මර්කෙල් සමග පැවති සාකච්ඡා වලින් පසුව ඔබාමා, කියෙව් තන්ත‍්‍රය සන්නද්ධ නොකිරීම ප‍්‍රතික්ෂේප කරයි

Obama refuses to rule out arming Kiev following talks with Merkel

පැටි‍්‍රක් මාටින් හා බැරී ගේ‍්‍ර විසිනි, 2015 පෙබරවාරි 10

ජර්මානු චාන්සලර් ඇන්ජිලා මර්කෙල් සමග 09දා ධවල මන්දිරයේ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ජනාධිපති බරක් ඔබාමා, නැගෙනහිර යුකේ‍්‍රනයේ රුසියාවට පක්ෂපාතී බෙදුම්වාදී හමුදාවන්ට එරෙහිව යොදා ගැනීම පිනිස, ඇමරිකාවේ හා නේටෝවේ පිටුබලය ලබන කියෙව් තන්ත‍්‍රය වෙත වැඩිදියුනු අවි තොග සැපයීමට බලය පැවරීම ගැන තමා සැලකිල්ල යොමුකර ඇති බව පැවසීය.

කියෙව් වෙත ඇමරිකාවේ අවි සැපයීම සඳහා තීරනය ගැනීමට පෙර තමා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, යුකේ‍්‍රන ජනාධිපති පෙට්රෝ පොරෂෙන්කෝ, ප‍්‍රන්ස ජනාධිපති ප‍්‍රන්සුවා ඔලන්ද් හා මර්කෙල් අතර බෙලරුස් අගනුවර වන මින්ස්ක්හි 11දා පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්හි ප‍්‍රතිපලය දෙස බලා සිටින බව ඔබාමා ඇඟවුම් කලේය. සාකච්ඡාවන් අරමුනු කරන්නේ, පසුගිය සැප්තැම්බරයේදී ඇතිකරගත් ගිවිසුම බිඳවැටීමෙන් පසුව යුකේ‍්‍රන ආන්ඩුවේ හමුදා හා රුසියාවට හිතවත් බෙදුම්වාදීන් අතර නව සටන් විරාම ගිවිසුමක් ඇතිකර ගැනීම පිනිස කපුකම් කිරීමය.

මර්කෙල් සමග සාකච්ඡා වලින් පසුව පැවති මාධ්‍ය හමුවේදී ඔබාමා මෙසේ පැවසීය. “සැබවින්ම රාජ්‍ය තාන්ත‍්‍රික මෙහෙවර අසාර්ථක වුවහොත් මම මගේ කන්ඩායමට කියන්නේ සියලු විකල්පයන් සොයා බලන ලෙසය. පුටින් මහතාගේ ගනන් බැලීම් වෙනස් කිරීම පිනිස අපට ගත හැකි අනෙක් පියවර කවරේ ද? මාරාන්තික ආරක්ෂක අවි පිලිබඳ හැකියාව පරීක්ෂාවට ලක්කෙරී ඇති එක් විකල්පයකි.”

පසුව ඔහු මෙසේ ද පැවසීය. “තීරනය තවමත් ගෙන නැති බව මම අවධාරනය කල යුත්තෙමි.”

අවි සැපයුම මගින් ගැටුම නාටකාකාරව තීව‍්‍ර වනු ඇතැයි ද තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක හැකියාව මතු කරමින් නේටෝව හා රුසියාව අතර මිලිටරි ගැටුමක් අවිලී යා හැකි බවට ද ප‍්‍රමුඛ නිලදරුවන් හා සමහර ජාත්‍යන්තර මාධ්‍ය ජාලා කර ඇති අනතුරු ඇඟවීම් නොතකා, මෑත සතිවලදී නැගෙනහිර යුකේ‍්‍රන භූමිභාගයන් කැරලිකාර හමුදා අතට පත්වීමෙන් පසුබෑමට ලක්ව සිටින කියෙව් තන්ත‍්‍රයට සන්නද්ධ රථ හා යුද ටැංකි නාෂක මිසයිල් වැනි අවි සැපයීමේ විකල්පය ඔබාමා විසින් මේසය මත තබා ඇත.

කියෙව් තන්ත‍්‍රය සෘජුවම සන්නද්ධ කිරීමට තමන් විරුද්ධ බව මෑත දින වලදී මර්කෙල් හා බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්ස නායකයින් පැහැදිලිව කියා ඇත. ඒ වෙනුවට ඔවුන් කියන්නේ, රුසියාව අර්ධ යටත් විජිත තත්වයකට ලඝු කිරීමේ ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදී පියවරයන් සඳහා පසුබිම සකස් කිරීමට, පැරනි සෝවියට් සමූහාන්ඩුවක් වූ යුකේ‍්‍රනය යොදා ගැනීම සඳහා එකඟ වන ලෙස මොස්කෝවට බල කිරීම පිනිස, බෝල්ටික් රාජ්‍ය හා නැගෙනහිර යුරෝපය තුල නේටෝ මිලිටරි බලය තර කිරීමට බැඳුනු, දැඩි ආර්ථික සම්බාධක පැනවිය යුතු බවය.

සිය ප‍්‍රකාශය තුල මර්කෙල්, යුකේ‍්‍රනයට ඇමරිකානු අවි සැපයීමට සිය විරුද්ධත්වය ඇඟවුම් කරමින් මෙසේ පැවසීය. “මෙම ගැටුමට මිලිටරි විසඳුමක් මට පේන්නේ නැත.” එහෙත් ඇය අවධාරනය කලේ, පසුගිය පෙබරවාරියේදී ඇමරිකාවේ හා ජර්මනියේ පිටුබලය සහිතව ෆැසිස්ට් මිලීෂියාවන් විසින් දියත් කල කුමන්ත‍්‍රනයකින් බලයට පත්වූ යුකේ‍්‍රන තන්ත‍්‍රයේ සහායට මෙන්ම ඩොනෙට්ස්ක්, ලුහාන්ස්ක් හා රුසියානු බස කථා කරන අනෙකුත් ප‍්‍රදේශවල, රුසියාවට පක්ෂපාතී බෙදුම්වාදීන්ට, රුසියාව සහාය දීම නතර කිරීමට බල කිරීම පිනිස, ඇමරිකාව සමග යුරෝපය ද එක්ව සිටින බවය.

“නිශ්චිත ප‍්‍රශ්න සම්බන්ධයෙන් අප හැමවිටම එකඟ නොවන්නෙමු. ඇය එසේ පැවසුවේ, වොෂින්ටනය කියෙව් ආන්ඩුව සන්නද්ධ කිරීමට තීරනය කල ද රුසියාවට එරෙහි ඇමරිකාවේ මූලිකත්වයෙන් සිදුවන ප‍්‍රහාරයකට ජර්මනිය දිගටම සහාය දෙන අදහස ද සමගය.

සිය පාර්ශවයෙන් ඔබාමා, මර්කෙල් ප‍්‍රතිරාවය නංවන බව පෙන්නුම් කරමින් පැවසුවේ “උපායික වෙනස්කම් සහිත සමහර ක්ෂේත‍්‍ර තිබිය හැකි” බව ය. එහෙත් ඇමරිකාව හා යුරෝපය ප‍්‍රමුඛ මූලෝපාය හා අරමුනු තුල එක්ව සිටියි.

ඔබාමා පාලනය තුල සිටින සමහරුන් ද ඇතුලුව ඇමරිකානු මිලිටරි හා සිවිල් නිලධාරීහු, කියෙව් වෙත බැර අවි සැපයීම ආරම්භ කිරීමේ තීරනය ගැනීම පිනිස බලපෑම් කරති. 07දා පැවති මියුනිච් ආරක්ෂක සමුලුවේදී නේටෝ මිලිටරි ආඥාපති ලෙප් බී‍්‍රඩ්ලෝව් පැවසුවේ, බෙදුම්වාදීන් තලා දැමීම පිනිස යුකේ‍්‍රන හමුදාවන්ට උදව් කිරීම බැහැර නොකල යුතු බවය.

පසුගිය සතියේ සෙනේට් සභා රැස්වීමකදී ඊලඟ ආරක්ෂක ලේකම් ලෙස පත්වීමට ඔබාමාගේ කැමැත්ත පලවී ඇති ඇෂ්ටන් කාටර් පැවසුවේ, තමන් යුකේ‍්‍රනයට ඇමරිකානු අවි සැපයීමට අදහස් කරන බවයි.

සමහර නව නාසි “ස්වේච්ඡා” බලකායන් ඇතුලු යුකේ‍්‍රන මිලිටරියට, ආක‍්‍රමනයක් සඳහා අන දෙමින් නැගෙනහිර යුකේ‍්‍රනයේ අලුත්ම අර්බුදය ඇවිලවූයේ ජනාධිපති පොරෂෙන්කෝ විසිනි. වොෂින්ටනයේ අනුමැතියකින් තොරව ඔහු එසේ කරනු ඇතැයි සිතීම දුෂ්කරය. ලුහාන්ස්ක් හා ඩොනෙට්ස්ක් අතර ප‍්‍රධාන මාර්ගයේ පිහිටි, ඩිබොල්ෂෙවි නගරය අල්ලා ගැනීමට තර්ජනය කරමින් ද අමතර වර්ග කිලෝමීටර් 500ක භූමි භාගයක පාලනය සියතට ගනිමින් ද ප‍්‍රතිප‍්‍රහාරයක් සඳහා සූදානම් වෙමින් ඩොනෙට්ස්ක් ගුවන් තොටුපල වටා සිටි ආක‍්‍රමනිකයින්, රුසියානු පිටුබලය ලබන හමුදාවන් විසින් වටලා ඇත. නගරය තුල යුකේ‍්‍රනියානු භටයින් 3000ක් පමන කොටුවී සිටින අතර යටත් වීමට බලකෙරී ඇත. වොෂින්ටනය, නේටෝව, යුරෝපීය සංගමය හා මාධ්‍ය ජාලයන් නැගෙනහිර යුකේ‍්‍රනයේ සටන් රුසියානු ආක‍්‍රමනයක් ලෙස පින්තාරු කරන නමුත් සටන්කරුවන් අති මහත් බහුතරය කියෙව් තන්ත‍්‍රයේ වෛරයට පාත‍්‍රව සිටින, රුසියානු බස කථාකරන, ඩොන්බාස් ප‍්‍රදේශයෙන් පැමිනියවුන්ය.

මර්කෙල් සමග පැවති සිය ඒකාබද්ධ මාධ්‍ය හමුව ආරම්භයේ පටන්ම ඔබාමා, “රුසියානු ආක‍්‍රමනිකත්වය” පිලිබඳ ප‍්‍රකාශ පුනරුච්ඡාරනය කල අතර යුකේ‍්‍රනය තුල “රුසියානු හමුදා දිගටම ක‍්‍රියාත්මක වන” බවත් “බෙදුම්වාදීන් පුහුනු කරමින් ප‍්‍රහාර සම්බන්ධීකරනයට උදව් කරන” බවත් පැවසීය.

මින්ස්ක්හි 11දා පැවැත්වෙන සමුලුව සඳහා පසුබිම සකස් කරමින් ඔලන්ද්, මර්කෙල් හදිසියේම කියෙව් හා මොස්කව් වෙත දිවවීම, යුකේ‍්‍රනය වෙත ඩොලර් බිලියන ගනනක අවි සම්පාදනය කිරීමේ ඇමරිකානු තීරනය නොවැලැක්විය හැකි බවට හා අර්බුදය දැවැන්ත පරිමාවකින් පුලුල් කරනු ඇතැයි යන කනස්සල්ලට හේතුවී ඇත. 09දා ඔලන්ද්ම පවා අනතුරු ඇඟවූයේ, “පූර්න යුද්ධයේ” අන්තරාය යුකේ‍්‍රන අර්බුදයෙන් නැගී එන බවය. “අප දැනටමත් යලි නොහැරෙන තැනකට සමීපකර නැද් ද?” ඔහු විමසීය.

යුරෝපීය ආරක්ෂාව හා සහයෝගිතාවය පිලිබඳ සංවිධානයේ ඉහල නිලධාරියෙක් මියුනිච් සමලුවේදී මාධ්‍යකරුවන් වෙත පැවසුවේ, අවි සැපයුම මගින් මෙම අර්බුදය, “නේටෝවට එරෙහිව රුසියාව ගැටුමකට තල්ලු කරනු ඇතැයි” තමා බියට පත්ව සිටින බවය.

ඇමරිකානු ජාතික ආරක්ෂක සංස්ථාපිතයේ සුලු කොටසක් තුල නමුත් එවන් කනස්සල්ලක් පවතින බව මාධ්‍ය වාර්තා කර තිබේ. නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රය 09දා එවන් තීරුවක් පලකොට තිබුනි. “යුකේ‍්‍රනය සන්නද්ධ නොකරනු” යන සිරස්තලය යටතේ මහාචාර්ය ජෝන් මීෂිමියර් විසින් ලියා ඇති ලිපියෙන් වාචාල ලෙස අසා තිබුනේ කැනඩාව හෝ මෙක්සිකෝව සතුරු මිලිටරි සන්ධානයකට සම්බන්ධ වීම එක්සත් ජනපදය විසින් පිලිගනු ඇත් ද යනුවෙනි. අමු රුසියානු විරෝධී හඬක් නගන, වොෂින්ටන් පෝස්ට් තීරු රචක, ඇනී ඇප්ලිබෝම් පවා යුකේ‍්‍රන අර්බුදයෙන් නැගී එන “නව ලෝක යුද්ධයක්” පිලිබඳව කනස්සල්ල පලකොට තිබුනි. එහෙත් ඊට විසඳුම ලෙස ඇය ඉදිරිපත්කොට තිබුනේ, මිලිටරි මුක්ත කලාපයක රූපාකාරයෙන් නේටෝව, ඩොනෙට්ස්ක් වටා බර්ලින් තාප්පයක් ඉදිකොට අවශේෂ යුකේ‍්‍රනයට බටහිර ජර්මනියට මෙන් සලකනු ලබන, “නව සීතල යුද්ධයක්” අඩු නපුර වනු ඇති බවටය.

කතුවරු පහත දැක්වෙන ලිපිය ද කියවන මෙන් ඉල්ලති.

එක්සත් ජනපදය විසින් යුකේ‍්‍රනය සන්නද්ධ කිරීම හා තුන්වන ලෝක යුද්ධයේ තර්ජනය
[2015 පෙබරවාරි 03]

Share this article: