වසර 50 කට පෙර: ඇල්ජිරියාවේදී බෙන් බෙලා කුමන්ත‍්‍රනයකින් බලයෙන් පහ කෙරේ

50 years ago: Ben Bella deposed in Algeria coup

2015 ජූනි 15

කස්ත්‍රෝ හා චේ ගුවේරා සමග දකුනේ බෙන් බෙලා

1965 අගෝස්තු 19, ඇල්ජිරියානු ජනාධිපති බෙන් බෙලා, පෙර ඔහුගේ මිතුරකු හා මිලිටරි බලවතෙකු ද විප්ලවවාදී කවුන්සිලයේ නායකයා ද වූ හුආරි බුමෙන්දීන් විසින් ප‍්‍රචන්ඩකාරී නොවූ කුමන්ත‍්‍රනයකින් බලයෙන් පහ කලේය. 1979 මිය යන තෙක් බූමදියන්, ඒකාධිපතිත්වය හා “විප්ලවවාදී සුජාතභාව” තුලින්, ජාතික විමුක්ති පෙරමුන (එෆ්එල්එන්) කොන්කර, ඇල්ජිරියාව පාලනය කලේය. බෙන් බෙලා 2012 දී මියයන තෙක් ජීවිතයේ ඉතිරි කාලය ගත කලේ නිවාස අඩස්සියේද ඉන්පසුව ප‍්‍රන්සයේ හා ස්විස්ටර්ලන්තයේ පිටුවහලේ ය.

කුමන්ත‍්‍රනයෙන් පසුව නිකුත් කෙරුනු නිල නිවේදනයකින්, “දරුනු ඒකාධිපතියෙක්” හා “බලයට ලොල්වූවකු” ලෙස බෙන් බෙලාට චෝදනා කරනු ලැබින. සමහර විට වඩා නිවැරදිව කිවහොත්, එමගින් ඔහුට චෝදනා කලේ, සෝවියට් ආයුධ වලින් සන්නද්ධ 60,000 න් සමන්විත ශක්තිමත් ජාතික විමුක්ති හමුදාව කොන් කිරීමට උත්සාහ දැරීම පිලිබඳව ය. පෙනෙන්ට තිබූ ආකාරයට කුමන්ත‍්‍රනයට ආසන්නම හේතුව වූයේ, බෙන් බෙලා විසින් බූමෙදියන්ගේ ආසන්න මිතුරෙකු වූ විදේශ ආමාත්‍ය අබ්දෙල්අසිස් බුටිෆ්ලිකා (වර්තමාන ජනාධිපති) ඉවත් කිරීමට ක‍්‍රියාකිරීමයි.

ප‍්‍රන්සයට එරෙහි ඇල්ජිරියානු යටත් විජිත අරගලයේ ජාතිකවාදී පිලෙහි පරමාදර්ශී නායකයා ලෙස බෙලා සලකනු ලැබීය. 1962 දී එම අරගලය තුලින් ඇල්ජීරියාවට නිදහස ලැබුනේ, ඩිගොල් ආන්ඩුව විසින් අට අවුරුද්දක් තිස්සේ ගෙන ගිය කෲර යටත් විජිත යුද්ධයෙන් මිලියනයක් මරනයට පත්වීමෙන් පසුවය.

තම වීරයා වූ ඊජිප්තුවේ ගමල් අබ්දුල් නසාර් වර්ගයේ “අරාබි සමාජවාදියෙක්” ලෙස බෙන් බෙලා තමා හඳුන්වා ගත්තේය. එහෙත් මෙම ප‍්‍රවනතාවය බලය ලබාගත් කොතනකදීවත් -ඊජිප්තුව, සිරියාව, ඇල්ජිරියාව, යේමනය සහ පසුව ලිබියාව - මූලික ප‍්‍රජාතාන්ත‍්‍රීය කර්තව්‍යන්වත් විසඳනු නොලැබීය. බනිජ සම්පත ඒකාබද්ධ කොටස් ආයතන හරහා ජනසතු කරනු ලැබුව ද කිසිදා කම්කරු පන්තියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනය යටතේ සමාජගත නොකෙරුනි. මහා බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සය අත්තනෝමතිකව උතුරු අප‍්‍රිකාව හා මැදපෙරදිග ඇතිකල දේශසීමා එලෙසම පවත්වාගෙන ගියේය. සෑම අවස්ථාවන්හිදීම සමාජවාදී විරෝධී ඒකාධිපති පාලනයන් ඇති කරනු ලැබීය. ඒවා ප‍්‍රතිවිරුද්ධ වාර්ගික හා ග්‍රෝත‍්‍රික කොටස් එකිනෙකාට විරුද්ධව ඇවිලවීය. අවසානයේදී ඔවුන් පදනම් වූයේ මිලිටරියේ පාලනය මතය. විදේශ ප‍්‍රතිපත්ති ක්ෂේත‍්‍රයේදී බටහිර අධිරාජ්‍යවාදය හා සෝවියට් සංගමය අතර තුලනය වීමට දරන ලද උත්සාහය මත පදනම් විය.

Share this article: