මූලෝපායිකව වැදගත්, පකිස්තාන-චීන ආර්ථික බිම් තීරුවේ චීනය ඩොලර් බිලියන 46 ක් ආයෝජනය කරයි

China invests $46 billion in strategic Pakistan-China Economic Corridor

අතියන් සිල්වා විසිනි, 2015 අපේ‍්‍රල් 28

චීන ජනාධිපති ෂී ජින්පින්ග් අපේ‍්‍රල් 20 දා, ආයෝජකයන්. බැංකුකරුවන් හා ව්‍යාපාරිකයන් සමග පකිස්තානයට පැමිනියේ පකිස්තාන්-චීන ආර්ථික බිම් තීරු ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ය. මෙම ව්‍යාපෘතිය මගින් චීනයට මැදපෙරදිග රටවල් වල සිට පෙට්‍රෝලියම් වැනි බලශක්ති සම්පත් පකිස්තානය හරහා වූ ගොඩබිම් මාර්ගයක් ඔස්සේ චීනය වෙත ප‍්‍රවාහනය කිරීමට හැකියාව ලැබේ.

චීනය හුදකලා කර මැඬීමට සැලසුම් කරන ලැබු ඔබාමා පාලනයේ “ආසියාවට හැරීම” තුලින් මිලිටරි ආතතීන් උත්සන්න කිරීම් මධ්‍යයේ මෙම ගිවිසුම විශේෂයෙන්ම වැදගත් වේ. මෙතුලින් චීනයට, එක්සත් ජනපද හා එහි සහචර නාවික හමුදා මැදපෙරදිගින් චීනයට කරන බලශක්ති ආනයනය වැලැක්වීමේ තර්ජනය විශාල වශයෙන් මගහැරිය හැකිය.

චීනය ලෝකයේ විශාලතම තෙල් ආනයනකරුය. එහි තෙල් අවශ්‍යතාවන්ගෙන් සියයට 60 මැද පෙරදිගින් ආනයනයෙන් කරන අතර, ප‍්‍රවාහනයෙන් සියයට 80 ඉන්දියානු සාගරයේ මැලැක්කා සමුද‍්‍ර සන්ධිය ද දකුනු හා නැගනහිර චීන මුහුදු හරහා ද සිදුකරයි.

මෙම ආර්ථික ව්‍යාපෘතියේ කොටසක් ලෙස චීනය, ඩොලර් බිලියන 46ක් වන අවබෝධතා ගිවිසුම් 51 පකිස්ථානය සමග අත්සන් කලේ ය. ඉන්ඩස්ටි‍්‍රයල් ඇන්ඩ් කොමර්ෂල් බෑන්ක් චයිනා ලිමිටඩ්, එක්සිම් බෑන් ඔෆ් චයිනා සහ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් කෝපරේෂන් වැනි චීන බැංකු මගින් මේවාට මුදල් සැපයීමට නියමිතය.

පකිස්තානයේ ප‍්‍රධානතම අවි සපයන්නා ලෙස චීනය යුආන් පංතියට අයත් 039A හෝ 041 A වර්ගයේ ඩීසල් බලයෙන් ක‍්‍රියා කරන ප‍්‍රහාරක සබ්මැරීන 8ක් පකිස්තානයට සැපයීමට නියමිතය. පකිස්තාන අගමැති නවාස් ෂෙරිෆ් හා ආරක්ෂක මන්ඩලය ගනුදෙනුව අනුමත කර ඇත. එය පකිස්තාන සබ්මැරීන් සේනාංකය නවීකරනය කර එයට න්‍යෂ්ටික මිසයිල හැකියාව ලබාදීම සඳහා වන පුලුල් ව්‍යායාමයේ කොටසකි.

මෙම බිම් තීරු ව්‍යාපෘතිය පකිස්තානයේ ගවාදර් වාරායේ තෙල් ගබඩා පහසුකම් හා පකිස්තානය හරහා ගවාදර් සිට බටහිර චීනයේ කස්ගාර් කඳුවැටි සහිත පකිස්තාන් චීන දේශසීමාව හරහා කෙලින්ම දිව යන කිලෝමීටර 3,000 ක් වූ නල මාර්ග, දුම්රිය මාර්ග සහ මහාමාර්ග ජාලයකින් ද සමන්විතවේ. එයට ගුවන් ප‍්‍රවාහන, දුම්රිය යටිතල පහසුකම් සුලං හා ජලවිදුලිබල හා ෆයිබර් තන්තු සංනිවේදනය පිලිබඳ තාක්ෂනික සහයෝගිතාවය ද ඇතුලත් වේ.

ගවාදර් මූලෝපායිකව පිහිටා ඇත්තේ බලූකිස්තානයේ අරාබි මුහුදු තීරයේය. එය පකිස්තානයේ දුප්පත්ම හා වඩාත්ම අස්ථාවර ප‍්‍රාන්තයකි. එය තෙල් සම්පත් සහිත ගල්ෆ් කලාපයට හා හෝර්මුස් සමුද්‍ර සන්ධියට මායිම්ව පිහිටා ඇත. ගල්ෆ් කලාපයේ සිට කරන තෙල් අපනයනය, ආසන්න වශයෙන් ලෝකයේ තෙල් වෙලඳාමෙන් සියයට 40ක් හිමිකම් කියන හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා අනිවාර්යයෙන්ම ගමන් කලයුතු ය. ගිවිසුමේ කොන්දේසිවලට අනුව, චයිනීස් හාබර් ඉන්ජිනියරිං කොම්පැනි මගින් ඉදිකිරීම් ආරම්භ කිරීමත් සමග මේ අවුරුද්දේ මුල සිට ගවාදර් වාරය අවුරුදු 40 කට චීනය වෙත පැවරුනි.

කස්ගාර්, වයඹදිග චීනයේ පිහිටා ඇති සින්ජියන් උයිගර් ප‍්‍රදේශයේ ඇති ප‍්‍රධාන නගරයකි. මෙම අභ්‍යන්තර ප‍්‍රදේශය චීනයේ ෆැසිෆික් මුහුදු තීරයේ ඇති කාර්ය බහුල අපනයන මධ්‍යස්ථාන වලට වඩා දුප්පත් වන අතර උයිගර් හා ප‍්‍රධානතම ජන කොටස වන හන් චීන ජාතිකයින් අතර වාර්ගික ආතතීන් උග‍්‍රවෙමින් ඇත. චීන ආන්ඩුව පුනපුනා ප‍්‍රකාශ කර ඇත්තේ සින්ජියන් හි ආර්ථික වර්ධනය දේශපාලන ප‍්‍රමුඛතාවක් ලෙස සලකන බවයි.

යෝජිත ආර්ථික බිම් තීරය, චීනය හා මැද පෙරදිග අතර වෙලඳ භාන්ඩ ප‍්‍රවාහනයට ඇති දුරෙන් කිලෝමීටර් 16,000ක් අඩුකරන නව වෙලඳ මාර්ගයක් විවෘත කරයි.

කෙසේ වෙතත්, ගනුදෙනුව ගෝලීය ධනවාදය පතුලේ ඇති ප‍්‍රතිවිරෝධයන් දෙසට යොමු වෙයි: මධ්‍යම ආසියාව ආර්ථික වශයෙන් දියුනු කිරීමට යාම අධිරාජ්‍යවාදී හා කාලාපීය බලයන් අතර මිලිටරිමය ආතතීන් අවුලුවාලයි. එනමුත් මෙම නොදියුනු ප‍්‍රදේශවල වාසය කරන බිලියන ගනනාවක් වූ ජනතාව තවමත් උග‍්‍ර දරිද්‍රතාවයෙන් හා සමාජ පසුගාමිත්වයෙන් පීඩාවිඳියි. මොවුන් දැනටමත් න්‍යෂ්ටික අවි බලවතුන් වන පාකිස්තානය, ඉන්දියාව චීනය හා එක්සත් ජනපදය අතර ඇතිවිය හැකි ගැටුමක අවදානමට මුහුන පා සිටියි.

සියල්ලටමත් වඩා මෙම ආතතීන් වර්ධනය වීමට මූලික වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ආක‍්‍රමනකාරී “ආසියාවට හැරීමය”. එක්සත් ජනපදය චීනය වැටලීමේ මූලෝපාය වෙනුවෙන් ඉන්දියාව, ජපානය, ඔස්ටේ‍්‍රලියාව, වියට්නාමය, පිලිපීනය හා සිංගප්පුරුව සමග සන්ධාන ගතවී ඇත. එක්සත් ජනපදය, යුරෝපීය හා ආසියානු නාවික හමුදාවන් එකාබද්ධව ඉන්දියානු හා පැසිෆික් සාගරයේ චීන තෙල් සැපයුම් අඩාල කිරීමක් සංවිධානය කිරිමේ තර්ජනය මෙම වැඩ සටහනේ ප‍්‍රධාන අංගයක් වේ.

චීන පකිස්තාන ගනුදෙනුව වොෂින්ටනයට දේශපාලනික අතුල් පහරකි. වොෂින්ටනය පකිස්තානයේ අසල්වැසියා වන ඇෆ්ගනිස්තානයේ තම හමුදා ඉවත් කරගනිමින් සිටින අතරම කලාපය තුල දැඩි අප‍්‍රසාදයකට ලක්වී ඇත. සී.අයි.ඒ ඩ්‍රෝන් ප‍්‍රහාර හේතුවෙන් 2004 සිට පකිස්තානයේ දහස් ගනනක් අහිංසක මිනිසුන් මිය ගොස් ඇත. ඔබාමා පාලනය යටතේ ප‍්‍රහාරයන් 330 සිදු කර ඇත. එක්සත් ජාතීන්ගේ නිලධාරින්, පකිස්තාන අධිකරනය හා ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය වැනි මානව හිමිකම් කන්ඩායම් ඩ්‍රෝන් ප‍්‍රහාර නීති විරෝධී බව ප‍්‍රකාශ කරන නමුත් සී.අයි.ඒ. සංවිධානය පකිස්තානයේ ඇති පැතිරුන විරුද්ධත්වය පාගා දමමින් දිගටම ඒවා ක‍්‍රියාවට නංවයි.

පකිස්තානයේ ඇති බෙයිජිනයේ කාර්මික ආයෝජන ඇමරිකානු අධිරාජ්‍යවාදයේ විනාශකාරී භූමිකාවට ප‍්‍රතිවිරුද්ධ වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය සතු විශාල මුල්‍ය සම්පත්වල ශක්තිය යොදවන්නේ බෝම්බ දැමීමට හා කලාපයේ ජනතාව භීතියට පත් කිරීමට ය.

චීනයේ ඩොලර් බිලියන් 46 ආයෝජනය, පකිස්ථානයට පසුගිය සත් වසරක කාලය තුල ලැබුනු ඍජු විදේශ ආයෝජනයන් හා එක්සත් ජනපදය පකිස්ථානය සඳහා කරන වියදමට වඩා වැඩිය. 2002 සිට වොෂින්ටනය ඩොලර් බිලියන 31 පකිස්ථානයට ලැබා දී ඇති අතර එයින් තුනෙන් දෙකක් “ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධය” සඳහා කැප කර ඇත.

අපේ‍්‍රල් 19 දා නිව්යෝර්ක් ටයිම්ස් පත‍්‍රය වාර්තා කර තිබුනේ, මෙම ප‍්‍රයත්නය “මහා පරාජයක්” බවයි. මක් නිසාද යත් සම්පත් තුනී ආකාරයට විසිරී ඇති හෙයින් කිසිදු ප‍්‍රායෝගික හා මූලෝපායික බලපෑමක් සිදු නොකරන බවය. එසේ පවසා තිබුනේ පෙන්ටගනයේ එම කාලයේ පකිස්තානය පිලිබඳ වගකීම් දැරූ හිටපු ජ්‍යේෂ්ට නිලධාරි ඩේවිඩ් සෙඩ්නි ය.

අනිකුත් කලාපීය බලවතුන්, සියල්ලටත් වඩා 1962 දී චීනයත් සමග යුද වැදුනු පකිස්තානයේ සාම්ප‍්‍රධායික සතුරා වන ඉන්දියාව, සැලකිලිමත්ව තත්වය විමර්ශනය කරමින් සිටින්නේ නවතම චීන පකිස්තානු ගනුදෙනුවේ මිලිටරිමය ඇඟවුම් හා එයට ප‍්‍රතිවිරුද්ධ මූලෝපායන් සැකසීම ගැනය.

ෂී පකිස්තානයේ සංචාරය කිරීමට දවසකට පෙර, ඉන්දියානු නාවික හමුදාපති අද්මිරාල් රොබින් ධෝවාන් හින්දුස්ථාන් ටයිම්ස් සමග සම්මුඛ සාකච්චාවකට එක්වෙමින් අවධාරනාත්මකව කියා සිටියේ, “නාවික හමුදාව ඕනෑම අනපේක්ෂිත සිදුවීමකට සුදානම් බව හා ඉන්දියානු සාගරයම දැඩි නිරීක්ෂනයකට යටත් කර ඇති බවය. එය අප අවට ඇති වැදගත් ජල තීරයන් පිලිබඳව දැඩි අවදානයකින් පසුවෙයි. නාවික හමුදාව බහුකාර්ය බලකායක් වන අතර අප මුහුදේ පාලනය පිලිබඳ සියලු අංශයන් පිලිබඳ සැලකිලිමත් වන අතර කාලාපයේ ඇතිවෙන වර්ධනයන් හමුවේ මුහුදට ඇතුලුවීම වැලක්වීමට කටයුතු කරයි.” යනුවෙනි.

මෙම මස මුලදී ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි ප‍්‍රන්සයට ගිය අතර එහිදී ඉන්දියානු ගුවන් හමුදව නවීකරනය කිරීම සඳහා රෆායෙල් ජෙට් යනා දුසිම් ගනනක් මිලට ගැනීම ගැන හා ඊපීආර් න්‍යෂ්ටික ප‍්‍රතිකි‍්‍රයාකාරක මිලදී ගැනීම පිලිබඳව සාකච්චා කලේය.

ඔවුන් ගිවිසුම්ගතව ඉදිරයට යන විට, චීන හා පකිස්තාන තන්ත‍්‍රයන්ට පකිස්තාන ධනපති පාලන තුල වර්ධනය වී ඇති බලුකිස්තානයේ සමාජ හා වාර්ගික ගැටුම්වලට මුහුන පෑමට සිදුවේ.

ජනපති ෂී ජින්පෙන්ග් පකිස්තාන හමුදවේ මාන්ඩලික ප‍්‍රධානි හා හමුදාවන්හි ප‍්‍රධානියා හමුවුයේ ආරක්ෂක ව්‍යපෘති පිලිබඳ සාකච්චා කිරීමට ය. පකිස්තානු අගමැති නවාස් ෂෙරිෆ් ඇතුලු පකිස්තානු නිලධාරීන් පොරොන්දු වුයේ 10,000ක් වූ නව විශේෂ හමුදා බටකායක් පකිස්ථානයේ සිටින චීන ඉදිකිරීම් කම්කරුවන් ආරක්ෂා කිරීමට යොදන බවටය. ජනාධිපති ෂී ඉස්ලාමාබාද්හිදී විවධ දේශපාන පක්ෂවල නායකයන් හමුවූයේ මෙම ව්‍යාපෘතිය ගැන සාකච්චා කිරීමට ය.

අපේ‍්‍රල් 11 දා, බලුකිස්තානයේ ටුර්බට් ආසන්නයේදී, සින්ධි හා පන්ජාබි ඉදිකිරීම් කම්කරුවන් 20 දෙනෙකු ඝාතනය කරනු ලැබිනි. බෙදුම්වාදී බලොච් විමුක්ති පෙරමුන මෙම ප‍්‍රහාරය පිලිබඳ වගකීම බාරගත්තේය.

Share this article: