නිශ්පාදන ඉලක්ක ඉහල දැමීමට එරෙහිව මස්කෙලිය වතු කම්කරුවන් සිය ගනනක් වර්ජනයේ

එම්. දේවරාජා සහ ඩබ්ලිව්.ඒ. සුනිල් විසිනි , 2015 පෙබරවාරි 11

අමතර වැටුප් ගෙවීමකින් තොරව තේ දලු කැඩීමේ ඉලක්ක ඉහල දැමීමට එරෙහිව මස්කෙලිය වතු සමාගමට අයත් ග්ලෙනුයිජ් වත්තේ ඩිසයිඩ් කොටසේ කම්කරුවෝ 600 ආසන්න සංඛ්‍යාවක් අඟහරුවාදා අඛන්ඩ වැඩ වර්ජනයක් ඇරඹුහ. දිනකට නෙලන දලු ප‍්‍රමානය කිලෝ 16 සිට 18 දක්වා මාස දෙකක සිට ඉහල දමා ඇත.

වතු පාලනාධිකාරය විසින් පවසා ඇත්තේ වත්ත පාඩු ලබන නිසා දලු කඩන ප‍්‍රමානය ඉහල දමන බව හා එය මාස දෙකට පමනක් සීමා කරන බවකි. ඒ සඳහා අතිරේක මුදලක් ගෙවන ලෙස හා පසුගිය මාස දෙක සඳහා හිඟ මුදල් ගෙවන ලෙස කම්කරුවන් විසින් කල ඉල්ලීම පාලනාධිකාරය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.

කම්කරුවන් නියෝජනය කරන ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), උඩරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ කම්කරුවන්ගේ ජාතික වෘත්තීය සමිතිය (එන්යූඩබ්ලිව්) යන සමිති තුනම පාලනාධිකාරයේ සැලැස්මට මුලුමනින් ම සහය දෙමින් කම්කරුවන්ගේ අරගලය කඩා කප්පල් කිරීමේ දුෂ්ට කි‍්‍රයා කලාපයක නිරතව සිටිති.

සීඩබ්ලිව්සී නායක ආරුමුගම් තොන්ඩමන් පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ කැබිනට් ඇමතිවරයෙක් වන අතර යූපීඑෆ් නායක වී. රාධකි‍්‍රස්නන් සහ එන්යූඩබ්ලිව් නායක ආර්. දිගම්බරම් වර්තමාන මෛතී‍්‍රපාල සිරිසේන ජානාධිපතිත්වය දරන එක්සත් ජාතික පක්ෂ ආන්ඩුවේ ඇමතියෝ ය.

“වෘත්තීය සමිති සහ පාලනාධිකාරය එකතුවෙලයි මේක කරන්නේ. ඒ නිසා අපි ස්වාධීනවයි මෙම අරගලය පටන් ගත්තේ. සාධාරන විසඳුමක් ලැබෙනකම් අරගලය අපි ඉදිරියට ගෙන යනවා,” යයි කම්කරුවෝ ප‍්‍රකාශ කලහ.

වතු කම්කරුවන් දරිද්‍රතා මට්ටමේ දෛනික වැටුපක් ලබන කම්කරු කොටසකි. ඔවුන්ගේ වර්තමාන දෛනික වැටුප සියල්ල එකතුව රුපියල් 620කි. වැඩ ලැබෙන දින ගනන අනුව මසක ඉපයීම තීන්දුවේ. ඉහල යන ජීවන වියදම හා සසඳන විට වතු කම්කරුවන්ගේ දෛනික වැටුප කිසිසේත් ප‍්‍රමානවත් නො වේ. එවන් තතු තුල වැටුප් කප්පාදුවක් කි‍්‍රයාවට දැමීම මගින් කම්කරුවන්ගේ ජීවන හා සේවා තත්වයන් තව තවත් පහතට ඇද වැටී ඇත.

සමිති නායකයන් විසින් වතු සමාගම් සමග 2013 අපේ‍්‍රල් මාසයේ රහසිගතව අත්සන් කරන ලද සාමූහික ගිවිසුම මගින් කම්කරුවන්ගේ එකඟතාවයකින් තොරව වැඩ වේගවත් කිරීම පටවන ලදී. ඒ සමග ම 2011 සහ 2013 සාමූහික ගිවිසුම් දෙකේ දී ම නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට සමිති නායකයෝ එකඟ වූහ. වතු සමාගම් විසින් නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට එරෙහිව 2012 දසදහස් ගනනක් කම්කරුවෝ වෘත්තීය සමිතිවලට පිටින් වර්ජනයට එලඹුනාහ. කෙසේ වුවද එම අරගලය හුදකලා කොට සහ ආන්ඩුවේ මර්දනය ඇතිව පාවා දීම මගින් වතු සමාගම්වලට අවශ්‍ය ආකාරයට නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට සියලුම සමිති නායකයෝ ඉඩ සලසා දුන් හ.

වතු සමාගම් ගනනාවක්ම නිෂ්පාදන ඉලක්ක ඉහල දැමීමට පසුගිය අවුරුදු දෙකේ පියවර ගත්තේය. මෙය ලෝක වෙලඳපොලේ තියුනු තරගයක යෙදෙන සමාගම් නිෂ්පාදන වියදම කපා හෙලා අඩුමිලට තේ විකීනීමට දරන වියරු ප‍්‍රයත්නයක කොටසකි.

සසප සාමාජිකයෙක් වතු කම්කරුවන් අමතයි

ශී‍්‍ර ලංකාවේ සමාගම් ලෝක වෙලඳපොලේදී කෙන්යාව, චීනය, වියට්නාමය හා ඉන්දියාව සමග බරපතල තරගයකට මුහුන දී සිටී. එහිදී නිෂ්පාදන වියදම පහත දමා ගැනීම මගින් තරගයට මුහුන දී ලාබ රැක ගැනීමට වතු සමාගම් බලාපොරොත්තු වෙති. නිෂ්පාදන වියදම අඩුකර ගැනීම සඳහා කම්කරුවන්ගේ නිෂ්පාදන පලදායිතාවය ඉහල දැමීම මගින් වක‍්‍ර ලෙස වැටුප් කප්පාදු කිරීමේ අවශ්‍යතාවය පසුගිය වසර කිහිපය තුල වතු හාම්පුතුන් විසින් අවධාරනය කරන ලදී. පසුගිය පෙබරවාරි මාසයේ ඇචිලෝන් සඟරාවට දුන් සම්ම්මුඛ සාකච්චාවක දී වැවිලි කරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි තේ කිලෝවක නිෂ්පාදන වියදමෙන් සියයට 70 ක් ම ශ‍්‍රම පිරිවැය බව ප‍්‍රකාශ කලේ ය. පසුගිය මාස කිහිපය තුල ශ‍්‍රම පිරිවැය කප්පාදු කිරීමේ මෙම සාකච්චාව තව තවත් වර්ධනය වී ඇත.

කම්කරුවෙක් දිනකට කඩන තේ දලු ප‍්‍රමානය කිලෝ දෙකකකින් ඉහල දැමීමෙන් නිෂ්පාදනයේ ඒකක මිල සියයට 7 න් පමන පහත වැටෙන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

“අප කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ කම්කරුවෙකුගේ දෛනික සාමාන්‍ය දලු කැඩීම කිලෝ දෙකකින් වැඩි කිරීම අතිශයින් ම යුක්තිසහගත මෙන් ම එය සමාගම්වල ආදායම් වියදම් සම තත්වයට ගෙන ඒම සඳහා දිගුකාලීනව උපකාරී වන බව” යි රාජදුරෙයි 2014 ඔක්තෝබර් 30 ඩේලි එෆ්ටී පත‍්‍රයට ප‍්‍රකාශ කර තිබුනි.

එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව යටතේ 1992 වතු පුද්ගලීකරනය කිරීමෙන් පසු නිවාස, සෞඛ්‍ය හා වතු කම්කරු දරුවන්ගේ අධ්‍යාපනය සඳහා කරන වියදම් දැවැන්ත ලෙස කප්පාදු කර ඇත. තේ වතු සමාගම්වල කම්කරු ශ‍්‍රමික සංඛ්‍යාව පසුගිය 20 වසර තුල 345,000 සිට 208,000 දක්වා සියයට 35කින් පමන පහත වැටී ඇත. ඊට ප‍්‍රධාන හේතුව දරිද්‍රතා මට්ටමේ වැටුප් නිසා වතු කම්කරුවන් වෙනත් රැකියාවලට යොමු වීම ය. දැනට ලක්ෂ 10 ක් පමන වන වතු කම්කරු ජනයාගෙන් වතුවල වැඩ කරන්නේ පස්දෙනෙකුට එක් අයෙකි. එම තතු තුල වතු කම්කරු පවුල් වතුවලින් පලවා හැරීමේ සැලසුම් ගැන ද සාකච්චා වෙමින් පවතී.

වතු සමාගම් විසින් මෙම වැඩ වේගවත් කිරීමේ සහ වැටුප් හා ජීවන කොන්දේසි කප්පාදු සැලසුම් කි‍්‍රයාවට දැමෙන්නේ වෘත්තීය සමිතිවලත් ආන්ඩුවේත් පූර්න පිටු බලය ඇතිවය. වතුකරයේ මෙන් ම, නිදහස් වෙලඳ කලාප ඇතුලු, සෙසු පුද්ගලික අංශයේ ද, රාජ්‍ය අංශයේ ද වැටුප් හා සේවා කොන්දේසි කප්පාදුව කි‍්‍රයාවට දැමෙයි.

මෙම ප‍්‍රහාරවලට එරෙහිව කම්කරු පන්තියේ පොදු අරගලයක් සංවිධානය කල යුතුය. ග්ලෙනුයිජ් වත්තේ කම්කරුවන්ගේ අරගලය පලල් කිරීමට සහ ආරක්ෂා කිරීමට අවශේෂ කම්කරුවන් ඉදිරිපත් වීම තීරනාත්මක වන්නේ මේ තත්වය තුලය. වතු හාම්පුතුන් සහ ආන්ඩුව සමග පෙල ගැසී කම්කරුවන්ට වින කටින වෘත්තීය සමිතිවලින් ස්වාධීනව කම්කරුවන්ගේ කි‍්‍රයාකාරී කමිටු ගොඩනගා ගැනීම එහිදී අත්‍යවශ්‍ය පියවරකි.

කෙසේවූව ද, ධපති සමාගම් සහ ධනපති රාජ්‍යය අතේ වතු පවතිනතාක් දුරට කම්කරුවන්ට සිය රැකියා කොන්දේසි සහ ජීවන තත්වයන් යහපත් මට්ටමට වර්ධනය කර ගත නොහැකිය. පොදුවේ ගත් කල කම්කරු පන්තියට යහපත් ජීවන තත්වයක් සහ රැකියා කොන්දේසි තහවුරු කර ගත හැක්කේ වතු සංගම් ඇතුලු ධනපති ව්‍යාපාර හා කර්මාන්ත ලාබය සඳහා නොව; කම්කරු පන්තියේ යහපත සඳහා නිෂ්පාදනය පවත්වාගෙන යන සැලසුම් ගත සමාජවාදී ආර්ථික ක‍්‍රමයක් තුල ප‍්‍රතිසංවිධානය කිරීමෙන් පමනකි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස සමාජවාදී සමානතා පක්ෂය මෙම කි‍්‍රයාමාර්ගයට සටන් කරන ලෙස ග්ලෙනුජ් සහ අවශේෂ කම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.

Share this article: