ශ‍්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්- ලෝක සමාජවාදී වෙබ් අඩවිය

 

ශ‍්‍රී ලංකාව: අයවැය කප්පාදුවලට එරෙහිව සටන් වැදීමට සමාජවාදී ක‍්‍රියාමාර්ගයක්

Sri Lanka: A socialist program to fight budget cuts

සමාජවාදී සමානතා පක්ෂය (ශ‍්‍රී ලංකාව), 2015 දෙසැම්බර් 14

ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය හා පුද්ගලික අංශවල සේවය කරන ලක්ෂ සංඛ්‍යාත කම්කරුවන්, රැකියා, වැටුප්, විශ‍්‍රාමික අයිතීන් හා සහනාධාරවලට දැවැන්ත පරිමානව බලපාන, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂ (එජාප) නායකත්වයෙන් යුක්ත ආන්ඩුවේ යෝජිත අයවැය කප්පාදුවලට එරෙහිව අඟහරුවාදා එක් දින සංකේත වර්ජනයකට එක් වෙතැයි බලාපොරොත්තු වේ.

රාජ්‍ය, පුද්ගලික හා අර්ධ-රාජ්‍ය අංශවල සමිති 50ක එකතුවක් වන, වෘත්තීය සමිති එකමුතුව, පැකිලීමකින් යුක්තව වර්ජනය කැඳවා ඇත්තේ, ආන්ඩුවේ කප්පාදු පිලිවෙත්වලට එරෙහිව කම්කරුවන් හා දුගීන් අතර වැඩෙන විරුද්ධත්වය අපසරනය කරනු පිනිසය.

වෘත්තීය සමිති එකමුතුව, ආන්ඩුවට එරෙහි කම්කරු පන්තියේ මොන යම් හෝ අරගලයක් වලකාලීමට උත්සාහ කරන බවටත් ආන්ඩුව සමග ගෙනයන සාකච්ඡා හරහා, යෝජිත පැය 24 වර්ජනය පවා නතර කිරීමට අවසන් මොහොත දක්වා ම ප‍්‍රයත්න දරන බවටත් සමාජවාදී සමානතා පක්ෂය (සසප) අනතුරු අඟවා සිටි. සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව සටන් වැදීමට සූදානම් වන ලෙස සසප කම්කරුවන්ට කැඳවුම් කරයි.

වසර 2016 සිට රාජ්‍ය අංශයේ සේවකයන්ගේ විශ‍්‍රාමික අයිතීන් අහෝසි කොට ඔවුන්ට සිය විශ‍්‍රාම වැටුප සඳහා දායක වීමට බල කෙරෙන ක‍්‍රමවේදයක් හඳුන්වා දීමේ ආන්ඩුවේ සැලසුම නතර කිරීම වෘත්තීය සමිතිවල සීමිත ඉල්ලීම්වලට ඇතුලත් වේ. රාජ්‍ය ආයතන පුද්ගලීකරනය හා වානිජ්‍යකරනය නතර කරන ලෙස ද වර්තමානයේ මහ බැංකුව විසින් පවත්වා ගෙන යනු ලබන කම්කරුවන්ගේ විශ‍්‍රාමික අරමුදල් පාලනයට නව ඒජන්සියක් පිහිටුවීමේ පියවර අහෝසි කරන ලෙස ද සමිති ඉල්ලා සිටිති.

පුද්ගලික අංශයේ කම්කරුවන්ගේ මාසික වැටුප් රුපියල් 2,500කින් ඉහල දැමීම, වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000 දක්වා වැඩි කිරීම සහ රාජ්‍ය අංශයේ සේවකයන්ගේ රුපියල් 10,000 වැටුප් දීමනාව ඔවුන්ගේ මූලික වැටුපට එකතු කිරීම සෙසු ඉල්ලීමවලට ඇතුලත් වේ.

ගොවීන්ට සහන මිලකට පොහොර ලබාදීමේ වත්මන් ක‍්‍රමය අහෝසි කිරීමට ද ආන්ඩුව යෝජනා කර තිබේ. මෙය, ගම්බද දුගීන්ට එරෙහි ප‍්‍රධාන ප‍්‍රහාරයක් වනු ඇති, පොහොර සහනාධාරය මුලුමනින්ම අහෝසි කිරීම පිනිස තැබෙන ප‍්‍රථම පියවරකි. පසුගිය සතියේ දී, රටේ විවිධ ප‍්‍රදේශලින් පැමිනි ගොවීහු මෙම යෝජනාවට විරුද්ධව කොලඹ දී විරෝධතාවක් පැවැත්වූහ.

මොන යම් හෝ අරගලයක් කඩාකප්පල් කිරීමට සැලසුම් කෙරුනු, ආන්ඩුව සමග ගෙනයන ඔවුන්ගේ උපාමාරුවල කොටසක් ලෙස, වෘත්තීය සමිති එකමුතුවේ නායකයෝ සෙනසුරාදා අගමැති රනිල් වික‍්‍රමසිංහ සමග සාකච්ඡාවක් පැවැත්වූහ. යෝජිත වර්ජනය නතර කරනු පිනිස, යම් අපැහැදිලි පොරොන්දුවක් ලබාගත හැකි යැයි ඔවුහු බලාපොරොත්තු වූහ. වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු, රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප‍්‍රිය පැවසුවේ, “අඩු ගනනේ විශ‍්‍රාම වැටුප් ක‍්‍රමය දිගටම පවත්වාගෙන යාමට සලකා බලන බවට ආන්ඩුව එකඟ වනවා නම් වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය නතර කිරීමට සමිති කැමැත්තෙන් සිටින” බවයි. “කිසිම ඉල්ලීමකට (වික‍්‍රමසිංහගෙන්) සාධනීය ප‍්‍රතිචාරයක් ලැබුනේ නැතැ” යි සාකච්ඡාවෙන් පසුව, තවත් සමිති නායකයෙක් වැලපුනි.

රූපවාහිනී සාකච්ඡාවක දී රත්නප‍්‍රිය පැහැදිලිව කියා සිටියේ ආන්ඩුවට එරෙහි මොන යම් හෝ අරගලයකට සමිති විරුද්ධ බවයි. “අපි බොහෝ වෙහෙස මහන්සි වෙලා බලයට ගෙන ආපු” මෙම ආන්ඩුවට එරෙහිව සමිති සටන් වදින බවක් සිය ඉල්ලීම් මගින් අදහස් නොකෙරන බව ඔහු අවධාරනය කලේය.

එලෙසම, විපාර්ශ්වික ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විසින් පාලනය කෙරෙන ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය (ජාවෘසම), අදින් අවසන් වන, ඊනියා විරෝධතා සතියක් ප‍්‍රකාශයට පත් කලේය. එය පත‍්‍රිකා බෙදීමට, පෝස්ටර් ඇලවීමට හා පිකට් කිරීමට සීමා විය. ජවිපෙ සහ ජාවෘසම ද ආන්ඩුවට තර්ජනයක් විය හැකි මොන යම් හෝ අරගලයකට එලෙසම විරුද්ධව වන අතර ඒ වෙනුවට කම්කරුවන්ගේ වෛරය පාලනය කොට අවමංගත කිරීමට උත්සාහ කරයි.

අයවැය කප්පාදුවලට එරෙහි සටන් වැදීමේ දී කම්කරුවන්ට මෙම සමිති හෝ දේශපාලන සංස්ථාපිතයේ පක්ෂ කිසිවක් ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකිය. කම්කරුවෝ, ආන්ඩුවට ම එරෙහිව, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත, දේශපාලන අරගලයක් ගෙන යනු පිනිස සෑම වැඩපොලකම තමන්ගේ ම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුත්තාහ.

මෙම සමිති, ජීවන කොන්දේසිවලට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එරෙහිව පෙර පැවති ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ක‍්‍රියාවට දැමූ ප‍්‍රහාරවලට එරෙහි කම්කරුවන්ගේ හා දුගීන්ගේ විරුද්ධත්වය අපසරනය කිරීමට ද වැඩ කලහ. ජනවාරි මැතිවරනයේ දී එක්සත් ජනපද-ගැති ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ආන්ඩුව බලයට ගෙන ඒමට සහාය වීමෙන් පසුව, සමිති දැන් නොසන්සුන්ව සිටින්නේ, ආන්ඩුව අර්බුදයට තල්ලූ කරමින් කම්කරුවන්ගේ අසහනය පුපුරා යාමේ හැකියාව ගැනයි.

සිරිසේන සහ වික‍්‍රමසිංහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග ක‍්‍රියාවට දැමීමට අධිෂ්ඨානවත්ව සිටී. බ‍්‍රහස්පතින්දා වික‍්‍රමසිංහ තර්ජනාත්මක කතාවක් කරමින්, වෘත්තීය සමිති විවේචනය කොට ආන්ඩුව වර්ජන මගින් බියට පත් නොවනු ඇතැයි ප‍්‍රකාශ කලේය. දෙසැම්බර් 3 දා සංකේත වර්ජනයක් පැවැත්වීම ගැන ඔහු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය හෙලා දැක්කේය. වික‍්‍රමසිංහගේ සැබෑ ඉලක්කය සමිති නායකයන් නොව, කම්කරුවෝ ය. වෘත්තීය සමිති පාලනය කිරීමට උත්සාහ කරන්නේ මෙම කම්කරුවන්ගේ වෛරයයි.

සිය අත ශක්තිමත් කරගැනීමේ උත්සාහයක් ලෙස, සිරිසේන බ‍්‍රහස්පතින්දා පාර්ලිමේන්තුව තුල විශාල බහුතරයකින් අයවැය සම්මත කරගැනීමේ ප‍්‍රයත්නයක යෙදී සිටී. එජාප නායකත්වයෙන් යුක්ත ආන්ඩුවේ සභාග හවුල්කරුවකු වන ඔහුගේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ‍්‍රීලනිප) විරුද්ධ මතධාරී මන්ත‍්‍රීන්ට අයවැය සහාය දෙන ලෙස ඔහු බල කරයි.

ගෝලීය ආර්ථික පසුබැස්ම හා මූල්‍ය කලබගෑනිය මගින් නිර්මිත ගැඹුරු ආර්ථික හා මූල්‍ය ගැටලුවලට මුහුන පා සිටින ආන්ඩුව, මහා ව්‍යාපාරිකයන්ට හා විදේශ ආයෝජකයන්ට හැකි සෑම සහනයක්ම දෙන අතර, කම්කරුවන් හා දුගීන් අර්බුදයේ බරට කර ගැසිය යුතු යයි ඉල්ලා සිටී.

මීට සමාන අයවැය කප්පාදු හා ව්‍යාපාරික-හිතැති පිලිවෙත් ජාත්‍යන්තර පරිමානව ක‍්‍රියාවට දැමෙමින් පවතී. දැවැන්ත නය බර හේතුවෙන් ශ‍්‍රී ලංකාව, සිරිසා ආන්ඩුව රුදුරු කප්පාදු පිලිවෙත් ක‍්‍රියාවට දමමින් සිටින, ග‍්‍රීසියට සමාන අර්බුදයකට ඇද වැටිය හැකි යයි ශ‍්‍රී ලංකා පාලක ප‍්‍රභූවේ කොටසක් දැනටමත් සාකච්ඡා කරමින් සිටී.

සිය ආන්ඩුව “බදු පනත යලි ලිවීමට සහාය වන” ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉල්ලා සිටි බවත් ආන්ඩුවට පොරොත්තු නය ගිවිසුමක් අවශ්‍ය යයි එයට දැනුම්දුන් බවත් වික‍්‍රමසිංහ කොලඹ කොටස් වෙලඳ පොලේ පැවති උත්සවයක දී පැවසීය. ආන්ඩුවේ පිලිවෙත වන්නේ ශ‍්‍රී ලංකාව “ආයෝජන ආකර්ෂනය කරගැනීමේ තරගකාරී වේදිකාවක් හා සැපයුම් මධ්‍යස්ථානයක්” බවට පත් කිරීම යයි ඔහු කියා සිටියේය. රට “තරගකාරී මධ්‍යස්ථානයක්” බවට පත් කිරීමට ආන්ඩුවට හැකි වන්නේ සමාජ අයිතීන්, වැටුප් හා සේවා කොන්දේසි කප්පාදු කිරීම මගින් පමනි.

ආන්ඩුවට එරෙහි දේශපාලන සටනකින් තොරව, කම්කරුවන්ට සිය අරගලය ඉදිරියට ගෙනයා නොහැකිය. සිය පිලිවෙත්වලට එරෙහි ප‍්‍රතිරෝධය මඩිනු පිනිස තමන් බලය යොදන බව ආන්ඩුව දැනටමත් ප‍්‍රදර්ශනය කර තිබේ. එය, රාජ්‍ය අධ්‍යාපනය ආරක්ෂා කරගැනීමට විරෝධතා පැවැත්වූ ශිෂ්‍යයන්ට එරෙහිව මෘග පොලිස් ප‍්‍රහාරයක් දියත් කල අතර, දෛනික වැඩ ඉලක්කයන් ඉහල දැමීමට විරුද්ධත්වය පෑ වතු කම්කරුවන් අත් අඩංගුවට ගත්තේය. එමෙන්ම, පිරිසිදු පානීය ජලය ඉල්ලා සිටි දුගී ගොවීන්ට ද පහර දුනි.

කම්කරුවන්ට සිය රැකියා, වැටුප්, විශ‍්‍රාම වැටුප් සහ අධ්‍යාපනය හා සෞඛ්‍ය වැනි සමාජ අයිතීන් රැක ගත හැක්කේ ද දුගී ගොවීන් ආරක්ෂා කල හැක්කේ ද මෙම මූලික අයිතීන් සමග නොපෑහෙන ධනපති ලාභ ගැරීමේ ක‍්‍රමය අහෝසි කිරීමට සටන් වැදීම මගින් පමනි.

සියලු බැංකු, ප‍්‍රධාන කර්මාන්ත හා සමාගම් සහ විශාල වතු කම්කරු පාලනය යටතේ ජනසතු කල යුතුය. සියලු විදේශ නය ගෙවීම ප‍්‍රතික්ෂේප කල යුතුය. මහජනතාවගේ බහුතරයේ වාසිය පිනිස ආර්ථිකය සමාජවාදී පිලිවෙත් ඔස්සේ ප‍්‍රතිසංවිධානය කල යුතුය.

පුද්ගලික ලාභ ගැරීමේ ක‍්‍රමය පවත්වාගෙන යාමට එකාවන්ව කැප වී සිටින, වෘත්තීය සමිතිවලට, තමන්ගේ ඉරනම තීන්දු කිරීමට ඉඩ දීම කම්කරුවන්ට කල නොහැකිය. ඔවුහු වෘත්තීය සමිතිවලින් බිඳී තමන්ගේම ක‍්‍රියාකාරී කමිටු ගොඩනගා ගත යුතුය.

මෙම ආන්ඩුව කම්කරුවන් හා දුගීන් මහත් පරිශ‍්‍රමයකින් දිනාගත් අයිතීන්ට එරෙහි ප‍්‍රහාරය උත්සන්න කරනු ඇති බවට, ජනවාරි ජනාධිපතිවරනයේ දී හා අගෝස්තු මහ මැතිවරනයේ දී පැහැදිලි කලේ සසප පමනි.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර පරිමානව සමාජවාදය සඳහා වන අරගලයේ කොටසක් ලෙස, සමාජවාදී ක‍්‍රියාමාර්ගය මත පාදක වූ කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන අතට ගන්නා ලෙස කම්කරුවන්ගේ සසප ඉල්ලා සිටී. මෙම අරගලයේ දී, කම්කරුවන්ට නව විප්ලවවාදී පක්ෂයක් අවශ්‍යය. සසපට බැඳී, මෙම අරගලයේ දී කම්කරු පන්තියට නායකත්වය දීමට මහජන විප්ලවවාදී පක්ෂයක් ලෙස එය ගොඩනැගීමට සහාය වන ලෙස අපි කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු.

Share this article: