වතු කම්කරුවෝ හෙමින් වැඩ කිරීමේ විරෝධතා උද්ඝෝෂනයක් දියත් කරති

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2015 ජුලි 09

දිවයින පුරා දස දහස් ගනනක් තේ වතු කම්කරුවෝ රුපියල් 1000ක දෛනික වැටුපක් ඉල්ලා හෙමින් වැඩ කිරීමේ විරෝධතා ව්‍යාපාරයක් සඳුදා සිට ආරම්භ කර ඇත. ඉල්ලීම් සඳහා උද්ඝෝෂනය තර කිරීමට ඊයේ කම්කරුවෝ දහස් ගනනින් වතු තුල හා වතු ආශ්‍රිතව පෙලපාලි හා පිකට් කිරීම් පැවැත්වූහ.

විරෝධතා ව්‍යාපාරය නිසා දිනකට කම්කරුවන් නෙලන තේ දළු ප්‍රමානය කිලෝ 18-20 සිට 2-5 පහත වැටී ඇති බව වතු සමාගම් නිවේදනය කර තිබේ. කම්කරුවන්ගේ අරගලය බිඳීමේ එල්ලය ඇතිව විරෝධතා ව්‍යාපාරය ආරම්භයේදීම තේ කම්හල් වසා දමන බවට තර්ජනය කල වතු සමාගම් මේ වන විට කම්හල් 23ක් වසා දැමීමට පියවර ගෙන ඇති අතර වතු කාර්ය මන්ඩලයට සහ කලමනාකරුවන්ට වැඩට නොයන ලෙස දැනුම් දී තිබේ. මෙම තර්ජනාත්මක පියවරයන් පෙන්නුම් කරන්නේ වතු සමාගම් කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් දීමට සුදානම් නැති බවත් කම්කරුවන්ගේ අරගලය මැඩීම සඳහා හැම පියවරක් ම ගැනීමට සූදානම් බවත් ය.

අලුත් සාමූහික ගිවිසුමක් සඳහා ජූලි 2 දා පැවති සාකච්ඡා වටයේ දී ද රුපියල් 1000 දක්වා වැටුප් වැඩිකරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, හිටපු ඇමති ආරුමුගම් තොන්ඩමන් නායකත්වය දෙනු ලබන කම්කරු කොන්ග්‍රසය (සීඩබ්ලියුසී) මෙම සීමිත විරෝධතා ව්‍යාපාරය කැඳවූයේ ය.

එය කැඳවූයේ කම්කරුවන්ගේ ජීවන තත්වයන් ගැන අනුකම්පාවකින් නොව ඔවුන් අතර අඩු වැටුප්, පහත් ජීවන හා සමාජ කොන්දේසි පිලිබඳව ගැඹුරු වී ඇති විරුද්ධත්වය අරගලයක් තුලින් පිපිරී ඒම වලක්වා වාෂ්ප කර දැමීම සඳහා ය. පසුගිය ආන්ඩුවල ඇමතිකම් දැරූ සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් සමාගම්වල උවමනාකම් අනුව වැටුප් පහල මට්ටමක හිර කිරීමේ ද වැඩි වැඩ බර පැටවීමේ ද සාමූහික ගිවිසුම් අත්සන් කිරීමට මූලිකත්වය ගත්තේ ය.

මේ අතර ලංකා ජාතික වතු කම්කරු සංගමය (එල්ජේඊඩබ්ලිව්යූ), ජාතික කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්), කඳුරට ජනතා පෙරමුන (යුපීඑෆ්) සහ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය (ඩීඩබ්ලිව්සී) කම්කරුවන්ගේ උද්ඝෝෂනය කඩාකප්පල් කිරීමට ක්‍රියා කරති.

විරෝධතා උද්ඝෝෂනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති අතර එකඟත්වයක් නැතැයි පාලක එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ එල්ජේඊඩබ්ලිව් නායක වතු සහ කර්මාන්ත රාජ්‍ය ඇමති කේ. වේලායුදන් ප්‍රකාශ කර ඇති අතර සීඩබ්ලිව්සී ය තමන් ආන්ඩුවට සම්බන්ධ කර ගැනීමේ සඳහා පීඩනය යෙදීමක් වසයෙන් උද්ඝෝෂනය කැඳවුම් කර ඇති බවට චෝදනා කර යි.

හෙමින් වැඩ කිරීමේ ව්‍යාපාරයට විරුද්ධව ඇතැම් වතුවල එන්යූඩබ්ලිව් සමිති නායකයන් විසින් දිනකට තේ දළු කිලෝ 16ක් කඩන ලෙස කම්කරුවන් පොලඹවා තිබේ. වේදායුදන් හා එන්යූඩබ්ලිව් නායක හා වතුයටිතල පහසුකම් ඇමති පී. දිගම්බරම් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මෙම විරෝධතාව නිසා වතුකම්කරුවන් කෙරෙහි ආන්ඩුවට තිඛෙන හොඳ ආකල්පය අහෝසිවී යනු ඇතැයි ද එය ඔවුන්ට බලපානු ඇතැයි ද තර්ජනාත්මක සඳහන් කර ඇත. ආන්ඩුව කම්කරුවන්ගේ නිවාස හා සෞඛ්‍ය ප්‍රශ්න විසඳීමේ පියවර ගනිමින් සිටින බවට බොරුවක් ද එම ප්‍රකාශයෙන් දෙසා බා ඇත.

මෙම සමිති විරෝධතාව කඩාකප්පල් කිරීමේ ව්‍යාපාරයකට බැස ඇත්තේ සීඩබ්ලිව්සී මෙන්ම, කම්කරුවන්ගේ අරගලයක් වර්ධනය වීම ගැන භීතියෙනි. සමාගම්වල උවමනාකම් අනුව කම්කරුවන් කුදලා දීමට සීඩබ්ලිව්සීය ලැබෙන පලමු මොහොතේම ක්‍රියා කරනු ඇත. සීඩබ්ලිව්සී නායක තොන්ඩමන් හැටන් නගරයේ පැවති සත්‍යග්‍රහයකට සම්බන්ධ වෙමින් පැවසුවේ කම්කරුවන්ට “සාධාරන විසඳුමක්“ ලැබිය යුතු බව යි. එම ප්‍රකාශය පෙන්නුම් කරන්නේ අරගලය නතර කර ගැනීමට අවම මවා පෑමක් හෝ ලබා ගැනීම ය.

වතු සමාගම් ද, ලංකා හාම්පුතුන්ගේ සම්මේලනය ද කම්කරුවන්ගේ මොනයම්ම හෝ අරගලයක් තලා දැමීමට අවි අමෝරා ගෙන සිටිති. සන්ඩේ ටයිම්ස් ඔන්ලයින් වාර්තාවකට අනුව වැවිලිකරුවන්ගේ සංගමයේ සභාපති රොෂාන් රාජදුරෙයි හෙමින් වැඩ කිරීමේ ව්‍යාපාරය “දැනුවත්ව සංවිධානය කල එකක් බවත් අනෙකුත් වතුවලටත් පැතිරී යා හැකි බවත්“ ප්‍රකාශ කර ඇත.

අප්‍රේල් මස සාමූහික ගිවිසුම අත්සන් කිරීමේ සාකච්ඡා පටන්ගත් තැන් පටන් වැඩුප් වැඩි කිරීමක් එක දිගටම ප්‍රතික්ෂේප කර ඇති සමාගම් හා ඔවුන් නියෝජනය කරන හාම්පුතුන්ගේ සංගම් ලෝක වෙලඳපොලේ මිල බැසීම හා අපනයනවලට තර්ජනය එල්ලවී ඇති නිසා වැඩි බරක් දැරිය යුතු යයි කම්කරුවන්ට බල කර සිටියි. රොෂාන් රාජදුරෙයි ප්‍රකාශ කර ඇත්තේ අඩුම තරමින් කිලෝ 23ක් දක්වා තේ දලු නෙලීම වැඩි කල යුතු බව යි.

වසර දෙකකට වරක් සොච්චම් පඩි වැඩි වීමක් සඳහා වතු සමාගම් සහ වෘත්තීය සමිති අතර අත්සන් කරන සාමුහික ගිවිසුම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කල වතු සමාගම් වැටුප් වැඩි කිරීමට නම් දිනකට නෙලන දළු ප්‍රමානය කිලෝ 5කින් ඉහල දැමීමට කම්කරුවන් පොලඹවා ගන්නා ලෙස වෘත්තීය සමිතිවලට කීවේ ය. පසුගිය වසරේ අග භාගයේ සිට හිතුවක්කාරී ලෙස දිනකට නෙලන දලු ප්‍රමානය කිලෝ 16 සිට 20 දක්වා ඉහල දැමීමට බොහෝ වතු සමාගම් පියවර ගත්තේ ය.

කෙන්යාව, චීනය, දකුනු වියට්නාමය, බංග්ලාදේශය ඇතුලු තේ නිෂ්පාදනය කරන සෙසු රටවල් සමග ලෝක වෙලදපොල තුල තරඟය උග්‍ර වීම සහ ලෝක ආර්ථික අර්බුදයත් ශ්‍රී ලංකාවේ තේ වැඩි පුර මිල දී ගන්න රුසියාව සහ මැද පෙරදිග ඉල්ලුම පහත වැටීමත් නිසා ශ්‍රී ලංකාවේ තේ අපනයන ආදායම 2015 ජනවාරි-මැයි අතර සියයට 12 හෙවත් රුපියල් බිලියන 74 කින් පහත වැටී ඇත.

ලෝක වෙලඳපොලේ තම කොටස රැකගැනීම සඳහා කැප කරන ලෙස ඉල්ලන ධනපති සමාගම් හා සමිති, ලංකාවේ කම්කරුවන් අනෙකුත් තේ නිපදවන රටවල සිය පන්ති සගයන්ට එරෙහිව පිහිටුවයි. ලංකාවේ කම්කරුවන් මෙය ප්‍රතික්ෂේප කොට ජාත්‍යන්තර සගයන් සමග එකට සටන් කල යුත්තේ මෙම මහ ධනපතියන්ට එරෙහිව ය.

වැඩ වේගවත් කිරීමට එරෙහිව පෙබරවාරි මාසයේ දින තුනක වර්ජනයක යෙදුන මස්කෙලිය ග්ලෙනුයිජ් වත්තේ ඩීසයිඩ් කොටසේ කම්කරුවන්ට එරෙහිව වතු පාලකයන් විසින් දඩයමක් දියත් කලේ ය. එහිදී කම්කරුවන් තුන් දෙනෙකුගේ වැඩ මාසයකට තහනම් කල අතර හතර දෙනෙකු සේවයෙන් පහ කලේ ය. ඔවුන්ට විරුද්ධව බොරු චෝදනා මත උසාවියේ නඩු පවරා ඇත. මෙම දඩයම පෙන්නුම් කරන්නේ කඩා වැටෙන ලාබ රැක ගැනීම සඳහා ශ්‍රම සුරා කෑම තීව්‍ර කිරීමට විරුද්ධවන වතු කම්කරුවන්ට එරෙහිව රුදුරු ප්‍රහාරවලට යාමට වතු සමාගම් සුදානම් බව ය. එන්යූඩබ්ලිව් සහ සීබ්ලිව්සී. සමිති නායකයෝ මෙම දඩයමේ දී කම්කරුවන්ට විරුද්ධව පොලිසිය සහ වතු පාලකයන් සමග ඒකාබද්ධ වූහ.

ආන්ඩුව සමාගම් සූදානම් කරන මේ රුදුරු ප්‍රහාර සමග එකට සිටී. දිගම්බරම් හා වේලායුදන් ඇමතියන්ගේ ප්‍රකාශ පෙන්නුම් කරන්නේ එය යි.

වතු කම්කරුවන්ට වැඩි වැටුප් දිනා ගැනීමේ හා අනෙකුත් අයිතීන් දිනා ගැනීමේ අරගලය ආන්ඩුවේ ද ධනපති හාම්පුතුන්ගේ ද ප්‍රහාරයට එරෙහි අරගලයක් බවට පත් වී ඇත. ආන්ඩුව හා සමාගම් සමග එකට වැඩ කරන සමිති අතෙහි කම්කරුවන්ගේ අරගලය තැබිය නොහැකි ය. කම්කරුවන් අරගලය සියතට ගැනීම අත්‍යවශ්‍ය ය.

වතු ආශ්‍රිතව තමන්ගේම ක්‍රියාකාරී කමිටු පත් කර ගෙන මෙම අරගලය අරඹන ලෙස අපි ඉල්ලමු. වතුකරයේ සියලු කම්කරුවන් අලලාගත් වර්ජනයක් ලෙසට අරගලය වර්ධනය කරමින් රුපියල් 40,000ක මාසික වැටුපක්, අනුමත නිවාඩු, යහපත් නිවාස, සෞඛ්‍ය හා අධ්‍යාපන අයිතීන් දිනාගැනීමට සටන් කිරීම අවශ්‍ය වේ.

වතු කම්කරුවන්ගේ වැටුප් ඉල්ලීම් ඇතුලු යහපත් ජීවන අයිතීන් දිනා ගැනීම කල හැක්කේ වතු, බැංකු, හා මහ ව්‍යාපාර කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමේ සමාජවාදී වැඩ පිලිවෙල ක්‍රියාවට දමන කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් කිරීම මගින් පමනකි.

සමාජවාදී සමානතා පක්ෂය, මෙම වැඩ පිලිවෙල අරගලයට එලැඹ සිටින කම්කරුවන් ඉදිරියේ තබයි. මෙම අරගලය වර්ධනය කිරීමට එක්වන ලෙස සියලු කම්කරුවන්ගෙන් අපි ඉල්ලමු.

Share this article: