එක්සත් ජනපදය විසින් යුකේ‍්‍රනය සන්නද්ධ කිරීම හා තුන්වන ලෝක යුද්ධයේ තර්ජනය

The US arming of Ukraine and the danger of World War III

2015 පෙබරවාරි 03

ඩොලර් බිලියන ගනන් වටිනා දියුනු අවි ආයුධ වලින් යුකේ‍්‍රනයේ දක්ෂිනාංශික තන්ත‍්‍රය සන්නද්ධ කිරීමට ඔබාමා පාලනය විසින් සකසන සැලසුම් ලෝක සමාජවාදී වෙබ් අඩවිය තරයේ හෙලා දකියි. මෙම පියවර, න්‍යෂ්ටික අවි දරන ඇමරිකාව හා රුසියාව අතර සෘජු ගැටුමක් ඇවිලීමේ හා තුන්වන ලෝක යුද්ධය පුපුරා යාමේ තර්ජනය මතු කරයි.

කියෙව්හි බටහිර පිටුබලය ලබන ආන්ඩුව සන්නද්ධ කිරීමේ සාකච්ඡා ඇරඹුනේ, පසුගිය මාසයේදී යුකේ‍්‍රනියානු ජනාධිපති පෙට්රෝ පෙරෂෙන්කෝ විසින් නැගෙනහිර යුකේ‍්‍රනයට එරෙහිව සිදුකල ආක‍්‍රමනය පරාජයන්ට මුහුන පෑමේ තත්වය තුලය. 02දා නිව් යෝර්ක් ටයිම්ස් පත‍්‍රයට අනුව, “මෑත සතිවලදී යුකේ‍්‍රන හමුදා ලත් පරාජයන් මාලාවකින් පසුව, ඔබාමා පාලනය, මිලිටරි ආධාර පිලිබඳ ප‍්‍රශ්නය ගැන යලි සිතාබැලීමට පටන්ගෙන තිබේ.”

වොෂින්ටනය “මරනීය නොවන” මිලිටරි ආධාර කියෙව් වෙත සැපයීමට ඩොලර් මිලියන 350ක් වෙන්කර ඇති අතර දැනටමත් යුකේ‍්‍රනය වෙත මිලිටරි පුහුනුකරුවන් යවා ඇත. “ඇමරිකාව විසින් යුකේ‍්‍රනයට බිලියන 3ක් වටිනා ආරක්ෂක අවි හා මෙවලම් සැපයිය යුතුය යන ඇමරිකාවේ ඉහල නිලධාරීන් අට දෙනෙක් ස්වාධීන වාර්තාවක් ඉදිරිපත් කරමින් කර තිබෙන ඉල්ලීම වටා දැන් ඔබාමා පාලනයේ ඉහල නිලධාරීන්ගේ සහාය ගොනු වෙමින් තිබෙන බව” ටයිම්ස් වාර්තා කරයි. මෙම අරමුදල්, “ප‍්‍රතිප‍්‍රහාරක මිසයිල්, ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා, සන්නද්ධ හම්වීස් හා සතුරු කාලතුවක්කු ප‍්‍රහාර හා රොකට් විදින ස්ථාන විනාශ කිරීට උපකාරී වන රේඩාර් පද්ධති කියෙව් තන්ත‍්‍රයට සැපයිම සඳහා යොදාගනු ඇත.”

ඉව බව නැති මෙම උත්සන්නිය, මිලිටරි හා ඔත්තු සේවා කාර්යධරයන් හා ඔවුන්ගේ හවුල්කාර, බෲකිංග්ස් ආයතනය ද ඇතුලු චින්තන පර්ෂදයන් ද ආන්ඩුවේ සාපරාධී නිලධරයන් කල්ලියක් ද විසින් රහසිගතව සිදුකරයි. ඒවා නියම කරන්නේ, සිය ගෝලීය ආධිපත්‍යය හඹා යන ව්‍යාපාරික හා මූල්‍ය කතිපයාධිකාරයක අවශ්‍යතාවන් අනුවය. එය මානව ශිෂ්ඨාචාරයේම අනාගතයට තර්ජනය කරයි. මෙසේ සකසනු ලබන සැලසුම්වල ඇඟවුම් ඇමරිකාවේ ද ලෝකයේ ද ජනතාවගෙන් සඟවනු ලබයි. “එක්සත් ජනපදය යුකේ‍්‍රනයට අවි සැපයීම, කෙටියෙන් කිවහොත්, මොස්කෝවට එරෙහි යුද්ධ ප‍්‍රකාශ කිරීමක් ලෙස ගත යුතු” යයි ජර්මනියේ පලවන සුඬේයත්ෂෙ සේටුං හි 02දා පලවූ වාර්තාවක් අනතුරු අඟවා ඇත.

පුවත්පත යෙව්ගෙනි බුචින්ස්කි නමැති රුසියානු මිලිටරි විශේෂඥයෙක් උපුටා දැක්වීය. කියෙව් විසින් ඩොන්බාස් ප‍්‍රදේශයට එරෙහිව සිදුකරනු ලබන ආක‍්‍රමනයකට ප‍්‍රතිචාර වශයෙන් “රුසියාව මැදිහත්වනු ඇත. කෙලින්ම කිවහොත් ඉන් පසුව කියෙව් යටත් කරගනු ඇතැයි” ඔහු අනතුරු ඇඟවීය. “මෙහිදී නේටෝව දුෂ්කර තත්වයකට පත්වනු ඇත. එවිට සිදුවනු ඇත්තේ කිසිවෙකුටත් අවශ්‍ය නොවන තුන්වන ලෝක යුද්ධයේ ආරම්භයයි.”

මෙම ප‍්‍රකාශ නිකුත් වූයේ, සෝවියට් සංගමයේ සිටි අවසාන ජනාධිපති වූ මිහායෙල් ගොර්බචොව්ගේ අනතුරු ඇඟවීම් වලින් පසුවය. සතියකට පමන පෙර ඔහු පැවසුවේ, යුකේ‍්‍රනය මුල්කරගත් යුරෝපියානු යුද්ධයක් “නොවැලැක්විය හැකි පරිදි ම තුඩුදෙනු ඇත්තේ න්‍යෂ්ටික යුද්ධයකටයි.” යනුවෙනි.

හැමවිටම මෙන් ඇමරිකාවේ හා එහි සහචරයින්ගේ යුද සැලසුම් සඟවා ඇත්තේ, ආරක්ෂාව පිලිබඳ භාෂාවකිනි. මේ කාරනයේදී නම්, “රුසියානු ආක‍්‍රමනකාරිත්වයට ප‍්‍රතිරෝධය පැමටය.” යුකේ‍්‍රනය මුල්කරගත් උත්සන්න කෙරෙන ගැටුම සැබවින්ම, කියෙව් අල්ලාගෙන, යුකේ‍්‍රනය යුරෝපීය රුසියාවේ හදවතට එල්ල කල නේටෝ හවුලේ මිලිටරි මධ්‍යස්ථානයක් බවට පත්කිරීමේ ඇමරිකානු, ජර්මානු හා යුරෝපීය සංගමයේ මැදිහත්වීමෙහි නිමැවුමකි.

වසරකට පෙර මේ මාසයේ, වොෂින්ටනයේ හා බර්ලිනයේ පිටුබලය ඇතිව ෆැසිස්ට්වාදී දක්ෂින නිකායේ මිලිෂියාවන් විසින් මෙහෙයවූ කුමන්ත‍්‍රනයකින්, රුසියාවට පක්ෂ යුකේ‍්‍රනියානු ජනාධිපති වික්ටර් යනුකොවිච් බලයෙන් පහකරනු ලැබිනි. ඔහු විස්ථාපනය කරමින් බලයට පැන ගත්තේ, රුසියාව කෙරෙහි සිය විරුද්ධත්වය නොසඟවා පල කරන, අස්ථාවර, අපකීර්තිමත් දක්ෂිනාංශික හවුලකි.

2014 ඔඩෙස්සාවේ සිදුකලාක් වැනි රුසියාවට හිතවත් විරෝධතාකරුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීම ද ඇතුලු නව ආන්ඩුවේ කටයුතු, විශාල රුසියානු වාර්ගික ජනතාවක් වාසය කරන නැගෙනහිර යුකේ‍්‍රනයේ ප‍්‍රදේශ තුල සන්නද්ධ ප‍්‍රතිරෝධයක් දල්වාලීය. තන්ත‍්‍රය ඊට ප‍්‍රතිචාර දැක්වූයේ, ස්ලව්යාන්ස්ක්, මරියුපොල්, ලූහාන්ස්ක්, ඩොනෙට්ස්ක් වැනි නගර වලට එරෙහිව ෆැසිස්ට් මිලිෂියාවන් යොදවමින් සිදුකල ලේවැකි ආක‍්‍රමනයකිනි. පසුගිය වසරේදී සීඅයිඒ අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන් රහසිගතව යුකේ‍්‍රනයට ගොස් සිදුකල සම්බන්ධීකරනය යටතේ සිදුකල ප‍්‍රහාර වලින් දහස් ගනනක් මිය ගියේය.

කතිපයාධිකාරීන් හා ෆැසිස්ට්වාදීන්ගේ තුනී ස්ථරයක් හැරෙන්නට වෙනත් කිසිදු සමාජ පදනමක් නැති කියෙව් තන්ත‍්‍රය, මොස්කෝව විසින් සන්නද්ධ කර ආධාර කල නැගෙනහිර යුකේ‍්‍රනියානු බෙදුම්වාදීන් පරාජය කිරීමට අසමත් විය. වොෂින්ටනය ප‍්‍රතිචාර දැක්වූයේ, රුසියාව සමග පූර්න පරිමානයේ යුද්ධයක අවදානම සෘජුවම මතු කල, නැගෙනහිර යුකේ‍්‍රනයේ ජනතාවට එරෙහිව ඊටත් වැඩි රුධිර ස්නායකට සූදානම ඇති කරමිනි.

1991දී පැරනි සෝවියට් සංගමය විසුරුවා හරිමින් ද ධනේශ්වර පුනස්ථාපනයකට පියවර ගනිමින් ද ස්ටැලින්වාදී නිලධරය ක‍්‍රියාත්මක කල පිලිවෙතේ විනාශකාරී භූදේශපාලනික ප‍්‍රතිවිපාකයන්ට ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දෙයි. ස්ටැලින්වාදීන්ගේ මෙම අවසාන පාවාදීම, පැරනි සෝවියට් සංගමය තුල වාර්ගික ආතතීන් අවුලුවා ඒ තත්වය ගසාකෑම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදයට අවකාශ සැලසීය.

ඇමරිකාවේ හා එහි අනුචරයින්ගේ අවසාන අරමුන, රුසියාව දුප්පත්, අර්ධ යටත් විජිත තත්වයකට ඇද දැමීමය. අතීතයේදී කාටර් පාලනයේ ජාතික ආරක්ෂක උපදේශකව සිටි සිබිග්නිව් බ්‍රෙසසින්ස්කි සමග බැඳී ඇති එවන් මූලෝපායක්, යලිත් එලිපිටම ඔසවා තැබේ.

පසුගිය වසරේ විල්සන් මධ්‍යස්ථානයෙහි පැවත්වූ කථාවකදී බ්‍රෙසසින්ස්කි, “සාර්ථක නාගරික යුද ව්‍යායාමයක නිරතවීම සඳහා ඉඩ සැලසෙන පරිදි කියෙව් වෙත විශේෂයෙන්ම සැලසුම් කල අවි” සපයන ලෙස වොෂින්ටනයෙන් ඉල්ලා සිටියේය. කියෙව් තන්ත‍්‍රයට ඇමරිකානු අවි ලබාදෙන ලෙස ඉල්ලන බෲකිංග්ස් ආයතනය හා අනෙකුත් චින්තන පර්ෂදයන් විසින් සකස් කල වාර්තාව තුල නිර්දේශ කර තිබෙන ප‍්‍රතිපත්ති සමග පෙලගැසෙමින් දැන් බ්‍රෙසසින්ස්කි, ඉල්ලා සිටින්නේ, “යුද ටැංකි නාෂක අවි-නාගරික කෙටි පරාසයක කෙරෙන සටන් සඳහා භාවිතා කල හැකි අවි” සපයන ලෙසයි.

මිනිසුන් බිලියන ගනනක් නොවේ නම්, මිලියන ගනනක් මරුමුව හෙලීමට තර්ජනය කරන යුකේ‍්‍රනය තුල වාර්ගික නාගරික යුද්ධයක් තුල රුසියාව කොටුකිරීම අරමුනු කරගත් බ්‍රෙසසින්ස්කි ගෙනහැර දක්වන මූලෝපාය දේශපාලනිකව සාපරාධී වනවාක් මෙන්ම එය, ඔහු දශක ගනනාවක් තිස්සේ රුසියාවට එරෙහිව පෙරට ගෙන ගොස් තිබෙන ප‍්‍රතිපත්ති සමග මුලුමනින්ම පෑහේ. සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව වොෂින්ටනය, ජෝර්ජියාව, යුකේ‍්‍රනය හා බෙලෝරස් ද ඇතුලු පැරනි සෝවියට් සමූහාන්ඩු තුල රුසියානු තන්ත‍්‍ර විරෝධී හා ඇමරිකානු ගැති “වර්න විප්ලව” සංවිධානය කරමින් මේ මූලෝපාය අනුගමනය කර තිබේ.

ගෝලීය ධනවාදයේ වඩාත් ගැඹුරු භූමූලෝපායික හා ආර්ථික අර්බුදයක් හමුවේ, දශකයකට පසුව වොෂින්ටනය ක‍්‍රියාත්මක වන්නේ, වඩාත් නිර්දය ලෙසය. යුකේ‍්‍රනයේ අර්බුදය, නව තර්ජන හා අවසන් නිවේදන සමග සංයෝග කරමින්, නැගෙනහිර යුරෝපය පුරා ඇමරිකානු හා නේටෝ හමුදා ශක්තිය ප‍්‍රබල කිරීම පිනිස ගසාකනු ලැබේ.

ව්‍යසනයට එකම විකල්පය වන්නේ, සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත අධිරාජ්‍යවාදයට එරෙහි අරගලයේදී ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමයි. පැරනි සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ඉක්බිතිව හිස එසවූ ධනේශ්වර කතිපයාධිකාරයේ නියෝජිතයින් වන පුටින් තන්ත‍්‍රයේ ප‍්‍රතිගාමී රුසියානු ජාතිකවාදය, මුලූමනින්ම බංකොලොත්ය. ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධයට මොනම ආයාචනයක්වත් කිරීමට අසමත් පුටින් ආන්ඩුව, පැරනි සෝවියට් සංගමය තුල වාර්ගික ආතතීන් අවුලුවමින් සිටියි. නේටෝවේ ආක‍්‍රමනකාරිත්වයට රුසියානු ජාතිකවාදයේ පදනම මත මුහුන දීමට උත්සාහ කරන තාක් දුරට ඔවුන් කරන්නේ න්‍යෂ්ටික යුද්ධය සඳහා මග හෙලිකිරීමය.

පසුගිය ජූලියේදී ලෝසවෙඅ, රුසියාවට එරෙහි වියරුව උත්සන්න කිරීම පිලිබඳව මෙසේ ලිවීය. “කෙටිකාලීන ප‍්‍රතිපලය කුමක් වුව ද එක්සත් ජනපදය හා එහි සහචර යුරෝපීය අධිරාජ්‍යවාදීන් අනුගමනය කරන න්‍යාය පත‍්‍රයේ දිගු කාලීන ඇඟවුම්, නොවැලැක්විය හැකි ලෙසම යොමුව ඇත්තේ, කිව නොහැකි තරම් විනාශකාරී ප‍්‍රතිවිපාක ගෙන එන දිශාවකටය. කම්කරු පන්තිය මුහුන දෙන දැවැන්තම අන්තරාය, තමන් මුහුනපා සිටින අවදානම ගැන බොහෝකොටම ජනතාව නොදැනුවත්ව සිටින තතු හමුවේ, තිරයට පිටුපසින් ගනු ලබන එම තීරනයන්ය....

ව්‍යසනයක අවදානම නොගනු ඇතැයි විශ්වාස කල 1914 කාලයේ බලයේ සිටි අය මෙන්ම, නූතන ආන්ඩුවල ස්වභාවය නිසා න්‍යෂ්ටික යුද්ධයක් සිදු නොවිය හැකි යයි විශ්වාස කරන අය ද තමන්ම රවටා ගන්නවා පමනි. වඩාත්ම පැහැදිලි කාරනය, අද දවසේ සිටින පාලන තන්ත‍්‍ර, ඊටත් වඩා ඉවබව නැති බවය. තමන්ට කිසිදු ප‍්‍රගතිශීලී විසඳුමක් නොමැති, නැගෙන ආර්ථික හා සමාජ ගැටුම් වලින් වැටලී සිටින ඔවුන් යුද්ධය, ගැනීමට තරම් වටිනා අවදානමක් ලෙස වඩ වඩාත් දැක ගනිති.”

අධිරාජ්‍යවාදය ලෝකය න්‍යෂ්ටික ගිනි ජාලාවක් දෙසට දක්කාගෙන යන තතු හමුවේ, මෙම අනතුරු ඇඟවීම සනාථවී ඇත. කම්කරු පන්තියේ ගෝලීය යුද විරෝධී, අධිරාජ්‍ය විරෝධී හා ධනේශ්වර විරෝධී මහජන ව්‍යාපාරයක නායකත්වය ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීම දැවෙන හදිසි භාවයක් අත්කර ගන්නේ එබැවිනි.

ඇලෙක්ස් ලැන්ටියර්

Share this article: