ශ්‍රී ලංකා මහ මැතිවරනයේ ජාත්‍යන්තර අර්ථභාරය

The international significance of the Sri Lankan general election

2015 ජූලි 28

17දා පැවැත්වෙන රටේ පාර්ලිමේන්තු මැතිවරනය සමීපව නිරීක්ෂනය කිරීම වැදගත්ය. ග්‍රීසියේ සිදුවීම් හා සිරිසාවේ පාවාදීම පුලුල් මාධ්‍ය අවධානයට යොමුවී ඇති තතු හමුවේ, ශ්‍රී ලංකාවේ පැනනැඟී තිබෙන දේශපාලන අර්බුදය වනාහි, කම්කරු පන්තියට එරෙහි සමාජ ප්‍රතිවිප්ලවය ද කටුක භූ-දේශපාලනික එදිරිවාදිකම් අවුලුවාලන ගෝලීය ධනවාදයේ බිඳවැටීමෙහි ද තවත් තියුනු ප්‍රකාශනයකි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි ශ්‍රී ලංකා ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය (සසප), අගනුවර වන කොලඹ, යුද්ධයෙන් ඉරිතැලී ගිය යාපනය හා තේ වගාවේ ප්‍රධාන මධ්‍යස්ථානයක් වන නුවර එලිය දිස්ත්‍රික්ක සඳහා අපේක්ෂකයින් 43 දෙනෙක් ඉදිරිපත් කරමින් උද්යෝගිමත් මැතිවරන ව්‍යාපාරයක් දියත්කර ඇත. යුද්ධයට, කප්පාදුවට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව, සමාජවාදී ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරු පන්තිය එක්සත් කිරීම සඳහා සටන් වදින එකම පක්ෂය සසප පමනි.

ඇමරිකාවේ “ආසියාවට හැරීම” හා චීනයට එරෙහි යුද සූදානම තුල, වැදගත් මුහුදු මාර්ගයන්ට මැදිව පිහිටා ඇති දිවයින, වොෂින්ටනයේ අවධානයට ලක්ව ඇත. ජනවාරි 8දා ජනාධිපතිවරනයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපති තනතුරෙන් පහකිරීමේ ව්‍යායාමය තුල ඉන්දියාව සමඟ එක්ව ඇමරිකාව, තිරයෙන් පිටුපස වැදගත් ක්‍රියාකලාපයක් ඉටු කලේය. රාජපක්ෂගේ “අපරාධ” පිලිබඳව වොෂින්ටනය හා නව දිල්ලිය දැක්වූ උනන්දුව යොමුවී තිබුනේ, ඔහුගේ ආඥාදායක පාලන ක්‍රමෝපායන් හෝ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි වර්ගවාදී යුද්ධයේ අවසන් අදියරවල සිදුවූ අපරාධ වලට ඔහුගේ ආන්ඩුවේ වගකීම් කෙරෙහි නොව, බීජිනය සමඟ ඔහුට පැවති සමීප බැඳීම් කෙරෙහිය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංඟ හා ඇමරිකානු ගැති එක්සත් ජාතික පක්ෂය (එජාප) සමඟ එක්ව වොෂින්ටනය ක්‍රියාත්මක කල පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමෙහි ප්‍රතිපලය වශයෙන්, මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති ලෙස පත් විය. රාජපක්ෂගේ සෞඛ්‍ය ඇමති වශයෙන් ආන්ඩුවේ සියලු අපරාධයන්ට එකසේ වගකිවයුතු සිරිසේන, ප්‍රජාතන්ත්‍රවාදයේ කප්පිත්තෙකු ලෙස වෙස්ගැන්වීමේදී, විවිධාකාර මධ්‍යම පන්තික ලිබරල් කන්ඩායම් හා ව්‍යාජ වාම සංවිධාන තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කලහ. සසප පමනක් මෙම ප්‍රෝඩාව හෙලිදරව් කරමින්, මහ ව්‍යාපාරිකයේ න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමේදී සිරිසේන ද රාජපක්ෂ තරම්ම නිර්දය වනු ඇතැයි කම්කරු පන්තියට අනතුරු ඇඟවීය.

ජනවාරියේ සිටම ශ්‍රී ලංකාව, බීජිනයට එරෙහි වොෂින්ටනයේ “ආසියාවට හැරීම” තුලට වේගයෙන් ඇදගෙන තිබේ. මැතිවරනයෙන් පසුව ඇමරිකානු පාලනයේ හා මිලිටරියේ නියෝජිතයින් පෙලක්ම කොලඹ කරා පැමිනි අතර මැයි මාසයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සංචාරයෙන් එය කුලුගැන්වුනි. “නවීන හා ගතික ඉන්දු-ශාන්තිකර කලාපයක කේන්ද්‍රස්ථානයක් ලෙස ප්‍රයෝජනවත්” විය හැකි දිවයින, “ඉන්දියාවේ හා මියන්මාරයේ ගැඹුරු මුහුදු වරායන්ට ආසන්නව මූලෝපායාත්මකව පිහිටා තිබීමේ” වැදගත්කම සැලකිල්ලට ගනිමින් ඔහු, “වාර්ෂික හවුල්කාරිත්වයේ සාකච්ඡාවක්” වෙනුවෙන් කැඳවුම් කලේය. බීජිනයට එරෙහි පෙන්ටගනයේ යුද සැලසුම්වල තීරනාත්මක අංඟයක් වන්නේ, අප්‍රිකාවෙන් හා මැද පෙරදිගින් චීනයේ බලශක්ති හා අමුද්‍රව්‍ය ආනයන කරන ඉන්දියානු සාගරය හරහා දිවෙන මුහුදු මාර්ග අවහිර කිරීමේ හැකියාවයි.

ජීවන තත්වයන් නඟාසිටුවන බවට ද ප්‍රජාතන්ත්‍ර අයිතීන් සහතික කරන බවට ද පොරොන්දු වෙමින් (යන්තම් දින 100ක් තුල) බලයට පත්වූ සිරිසේන ඉන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බව ද පැවසීය. කෙසේ වෙතත් මේ සැලසුම්, නරක අතට හැරෙන ජාත්‍යන්තර ආර්ථික කඩාවැටීම හා ග්‍රීසියේදී දක්නට ලැබෙන ආකාරයේ ගෝලීය මූල්‍ය ප්‍රාග්ධනයේ කුරිරු කප්පාදු ඉල්ලීම් හමුවේ, අඩාල විය. ඉහල යන නය බරකට කරගසා සිටින මෙරට ආර්ථිකය, ගෙවුම් ශේෂ අර්බුදයක අද්දර පැද්දෙමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මාර්තුවේදී, ඩොලර් බිලියන 4ක ආන්ඩුවේ නය ඉල්ලීම එක පැහැර ප්‍රතික්ෂේප කරමින්, ආන්ඩුවේ ඉතා සීමිත සහන ආපසු හරවන, පුලුල් අයවැය කප්පාදු නිර්දේශ කලේය.

සිසුන්ගේ නය වැඩිකිරීම ප්‍රමාද කරමින් ද රජයේ සේවකයින්ට පොරොන්දුවූ වැටුප් වැඩිකිරීමෙන් කොටසක් පමනක් ලබා දෙමින් ද සිරිසේන, දැනටමත් සිය “දින 100” පොරොන්දු බොහොමයක් කඩකර ඇත. අත්‍යවශ්‍ය භාන්ඩ මිල සියයට 20 දක්වා පිම්මේ ඉහල යද්දී පෞද්ගලික අංශයේ සේවකයින්ට කිසිදු වැටුප් වැඩිවීමක් ලැබී නැත.

සසප අනතුරු ඇඟවූ පරිදි “ප්‍රජාතන්ත්‍රවාදී” සිරිසේන, කම්කරු පන්තිය තුල වැඩෙන ප්‍රතිරෝධය මැඩීමට ආරක්ෂක හමුදා යෙදවීමට මැලිවී නැත. සෞඛ්‍ය සේවකයින්ට එරෙහිව හොරිකඩයින් ලෙස හමුදාව ද සිසු විරෝධතාවන්ට එරෙහිව පොලිසිය ද යොදවමින් ආන්ඩුව, වතුකරයේ වැඩ වර්ජනය කල කම්කරු නායකයින් දඩයම් කිරීමට ද පිටුබලය දුන්නේය.

වත්මන් මැතිවරන ව්‍යාපාරය දියත් වන්නේ, කොලඹ තුල උග්‍ර දේශපාලන අර්බුදයක් හා පාලක පැලැන්තියේ ගැඹුරු දෙදරීම් සිදුව ඇති කොන්දේසි ද යටතේය. ජනවාරි ජනාධිපතිවරනයේ ප්‍රතිවාදී අපේක්ෂකයින් දෙදෙනාම විපක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) සමාජිකයින් ව සිටි අතර රටේ ජනාධිපති ලෙස සිරිසේන, පක්ෂයේ නාමික ප්‍රධානියා ද වේ. කෙසේ වෙතත් ආන්ඩුව කෙරෙහි නැඟෙන මහජන සතුරුකම් මඟින් දිරිමත්වූ රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන්, පක්ෂයේ මැතිවරන ව්‍යාපාරයේ පාලනය සියතට ගෙන, පරාජිත ජනාධිපති ඊලඟ අගමැති ලෙස ඔසවා තබයි. මෙහිදී රාජපක්ෂ, තමන් විකුනා ගැනීමට බලා සිටින කොලඹ දේශපාලඥයින් වෙත ද කුරුමානම් අල්ලමින්, දෙමල විරෝධී වර්ගවාදය හා එල්ටීටීඊය යලි හිස එසවීම ගැන භීතිය වපුරවයි.

කොලඹ නැවත වරක් බීජිනය සමඟ සමීප සම්බන්ධකම් ගොඩනඟා ගැනීම නොඉවසන වොෂින්ටනය හා නව දිල්ලිය තුල, රාජපක්ෂ යලි බලයට ඒම පිලිබඳ බලාපොරොත්තුව හමුවේ දැනටමත් අනතුරු ඇඟවීමේ සීනු නාදවී ඇත. රාජපක්ෂ මැතිවරනය තරඟ කරනු ඇති බව නිවේදනය කිරීමත් සමඟ රටේ ලිබරල් හා ව්‍යාජ වාම සංවිධාන විවේචන රැල්ලකින් ඊට ප්‍රතිචාර දැක්වීය. ජනවාරියේදී “ෆැසිස්ට්වාදී රාජපක්ෂ ආඥාදායකත්වය” හෙලා දුටු අය, රාජපක්ෂ යලි බලයට පත්වීම වැලැක්වීමට සිරිසේන සිය ආඥාදායක ජනාධිපති බලතල යොදාගත යුතු යයි බලකිරීමට පසුබට වූයේ නැත.

මැතිවරනයේදී ශ්‍රීලනිපය හා එහි සහචරයින් ආසන බහුතරයක් දිනාගත්තත් තමා අගමැති ලෙස රාජපක්ෂ පත්කරන්නේ නැති බව සිරිසේන දැනටමත් නිවේදනය කර තිබේ. තරයේම ව්‍යවස්ථා විරෝධී වන එවන් පියවරක් ගත හැක්කේ, මිලිටරියේ පිටුබලය ලබන ආඥාදායක තන්ත්‍රයක් පිහිටුවීම හරහා පමනි.

ග්‍රීසිය තුල බලයට පත්ව සිටින ව්‍යාජ වාම සිරිසා ආන්ඩුව, ඓතිහාසික පරිමානයකින් කම්කරු පන්තිය පාවාදී ඇත. ශ්‍රී ලංකාවේදී නව සමසමාජ පක්ෂය (නසසප), එක්සත් සමාජවාදී පක්ෂය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය වැනි ව්‍යාජ වාම සංවිධාන, සිරිසේනගේ හා දක්ෂිනාංශික, ඇමරිකානු ගැති එජාපයේ කසකරුවන් බවට පත්ව සිටිති. පාලක කවයන් තුලට ඔවුන්ගේ ඒකාග්‍ර වීම, නසසප නායක වික්‍රමබාහු කරුනාරත්න සාමාජිකයින් 13න් සමන්විත ජාතික විධායක සභාව නම් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම නිරීක්ෂනය කිරීමේ ආන්ඩුවේ ඉහලම උපදේශක සභාවට පත්කරනු ලැබීමෙන් සලකුනු කෙරින. එහිදී ඔහු රෙජිමයේ ක්ෂමාලාපක ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

විදෙස් පිලිවෙතේ දිශානතිය සම්බන්ධයෙන් තියුනු මතභේද තිබියදී , කුමන පක්ෂ විසින් ඊලඟ ආන්ඩුව පිහිටුවනු ලැබුව ද ඔවුන් ජාමූඅ කප්පාදු නිර්දේශ ක්‍රියාත්මක කරන්ට යෑමේදී, තමන්ගේ සියලු මැතිවරන පොරොන්දු වේගයෙන් ඉවත දමනු ඇත. වැඩකරන ජනතාවගේ අවශ්‍යතා හා අපේක්ෂාවන් ද සමස්ත දේශපාලන සංස්ථාපිතය ද අතර ආගාධය, පොහොසතුන් හා දුප්පතුන් අතර වැඩෙන දැවැන්ත සමාජ බෙදුම්කඩනය හා තියුනු වන පන්ති ප්‍රතිඝතිතාවන්හි අනිවාර්යතාව පිලිබඳ ප්‍රකාශනයකි.

පාලක පන්තියේ සිරිසේන හා රාජපක්ෂ යන දෙනොගේම කඳවුරුවලට විරුද්ධව යුද්ධයට, කප්පාදුවට, ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එල්ල කෙරෙන ප්‍රහාරයන්ට එරෙහිව විප්ලවවාදී සමාජවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ සසප පමනි. යුද්ධයේ මූල හේතුව වන ධනවාදය අහෝසි කිරීම පිනිස ඉන්දියානු උප මහාද්වීපය හා ලෝකය පුරා සිය පන්ති සහෝදරයින් හා සහෝදරියන් සමඟ දිවයිනේ කම්කරුවන් එක්සත් කිරීමේ එල්ලය සහිත ජාත්‍යන්තර ඉදිරිදර්ශනයක පදනම මත පමනක්, භූ-දේශපාලනික එදිරිවාදිකම්වල හා ගැටුමේ සුලිය තුලට නොවැලැක්විය හැකි පරිදිම ශ්‍රී ලංකාව ඇද ගනිමින් තිබෙන ක්‍රියාවලිය නතර කල හැක.

වාර්ගික රේඛාවන් කපා හෙලමින්, කම්කරුවන් එක්සත් කිරීමට සමත් එකම පක්ෂය සසප පමනි. පක්ෂය, සියලු වර්ගයේ ජාතිකවාදයන්ට හා වර්ගවාදයන්ට එරෙහිව අශමනීය දේශපාලන අරගලයක් ගෙනගොස් ඇත. එය දෙමල සුලුතරයේ ප්‍රජාතන්ත්‍ර අයිතීන්ට එරෙහිව බලයට පත් සෑම ආන්ඩුවක් විසින්ම ගෙන ගිය දිග්ගැස්සුනු යුද්ධයට එරෙහිව මූලධර්මාත්මක හා නොනැමෙන සුලු සටනක් ගෙන ගියේය. සසප සටන් කරන්නේ, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් ගොඩනැඟීම සඳහාය. පක්ෂය ලෝකය පුරා කම්කරුවන්ගේ හා තරුනයින්ගේ සහාය දිනාගැනීමට නියමිතය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: