‍රක ඡන්දදායකය තීරනය කර ඇති බව ප‍්‍රකාශ කරමින්, ජර්මනියේ වාම පක්ෂය, සිරිසාව යලි මැතිවරනය දිනීම පිලිබඳව සුබ පැතී ය.

තවත් සමහරු, ගී‍්‍රක අර්බුදයට තිබුනු එකම ශක්‍ය පිලිතුර, සිරිසාව යුරෝපීය සංගමයට දනගැසීම යයි ද, එමනිසා එය කිසිදු ආකාරයකින් පාවාදීමක් නොවී යයි ද යන දිරිසුන් මතය ඉදිරිපත් කරති. මෙය, ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි දර්ශනය පිලිබඳ මහාචාර්ය හා (දැන් පොපියුලර් යුනිටි පක්ෂය) සිරිසා වේ ‘වාම වේදිකාව’ (Left Platform) කන්ඩායමේ ප‍්‍රමුඛ සාමාජිකයෙකු වන ස්ටාතිස් කුවලාකිස් ගේ ප‍්‍රවේශය වේ. බි‍්‍රතාන්‍යයේ සමාජවාදී කම්කරු පක්ෂයේ (එස්ඩබ්ලිව්පී) රැස්වීමක දී ඔහු මෙසේ ප‍්‍රකාශ කලේ ය:

සිදු වන්නේ කුමක් ද යන්න වටහා ගැනීමට නම්, “පාවාදීම” යන වචනය පාවිච්චි කිරීම නුසුදුසු යයි මම සිතමි. ඇත්ත වශයෙන්ම, මහජන වරම පාවාදීමක් සිදුවී ඇතැයි වෛෂයිකව කිව හැකිය, තමන් පාවාදෙනු ලැබ ඇති බව ජනතාව ඉතා සහේතුකව සිතන්නේ යයි ද අපට කිව හැකි වේ.

කෙසේ වෙතත්, පාවා දීම පිලිබඳ සංකල්පයේ සාමාන්‍ය අර්ථය නම් යම්කිසි මොහොතක යමෙක් තම ප‍්‍රතිපත්ති බිඳ දැමීමේ දැනුවත් නිගමනයකට එලඹුනු බවයි. ඇත්තටම සිදුවූ දෙය ලෙස මා සිතන්නේ, සාකච්ඡුා කේන්ද්‍රීය කරගත් ප‍්‍රවේශයක් ගැනීම මගින් හා හොඳ හිත ප‍්‍රදර්ශනය කිරීම මගින් ධනාත්මක ප‍්‍රතිඵලයක් ලබාගත හැකි බව සිප්රාස් අවංකව විශ්වාස කල බවයි; ඔහු නිරන්තරයෙන් තමාට කිසිදු විකල්ප සැලැස්මක් නැති බව ප‍්‍රකාශ කලේ ද මේ නිසාය.

සිරිසාව පිලිබඳ කොතරම් මූසල ආවරනයක් ද! කුවලාකිස් පන්ති විශ්ලේෂනය වෙනුවට ලාභ මානසික සමපේක්ෂනයක් යොදාගනී. ඔහු තම අසන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ: යුරෝපා සංගමයේ නායකයින් කප්පාදු කිසිසේත්ම අඩු නොකරන බව යලි යලිත් ප‍්‍රකාශ කර තිබියදීත්, කප්පාදු නියමයන් අවසන් කිරීමට ඔවුන් ඒත්තු ගන්වා ගැනීමට හැකිය යයි ද ඒ සඳහා කල යුතුව ඇත්තේ ඔවුන්ගේ කප්පාදු නියමයන්ට එරෙහිව තමන්ට කිසිදු විකල්ප මූලෝපායක් නැති බව නිවේදනය කිරීම් යයි ද සිප්රාස් සැබවින්ම විශ්වාස කල බව පිලිගන්නා ලෙසය.

මෙයින් පැහැදිලි කරන කිසි දෙයක් නැත. පලමු වෙන් ම කිවයුත්තේ, සිප්රාස් බලයට පත් වන විට ඔහු දශක දෙකක් පුරා දේශපාලනයේ යෙදී සිට තිබුනු අතර, ජාත්‍යන්තර රාජ්‍ය නායකයින් සහ ප‍්‍රමුඛ පෙලේ ජාත්‍යන්තර මූල්‍යාධිපතියන් සමග සමීප සම්බන්ධතා පවත්වා ගෙන ගිය බවය. එහෙයින් හේ කුවලාකිස් පින්තාරු කරන ජාතියේ දේශපාලන නොදරුවෙකු යයි පිලිගත නොහැකි ය. ඒ කෙසේ වෙතත්, සිප්රාස් වනාහි කෙනෙකුට සිතාගත හැකි බොලඳතම මිනිසා යයි අප පිලිගත්තත්, පැහැදිලි නොවන කාරනාව නම්, පෙරදැකිය හැකි පරිදි ම යුරෝපා සංගමය කප්පාදු උග‍්‍ර කරන තතු තුල, මුලූමනින්ම දනගැසීම වෙනුවට සිප්රාස් වෙනත් විකල්පයක් සකසා නොගත්තේ මන්ද යන්න, කුවලාකිස් සිරිසාව ආරක්ෂා කිරීම මගින් පැහැදිලි නොකෙරෙන බවයි.

සිප්රාස්ගේ තීන්දු වලට යටින් දිවෙන පන්ති උවමනාකම් වටහාගැනීම අපහසු නොවේ. යුරෝ මුදල ද බැංකු ද යුරෝපා සංගමය සහ නැටෝව ද සමග සන්ධානය පවත්වාගැනීමේ දී ඔහු කටයුතු කලේ ග‍්‍රීකයන්ගෙන් ඉහලම සියයට 10යේ ආසක්තයන් ආරක්ෂා කිරීමට බව පැහැදිලි ය. කප්පාදුවට එරෙහිව පවත්නා මහජන විරෝධය වැඩවර්ජන හෝ විරෝධතා මගින් බලමුලුගැන්වීම ට ප‍්‍රයත්නයක් දරන ලද්දේ නම් සිප‍්‍රාස් විසින් සැප්තැම්බරයේ මැතිවරනයෙන් ඉක්බිත්තේ පැහැදිලි ලෙස ඉදිරි පත් කරනු ලැබූ ධනේශ්වර ගැති වැඩසටහන බිඳ දමනු ඇත.

මේ සියල්ලටමත් වඩා, ජනවාරියේදී බලයට පත් වන විට සිප්රාස්ට තිබුනු චේතනා අවසාන විග‍්‍රහයේ දී අදාල වන්නේ නැත. ඔහුගේ ප‍්‍රධාන තීන්දු - එනම්, පෙබරවාරියේ දී යුරෝපීය කප්පාදු සඳහා පෙර-ලිපියකට අත්සන් කිරීම, ජූලි ජනමතය විසින් කප්පාදුවට එරෙහිව දෙන ලද “නැත” ඡන්දය පාගා දමමින් ඒ වෙනුවට, ඇපයක් මත නය ගෙවීම කල් දමා ගන්නා, නව කප්පාදු පිලිගැනීමේ එකඟ තාවයකට අත්සන් කිරීම සහ අවසන දී ඔක්තෝබරයේ අලුත් කප්පාදු අයවැයක් ඉදිරිපත් කිරීම යන මේ සියල්ල පෙන්නුම් කලේ යුරෝපීය සංගමයේ කප්පාදු මහජනයා මත පැටවීමට සිප්රාස් ට පවත්නා අචල අධිෂ්ඨානය යි. මෙම පියවර, කප්පාදු ඉවර කරන බවට දුන් සිරිසා මැතිවරන පොරොන්දු අමු අමුවේ පාවාදීමකි.

සිප්රාස් ට සුදු හුනු ගෑමට දැරෙන කුවලාකිස් ගේ නිහීන උත්සාහය, ඔහුගේ වඩාත් පුලුල් උත්සුකය සමග අවියෝජනීය ලෙස බැඳී ඇත: ඒ වනාහි සිරිසාවට එරෙහිව වමෙන් විකල්පයක් මතුවීම වලක්වාලීම ය.

එම එස්ඩබ්ලිව්පී රැස්වීමේ දීම, කුවලාකිස් මෙසේ කීය, “දේශපාලන අරගලයක දී සනාථවීම හෝ අනාථ වීමේ අර්ථය පිලිබඳව වඩා පුලූල් චින්තාවක් මෙහි ලා එකතු කිරීමට මම කැමැත්තෙමි. මාක්ස්වාදියෙකුට අවශ්‍ය වන්නේ මෙම පද පිලිබඳ කිසියම් ඉතිහාස-කෘත අවබෝධයකි. ඔබ කියා ඇති දේ සැබෑ බව ඔප්පු වී ඇති හෙයින් එය සනාථ වන බව, එක් අතකින් ඔබට කිව හැකි වේ. මේ නම් සුපුරුදු ‘මම -ඔබට- කිව්වේ නැද්ද?’ මූලෝපායයි. ඒත්, ඔබගේ එම ආස්ථානයට සංයුක්ත බලයක් ලබා දීමට ඔබ සමත් නැති නම්, දේශපාලනිකව ඔබ පරාජයට පත්ව ඇත.”

කුවලාකිස් ගේ පනිවුඩය අතිශයින්ම නරුම ය.

සිරිසාව ට වමෙන් විරුද්ධවන්නන්ට ඔහු කියන්නේ සාරභූත වශයෙන් මෙයයි: “සිරිසාව පිලිබඳව ඔබ මොන විවේචන කලත්, අප මෙම පාවාදීම කරද්දී ඒක වලක්වන්නට ඔබට බැරි විය. රාජ්‍ය බලය දැරූ අපි ප‍්‍රතිගාමී පිලිවෙත් ක‍්‍රියාත්මක කලෙමු. එහෙත් ඔබට කරගත හැකිවුයේ ‘මම ඔබට ඕක කිව්වා’ කියන එක පමනයි.”

කුවලාකිස් බඳු සිරිසාවේ සමායදියන් එසේ වනු නැතැයි කීමට තතනන නමුදු, සිරිසාවේ පාවාදීම වෛෂයික දේශපාලන විපාක ජනනය කරනු අනිවාර්ය ය. කම්කරු පන්තිය ව්‍යාජ වමේ පන්ති ස්වභාවය පිලිබඳ අමතක නොවන වේදනා සහගත පාඩමක් උගෙන තිබේ.

තමන් දේශපාලන තත්වය අවබෝධ කර ගත් බවත්, කම්කරුවන්ට නොවලහා ඇත්ත කියාදීමට ඉදිරිපත් වූයේ තමන් බවත් ප‍්‍රකාශ කිරීමට හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පැකිලෙන්නේ නැත. විප්ලවවාදී කම්කරු පන්තික ප‍්‍රවනතාවක් කම්කරු පන්තිය තුල සිය අධිකාරය තහවුරු කරගෙන සමාජවාදී විප්ලවයක් කිරීමට එම පන්තිය මෙහෙයවීම සඳහා සැරසෙන්නේ ඒ ආකාරයට ය. කම්කරු පන්තිය සිරිසාව මෙන්ම ලොව පුරා තිබෙන සෙසු ප‍්‍රතිගාමී ආන්ඩු සමග ද “සංයුක්තව” ගනුදෙනු බේරා ගත යුත්තේ ඉහතකී කි‍්‍රයාදාමය හරහා මිස වෙනත් ආකාරයකින් නොවේ.

3. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සිරිසා ගැන, කම්කරු පන්තියට අනතුරු ඇඟවූයේ මෙසේ ය:

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ අන්තර්ජාල ප‍්‍රකාශනය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය, ග‍්‍රීසියේ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් පක්ෂයේ ජෝර්ජ් පපන්ද්‍රියෝ ජයගත් මැතිවරනයෙන් පසුව, 2009 දී පුපුරා ගිය ගී‍්‍රක නය අර්බුදය පුලුල් ලෙස විවරනය කලේ ය. එය මුල පටන් ම, සිරිසා, ගී‍්‍රක කොමියුනිස්ට් පක්ෂය (කේකේඊ), ඇන්ටාස්යා, හා පැසොක් සංවිධානයට නැඹුරු කන්ඩායම් සහ ගී‍්‍රසියේ පැසොක් (සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය) ආධිපාත්‍යය දරන වෘත්තීය සමිති නිලධරය කෙරේ කිසිදු විශ්වාසයක් නො තැබිය යුතු බවට කම්කරුවන්ට අනතුරු ඇඟවීය.

මැයි මස දී, පැසොක් සංවිධානය පලමු ගී‍්‍රක කප්පාදු පැකේජය සම්මත කල අවස්ථාවේ දී, ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙසේ අනතුරු ඇඟවීය. “කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන මූලෝපායක්, විරුද්ධත්වය දියකර හැරීමට කටයුතු කරන වෘත්තීය සමිති හා මධ්‍යම පන්තික සංවිධාන සමග වහාම ගැටුමකට එලඹෙනු ඇත. ගී‍්‍රසියේ දී වෘත්තීය සමිති, ගී‍්‍රක කොමියුනිස්ට් පක්ෂය හා සිරිසාව ඔවුන්ගේ මිත‍්‍ර, පපන්ද්‍රියෝ සමග සන්ධානය ද දේශපාලන සංස්ථාපිතය තුල ඔවුන්ගේ භූමිකාව ද පවත්වාගෙන යාමට තීරනය කර ඇත. පපන්ද්‍රියෝ ගේ සමාජ-ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැසොක් පක්ෂය පේ‍්‍රරනය කරගැනීමේ ඉදිරිදර්ශනයක් වගා කිරීම මගින්, වෙනත් රටවල ඔවුන්ගේ සහචරයින් කරන්නාක් මෙන් ඔවුන් ද කම්කරුවන් රාජ්‍යයටත්, ජාතිකවාදී දේශපාලනයට හා බැංකුවල කප්පාදු වැඩසටහනටත් යටත් කිරීමට දැනුවත්ව උත්සාහ කරති.”

දෙවන ලෝක යුද්ධයෙන් පසුව යුරෝපයේ කම්කරු පන්තියට අතිශයින්ම විනාශකාරී සමාජ ප‍්‍රහාරය එල්ල කරන ලද්දේ, ප‍්‍රථමයෙන් පපන්ද්‍රියෝ යටතේ ද පසුව යුරෝපා සංගමය විසින් එන්ඩී (නිව් ඩිමොක‍්‍රසි) හා අන්ත දක්ෂිනාංශික ලාඕස් පක්ෂ ඇතුලත් කොට ග‍්‍රීසිය මත පටවන ලද “තාක්ෂනික” ආන්ඩුව තුලින් ද ක‍්‍රියාත්මක වූ පැසොක් සංවිධානය විසිනි. එම ප‍්‍රහාරය ජීවන තත්වයන් වනසා මිලියන ගනන් දරිද්‍රතාවට ඇද දැම්මේ ය. මෙය 1974දි සී.අයි.ඒ. සහය ලත් මිලිටරි ජුන්ටාව බිඳවැටුනායින් පසුව නිව් ඩිමොක‍්‍රසි පක්ෂය ද සමග ග‍්‍රීක ආන්ඩුවේ ප‍්‍රධාන පක්ෂය ලෙස ක‍්‍රියාකල පැසොක් සංවිධානය කුඩු පට්ටම් කර දැමුවේය.

2012 මැයි මැතිවරන ව්‍යාපාරයේ දී පැසොක් සංවිධානය බිඳ වැටිනි; නිව් ඩිමොක‍්‍රසි පක්ෂය ලඟට දෙවැනි තැන දිනාගත්තේ සිරිසා ය; එවිට ලෝක සමාජවාදී වෙබ් අඩවිය, සිරිසා වේ ප‍්‍රතිගාමී වැඩසටහන පිලිබඳව අනතුරු ඇඟවූයේ මෙසේ ය: “දැනට යුරෝපා සංගමය සාකච්ඡා කරමින් සිටින ‘වර්ධනයේ ගිවිසුම’ මත සිප්රාස් පැහැදිලිවම සිය බලාපොරොත්තු තබාගෙන සිටි. එම ගිවිසුම ලෙඩ වූ බැංකු වලට අතිරේක අරමුදල් සැපයීම, තරඟකාරිත්වය වැඩි දියුනු කිරීම සඳහා ‘ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන’ හෙවත් නම්‍යශීලී සේවා කොන්දේසි හා අඩු වැටුප් යනාදියෙන් සමන්විත වේ. රාජ්‍ය වියදම් කප්පාදුව නොනවතා දිගටම කෙරෙනු ඇත. ඇත්තටම සිරිසාව ගී‍්‍රක මැතිවරනය දිනුවොත් ඔවුන්, මෙම ප‍්‍රහාර කි‍්‍රයාත්මක කිරීමේ ලා වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇත.”

නිව් ඩිමොක‍්‍රසි සංවිධානය 2012 මැතිවරනය දිනාගත්තායින් පසුව ප‍්‍රධාන අධිරාජ්‍යවාදී ආන්ඩු, සිප්රාස් මට්ටු කිරීම පටන් ගත්තෝය, ඔහු මුලින් ප‍්‍රධාන යුරෝපීය අගනුවර වලට ගියේ ය. පසුව, 2013 දී වොෂිංටන් ඩී.සී. සහ නිව් යෝර්ක්හි සංචාරය කලේ ය. අධිරාජ්‍යවාදී බලවතුන් ද මාධ්‍ය හා ව්‍යාජ වාම පක්ෂ ද සිරිසාව පිම්බීම විශ්ලේෂනයට භාජනය කල ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙසේ නිගමනය කලේ ය. “එලඹෙන පන්ති අරගල වලදී සිරිසාව කම්කරුවන්ට සලකනු ඇත්තේ, සතුරෙකු ලෙසය. බලයේ සිටියදී වේවා බලයෙන් තොරව වේවා එහි අරමුන වනු ඇත්තේ, කප්පාදු ප‍්‍රතිපත්ති කෙරේ මහජන විරෝධය සිරකොට රඳවා තබා කම්කරු පන්තිය මත මූල්‍ය ප‍්‍රාග්ධනයේ දේශපාලන ආධිපත්‍යය පවත්වා ගැනීමයි.”

නිව් ඩිමොක‍්‍රසි පාලනයේ කප්පාදු පියවරයන්ට එරෙහිව වැඩෙන වැඩ වර්ජන හා විරෝධතා වල වසරකට පසුව 2015 ජනවාරියේ සිරිසා බලයට පැමිනි කල්හි ලෝක සමාජවාදී වෙබ් අඩවිය, මෙසේ විවරනය කලේය. සිරිසා රජය වැඩ කරන ජනතාව ට අර්බුදයෙන් මිදීමේ මාර්ගය නම් නොවනු ඇත; ඒ වෙනුවට එය, දැවැන්ත අන්තරායක් නියෝජනය කරනු ඇත. එහි වාමාංශික මූනත්තහඩුව තිබුනේ වුව සිරිසා වනාහි, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත තට්ටුවක් මත රඳා පවත්නා ධනපති පක්ෂයකි. එහි ප‍්‍රතිපත්ති තීරනය කරන්නේ, සමාජ පර්යාය ආරක්ෂා කිරීම මගින් තම වරප‍්‍රසාද රැක ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිති නිලධාරීන්, බුද්ධි ජීවින්, වෘත්තිකයන් හා පාර්ලිමේන්තු කි‍්‍රයාකාරීන් විසිනි.”... එහි නායක, ඇලෙක්සිස් සිප්රාස්, ගී‍්‍රසියේ රුදුරු කප්පාදු වලින් (ඉතා සුලු) සහනයක් ලබාදීමට ඡන්ද දායකයින්ට පොරොන්දු වෙන අතර විදේශ බැංකු හා ආන්ඩු නියෝජිතයින්ට සිරිසා ආන්ඩුව ගැන ‘බිය වීමට දෙයක්’ නැතැයි පොරොන්දු වෙයි.”

සිරිසා ආන්ඩුවේ වාර්තාව විසින් මේ අනතුරු ඇඟවීම් සනාථ කර ඇත. ආරම්භයේ පටන් ම, එය තමන්ට ඡන්දය දුන් මිලියන සංඛ්‍යාත ජනයා ගේ අපේක්ෂාවන්ට සතුරු විය. ජාත්‍යන්තර විරෝධතා හා යුරෝපා සංගමය තුල කප්පාදු වලට එරෙහි පවතින මහජන විරෝධයට ආයචනා කරනු වෙනුවට සිරිසාව කලේ, යුරෝපීය පාලක පන්තීන් දිනාගැනීමේ ප‍්‍රයත්නයක් ආරම්භ කිරීමට වෑයම් කිරීමය. සිරිසා ඉදිරිදර්ශනය වූයේ, යුරෝපීය බැංකුකරුවන්ගේ පරිත්‍යාගශීලිත්වයට ආයාචනය කිරීමෙන් ද සීමිත නය සහන සහ අනෙකුත් සහන තුලින් ද යුරෝපා සංගමයේ කප්පාදු ප‍්‍රතිපත්ති වල සුලු ලිහිලක් ඇතිකර ගැනීම ය.

සිප්රාස් ගේ පලමුවන මුදල් ඇමතිවරයා වූ යානිස් වරූෆාකිස්, තමා ප‍්‍රාරම්භක යුරෝපා සංගම් සාකච්ඡා වලට සහභාගී වූ බවද එහිදී ජෝන් මේජර් ගේ බි‍්‍රතාන්‍ය කොන්සර්වේටිව් ආන්ඩුවේ තැචර්වාදී මුදල් ඇමති නෝමන් ලමොන්ට් සහ හිටපු එක්සත් ජනපද භාන්ඩාගාර ලේකම් ලෝරන්ස් සමර්ස් ද ඇතුලු “ජාත්‍යන්තර උපදේශකයින්ගේ මන්ඩලයක්” සමග එක්ව සංස්කරනය කල “ප‍්‍රමිත තැචර් සහ රේගන්වාදී” ආර්ථික යෝජනා ඉදිරිපත් කල බවද පසුව ඔබ්සර්වර් පුවත් පතට කියා සිටි යේ ය.

යුරෝපා සංගමය ඉදිරියේ බඩගාමින් සිරිසා නිලධාරීහු, ගී‍්‍රසියට එරෙහි ඉල්ලීම් හා තර්ජන උත්සන්න කිරීමට බර්ලින් පාලනය, බැංකු, හා සෙසු යුරෝපා සංගම් බලවතුන් දිරිගැන්වූහ. පෙබරවාරි 11 දා බර්ලින් නගරයට ගිය වරූෆාකිස්, ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් “යුරෝපයේ අතිශයින්ම තීක්ෂන දේශපාලනඥයා ය” යි ප‍්‍රකාශ කලේ ය. ඔහු මෙසේද කීය: “ඒ ගැන කිසිදු සැකයක් නැත. සමහර විට ඇයගේ මුදල් ඇමති වුල්ෆ්ගෑන්ග් ෂෝබල්, බුද්ධිමය හරයක් ඇති එකම යුරෝපීය දේශපාලනඥයා විය හැකිය.”

ගී‍්‍රසියේ නය හිමියන් සමග සිය සාකච්ඡා වලදී ග‍්‍රීක ධනේශ්වරයේ අවශ්‍යතා මූලික ලෙස සැලකූ සිරිසාව, ග‍්‍රීක ධනේශ්වරය ගෙනයන්නාවූ කොල්ලයට එරෙහිව කම්කරු පන්තිය ආරක්ෂා කිරීමට එකදු පියවරක් හෝ ගත්තේ නැත. සිරිසාව, සිය ජයග‍්‍රහනයෙන් ඉක්බිති මාස වලදී, යුරෝ දස බිලියන ගනන් රටින් පිටකර ගෙන බාධාවකින් තොරව ආර්ථිකය කොල්ලකෑමට ගී‍්‍රසියේ මූල්‍ය ප‍්‍රභූවට ඉඩ සලසා දුන්නේ ය. ප‍්‍රාග්ධනය පලායාම වලකාලීමට කිසිදු උත්සාහයක් නොකල අතර බැංකු ජනසතු කිරීම හෝ ගී‍්‍රක පාලක පන්තියේ ධනය, බලය හා වරප‍්‍රසාද උල්ලංඝනය කෙරෙන කුමන හෝ පියවරක් නොගන්නා ලදී.

ජනතාවගේ උද්යෝගය හා වෙනසක් සඳහා අපේක්ෂා පසුබා ගොස් දේශපාලන තත්වය ස්ථාවර වූ බව තහවුරු කරගත් වහාම සිරිසාව කලේ, යුරෝපා සංගමයට දන ගැසීමය.

පෙබරවාරි 20 වන දින, එය කප්පාදු අවබෝධතා ගිවිසුම පුලුල් කිරීමට සහ තම මැතිවරන උද්ඝෝෂනයේ පදනම වූ තෙසලෝනිකී වැඩසටහනෙන් පොරොන්දුවී තිබුනු ඉතා සීමිත ප‍්‍රතිසංස්කරන පවා අතහැර, අලුත් කප්පාදු පැකේජයක් යෝජනා කිරීමට එකඟ විය.

දින හතරකට පසු ඔවුන්, සෞඛ්‍ය සේවය, අධ්‍යාපනය, මහජන ප‍්‍රවාහන, පලාත් පාලන, සහ අනෙකුත් අත්‍යවශ්‍ය සමාජ සේවාවන් වල වියදම් කපා දමන බව ට සපථ කලේ ය. සිප්රාස් මෙම කප්පාදු ඇටවීමට භාවිතා කල දේශපාලන උපාමාරු කුමක් වුවත්, මෙම පියවර ගත්තායින් පසු සිරිසාවේ ප‍්‍රතිගාමී පන්ති ස්වභාවය ගැන කිසිදු සැකයක් තවදුරටත් තිබිය නොහැකි ය.

මාර්තු සිට තුන්මසක් පුරා යුරෝපා සංගමය සොච්චම් සහන පවා ලබා දීම ප‍්‍රතික්ෂේප කල කල්හි සිප්රාස්, තව තවත් නන්නත්තාර වෙමින් තමා බාරගත් කප්පාදු ගී‍්‍රක ජනතාවට පිලිගැන්වීමේ මාර්ගයක් සොයා ගැනීමට උත්සාහ කලේ ය.

සිප්රාස් පලමු වෙන් යුරෝපා සංගමය පැටවූ කප්පාදු පිලිගතයුතු ද නැද්ද යන්න පිලිබඳ ජනමත විචාරනයක් පැවැත්වීමේ අදහස ඉදිරිපත් කල අවස්ථාවේ, අපේ‍්‍රල් 30 වන දින, ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ අනතුරු හැඟවිය: “ඔහු සැරසෙන්නේ යුරෝපීය සංගමය සමග එකඟතාවකට එලඹීම සඳහා සිරිසාවේ මැතිවරන පොරොන්දු අමු අමුවේ උල්ලංඝනය කරන්නාවූ රුදුරු සමාජ කප්පාදු කි‍්‍රයාත්මක කිරීමට ය. “සිප්රාස් ජනමත විචාරනයක් සංවිධානය කිරීම ගැන සලකා බලන බව කියා සිටියේ, යුරෝපා සංගමය විසින් නියම කරන ලද්දාවූ ද ගී‍්‍රක ජනතාව විසින් දැඩිසේ ප‍්‍රතික්ෂේප කරනු ලැබුවාවූ ද පිලිවෙත් වලට ප‍්‍රජාතන්ත‍්‍ර සුජාත භාවයක වෙස් මුහුනක් දමා ගැනීමේ උත්සාහයක් හැටියටය.”

අන්තිමේ ජුනි මාසයේ දී සිප්රාස්, යුරෝපා සංගමයේ කප්පාදු පිලිබඳ ජනමත විචාරනයක් ජූලි 5 පැවැත්වෙන බව නිවේදනය කොට, එම කප්පාදු පියවර ප‍්‍රතික්ෂේප කරන “නැත” ඡන්දයක් ඉල්ලා සිටියේය. සිරිසා ආධාරකරුවන් පවා ලෝක සමාජවාදී වෙබ් අඩවිය අනතුරු අඟවා තිබුනු පරිදි මෙය නරුම දේශපාලන ප්‍රෝඩාවක් බව පිලිගනිමින් සිටියේය. සිප්රාස් ගේ සැලසුම වූයේ ජනමතයේදී “ඔව්” ඡන්දය දිනුවොත්, බලය අල්ලා ගෙන කප්පාදු පැනවීම සඳහා ඉඩ දක්ෂිනාංශික පක්ෂයට සැලසෙන පරිදි, එම ජයග‍්‍රහනය තමන්ට ඉල්ලා අස්වීමට හේතුවක් ලෙස පාවිච්චි කිරීමයි.

සිරිසා වේ, දිගු-කාලීන ආධාරකරුවෙකු, වන පැබ්ලෝවාදී තරික් අලි, ලන්ඩන් පුස්තක සමාලෝචනය (London Review of Books) සඟරාවේ මෙසේ ලීවී ය. “සිප්රාස් සහ ඔහුගේ අභ්‍යන්තර කවය ‘ඔව්’ නැතිනම් ඉතා පටු ‘නැත’ ඡන්දයක් දිනුවොත් මැනවැයි අපේක්ෂා කල බව තවදුරටත් රහසක් නොවේ. ... සිප්රාස් ජනමත විචාරනයක් පැවැත්වූයේ ම ඇයි? ‘ඔහු තද වැඩිය, අතිශයින් දෘෂ්ටිවාදීයයි’, මර්කෙල් ඇගේ උපදේශකයන්ට පැමිනිලි කලාය. ඇත්ත වශයෙන් ඔහු එසේ වී නම් එය ගනන්බලා ඇල්ලූ ඔට්ටුවකි. ඔහු ‘ඔව්’ කඳවුර දිනනු ඇති බව සිතුවේය. එවිට ඉල්ලා අස්වී යුරෝපා සංගමයේ අතවැස්සන්ට ආන්ඩුව බාරදීමට සැලසුම් කලේ ය.”

මෙම තක්සේරුව, ජනමත විචාර උපාමාරුව යටින් පැවති නරුම ගනන් බැලීම් පිලිබඳ පෙර කල විස්තර තහවුරු කිරීමකි. “එසේ යයි මා විශ්වාස කල පරිදි මා උපකල්පනය කර තිබුනේ ද අගමැති උපකල්පනය කර තිබුනේ ද අප කෙරේ පැවති සහයෝගය හා ‘එපා’ ඡන්ද වේගයෙන් බොඳ වී යනු ඇති බවය.” සිරිසා හිටපු මුදල් ඇමති වරූෆාකිස් ජනමතය හා සිරිසාවේ දනගැසීම පිලිබඳව ගාඩියන් පුවත් පතට එසේ කියා සිටියේ ය.

ජනමත විචාරනය ආසන්නයේදී, නිව්යෝර්කර් සඟරාවේ පලවූ වරූෆාකිස් ගේ ප‍්‍රලේඛය පරිදි, හිටපු මුදල් අමතිවරයා කියා සිටියේ, “වාසි සහගත ඡන්ද ප‍්‍රතිඵලයක් ලැබෙනු ඇති බවක් විශ්වාස කරගෙන එයින් ලැබෙන තෘප්තිය දැනටම තලු මරා රසවිඳිමින් සිටින මානසික සාමය අත්විඳින කෙනෙකු සේය. ඔහුගේ ආන්ඩුව, වාමාංශික සිරිසා පක්ෂය, පරදිනු ඇත. ජනතාව කප්පාදු පිලිගෙන ‘ඔව්’ යයි චන්දය දෙනවා ඇත. එනම් වරූෆාකිස් හා ඇලෙක්සිස් සිප්රාස් සුදානම්ව සිටියාට වඩා සහන දීමට පක්ෂව ජනතාව ඡන්දය දෙනු ඇත. වරූෆාකිස් ඇමති කමෙන් ඉල්ලා අස්වන අතර ඔහුට ආයි නම් බ‍්‍රසල්ස් සහ ලක්සම්බර්ග් නගර වල දින ගනන් තිස්සේ රැස්වීම් වලට සහභාගී වීමට සිදු නොවනු ඇත ....”

සිප්රාස්ගේ ‘ජනමත සූදුවේ ද ඉන් ඉක්බිති ඇතිවූ පරාජයේ ද එකම ශක්‍ය ප‍්‍රතිවිපාකය වනු ඇත්තේ, “ග‍්‍රීසියේ ගෝල්ඩන් ඩොන් නැමති ෆැසිස්ට් පක්ෂය තවදුරටත් ශක්තිමත් වීම”ය යි වරූෆාකිස් ගාඩියන් පුවත් පතට කියා සිටියේ ය.

එසේ වුව ද සිරිසාවේ සහචරයෝ, ජනමත විචාරනය තීරනාත්මක පියවරක් හා ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රයේ මල්පල ගැනීමක් ලෙස පවා හුවා දැක්වුහ. එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය විසින් සිරිසා වාමාංශික වේදිකාවේ කොටසක් වන ජාලයේ ප‍්‍රකාශයක් පල කලෝ ය. එය කියා සිටියේ, නය හිමියන්ගේ අවසන් නිවේදනය ප‍්‍රතික්ෂේප කොට, රුදුරු කප්පාදු පැනවීමට අලුත් පෙර ගිවිසුම් පත‍්‍රයකට අත්සන් කිරීම ප‍්‍රතික්ෂේප කිරීම හා සිප්රාස් ගත් තීන්දුව, ජුලි 5 වනදා ජනමත විචාරනයේදී පලවූ ජනතා අභිලාෂය ප‍්‍රකාශ කිරීම පිනිස කැඳවුම් කරමින් ගත් සිප්රාස්ගේ තීරනය වනාහි ග‍්‍රීසියේ දේශපාලනය පරිවර්තනය කරන්නාවූ තීන්දුවකි.”

ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, “සිරිසාව පහසුවෙන් කප්පාදු පක්ෂයක් බවට පරිවර්තනය කල නො හැකි ය”යි අමතක නොවන ප‍්‍රකාශයක් ද කලේ ය.

තමන්ගේ පැත්තෙන් ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ අනතුරු ඇඟවීය: “සිප්රාස් තම ජනමත විචාරනයේ අන්තර්ගතය වැඩකරන ජනතාවට සංක්ෂේපයෙන් පැහැදිලි කලේ නම් ඔහු මෙසේ කියනු ඇත: (කාසියේ) හිස වැටුනොත් යුරෝපීය සංගමය දිනයි; අනෙක් පැත්ත වැටුනොත් ඔබ පරාදයි. පස් වසරක කප්පාදුව අවසන් කිරීමේ පොරොන්දුච උඩ මැතිවරන ය දිනා මාස කිහිපයක් ඇතුලත ජනමත විචාරනය කැඳවා තිබෙන්නේ, යුරෝපා සංගමයට සිරිසාවේ යටත්වීම දේශපාලන වශයෙන් ආවරනය කිරීමටය. සිරිසාවට සටන් කිරීමට යම් බලාපොරොත්තුවක් තිබුනි නම් ගී‍්‍රක ජනතාව විසින් ඒ වන විටත් යුරෝපා සංගමයේ කප්පාදු පිලිකෙව් කර තිබුනු තතු තුල, ඒ පිලිබඳ ව තවත් ජනමත විචාරනයක් කැඳවීමට කිසිදු උවමනාවක් තිබුනේ නැත.”

ගී‍්‍රක ජනතාව පන්ති රේඛා ඔස්සේ තියුනු ලෙස පෙල ගැසුනු අතර යුරෝපා සංගමයේ කප්පාදු ප‍්‍රතික්ෂේප කරමින් දුන් නාය යාමක් බඳු සියයට 61ක “නැත” ඡන්දයත් සමග සිප‍්‍රාස්ගේ ජනමත විචාරය අතේ පත්තු විය.

“නැත” යන ඡන්දයකට ප‍්‍රතික‍්‍රියා වශයෙන් ගී‍්‍රසිය යුරෝ කලාපයෙන් පලවාහැර, පෙර නුවු විරූ මූල්‍ය අර්බුදයක් නිර්මානය කරනු ඇතැයි, යුරෝපා සංගම් හා ග‍්‍රීක් මාධ්‍ය කල තර්ජන වලට එරෙහිව නොබියව නැගි සිටි ඡන්දදායකයෝ, කප්පාදුව ප‍්‍රතික්ෂේප කලෝය. එම ඡන්දයේ පැහැදිලි ඇඟවුම වූයේ ගී‍්‍රක කම්කරු පන්තිය ධනවාදය සමග ගැටුමකට සූදානම් බව ය.

ජනතාව මුලා කිරීම සඳහා කැඳවා තිබූ ජනමත විමසුමේ “නැත” ඡන්දයේ ජයග‍්‍රහනය සිරිසාව සන්ත‍්‍රාසයටත් බියටත් පත් කලේය.

තරික් අලි ලන්ඩන් රිවීව්හි මෙසේ ලියයි: “ඔවුහු අලා මුලා වූහ. හදිසි කැබිනට් රැස්වීමක් පෙන්නුම් කලේ ඔවුන් මුලුමනින්ම පසුබසින අයුරු ය. ඔවුහු ගී‍්‍රක රාජ්‍ය බැංකුව භාරව සිටි යුරෝපා මහ බැංකුවේ බලධාරියාගෙන් අත් මිදීම සහ බැංකු ජනසතු කිරීම ප‍්‍රතික්ෂේප කලහ. සිප්රාස් ජනමත ප‍්‍රතිඵල පිලිගෙන ක‍්‍රියාකිරීම පසෙක තබා, යටත් විය...”

යුරෝපා සංගමයේ රාජ්‍ය ප‍්‍රධානීන් සමග සති කිහිපයක් තිස්සේ පැවැත්වූ උමතු සාකච්ඡා වලින් පසු සිප්රාස්, යුරෝ බිලියන 13 (ඇමෙරිකානු ඩොලර් බිලියන් 14.34ක්) කප්පාදු පැකේජයක් පිලිගත්තේ ය. මේ වනාහි මෙතෙක් යුරෝපා සංගමය විසින් නියම කරනලද කප්පාදු පැකේජ වලින් රුදුරුම එකයි.

ජනමත විචාරයේ ස්වභාවය ගැන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කල් තියා කල අනතුරු ඇඟවීම් ඉක්බිති සිදුවූ දෙයින් සනාථ කෙරිනි. මෙම “නැත” ඡන්දය, කම්කරු පන්තිය තුල පවත්නා සටන්කාමී මනෝභාවය සහ සිරිසා පිලිවෙත්වල අවජාතක ස්වභාවය එලිදරව් කලේ ය. ඒ නමුත් එය ජනතා අරගලය තුල කම්කරු පන්තිය බලමුලු ගැන්වීම සඳහා කිසිවක් කලේ නැත. ජනමත විචාරනය සිප්රාස්-අත එනම් කප්පාදු බලවේග අත දේශපාලන ආරම්භකත්වය තබනු ලැබීය.

කම්කරු පන්තියට හා ජූලි ජනමත විචාරනයේ දී “නැත” ඡන්දය දුන් ගී‍්‍රකයන් ගෙන් අතිමහත් බහුතරයට ඊලඟට 2015 සැප්තැම්බරයේ පැවති මහ මැතිවරනයේ දී ඡන්ද බලය මුලුමනින්ම අහෝසි කරන ලදී. ප‍්‍රධාන අපේක්ෂකයන් වූ සිප්රාස් හා නිව් ඩිමොක‍්‍රසි‍ පක්ෂයේ මයිමරකිස් යන දෙන්නාම ඉදිරිපත් වූයේ විවෘත කප්පාදු ගැති වැඩසටහන් උඩ ය. ජනතාව ඡන්දය වර්ජනය කල තතු තුල සිප්රාස්ට මෙම මැතිවරනය දිනා ගැනීමට හැකි වුයේ, කප්පාදුවට එරෙහි කිසිදු මැතිවරන විකල්පයක් නැති වීම හා නිව් ඩිමොක‍්‍රසි සංවිධානය කෙරේ පැවති ගැඹුරු මහජන විරෝධයේ වාසිය ගසාකෑමට හැකිවීම නිසාය.

යලි බලයට පත් සිප්රාස් යුරෝපා සංගමය සමග සම්බන්ධවී, ගී‍්‍රක කම්කරු පන්තියේ සමාජ අයිතීන්ට වනචර ප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා සිරිසාව මෙහෙයවා තිබේ. ඔහුගේ කප්පාදු අයවැය මගින් අවම විශ‍්‍රාම වැටුප් මට්ටම් සියයට 20 ක කප්පාදුවකට ලක්කොට ඇත. උකස් වාරික හිඟ සහිත නිවාස හිමියන් නෙරපා දැමීම සඳහා ඔවුන්ගේ රාජ්‍ය සුරක්ෂාව අහෝසිකොට පවුල් ලක්ෂ ගනනක් සමූහ වශයෙන් ඉවත් කිරීම් සඳහා වේදිකාව සැකසීමට සිරිසාව නායකත්වය දෙමින් සිටි. මෙම මෘග ප‍්‍රහාර වලින් කම්කරු පන්තිය ට ආරක්ෂාවී ගත හැක්කේ සිරිසාවට එරහි අධිෂ්ඨාන සහගත අරගලයකින්ය යන්න පිලිබඳ තවදුරටත් තහවුරුවක් අවශ්‍ය නම් එම තහවුරුව සැපයෙයි.

4. සිරිසාවේ සම්භවය හා පරිනාමය

සිරිසාව සිදු කල පාවාදීම අහසින් කඩා වැටුනේ නැත. සිරිසා ව තමන් “වාම රැඩිකල්” පක්ෂයක් ලෙස අලෙවි කරගත් නමුත්, එය ක‍්‍රියාත්මක කල පිලිවෙත එහි ඉතිහාසයෙන් අනිවාරනීය ලෙස ගලා ආවේ ය: එය, එහි ප‍්‍රභවයේ පටන්ම, කම්කරු පන්තියට සහ මාක්ස්වාදයට සතුරු ධනේශ්වර පක්ෂයක් විය.

සිරිසා, 2004 දී මතුවූයේ, විවිධ සුලු-ධනේශ්වර පක්ෂ සිනප්සිස්මොස් (සභාග හෙවත් සින් සංවිධානය) වටා රොක් වෙමිනි. එම අවස්ථාවේ දී සිප්රාස්, සින් සංවිධානයේ තරුන නායකයෙකු විය. කේකේඊ පක්ෂය ද ඇතුලු සින්, ගී‍්‍රක ස්ටැලින්වාදයේ බිඳ වැටීමෙන් ඉතුරුවූ ප‍්‍රධාන කැබලිත්ත විය. එයට ආකර්ෂනය වූ ඩීඊඒ (සෝවියට් සංගමය රාජ්‍ය ධනවාදී යයි හෙලා දුටු ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් වන ජාත්‍යන්තරවාදී කම්කරු වම) වැනි කන්ඩායම්, 1974 දී කර්නල්වරුන්ගේ මිලිටරි ජුන්ටාව බිඳ වැටීමෙන් ඉක්බිත්තේ ශිෂ්‍ය ව්‍යාපාරයෙන් පැනනැංගේය.

මෙම ශිෂ්‍ය ව්‍යාපාරය වැඩී ආවේ, ගී‍්‍රක සිවිල් යුද්ධය සහ එකක් පස්සේ එකක් වශයෙන් එලඹී හමුදා පාලනයන් ද ෆැසිස්ට්වාදයේ අපරාධ නිසා ද ගී‍්‍රක ජනගහනයේ පුලුල් කොටස් අතර ධනවාදය අපකීර්තියට පත්ව තිබුනු තත්වයක් තුල ය. ශිෂ්‍යයෝ පැසොක් සංවිධානය විසින් පාලනය කල වෘත්තීය සමිති විසින් කැඳවන ලද වැඩ වර්ජන වලට ද මෙම විරෝධතාවන්ට සහභාගී වූ අතර ඉන් ඔවුන්ට ප‍්‍රසිද්ධිය හා යම් දේශපාලන අනුහසක් හිමිවිය. එහෙත් මෙම ශිෂ්‍යයන් කම්කරු පන්ති විප්ලවයේ ඉදිරිදර්ශනයට සහාය දුන් බවක් මින් කිසිසේත් ම සනිටුහන් වූයේ නැත.

ඒ වෙනුවට ඔවුන් විකාශනය වූයේ 1968න් ඉක්බිති සුලු ධනේශ්වර බුද්ධිමතුන්ගේ පුලුල් දකුනට පැදීමකුත් සමගය. ඒ අවුරුද්දේ සෝවියට් හමුදාව ප‍්‍රාග් වසන්තය (චෙකොස්ලොවකියාවේ මහජන නැගිටීම) මර්දනය කල අතර ප‍්‍රන්ස කොමියුනිස්ට් පක්ෂය 1968 මැයි-ජුනි ජෙනරල් ස්ට‍්‍රයිකයේ දී ප‍්‍රන්ස කම්කරු පන්තිය බලය අල්ලාගැනීමෙන් වලක්වා ලීය. කම්කරු පන්තියේ ද තරුනයින්ගේ ද පුලුල් රැඩිකලිකරනයක් තුල ස්ටලින්වාදී පක්ෂ, පවත්නා පර්යායේ ආරක්ෂකයන් ලෙස එලිදරව් විය. මෙයින් පසු ඔවුන්ට, කලින් ඔවුන් ඉටු කල භූමිකාව, එනම් සෝවියට් නිලධරයේ විදේශ ප‍්‍රතිපත්තිය ට ගැලපෙන පරිදි සාමාජීය විරෝධතා පාලනය කොට, කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලක්වා ලීම තව දුරටත් කල නොහැකිවිය.

කෙසේ වෙතත්, ස්ටැලින්වාදය මෙසේ නිරාවරනය වීමට, ශිෂ්‍ය ව්‍යාපාරය තුල නියෝජනය වූ මධ්‍යම පන්තික කොටස්, ප‍්‍රතිචාර දැක්වුයේ කම්කරු පන්තිය තුල අව්‍යාජ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමට උත්සාහ කිරීම මගින් නොවේ. ඒ වෙනුවට ඔවුන් කලේ, විප්ලවවාදී බලවේගය ලෙස කම්කරු පන්තිය ප‍්‍රතික්ෂේප කරමින්, ලෙනින් හා ට්‍රොට්ස්කිගේ නායකත්වය යටතේ 1917 දී රුසියාව තුල ධනවාදය පෙරලා දැමූ බොල්ෂෙවික් පක්ෂය වර්ගයේ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ අරගලය ප‍්‍රතික්ෂේප කිරීමය. මෙය යුක්ති සහගත කිරීම සඳහා ඔවුහු වාම සමාජවාදී නාමධාරී වචන හරඹයක යෙදුනෝය.

ගී‍්‍රක සුලු-ධනේශ්වර දේශපාලනය තුල සිරිසාවේ ප‍්‍රමුඛ ප‍්‍රතිවාදීන් ගෙන් එකෙකු වූ ද අන්තර්ස්යා සංවිධානයේ නායකයෙකු වූ ද පනගොටිස් සොටිරිස් සඳහන් කල පරිදි, ඇත්ත වශයෙන් ඔවුන් ඒ වෙනුවට තැතනුවේ මධ්‍යම පන්තිය තුල පක්ෂය ඉදි කිරීමට ය. ඔහු Jacobin (ජැකොබින්) සඟරාව ට පැවසූ අයුරු, “සරසවි තුල එවැනි වාම ‘නවකාන්ඩ ගැසීම්’ වැනි ඒකීය අත්හදාබැලීම් වඩාත් මූලෝපායාත්මක ස්වභාවයක් ගනිතැයි අපි සිතුවෙමු. සාම්ප‍්‍රදායික සංවිධාන හෝ පක්ෂ වලට ප‍්‍රති විරුද්ධව ඔවුන්ට රැඩිකල් වමේ යලි රචනා කල මේ ජාතියේ වැඩවලට උදව් කරන්න පුලුවන්.”

සුලු-ධනේශ්වර දේශපාලනයේ මේ පන්නයට න්‍යායික සහ දේශපාලන රුකුල සපයන ලද්දේ, අර්නස්ටෝ ලැක්ලාවු වැනි පශ්චාත් නුතනවාදී සහ “පශ්චාත්-මාක්ස්වාදී” බුද්ධිමතුන් විසිනි. ලැක්ලාවු බි‍්‍රතාන්‍ය යේ එසෙක්ස් සරසවිය තුල දී සිරිසාවේ වත්මන් නායකයන් ගනනාවක් පුහුනු කල ආර්ජෙන්ටිනියානු ජාතික මහාචාර්ය වරයෙකි. බෙල්ජියානු ශාස්ත‍්‍රාලික චැන්ටල් මවුෆෙ සමග සම-රචිත ඔහුගේ Hegemony and Socialist Strategy (හෙජමොනිය හා සමාජවාදී මූලෝපාය) නමැති බෙහෙවින්- කියැවෙන 1985 පොත කම්කරු පන්තියට හා මාක්ස්වාදයට එරෙහිව පූර්න ප‍්‍රහාරයක් එල්ල කලේ ය.

ලැක්ලාවු හා මවුෆෙ ඔවුන්ගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටියේ “සම්භාව්‍ය කතිකාවේ එන, ‘කම්කරු පන්තිය’ වැනි, පරිපූර්නයෙන් ඒකාබද්ධ හා සමජාතීය ඒජන්තයෙකු පිලිබඳ අදහස ඉවත ලන” ලෙසය. කම්කරු පන්තියක් නොපවතින බව ද සමාජවාදය සඳහා හෝ සමාජවාදී විප්ලවය සඳහා වෛෂයික සමාජ ආර්ථික පදනමක් නැති බව ද කියා සිටින ඔවුහු මෙසේ ලියති: “මේ ‘සැබෑ’ කම්කරු පන්තිය හා එහි සීමා සොයායෑම අභව්‍ය ප‍්‍රශ්නයක් වන බැවින් මොනම න්‍යායික හෝ දේශපාලනික අදාලත්වයකින් තොරය. පැහැදිලිවම මෙය ගම්‍ය කරන්නේ, සමාජවාදය සඳහා ඇති මූලික ආසක්තයන් තර්කානුකූලව ආර්ථික කි‍්‍රයාවලිය තුල නිර්නිත ආස්ථානයන් තුලින් තීරනය කල නොහැකි බව ය.”

කල් යත් යත් ලැක්ලාවු, කම්කරු පන්තියේ විප්ලවවාදී භූමිකාව ප‍්‍රතික්ෂේප කිරීමේ සිය ආස්ථානය, ධනේශ්වර සමාජය තේරුම් ගැනීමේ කුමන හෝ උත්සාහයකට තරයේම විරුද්ධ අහේතුක සතුරුකමක් බවට හරවා ගත්තේය.

“දෙවියා පමනයි දන්නේ” යන මැයෙන් සිය 1991 රචනයක දී, “තර්කයේ අධිරාජ්‍යවාදය” හෙලාදකිමින් ලැක්ලාවූ මෙසේ ලිවීය: “අපි දැන් කම්කරු පන්තිය තවමත් ප‍්‍රධාන ඓතිහාසික කාර්තෘ ද නැතහොත් එම භූමිකාව නව සමාජ කාරකයන්ට මාරුව ඇත් ද යන විවාදය මොහොතකට සලකා බලමු. (එවැන්නක් ඉදිරියේ) මා තර්ක කරනුයේ, මේ ආකාර සූත‍්‍රයක්, තමන් විසින් අතික‍්‍රමනය කිරීමට යත්න දැරෙන පැරනි ඓතිහාසික හා සමාජ සංකල්පය තුලම හිරවී පවතින බව පෙන්නා දෙමිනි. මන්ද යත් එවැනි තර්කයක්, තවමත් තර්කානුකූලව ඥානනය කල හැකි ඓතිහාසික හා සමාජීය පරිවර්තනය විසින් නිර්නිත, තනි වරප‍්‍රසාදිත අධිකර්තෘ කෙනකු සිටිය යුතු බවක් පිලිගැනෙන හෙයිනි. එහෙත් ප‍්‍රශ්නයට බඳුන් කල යුත්තේ හරියටම මේ අවසන් අභ්‍යුපගමනයමයි.”

අන්ඩි‍්‍රස් පපන්ද්‍රියෝ ගේ පැසොක් ආන්ඩුවේ අර්බුදය සහ බිඳවැටීම මධ්‍යයේ, 1989 පෙබරවාරි යේ දී (SYN) සංවිධානය පිහිටුවන ලද කල්හි, මධ්‍යම පන්තිය තුල පැවතියාවූ උග‍්‍ර අතාර්කික සංකල්ප එවන් වේ. සින් සංවිධානය කේකේඊ හා ග‍්‍රීක වාම පක්ෂය අතර මැතිවරන සභාගයකි. ග‍්‍රීක වාම පක්ෂය වනාහි “යුරෝ කොමියුනිස්ට් වාදීන් විසින් ආධිපත්‍යය උසුලන ලද” කේකේඊයෙන් බිඳී වෙන්වූ, ඒ සමගම හිටපු පැසොක් මන්ත‍්‍රී නිකොලස් කොන්ස්ටන්ටෝ පවුලුස් වැනි ධනපති දේශපාලඥයින් ද අන්තර්ගත කරගත්, ස්ටැලින්වාදී ප‍්‍රවනතාවකි.

ස්ටැලින්වාදය පිලිබඳ යුරෝ-කොමියුනිස්ට්වාදී විවේචනයට, ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය විසින් ක්‍රෙම්ලින් නිලධරයට එරෙහි ව වර්ධනය කල මාක්ස්වාදී විපාර්ශවය සමග පොදු වූ කිසිවක් ඇත්තේ නැත. ට්‍රොට්ස්කි පෙනී සිටියේ, පරපුටු නිලධරය පෙරලා කම්කරු ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි ස්ථාපිත කර ඔක්තෝබර් විප්ලවයේ සාරභූත සමාජ ජයග‍්‍රහනයන් ආරක්ෂා කිරීම සඳහා මෙහෙයවුනු සෝවියට් කම්කරු පන්තියේ දේශපාලන විප්ලවය උදෙසාය. යුරෝ- කොමියුනිස්ට්වාදය වනාහි ස්ටැලින්වාදය දකුනට පරිහානි ගත වීමකි.

යුරෝ-කොමියුනිස්ට්වාදීන් පිලිබිඹු කලේ, ලැක්ලාවු විසින් උසුරුවනු ලැබූ ජාතියේ ප‍්‍රති-මාක්ස්වාදී සංකල්ප, ස්ටැලින්වාදී පක්ෂ තුල වැඩිවන අනුහසක් අත්කරගැනීමය. ඔවුහු සිය පාලක පන්ති සමග වඩා සමීප සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා මොස්කෝවෙන් ඈත්වීමට, විප්ලවය, මාක්ස්වාදය හා ඔක්තෝබර් විප්ලවය විවෘතවම ප‍්‍රතික්ෂේප කලහ. ඉතාලි හා ස්පාඤ්ඤ කොමියුනිස්ට් පක්ෂ අතර බහුතරයක් වූ මෙම ප‍්‍රවනතාවය, සෝවියට් සංගමය දිය කොට ධනවාදය පුනස්ථාපනය කිරීම සඳහා මිහායිල් ගොර්බචෙව් යටතේ මොස්කව් ස්ටැලින්වාදී නිලධරය ගිය ගමනට පාවාඩ එලූ අය වූහ.

සිරිසාව පිහිටුවීම වනාහි ග‍්‍රීක ස්ටැලින්වාදයේ සියලු පැහැයන් විසින් කම්කරු පන්තිය යුග-කාරක පාවාදීමකට ලක්කිරීමේ පූර්විකාව විය. පපන්ද්‍රියෝගේ ආන්ඩුව බිඳ වැටීමෙන් පසුව, ඊලඟ මැතිවරනයේ දී බහුතරයක් දිනා ගැනීමට එන්ඩී (නිව් ඩිමොක‍්‍රටික් පක්ෂය) අසමත් වූ කල්හි, සින් සංවිධානය එන්ඩී සමග සභාග ආන්ඩුවකට එකතුවිය. මෙය ස්ටැලින්වාදීන්, 1946-1949 ගී‍්‍රක සිවිල් යුද්ධය පැවති කාලයේ දී ද 1967-1974 කර්නල්වරුන්ගේ ජුන්ටාව යටතේ ද කම්කරු පන්තියේ විරෝධය ලෙයෙහි ගිල්වූ ගී‍්‍රක දක්ෂිනාංශය සමග සන්ධානයකට ගෙනාවේ ය. 1990 ගනන් වල මෙම හවුල වැටෙන තෙක් පැසොක් ද ඊට ඇතුලත් වන පරිදි එය පුලුල් කරන ලදී.

කේකේඊ (ගී‍්‍රක කොප) හා සිරිසාවේ පෙරසැරියෝ, තමන් දැන් තිරසාර ලෙස ධනේශ්වර පර්යායේ කඳවුරට සේන්දුව සිටින බවට ධනපතියන්ට සංඥා කලහ. නිව් ඩිමොක‍්‍රසි (එන්ඩී) සමග සිය සභාග ආන්ඩු අවධියේ දී සින් සංවිධානයේ නිලධාරීහු, අභ්‍යන්තර සහ නීතිය පිලිබඳ ඇමතිවරුන් ලෙස කටයුතු කර ඇත. මේ අනුව, ඔවුන් දෙවන ලෝක සංග‍්‍රාමයට පසුව පැවතී ගී‍්‍රක, සිවිල් යුද්ධයේ දී ද කර්නල්වරුන්ගේ ජුන්ටාව සමයේ ද කම්කරුවන් හා ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ මෙන්ම කේ.කේ.ඊ. (ගී‍්‍රක කොප) සාමාජිකයින් ද පාත‍්‍ර කැරුනු මහා ඝාතනය සහ වධ බන්ධනය පිලිබඳ ලිපිගොනු, පාලනය කලෝ ය. සින් සංවිධානය මෙම අපරාධ පරීක්ෂා නොකලා පමනක් නොව, එයට වගකිව යුතු අයට එරෙහිව චෝදනා කිරීමට සාක්ෂි ඇතුලත්ව තිබූ බොහෝ ලිපි ගොනු විනාශ කිරීමට ද ඉඩ දුනි.

ඉන් වසරකට පසුව, සෝවියට් නිලධරය තුල සිටි සින්හි සහචරයෝ සෝවියට් කම්කරු පන්තිය කොල්ල කමින් ද පැවති සෝවියට් සංගමය තුලට අධිරාජ්‍යවාදයේ මැදිහත් වීමට දොර හැර දෙමින් ද සෝවියට් සංගමය විසුරුවා හරිමින් ධනවාදය පුනස්ථාපනය කලෝ ය. කේකේඊ හා සිරිසා වේ පෙරසැරියන් මේ යෝධ අපරාධය මගින් පෙන්නුම් කලේ, ඔවුන් විසිවන සියවසේ දී කම්කරු පන්තියේ අරගල සමග පවත්වා ගෙන තිබුනු සකල සබඳතා බිඳ දමා ඇති බව යි. කෙසේ වෙතත් 1991 දී කේකේඊය (ගී‍්‍රක කොප), සින් සන්ධානය හැර ගියේ එය හිටපු යුරෝ “කොමියුනිස්ට්වාදීන්ගේ” බලකොටුවක් බවට පත් කරමිනි.

මේ අනුව සින් සහ කේකේඊ (ග‍්‍රීක කොප) යන සංවිධාන දෙකම සෝවියට් නිලධරයේ ප‍්‍රති විප්ලවවාදී ප‍්‍රතිපත්තිවලට බැඳුනු පක්ෂවල තත්වයේ සිට, ධනේශ්වර පක්ෂ බවට මුලුමනින්ම පරිවර්තනය වීම සම්පූර්න කර ඇත්තාහ.

සිරිසා වේ අනෙකුත් ප‍්‍රවනතා - එනම් ජාත්‍යන්තරවාදී කම්කරු වම (ඩීඊඒ) සහ මා ඕවාදී සහ පාරිසරවාදී කන්ඩායම් සහ කේකේඊයෙන් භේදවූ අනෙකුත් ප‍්‍රවනතා - මෙම ධනේශ්වර ගැති විකාශනයේ පදනම මත, සිරිසා සමග යලි එකතු වීමට ගමන් කලෝය. ජාත්‍යන්තරවාදී කම්කරු වම (ඩීඊඒ) සංවිධානයේ පනොස් පෙට‍්‍රරෝ 2000 මුල් සමයේ සිරිසා පිහිටුවාලීම පිලිබඳ ලිපියක මෙසේ ලියයි: සින් සංවිධානය “පාර්ලිමේන්තුව තුල නියෝජනය ලබා ගැනීමට වුවමනා සීමා රේඛාව ඉක්මවීමට තරම් ඡන්ද දිනා ගැනීමට නොහැකි වීමේ තර්ජනයට මුහුන දෙමින්, මැතිවරන පරිහානියකට පත්ව තිබුනි. මෙය සිදු වූයේ එහි මධ්‍ය-වාම පිලිවෙත නිසා සින්, පැසොක් සංවිධනයේ පරිවාරයෙකු සේ පෙනී යන තත්වයක් උද්ගත වූ හෙයිනි.”

2004 දී සිරිසා පිහිටුවීම වනාහි, වඩා “වාම” මුහුනක් පෙන්නා ඉරාක-යුද්ධයට එරෙහි විරෝධතා වලට සම්බන්ධ වූ අනෙකුත් පක්ෂ බා ගනිමින්, සින් සංවිධානයේ පන රැක ගැනීම සඳහා දරන ලද උපාමාරුවක් විය. පෙට්‍රෝ සටහන් කරන පරිදි, “සිරිසාව වනාහි සින් නායකත්වය පාර්ලිමේන්තුවට ඇතුලු කිරීම සඳහා අවශ්‍ය ජාතික ඡන්දයෙන් සියයට 3 ක ඉර පැනගැනීම එල්ල කරගත් බොහෝකොටම මැතිවරන සන්ධානයක් විය.”

ඔවුන්ගේ භූමිකාව සිරිසා තුල වූ සමාජ ස්ථරයන්ගේ වැඩි වන ධනය සහ තත්වාරක්ෂකවාදය පිලිබිඹු කලේ ය. මාධ්‍ය හෙලිදරව් කල පරිදි සිරිසා ඇමතිවරුන්ගේ විශාල ඉතුරුම් ගිනුම් සහ බහු නිවාස හිමිකම පැහැදිලි කලේ, කලින් සිසුන්ව සිටි මොවුන්, වරප‍්‍රසාදිත මධ්‍යම පන්තියට පැනගැනීමට උදව් වන පරිදි, වෘත්තීය සුදුසුකම් ලබාගෙන සිටි අයුරු ය. යුරෝපීය ආර්ථිකය මූල්‍යකරනය තුලින් ද නැගී එන දේපල වෙලඳ පොලෙන් ද යුරෝව හඳුන්වාදීමේ ප‍්‍රති ලාභ තුලින් ද වාසි ලත් මොවුන්ට, ලැක්ලාවු හා ඔහු වන් වෙනත් ලේඛකයන්ගේ ඉගැන්වීම් තුලින් ධනවාදයේ පුන්‍යතා ඒත්තු ගන්වා තිබුනි.

ලැක්ලාවු විසින් පන්ති අරගලය ද සමාජ පන්ති පිලිබඳ මුලු සංකල්පය ම ද ඉවත දැමීම තුල, මොවුන්ගේ මනෝභාවයෝ ඒවායේ පුර්න ප‍්‍රකාශනය අත් කර ගත්හ. 2007 දී ඔහු සිය “මතවාදය හා පශ්චාත්-මාක්ස්වාදය” යන කෘතියේ මෙසේ පැවසීය: “ප‍්‍රති-ධනවාදී අරගලයේ කාරකයන් බොහෝ ය; ඒවා ‘පන්ති’ වැනි එක සරල ප‍්‍රවර්ගයක් කරා ඌනනය කල නොහැකි ය. වැඩිපුර සටන් අපට දක්නට ලැබෙනු ඇත. වැඩි වැඩියෙන් ගෝලීකෘත යුගයකට පිවිසෙත්ම සටන් ‘පන්ති අරගල’ වනු ඇත්තේ වඩ වඩාත් අඩුවෙනි.”

ග‍්‍රීක කම්කරුවන්ගේ ජීවන තත්වයන් දැවැන්ත පරාභවයකට ඇද දැමීමේ ලා සිරිසා රජයේ භූමිකාව, එවැනි අතාර්කික ප‍්‍රති මාක්ස්වාදී සංකල්පයන්ගේ ප‍්‍රතිගාමි ඇඟවුම් වලට සාක්ෂි දරයි. යථාර්ථය තාර්කිකව අවබෝධ කර ගත නොහැකිය යන බුද්ධි විරෝධී අවධාරනය හා කම්කරු පන්තිය ඉවත දැමීම යන මේ දේ, නමට පමනක් “වාම” වූ සුලු ධනේශ්වර පක්ෂ වල න්‍යායික ආහාරය සම්පාදනය කරයි. සිරිසාව ගී‍්‍රසියේ ආර්ථික සියදිවි නසා ගැනීමක් බඳු අතාර්කික කප්පාදු ප‍්‍රතිපත්ති පටවන්නේ, වැඩකරන ජනගහනයේ පුලුල් කොටස මුලුමනින්ම නොතකා හරිමිනි.

5. සිරිසාවේ “වාම” සහචරයෝ

කප්පාදු වලට එරෙහිව කම්කරු පන්තිය විසින් කරනු ලබන අරගලයක අත්‍යවශ්‍ය පූර්ව කොන්දේසිය වන්නේ, එවන් දූෂිත ව්‍යාජ-වාම දේශපාලනයෙන් බිඳී වෙන් වීමයි. සිප්රාස්ගේ ප‍්‍රථම රජයේ “වාම” විවේචකයන් ලෙස පෙනී සිටි ග‍්‍රීක් පක්ෂ, සැප්තැම්බර් මැතිවරනයේ දී කිසිසේත්ම සැලකිය යුතු ඡන්ද සංඛ්‍යාවක් දිනා ගැනීමට අසමත් වීමෙන් එම පක්ෂවල විශද අසාර්ථකත්වය පෙන්නුම් කෙරුනි.

පොපියුලර් යුනිටි (ලයිකි ඉනොටිටා) පක්ෂය (සිරිසාවෙන් ඉවත් වූ පසු ඇන්ටාර්සියා සභාගයෙන් වාම වේදිකාවට සහාය සඳහා මාඕවාදී කන්ඩායම් ගෙන ආවේ මේ පක්ෂයයි) පාර්ලිමේන්තුවට එක මන්ත‍්‍රීවරයෙකු වත් පත් කර ගැනීමට උවමනා සියයට 3 ක අවමය වත් දිනා ගැනීමට අසමත් විය.

අන්තර්සියා සංවිධානයේ ඉතිරි කන්ඩායම් සහ සවාස් මයිකල්ගේ ඊඊකේ (කම්කරු විප්ලවවාදී පක්ෂය) එකට පුරුද්දා තනාගනු ලැබූ විවිධ පැබ්ලෝවාදී සහ මා ඕවාදී කන්ඩායම් ඇතුලු සභාගය ලබා ගත්තේ, ඡන්ද සියයට 0.85 ක් පමනි.

ග‍්‍රීසියේ පවත්නා අන්ත අර්බුද කොන්දේසි යටතේ පවා මෙම සොච්චම් ප‍්‍රතිඵල පෙන්නුම් කරන්නේ, 2015 ජනවාරියේ සිට සැප්තැම්බර් දක්වා ඔවුන් විසින් ඉටුකරනලද භූමිකාව පිලිබඳ චෝදනා පත‍්‍රයකි. ඔවුන් කිසිදු බරපතල සහයෝගයක් දිනාගැනීමට අසමත් වූයේ මූලිකව සිරිසාවෙන් තමන් වෙන් කර හඳුනා ගැනීමට මග පාදමින්, ජනතාව දිනා ගැනීමට සටන් කිරීම සඳහා විප්ලවවාදී ඉදිරිදර්ශනයක් ඔවුන්ට නොතිබුනු හෙයිනි.

ජනවාරි සිට ජූලි දක්වා වාමාංශික වේදිකාව සිරිසා ආන්ඩුව තුල සිටිමින්, එයට පක්ෂපාතීව වැඩ කරන ලද්දේ, සිරිසාවට විරුද්ධව වමෙන් පැනනගින විරුද්ධත්වය අවහිර කිරීමට ය. පෙබරවාරි මාසයේ දී කප්පාදු පොරොන්දු දී තිබුනත්, සිරිසාව තවමත් වාමාංශික ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සිදු විය හැකිය යන බොරුව එය විසින් තොරොම්බල්කරන ලදී. එය සිරිසා නායකත්වය වෙත යොමු කල එක් යෝජනාවකින් මෙසේ පැවසීය. “ආරම්භක ගිවිසුමේ බරපතලකම පවතින අතර ඔබ දිශාව වෙනස් කරගෙන, අවශ්‍ය රැඩිකල් හා සමාජවාදී ප‍්‍රතිපත්ති තහවුරු කරගත හොත්, තවමත් මෙම තත්වයෙන් ගැලවීමට කාලය තිබේ ය” යි යන්නකි.

යුරෝපා සංගමයේ කප්පාදුවල විරුද්ධවාදියෙකු ලෙස පෙනී සිටිමට වමේ වේදිකාව දැරූ ප‍්‍රයත්නය දේශපාලන ප්‍රෝඩාවකි. ජූලි මස අවසන දී, සිප්රාස් ගිවිසගත් කප්පාදු පියවර පිලිබඳව සිරිසා මධ්‍යම කාරක සභාව තුල ඡන්ද විමසීමක් පැවැත්වීම වලක්වාලීමට ගැනුනු උත්සාහයේ මූලිකත්වය ගත්තේ එය විසිනි. එමගින් ඔවුන්, කප්පාදු පියවර සම්මත කරගැනීමට ඉඩ සලසන ගමන්ම ඒවාට එරෙහි ආස්ථානයක් ගැනීමෙන් මග හැර ගියේය. සිරිසා ජූලි කප්පාදු ගිවිසුම අත්සන් කල පසු වාම වේදිකාවේ දත්නැති ලොඹු විවේචන, තමන් යුරෝපා සංගමය සමග කරගෙන ගිය ජාවාරමට කරදරයක් වන තතු තුල සිප‍්‍රාස්, තමාගේ ම ආන්ඩුව විසුරුවා හැර වාම වේදිකාවේ අපේක්ෂකයන් තම පාර්ලිමේන්තු මන්ත‍්‍රි ධුර අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කලේ ය. වාම වේදිකාව සිරිසාව අතහැර දමා, පොපියුලර් යුනිටි පක්ෂය පිහිටුවා ගෙන, කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන අරගලය වලහාලීම සඳහා, දිගින් දිගටම සිරිසව පිලිබඳ මිත්‍යාවන් තොරොම්බල් කිරීමට බැස ගත්තේ එකල්හි ය.

සිප්රාස් ගේ “බලශක්ති ඇමති ලෙස කටයුතු කල වාමාංශික වේදිකාව නායක පනගොටිස් ලෆසානිස් මෙසේ ප‍්‍රකාශ කලේ ය: “පොපියුලර් යුනිටි, සිරිසාවේ හොඳම ක‍්‍රියාමාර්ගික සම්ප‍්‍රදායන් පවත්වාගෙන යාමට ඉදිරිපත් වෙයි. අප වඩාත් රැඩිකල් කැපවීම් වලට සුදානම් වියුතු ය.”

සිරිසා හි ප‍්‍රතිගාමී වාර්තාව රැකීම සඳහා ලෆසානිස් කල ආයාචනය, පොපියුලර් යුනිටි පක්ෂය තුල වාමාංශික වේදිකාව සමග සන්ධානයකට කෙලින්ම ඇතුලු වීමට කාලය එලඹ ඇති බව ඇන්ටාර්සියාවේ කන්ඩායම් කිහිපයකට ඒත්තු ගැනී තිබීම පුදුමයක් නොවේ.

මයිකල්-මට්සාස් සහ ඊඊකේ සංවිධානය සම්බන්ධයෙන් ගත හොත්, ඔවුන් මෙය දුටුවේ සිරිසාවට ද ගී‍්‍රක පාලක පන්තියට ද අලුත් වාම පිටකවරයක් සම්පාදනය කිරීම සඳහා, ඇන්ටාර්සියා සහ අනෙකුත් කන්ඩායම් සමග “නව කාන්ඩ ගැසීමකට” අවස්ථාවක් ලෙස ය.

මෙම ප‍්‍රවනතාවල යොමුව, කම්කරු පන්තියට නොව සිරිසාවටය. අවසානයේ දී කම්කරුවන් ඒවා දැක ගත්තේ, තමන් පාවා දුන් සමස්ත දේශපාලන සංස්ථාපිතයේම තවත් කොටසක් ලෙස ය. මෙම කොටස් ජනවාරි සිට සැප්තැම්බර් දක්වා අට මස තුල ක‍්‍රියාකල ආකාරයත්, ලෙනින් හා බොල්ශෙවික් පක්ෂය 1917 පෙබරවාරියේ තාවකාලික ආන්ඩුව බලයට පත්වීමේ තැන් පටන් ඔක්තෝබර් විප්ලවය දක්වා අට මාසය තුල කටයුතු කල ආකාරයත් සංසන්දනය කිරීම ම වුව ද සෑහේ.

ලෙනින් කම්කරු පන්තිය මත ධනේශ්වර පක්ෂ සහ ඔවුන්ගේ ක්ෂමායාචකයන්ගේ ග‍්‍රහනය බිඳීම සඳහා නිර්දය ලෙස සටන් කරමින් තාවකාලික ආන්ඩුව කෙරේ ජනතාව තුල පැවති මිත්‍යාවන්ට අභියෝග කලේය. (වත්මන් ග‍්‍රීසියේ තත්වයට ද) වඩා සංකීර්න දේශපාලන කොන්දේසි යටතේ බෝල්ෂෙවිකයෝ, එමගින් කම්කරු පන්තිය අතර අතිශය දැඩි ආනුභාවයක් දිනාගනිමින්, ඔක්තෝබර් විප්ලවය සූදානම් කලෝය.

සිරිසාවට වමෙන් පෙනී සිටින බව මවාපෑ බලවේගයන් අතර එවන් විප්ලවවාදී නොදැමුනු භාවයක මාත‍්‍රයක් වත් තිබුනේ නැත. ඔවුන් හැම දෙනාම සිරිසා ආන්ඩුවක්, යුරෝපා සංගමයේ කප්පාදුවලට එරෙහි අරගලයකට නායකත්වය දෙනු ඇතැයි යන මිත්‍යාව වගා කිරීම මගින්, සිරිසාව යලි බලයට ගෙන ඒමට මං සැලසීම සඳහා එහි ප‍්‍රතිපත්ති ගැන බොරු ප‍්‍රචාරවල යෙදී සිටියේය. ඔවුහු ඉන්පසුව සිරිසා ආන්ඩුව විසින් සකසන ලද පාවාදීම සම්පූර්න කිරීම සඳහා පාර කපමින්, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස අටක් නාස්ති කලෝ ය.

6. “පලල් වාම පක්ෂ” සහ නව පාවාදීම් සූදානම් කිරීම

සිරිසා ආන්ඩුව ග‍්‍රීක කම්කරු පන්තියේ කටුක අත්දැකීමක් පමනක් වුයේ නැත. සිරිසාවට බලයට පැමිනීමට අනුබල හා ආධාර දුන්නා වු ද එහෙයින්ම ගී‍්‍රක කම්කරුවන් මතට සිරිසා ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරවලට දේශපාලන වගකීම දරන්නාවූ ද එවන් ව්‍යාජ-වාම පක්ෂ, යුරෝපයේ පමනක් නොව මුලු ලොව පුරාම එලිදරව්වී සිටිති. ජාත්‍යන්තරවම කම්කරුවන්ට අප මෙම අනතුරු ඇඟවීම කල යුතු ය: පාලක පන්තිය එවැන්නවුන්ට බලයට පත්වීමට ඉඩ දුනහොත් ඔවුන් ද කරනු ඇත්තේ ගී‍්‍රසියේ දී සිරිසාව සිදුකල ජාතියේම ප‍්‍රතිගාමී වැඩකි.

ජර්මනියේ වාම පක්ෂය හා ස්පාඤ්ඤයේ පොඩිමොස් වැනිවූ මෙම වර්ගයේ පක්ෂ දැනටමත් යුරෝපය පුරා හොඳින් ස්ථාපිත ව ඇත. සිරිසාව සේම ඒවාද පැන නැංගේ, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව විවිධ සුලු-ධනේශ්වර ප‍්‍රවනතා ස්ටැලින්වාදී කන්ඩායම් සමග සන්ධාන ගතවීමේ තතු හමුවේය. ඔවුන් ඉදිරිපත් කරන්නේ, මධ්‍යම පන්තියේ වරප‍්‍රසාදිත කොටස්වල ආසක්තයන්ට ගැලපෙන පරිදි සකස් කරගත් අධිරාජ්‍ය ගැති ප‍්‍රතිපත්ති, හිස් කප්පාදු-විරෝධී වාගාලාප වලින් වසන් කරන දේශපාලන වැඩ සටහනකි. යුරෝපයේ දී සිරිසාවට පෙර, මෙම නැඹුරුවේ විපාක පිලිබඳ වඩාත් කැපී පෙනෙන උදාහරනයක් සම්පාදනය කර ඇත්තේ, ඉතාලියේ රිෆොන්දේසියොන් කොමියුනිස්ටා සංවිධානය විසිනි. රිෆොන්දේසියොන් නැගී ආවේ, සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ධනවාදය නැවත ස්ථාපිත කිරීම ද ඉතාලියේ කොමියුනිස්ට් පක්ෂය (පීසීඅයි) විසුරුවා හැරීම ද සමග ය. ඉතාලි කොමියුනිස්ට් පක්ෂයේ කන්ඩායමට අමතරව රිෆොන්දේසියොන් පක්ෂයට ලිවියෝ මයිතාන් ගේ නායකත්වය ලද ප‍්‍රති ට්‍රොට්ස්කිවාදී පැබ්ලෝවාදී සංශෝධනවාදීන් ද, මා ඕවාදීන් හා විවිධ අරාජකවාදී ප‍්‍රවනතාවන් ද ඇතුලත් විය රිෆොන්දේසියොන් පක්ෂය 1991 පටන් යුගෝස්ලාවියාවේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා අධිරාජ්‍යවාදී යුද්ධවලට සහභාගි වු අතර සියරට තුල කප්පාදු පියවර කි‍්‍රයාත්මක කරමින් සිටියාවූ විවිධ ඉතාලි ආන්ඩු ගනනාවකට එක්වී තිබේ. රිෆොන්දේසියොන් සහ සිරිසා වර්ගයේ පක්ෂ, “පලල් වමේ පක්ෂ” යයි නම් කල පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ඉන්ටර් නැෂනල් විව්පොයින්ට් සඟරාව ප‍්‍රසිද්ධ සාකච්ඡාවක දී පිලිගත්තේ, ඒ ජාතියේ පක්ෂ, “රාජ්‍යය සමග පවත්වන සම්බන්ධතාව සහ සමාජය තුල ඒවායේ භූමිකාව” දැවෙන ප‍්‍රශ්නයක් බවට පත්ව ඇති බවය.

එය සඳහන් කලේ මෙම පක්ෂ, “යම් අවස්ථාවලදී විශදව රාජ්‍යයේ ඉහලම මට්ටමේ සංස්ථා පාලනයට ගමන් කිරීම මගින් හෝ සමාජ-ලිබරල් [එනම්, කප්පාදු -ගැති] ආන්ඩුවලට විශද සහයෝගය දීමෙන් හෝ රුබිකොන් (රතු ඉර) පැන ඇති බවය.”

සිරිසා බලයට පැමිනීමට ද වසරකට පෙර සිදුවූ මෙම සාකච්ඡාවෙන් අවධාරනය කෙරෙන්නේ, සිරිසාවේ ව්‍යාජ වාම පන්දමුන්ගේ දේශපාලන වංචනිකත්වයයි.

වම සඳහා මහා ඉදිරි පියවරක් ලෙස සිරිසාවට හුරේ දැමු ඔවුන් එමගින් කලේ, දීර්ඝ දේශපාලන පාවාදීම් මාලාවක් දිගටම කරගෙන යාම ය. ඔවුන් මෙම අතිශයින්ම නරුම දේශපාලනය කරගෙන යන්නේ ඉතිහාසය කෙරේ දක්වන්නාවූ අවඥාසහගත, සහ තුච්ච තත්කාර්යවාදී ප‍්‍රවේශයකින් දිරි ගනිමිනි.

“ප‍්‍රන්සයේ පැබ්ලෝවාදී නිව් ඇන්ටි කැපිටලිස්ට් පක්ෂයේ (එන්පීඒ) නායක ඇලන් කි‍්‍රවීන්ට අනුව, එන්පීඒ සමහර ප‍්‍රශ්න මේ දැන් විසඳන්නේ නැත. ඒවා අනාගත සමුලුවක් සඳහා ඉතිරි කර තබයි.” උදාහරනයක් හැටියට බලය අල්ලා ගැනීම පිලිබඳ සකල මූලෝපායික විවාදයම, සංක‍්‍රමන ඉල්ලීම්, ද්වන්ද බලය යනාදිය.

ඒ හැටියට ගතහොත් එය තමන් ට්‍රොට්ස්කිවාදී යයි කියා ගන්නේ නැත. එය ට්‍රොට්ස්කිවාදය සලකන්නේ වෙනත් ධාරාවන් අතර විප්ලවවාදී ව්‍යාපාරයට ඇතුලත්වන තවත් එක් දායකයෙක් හැටියටය. ස්ටැලින්වාදය යටතේ කරන්නට සිදු වී තිබුනු ලෙස, පස්සා කන්නාඩියෙන් පිලිවෙත් කරා එලඹීමට නො කැමති එන්පීඒ සංවිධානයට, සෝවියට් සංගමය හෝ ස්ටැලින්වාදය පිලිබඳ ආස්ථානයක් ඇත්තේ නැත. පිලිවෙත තීන්දු කෙරෙන්නේ කාල පරිච්චේදය සහ කරන්නට තිබෙන දේ මත පොදු එකඟ තත්වය උඩින් පමනකි.”

රිෆොන්දෙසියොන් පිට පිට ප‍්‍රතිගාමී ආන්ඩුවලට හවුල්වූ තතු තුල, එහි ආරක්ෂකයන් හොඳින් දැනසිටි කාරනය නම්, තමන් ගොඩනගන්නට යන්නේ ප‍්‍රතිගාමී හා කම්කරු පන්තියට සතුරු පිලිවෙත් ක‍්‍රියාත්මක කරන ධනේශ්වර පක්ෂ බවය.

එන්පීඒ සංවිධානයට විසිවන සියවසේ මුඛ්‍ය ඓතිහාසික අත්දැකීම් ගැන හෝ මාක්ස්වාදී ව්‍යාපාරය හෝ කම්කරු පන්තිය මුහුන දෙන විප්ලවීය උපාය වැනි කේන්ද්‍රීය ගැටලු කතා කරන්නට උවමනාවක් නැත. මෙම අනෛතිහාසික පදනමේ සූත‍්‍රගත කරගත් එන්පීඒ පිලිවෙත් වලට පැවතිය හැක්කේ මාධ්‍ය ප‍්‍රචාරය පිලිබඳ පුහු මෝහනයෙන් ද ආන්ඩුවේ දේශපාලනඥයන් සමග ඔවුන්ගේ කතාබහින් ද නිර්නිත අතිශයින්ම ප‍්‍රතිගාමී හා අදූරදර්ශී ස්වභාවයකින්ම පමනි.

කෙසේ වෙතත්, කි‍්‍රවින්ගේ ප‍්‍රකාශය පැහැදිලි කරන පරිදි එන්පීඒ නායකත්වය මෙය දැක ගත්තේ, හොඳ තත්වයක් ලෙස ය. “වාමාංශික” යයි පෙනී සිටින ගමන්ම, උදාහරනයක් හැටියට සිරිසා වැනි පක්ෂ කප්පාදුවේ හා යුද්ධයේ පක්ෂ බව දැන දැනත් ඒවා කප්පාදුවට එරෙහි අරගලය සඳහා ඉමහත් බලාපොරොත්තු තැබිය හැකි “පුලුල් වමේ පක්ෂ” යයි අනුමත කිරීම වැනි, ප‍්‍රතිපත්ති විරහිත උපාමාරුවල යෙදීමට, කි‍්‍රවින් වැන්නවුන්ට ඉන් ඉඩ සැලසිනි.

ගී‍්‍රසියේ දී සිරිසා බලයට පැමිනීම, එන්පීඒ සංවිධානය ජයග‍්‍රහනයක් ලෙස හුවා දැක්වීය. මෙයට සමස්ත ජාත්‍යන්තර ව්‍යාජ-වාම සහෝදරත්වයම සම්මාදම් විය. එන්පීඒ සංවිධානය ප‍්‍රකාශ කලේ, “සිරිසා මැතිවරන ජයග‍්‍රහනය විශිෂ්ට ප‍්‍රවෘත්තියකි. එය, යුරෝපයේ කප්පාදුවලට එරෙහිව සටන් කරන සියලු දෙනාගේම සිත් වල ප‍්‍රාර්ථනා දල්වයි” යනුවෙනි. ජර්මනියේ වාම පක්ෂයේ මාධ්‍ය නිවේදනය මෙසේ කියා සිටියේ ය. “ගී‍්‍රක මැතිවරනය ගී‍්‍රසිය හුදෙක් ග‍්‍රීසිය සඳහා පමනක් නොව, සමස්ත යුරෝපය සඳහාම සන්ධිස්ථානයක් වේ. එය, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යලි පන ගැන්වීමේ හා යුරෝපීය සංගමයේ ගමන් මගෙහි අතිමූලික වෙනසක් සඳහා අවස්ථා විවෘත කරයි.”

මෙම පාවාදීමේ තවත් උදාහරනයක් වූයේ බි‍්‍රතාන්‍ය සමාජවාදී පක්ෂය විසින් නායකත්වය දෙනු ලබන ජාත්‍යන්තර ප‍්‍රවනතාවයට⋆ (⋆මෙය ලංකාවේ සිරිතුංග ජයසුරියගේ එසප ය සම්බන්ධ සීඩබ්ලිව්අයි සංවිධානයයි.) බද්ධ වූ ගී‍්‍රක පක්ෂය වන ක්ෂේකිනිමා (සමාජවාදී ජාත්‍යන්තරවාදී සංවිධානය) යි. මුලින් සිරිසා සංවිධානයට ඇතුලුව පසුව ඉන් එලියට ගිය ද එය, 2015 ජනවාරි මැතිවරනයේදී සිරිසාවට ආධාර කලේ ය.

මැතිවරනය ආසන්නයේ බි‍්‍රතාන්‍ය සමාජවාදී පක්ෂය සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී ක්ෂේකිනිමා නායක අන්ද්රෝස් පියස්ටෝස්, “සිරිසාව වෙලෙඳපොල බලවේග සමග අවබෝධයකට ඒමට හැකි සියල්ල සිදු කරමින් සිටින බවට” ඇති තරම් සාක්ෂි තිබේ. “එසේ වුවද මහා ජනතාව සිරිසා ආන්ඩුවක් වමට තල්ලු කිරීමට සටන් කල යුතුයයි ද ඔවුන් එසේ සටන් කරනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් පැවසීය.”

එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානයට (අයිඑස්ඕ) අනුබද්ධ ගී‍්‍රක ජාත්‍යන්තරවාදී කම්කරු වම (ඩීඊඒ) සංවිධානය ඊටත් වඩා කෙලින් සිය ආස්ථානය ප‍්‍රකාශ කලේ ය. සිරිසා වාමාංශික වේදිකාවේ කොටසක් වූ ඔවුන් මෙසේ ලිවීය: “මේ නව තත්වයන් තුල, දේශපාලන පක්ෂයක් ලෙස සිරිසාවේ භූමිකාව විස්ථාපනය කල නොහැකි ය. එහි සංවිධානාත්මක ආයතන සහ සාමාජිකත්වයේ පුර්න සාමූහික සහභාගීත්වය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහිත කි‍්‍රයාකාරීත්වය, විකල්ප අමතර තත්වයක් නොවේ. එය සිරිසාවේ පුර්න ජයග‍්‍රහනය වමේ සහ අප ජනතාවගේ අවසන් ජයග‍්‍රහනය සඳහා පූර්ව කොන්දේසියක් වන්නේ ය.”

බ‍්‍රසීලයේ නහුවෙල් මොරිනෝ නායකත්වය දුන්, ලතින් ඇමරිකානු සංශෝධනවාදී ව්‍යාපාරයේ නටබුන් වලින් පැනනැගි ප‍්‍රධාන පක්ෂයක් වන එක්සත් සමාජවාදී කම්කරු පක්ෂය (පීඑස්ටීයූ), “යුරෝපා කොමිසම සමග අවබෝධතා ගිවිසුම මගින් ගී‍්‍රසිය කොල්ල කෑමට සැරසී සිටින පක්ෂ පෙරලා දැමීම සඳහා, ගී‍්‍රක කම්කරුවන් සිය ප‍්‍රධාන මෙවලම වන සිරිසා සඳහා ඡන්දය ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටියේය.”

සිරිසාවේ ධනේශ්වර ගැති ක‍්‍රියාමාර්ගය පිලිබඳව මේ ප‍්‍රවනතාවන් කුමන විවේචනයක් කල ද ඔවුන් සියලු දෙනාම එය කලේ, කම්කරුවන් සිරිසාවේ මැතිවරන ව්‍යායාමයට අනුගත විය යුතු යයි ද තම අරගලය සිරිසාව වමට තල්ලු කිරීමේ මාධ්‍යයක් ලෙස සැලකිය යුතුයි ද යන ආස්ථානයේ සිට ය.

ඔවුන් කිසිවෙකුත් සිරිසාව පිලිබඳ පන්ති විශ්ලේෂනයක් කලේ නැත. පක්ෂයේ ජයග‍්‍රහනය සමාජ අරගලවල නිෂ්පාදනයක් ලෙස හුරේ දමන අතර ඔවුන් සියලු දෙනාම වසං කල කරුන නම්, සිරිසාව වනාහි කම්කරුවන්ගේ අරගල මැඩ, ගී‍්‍රක දක්ෂිනාංශයට කම්කරුවන් මත පැටවීමට බැරි වූ කප්පාදු පියවර බලෙන් පැටවීමේ මාධ්‍යයක් ලෙස පෙරමුනට දමා ඇති ධනේශ්වර පක්ෂයක් ය යන්න ය.

සැ.යු: මෙම පක්ෂ විසින් සිරිසාව පෝෂනය කිරීම වනාහී අත්වැරැද්දක් හෝ විශ්ලේෂනයේ න්‍යායික අසාර්ථකත්වයක් වූයේ නැත. ඔවුන් සිරිසාවට සහ එහි පිලිවෙත්වලට ආධාර දුන්නේ, ඔවුන් තම තමන්ගේ රටවල “වාම” විද්වතුන්, වෘත්තීය සමිති කි‍්‍රයාකාරීන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්, හා වෘත්තිකයන් ඇතුලත් එකම ධනවත් ස්ථරයක් නියෝජනය කල හෙයිනි. ඔවුන් සිරිසාවට සහ එහි ප‍්‍රතිපත්තිවලට සහාය දුන්නේ ඔවුන්, සිය සමාන පන්ති අවශ්‍යතා සමාන වැඩසටහන් හරහා තහවුරු කර ගැනීමට උත්සාහ කල හෙයිනි. පාලක පන්තිය සිරිසාවට බලය ගැනීම සඳහා අවසර දුන් කල්හි, ඉහත පක්ෂ සියල්ලම එය දුටුවේ, තම තමන්ගේ රටවල ද ඒ හා සමාන කාර්යභාරයක් ඉටු කිරීමට පාලක පන්තිය අවස්ථාව ලබා දෙනු ඇති යයි ඔවුන් අපේක්ෂා කල හෙයිනි.

සිරිසාව ජූලි මාසයේ බහු බිලියන යුරෝ-කප්පාදු පැකේජයක් පැනවූ කල්හි, ප‍්‍රසිද්ධියේ, සිරිසා සඳහා තම උද්යෝගයේ සැර බාල කිරීමට ඔවුන්ට බල කෙරුනු නමුත් ඔවුහු එයට අඛන්ඩව සහාය දැක්වුහ.

මේ අනුව, සිප‍්‍රාස් ජූලි 5 දා ජනමත විචාරයේ දී (කප්පාදුවට එරෙහිව) දෙන ලද “නැත” ඡන්දය පාගා දමා, යුරෝපා සංගමයේ කප්පාදු පැකේජය පැටවු පසු ද ප‍්‍රන්සයේ වාමාංශික පෙරමුනේ ජීන් ලූක් මැලෙන්ෂොන් සිප‍්‍රාස් හුවාදැක්වූයේ මෙසේ ය: “ඇලෙක්සිස් සිප්රාස් ට ද ග‍්‍රීක ජනතාවගේ ප‍්‍රතිරෝධය ට ප‍්‍රකාශනයක් දීමට ඔහු කල අරගලයට ද අපි සහාය දෙමු. වාමාංශික පෙරමුනේ (ලෙෆ්ට් ෆ‍්‍රන්ට්) පුවත්පත් ප‍්‍රකාශය ද ඒ හා සමානව, යථාර්ථය ඔලුවෙන් සිටවිය. ඇලෙක්සිස් සිප්රාස් ආන්ඩුව යුරෝපයේ අන් කිසිවකු නොකල අන්දමින් ප‍්‍රතිරෝධය දක්වා ඇත. එම නිසා තමන්ට එරෙහිව දියත්වූ යුද්ධයේ විරාමයකට එකඟ වී ඇත. මෙම යුද්ධය ද එය කරගෙන යන අයගේ අරමුනු ද හෙලා දකිමු.”

සිය රටේ බලය ගැනීම සඳහා සිරිසා ගිය පාරේ යාමට බලාපොරොත්තු වන ස්පාඤ්ඤයේ පොදිමොස් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් පැබ්ලෝ ඉග්ලේසියාස්, සිප්රාස් සමග අඛන්ඩ පොදු අභ්‍යාසයක යෙදෙමින්, සිප‍්‍රාස්ගේ කප්පාදු පිලිවෙත් සාධාරනීකරනය කලේ මෙසේ ය: “සිප්රාස් ඉදිරියේ තිබුනු විකල්පය නම් එක්කෝ එකඟතාවය නැතිනම් යුරෝවෙන් එලියට” යෑමයි. “කප්පාදු කෙරේ ඇලෙක්සිස් ගේ ප‍්‍රතිපත්ති ඉතා පැහැදිලි නමුත් ලෝකයේ දේශපාලන බලවේගවල සම්බන්ධතාවය (තුලනය) ගනනට ගැනීමට ඔහුට සිදුවිය.” ඉග්ලේසියාස්, තවදුරටත් මෙසේ ද පැවසීය “ශෝකභරිතව නමුත් කිව යුත්තේ ගී‍්‍රක ආන්ඩුව කර ඇත්තේ එයට කල හැකිව තිබුනු එකම දෙයයි.”

තියුනුම අනතුරු ඇඟවීම යලිත් කල යුතුය: සිරිසා වේ කප්පාදු වාර්තාව ගැන මෙවන් ප‍්‍රකාශ කරන පක්ෂ යන්නේ සිරිසාව ගිය පාරේ මය.

හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මෙම ප‍්‍රවනතාවන්ගෙන් වෙන් කරන දේශපාලන හා පන්ති අගාධය විශද වේ. ජාත්‍යන්තර කමිටුව සිරිසාව සකසමින් සිටි දෙය පිලිබඳව කම්කරුවන්ට අනතුරු ඇඟවීමට උත්සාහ කල අතර ව්‍යාජ වම ඉෂ්ට කලේ ප‍්‍රතිගාමී පිලිවෙත් සඳහා දේශපාලනික ආවරනය සුදානම් කිරීමයි.

7. මයිකල්-මට්සාස් ගේ භූමිකාව

ජාත්‍යන්තර කමිටුව, සිය ඉදිරිදර්ශනය හා විශ්ලේෂනය ග‍්‍රීක කම්කරුවන් අතට පත්කිරීමට ද සිරිසාව කැස කවමින් සිටි භූමිකාව කුමක්ද යන්න ගැන ඔවුන්ට අනතුරු ඇඟවීමට ද තමන් සතු සෑම මාර්ගයක්ම යොදා ගෙන සටන් කලේ ය. ජාත්‍යන්තර කමිටුව එම අරගලය කලේ ගී‍්‍රසිය තුල තමන්ට ශාඛාවක් නොතිබුනු තතු තුල ය.

මෙවන් තත්වයක් පන නැගීම පිලිබඳ දේශපාලන වගකීම දරන්නේ ගී‍්‍රක කම්කරු විප්ලවවාදී පක්ෂයේ (ඊඊකේ) ප‍්‍රධාන ලේකම් වන සවාස් මයිකල්-මට්සාස් ය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව බි‍්‍රතාන්‍යයේ ජෙරී හීලි විසින් නායකත්වය දෙන ලද කම්කරු විප්ලවවාදී පක්ෂය (කවිප) සමග 1985දී භේද වූ අවස්ථාවේ, හීලිට සහයෝගය දුන් ජාත්‍යන්තර කමිටුවේ එකම ශාඛාව මෙහෙය වූ තැනැත්තා මයිකල්-මට්සාස් ය. ඔහු සාතිශය ප‍්‍රතිපත්ති විරෝධී පදනමක් උඩ, ජාත්‍යන්තර කමිටුවේ අනෙකුත් සියලුම ශාඛා සමග සාකච්ඡා කිරීම ප‍්‍රතික්ෂේප කොට ඉන් බිඳී ගියේ හා තමා “ඓතිහාසික නායකයා” ලෙස වර්නනා කල හීලි ගේ අවසරයකින් තොරව, ජාත්‍යන්තර කමිටුවට රැස්වීමට පවා බලයක් නැති බව පැවසූ, අප‍්‍රතිපත්තික පදනමක් මතය. ජාත්‍යන්තර කමිටුවෙන් බිඳී යාමේ දී මයිකල්-මට්සාස් ගේ දේශපාලන පදනම වුයේ ඔහු ද බෙදාහදා ගත් හීලිගේ ජාතික අවස්ථාවාදී යොමුව සමග පැවති එකඟත්වයයි.

ජාත්‍යන්තර කමිටුව සමග භේදයෙන් පසුව මයිකල්-මට්සාස්, ට්‍රොට්ස්කිවාදය “වියුක්ත ප‍්‍රචාරකවාදයෙන් ද හුදෙකලාවෙන් හා පරාජයන්ගෙන්” ගලවා ගත් බව ද “හතරවන ජාත්‍යන්තරය සඳහා නව යුගයක්” එලඹ ඇති බව ද ඔහු පැවසී ය. භාවිතයේ දී සෝවියට් සංගමය තුල දේශපාලන විප්ලවයේ ආරම්භය යයි ඔහු, මිහායිල් ගොර්බචෙව් ගේ පෙරෙස්ට්‍රොයිකාව හුවා දැක්වීය ය; ගී‍්‍රසියේ පැසොක් සංවිධානය ට සහාය දුන්නේ ය. ඔහු ඉක්බිති දශකයේ දී සිරිසාව වටා කරක්ගැසීය.

මට්සාස් ගේ ඊඊකේ සංවිධානය සිරිසා මැතිවරන ජයග‍්‍රහනයට පෙර මාස කිහිපය තුල, එම සංවිධානය පිම්බීම සඳහා ඉතා උද්යෝගයෙන් වැඩ කලේ ය. කේකේඊ, සිරිසා, ඇන්ටාර්සියාවේ පටන් ඊඊකේ, අරාජකවාදී සහ අධිකාර විරෝධී ව්‍යාපාර දක්වා වන වෙනත් වාම සංවිධානයන් ද ඇතුලු ‘කම්කරුවන්ගේ සහ ජනතාවාදී සංවිධාන වල’ බලවත් එක්සත් පෙරමුනක් මගින් සිරිසාව වමට තල්ලු කිරීමට ජනතාවට උදව් විය හැකි බව එය කියා සිටියේ ය. ඊඊකේ සංවිධානය කියා සිටියේ, සිරිසාව පිලිබඳ බලාපොරොත්තු තබා සිටින ඕනෑම කෙනෙකු විසින් කලයුතුව ඇත්තේ, “ධනේශ්වරයෙන් ද උන්ගේ දේශපාලන කාර්ය මන්ඩලයෙන් ද ප‍්‍රාග්ධනයේ බලය පස්සේ යන සියලු අවස්ථාවාදීන්ගෙන් හා අධිකාරවාදීන්ගෙන් ද බිඳෙන ලෙස, තමතමන්ගේ ව්‍යාපාරවල නායකත්වයන්ගෙන් ඉල්ලා සිටිය යුතු” බවය.

සිරිසාවේ සමස්ත දේශපාලන පරියන්තයම පරිදි ඊඊකේ සංවිධානය ද නොතකාහල එක් ප‍්‍රධාන කරුනක් නම්: සිරිසා වනාහි ධනපති පක්ෂයක් බව ය. මයිකල්-මට්සාස් යෝජනා කලේ, ධනවාදයට පක්ෂපාතිත්වය ද කම්කරු පන්තිය හා සමාජවාදය කෙරෙහි සිය විරුද්ධත්වය ද නිශ්චිතවම තහවුරු කර තිබුනු සංවිධාන මාලාවක් පිටුපස කම්කරු පන්තිය එක්සත් විය යුතු බව ය.

සිරිසා නායකත්වයට “ධනේශ්වරයෙන් බිඳෙන ලෙසට” බලකරන ලෙස කම්කරුවන්ගෙන් ඉල්ලා සිටීම වනාහි, එම පක්ෂය පිලිබඳව කම්කරු පන්තිය තුල මිත්‍යාවන් වගා කිරීම හා එම පක්ෂය කුරිරු ලෙස කම්කරු පන්තියට එරෙහිව කඩා පැනීම අනිවාර්ය බව වසන් කිරීම සඳහා ම සේවය කරන ඉල්ලීමකි. සිරිසාවේ සිප්රාස්-වරූෆාකිස් ජාතියේ ධනවත් දේශපාලන අපරාධකරුවන්ට “සියලු අවස්ථාවාදීන්ගෙන් හා ප‍්‍රාග්ධනයේ බලය පස්සේ යන්නන්ගෙන්” බිඳෙන ලෙස ආයාචානා කිරීම වනාහි ඔවුන්ට තමන්ගේ ම හම්පොත්තෙන් එලියට පැනගන්නා ලෙස කරන ඉල්ලීමක් බඳුය.”

ගී‍්‍රසියේ තම දේශපාලන මෙහෙයුම් යුක්ති සහගත කරගැනීමට දඟලන මයිකල්-මට්සාස්, සිරිසාවේ ධනේශ්වර ස්වභාවය හා එය කම්කරු පන්තියට දුන් පොරොන්දු අනිවාර්යයෙන්ම පාවාදෙන බවට ජාත්‍යන්තර කමිටුව කල අනතුරු ඇඟවීම “කට්ටිවාදී” යයි පහර දෙයි. සිරිසාවේ මැතිවරන ජයග‍්‍රහනය ඉක්බිත්තේ හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ආස්ථානය පිලිබඳව මට්සාස් මෙසේ ලිවීය: “ඔවුන්ට සිරිසා නායකත්වයේ ධනපති ස්වභාවය ගැන යම් නිවැරදි දේවල් කියත හැකිය. ඔවුහු සිරිසාවේ වැදගත්කම ද අඩු තක්සේරු කරති. එහෙත් මෙම නිකායවාදී කන්ඩායම් මහජන ව්‍යාපාරය නොතකන නිසා ඔවුන් ඉදිරියේ ඇති අවස්ථා කෙරෙහි දක්වන්නේ අන්ධ බවකි.”

මාස නවයකට පසුව, මේ කියන “අවස්ථා” ද සිරිසාව සඳහා මයිකල්-මට්සාස් ගේ උනන්දුව ඇවිස්සු “මහජන ව්‍යාපාරය” පිලිබඳව ද ශේෂ පත‍්‍රයක් සැකසීම එතරම් අපහසු නො වේ. තම කප්පාදු පිලිවෙත් දිගටම පවත්වා ගෙන යමින් මිලියන සංඛ්‍යාත දිලිඳු වැඩකරන ජනතාව ගෙන් යුරෝ දස බිලියන ගනන් උදුරා ගැනීමට යුරෝපීය ධනේශ්වරයට සිරිසාව අවස්ථාව සම්පාදනය කර දුනි. “ජනතා ව්‍යාපාරය” ගැන කතා කලහොත් සිරිසාව, කම්කරු පන්තිය තුල ගොඩනැගූ කිසිවක් නැති අතර, එවැන්නකට උත්සාහ කලේ වත් නැත. සිරිසා අද ඉතිරි වී ඇත්තේ, ධනේශ්වර දේශපාලනඥයන් හා ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් සඳහා මැතිවරන යන්ත‍්‍රයක් ලෙස පමනි.

එය යුරෝපීය සංගමය හා නේටෝව සමග ගී‍්‍රක ධනවාදයේ සන්ධානය සුරක්ෂිත කරලීම සඳහා, කප්පාදුවට එරෙහි ව කම්කරු පන්තිය තුල පැනනගි බලගතු විරෝධය පාලනය කොට යොදාගත්තේ ය; එසේම මෙයින් ලබාගත් අනපේක්ෂිත නොවූ අතුරු ඵලයක් ලෙස සිරිසාවේ ප‍්‍රමුඛ දේශපාලනඥයෝ සිය ජීවිකාව සහ පෞද්ගලික සම්පත් ද වගාකර ගත්තෝය.

තමාගේ ග‍්‍රීක කම්කරු විප්ලවවාදී පක්ෂය (ඊඊකේ) සංවිධානය කල පරිදි හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට, සිරිසාව ඉහලින් වර්නනා නොකල හෙයින් එය, කට්ටිවාදී වී යයි මයිකල්-මට්සාස් චෝදනා කලේය. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සිරිසාවේ නායකත්වය ධනපති බව පෙන්නුම් කල කල්හි මයිකල්-මට්සාස් එය උදාසීනව පිලිගත්තේය. (එහෙත් ඔහු මුලුමනින්ම විරුද්ධවූයේ) සිරිසාව ධනේශ්වර පක්ෂයක් යයි ද කම්කරුවන් එම නිසා එයට විරුද්ධවිය යුතු යයි ද ජාත්‍යන්තර කමිටුව කල අනතුරු හැඟවීමටය.

ධනපති පන්තියට එරෙහිව අරගලයට කම්කරු පන්තිය කැඳවුම් කොට ජාත්‍යන්තර කමිටුව ගත්තේ මාක්ස්වාදී දිශානතියේ ප‍්‍රථම පියවරයි. 1985 දී මාක්ස්වාදය සමග, එනම් ජාත්‍යන්තර කමිටුව සමග, තීරනාත්මකව භේදව සිටි ඊඊකේ සංවිධානයට, මෙවන් ආස්ථානයක අහලට වත් එලඹගත නොහැකි විය.

ගී‍්‍රක කම්කරු විප්ලවවාදී පක්ෂය (ඊඊකේ) සංවිධානය කලේ සිරිසාව වර්නනා කිරීමයි, එහි ජයග‍්‍රහනයේ අර්ථභාරය කම්කරුවන්ට අගනා සහ අධ්‍යාපනික අත්දැකීමක් යයි ඔජ වැඩවීමයි. ග‍්‍රීක ධනේශ්වරය සිරිසාව නැමති වස ගුලිය ග‍්‍රීක කම්කරු පන්තියට දෙන අතරතුර ඊඊකේ කලේ, පාලක පන්තිය සකසමින් තිබුනු උගුල පිලිබඳ ජාත්‍යන්තර කමිටුවේ අනතුරු හැඟවීම් හෙලාදැකීමට තමන්ට කල හැකි සෑම දෙයම කිරීමයි. ගී‍්‍රක කම්කරු විප්ලවවාදී පක්ෂය ක‍්‍රියාකලේ සිරිසාවේ දැඩි සහචරයෙකු ලෙසට ද ග‍්‍රීක ධනවාදයේ ප‍්‍රතිගාමී උපකරනයක් හැටියට ද වේ.

සිරිසා ආන්ඩුව පිලිබඳ අත්දැකීම, කම්කරු පන්තියට මූලික පරාජයක් බව කෙලින්ම කිව යුතුය. දැන් තීරනාත්මක ප‍්‍රශ්නය වන්නේ, මෙම දේශපාලන පරාජයේ පාඩම් උකහා ගැනීමත්, ග‍්‍රීසියේ ද යුරෝපයේ හා ලෝකය පුරා ඉදිරියේ එලඹීමට නියමිත අරගල සඳහා කම්කරු පන්තිය දේශපාලනිකව යලි සන්නද්ධ කිරීමත් ය.

8. හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනගනු!

සිරිසා රජය පිලිබඳ අත්දැකීම කම්කරු පන්තිය ට ප‍්‍රමුඛ පරාජයක් වී ඇති බව කෙලින්ම සඳහන් කල යුතුව ඇත. තීරනාත්මක කාර්යය වන්නේ මෙම පරාජයේ දේශපාලන පාඩම් උකහා ගෙන කම්කරු පන්තිය ඉදිරි කාලය තුල ග‍්‍රීසියේ ම ද, යුරෝපා සංගමය පුරාද ජාත්‍යන්තරව ම ද එලඹෙනු ඇති අරගලය සඳහා එම පන්තිය දේශපාලනිකව සන්නද්ධ කිරීමයි.

මෙම සිදුවීම් විසින් තහවුරු කර ඇත්තේ, ඊනියා “රැඩිකල් වාම” පක්ෂ ධනේශ්වර ආන්ඩුවල නිලතල දරද්දී වුව, ඒවා මත රැඳෙමින් හෝ තමන්ට හිතකර ප‍්‍රතිපත්ති කි‍්‍රයාවට දමන ලෙස ඒවාට බලපෑම් දැමීම මගින් කම්කරු පන්තියට, තමන්ගේ ඉතා අවම අවශ්‍යතාවන් පවා ආරක්ෂා නො හැකි බව ය. සිරිසා ප‍්‍රතිපත්ති පෙන්නුම් කර ඇත්තේ, කම්කරුවන්ට පවත්නා එකම මග, විප්ලවවාදී මාර්ග ය බවය. එය හැර වෙනත් විකල්පයක් නැත.

1917 දී රුසියානු කම්කරු පන්තියට, ධනවාදය පෙරලා දැමීමට සිදු වුයේ මන්ද යන්න පාලක පන්තිය කම්කරු පන්තියට මතක් කර දෙයි. ඔක්තෝබර් විප්ලවය සහ සෝවියට් සංගමයේ පැවැත්ම විසින් ඉස්මතු කෙරෙන දේශපාලන අභියෝගයට ප‍්‍රතිචාර වශයෙන් ධනේශ්වර පන්තියේ මූලෝපාය වන්නේ විසිවන සියවසේ යුරෝපයේ ධනපති රටවල කම්කරු පන්තියට ලබාදී තිබුනු සෑම සමාජ සහනයක්ම වනසා දැමීම යි. කම්කරුවන් දශක ගනනාවක් පස්සට නැගෙනහිර යුරෝපයේ හා ආසියාවේ ඉන්නා ඔවුන්ගේ දුගී සහෝදරයන්ගේ මට්ටමට පහතට අද දැමීම පාලකයන්ගේ ඉලක්කයයි.

ගී‍්‍රසියේ පරාජය පිලිබඳ වරද කම්කරු පන්තිය මත නොපැවරේ. ගී‍්‍රක කම්කරුවන්ගේ සටන් අධිෂ්ටානයේ මොනම අඩුවක්වත් පෙනෙන්නට නොතිබුනු අතර, ඔවුහු නැවත නැවතත් සිය විප්ලවවාදී සහජාසයන් පෙන්නුම් කලෝය. යුරෝපා සංගමය තමන්ට ද පහර එල්ල කරන තතු තුල, සිරිසාව ගී‍්‍රක කම්කරුවන් මතට එල්ල කරන ප‍්‍රහාර කෙරේ කෝපයෙන් සහ අදහාගත නොහැකිව සිටි මුලු යුරෝපයේම කම්කරුවන්ගෙන් ග‍්‍රීක කම්කරුවන්ට සහයෝගය ලැබුනි. තමන්ට එරෙහිව උග‍්‍රවන පීඩනයෙන් කෝපාවිෂ්ටව සිටිය ද ග‍්‍රීක කම්කරු පන්තිය, සිය දේශපාලන අවශ්‍යතාවලට ස්වයංසිද්ධව ප‍්‍රකාශනයක් අත්කර ගැනීමට හෝ සිය ඓතිහාසික කර්තව්‍යයන් ගේ මට්ටමට නැග ගැනීමට හෝ යුරෝපා සංගමය හා බැංකුවල නිර්දය ප‍්‍රහාරයට එරෙහි අරගලයට නායකත්වය දීමට සමත් දේශපාලන නායකත්වයක් හදිසියේම පිරියම් කර ගැනීමට හෝ සමත් වූයේ නැත.

ඒ වෙනුවට සිදු කලේ, සිය පොරොන්දු බිඳීම පිනිස දැනුවත්ව සැරසෙන ගමන් ම නරුම ලෙස, මහජන අසහනය තම පැත්තට දිනාගැනීමට පච දෙසන සිරිසා-පක්ෂය පිටුපස කම්කරුවන්ගේ සාමාජික විරෝධය මෙහෙය වීමයි. තමන් ගී‍්‍රක හා ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ නිර්දේශයන්ට විරුද්ධ යයි මිත්‍යාවක් ගොඩනගා ගැනීම සඳහා සිරිසාව, සමස්ත ව්‍යාජ-වාම දේශපාලන ස්තරයකම සේවය යොදාගනියි. සම්පුර්න ව්‍යාජ-වාම පක්ෂ පෙලම මූල්‍ය ප‍්‍රාග්ධනයේ ප‍්‍රතිගාමී මෙවලම් බව එලිදරව්වී තිබේ.

කම්කරු පන්තිය දේශපාලනිකව යලි සන්නද්ධ කිරීම සඳහා මෙම පරාජයට වගකිවයුතු පක්ෂ, පෞරුෂයන් සහ දේශපාලන සංකල්ප පිලිබඳ නිර්දය විවේචනයක් මත පදනම්ව නව විප්ලවවාදී නායකත්වයක්, ගොඩනැගීම අද දින කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ය. ගී‍්‍රක සිද්ධීන් සම්බන්ධයෙන් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් කරන ලද වැඩ කටයුතු වල අර්ථභාරය නම් මෙයයි. ග‍්‍රීසියේ, යුරෝපයේ සහ සමස්ත ලෝකයේම කම්කරු පන්තියට සිය ආරක්ෂාව සලසාගත හැක්කේ, කම්කරුවන්ගේ බලය, ධනවාදය අහෝසි කිරීම හා ලෝක සමාජවාදී සමාජයක් පිහිටුවීමේ කි‍්‍රයාමර්ගය මත පදනම් ව, ධනපති පන්තියේ සියලු කොටස් වලින් මුලුමනින්ම ස්වාධීනව, නව කම්කරු පන්ති පක්ෂ ගොඩනැගීම හරහා ම පමනකි. ධනේශ්වර සූරාකෑම, දිලිඳුකම හා යුද්ධයට එරෙහි අරගලයේ දී ජාත්‍යන්තර කම්කරු පන්තිය සංවිධානය හා ඒකාබද්ධ කිරීම සඳහා සටන් කරන එකම දේශපාලන සංවිධානය නම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවයි. මාක්ස්වාදී සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම ආරක්ෂා කිරීම සඳහා දශක ගනනක් තිස්සේ එය ගෙන ගිය අරගලය, දැන් විවෘත වන නව විප්ලවවාදී යුගය සඳහා කම්කරු පන්තිය තරයේ සන්නද්ධ කිරීමට අවශ්‍ය දැවැන්ත දේශපාලන අත්දැකීම් ද ඉදිරිදර්ශනය ද දරා සිටී. ට්‍රොට්ස්කිවාදයේ අඛන්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව දශක හයක් තිස්සේ ගෙන ගිය අරගලයේ කේන්ද්‍රීය දේශපාලන හා ඓතිහාසික ප‍්‍රශ්න, අද දින මහා ජනතාව අලලාගත් දැවෙන ප‍්‍රශ්න බවට පත් වී ඇත. අද දින තීරනාත්මක මූලෝපායික ප‍්‍රශ්නය නම් හතර වන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම යි. සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂය වන ජාත්‍යන්තර කමිටුව සමග එක්ව, අප මෙම ප‍්‍රකාශයේ විස්තර කල ඉදිරිදර්ශනය සඳහා සටන් කිරීමට ඉදිරිපත්වන ලෙස ගී‍්‍රසියේ ද ලෝකය පුරා ද දේශපාලන වශයෙන් දැනුවත් කම්කරුවන්, බුද්ධිමතුන් හා තරුනයින්ගෙන් අපි ඉල්ලා සිටිමු.

2015 නොවැම්බර් 13

Share this article: