ශ්‍රී ලංකාවේ විරුද්ධ පක්ෂ එක්සත් ජනපදයේ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ න්‍යායපත්‍රය පිටුපස ගාල් වෙති

Sri Lankan opposition parties line up behind US regime-change agenda

කේ. රත්නායක විසිනි , 2015 ජනවාරි 08

ජනාධිපතිවරනය ප්‍රකාශයට පත්කර සති හතක් ගතවෙද්දී මෙරට අත්දකින්නේ, ජනාධිපති මහින්ද රාජපක්ෂට හා ඔහුගේ චීනයට නැඹුරු පිලිවෙතට එරෙහිව ඇමරිකානු ගැති මෛත්‍රිපාල සිරිසේනට මුක්කුව දීම සඳහා සිදුවන පාර්ලිමේන්තු නියෝජිතයින්ගේ පෙර නොවූ විරූ පිල්මාරුවකි.

චීනයට එරෙහි රාජ්‍යතාන්ත්‍රික, ආර්ථික හා මිලිටරි පීඩනය දැඩි කරද්දී එක්සත් ජනපදය, කලාපයේ සියලු ආන්ඩු සිය ආක්‍රමනික ‘ආසියාවට හැරීම“ වෙත නැඹුරුකර ගැනීමට බලපෑම් කරමින් සිටියි. ඊට අනුකූලව වොෂින්ටනය හා බීජිනය අතර තුලනය වීමට දරන රාජපක්ෂගේ වෑයම නතර කිරීම පිනිස මෙරට පාලන තන්ත්‍රය වෙනස් කිරීම ඉලක්ක කරගනිමින් ඇමරිකාව ඊට සහාය දක්වයි. චීනයට එරෙහි සිය යුද සූදානම පිටුපස පෙලගැසීමට අඩු කිසිවක් ඇමරිකාව කොලඹ ආන්ඩුවෙන් බලාපොරොත්තු නොවේ.

මැතිවරනය නිවේදනය කල විගසම රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රබලයෙකුව සිටි සිරිසේන ඉන් ඉවත්වී තමා ජනාධිපති තරඟයට ඉදිරිපත්වන බව ප්‍රකාශ කලේය. ඔහුගේ පිල් මාරුව ප්‍රවේශමෙන් සූදානම් කල සැලසුමක කොටසකි. එම සැලැස්ම සකස්කරන ලද්දේ, රාජපක්ෂ පෙරලා දැමීමට අවශ්‍ය බලවේග එක්රැස් කිරීම පිනිස වොෂින්ටනයේ සහාය ද ඇතිව, හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ හා ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ විසිනි. ක්ලින්ටන් පදනම තුලින් ඔබාමා පාලනය සමඟ ගොඩනඟාගත් පුලුල් බැඳීම් කුමාරතුංගට ඇත.

සිරිසේනට හා ඇමරිකානු න්‍යායපත්‍රයට පිටුබලය දෙන ප්‍රධාන දේශපාලන පක්ෂය එජාපයයි. සිංහල-බෞද්ධ අන්තවාදී ජාතික හෙල උරුමය (ජාහෙඋ) හා හිටපු හමුදාපති ද 2010 ජනාධිපති අපේක්ෂකයා ද වූ සරත් ෆොන්සේකා නායකත්වය දෙන ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය (ප්‍රප) ඒ සමඟ එක්ව සිටියි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය (එස්එල්එම්සී) හා සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසය යන මුස්ලිම් පදනමක් සහිත ධනපති පක්ෂ දෙක ද දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ද විපක්ෂ හවුල සමඟ එක්වී සිටිති. බොදු බල සේනා හා රාවනා බලකාය වැනි රාජපක්ෂ විසින් පෝෂනය කල බෞද්ධ අන්තවාදී කන්ඬායම් විසින් උසිගන්වන ලද මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ට එරෙහිව එස්එල්එම්සී වොෂින්ටනයේ සහාය සෙවීය. දෙමල ධනපති පැලැන්තියේ දේශපාලන පෙරමුන වන ටීඑන්ඒ, කොලඹ ආන්ඩුව සමඟ බලය බෙදාගැනීමේ ගනුදෙනුවක් සඳහා ඇමරිකාවේ උදව් පැතීය.

ජනාධිපතිවරනය නිවේදනය කිරීමට පෙරාතුව රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 161කගේ සහාය ලැබුනි. එය මන්ත්‍රීන් 225 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකි. එතැන් සිට ඇමතිවරු 8 ඇතුලු 25 දෙනෙක් විපක්ෂයට එක්වී ඇත. දැන් ජනාධිපතිට ඇත්තේ මන්ත්‍රීන් 138 දෙනෙක් පමනි. ඒ එජාපයේ මහ ලේකම්ව සිටි තිස්ස අත්තනායක හා ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මන්ත්‍රීවරයෙක් පාලක සභාගයට එකතුවීමෙන් පසුවය.

මාධ්‍ය වාර්තාවල දැක්වුනේ ඇමතිවරු හා මන්ත්‍රීන් ගනනාවක් ආන්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එකතුවනු ඇති බවය. එහෙත් රාජපක්ෂ බියගැන්වීම් හා විවිධ වරදාන පිරිනමමින් ඔවුන් ඉවත්වීම වලක්වන බවය. තරයේම ධනපති හා දක්ෂිනාංශික සංවිධාන බවට පත්ව තිබෙන, ලංකා සම සමාජ පක්ෂය (ලසසප) හා ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය (කොප) රාජපක්ෂගේ ශ්‍රීලනිපයේ හවුල්කරුවන් බවට පත්ව සිටියි. ඒවායේ නායකයෝ කැබිනට් ඇමතිකම් දරති. පක්ෂ දෙකම දැන් බිඳී ගොස් ඇති අතර සමහර කොටස් විවෘතවම සිරිසේනට සහාය දෙති.

විරුද්ධ පක්ෂ සිරිසේන පිටුපස පෙලගැසීම පෙන්නුම් කරන්නේ, කොලඹ දේශපාලන සංස්ථාපිතයේ සැලකිය යුතු කොටසක් මෙරට විදෙස් පිලිවෙත තීරනාත්මක ලෙස වොෂින්ටනය දෙසට හැරවීමට තීරනය කර ඇති බවයි. සිරිසේනගේ මැතිවරන ප්‍රකාශය, මෙරට “ජාත්‍යන්තර ප්‍රජාවෙන් හුදෙකලා වීම” අවසන් කිරීමට ප්‍රතිඥා දෙයි. මේ වනාහි එක්සත් ජනපදය හා අනෙකුත් බටහිර බලවතුන් වෙනුවෙන් යොදන ආරූඪ නාමයයි. මහ ව්‍යාපාරිකයන්ගේ සැලකිය යුතු කොටසක්, චීනය සමඟ රාජපක්ෂ දමන උපාමාරු නිසා ඇමරිකාව හා යුරෝපයේ මෙරට විශාලතම නිර්යාත වෙලඳපොලවල් අහිමි වනු ඇතැයි යන බිය නිසා සිරිසේනට සහාය දක්වයි.

චීන විරෝධී මනෝගතීන් ඇවිස්සීම විපක්ෂ ව්‍යාපාරයේ අංඟයක් බවට පත්ව තිබේ. මෙරට “චීන පරිවාර ග්‍රහයෙක්” බවට පත්කරන්නේ යයි එජාපය රාජපක්ෂට චෝදනා කරයි. චීන ආයෝජන ව්‍යාපෘති පෙලක්ම “යලි සලකා බලන” බවට සිරිසේන ප්‍රතිඥා දී තිබේ. පසුගිය පස් වසර පුරා චීනය, මෙරටට ආධාර සපයන ප්‍රමුඛ රට බවට පත්ව තිබේ. මෙරට ලොකුම ආයෝජකයා ද වන චීනය, ඊට හිලව් වශයෙන් සමීප මිලිටරි සම්බන්ධතා ගොඩනඟා ගැනීමට දරන උත්සාහය, ඇමරිකාවේ, යුරෝපයේ හා ඉන්දියාවේ කනස්සල්ලට හේතුවී ඇත.

“රාජපක්ෂගේ ආඥාදායකත්වය හා පවුල් කොල්ලය” පිලිබඳ නරුම හෙලාදැකීම් සමඟ ඇමරිකානු අවශ්‍යතා පිටුපස සිය පෙලගැසීම වසං කිරීමට විපක්ෂය උත්සාහ කරති. පවුල් කොල්ලය ලෙස හඳුන්වන්නේ, රාජපක්ෂ සිය පවුලේ සාමාජිකයින් දේශපාලනයේ හා ව්‍යාපාරයන්ගේ ප්‍රමුඛ තැන්වල පිහිටුවීමටය.

2005 බලයට පත්වූ තැන් සිට රාජපක්ෂ, මෙරට 26 වසරක් තිස්සේ පැවති සිවිල් යුද්ධය අවධියේ ගොඩනඟන ලද ආඥාදායක බලතල නිසැකවම සිය දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව, සියල්ලටත් වඩා කම්කරුවන්ගේ, තරුනයින්ගේ හා පීඩිතයින්ගේ සමාජ අරගල මැඬීම පිනිස යොදාගනු ලැබිනි. කෙසේ වෙතත් ඔහු එසේ කලේ, විපක්ෂය සැදුම්ලත් සියලුම පක්ෂවල සහාය ඇතිවය. සිවිල් යුද්ධයේදී බෙදුම්වාදී එල්ටීටීඊය මෙන්ම, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග පරිදි කප්පාදු පියවරයන් ක්‍රියාත්මක කිරීම පිනිස වැඩකරන ජනතාව නිර්දය ලෙස මැඬීම පිනිස ද ගත් කුරිරු ක්‍රමෝපායන්ට ඔවුහු මුලුමනින්ම පිටුබලය දුන්හ.

නව සමසමාජ පක්ෂය (නසසප) එක්සත් සමාජවාදී පක්ෂය (එසප) හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) මධ්‍යම පන්තික ව්‍යාජ වාම සංවිධාන, ශාස්ත්‍රාලිකයින් හා කලාකරුවන් සමූහයක් ද සමඟ එක්ව ඇමරිකානු ගැති විපක්ෂය වටා පෙලගැසී සිටිති.

නසසපය විවෘතවම සිරිසේන වෙනුවෙන් පෙනී සිටියි. සිරිසේනගේ ඉතිහාසය පිලිබඳව ලිහිල් විවේචන ඉදිරිපත් කරමින් එසප, මූලික ප්‍රශ්නය “රාජපක්ෂගේ ආඥාදායකත්වය” පරාජය කිරීම බව අවධාරනය කරයි. ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් දෙදෙනා අතර වෙනසක් නැති බව කෙලතොලු ලෙස කියාපාන පෙසප, රාජපක්ෂගේ ආඥාදායක පාලනය අවසන් කල යුතුව ඇති බැවින්, සිරිසේනගේ ඡන්ද කුමන ආකාරයකින් හෝ “බෙදීමට” විරුද්ධ වේ. එක් හෝ තවත් ආකාරයකින් ව්‍යාජ වාම නඩ, විපක්ෂයේ පොදු අපේක්ෂකයාට “ප්‍රජාතන්ත්‍රවාදී” සලුපිලි ඇන්ඳවීමට වෑයම් කරන අතර ඇමරිකාව හා එහි යුද සූදානම පිටුපස පෙල ගැසෙති.

රාජපක්ෂට මැතිවරනයෙන් බලයට පත්වීමට හැකි වුවහොත් ව්‍යාජ වම්මු, වොෂින්ටනය වෙනත් රටවලදී උසිගන්වන ලද “වර්න විප්ලව” වර්ගය දියත් කිරීමේ හැකියාව ද සහිත, ඇමරිකානු පිටුබලය සහිත කුමන්ත්‍රනයන්හි ඊලඟ අවධිය පිටුපස පෙල ගැසීම සඳහා “ප්‍රජාතන්ත්‍රවාදය” පිලිබඳ ප්‍රෝඩාකාරී සටන්පාඨය යොදාගනු ඇත.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා එහි ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන පමනක්, මෙරට පමනක් නොව, ආසියාවේ ද ලෝකය පුරා ද කම්කරු පන්තියේ අවශ්‍යතා පිලිබඳ ඉදිරිදර්ශනයක් මත සටන් වදියි. “ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරනයෙහි ජාත්‍යන්තර වැදගත්කම” යනුවෙන් ඉදිරිපත් කල ලෝසවෙඅ ඉදිරිදර්ශනය තුල අවධාරනය කල පරිදි සසප, ජාත්‍යන්තර සමාජවාදයේ පදනම මත රාජපක්ෂ මෙන්ම සිරිසේන කඳවුර ද ඇතුලු පාලක පන්තියේ සියලු කොටස් වලින් දේශපාලනිකව සිය ස්වාධීනත්වය අත්කර ගැනීම මඟින් පමනක් කම්කරු පන්තියට යුද්ධයේ අන්තරාය දුරලිය හැකි බව අවධාරනය කලේය.

Share this article: