වතු කම්කරුවෝ වෘත්තීය සමිති සහ ආන්ඩුව ගැන අප‍්‍රසාදය පල කරති

අපේ වාර්තාකරුවන් විසිනි ,2015 ජුලි 20

දෛනික වැටුප රුපියල් දහසක් කරන ලෙස ඉල්ලා ජුලි 6 වෙනිදා සිට වතු කම්කරුවන් යෙදී සිටි “සෙමින් වැඩ කිරීමේ” උද්ඝෝෂනය නතර කල, එහි කැඳවුම්කාර ලංකා කම්කරු කොන්ග‍්‍රසය (සීඩබ්ලිව්සී), 15 දා සිට පෙර පරිදි වැඩෙහි යෙදෙන ලෙස කම්කරුවන්ට දන්වා ඇත. සීඩබ්ලිව්සී ය මෙම පියවර ගෙන ඇත්තේ වතු හාම්පුතුන්, වෘත්තීය සමිති සහ කම්කරු ඇමති එස්.බී. නාවින්න අතර 15 දා පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසුය. ජාතික වතු කම්කරු සංගමය (එන්යූඩබ්ලිව්) කඳුරට ජනතා පෙරමුන (යූපීඑෆ්) සහ ලංකා ජාතික වතු කම්කරු සංගමය (සීඑන්පීඩබ්ලිව්යූ) ඇතුළු සෙසු සමිති මුල සිට ම මෙම උද්ඝෝෂනයව විරුද්ධ ව සිටියහ.

සීඩබ්ලිව්සී ය මෙම උද්ඝෝෂනය කැඳවුම් කලේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන් අතර අපේ‍්‍රල් මාසයේ පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව කම්කරුවන් අතර වර්ධනය වූ නොසන්සුන්කම සමනය කර දැමීමේ එල්ලය ඇතිවය. කෙසේ වුව ද වතු සමිතිවල යටිකූට්ටු වැඩ හා කඩාකප්පල් කිරීම් තිබිය දී ම සියලු ම සමිතිවලට අයත් කම්කරුවන් වර්ජනයට සම්බන්ධ වූ අතර වෘත්තීය සමිති කෙරෙහි බරපතල අවිශ්වාසයක් සහ නොසතුටක් මුල සිටම ඔවුන් තුල තිබුනි. වර්ජනය නතර කිරීමට පෙරාතුව සමිති සහ වතු හාම්පුතුන් අතර රහසිගත සාකාච්ඡා කෙරෙමින් පැවති බවට කම්කරුවන් කල චෝදනාව සනාථ වී ඇත.

වර්ජනය නතර කිරීමට පෙර නුවරඑලිය, මස්කෙලිය සහ බන්ඩාරවෙල ප‍්‍රදේශයන්හි සංචාරය කල ලෝක සමාජවාදී වෙබ් අඩවියේ වාර්තාකරුවන් ට සිය පිරිහෙන ජීවන තත්වයන්, වතු සමාගම් විසින් තමන් මත පටවන දුෂ්කර වැඩ කොන්දේසි විස්තර කල වර්ජිත වතු කම්කරුවෝ වෘත්තීය සමිති සහ ආන්ඩුව කෙරෙහි දැඩි අවිශ්වාසය සහ නොසතුට ප‍්‍රකාශ කලහ.

“පෙඩ්රෝ” වත්තේ “නෙසෙබි” කොටසේ කම්කරුවන් අප වාර්තාකරුවන් සමග

“වෘත්තීය සමිති කොම්පැනි සමග රහස් සාකච්ඡා කරනවා. ඇත්ත තත්වය අපි දන්නේ නැහැ. සමිති නායකයෝ අපව හම්බ වෙන්න එන්නේ ඡන්දෙ කාලෙට විතරයි. ඊට පස්සේ ඒගොල්ල අපිව අමතක කරනවා. මාසෙකට රුපියල් 150 ක් වෘත්තීය සමිති අපෙන් අය කර ගන්නවා. නමුත් කම්කරුවන් වෙනුවෙන් කරන දෙයක් නැහැ. බලයට පත්වෙන ආන්ඩුවලට හේත්තුවෙලා ඒ ගොල්ලන්ගේ වරප‍්‍රසාද රැක ගන්නවා.” යැයි සීමාසහිත කැලනිවැලි සමාගමට අයත් නුවරඑලිය “පෙඩ්රෝ” වත්තේ “නෙසෙබි” කොටසේ කම්කරුවෙක් අප වාර්තාකරුවන්ට පැවසුවේ ය. පෙඩ්රෝ වත්තේ කම්කරුවෝ 3000 ක් වර්ජනයට සම්බන්ධ වී සිටියහ.

“අපි උද්ඝෝෂනයට සම්බන්ධ වුනේ අපේ වැටුප රුපියල් 1000 දක්වා වැඩි කර ගන්න. අට වෙනිදා පාලකයන් පැක්ටරිය වැහුවා. එකලොස් වෙනිදා ක්‍ෂේත‍්‍ර නිලධාරීන් වැඩට එන්න එපා කිව්වා.ඒවා කලේ අපේ අරගලය කඩා කප්පල් කරන්න. ඒවගෙන් අපිව අධෛර්ය කරන්න බැහැ. දිරි දීමනා ක‍්‍රමය නතර කරලා අපේ මුලික දවසේ පඩිය රුපියල් 1000 ක් කරන්න ඕනෑ. මාසෙකට දවස් 18 අඩුවෙන් වැඩ කලොත් දිරිදීමනා ක‍්‍රමය යටතේ දෙන රුපියල් දෙතුන් දාහක් අපිට නැතිවෙනවා.”

සමාගමට අවශ්‍ය ආකාරයට දිනකට නෙලන දළු ප‍්‍රමානය කිලෝ 18 සිට 23 දක්වා වැඩි කිරීමට තමන් ඉඩ නොදෙන බව පැවසූ ඔව්හු වැසි සහ සුලං පවතින කාලයට නෙලන දළු ප‍්‍රමානය බෙහෙවින් අඩුවන බව ද කීහ. ලැබෙන වැටුප ප‍්‍රමානවත් නැති නිසා නය වීමට සිදුවන බවත් වත්තේ හැම කම්කරුවෙක් ම රුපියල් 50,000-75,000 නය වී සිටින බවත් ඔවුහු පැවසූ හ.

රෝස් මේරිගේ වයස අවුරුදු 57 කි. ඇයත් ඇතුළුව පවුල් 3 ක් ජීවත් වන්නේ ජලය සහ වැසිකිලි පහසුකම් නිසි ලෙස නැති කුඩා නිවසකය. “ආන්ඩු වෙනස් වෙනවා. නමුත් අපේ ජීවිත වෙනස් වෙන්නේ නැහැ. පඩිය වැඩි වෙන්නෙත් නැහැ. අපිට ලැබෙන පඩියෙන් ගෙයක් හදා ගන්නවත් අනෙක් පහසුකම් සපයා ගන්නවත් බැහැ. මේ මැතිවරනෙදී අපි කාටවත් ඡන්දෙ දෙන්නේ නැහැ” යැයි ඇය පැවසීය.

රෝස් මේරිගේ ලේලිය යසෝධරා උසස්පෙල සමත් තරුනියකි. එහෙත් ඇයට රැකියාවක් ලැබී නැත. “රක්ෂාවක් ගන්න අපි දේශපාලනඥයෝ පිටිපස්සේ යන්න ඕන. මම ඒකට කැමති නැහැ. මේ සමාජයේ අසමානතාව වෙනස් විය යුතුයි කියල ඔබ කියන එකට මම එකඟයි. මම හිතාගෙන හිටියේ ජනතා විමුක්ති පෙරමුන සමාජවාදී පක්ෂයක් කියල. ඔබ කරපු පැහැදිලි කිරීමෙන් ඔවුන්ගේ ප‍්‍රතිපත්ති සමාජවාදී නෙමෙයි කියල තේරුම් ගත්ත. ඔබේ පක්ෂයේ වැඩ කටයුතු දැන ගන්න කැමතියි” ඇය කීවාය.

වතු පාලකයන් කම්කරුවන් සුරාකන ආකාරය වීරම්මා පැහැදිලි කලාය. “ගිය මාසේ මම දවස් 22 ක් වැඩ කලා. නමුත් කාඩ් එකේ ලකුනු කරලා තියෙන්නේ දවස් 17 යි. ඒ නිසා මගේ පඩිය තිබුනේ රුපියල් 4164 යි. දිරි දීමනාව රුපියල් 3000 ක් මට නැතිවුනා. ඔය විදිහට තමයි ඒ ගොල්ලෝ අපිව රවට්ටන්නේ.”

මස්කෙලිය අප්කොට් වත්තේ එන්යූඩබ්ලිව් නායක මුනිසාමි පරිමාලා තම මව් සමිති නායකයන් වර්ජනයට විරුද්ධ ව කටයුතු කිරීම තරයේ හෙලා දුටුවේ ය. “අපේ නායකයා දිගම්බරම් පනිවුඩයක් එවල තිබුනා වර්ජනයට සම්බන්ධ නො වී වැඩට ගිහිල්ල 18 ටාගට් කඩන්න කියල. නමුත් අපි අතර එකමුතුකම තියෙන්න ඕන නිසා ඒක ප‍්‍රතික්ෂේප කරලා අපි වර්ජනයට සම්බන්ධ වුනා. පඩි වැඩි වෙන්නේ නැතිව අහස උසට නගින බඩුමිලත් එක්ක දැන් ලැබෙන පඩියෙන් කොහොම වත් ජීවත් වෙන්න බැහැ” යි ඔහු කීවේ ය. කිසිම වෘත්තීය සමිතියක් ගැන තමන්ට විශ්වාසයක් නැති බව ද ඔහු අවධාරනය කලේ ය.

සීඩබ්ලිව්සී නායකයන් පරම්පරාවෙන් පරම්පරාවට වතු කම්කරුවන් පාවාදුන් බව ආරුමුගම් මදුරවීරන් පැවසුවේය. “අනෙක් සමිතිත් එහෙම තමා. කොම්පැනිවත් ආන්ඩුවවත් අපි ගැන කිසිම තැකීමක් නැහැ” දඩයමට ලක්වූ මස්කෙලිය ඩීසයිඩ් වත්තේ කම්කරුවන් ආරක්ෂා කිරීම සඳහා උද්ඝෝෂනය ආශි‍්‍රතව සමාජවාදී සමානතා පක්ෂය (සසප) නිකුත් කල පති‍්‍රකාව කියවා තිබු ඔහු සසප වැඩපිලිවෙල ගැන එකඟතාවය පල කල අතර වැඩිදුර සාකච්ඡා කර සසප ට බැඳීමට කැමති බව ප‍්‍රකාශ කලේ ය.

ඒ. රවිකුමාර් පවුලේ අය සමග

බන්ඩාරවෙල ඌව හයිලන්ඩ් වත්තේ වැඩකරන 1000 ක් පමන වන සියලුම කම්කරුවෝ හෙමින් වැඩ කිරීමේ උද්ඝෝෂනයට සම්බන්ධ වූ හ. අවුරුදු 35 ක් වයසැති ඒ. රවිකුමාර් තම පවුල මුහුන දෙන දුෂ්කර කොන්දේසි විස්තර කලේ ය. “අපේ පවුලේ නව දෙනෙක් ඉන්නවා. එක කාමරයයි තියෙන්නේ. ලොකු පුතාගේ වයස අවුරුදු 15 යි. එයා උපන්දා ඉඳල ම අබ්බගාතයෙක්. ඇවිදින්න කතා කරන්න කිසි දෙයක් බැහැ. ප‍්‍රතිකාර කරන්න අපිට සල්ලි නැහැ. දවසට ලැබෙන රුපියල් 450 න් තුන්වේල කන්නවත් බැරිව කොහොම ද අපි ලමයට ප‍්‍රතිකාර කරන්නේ. කොම්පැනිය රුපියල් 1000 දෙන්න කැමති නැහැ. තොන්ඩමන්ලා කරන්නේ බොරු. ඡන්දෙ ගසා කන්න මේක කරලා තියෙන්නේ. නැතිනම් ඇයි ඊට කලින් කිසි දෙයක් නොකලේ. පඩි ඉල්ලීම ලැබෙනකම් සීඩබ්ලිව්සී එක වර්ජනය දිගටම කරයි කියල අපිට විශ්වාසයක් නැහැ” යි ඔහු පැවසුවේය.

වඩිවේල් සෙල්ලම්මා තම ලේලිය සමග

වඩිවේල් සෙල්ලම්මා වයස අවුරුදු 70 කි. ඇය අවුරුදු 55 ක් වත්තේ වැඩකර විශ‍්‍රාමගෙන සිටියි. එහෙත් ඇගේ අර්ථ සාධක සේවක භාරකාර අරමුදල් තවමත් ලැබී නැත. “මුදල් ලැබුනේ නැති නිසා ජීවත් වෙන්නේ අමාරුවෙන්. පුතාගේ ගෙදර ඉන්නේ. අසනීපයකටවත් බෙහෙත් ගන්න සල්ලි නැහැ.”

සුබ‍්‍රමනියම් මුකෙශ්වරන් ඌව හයිලන්ඩ් වත්තේ පැක්ටරියේ දර පටවන කම්කරුවෙකි. “කොම්පැනිය රුපියල් 1000 කින් පඩි වැඩි කරයි කියල මට විශ්වාසයක් නැහැ. ඒ ගොල්ලෝ පුළුවන් තරම් මරවල වැඩ ගන්නවා මිසක් කම්කරුවෝ ගැන හිතන්නේ නැහැ. අපේ ගෙවල් අබලන් ඒවා දැන් වත්තෙන් නඩත්තු කරන්නේ නැහැ. යුනියන්ස් ඒවා ගැන කතා කරන්නෙත් නැහැ. මාසෙකට සාමාජික ගාස්තුවලට නම් අඩුවක් නැතිව රුපියල් 175 ක් කපා ගන්නවා. ඒ ගොල්ලෝ ඒ මුදල්වලින් සැප විඳිනවා. අපේ ප‍්‍රශ්න ගැන කිසිම තැකීමක් නැහැ”

ආන්ඩුව ගැන ද ඔහු කතා කලේ එබඳුම අප‍්‍රසාදයකිනි. “ආන්ඩුව අපි ගැන බලන්නේ නැහැ. කොම්පැනිවලට වතු දුන්නේ ආන්ඩුවේ ඇඟ බේරා ගන්න. මේ සැරේ කාටවත් ඡන්දෙ නොදෙන්නැයි අපි හිතාගෙන ඉන්නේ.” මුකෙශ්වරන් පැවසුවේය.

වෘත්තීය සමිති සහ ආන්ඩුව කෙරෙහි වතු කම්කරුවන් අතර ගැඹුරට කාවදිමින් පවතින අප‍්‍රසාදය සහ අවිශ්වාසය සමස්තයක් ලෙස කම්කරු පන්තිය තුල වෘත්තීය සමිති සහ සංස්ථාපිතය කෙරෙහි වර්ධනය වන තත්වයකි. කෙසේ වුව ද හුදෙක් අප‍්‍රසාදය සහ අවිශ්වාසය කම්කරුවන්ගේ ප‍්‍රශ්නවලට විසඳුම් සම්පාදනය නොකරයි.

Share this article: