පරපුටුකම හා ආර්ථික අර්බුදය

Parasitism and the economic crisis

2015 ජූනි 02

ඇමරිකානු වානිජ්‍ය දෙපාර්තමේන්තුව 29දා නිකුත්කල සංඛ්‍යාලේඛන වලට අනුව එරට ආර්ථිකය, මේ වසරේ පලමු කාර්තුව තුල වාර්ෂික අනුපාතයකට අනුව සියයට 0.7න් හැකිලී යමින් තියුනු ලෙස පහත වැටුනි. එහෙත් සැබෑ ආර්ථිකයේ ව්‍යසනකාරී තත්වය හමුවේ වුව ද වාර්තාවෙන් ආවරනය කල තෙමසක කාලය තුල ඇමරිකානු කොටස් අගය, වාර්තාගත ඉහලකට නැඟුනි. සැබවින්ම සංඛ්‍යා ප්‍රකාශයට පත්වීමට පැය 48කට තරම් පෙරම නැස්ඩැක් දර්ශකය එහි ඉහලම මට්ටම වූ ඒකක 5107 වාර්තා කලේය.

පසුබෑමේ ගැඹුරුම තැන සලකුනු කල 2009 පටන් ඇමරිකාවේ සැබෑ ආර්ථිකය වර්ධනය වී ඇත්තේ සියයට 13න් පමනක් වුවත්, ඩව්ජෝන්ස්, නැස්ඩැක් හා එස්ඇන්ඩ්පී 500 යන දර්ශක තුන ඉහලම අගයන් වාර්තා කරමින් තුන් ගුනයකටත් වඩා ඉහල නැඟී ඇත.

කොටස් අගය නැඟීමත් ආර්ථික පසුබෑමත් නියෝජනය කරන්නේ අහම්බයකට වඩා, එකම ක්‍රියාවලියේ දෙපැත්තයි. ඒවා ප්‍රකාශයට පත් කරන්නේ, 2008 මූල්‍ය අර්බුදයෙන් සත් වසරකට පසුව ලෝක ආර්ථිකය, ව්‍යසනකාරී සමාජ හා ආර්ථික ප්‍රතිවිපාක ජනනය කරමින්, ගෝලීය මූල්‍ය පැලැන්තියේ අතොරක් නැති කොල්ලකෑමට ගොදුරුවී ඇති තරමයි.

මෙම කොල්ලය, නිෂ්පාදන ක්‍රියාවලියේ වියදමින් බිලියනපති කොටස් හිමිකරුවන් හා ව්‍යාපාරික විධායකයින් තමන්ගේ මඩිස්සල තුලට ආර්ථික සම්පත් අඛන්ඩව මාරුකර යැවීමේ ස්වයං ප්‍රකාශනයයි. මේ වසරේ පලමු කාර්තුව තුල සියයට 2.8ක අනුපාතයකින් පහත වැටුනු ව්‍යාපාරික ආයෝජන පිලිබඳ වෙලඳ දෙපාර්තමේන්තුවේ වාර්තාව තුල මෙය පිලිබිඹු වෙයි.

පහත වැටෙන වැටුප් හා ලෝකයේ මහ බැංකු වෙතින් ගලා ආ ලාභ මුදල් ප්‍රවාහය මධ්‍යයේ, වසර ගනනාවක වාර්තාගත ලාභ ලැබීමේ ප්‍රතිපල වශයෙන් කඳුගසාගත් ඩොලර් ට්‍රිලියන 1.4ක මුදල් කන්දරාව හා එවන් වෙනත් වත්කම් ඇමරිකානු සංගත අතේ පවතින්නේය යන කාරනය තිබියදී ආයෝජනයේ මෙම පහත වැටීම සිදුව තිබේ.

කම්කරුවන් සේවයේ යෙදවීම හා කම්හල් ඉදිකිරීම වෙනුවට සංගත විසින් මෙම මුදල්, ප්‍රතිලාභ වැඩි කිරීමට, කොටස් යලි මිලට ගැනීමට, විධායකයින්ගේ වැටුප් ඉහල නැංවීමට හා ඒකාබද්ධයන් හා අත්පත්කර ගැනීම් සඳහා යොදා ගනියි. ඒ සියල්ල වාර්තාගත මට්ටමිනි.

පුලුල්ව පැතිර පැවති වෝල් වීදියේ වංචා, සමපේක්ෂනය හා පරපුටුකම හේතුකොටගෙන 1929 ඇතිවූ මූල්‍ය උනුවී යාමෙන් ඉක්බිත්තේ, බිඳ වැටීමට හේතුකාරක වූ දැවැන්ත අපරාධ බොහොමයකට වරදකරුවන් වූ බැංකුකරුවන්ට චෝදනා ඉදිරිපත්කර දඬුවම් කල අතර, වෝල් වීදියේ මහත්කම හා බලය සීමා කල, වානිජ්‍ය හා ආයෝජන බැංකු එකිනෙකින් වෙන් කල ග්ලාස් ස්ටීගල් වැනි පනත් මඟින් නව මූල්‍ය රෙගුලාසි පනවන ලදී. එවක හටගත් දැවැන්ත විප්ලවකාරී අරගලයන්ට පාලක පන්ති ප්‍රතිචාර දැක්වූයේ එලෙසය.

නිව් යෝර්ක් ටයිම්ස් මෑතකදී සඳහන් කල ආකාරයට, “මහා අවපාතයෙන් ඉක්බිතිව ජාතියේ මූල්‍ය ක්ෂේත්‍රය බෙහෙවින් හැකිලී ගියේය. ඉන් පසුව එලඹි දශක හතරේ වැඩි හරියක් තුල එය නිහතමානී තත්වයක පැවතුනි. ඒ අවධියේ ආර්ථිකය සශ්‍රීකව පැවතුනි. මෑත දශකයට වඩා ආදායම් අසමානත්වය අවම වූ අතර ප්‍රධාන මූල්‍ය අර්බුද වලින් තොරව පැවතියේය.”

අනෙක් අතට 2008 මූල්‍ය අර්බුදයෙන් පසුව ගතවූ කාලයේ, ගෝලීය මූල්‍ය අංශයේ දැවැන්ත විශාලත්වයත්, එහි පැතිර පැවති සාපරාධිත්වයත්, ඇතුලු බිඳවැටීමට හේතුවූ මූලික කාරනා කිසිවකට අවධානය යොමුකර පවා නැත. ඒ වෙනුවට ඔබාමා පාලනයේ මඟපෙන්වීම යටතේ, ආර්ථික, සමාජ හා දේශපාලන ජීවිතය තුල වෝල් වීදියේ අධිකාරවත් තත්වය පැලපදියම් කර ප්‍රසාරනය කර තිබේ.

මූල්‍ය පරපුටු කම කෙතරම් පුලුල් ලෙස වැඩීගොස් තිබේ ද යත්, ප්‍රධාන ප්‍රවාහයේ ආර්ථික ආයතන වලට පවා එහි අන්තරායන් පෙන්වාදීමට බලකෙරී ඇත. දේශපාලන සංස්ථාපිතයේ බලකොටුව වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය මාසයේ පරියේෂන වාර්තාවක් තුල ප්‍රකාශ කලේ, “ආර්ථික වර්ධනය මූල්‍ය වර්ධනයේ ඉහලම මට්ටම් වලදී දුබලවී ඇත.” එය ආන්ඩුවලින් ඉල්ලා සිටියේ මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමානය කප්පාදු කරන ලෙසයි.

එම අනතුරු ඇඟවීම් නොතකා ලෝකය පුරා ආන්ඩු, මූල්‍ය පරපුටු කමේ වඩාත්ම නින්දිත හා සාපරාධී ක්‍රියාවලීන් පවා සීමා කිරීමට කැමැත්තක් හෝ හැකියාවක් නොපෙන්වයි.

ඇමරිකාවේදී ඔබාමා අධිකරන දෙපාර්තමේන්තුව, 2008 බිඳවැටීමට පෙර හා පසුව සිදුකර තිබෙන අපරාධ සඳහා නීතිමය මුක්තිය ප්‍රධාන බැංකු වලට ලැබෙන බවට වගබලාගෙන ඇත. ප්‍රෝඩාකාරී අවමුඛ උකස්කර අලෙවිය, මුදල් වංචා හා බදු පැහැරහැරීම මෙන්ම පාදක පොලී අනුපාත හා විදේශ විනිමය අනුපාත වෙනස් කිරීම දක්වා වන එක් සෝලියකට පසුව තවෙකක් වශයෙන් හටගත් වංචාවන් සඳහා එකදු බැංකුකරුවෙකු හෝ විධායකයෙකුට දඬුවම් නොපැනවීම මඟින් එය ප්‍රකාශයට පත්ව ඇත.

මේ අතර ඇමරිකානු ෆෙඩරල් මහ බැංකුව මඟින් මඟ පෙන්වන ලෝකයේ මහ බැංකු, ගෝලීය ආර්ථිකයේ සෑම නව දුබලකමක් කෙරෙහිම ප්‍රතිචාර දක්වන්නේ, එක්කෝ සිය මුදල් අච්චු ගැසීම තවත් ප්‍රසාරනය කරමින් හෝ මූල්‍ය ප්‍රතිපත්තිය “සාමාන්‍ය තත්වයට” පත් කිරීමේ සිය සැලසුම් කපා හරිමිනි.

2008 අර්බුදයට දක්වන ප්‍රතිචාර තුල අන්තර් සම්බන්ධිත ක්‍රියාවලීන් දෙකක් දැක ගත හැකිය:1. ඇමරිකානු ධනවාදයේ දිගු කාලීන පරිහානිය, 2. මූල්‍ය පරපුටුකම පාලක පන්තියේ මූලික මෙහෙයුම් රටාව බවට හරවා ගැනීමය. 1930 ගනන්වල මහා අවපාතය මධ්‍යයේ පවා නැඟී එමින් සිටි කාර්මික බලවතෙකු ලෙස ඇමරිකාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව සිය ගෝලීය අධිපතිවාදී තැන පිහිටුවා ගැනීමට සමත් විය.

කෙසේ වෙතත් පසුගිය දශක හතර දැකිය හැක්කේ, අනවරත දිරාපත්වීම හා පරිහානියයි. මූල්‍ය ප්‍රාග්ධනයේ මෙහෙයුම් වල ඉල්ලීම් හා ඊට මඟ සැලසීම හමුවේ සමස්ත කර්මාන්තයන්ම අතුගෑවී ගොස්ය. පාලක පන්තිය සිය ධනය අත්පත්කර ගන්නා හා පවත්වා ගන්නා ක්‍රියාවලීන්, තත්‍ය නිෂ්පාදන ක්‍රියාවලියෙන් පෙර නොවූ විරූ පරිදි වෙන්වී ගොසින්ය.

ඔබාමා පාලනයේ ප්‍රතිපත්ති අවසාන විග්‍රහයේදී, ජාත්‍යන්තර මූල්‍යයේ මධ්‍යස්ථානය වන ඇමරිකාවේ ආර්ථික හා දේශපාලන ජීවිතයේ සියලු අංඟ මත මූල්‍ය කතිපයාධිකාර අධිපත්‍යයේ ප්‍රකාශනයයි. එම සමාජ ස්ථරය, සිය පරපුටු කටයුතු නඟා සිටුවීම පිනිස සිය ආර්ථික හා දේශපාලන ලීවරය පාවිච්චි කරනවා පමනක් නොව, ලෝකය පුරා ආඥාදායකත්වයන් හා යුද්ධය කරා තවත් දුර ගමන් කිරීම පිනිස ද යොදා ගනියි.

ගෝලීය ආර්ථිකය ග්‍රහනය කරගෙන ඇති අර්බුදයට, මෙම කතිපයාධිකාරීන් මඩි ගසාගෙන සිටින ධන සම්පත් අත්පත් කරගෙන සමාජය ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී පදනමක ප්‍රතිසංවිධානය කිරීමට පිටින් විසඳුමක් නොපවතියි.

ඇන්ඩ්‍රි ඩෙමෝන්

Share this article: