පෙරටුගාමී සමාජවාදී පක්ෂය සිරිසේන ආන්ඩුවේ “දින 100” වටා රැලි වෙයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2015 පෙබරවාරි 10

එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරනය එල්ල කර ගනිමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන ආන්ඩුව ඉදිරියට දමා ඇති ප්‍රෝඩාවක් වන “දින 100 වැඩපිලිවෙල” වටා රැලි වෙමින් ආන්ඩුවට සහයෝගය දැක්වීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය (පෙසප) ද ඉදිරිපත් වී සිටියි. ඒ පිලිබඳව සිය ස්ථාවරය පැහැදිලි කිරීමට මාධ්‍ය සාකච්ඡා කිහිපයක් සංවිධානය කල මෙම ව්‍යාජ වාම පක්ෂය දැන් “දින 100 අපේක්ෂාව හා යථාර්තය” නමින් සම්මන්ත‍්‍රන මාලාවක් රටපුරා පැවැත්වීමට ද තීරනය කර තිබේ.

විටක ආන්ඩුවේ දින සියයේ වැඩපිලවෙල “සාධනීය” යයි ද තවත් විටක “ඊට එහා ගිය සමාජ භාවිතාවක් සඳහා ජනතාව සවිඥානික කරවීම” නමින් ද පෙසප අතගසා ඇත්තේ, සිරිසේන ආන්ඩුවේ සැබෑ අධිරාජ්‍යගැති න්‍යාය පත‍්‍රය වසන් කිරීමේ දැනුවත් ව්‍යායාමයකය. එනම්, එක්සත් ජනපදයේ “ආසියාවට හැරීම” යටතේ චීනය ආර්ථිකව හා මිලිටරිමය වශයෙන් වටලෑම ඉලක්ක කරගත් සැලසුම්වලට ශ‍්‍රී ලංකාව හා ඉන්දියාව ඇතුලු කලාපයේ සෙසු රටවල් අන්තර්ග‍්‍රහනය කර ගැනීම වේගවත් කිරීම මගින් වර්ධනය කෙරෙමින් පවතින යුද අන්තරායෙන් මහජනයාගේ දෑස් ඉවතට හැරවීමයි.

මැතිවරනය තුල දී, නව සම සමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය (එසප) ඇතුලු ව්‍යාජ වම්මුන් හා ධනේශ්වර බුද්ධිමතුන් සමග පෙසප පෙලගැසුනේ රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව වර්ධනය වූ මහජන වෛරය අධිරාජ්‍ය ගැති එජාපය ප‍්‍රමුඛ සිරිසේන තන්ත‍්‍රය බලයට ගෙන ඒම සඳහා ය.

මේ මස 17 දා කොලඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී පැවති මාධ්‍ය සාකච්ඡාවක දී දින 100 වැඩසටහනට පිලිබඳව පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කල පෙසප ප‍්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ “ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය සම්බන්ධව ඉදිරිපත් කර ඇති දින 100 වැඩපිලිවෙල නිශ්චිත දින වකවානු සහිතව ඉදිරිපත් කර තිබීම සාධනීය එකක්” යයි පැවසීය. ව්‍යවස්ථා සංශෝධනයක් සඳහා මහජන නියෝජිතයන් පත්කර ජනමත විචාරන පවත්වන්නේ නම් ඊට සහයෝගය දෙන බවත් අතුරුදහන් වූවන් පිලිබඳ විමර්ශන කැඳවන්නේ නම් ඊට සාක්ෂි ගොනු කරමින් සහයෝගය දෙන බවත් ඔහු ප‍්‍රකාශ කලේ ය.

මාධ්‍ය සාකච්ඡා හා සම්මන්ත‍්‍රන තුල දී පෙරමුන ගෙන සිටින ජාගොඩ, දින 100 වැඩසටහන ක‍්‍රියාත්මක වූවත් ඉන් මහජනයාගේ ප‍්‍රශ්න නො විසඳෙන බවත් වරින් වර කීමට අමතක නොකරන්නේ මහජනයා ආන්ඩුව සමග ගැට ගසන ගමන් ආන්ඩුවට එරෙහි බවක් මවා පෑම සඳහා ය. ඒත් සමගම ජාගොඩ ප‍්‍රකාශ කරන්නේ “දින සියය ඇතුලත අවම ඉල්ලීම් ප‍්‍රමානයක් හෝ ඉටු කර ගැනීම” අවශ්‍ය බවයි. “ජනතාව ආන්ඩුවට ඡන්දය දී තිබෙන නිසාත් ආන්ඩුව යහපාලනයක් ක‍්‍රියාත්මක කිරීමට පොරොන්දු දී තිබෙන නිසාත් ආන්ඩුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා ප‍්‍රවේශයක් හෝ ගත යුතු” බව පැවසූ ජාගොඩ වැඩිදුරටත් කියා සිටියේ “ජනතාව අවදි කිරීම සඳහා පක්ෂයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන හා ලිබරල් අදහස් ඇති”, එනම් ඉහල මධ්‍යම පන්තික කොටස්වල අදහස් ඒකාබද්ධ කරගත්, යෝජනා මාලාවක් ඉදිරියේ දී ආන්ඩුවට ඉදිරිපත් කරන බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැකීමේ නාමයෙන් පෙසප සිරිසේන ආන්ඩුව සමග පෙලගැසීම මගින් පෙන්නුම් කෙරෙන්නේ ඉදිරියේ දී තව දුරදිගයන සම්මුතීන්ට යෑමට ඔවුන් දක්වන නැමියාවයි. එය වඩාත් තහවුරු කල සාධකයක් වන්නේ, පෙසප යටතේ ක‍්‍රියාත්මක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලයේ (අවිශිබමය) කැඳවුම්කරු නජිත් ඉන්දිකගේ නමින් ජනාධිපති සිරිසේනට යවා ඇති ලිපියයි. සිරිසේන ආන්ඩුවේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” ප්‍රෝඩාව තුල සිසුන් රඳවා තබනු වස්, “අපි ඔබ තුමාගේ තාවකාලික ආන්ඩුව මගින් යම් හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රතිසංස්කරන සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු” යයි ඉන්දික එම ලිපියෙන් කියා සිටී.

පෙසප පසුගිය ජනාධිපතිවරනයේදී තම අපේක්ෂකයකු ඉදිරිපත් කර තිබුන ද මැතිවරනයේ දී සිරිසේන බලයට ගෙන ඒමට ආධාර කලේ ය. සිරිසේන වෙනුවෙන් විවෘතව පෙනී සිටි සරත් විජේසූරිය වැනි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අවස්ථාව සලසා දුන් රැස්වීම් සංවිධානය කල අවිශිබම කෙසේ හෝ රාජපක්ෂ පරාජය කල යුතු යයි කියා සිටිමින් සිරිසේනට පාර කපා දුනි.

දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයේ (එජාප) අගමැති රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ කර ගත් සිරිසේන ආන්ඩුව පැවති රාජපක්ෂ තන්ත‍්‍රයේ වංචා හා දූෂන පිලිබඳව කෑමොර දෙන්නේ තම අධිරාජ්‍ය ගැති ආර්ථික හා දේශපාලන පිලිවෙත් වසා ගැනීම හා පාලක පන්තිය සමස්තයක් ලෙස මුහුන දී සිටින මහජන අතෘප්තිය වෙනතක හරවා යැවීම අරමුනු කර ගනිමිනි. එලැඹෙන පාර්ලිමේන්තු මැතිවරනයෙන් ජයගෙන ඉදිරි ප‍්‍රහාර සඳහා අත් ශක්තිමත් කර ගැනීම ඔවුනගේ ඉලක්කයයි. මහජන අප‍්‍රසාදයට ලක් වී සිටින ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) හා තවත් එවැනි පක්ෂ ආන්ඩුව තනා ඇති ඊනියා ජාතික විධායක සභාව තුල යෙදී සිටින රංගනයේ තේරුම වන්නේ ද එයමයි. පෙසප හා අවිශිබම එම බෝට්ටුවටම නැග ඇත.

ප‍්‍රජාතන්ත‍්‍රවාදය රැක යුක්තිය පසිඳලන්නැයි පෙසප හා අවිශිබම කන්නලව් කරන්නේ දෙමල ජනයාට එරෙහිව වර්ගවාදී යුද්ධය ආරම්භ කිරීම සම්බන්ධව හා 1980 අගභාගයේ දී ගම්බද තරුන ජීවිත 60,000 ට අධික සංඛ්‍යාවක් ද කෘර ලෙස ඝාතනය කිරීමට වගකිව යුතු දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය (එජාප) ප‍්‍රධානත්වය දරන ආන්ඩුවක් වෙතයි. එසේම ජනාධිපති සිරිසේන ඇතුලු වත්මන් ආන්ඩුවේ සියල්ලන් රාජපක්ෂ යටතේ සිවිල් වැසියන් දහස් ගනනක් ඝාතනයට ලක් කල සිවිල් යුද්ධයේ අපරාධයන්ට මෙන්ම රටේ දකුනු ප‍්‍රදේශවල වර්ධනය කරන ලද පොලිස් මිලිටරි රාජ්‍ය සැලසුම්වලට සහයෝගය පුද කලවුන්ය.

සිරිසේන ආන්ඩුවේ “ප‍්‍රජාතන්ත‍්‍රවාදී” සහ “යහපාලන” කඩතුරාව ඉරා දමමින් ඉදිරි ප‍්‍රහාර වර්ධනය වනු ඇත්තේ රාජපක්ෂ ආන්ඩුව ගෙනගිය කප්පාදු පිලිවෙත් වඩාත් රුදුරු ලෙස ඉදිරියට ගෙන යෑමක් ලෙසයි. දැනටමත් ජාමූඅ නියෝග කර ඇත්තේ 2013 දී දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 5.8 පැවැති අයවැය හිඟය 2016 දී සියයට 3.8 ට අඩු කිරීමයි. මෙහි අනිවාර්ය ප‍්‍රතිඵලය වන්නේ සමාජ සුභසාධන කප්පාදුව හා මහජනයා මත බදු බර පැටවීමත් ය. කම්කරුවන්, තරුනයන් සහ අවශේෂ පීඩිතයන් සිරිසේන ආන්ඩුවේ මෙම ප‍්‍රහාරවලට එරෙහිව දැවැන්ත අරගලවලට ඇදී එනු ඇත.

පෙසප හා අවිශිබම කල්තියා සූදානම් වන්නේ වර්ධනය වන එවන් පන්ති සටන් ආන්ඩුවට හා ධනපති පන්තියේ ඒ හෝ මේ කල්ලි කන්ඩායම් තුල ගාල් කරමින්, විද්‍යාත්මක මාක්ස්වාදයට හා එහි අඛන්ඩතාවය නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදී හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂට (සසප) කම්කරුවන්ගේ හා තරුනයන්ගේ ආකර්ෂනය වලකාලීමටයි.

සිරිසේනට, රාජපක්ෂට හා පෙසප ඇතුලු ව්‍යාජ වම්මුන්ට එරෙහිව සසප ජනාධිපතිවරනය යොදා ගත්තේ වර්ධනය වන ලෝක යුද අන්තරායට හා කම්කරු පන්තිය මෙතෙක් දිනා ගත් සමාජ අයිතීන්ට හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය යටතේ සටන් වැදීමේ තීරනාත්මකභාවය කම්කරුවන්ට සහ අවශේෂ පීඩිතයන්ට අවධාරනය කිරීමේ අවස්ථාවක් ලෙසයි. පේරාදෙනිය සරසවි සිසුන් අමතා සසප ජනාධිපතිවරන අපේක්ෂක පානි විජේසිරිවර්ධන කල මැදිහත්වීමට එරෙහිව ජනවාරි 04 දා පෙසපයේ ජනරල පත‍්‍රයේ “ස්මාට් ෆෝන් අයිපෑඩ් යුගය තුල ට්‍රොට්ස්කි හා ස්ටාලින්” යන හිසින් යුත් ලිපිය මෙම පක්ෂය මාක්ස්වාදයට දක්වන සතුරුභාවය පෙන්නුම් කල තවත් අවස්ථාවකි.

60, 70 යුගයේ තරුනයන් මෙන් නොව නව තාක්ෂනික මෙවලම් භාවිතා කරන වර්තමාන තරුනයන් හා කම්කරුවන්ට, “තනිරටේ සමාජවාදය” නම් වු ස්ටැලින්ගේ ප‍්‍රතිමාක්ස්වාදී න්‍යායට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම්ව ලියොන් ට්‍රොට්ස්කි ඉදිරිපත් කල “නොනවතින විප්ලව න්‍යාය” හා ලෝක සමාජවාදය පිලිබඳ ඉදිරිදර්ශනය අදාල නොවන හා නො වැටහෙන එකක් යයි එහිදී ජනරල කියා සිටී.

තරුනයන් රවටමින් තමන් මාක්ස්වාදී පක්ෂයක් යයි මවා පෑමේ උත්සාහයක නිරත පෙසප, ටෙරී ඊගල්ටන් නැමැති ධනේශ්වර බුද්ධිමතාගේ “මාක්ස් නිවැරදි වන්නේ ඇයි” යන කෘතියේ සිංහල පරිවර්තනයක් මෑතදී එලි දැක්වීය. එය හඳුන්වාදීමට කැඳවා තිබුනේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වයට පරම සතුරු සුමනසිරි ලියනගේ නම් වූ දේශපාලනික අවස්ථාවාදියා ය. කෙසේ නමුත්, මෙම කෘතිවල ඇති ප‍්‍රධාන ලක්ෂනය වන්නේ මේ යුගයේ මාක්ස්වාදයේ අඛන්ඩතාවය නියෝජනය කරන ට්‍රොට්ස්කිවාදයට එහි ඇති සතුරුභාවයයි. පෙසපට තරුනයන්ගෙන් ඈත් කිරීමට අවශ්‍යව ඇත්තේ ස්ටැලින්වාදයට එරෙහි ට්‍රොට්ස්කිගේ දේශපාලන අරගලය පමනක් නොව සමස්ත විද්‍යාත්මක මාක්ස්වාදයමයි.

Share this article: