අධිරාජ්‍යවාදය මැද පෙරදිග සිදුකරන නව කැබලි කිරීම

The new imperialist carve-up of the Middle East

2015 දෙසැම්බර් 07

පසුගිය සතියේ සිදුවීම් ඉතිහාසයට එක්වනු ඇත්තේ 21වන සියවස තුල අධිරාජ්‍යවාදයේ වර්ධනයෙහි නව සැතපුම් කනුවක් ලෙසය. පසුගිය මාසයේ ප‍්‍රන්සය සිරියාව තුල තමන්ගේ මිලිටරි ප‍්‍රහාර උත්සන්න කිරීමෙන් පසුව, දින ගනනක් තුල ඇමරිකාව, බි‍්‍රතාන්‍ය හා ජර්මනිය, සිරියාව තුල සිය මිලිටරි මැදිහත්වීම් පුලුල් කලේය.

එම මෙහෙයුම් සඳහා නිමිත්ත කරගෙන ඇත්තේ, නොවැම්බර් 13දා පැරිසියට එල්ලවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාර හා ඉන් පසුව පසු ගිය 02දා කැලිෆෝර්නියාවේ ශාන්ත බර්නාඩිනෝහි සිදුවූ බිහිසුනු වෙඩිතැබීමය. කෙසේ වෙතත් ජනතාවට ගෙනහැර දැක්වූ හේතු, මිලිටරියේ හා ඔත්තු අංශයන්හි ඉහල නිලධාරීන් අතර සිදුවූ මූලෝපායික සාකච්ඡා සමග කිසිදු සම්බන්ධයක් නැත.

පැරිසියේ පුද්ගලයින් 130ක් මරා දැමීම තරම්ම ශාන්ත බර්නාඩිනෝහි 14ක් ඝාතනය කිරීම ද ඛේදජනක වන නමුත් ඒවාට, මැද පෙරදිග අධිරාජ්‍යවාදී බලවතුන් ක‍්‍රියාත්මක කල හදිසි හා වේගවත් මිලිටරි කඩාවැදීම පැහැදිලි කරන්නට නොපුලුවන. මිනිසුන් 1198 දෙනෙකුගේ ජීවිත බිලි ගනිමින් 1915දී ආර්එම්එස් ලුසිටානියා නැව ගිල්වා දැමීම, ඇමරිකාව පලමුවන ලෝක යුද්ධය කරා තල්ලු කලේ නැති බව යමෙකු සිහියට නගා ගැනීම සුදුසුය. ඒ අවස්ථාවේ ඇමරිකානු පාලක පන්තිය, මහා යුද්ධයට පැටලීමේ නුවනක්කාරකම ගැන බෙදී සිටියෝය.

සිරියාවේ යුද්ධය පිටුපස ඇත්තේ ද සමස්තයක් ලෙස මැද පෙරදිගම කැබලිකර ගැනීමේ අධිරාජ්‍යවාදී උත්සුකයට තුඩු දෙන එම මූලික බලවේගයම ය. එනම් ජාත්‍යන්තර මූල්‍ය ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා ය. තමන්ට කොල්ලය බෙදාගැනීම තුල හඬක් තිබීමට නම් තමන් ඝාතනයේ සිය කොටස ද ඉටුකල යුතුව ඇති බව අධිරාජ්‍යවාදී බලවත්තු දැන සිටිති.

මැද පෙරදිග යුද ව්‍යායාමය බෙහෙවින් අපකීර්තියට පත්ව ඇත. එය, මෑතක සිදු කල ප‍්‍රහාර ගසාකෑමට මෙතරම් උන්මාදනීය තදියමක් ඇතිවීමේ හේතුව පැහැදිලි කරයි. හැකිතාක් ඉක්මනින් වැඩට බැසගැනීම සඳහා මාධ්‍ය විසින් උසිගැන්වූ භීතිය දනවන වාතාවරනය ද ඊට සම්බන්ධය. පසුගිය සතියේ සිදුවීම් සලකා බලන්න.

01දා ඔබාමා පාලනය, ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (අයිසිස්) වෙත නාමිකව යොමු කරමින්, විශේෂ කාර්ය බලකායන් අලුතෙන් එහි යොදවන බව නිවේදනය කලේය. එදින පැවති මාධ්‍ය හමුවකදී ඔබාමා යලි පැවසුවේ, සිරියානු යුද්ධයට කුමන හෝ විසඳුමක් ඇතිකර ගැනීමේදී, රුසියාවේ ප‍්‍රධාන සහචරයා වන ජනාධිපති බෂර් අල් අසාද් ඉවත් කිරීම අවශ්‍ය වන බවයි.

02දා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව, ලේබර් නායක ජෙරමි කෝබින් සිය පක්ෂයේ මන්ත‍්‍රීන්ට ”නිදහස් ඡන්දයකට” ඉඩ දෙන බව පලකරමින් යුද්ධය සඳහා මග හෙලිකර දීමෙන් අනතුරුව, සිරියාවේ මිලිටරි මෙහෙයුම් වලට සහාය පල කරන අනුමැතියක් ලබා දුන්නේය. එදිනම රාත‍්‍රියේ බි‍්‍රතාන්‍ය ප‍්‍රහාරක යානා සිරියාවේ ඉලක්ක වෙත බෝම්බ හෙලීම සඳහා පිටත්ව ගියේය. අගමැති ඬේවිඞ් කැමරන්, යුද්ධයට විරුද්ධ වන ඕනෑම අයෙක් “ත‍්‍රස්තවාදයේ සහකරුවෙක්” යයි හෙලාදුටුවේය.

04දා ජර්මන් පාර්ලිමේන්තුව, සාකච්ඡාවකින් පවා තොරවම වාගේ සිරියානු යුද්ධයට සම්බන්ධවීම සඳහා අනුමැතිය පල කලේය. එම පාර්ලිමේන්තු අනුමැතිය පල වූයේ, සතිය මුල ආන්ඩුව හමුදා භටයින් 1200ක්, ටොනාඩෝ ජෙට් යානා 6ක් හා යුද නැවක් කලාපයට පිටත්කර හැරීමට තීරනය කිරීමෙන් පසුවය.

සති අන්තයේදී ඇමරිකානු මාධ්‍ය හා දේශපාලන සංස්ථාපිතය, ශාන්ත බර්නාඩිනෝහි ඝාතනය ගසාකෑමට පටන් ගත් අතර යුද්ධය පුලුල් කිරීම සඳහා උද්ඝෝෂනය දැඩි කලේය. රිපබ්ලිකානු ජනාධිපති අපේක්ෂකයෝ, ඇමරිකාව “ඊලඟ ලෝක යුද්ධයට” මුහුනපා ඇතැයි පවසමින් යුදවාදී ප‍්‍රකාශ නිකුත් කලහ. නිව් ජර්සි ආන්ඩුකාර ක‍්‍රිස් ක‍්‍රිස්ටි පැවසුවේ, “ජාතියට යුද්ධ කාලයේ ජනාධිපතිවරයෙකු අවශ්‍යව” ඇති බවයි. ටෙක්සාස් සෙනේට් සභික ටෙඩ් කෲස් හා හිටපු ෆ්ලොරිඩා ආන්ඩුකාර ජෙබ් බුෂ් පැවසුවේ, “ඔවුන් අපට විරුද්ධව යුද ප‍්‍රකාශ කර ඇත, අප ද ඔවුන්ට එරෙහිව යුද ප‍්‍රකාශ කල යුතුය.” යනුවෙනි.

ඉරිදා රාත‍්‍රියේ කල කථාවකදී ඔබාමා, රිපබ්ලිකානු විවේචකයින්ට එදිරිව සිරියාව තුල සිය ප‍්‍රතිපත්තිය ආරක්ෂා කලේය. එහිදී ඔහු, ගුවන් ප‍්‍රහාර වේගවත් කිරීම, සිරියාව තුල යුදවාදී කන්ඬායම් වලට අරමුදල් සැපයීම හා අසල්වැසි රටවල හමුදා යොදා ගැනීමට අමතරව විශාල වශයෙන් ඉරාකය හා සිරියාව තුල ගොඩබිම් හමුදා යෙදවීමට සිය විරුද්ධත්වය යලි ප‍්‍රකාශ කලේය. ප‍්‍රන්සයේ ජර්මනියේ හා බි‍්‍රතාන්‍යයේ පියවරයන්ට ප‍්‍රසංශා කරමින් ඔබාමා පැවසුවේ, “පැරිසියේදී එල්ල කල ප‍්‍රහාර වලින් පසුව අපගේ සමීපතම මිතුරෝ, අයිස්ල් (අයිසිස්) විනාශ කිරීමේ අපගේ ව්‍යායාමය වේගවත් කල හැකි වන පරිදි අපගේ මිලිටරි මෙහෙයුම් සඳහා සහාය දෙති.”

යුද්ධය කරා තල්ලුවන විට ඔබාමා හෝ දේශපාලන සංස්ථාපිතයේ කිසිවෙකුටත්, වසර 15ක් තිස්සේ ඇමරිකානු විදෙස් පිලිවෙත පදනම්ව පැවති “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සඳහා නිමිත්ත සම්පාදනය කල අයිසිස්හි සැබෑ මූලයන් පිලිබඳව කිසිවක් පැවසීමට නොහැකිවී ඇත.

ඉරිදා පැවැත්වූ එම කථාවේදී ඔබාමා, ඇමරිකාවේම ප‍්‍රතිපත්තියට අසම්බන්ධිත වූවා සේ, අයිසිස්හි වැඩීම පිලිබඳව වක්‍රෝත්තියෙන් සඳහන් කලේ මෙසේය: “ඉරාකයේ ද පසුව සිරියාවේ ද යුද්ධයේ විනාශය මැද” සැබෑව නම්, ඇමරිකාව හා එහි සහචරයෝ පලමුව ඉරාකය නීති විරෝධී ලෙස යටත්කරගෙන විනාශ කල අතර පසුව, සිරියානු ජනාධිපතිට එරෙහි යුද්ධයේ හී තුඩ ලෙස මතුවී සිටින අයිසිස් පැන නැංගාවූ එරට ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඬායම් ගොඩනැංවූ බවය.

පැරිස් ප‍්‍රහාර මෙහෙයවූ අයිසිස් සටන්කරුවෝ, සිරියාවටත් ඉන් පිටතටත් නිදහසේ ගමන්කර තිබුනේ, අසාද්ට එරෙහි යුද්ධයට සම්බන්ධවීම පිනිස බලධාරීන්ගේ ද සහාය ඇතිව යුරෝපයේ සිට සිරියාවට එවැනිම තරුනයින් දහස් ගනනක් ගමන් ගන්නා තතු තුලය.

ශාන්ත බර්නාඩිනෝ ප‍්‍රහාරය ගැන පවසන්නේ නම්, එය ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් යයි පැවසීම යුක්තිසහගත කිරීම පිනිස නිලධාරීන් සඳහන් කර ඇත්තේ, තුවක්කුකරුවන් දෙදෙනා සව්දි අරාබියට ගමන් කර තිබීමත් අල් නුස්රා පෙරමුනේ අය සමග ඔවුන්ට පැවති සම්බන්ධකමුත්ය. මැද පෙරදිග පුරා ඉස්ලාමීය මූලධර්මවාදී කන්ඬායම් වලට මුදල් ආධාර හා පහසුකම් සැපයීමේ මධ්‍යස්ථානය සව්දි අරාබියයි. එය කලාපයේ ප‍්‍රමුඛ ඇමරිකානු සහචරයා වන අතර අල් කයිඩාවට සම්බන්ධ අල් නුස්රා පෙරමුන, සත්‍ය වශයෙන්ම සිරියාව තුල සිටින ඇමරිකානු සහචරයාය.

මෑතක සිදුවූ ප‍්‍රහාරයන්ට ප‍්‍රතිචාර දැක්වීමට වඩා අධිරාජ්‍යවාදී බලවතුන්ගේ ප‍්‍රතික‍්‍රියාව වී ඇත්තේ, තමන්ගේ දිගු කාලීන සැලසුම් හා අභිලාශයන් සාක්ෂාත් කර ගැනීමය. මේ සතියේ බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ඡන්දය, අසාද් තන්ත‍්‍රය සමග ඇමරිකාවේ මූලිකත්වයෙන් සැලසුම් කල යුද්ධයට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කරමින් එහිදී දුන් ඡන්දය ආපසු හරවා ඇත.

ජර්මානු පාලක පන්තිය, යුරෝපයේ ප‍්‍රමුඛ බලවතා බව අවධාරනය කරමින් වඩාත් ක‍්‍රියාශීලී කාර්ය භාරයක් ඉටුකිරීම පිනිස වලි කමින් සිටිති.

ශාන්ත බර්නාඩිනෝ ප‍්‍රහාරයට පෙර ඇමරිකාවේ දේශපාලන සංස්ථාපිතය හා මාධ්‍ය තුල, සිරියාවේ පියාසර මුක්ත කලාපයක් ඇටවීමටත් ගොඩබිම් හමුදා යෙදවීමටත් කෙරුනු දැඩි උද්ඝෝෂනයක් පැවතුනි.

ඇමරිකාවේ මූලිකත්වයෙන් අධිරාජ්‍යවාදී බලවත්තු, සියවස් කාලක් තිස්සේ මැද පෙරදිග හා මධ්‍යම ආසියානු කලාපය මාධ්‍ය කරගත් නිමක් නැති යුද්ධයක නිරතව සිටිති. මිලියනයකට වැඩි සංඛ්‍යාවක් බිලිගෙන ඇති අතර තවත් මිලියන ගනනක් සරනාගතයින් බවට පත්ව ඇත. බුෂ් පාලනය යටතේ කරගෙන ගිය ඇෆ්ගනිස්ථාන හා ඉරාක යුද්ධ වලින් පසුව ඔබාමා, ලිබියාවේ යුද්ධයටත් යුකේ‍්‍රනයේ හා සිරියාවේ සීඅයිඒ පිටුබලය සහිත තන්ත‍්‍ර මාරු මෙහෙයුම් වලටත් නායකත්වය දී ඇත. සෑම මෙහෙයුමකින්ම උදාකල ව්‍යසනය යුද්ධය තවත් පතුරුවා හැරීමටත් උග‍්‍ර කිරීමටත් වේදිකාව සපයයි.

සිදුවෙමින් ඇත්තේ ලෝකය යලි බෙදීම හා යටත් විජිතකරනයකි. සෑම පැරනි බලවතෙක්ම තම පංගුවට හිමිකම් පෑම පිනිස ඉදිරිපත්ව සිටිති. දැනට තෙල් වලින් පොහොසත් මැද පෙරදිග වෙත කේන්ද්‍රගතව තිබුන ද සිරියානු ගැටුම, රුසියාව සමග කුලීකාර යුද්ධයක් කරා වර්ධනය වෙමින් තිබේ. යුරේසියානු භූ ස්කන්ධයේ අනෙක් පස ඇමරිකාව, දකුනු චීන මුහුදු ප‍්‍රදේශයේ චීනයට එරෙහි වඩ වඩාත් ප‍්‍රකෝපකරනයන්හි නිරතව සිටියි.

අද දවසේ භූදේශපාලනික වාතාවරනය, දෙවන ලෝක යුද්ධය ආසන්නයේ පැවති තත්වයෙන් පසුව නොවූ විරූ තරම් පුපුරන සුලුය. තමන්ට කිසිදු ප‍්‍රගතිශීලී විසඳුමක් නැති ආර්ථික හා සමාජ අර්බුදයකට මුහුනපා සිටින පාලක පන්ති වඩ වඩාත් දකිමින් සිටින්නේ, එකම ශක්‍ය ප‍්‍රතිචාරය කොල්ලකෑම හා යුද්ධය ලෙසය.

ජෝසෆ් කිෂෝර්

Share this article: