දකුනු චීන මුහුද අරභයා චීනය සමඟ එක්සත් ජනපදයේ අවදානම් ගැටුම

US brinkmanship with China over South China Sea

2015 ජූනි 01

සිය “නාවික ගමනාගමනයේ නිදහස හා අයිතිය” ලෙස කියා සිටිමින් චීනය සිය ගුවන්යානා හාරක නෞකාව මෙක්සිකෝ බොක්කට ඇතුලු කලහොත් හෝ නිව් යෝර්ක් ප්‍රාන්තයේ වෙරලේ සැතපුම් 12 සීමාවට පිටතින් රුසියානු මිලිටරි ඔත්තු බැලීමේ යානයක් පියාසර කලහොත්, ඇමරිකාව එයට ප්‍රතිචාර දක්වනු ඇත්තේ කෙසේ ද යන්න යමෙකුට සිතා ගැනීම එතරම් දුෂ්කර නොවනු ඇත.

එවන් ක්‍රියා, යුද්ධ ප්‍රකාශ කිරීමක් නොවේ නම් පූර්න ආක්‍රමනිකත්වයක් ලෙස හෙලා දකිනු ඇත. අඩුම තරමින් ඇමරිකානු යුද නැව් හා ගුවන් යානා “බලහත්කාරයෙන්” ඇතුලු වූවන් සමීපව ලුහුබඳිනු ඇත. ඇමරිකානු ප්‍රති ප්‍රහාරයක් හා යුද්ධයට සූදානම් වීමක් ඉල්ලා සිටින මාධ්‍ය ඝෝෂාවක් එමඟින් පුපුරා යනු ඇත.

ඇමරිකාවේ කිට්ටුම ස්ථානයේ සිට කිලෝ මීටර් දහස් ගනනක් ඈත ඇමරිකාව දැන් කරමින් සිටින්නේ හරියටම ඒ දේමයි. දැන් ඔත්තු බැලීමේ ගුවන් යානා චීනයේ පාලනය යටතේ ඇති දකුනු චීන මුහුදේ දිවයින් සමීපයේ නිරන්තරව පියාසර කරයි. පසුගිය මාසයේ යූඑස්එස් ෆොර්ට් වර්ත් යන ලිටෝරල් ප්‍රහාරක නෞකාව එම ප්‍රද්ශයේම මුර සංචාරවල යෙදී සිටියේය. දැන් පෙන්ටගනය ප්‍රෙකා්පකාරී ලෙස සූදානම් වන්නේ සැතපුම් 12 සීමාව තුලට යාත්‍රා කරමින් චීනයේ හිමිකම් වලට සෘජුවම අභියෝග කිරීමටය. මෙම ඉව බව නැති මිලිටරි කටයුතු සමඟ අත්වැල් බැඳගෙන, චීනයේ මුහුද ගොඩකිරීම් නීති විරෝධී, ආක්‍රමනික හා මූලෝපායික මුහුදු ප්‍රදේශයේ පාලනය සියතට ගැනීමක් ලෙස නම් කරමින් ඇමරිකානු හා ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රචාරන ව්‍යාපාරයක් දැන් නැඟෙමින් තිබේ. ඇමරිකාව “නාවික ගමනාගමනයේ නිදහස” චීනය සමඟ යුද්ධයට හේතුවක් බවට පත් කරමින් සිටියි.

ආරම්භයේදී කලාපීය ආතතීන් සමනය කිරීම සඳහා පිහිටුවන ලද ආරක්ෂක සංසදයක් වන, පසුගිය සති අන්තයේ සිංගප්පූරුවේ පැවති, ෂන්ග්‍රිලා රැස්වීම ප්‍රයෝජනයට ගනිමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් ඇෂ්ටන් කාටර්, “ජාත්‍යන්තර නියාම හා නීති වලින් ඉවතට හැරීම” ගැන චීනය හෙලා දැකීය. එහිදී ඔහු ඉන්දු ශාන්තිකර කලාපය පුරා ඇමරිකානු මිලිටරි තරකිරීම් වලට අනෙකුත් ආසියානු රටවල සහභාගිත්වය වෙනුවෙන් පෙලඹවීම් කලේය.

චීනය වැටලීමේ අරමුන සහිත ඇමරිකාවේ මිලිටරිමය වශයෙන් “යලි තුලනය” කිරීමේ ඊලඟ අදියර සඳහා තමන් “පුද්ගලිකවම කැපව සිටින” බව කාටර් කියා සිටියේය. ආරක්ෂක දෙපාර්තමේන්තුව “දිගු කාලීන සන්ධාන හා හවුල්කාරිත්වයන් ගැඹුරු කරනු ඇති බවත්, ඇමරිකාවේ හමුදා ශක්තිය විවිධාංගකරනය කරනු ඇති බවත් ප්‍රධාන මිලිටරි කඳවුරු හා මධ්‍යස්ථානවල නව ආයෝජන සිදු කරනු ඇති බවත්” ඔහු පැවසීය.

“ගුවන හා මුහුද සඳහා මිනිසුන් රහිත පද්ධතීන්, නව දිගු දුර බෝම්බ හෙලන යානා හා විද්‍යුත් චුම්බක රේල්ගන්, ලේසර් හා අභ්‍යවකාශයට මෙන්ම සයිබර් අවකාශය සඳහා ද නව පද්ධතීන් ඇතුලු විශ්මයජනක නිර්මාන සහිත මෙම සංකීර්න ආරක්ෂක වටපිටාව සඳහා අතිශයින්ම අවශ්‍ය තාක්ෂනය වෙනුවෙන් දෙපාර්තමේන්තුව ආයෝජනය කරන්නේය.

“ආසියා ශාන්තිකර කලාපයට හොඳම මිලිටරි වේදිකා හා පුද්ගලයින් යොදවනු ඇති” බව ඔහු අවධාරනය කලේය. ඊට “නවතම වර්ජිනියා වර්ගයේ න්‍යෂ්ටික සබ්මැරීන, නාවික හමුදාවේ පී-8 පෝසිඩන් නිරික්ෂන ගුවන් යානා, හොර රහසේ ක්‍රියාත්මක වන අලුත්ම ඩිස්ට්‍රෝයර්, සුම්වෝලට් හා නවතම කල්තියා අනතුරු ඇඟවීමේ හා පාලන ගුවන් යානාවක් වන ඊ-2ඩී හෝක්අයි ගුවන් යානා හාරක නැවක් ද ඇතුලත් වන බව කාටර් පැවසීය.

මිලිටරි ශක්තිය පිලිබඳ මෙම දැවැන්ත වට්ටෝරුව ගෙනහැර දැක්වීමෙන් පසුව කාටර්, කෙලින්ම කියා සිටියේ, දකුනු චීන මුහුදේ “මතභේදයට තුඩුදී ඇති භූමි භාගයන් තවදුරටත් මිලිටරීකරනයට” බඳුන් කිරීමට ඇමරිකාව විරුද්ධ බවය. ඔහු ඇඟවුම් කලේ චීනය තමන් හිමිකම් කියන දිවයින්වල රඳවා ඇති කුඩා ජංගම කාලතුවක්කු දෙකය.

“දකුනු චීන මුහුදේ මතභේද විසඳා ගැනීමේ මිලිටරි විසඳුමක් ඇත්තේ නැති” බව කාටර් කියා සිටින අතරතුරේ පිලිපීනය, සිංගප්පූරුව හා වියට්නාමය යන, එම දිවයින් වලට කෙලින්ම යාබදව ඇති රටවල් සමග නව මිලිටරි කඳවුරු පිහිටුවීම සඳහා එම මතභේදම ඇමරිකාව විසින් ගසාකනු ලබයි.

දැන් ඇමරිකානු අධිරාජ්‍යවාදීන්, චීනය සමඟ යුද්ධය සඳහා ක්‍රියාශීලීව සූදානම් වෙමින් සිටියි. දකුනු චීන මුහුදේ “නාවික ගමනාගමනයේ නිදහසට” තර්ජනය කරන්නේ චීනය නොව, ඇමරිකාවයි. චීනයට එරෙහි පෙන්ටගනයේ යුද මූලෝපායේ හරි මැද තිබෙන්නේ, අප්‍රිකාවෙන් හා මැද පෙරදිගින් සිය බලශක්ති හා අමුද්‍රව්‍ය අවශ්‍යතා සපයා ගැනීමේදී චීනය දැඩි ලෙස රැඳී සිටින නාවික මාර්ග අවහිර කිරීමක් මගින් එරට ආර්ථිකය අඩපන කිරීමේ සැලසුම්ය.

පොදුවේ ආසියාව තුලත් විශේෂිතව චීනය මතත් නිර්බාධක ආධිපත්‍ය්‍ය සහතික කර ගැනීම පිනිස තර්ජනය කිරීමටත්, අවදානම ගැනීමටත් යුද්ධය ඇවිලවීමටත් පසුබට නොවන බව ඔබාමා පාලනය පැහැදිලි කර තිබේ. පසුගිය දශක දෙක තුල ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ඓතිහාසික පරිහානිය සමඟ සම්පාත වෙමින් මැද පෙරදිග, බෝල්කන් ප්‍රදේශවල හා මධ්‍යම ආසියාවේ ඇමරිකානු මිලිටරිවාදය නැඟී ආවේය. දැන් වොෂින්ටනය, බීජිනයට යටත්වන ලෙස බලකිරීමේ උත්සාහයේදී ආසියාව තුල ඉවබව නැති යුද අවදානම සහිත පියවර ගනිමින් සිටියි.

“සී කයිසර්ගේ නාවික හමුදාව” යන ශීර්ෂයෙන් යුත් වෝල් ස්ට්‍රීට් ජර්නලයේ කතුවැකියක්, පලමු ලෝක යුද්ධය ආසන්නයේ පැවති යුරෝපයේ තත්වයට සමාන කරමින් චීනය ජර්මනිය හා චීන ජනාධිපති සී ජින්පින් ජර්මනියේ කයිසර් සමඟ සසඳයි. චීනය ආක්‍රමනකාරී අධිරාජ්‍යවාදී බලවතෙක් ලෙස සාවද්‍ය ලෙස පෙන්නුම් කිරීමේ අරමුන, “නාවික තරඟය ජයගත නොහැකි බවත් එසේ කිරීම නිරර්ථක බවත් බීජිනයට ඒත්තු ගැන්වීම” සඳහා ඇමරිකානු නාවික කටයුතුවල දැවැන්ත ප්‍රසාරනය යුක්තිසහගත කිරීමය.

දකුනු චීන මුහුදු ප්‍රදේශයට ඇමරිකාවේ ආක්‍රමනකාරී කඩාවැදීම මඟින් කෙලින්ම තර්ජනයට ලක්ව ඇති චීනයේ මූලෝපායික හා ආර්ථික අවශ්‍යතා සමඟ ගැටුමක මාවත ඇමරිකාව හෙලි පෙහෙලි කර ඇත. වොෂින්ටනයට පිදෙන කුමන සහනයක් හෝ වහාම තව තවත් දැඩි කොන්දේසි පැනවීම් වලට තුඩුදෙන බව බීජිනය හොඳින්ම දැන සිටියි. සිංගප්පූරුවට ගිය චීන නියෝජිත පිරිසේ ප්‍රධානී අද්මිරාල් සුන් ජයැන්ගුවෝ, චීන කටයුතු හෙලා දැකීම හා මුහුද ගොඩකිරීම් අත්හිටුවන ලෙසට කල ඇමරිකානු ප්‍රකාශ ප්‍රතික්ෂේප කලේය.

ෂන්ග්‍රිලා සාකච්ඡා වටයේ වාතාවරනය තුල පැතිර යන භූදේශපාලන ආතතීන් පැහැදිලිවම දැකගත හැකි විය. භූමිභාගයන් පිලිබඳ මතභේද වලට රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් ඉල්ලා සිටිමින් මැලේසියානු ආරක්ෂක ඇමති හිෂාමුඩින් හුසේන් අනතුරු ඇඟවූයේ, “අප ප්‍රවේශම් නොවුනොත් එය, අපගේ ඉතිහාසයේ නොවේ නම්, අපගේ කාලයේ දරුනුම ගැටුම බවට පත්වනු ඇති” බවටය.

න්‍යෂ්ටික අවි දරන බලවතෙකුට එරෙහිව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රකෝපකිරීම්, සත්තකින්ම රාජ්‍යතාන්ත්‍රික හෝ යුක්තිය වෙනුවෙන් ආයාචනය කිරීමෙන් නතර කල නොහැකි බිහිසුනු ලෝක යුද්ධයක් කරා වුව ද මානව වර්ගයා ඇද දැමීමට තර්ජනය කරයි. එවන් ව්‍යසනයක් නතරකිරීමට සමත් එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය, ඒකාබද්ධ අරගලයක් තුලින්, බංකොලොත් ලාභ ගැරීමේ පද්ධතිය හා ලෝකය යල්පැනගිය සතුරු ජාතික රාජ්‍යයන් වලට බෙදී තිබීම වන එහි මූල හේතුව උපුටා දැමිය යුතුය.

පීටර් සිමන්ඩ්ස්

Share this article: