2014 වසර තුල ලෝකයේ ප්‍රකෝටිපතියන් 400ගේ ධනය ඩොලර් බිලියන 92න් ඉහල නඟී
ඔවුන්ගේ සමස්ත අගය ට්‍රිලියන 4.1 ඉක්මවයි

Figure hits $4.1 trillion
Wealth of world’s 400 richest billionaires rose $92 billion in 2014

ඇන්ඩ්‍රේ ඩෙමොන් විසිනි , 2015 ජනවාරි 03

ලෝකයේ ධනවත්ම මිනිසුන් 400 දෙනාගේ ඒකාබද්ධ ශුද්ධ වටිනාකම පසුගිය වසර තුල ඩොලර් බිලියන 92න් ඉහල ගිය අතර දැන් එය ට්‍රිලියන 4.1 පසුකර ඇත. මුදල් වෙලඳපොල වලට බිලියන දහස් ගනනින් මුදල් පොම්ප කිරීම මඟින් ලෝකය පුරා ආන්ඩු හා මහ බැංකු, කොටස් වෙලඳපොලවල උත්පාතයකට හා ව්‍යාපාරික ලාභ වාර්තාගත මට්ටම් කරා නැංවීමට දායක වෙමින් සුපිරි ධනවතුන් සඳහා වාසි සලසනු ලැබීය.

මෙම සංඛ්‍යා සපයනු ලැබුවේ 2012දී ස්ථාපිත කරන ලද බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකය මඟිනි. එය ලෝකයේ සිටින ධනවත්ම 400 දෙනාගේ ධනවත්කම සොයා බැලීය.

මොවුන් 400 දෙනාගේ ඒකාබද්ධ ශුද්ධ වටිනාකම, ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය වන ජර්මනියේ දල දේශීය නිෂ්පාදිතයේ අගයට වඩා වැඩිය. මොවුන් එකිනෙකාගේ සාමාන්‍ය ශුද්ධ වටිනාකම මිලියන 240 බැගින් ඉහල ගොස් දැන් බිලියන 10.25 දක්වා වැඩිවී ඇත.

ට්‍රිලියන ගනන් බැංකු ඇපදීම් ද මූල්‍ය ක්‍රමය තුලට නොමිලේම වාගේ තවත් ට්‍රිලියන ගනනක් මුදා හැරීමට ද දායක වූ 2008 මූල්‍ය බිඳවැටීමේ තැන් පටන්, සුපිරි ධනපතියන්ගේ වත්කම් දෙගුනයකින් ඉහල නැඟී ඇත. ඇමරිකාවේ සුපිරි ධනපතියන් 400 දෙනාගේ ෆෝබ්ස් ලැයිස්තුවට අනුව ඔවුන් සතු ධනය, 2009 වසරේදී පැවති ට්‍රිලියන 1.27 සිට 2014 දී ට්‍රිලියන 2.29 දක්වා වැඩිවී ඇත.

පසුගිය වසර පුරාවට ගෝලීය කොටස් වෙලඳපොලවල් එක දිගට ඉහල නැඟුනි. ඇමරිකාවේ නැස්ඩැක් දර්ශකය සියයට 14.1න් ද ජපානයේ නිකේ දර්ශකය සියයට 7.1න් ද ඉහල ගියේය. ඇමරිකාවේ ඩව් ජෝන්ස් කාර්මික දර්ශකය 2013 නොවැම්බරයේදී ඒකක 16,000 දක්වා ද 2014 ජූලියේදී 17,000 දක්වා ද වාර්තාගත ලෙස ඉහල නැඟීමෙන් පසුව දෙසැම්බර් අග වන විට පලමු වතාවට ඒකක 18,000 ඉක්මවා ගියේය.

ඩව් ජෝන්ස් දර්ශකය ඒකක 6,000ට පහතින් තිබූ 2009 මාර්තු වලින් පසුව, දැන් සියයට 155න් ඉහල ගොස් ඇත. එරට ව්‍යාපාරික ලාභ ද 2008 සිව්වන කාර්තුවේ පැවති මට්ටමට වඩා 2014 සිව්වන කාර්තුවේදී ඩොලර් බිලියන 671න් ඉහල ගොස් ට්‍රිලියන 1.8 දක්වා වාර්තාගත ඉහලකට නැඟුනි.

බ්ලූම්බර්ග් ලැයිස්තුවට අනුව, ලෝකයේ දෙවන සුපිරි ධනවතා වන ආයෝජක වොරන් බුෆේගේ ධනය පසුගිය වසර තුල බිලියන 13.7න් ඉහල ගොස් දැන් බිලියන 74.5 කරා ලඟාවී ඇත. එනම් සියයට 22ත් වැඩියෙනි. 2009 සිට වොරන්ගේ ධනය දෙගුනයකටත් වැඩියෙන් ඉහල ගොස් තිබේ.

“පසුගිය දශක පහ තුල 84 වන වියේ පසුවන සභාපති වරයා මිලට ගෙන තිබෙන ක්‍රියාත්මක ව්‍යාපාර දුසිම් ගනනක් පසුගිය වසර තුල ද වාර්තාගත ලාභ ඉපැයූ" බව බ්ලූම්බර්ග් සඳහන් කරයි. බුෆේගේ ව්‍යාපාරික මොඩලය වී ඇත්තේ, දුම්රිය මාර්ග, ආහාර නිෂ්පාදනාගාර වැනි සම්ප්‍රධායික කර්මාන්ත මිලට ගැනීමත්, නිර්දය ලෙස වියදම් කැපීමෙන් බිලියන ගනන් ලාභ සහතිකකර ගැනීමත්ය. වැටුප් පහත වැටීම හා කම්කරුවන්ගේ සහන කැපීමේ ප්‍රතිපල වශයෙන් 2008 පටන් වසරක් පාසා පහත වැටී ඇති, තවමත් සිදුවෙමින් තිබෙන, ශ්‍රම වියදම් පහත වැටීමෙන් බුෆේගේ ව්‍යාපාර යහමින් ලාභ උපයා ගත්තේය.

ගෝලීය මහ බැංකු විසින් එන්නත් කරනු ලබන මුදල් සුපිරි ධනපතියන්ගේ වත්කම් වැඩී යාම කෙරහි සිදුකර ඇති බලපෑම විස්තර කිරීමට විශ්ලේෂකයින් පසුබට වී නැත. පෞද්ගලික සුරැකුම් වලට අමතරව රාජ්‍ය බැඳුම්කරයන් මිලට ගැනීම සඳහා අවශ්‍යයෙන්ම මහ බැංකු මුදල් අච්චු ගැසීම සිදුවන ඇමරිකාවේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීම්" වර්ගයේ පියවර ගැනීමක් ලෙස වෙලඳපොලවල සැලකිල්ලට ලක්වන අතිරේක උත්තේජක වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මේ සතියේදී යුරෝපීය මහ බැංකු අධිපති මාරියෝ ඩ්‍රාගි පැවසීය.

2014දී වැඩිම ප්‍රතිලාභ අත්කරගත් ප්‍රකෝටිපතියන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම වාසය කරන්නේ, පසුගිය වසරේ චීන ෆුට්සි සින්හුවා 200 දර්ශකය සියයට 49.49න් ඉහල යාමත් සමඟ කොටස් වෙලඳපොල බුබුලක් අත්දකිමින් සිටි චීනය තුලය. අලිබාබා ව්‍යාපාර සමූහයේ සභාපති ජැක් මා, සැප්තැම්බර් මස පටන්ගත් තමන්ගේ ප්‍රධානත්වයෙන් යුත් චීන අන්තර්ජාල ව්‍යාපාර සමාගමේ ආරම්භක කොටස් නිකුතුවෙන් පසුව සිය ධනය ඩොලර් බිලියන 28.7ක් දක්වා බිලියන 25.1න් ඉහල පිනූ ආකාරය දැක ගත්තේය.

ඩැලින් වැන්ඩා යන චීන සංගතයේ සභාපති හා ආරම්භකයා වන වෑන් ජියන්ලින්ගේ ධනය පසුගිය වසරේදී එම සංගතයට අයත් වානිජ්‍ය සමාගමේ කොටස් ප්‍රසිද්ධියේ අලෙවි කිරීමෙන් පසුව දෙගුනයකින් ඉහල නැඟ ඩොලර් බිලියන 25.3 ඉක්මවීය. සිය ධනය දෙගුනකරගත් ධනපතියන් සය දෙනාගෙන් පස් දෙනෙක්ම සිටින්නේ චීනයේය.

ලෝකයේ ධනවත්ම මිනිසා වන බිල් ගේට්ස්ගේ ධනය ඩොලර් බිලියන 9.1න් වැඩිවී බිලියන 87.6ට ලඟා විය. ඔරැකල් ප්‍රධාන විධායකයා වන ලැරී එලිසන්ගේ ධනය බිලියන 5.7න් ඉහල ගොස් 49.4 බවට පත් විය. ෆේස්බුක් ප්‍රධාන විධායක මාර්ක් සුකර්බර්ග්ගේ ධනය බිලියන 35.3 දක්වා 10.6න් වැඩි විය. ඔහුගේ වත්කම 2009දී පැවතුනේ බිලියන 2ක් ලෙසය එතැන් පටන් සුකර්බර්ග්ගේ ධනය 18 ගුනයකින් පමන වැඩිවී තිබේ.

බ්ලූම්බර්ග් ලැයිස්තුගත අයගෙන් සැලකිය යුතු කොටසක් මූල්‍ය අංශයට ඇතුලත්ය. බුෆේට අමතරව ජොර්ජ් සොරෝස් හා කාල් ඉක්හැන් එහි ප්‍රමුඛයින් වෙති. පිලිවෙලින් බිලියන 26.1 හා 23.6ක් වශයෙනි.

සුපිරි ධනපතියන්ගේ ධනය තව තවත් කඳු ගැසෙන්නේ, වැඩෙන සමාජ අසමානතාවය පිලිබඳ තියුනු අනතුරු ඇඟවුම් නිකුත් වෙමින් තිබියදීය. පසුගිය සතියේ ආර්ථික සහයෝගිතාවය හා සංවර්ධනය පිලිබඳ සංවිධානය (ඕඊසීඩී) පල කල වාර්තාවේ මෙසේ සඳහන් වේ. “ඕඊසීඩී කලාපයේ ජනගහනයෙන් ධනවත්ම සියයට 10 අද, දුප්පත්ම සියයට 10 කොටස මෙන් 9.5 ගුනයක් වැඩිපුර හිමිකර ගනියි. 1980 ගනන්වල මෙය පැවතියේ 7:1 ලෙසය.“ මෙම පරතරය ඉතාලියේ, ජපානය, කොරියාව, පෘතුගාලය හා එක්සත් රාජධානියයේදී 10ට 1 ද ග්‍රීසියේ, ඊස්රායලයේ, තුර්කියේ හා එක්සත් ජනපදයේ 13-16ට 1ද වේ. මෙක්සිකොවේ හා චිලියේදී එය 27-30ට 1කි.

ලෝකයේ ප්‍රකෝටිපතියන් හා කෝටිපතියන් ධනවත් වීම සමඟ අත්වැල් බැඳගෙන, හා එය පසෙකින්, ලෝකය පුරා දුප්පත්කම හා විරැකියාව වැඩී යයි. පසුගිය වසරේ ජාත්‍යන්තර කම්කරු සංවිධානය නිකුත්කල වාර්තාවකට අනුව, රැකියා විරහිත ලෝක ජනගහනය පලමු වතාවට මිලියන 200 ඉක්මවා ගියේය. එය වසරක් තුල මිලියන5න් ඉහල ගිය අතර 2009 පැවති මිලියන 198ක වාර්තාව බිඳ දැමීය.

ඕඊසීඩී හි තවත් වාර්තාවකට අනුව, ලෝක ජනගහනයෙන් මිලියන 860ක් හෙවත් සියයට 12ක් පමන දෙනා දුගී කමට වැටී ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට අනුව 2012-2014 අතර කාලයේ මිලියන 805ක් ජනතාව උග්‍ර මන්දපෝෂනයෙන් පෙලේ.

පෙර නොවූ විරූ ආකාරයෙන් ඇතිව තිබෙන ලෝක මූල්‍ය ධනපතියන්ගේ සෞභාග්‍යය, ජීවන තත්වයන්ගේ පුලුල් නැඟීමක් කෙසේ වෙතත්, සමස්ත ආර්ථිකයේ පොදු වර්ධනයක් හා නිෂ්පාදන බලවේගයන්ගේ සංවර්ධනයක අතුරු පලයක් පවා නොවේ. එහි ප්‍රතිවිරුද්ධයයි. සමස්ත ආර්ථිකය එකතැන පල්වනවා හෝ පිරිහෙමින් තිබේ. ඇමරිකාව හා අනෙකුත් කාර්මික රටවල නිෂ්පාදන යටිතල ව්‍යුහය විරල ආයෝජන නිසා දුර්වලවී ඇත. ඒවා දිරාපත්වීමට ඉඩ හැර තිබේ. පුලුල් ජනතාවගේ ජීවන තත්වයන් එක දිගට පහත වැටේ.

අද දින මූල්‍ය කතිපයාධිකාරීන් පොදුවේ සිය වාසනාව අත්කර ගන්නේ සමාජ කොල්ලයේ හා ආර්ථික පරපුටු භාවයේ පදනම මතය. ඉන් බොහොමයක් පවතින්නේ නීති විරෝධී තත්වයේ හෝ සාපරාධිත්වයේ මායිමෙහිය. විශ්‍රාම හා වෙනත් සහන වල රූපයෙන් පවතින කම්කරුවන්ගේ සොච්චම් සහන හා ඉතිරිකිරීම්, ව්‍යාපාර, නගරසභා බංකොලොත්වීම් හා අනෙකුත් ව්‍යාජ, තක්කඩි නීතිමය ආකෘතීන් යොදාගනිමින් ව්‍යාපාරික හා මූල්‍ය පැලැන්තිය විසින් සොරකම් කරයි.

සුපිරි ධනපතියන් පිලිබඳ බ්ලූම්බර්ග් වාර්තාව වනාහි, ධනවාදයේ අසාර්ථකත්වය ද කම්කරු පන්තිය විසින් එය පෙරලා දමා සමාජවාදය මඟින් විස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිලිබඳ සහතිකයක් ද වන්නේය.

Share this article: