සිරිසාවේ යටත්වීම හා කම්කරු පන්තිය සඳහා පාඩම්

The capitulation of Syriza and the lessons for the working class

2015 පෙබරවාරි 23

සුලු ධනේශ්වරය “අපට දැකිය හැකි පරිදි සමර්ත වන්නේ, තමන් කෙරෙහි විශ්වාසය තබන ඕනෑම ව්‍යාපාරයකට විනාශය කැටීමට මිස අන් කිසිවකටත් නොවේ.” ෆෙඩි‍්‍රක් එංගල්ස් (1852)

අගමැති ඇලෙක්සිස් සිප‍්‍රාස්ගේ නායකත්වයෙන් යුත් ග‍්‍රීසියේ සිරිසා ආන්ඩුවට, සිය කප්පාදු විරෝධී මැතිවරන වැඩපිලිවෙල ප‍්‍රතික්ෂේප කර, තමන් බලයට ගෙනආ දරිද්‍රතාවයෙන් පෙලෙන වැඩකරන ජනතාව මුලුමනින්ම, එක පැහැර පාවාදීමට ගතවී ඇත්තේ මසකටත් අඩු කාලයකි.

වංකකම, නරුමත්වය හා සැබවින්ම අප‍්‍රසන්න බියගුලුකම අතින් අගමැති සිප‍්‍රාස්ට හරියටම සමාන වන නිදසුනක්, “වාම” සුලු ධනපති දේශපාලනයේ මුලුමනින්ම පිලිකුල් සහගත ඉතිහාසය පුරාවටම සොයාගැනීම දුෂ්කරය. මැතිවරනය හා පාවාදීම අතර ගතව ඇති කාල පරිමාව ගත් කල, නිසැකවම සිරිසා ආන්ඩුව නව ලෝක වාර්තාවක් පිහිටුවා තිබෙනවා විය යුතුය.

යුරෝපීය සංගමයට පරිපූර්න යටත්වීමකට නොඅඩු ගිවිසුමක් අත්සන් තැබීමෙන් පැය කිහිපයකට පසුව සිප‍්‍රාස්, තවත් වාචාල පච ගොන්නක් ඇදබාමින්, සිරිසාවේ දනගැසීමේ පරිමානය ප‍්‍රතික්ෂේප කිරීමේ හා තමන්ගේම දේශපාලන බංකොලොත්කම වසං කිරීමේ ශෝචනිය ප‍්‍රයත්නයක යෙදුනි.

“අප ග‍්‍රීසිය අභිමානයෙන් නගා සිටුවා ඇත”යි සිප‍්‍රාස් යථාර්තය නොදන්නවාක් මෙන් පෙන්වමින් රූපවාහිනියට කල ප‍්‍රකාශයක් තුල කියා සිටියේය. ඔහු කියා සිටියේ, යුරෝ කන්ඩායමේ මුදල් ඇමතිවරුන් සමග ඇතිකරගත් ගිවිසුම, “කප්පාදු අවලංගු” කර දැමූ බවය. ඔහු මෙසේ ද පැවසීය: “දින කිහිපයක් තුල අප බොහෝදේ අත්කරගෙන ඇති නමුත් තව බොහෝ දුරක් යාමට ඇත. යුරෝ කලාපය තුල, ගමන් මග වෙනස් කිරීමට අපි තීරනාත්මක පියවර ගෙන ඇත්තෙමු.”

මේ සෑම වචනයක්ම අසත්‍යය. සිරිසාව අත්සන් කල යුරෝ කන්ඩායමේ ගිවිසුමට අනුව, “කිසිදු පියවරක් ආපසු හැරවීමෙන් වලකින බවට හා ප‍්‍රතිපත්ති හා ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරන ඒක පාර්ශවිකව වෙනස් කිරීමෙන් වලකින බවට” ආන්ඩුව පොරන්දු වී ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ග‍්‍රීක ආන්ඩුව, පූර්වයෙන් පැවති ආන්ඩුව විසින් ක‍්‍රියාවට නගන ලද, දැනට පවතින කප්පාදු පියවර දිගටම කි‍්‍රයාත්මක කරනු ඇත.

එපමනක් නොවේ, සිප‍්‍රාස් විසින් නිෂ්ප‍්‍රභාකරන බවට කලින් පිලින දුන් වෛරයට පාත‍්‍ර ගිවිසුම තුල දක්වා තිබූ “වර්තමාන සැලැස්ම මත පදනම්ව” තවත් “ප‍්‍රතිසංස්කරන පියවර” සූදානම් කිරීමට සිරිසාව කි‍්‍රයා කරනු ඇත යයි. තමන් ග‍්‍රීසියේ දැවැන්ත නය අහෝසි කරන බව සිරිසාව අවධාරනය කල නමුත් යුරෝ කන්ඩායම සමග එලඹගත් ගිවිසුමේ සඳහන් වන්නේ එරට “තමන්ගේ සියලු නය හිමියන්ට ඇති මූල්‍ය වගකීම් මුලුමනින්ම හා කාලීන ආකාරයකට පියවනු” ඇති බවයි.

“ට්‍රොයිකාව” සමග ඇති බැඳීම් කපා හැරීම කෙසේ වෙතත් ආන්ඩුව, දැන් පොරොන්දු දී ඇත්තේ, “යුරෝපීය හා ජාත්‍යන්තර ආයතන හා හවුල්කරුවන් සමග සමීප එකඟතාවයකින් කටයුතු” කිරීමටය. එහි ලා ට්‍රොයිකාව සැදුම් ලත්, යුරෝපීය මහ බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්ව යුරෝ සංගමය ගැන සුවිශේෂිතව සඳහන් වේ. පෙර මෙන්ම, “වත්මන් වැඩසටහනේ (යුරෝපීය මූල්‍ය ස්ථාවර පහසුකම්) ගෙවීමට ඇති මොනම කොටසක් හෝ මුදාහැරීම,” රඳා පවතින්නේ, “ආයතනවල” විමර්ෂනය මත ය. එනයින් ග‍්‍රීසිය තවදුරටත් ට්‍රොයිකාවේ ගලග‍්‍රහනයට හසුව පවතිනු ඇත.

සිප්රාස් හා ඔහුගේ සාකච්ඡා සහචරයා වන මුදල් ඇමති යානිස් වෙරෝෆකිස්, මොනම ආකාරයකින්හෝ ප‍්‍රායෝගික වැදගත්කමක් නැති, වචනවල එකඟතාවන්හි සුලු වෙනස්කම් වලට වඩා, කිසිදු සහනයක් යුරෝපීය සංගමයෙන් දිනාගෙන නැත.

ආන්ඩුවේ කාලකන්නි පාවාදීම වීරෝදාර ජයක් ලෙස පෙන්වීමට සිප්රාස්ගේ හා සිරිසාවේ ක්ෂමාලාපකයින් උත්සාහ කල ද යුරෝපයේ හා එක්සත් ජනපදයේ ධනපති මාධ්‍ය, අගමැතිගේ යටත්වීමේ පරිමානය පිලිබඳ වචනවල සැර බාලකර නැත.

“මෙයින් අදහස් කෙරුනේ ජර්මානු ආර්ථික සම්මතයට අභියෝග කිරීම නම් එය අසාර්ථක වී ඇත” යනුවෙන් ලංඩනයේ ෆිනෑන්ෂල් ටයිම්ස් පත‍්‍රය ලියයි. “සෑම සැලකියයුතු ප‍්‍රශ්නයකදීම ජර්මානුවෝ අධිකාරිත්වය දැරූහ”

ෆ‍්‍රෑන්ක්රේටර් ඇල්ජෙමින් සේටුං මෙසේ සඳහන් කරයි. “වාමාංශික සිරිසා පක්ෂයේ නායකත්වයෙන් යුත් නව ආන්ඩුව යටතේ ග‍්‍රීසිය, පැරනි ඇපදීමේ වැඩසටහන ඉදිරියට ගෙන යයි. අරමුදල් සම්පාදනය සිදුවනු ඇත්තේ රට ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාවට නගන්නේ නම් පමනකි.”

ලේ මොන්ඞ් පත‍්‍රය ගිවිසුම ගැන කෙලින්ම කථා කරයි. “තවමත් ක‍්‍රියාවට නගා නැති, ට්‍රොයිකා (ජාමූඅ, යුමබැ, යුරෝපා සංගමය) නයහිමියන් විසින් පනවා ඇති ප‍්‍රතිසංස්කරන, කි‍්‍රයාවට දමමින් කලින් පැවති ඇන්ටොනිස් සමරාස්ගේ කොන්සවේටිව් ආන්ඩුවේ වැඩ කොටස අවසන් කිරීමට ඇතන්ස් පොරොන්දු වෙයි.”

යුරෝපා සංගමයට සිප්රාස්ගේ යටත්වීමෙහි දර්ශනය රසවිඳිමින් වෝල් ස්ටී‍්‍රට් ජර්නලය, තවත් බැගෑපත්වීම් අපේක්ෂා කරයි. “සිප්රාස්ට තවත් අවමානයන් බලාපොරොත්තු විය හැකිය.” යන හිසින් යුතු ලිපියක ඇමරිකානු මූල්‍ය ප‍්‍රාග්ධනයේ හොරනෑව වන එම පත‍්‍රය මෙසේ ලියයි. “පසුගිය සතිය තුල සිප්රාස් මහතා බොහෝ කරුනු වලට යටත්වී තිබේ. යුරෝ කලාපය තුල ග‍්‍රීසියට හිමි තැන කිසිදු සැකයකින් තොරව යලි පිහිටුවීම පිලිබඳව ඔහු බැරෑරුම් නම්, ඔහුට තවත් බොහෝ දේ වලට යටත් වීමට සිදුවනු ඇත.”

කම්කරු පන්තියේ අවශ්‍යතාවන්හි දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල, සිරිසා ආන්ඩුව අත්සන් තැබූ ගිවිසුම, සාපරාධී පාවාදීමකි. එහෙත් සිරිසා තන්ත‍්‍රය නියෝජනය කරන, ග‍්‍රීක පාලක පැලැන්තියේ හා වරප‍්‍රසාදිත ඉහල මධ්‍යම පන්තික කොටස්වල සැබෑ සමාජ හා ආර්ථීක අවශ්‍යතාවන්ගේ දෘෂ්ටි ආස්ථානයෙන් ගත් කල ගිවිසුම බලාපොරොත්තු සුන්වීමට නොඅඩු දෙයකි. ප‍්‍රධානකොටම ග‍්‍රීක වැඩකරන ජනතාව රැවටීම හා අවමංගත කිරීමේ අදහසින් කල සිප්රාස්ගේ වාචාල කථා නොතකා සිරිසාවේ සාකච්ඡාමය මූලෝපාය මුලුමනින්ම තීරනය වූයේ, ධනපති අවශ්‍යතාවන්ට එහි යටත්විම මගින්ය.

ග‍්‍රීසියට අයත් ව්‍යාපාරයන්ට මූල්‍ය නය සඳහා පිවිසීමේ පහසුකම් කපාහැරීම වෙනුවෙන් සහනයක් ලබාගත හැකිය යනු බලාපොරොත්තුව ග‍්‍රීක පාලක පන්තියට හා ඉහල මධ්‍යම පන්තියට තිබුනා විය හැක. ග‍්‍රීසිය තුල තමන්ගේම ව්‍යාපාරික හා මූල්‍ය අවශතා කෙසේ වෙතත්, යුරෝපීය ධනවාදය අස්ථාවර විය හැකි කිසිදු පියවරකට තරයේම විරුද්ධ ඔවුන්ට, යුරෝපා සංගමයට බැංකුකරුවන් සමග ගැටුමක් සඳහා කිසිදු කැමැත්තක් ඇත්තේ නැත.

පෙබරවාරි 11දා යුරෝ කන්ඩායමේ වැසූ දොරවල් පිටුපස පැවති රැස්වීමේදී ටානිස් වෙරෝෆකිස් කල ප‍්‍රකාශයන් මගින් සිරිසා ආන්ඩුවේ සැබෑ ආර්ථික හා සමාජ න්‍යායපත‍්‍රය මුලුමනින්ම පැහැදිලි කර ඇත. සිරිසා ආන්ඩුව, “ග‍්‍රීසියේ නූතන ඉතිහාසය තුල වඩාත්ම ප‍්‍රතිසංස්කරනයන් කරා යොමුවුන හා යුරෝපයේ වඩාත්ම ප‍්‍රමෝදයට පත්ව සිටින ප‍්‍රතිසංස්කාරකයින් අතර වන ආන්ඩුව” යයි පවසමින් ඔහු කියා සිටියේ, “අපි ගැඹුරු ව්‍යුහාත්මක ප‍්‍රතිසංස්කරනයන්ට කැපවී සිටින්නෙමු” යනුවෙනි.

ධනපති අවශ්‍යතා ආරක්ෂා කිරීමට සිරිසාවේ කැපවීම පිලිබඳව පැවතිය හැකි කුමන හෝ වැරදි වැටහීමක් දුරුකිරීමට වෙරෝෆකිස් කියා සිටියේ, “පෞද්ගලිකරනය හා රජයට අයත් වත්කම් සංවර්ධනය කිරීම පිලිබඳව ආන්ඩුවට කිසිම අධානග‍්‍රාහිත්වයක් නැත: අපි සෑම ව්‍යාපෘතියක්ම ඒවායේ සුදුසුකම් මත පමනක් එකිනෙක ගෙන අගැයීමට සූදානම් හා කැමැත්තෙන් සිටින්නෙමු. පිරායිස් වරාය පෞද්ගලිකරනය ආපසු හරවන බවට පලවූ මාධ්‍ය වාර්තා තවදුරටත් සත්‍ය නොවන්නේය.” (අවධාරනය ඈඳුනි)

“නොමග යවන සුලු වාර්තා” ද වෙරෝෆකිස්ගේ හෙලාදැකීමට ලක් විය. ඒවායින් “අප පූර්ව ප‍්‍රතිසංස්කරන අකුලා දමා ඒවා අපේ අයවැයට එකතුකර ගෙන ඇතැයි (රජයට පවරාගෙන) වක්‍රෝත්තියෙන් පැවසීම මගින් අපගේ හවුල්කාරයින් තුල අනවබෝධයක් ඇතිව තිබේ.”

යුරෝ කලාපයෙන් පිටවීම කෙසේ වෙතත් වෙරෝෆකිස්, සිය “දයාබර සගයින්ට” සහතික වූයේ, යුරෝපය, “සමස්තයක් හා නොබෙදී පැවතිය යුතු යයි ද ග‍්‍රීසිය, යුරෝපීය සංගමයේ හා අපගේ මූල්‍ය සංගමයේ නොවෙන්කල හැකි හා ස්ථාවර සාමාජිකයෙක් යයි ද ග‍්‍රීසියේ ආන්ඩුව විසින් සලකනු ලබන” බව සිරිසාව සැලකිල්ලට ගන්නා බවටය.

අවසාන වශයෙන් වෙරෝෆකිස්, යුරෝ කලාපයේ මුදල් ඇමතිවරුන්ට සහතික වූයේ, සිරිසාව පිලිබඳව ඔවුන්ට බියවීමට පරම වශයෙන්ම කිසිවක් නැති බවටය. සිරිසාවේ ජයග‍්‍රහනය පිලිබඳව සමහරු නොසතුටට පත්ව සිටීම ගැන ඔහු කනගාටු වෙයි. “මට ඔවුන්ට කීමට ඇත්තේ මෙපමනය. අප ප‍්‍රතිවාදීන් ලෙස දැකගැනීම අවස්ථාව අහිමිකර ගැනීමක් වනු ඇත.” වෙරොෆකිස් නිවේදනය කලේය.

සිරිසාවේ ඇමතිවරුන් ට්‍රොයිකාවට කෙතරම් යටහත් පහත් දැයි කිවහොත්, කිසිදු සහනයක් ප‍්‍රධානය කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ට්‍රොයිකාව ඒත්තු ගැන්වීමේලා සැබවින්ම වෙරෝෆකිස්, බෙහෙවින් සාර්ථක විය. සිරිසා ආන්ඩුව කෙරෙහි බියවීමට කිසිදු හේතුවක් නැතැයි වටහාගත් ඔවුන්, එයට සැලකුවේ, අසාර්ථක වන කුඩා ව්‍යාපාර සමග ගනුදෙනු කිරීමේදී විශාල බැංකු සාමාන්‍යයෙන් පෙන්නුම් කරන ආකාරයට, සතුරුකමේ හා නිර්දයභාවයේ එම සංයෝජනයෙන්මය.

පසුගිය මාසයේ සිදුවීම් ග‍්‍රීසියේ, යුරෝපයේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සඳහා ප‍්‍රධාන දේශපාලන අත්දැකීමක් අන්තර්ගත කරගනී. සිරිසාව ඉටුකල ක‍්‍රියාකලාපය, 1960 හා 1970 ගනන්වල රැඩිකල් ශිෂ්‍ය දේශපාලනයේ නටබුන් හමුවේ වර්ධනයවූ “වාම” මධ්‍යම පන්ති දේශපාලනයේ අවශ්‍යයෙන්ම ප‍්‍රතිගාමී ස්වභාවය පිලිබඳ ව්‍යසනකාරී හෙලිදරව්වකි. කම්කරු පන්තිය, පැරනි ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සංශෝධනවාදී කම්කරු සංවිධාන විසින් එකක් පසුපස තවෙකක් වශයෙන් පරාජයන්ට ඇද දමද්දී, තැචර් හා රීගන් බලය කරා නැගී ඒමෙන් පසුව, ගෝලීය කොටස් වෙලඳපොලවල පුපුරන සුලු ඉහල යාමෙන් හා විශේෂයෙන්ම සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් ද චීනය තුල ධනවාදය පුනස්ථාපනය කිරීමේන් ද පසුව නව ලිබරල් ප‍්‍රතිපත්ති ශක්තිමත් වීමෙන්, මධ්‍යම පන්ති කොටස් සෘජු හෝ වක‍්‍ර ලෙස වාසි ලැබූහ.

තමන් වඩා සමෘද්ධිමත් ලෙස වැඩෙද්දී කම්කරු පන්තිය කෙරෙහි එම වරප‍්‍රසාදිත මධ්‍යම පන්තික කොටස් වල සමාජ හා දේශපාලන ආකල්පය, වියෝවීමේ හා නොතකා හැරීමේ තැන සිට වැඩිදියුනු වන සතුරුකමක් කරා මාරු විය. මෙම සමාජ-ආර්ථික ක‍්‍රියාවලිය, දෘෂ්ටිමය වශයෙන් මෙම ස්ථරයන් මාක්ස්වාදය ප‍්‍රතික්ෂේප කිරීම තුල පිලිබිඹු වූ අතර කම්කරු පන්තියේ විප්ලවවාදී ක‍්‍රියාකලාපය හා ධනවාදයට එරෙහිව පන්ති අරගලය සමග මාක්ස්වාදයේ අනන්‍යවීම, මුලුමනින්ම නොපිලිගත හැක්කක් බවට ද පත් විය.

කම්කරු පන්ති අරගලයේ දේශපාලනය වෙනුවට ඉසුරුමත් මධ්‍යම පන්තිය, සිය අවශ්‍යතා පසුපස දිවීමේ දේශපාලන ක‍්‍රියාමාර්ගයෙහි පදනම සකස් කල ජාතිය, වාර්ගිකත්වය ලිංගිකත්වය හා ලිංගික දිශාවනතිය මුල්කරගත් “අනන්‍යතා න්‍යායපත‍්‍රවල” සන්නාහය පොරවා ගත්තේය. ධනේශ්වර පන්ති සම්බන්ධතා කුමන ලෙසකින් හෝ පෙරලා දැමීමට අභිමත වීම වෙනුවට මෙම ඉසුරුමත් සමාජ ප‍්‍රවාහය හා එහි දේශපාලන පක්ෂ සැලකිල්ලට ගත්තේ ප‍්‍රධාන කොටම, සමාජයේ පොහොසත්ම සියයට 10 තුල ධනය වඩාත් සමාන ලෙස බෙදා හැරීම සාක්ෂාත් කර ගැනීම පිලිබඳව ය. සුපිරි ධනවතුන්ට ඊර්ෂ්‍යා කල ඔවුන් කම්කරු පන්තියට අවමන් කල අතර එයට බිය විය.

සිරිසාව, මෙම සමාජ-ආර්ථික ක‍්‍රියාවලිය තුල බෝවන නිමක් නැති දේශපාලන සංවිධාන වලින් වඩාත්ම ප‍්‍රමුඛ සංවිධානයයි. ලෝකය පුරාවට ඇති බොහෝ කුඩා සංවිධාන ගැන නොකීව ද ජර්මනියේ වාම පක්ෂය හා ස්පාඤ්ඤයේ පොඩිමොස් වැනි සංවිධාන වලින් එය වෙනස් වන්නේ, ජාතික ආන්ඩුවක නායකත්වය ලබාගත් පලමුවැන්නා එය නිසාවෙන් පමනි.

මෙම පක්ෂ ව්‍යාජ වාම සංවිධාන ලෙසට ලෝක සමාජවාදී වෙබ් අඩවිය කරන ගුනාංගීකරනය, වාචාල ව්‍යායාමයක් නොව, නිශ්චිත දේශපාලන අර්ථකතනයකි. ඒවා කම්කරුවන්ට දරුනු සතුරුකම් දක්වන, මධ්‍යම පන්තියේ ප‍්‍රභූ කොටස් නියෝජනය කරන ධනපති පක්ෂය. ඔවුන් මිතුරන් නොව නිර්දය සතුරන්ය. වැඩකරන ජනතාව ඔවුන්ගෙන් බිඳී වෙන්විය යුතු අතර ඔවුන් කම්කරු පන්තිය මත පවත්වාගැනීමට වෑයම් කරන කුමන හෝ ආනුභාවයක් විනාශ කල යුතුය.

යන්තම් සති කිහිපයකට පෙරාතුව මැතිවරනය “ග‍්‍රීක ජනතාවට නව හිමිදිරියක්” හා “ඉදිරියට තැබූ දැවැන්ත පියවරක්” ලෙස හුවාදැක්වූ සිරිසාවේ විවිධ ක්ෂමාලාපකයින්, නිසැකවම කියනු ඇත්තේ, අන් කිසිවක් කල නොහැකිව තිබුනු බවයි. සිරිසාවට සහාය දීමෙන් ඔවුන් තමන්ගේ පන්ති අවශ්‍යතා හෙලිදරව් කර ඇත.

සිරිසාව පැත්තෙන් ගත් කල කප්පාදු හා ප‍්‍රතිගාමිත්වයේ ක‍්‍රියාමාර්ගයට අනුමැතිය දීමෙන්, එය තමන්ව පිහිටුවාගෙන ඇත්තේ, කම්කරු පන්තිය සමග සෘජු ගැටුමක් තුල ය. ග‍්‍රීසිය තුල බැංකුවල අන බලගැන්වීමට උත්සාහ දැරීමේදී සිප්රාස්ට, කම්කරු පන්තියේ විරුද්ධත්වය මැඬීම පිනිස වාරුවීමට සිදුවනු ඇත්තේ, වඩාත් සෘජු ලෙස රාජ්‍යය හා පොලිසිය මතය. සිරිසා ආන්ඩුවට පිටුබලය දුන් ව්‍යාජ වාම බලවේග, එය සමග පෙල ගැසෙනු ඇත.

කම්කරු පන්තියට සිරිසාව හෝ අනෙකුත් ව්‍යාජ වාම කන්ඩායම් විසින් පුරවන කාර්ය මන්ඩල සහිත ආන්ඩු වලින් වඩා රැඩිකල් ප‍්‍රතිපත්ති ඉල්ලා සිටිය නොහැකිය. ඔවුන්ට තමන්ගේ ආරක්ෂාව සලසාගත හැක්කේ, ධනවාදය අහෝසි කර ලෝක සමාජවාදී සමාජයක් ගොඩනැගීම සඳහා කම්කරු බලය පිහිටුවීම දෙසට යොමුවුනු ජාත්‍යන්තරවාදී විප්ලවවාදී ක‍්‍රියාමාර්ගයක පදනම මත ධනපති පන්තියේ සියලු කොටස් වලින් මුලුමනින්ම ස්වාධීනව කම්කරු පන්තියේ නව පක්ෂ ගොඩනැගීම මගින් පමනි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව කැපවී සිටින ඓතිහාසික කර්තව්‍යය මෙයයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව

Share this article: