එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා ලිබියාවේ ව්‍යසනය

US imperialism and the catastrophe in Libya

2015 පෙබරවාරි 17

මේ සති අන්තයේ නැගෙනහිර ලිබියාවේ සර්ටි නගරයේදී අල්ලාගත් කොප්ටික් ක‍්‍රිස්තියානි කම්කරුවන් 21 දෙනෙකුගේ ගෙල සිඳ දැමීමේ බිහිසුනු දර්ශන අඩංගු වීඩියෝ පටයක්, ඉස්ලාමීය රාජ්‍යය (අයිසිස්) සංවිධානය විසින් මුදාහැර ඇත. මෙම ම්ලේච්ඡ ක‍්‍රියාව, ඇමරිකානු, බි‍්‍රතාන්‍ය, ජපන් හා ජෝර්දානියානු ප‍්‍රානඇපකරුවන්ගේ හිස ගසාදැමීම් හෙවත් බිලි පූජා ඇතුලත් එවන් ඝාතන මාලාවක අලුත්ම සිද්ධියයි.

තවත් එවැනි ජන ඝාතන සමග නවතම අයිසිස් ප‍්‍රචන්ඩ ක‍්‍රියාව පිලිබඳව, ඇමරිකාව තුල මාධ්‍ය වාර්තා හා කතුවැකිවල බලාපොරොත්තුවිය හැකි පරිදිම, කම්පාව හා කෝපය ප‍්‍රකාශ විය. වීඩියෝ පටය නිකුත්වී පැය කිහිපයක් තුල, ඇමරිකාවේ පිටුබලය ලබන ආඥාදායක ජෙනරාල් අල් සිසි නායකත්වය දරන ඊජිප්තුව, සිවිල් වැසියන් 7ක් ද ඇතුලුව 64 දෙනෙක් මරා දමමින් ගුවන් ප‍්‍රහාර දියත් කලේය.

වොෂින්ටනය හා ඔවුන්ගේ දේශපාලන සහචරයින් මෙම ප‍්‍රචන්ඩත්වයට දේශපාලනික හා සදාචාරාත්මක වගකීම දරයි. ලිබියාවේ සිදුවූ ඉස්ලාමීය හිස් සිඳලීමේ ක‍්‍රියාව, 2011 දී ලිබියාවේ කර්නල් මුවම්මර් ගඩාෆි තන්ත‍්‍රය පෙරලා දැමූ නේටෝ යුද්ධයේ අනුස්මරනීය අපරාධයකි.

නේටෝ ආක‍්‍රමනයට පෙරාතුව ලිබියාවේ ක‍්‍රිස්තියානුවන් ඝාතනය කිරීමේ නිකායික සිදුවීම් නොතිබුනු අතර අල් කයිඩාවට සම්බන්ධ ඉස්ලාම්වාදී මිලිෂියාවන්, පුලුල් බලපෑමක් කල නොහැකි කුඩා කන්ඩායම් වලට පමනක් සීමාවී තිබුනි. මෙම බලවේග, ප‍්‍රන්ස ජනාධිපති නිකොලායි සාකෝසිගේ නායකත්වයෙන් යුත් යුරෝපීය සහචරයින්ගේ සහභාගිත්වය ඇතිව ඔබාමා පාලනය, 2011දී ගඩාෆි පෙරලා දැමීමේ තීන්දුව ගත් තැන් පටන් සන්නද්ධ කර ඉදිරියට ගන්නා ලදී.

අධිරාජ්‍යවාදී බලවතුන්, දස දහස් ගනන් ලිබියානුවන් මරා දැමූ විශාල බෝම්බ හෙලීමේ මෙහෙයුම් තුලින් ලබාදුන් ගුවන් සහාය ද සමග, ඉස්ලාමීය මිලිෂියාවන් හා අල් කයිඩා සටන්කරුවන්ට දැවැන්ත ප‍්‍රමානයන්ගෙන් මුදල් හා අවි සැපයීය.

එවකදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙසේ ලිවීය: “ලෝකයා අත්දකිමින් සිටින්නේ, ‘විප්ලවය’ හෝ විමුක්ති අරගලය” කෙසේ වෙතත්, මැද පෙරදිග හා උතුරු අප‍්‍රිකාව පුරා තවදුර මැදිහත්වීම් සඳහා නව යටත් විජිත මෙහෙයුම් මධ්‍යස්ථානයක් බවට එරට පත් කිරීමටත්, එහි තෙල් සම්පත් සිය ග‍්‍රහනයට ගැනීමටත්, අදිටන් කරගත් අධිරාජ්‍යවාදීන්ගේ කල්ලියක් විසින් ලිබියාව කොල්ලකෑමයි.”

ප‍්‍රචන්ඩ ලිබියානු බලහත්කාරයේ ව්‍යසනකාරී ප‍්‍රතිවිපාක දැන් ඕනෑවටත් වඩා පැහැදිලිය.

යුද්ධය කුලුගැන්වූනේ, සර්ටි නගරයට කාපට් බෝම්බ හෙලීම හා ගඩාෆිට වධදී මරාදැමීමත් සමගය. එවක රාජ්‍ය ලේකම්ව සිටි හිලරි ක්ලින්ටන් “අපි පැමිනියේ ඔහු මිය යනවා දකින්ට” යයි උදම් ඇනුවාය. එවක් පටන් ලිබියාව, රාජ්‍ය බලය සඳහා පොර වැදුනු විවිධ ඉස්ලාමීය කන්ඩායම් හා එදිරිවාදී මිලිෂියාවන් අතර පෙර නොවූ විරූ සිවිල් යුද්ධයකට ගොදුරුව බිඳ වැටී ඇත. එසේම ලිබියාව, ජනාධිපති බෂර් අල් අසාද්ගේ සිරියානු තන්ත‍්‍රයට එරෙහිව සටන් කිරීමට සූදානම්, සීඅයිඒ සංවිධානයේ පිටුබලය සහිත ඉස්ලාමීය හමුදාවන් පුහුනු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ද සේවය කලේය.

යුද්ධයෙන් සිව් වසරකටත් අඩු කාලයක් තුල ඇමරිකානු මාධ්‍ය, ඔවුන් සමග ඇමරිකානු අධිරාජ්‍යවාදයට මෙලොව සම්බන්ධයක් නැති පරිද්දෙන් අයිසිස් ප‍්‍රචන්ඩ කටයුතු වාර්තා කරයි. “ලිබියානු සිදුවීම්වල අර්ථය කුමක් ද?” යන හිසින් 15දා නිව් යොර්ක් ටයිම්ස්හි පලවූ කතුවැකිය කියවන කිසිවෙකුත්, මෙම ව්‍යසනය නිර්මානය කිරීමට වොෂින්ටනයේ දායකත්වය හෝ එම මෙහෙයුමට සහාය දැක්වීමේ දී එරට මාධ්‍ය ඉටුකල ක‍්‍රියාකලාපය අතර කිසිදු සම්බන්ධයක් නොදකිනු ඇත. යුද්ධයෙන් පසුව බෙන්ගාසි නගරයේ සිදුවූ ඉස්ලාමීය වැටලීමේදී මියගිය, යුද්ධය සම්බන්ධයෙන් වැදගත් භූමිකාවක් ඉටු කල, ඇමරිකාවේ ලිබියානු තානාපති ක‍්‍රිස්ටෝෆර් ස්ටීවන්ස් බොහෝ ටයිම්ස් මාධ්‍යවේදීන්ගේ මිතුරෙකු විය.

“මෙම තෙලින් පොහොසත් ජාතිය පූර්න ව්‍යසනයක් දෙසට ඇදී යයි. ඉස්ලාමීය කන්ඩායම්වල වර්ධනය හා රැඩිකලීකරනය, ලිබියාවේ විශාල කොටසක් ඉස්ලාමීය රාජ්‍යයේ පරිවාර ග‍්‍රහයෙකු බවට පත්වීමේ හැකියාව මතු කරයි.” යනුවෙන් ටයිම්ස් පත‍්‍රය කනගාටු වෙයි. ගඩාෆි පෙරලා දැමීමට තුඩුදුන් ගැටුම එහි විස්තර වන්නේ හුදෙක් “සිවිල් යුද්ධයක්” ලෙස පමනක් වන අතර ලිබියාව තුල සය මසක් තිස්සේ ගෙනගිය බෝම්බ හෙලීමේ මෙහෙයුම ගැන සඳහනක් වත් ඇත්තේ නැත.

වොෂින්ටනය වඩාත් ආක‍්‍රමනශීලී ලෙස මැදිහත් වෙද්දී, අයිසිස් දැන් වඩාත්ම ශක්තිමත්ව සිටියි. සති අන්තයේ පලවූ තවත් ටයිම්ස් ලිපියක සඳහන් වන්නේ, “ඉස්ලාමීය රාජ්‍යය සිරියාවේ හා ඉරාකයේ කඳවුරුවලින් ඔබ්බෙහි, ඇෆ්ගනිස්ථානය, ඇල්ජීරියාව, ඊජිප්තුව හා ලිබියාව තුල මිලිටරි පහසුකම් ගොඩනගමින් හා පුලුල් කරමින් සිටී,” යනුවෙනි. සඳහන් කෙරෙන රටවල් අතුරින් හතරකම, එනම්, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්ථානය හා ලිබියාව ඇමරිකාව විසින් ආක‍්‍රමනය කල බව හෝ ඉස්ලාමීය කුලීකාර යුද්ධ සඳහා මුදල් සැපයූ බව එය සඳහන් නොකරයි.

ලෝකයා දැන් අත් දකිමින් සිටින්නේ, වොෂින්ටනයේ හා එහි නේටෝ සහචරයින්ගේ ඉවබව නැති, නිර්දය, කෑදර හා අසීමිත මුග්ධත්වයේ ප‍්‍රතිවිපාකයන්ය.

ලිබියාවේ විනාශයෙහි ප‍්‍රමුඛ වගකීම වැටී ඇත්තේ, ලිබියාවේ නේටෝ යුද්ධයේ ආරම්භක කප්පිත්තා ලෙස ප‍්‍රන්ස ජනාධිපති සාකෝසි, එරට මිලිරිය හා ප‍්‍රධාන නගර කුඩු පට්ටම් කල අවි බලයෙන් වැඩි පංගුවක් සම්පාදනය කල පරිපාලනයේ ජනාධිපති ඔබාමා, මෙම මිනීමරු මදාවියට සම්බන්ධවූ නේටෝ සහචර බලවතුන් මතය.

මැද පෙරදිග පුරා අද දිගහැරෙමින් ඇත්තේ, අධිරාජ්‍යවාදය, එහි පාලක පැලැන්තීන්, එහි දේශපාලන ගැත්තරයන් හා ඔවුන්ගේ බොරුකාර මාධ්‍ය පිලිබඳ චෝදනා පත‍්‍රයකි.

ජෝසෆ් කිෂෝර්

Share this article: